පිටු

Tuesday, October 13, 2015

මේ කියවන මාසෙලු..


මේ කියවීමේ මාසය.

මං වගේ පොත් ගුල්ලියන්ට නම් හැම දවසක්ම කියවීමේ දවසක් වෙච්චි අලුතෙන් මාසයක් වෙන් කළයි කියල අමුතු වෙනසක් නෑ.

කියවීමේ රටාවේ පුංචි වෙනසක් කළා මං.

නිතර අත්බෑගයේ තබා ගන්නට එක් පුංචි පොතක්. පිටු 200 නොඉක්මවන. ජංගම පුස්තකාලය මගේ අත්බෑගය වන නිසා ඒවා නිතරම අබලන් වෙනවා. මේක පොකට්ටුවට අනවශ්‍ය බරක්. ෂොපින් කිරීම මට හිසරදේ හැදෙන වැඩක් නිසා නිතර බෑග් කැඩෙන එක අමතර කරදරයක්. ඒ නිසා දුම්රිය, බස්රිය ගමනට අතරමඟ වාත වෙන්නට සිදුවන තැන්වල කියවන්නට නිතරම අත්බෑගයේ තබා ගන්නා පොත පුංචි පොතක් විය යුතුයි මං තීරණය කළා.

වැඩ ඇරී නවාතැනට ගිය පසු මහන්සිය දුරලන්නට සරලව කියවිය හැකි පොතක්.

දෛනික කටයුතු සහ සප්පායමෙන් අනතුරුව සීරුවට පැයක් විතර කියවන්නට තරමක් බරසාර පොතක්.

නිතරම ඇඳ ලඟ තබා ගෙන හිතු හිතු වෙලාවට පෙරළා බලන්නට කවි පොතක් දෙකක්.

සති අන්තයේ ගමේ යන විට දුම්රිය - බස්රිය ගමනට, දරුවන්ගේ අත් අඩංගුවෙන් මිදෙන නිදහස් වෙලාවට ඒත් තරමක් බරසාර පොතක්.

‘‘ඔයා බෝඩිමේදිත් පොත් කියවනවා. ගෙදර ආවමත් පොත් කියවනවා. අපි එක්ක කතා කරන්නෙ නැද්ද?‘‘ අම්මා නෝක්කඩුවක් දැම්මෙ පහුණු ඉරිදා අම්මා චන්දු බබා නළව නළවා ඉද්දි මම ඒ ඇඳේම ඇලවෙලා ‘‘අහම්බකාරක‘‘ වල එල්ලිලා ඉද්දි.

‘‘ඊයෙ දවසම මම පොතක් අතින්වත් ඇල්ලුවෙ නෑ. අදයි මේ ඩිංගක් අතට ගත්තෙ.‘‘ ඒ නෝක්කඩුවෙ ගත යුත්තක් තිබුණත් පොත බිමින් තියන්න කම්මැලිකමට මම එහෙම කිව්වා.

‘‘ඊයෙ දවසම අක්කා පුතා එක්ක හිටියෙ. පොත් කියවන්න ලැබුණෙ නෑ.‘‘ නංගිත් මං පැත්තට සාක්ෂි. ඉතින් මං අහම්බකාරක ඉවර කරලමයි නතර වුණේ.

..........

හිතු හිතු හැටියට නවකතා, පරිවර්තන කියවීම නවතා දැමුවා. යම් තෝරාගැනීමක් ඇතිව කියවන්න උත්සාහ ගන්නවා. විශේෂයෙන්ම විවිධ විෂය ධාරාවන්ට අයිති පොත්, කෙටි කතා, කවි කියවන්න වැඩි අවධානයක් දෙන්න  බලාපොරොත්තු වෙනවා.  

පොත් ගැන ලිවීම අඩු කරන්න ඕනි. ඒක තරමක් භයානක වගේම අමතර කරදරකාරී වැඩක්. හිත් ගන්නා පොත් ගැන කෙටි සටහන් ලියවේවි. ඒත් ඒක අනිවාර්යයෙන් සිදුවේවි කියන්න අමාරුයි.  

පොත් කතන්දර නිසා චිත්‍රපට බැලීම නැවතුණා. ඒක ආයෙම පටන්ගන්න ඕනි. සතියට එක චිත්‍රපටයක්වත්.


ඔන්න ඔහොමයි පොත් ගැන කතා. කෙනෙකුට හිතෙන්න පුලුවනි, පොත් ඇරෙන්න වෙන වැඩක් නැතුව වගේ කියලත්. ඇත්තටම ඉතින් එහෙම තමයි. 

34 comments:

  1. ගොඩක් වෙලාවට මගේ අත් බෑගයෙත් පොතක් තියෙනවා... ඔය කිව්ව ගැටලුම මටත් තියෙන නිසා මාත් දැන් තීරනය කලා ඒ පොත පොඩි පොතක් වෙන්න ඕනේ කියලා ...

    ReplyDelete
    Replies
    1. දුම්රිය බස්රිය ගමනෙදි පොත් කියවන්න පුලුවන් එක වාසනාවක්... පුංචි පොත් කිහිපයක්ම මේ දින ටිකේ කියවන්න ලැබුණා.

      කර්නල් සහ එරෙන්දිරා - මාකේස්
      මුහුදු සේලරුවෙකුගේ කතාව - මාකේස්
      සංස්කාර - යූ.ආර්. අනන්තමූර්ති

      මේ දවස්වල තියෙන්නෙ මාණික්කාවත

      Delete
  2. ඒහෙම ඒකක් නැහැ තරු............ මේ විස්තර වැදගත්

    ReplyDelete
    Replies
    1. ඒකත් අපුරුයි...

      හිත සැහැල්ලු වෙන්නත් එක්ක මම මේ සටහන ලිව්වෙ.

      Delete
  3. මමත් ගිය ඉරිදා "පොත් කියව කියවා ඉඳලා හරියයි" කියලා ඇනුම්පද කීපයක් කන පුරෝලා අහගත්තා.

    අපේ පවුලෙ අයනම් මගේ පොත්මේනියාව දන්න නිසා දැන් මුකුත් කියන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අම්මල බලන් ඉන්නෙ ගමේ ආවම කතා කරන්න. මම ඉතින් එයාගෙ ඇස් ඉස්සරහ පොතක් දිගෑරගත්තම අවුල්නෙ.... මගේ පොත් පිස්සුව ගැන නම් එයාලත් දන්නවා. කවදාවත් ඒකට මොනවත් කියල නම් නැහැ.

      මම ඉතින් දැන් මුනිවතට හුරු වෙලා කතාවට වැඩි මනාපයක් නැති වෙලාද මන්දා..

      Delete
  4. නෑ නේද ඒ මාසේ මාරුවුනා නේ

    ReplyDelete
    Replies
    1. මාරු වුණා...? මං දන්නෙ නැහැනෙ..

      Delete
  5. මේ ෆේස්බුක් අටමගලක් හංදා කියවන්න තියෙන කාලෙත් ඒකට යනවා. චිත්‍රපට බැලිල්ලටත් ඒ සංගදියම වෙලා....ලංකාවට ගිහිං ඇවිල්ල ඔය දෙකම පටං ගන්න ඕනෙ. අතරමගදි හරි ඔෆිස් එකේ ලැබෙන විරාමෙකදි ඇරෙන්න නවාතැනේදි ෆේස්බුක් යන එක නවතන එක තමයි විසඳුම.

    ReplyDelete
    Replies
    1. නොකී කතා කියන කතාවෙ ඇත්තක් තියෙනව. මේ ක්‍රමේ අත්හදා බලන්න ඕනෙ. ගෙනාපු පොත් නොකියවාම ගොඩ ගැහෙනව වැඩියි.

      Delete
    2. මූණුපොත පාවිච්චිය සීමා කළා.. ඒක හැම අතින්ම හොඳයි.

      Delete
  6. කොයි දේට අණත් ඇබ්බැහි උනොත් ඒක කරදරයක් වෙනවා. ඒත් ඉතිං කෝච්චර පොත් කියෙව්වත් නරක් වෙන්නෑනේ............

    ReplyDelete
    Replies
    1. පොත් ඇබ්බැහිය වඩාත් නරකට හිටින්නෙ පවුල් පංසල් වුණ අයට. දෙන්නම පොත් ගුල්ලො නම් ටිකක් විතර ෂේප්.

      Delete
    2. එහෙනම් මටත් ඉදිරියේදී මේක නරකට හිටින්න පුළුවන්...:)

      Delete
    3. ප්‍රශ්නයක් වෙන එකක් නැහැ ඔයාට නම් නංගි බොහොම නිහඬ කෙනෙක්නේ... කසාද බැන්දෙ පොත් ද, මාව ද කියල අහන එකක් නැහැ.

      Delete
  7. ලියන්න ගියාම පොත් කියවීම අඩු වෙනවා.

    නවකතා හත අටක් ලියපු මිතුරෙකු මා සමග කීවා කියවීම හරිම අඩුවුණු බව. මට නම් පෙනුනේ ඔහු ඩබ්ලිව් ඒ ද සිලාවාලා ගේ කාළෙන් පස්සේ පොත් කියවා නැතඑි බවයි!

    ReplyDelete
    Replies
    1. කියවීමෙන් තොරව ලියන්නෙ කොහොමද කියන එක නම් හිතාගන්න අමාරුයි... එහෙම ලියන පොත් මොන වගේද කියල හිතාගන්න තිබුණා අයියෙ ඔය ලේඛකයගෙ නම ඉන්බොක්ස් කළා නම්..

      Delete
  8. පොත් කියන්නේ කවුද?

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. පොත් කියන්නෙ මැජික් යෂ්ටි...

      Delete
  9. //"පොත් ගැන ලිවීම අඩු කරන්න ඕනි."// ඔට්ටුයි ඔයාට මේකනම් කරන බැරුවට ,

    මම ඔන්න තරු ඇස් රහස් කියවලා ඉවර කළා

    ReplyDelete
    Replies
    1. මම දැන් සෑහෙන්න අඩුකරල තියෙන්නෙ... මේ අවුරුද්ද මුල ඉඳන් සෑහෙන පොත් ප්‍රමාණයක් කියෙව්වා, නමුත් ලියවුණේ කීපයක් ගැන විතරයි.. කාලයත් ප්‍රශ්නයක් තමයි මල්ලි..

      තරු ඇස් රහස් කොහොමද කියල මට කියන්න.

      Delete
  10. කියවන විට අහන්න ලැබෙන ඇනුම් පද බොහෝ විට පොදු යි. විශේෂයෙන් කුටුම්හ සංරක්ෂණයේ යෙදෙන අයට තරමක් වැඩියි.
    කියැවීමයි ලිවීමයි තුලනය කිරීමත් තරමක් අපහසුයි. නිර්මාණාවේශයේදී ඒ අතරට වෙනත් ම ස්වරූපයක නිර්මාණයක් කියැවීම නිස්සාර වෙන්න පුළුවන්. නිදසුනක් හැටියට ඉතිහාස නවකතාවක් ලියන කෙනෙක්, විද්‍යා ප්‍රබන්ධයක් කියවීම වගේ දෙයක්.

    අනිත් කාරණය තමා වටපිටාවෙන් ඉගෙන ගන්න තියෙන වෙලාවේත් පොත් කියැවීම.

    ReplyDelete
    Replies
    1. තනිකඩ ජීවිතේ එක වාසියක්.. හිතෙන ඕනෑම වෙලාවක පොතක් අතට ගැනීමේ නිදහස...

      කුටුම්භය වෙනුවෙන් පොත් කැපකරන්න වෙන එක ගැනත් දුක් වෙන්න හොඳ නෑ.. හෙමිහිට ඒ නිදහස හොයා පහදාගන්න හැකි වේවි...

      පොත්වලට යටවෙලා වටපිටාවෙන් ඉගෙනගන්න එක මගහරින එක නම් මගෙත් නරක පුරුද්දක්.

      Delete
  11. හපොයි කොච්චර පොත් වලට කැමතිවුනත් මට නම් ඔහොම කරන්න බෑ. අනික ඔහොම තිස්ස දෙවේලෙ පොතේම ඇලිල ඉන්ට ගියොත් පියාඹන පොත් ( Flying books ) පියවි ඇසින් දැකබලා ගැනීමේ භාග්‍යය එහෙමත් උදාවෙන්ට පුලුවනි...:)

    ReplyDelete
    Replies
    1. ඒක එහෙමයි කියල ඉතින් පොත් පිස්සුව නැති වෙලත් නැහැනෙ..

      පියාඹන පොත් අවම වන සුබ කියවීමේ මාසයක් වේවා...

      Delete
  12. මාත් (කොළඹ ඉද්දි) තනිකඩ නිසා අවුලක් නෑ හිටු කියල පොත් කියෝනව.. :) කොහොමත් මං ලියන්ට වඩා කියවන්ට මනාපයි.. :) මානික්කාවත ගැන මොකද හිතෙන්නේ? මට නම් හිතෙන්නෙම 'සෙන්කොට්ටන්' මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ට අසාධාරනයක් කරා කියල.. ගොට් මයි පොයින්ට්?

    ReplyDelete
    Replies
    1. මාණික්කාවත තාමත් කියවනවා. හවස කෝච්චියෙ ගත කරන වෙලාවනෙ ඒ පොතට දෙන්නෙ. මට ඒකෙ අපූරු බවක් දැනෙන්නෙ නැහැ. භාෂාව හරිම ලස්සනට පාවිච්චි කරනවා. නමුත් මේ වගේ කතා තවත් කියවල තියෙනව නේද කියල හිතෙනවා...

      මහින්ද මං ඉතාම කැමති කවියෙක්. ඒත් සෙංකොට්ටං නවකතාව මට ගොඩාක් සුවිශේෂව දැණුනෙ නැහැ. ඒ නිසා මාණික්කාවත සෙංකොට්ටං එක්ක සසඳන්න අමාරුයි.

      අහම්බකාරක වුණත් කියවද්දි එහෙම දැණුනා. ලංකාවෙ දේශපාලන වෙනස්වීම්, සමාජ වෙනස්වීම් ගැන ගොඩක් නවකතා කියවල තියෙන නිසා ඒකත් ලොකු විශේෂත්වයක් දැණුනෙ නැහැ. නමුත් වැඩවසම් සමාජයේ ඉඳල, අන්තවාදී වර්ගවාදී දේශපාලන සමාජ මඩගොහොරු ඔස්සේ වීශ්වීය මනුෂ්‍යත්වයක් කරා ගෙනියන ඒ තේමාව හොඳයි.

      Delete
    2. කියවල ඉවර වෙන්නකෝ.. මානික්කාවත ගැන ඊට පස්සේ කතා කරමු. අහම්බකාරක කියවලා නෑනේ :/

      Delete
  13. මම නම් සාමාන්‍යයෙන් එක පොතකට පස්සේ තමයි තව එකකට යන්නේ.මේ දවස් වල "කොලරා කාලේ ආලේ". "තරු ඇස් රහස්"එහෙම් මෙහෙන් බැලුවා මිසක් තාමත් හරියකට කියවන්න බැරි වුනානේ.

    මම නම් කියවන්න පුළුවන් ඕනේ එකක් කියවනවා.වර්ගිකරණයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. දැන් කාලයත් එක්ක කරන සටන නිසා වර්ගීකරණයක් කරගන්න සිද්දවෙනවා මල්ලි. අනික සිංහල නවකතා වගේම, පරිවර්තන ඒකාකාරී ගතියක් දැනෙනවා. ඒ නිසා වෙනස් විදියක පොතකට කාලය වෙන් කරන එක වටිනවා කියල හිතෙනවා..

      Delete
  14. අහුවෙන ඕන එකක් කියවනව. ඒත් එහෙම වෙන්නෙ කියවන්න එකක් නැතිම වුණාම.
    බස් වලදි ට්‍රේන් එකේදි කවදාවත් පොතක් කියවන්න බෑ. ට්‍රයි කලා හරිගියෙ නෑ. ඔළුව කැක්කුම එනව. ඊට පස්සෙ දවසම හබක්. නිදහසේ කියවනව. සතියට එකයි උපරිම. මොකද බ්ලොග් ලිවීම නැතත් කියවීම නිසා. අනික පොත් කියවල කතා අහගන්න බෑ අප්ප. හැක්.
    තෝ ඕකෙම එල්ලිලා හිටු
    පොත්ම කාහංකො ඉවරනෙ.
    යකෝ එළියට පහලියට බැහැල වැඩක් පලක් කරකො
    හැක්

    ReplyDelete
  15. කියවන්න වෙලාවක් තියෙන එකත් වාසනාවක් .

    ReplyDelete
  16. ඉස්සර නම් මමත් පිස්සු හැදිලා වගේ පොත් කියෙව්වා. දැන් නම් කියවන්නේ දුර ගමනක් යනකොටත්, නිදන්ට ඇඳට යනකොටත් විතරයි.

    ReplyDelete
  17. හ්ම්ම් ඉරිසියාවේ බෑ අප්පා මේක කියෙව්වම ........

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...