මං උන්නෙ හේතු විරහිත කණස්සල්ලක් හිතේ
පුරවගෙන, අහස පොලව ගැටලන්න කල්පනා කරමින්. මහා සාංකාවකින් හිත බරවෙලා. දුම්රිය නැවතුමට ළඟා වෙද්දිත් හතරවටින්
කළු කරල. ගොම්මනට වැහි අඳුරත් එකතු වුණාම අකලට මහළු වුණ සෝබර පෙනුමක් තමයි හැන්දෑවට
එකතු වෙලා තිබුණෙ...
රෑ කෑමට පාන් එකකුත් අරන් මං පාරට වැටුණෙ
කල්පනා පිරුණු හිතින්මයි.
මාත් එක්ක සමාන්තරව අඩි තිබ්බ ඈ මයෙත් එක්ක
කතාවට පැටළුණේ අනවසරයෙන්. ඒ මදිවට කොහ් කොහ් ගගා කහිමින්. මට දැණුනෙ නොරිස්සුමක්.
මට ඕනවෙලා තිබුණෙ මගේම දුක්බර සිතුවිලි දැලේ පැටලිලා ඔහේ පාවි පාවී යන්න. කිසිදු
ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම ඈ මගේ දැහැන බිඳ දැම්මා.
‘‘මට උණ ගැනිල උන්නේ..‘‘ කොහ්.. කොහ්.. ‘‘
ඇවිදින්නවත් පණක් නෑ..‘‘ කොහ් කොහ්...
ලොතරැයි කඩදාසි කීපයක් ඉතිරි වුණ ලෑල්ලත්
කිහිලි ගන්නගෙනම ඈ මට දුක් ගැනවිලි ඉදිරිපත් කරමින් මා එක්කම පිය මනිනවා. ඇයි
ඉතින් මේ මට ම කියන්නෙ. තව කොච්චරක් නම් සෙනග කෝච්චියෙන් බැහැල මේ මගම ගියාද? මම
හිතින් නෝක්කඩු කිව්වා. දැකල තිබුණට නිතර හිනාවක් මිසක කතාබහක් ඇති වෙලා තිබුණෙත්
නැහැ අපි අතර. ඉතින් ඇයි මේ මට ම දුක කියන්නෙ.. මම හිතින් ඇහුවා.
දුක්ගන්නාරාළ වැඩේ නවත්වන්න තීන්දුවක්
ගනිමින් මං උන්නෙ ඒ වෙද්දිත්. දුක් වේදනා අහන් ඉන්නව ඇරෙන්න දෙන්න විසඳුමක් නැති වුණාම හිත
හරියට අසරණ වෙනවා. ඒ නිසා එක එක්කෙනාගෙ දුක අහන්නෙ නැතිව ඉන්න කියල මං මට ම තරවටු
කරගත්තා. මගේම කියල දුක් වේදනා නැති නිසාද කොහෙද අනුන්ගේ දුක් වේදනා ප්‍රශ්න මගේ
කරගෙන විසඳුම් හොයමින් මං හෙම්බත් වෙලා ඉන්නෙ. දුක්ගන්නා රාජකාරියෙන් මිදෙන්න
හිතුවෙත් ඒ නිසාමයි.
‘‘උණය කියල ගෙදර ඉන්නෙ කොහොමද? ළමයින්ට කන්න
දෙන්න එපායැ. රෑට කෑම නම් හෝටලෙන් මට හම්බුනා. ඒ මිනිස්සු මට හරියට උදව් කරනවා. දවසම
ඇවිද්දම යාංතං රුපියල් දාහක් විතර හොයා ගත්තැකි. ඒක ඉතින් ත්‍රීවීල් එකකට පූජ කරල
කොහොමද? ඒ හින්දා පයින්ම යනවා..‘‘ කතාව වගේම කැස්සත් අඩු නැහැ.
ඒත් ඇයි මේ දේවල් මට ම කියන්නෙ. මං ඈ එක්ක මීට
කළින් හිනාවෙලාවත් ඇති හිතින් හිතන අතර මම ටිකක් පය ඉක්මන් කළා. මෙන්න ඇයත් ගමන ඉක්මන්
කරනවා.
‘‘බෙහෙත් ටිකක් නං ගන්න වෙයි වගේ. පණ කළඳක්
නෑ..‘‘ ආයෙමත් ඈ කියනවා.
අන්තිමේ මට පව් කියල හිතුණා. ඉතින් මං ගමන්
වේගයත් අඩාල කරලා, හදවතින්ම ඇගේ කතාවට එකතු වුණා. ආයෙම දුක්ගන්නාරාල වුණා.
‘‘මහත්තයා නැද්ද?‘‘
‘‘මනුස්සය මැරුණෙ මී උණ හැදිලා. පොඩි එකාට
මාස හතයි එතකොට.‘‘
‘‘ළමයි කී දෙනෙක් ඉන්නවද?‘‘
‘‘මට ළමයි හය දෙනෙක්..‘‘ ඈ කිව්වෙ හරිම
ආඩම්බරෙන්.
‘‘කොල්ලො පහයි. එක කෙල්ලයි. අද කාලෙ යමක්කමක් තියෙන මිනිස්සුවත් ළමයි
වැඩිපුර හදන්නෙ නෑනෙ. මම කොහොමහරි හයදෙනෙක් උස්මහත් කළා. ‘‘
මට හිතාගන්න බැරිවුණා ඒ ධෛර්යය ගැන. ආදරයත්,
ආඩම්බරයත් උණ වේදනාවෙන් වෙව්ලුම් දෙන හඬට අලුත් ජවයක් එක් කළා. අසිරිමත් ගැහැණියක්
නේද? මට ඈ ගැන ආදරය හිතුණා.
‘‘දුව බැඳලා. පුතාල තුන්දෙනෙක් තාම
ඉගෙනගන්නවා. එක පුතෙක් ශිෂ්‍යත්තෙත් පාස්. බාලයා මේ සැරේ ශිෂ්‍යත්තෙ ලියනවා..‘‘
ඇය
දරුවන් ගැන කතා කළේ අසීමිත ආදරයකින් වගේම ආඩම්බරයකින්. දෙපා ගෙවෙන තුරු ලොතරැයි
ලෑල්ලත් අරන් නගරය පුරා ඇවිදින ඇයට ඇති එකම සැනසීම දරුවන් බව ඒ හඬින් කියවුණා. ජීවිතයෙන්
කලකිරෙන්න, පැන යන්න ඕනෑ තරම් හේතු කාරණා තිබියදීත් ඇය ජීවිතය අත්නොහරිමින්,
ජීවිතය එක්ක මහත් අධිෂ්ඨානයෙන් පොරබදමින් ඉන්නවා.
‘‘මිනිස්සු මගෙ දරුවන්ට උදව් කරනවා,
ඉගෙනගන්න. අපි හොඳ නම් ලෝකය අපිට නරකක් කරන්නෙ නෑ.‘‘ ඇය මහත් විශ්වාසයෙන් කියන්නෙ.
අලෙවි කරන්නෙ ලොතරැයි වුණත් ඇය අහඹු වාසනාවට වඩා මනුස්සකමත්, ධෛර්යයත් අගයන ජීවිත
දර්ශනයක් ඇත්තියක්. පුදුමයි.
මගේ කණස්සලු හැඟීම් දියවෙලා ගිහින්.
ලොතරැයි ලෑල්ලක් අතින් දරාගත් දේව දුතිකාවක් මහමග හමුවුණා.... මිනිසුන් තුළින් දෙවියන් දකින්න පුළුවනි. අද හැන්දෑව මට දෙවියන් මුණගැසුණු හැන්දෑවක්.
So nice. Angels are us.
ReplyDeleteඅපූරැයි තරෑ. අපි නොදන්න මෙවැනි දුක් විඳින ඒත් දෛර්‍යසම්පන්න දේවදූතයෝ හා දේවදූතියෝ කෙතරම් නම් මේ ලෝකෙ ඇතිද
ReplyDeleteහරිම අපුරුයි ... දේව දුතයන්/දුතිකාවන් එන්නේ අපිට නොදැනෙන විදියට.
ReplyDeleteලස්සනයි........ මුලින්ම දැක්කාම අපිට එපවෙන අය ඇතුලේ කොච්චර වෙනස් අයද ඉන්නේ........... නියමයි............
ReplyDeleteලස්සනයි තරූ,............................
ReplyDeleteකොච්චර එපා වුනත් මටත් සතියකට සැරයක්වත් දුක් ගැනවිල්ලක් ඉදිරිපත්කරන කීප දෙනෙක් ඉන්නවා . ඒකට හේතුව වෙන්න ඇත්තේ මම සහසුද්දෙන්ම අහගෙන ඉන්න බව විශ්වාස කිරීම . කොහොම උනත් සුර දුතයෝ දුතියෝ හම්බවෙන්නේ මේ වගේ අපි නොහිතන තැන්වලදී තමයි තරූ .
ReplyDeleteඅනේ මංද මොනව කියන්නද කියල.. ඒත් ලොතරැයි විකුණන මන්ස්සයෙක්ගෙ ජීවිතේමොන කට්ටක්දපකියල නංකියන්නඕන නෑ.. ඒක මං ඇස්පනාපිටපදැකල ත්යෙයි..
ReplyDeleteසංවේදී සටහනක් තරු අක්ක
ඇස් ඇරලා බැලුවොත් යමපල්ලෝ වගේම දේව දුතයෝත් ඕනේ තරම් අපි අතරේ ඉන්නවා අක්කේ.
ReplyDeleteමම නම් ලොතරැයි ගන්නේ නැහැ.හැබැයි ලොතරැයි විකුණලා ජිවත් වෙන අසරණයෝ කොයි තරම් ඉන්නවාද?