පිටු

Thursday, March 10, 2016

නොනිමි ජීවිත කතාවක්...





ඒ 2005 වසරේ බක් මාසය. ළක්‍රිවී ( ළමා ක්‍රියාකාරී වීරයෝ ) වාර්ෂික අනුශාසක සම්මේලනයේ ගී රස වින්දන වැඩසටහන සඳහා ඇරයුම් කර තිබුණේ කුමාරදාස සපුතන්ත්‍රී ට. ඔහු ගේ ගීත වැඩි සංඛ්‍යාවක් ගායනා කළ ප්‍රවීණ ගායකයකුට ගී ගැයුම් සඳහා ඇරයුම් කළත්, අවුරුදු සමයේ වැඩිපුර මුදලක් හරිහම්බ කර ගැනීමට ඇති බැවින් පැමිණීම අපහසු බව කියා තිබුණා. අපි බොහොම දුප්පත් විදියට වැඩ කරගෙන ගිය ළමා සංවිධානයක්. විශාල මුදලක් ගෙවීමේ හැකියාවක් තිබුණෙ නැහැ. අවසන සපූ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සමඟ අප වෙනුවෙන් මග්ගොන ළමා නිවාසයට පැමිණියේ කිසිදු අයකිරීමකින් තොරවම. 

( මේ අතුරු කතාවක්.... සෑම වසරකම සම්මේලනයේ දී ළමුන් කැටුව යන අනුශාසකවරුන් වෙනුවෙන් අපි ගී පොත් පිංචක් තිළිණ කරනවා. අප ළමා ව්‍යාපාරයේ ගීත, ළමා ගීත, ජීවිතය අරුත් ගන්වන ගීත, විනෝදාත්මක ගීත ආදී වශයෙන් ඒ පොත් පිංච හරවත්, රසවත් ගීතයන්ගෙන් පුරවන්නට ගී තිළිණය ලබා දීම ආරම්භ වූ 1999 වසරේ සිට ම බොහෝ දෙනෙක් අපමණ වෙහෙසක් දැරූවා. 

2002, 2003 වසරවල ගීත තේරීමෙන් සහ චිත්‍ර ඇඳීමෙන් එයට සහය වූ මම 2004 සිට 2011 දක්වා එහි සම්පූර්ණ වගකීම භාරගෙන කටයුතු කළා. ගීත තේරීම, චිත්‍ර ඇඳීම, පිටු සැකසීම මාතින් සිදු වූ ප්‍රමුඛ කාර්යයන්.  මුල් කාලයේ රෝනියෝ කිරීමටත්, පසුකලෙක ඩුප්ලෝ කිරීමටත් රෑ නිදිවරමින් ළක්‍රිවී කාර්යාලයේ ගත කළ කාලය සැබවින්ම සුන්දර මතකයක්...)


2005 වසරේ ගීත පොත සකස් කරද්දි සමීර අයියාගෙන් මල් වරුසා කැසට් පටය මවෙත ලැබුණා. එහි දීපිකාගේ ගීතවලට මා වශී වුණ තරම්!!!!  එවර ගීත පොතේ මල් වරුසා කැසට් පටයෙන් පොන්ත නෝනගෙ කොණ්ඩේ, විකසිත හසරැළි ගීත ලැගුම් ගත්තා. ගී පොතේ පසුකවරය සැකසුණේ කාගෙ නෙතකට ගී ලියන්නද ගීතයෙන්.

ඒ වන විටත් සම්මේලනයේ ගී රස වින්දන වැඩසටහනට දීපිකා සම්බන්ධ කරගැනීම සම්බන්ධව අදහසක් හෝ මතු වී තිබුණෙ නැහැ. ඇය පැමිණීම අහම්බයක්. එය සුන්දර අහම්බයක්. සපුගේ කතා බහත්, දීපිකාගේ ගැයුමත් රස විඳ අවසානයේ තේ පැන් සංග්‍රහය අතරතුර දීපිකා කියූ දෑ තවම මතකයි...

‘‘අහම්බෙන් වුණත් මේ වැඩේට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. මං පුදුම වුණා ගීත පොත දැක්කම. ඇත්තටම මගේ මල්වරුසා කැසට්පටයෙ වටිනාම සින්දුව සුනිල් මාධව ලියපු ‘කාගෙ නෙතකට ගී කියන්නද‘. ඒත් ඒ ගැන මාධ්‍යවලවත්, සමාජයේවත් අවධානයක් යොමු වුණේ නැහැ. ඔයාල ඒ ගීතයේ වටිනාකම තේරුම් අරන් තියෙන එක ගැන මට සතුටුයි..‘‘
  
කාගෙ නෙතකට ගී ලියන්නද
කාගෙ සවනට ගී කියන්නද
මේ මහා දෙරණේ
අහෝ මිනිසුන් අන්ධවී ඇත

නැතිව පිළිසරණේ

මගේ ගීතය තබා එන්නෙමි
නාඳුනන සොහොයුරන් සිරවූ
අඳුරු සිර කුටියේ
හැඟුම් යටකළ පවුරු අබියස
යකඩ දොර අතරේ


මගේ ගීතය – තබා එන්නෙමි
වට රවුම් මැද – මල් උයන් ළඟ
සාපලත් නගරේ
නිරාහාරව වැතිර සිටින
දිළින්දන් අතරේ


මගේ ගීතය තබා එන්නෙමි

දුප්පතුන් වෙනුවෙන්ම දිවිදුන්
සොහොයුරන් සිරසේ
සැබෑ මිනිසුන් සදා වැතිරෙන
සොහොන් කොත් අතරේ


ගායනය – දීපිකා ප‍්‍රියදර්ශනී
ගේය පද- සුනිල් මාධව පෙ‍්‍ර්මතිලක
සංගීත නිර්මාණ - රෝහණ වීරසිංහ



පීටර් අයියාගේ කැමරා ඇස 2016.03.10

මේ අතීත කතාව මතකයට නැගුණේ අද සුනිල් මාධව ප්‍රේමතිලක වෙනුවෙන් පැවති උපහාර උත්සවයෙදි ඒ ගීතය ගැනත් කියවුණු නිසා. එවන් වූ උපහාර උළෙලක් සංවිධානය කරන්නට වෙහෙස මහන්සි වූ සැමට ස්තුතියි කළ යුතු යි. පසුකාලීනව ඔහු දැරූ මතවාද, ලියූ කියූ දේවල් සම්බන්ධව වාද විවාද තිබුණත් පුවත්පත් කලාවටත්, සාහිත්‍යයටත්, සමාජයටත් සුනිල් මාධවයන් සිදුකළ සේවය අපි කෘතවේදීත්වයෙන් සිහිපත් කිරීම, අගය කිරීම වැදගත්. 

සුනිල් මාධව මට දැණුන මිනිසෙක් වුණේ මුලින්ම පත්තර පිටුවල හමු වූ ලිපිවලින්, සත්‍යවාදියකුගේ දින පොත තුළින්. පසුව හඬනු මැන නිදහස, මිනිසෙක්, සැබෑ කවියෙකුගේ කතාව, අන්ධකාරයේ දරුවා (කැරොලිනාගේ දින පොත) ඔහුගේ සාහිත්‍ය මෙහෙවර තුළින්.

මහජන පුස්තකාල ශාලාව පිරී පිටාර ගලන්නට නන් දෙසින් පැමිණ සිටි සහෘදයන් ඔහුගේ මනුෂ්‍යත්වය සහ දීර්ඝකාලීන පුවත්පත් කලාවේ මෙහෙවර වෙනුවෙන් නිහඬ සාක්ෂියක් වුණා. 

............

තවත් හරි අපූරු කතාවක් තියෙනවා. 2005 වසරේ සුනිල් මාධව ලියූ ගීතය රැගත් ගී පොත මුද්‍රණය කර දුන්නෙ බර්නි අයියා. ( ඩෙවොන් ගල්හේන )  කිසිදු අයකිරීමකින් තොරව. ළක්‍රිවියට දෙන තෑග්ගක් විදියට. පුවත්පත් කලාවට සුනිල් මාධව අපූර්ව සොඳුරු මනුෂ්‍යයකු වන්නේ යම් සේ ද, ළක්‍රිවියට බර්නි අයියාත් එවැනිම අපූරු සහෝදරයෙක්. මඟ පෙන්වන්නෙක්. තම යෞවනය, තාරුණ්‍යය ඔහු කැප කළේම ළක්‍රිවිය හරහා ළමුන් සහ අප වැනි යොවුන් ජීවිත ගොඩනගන්නට..

ඉතින් එදා ඒ ගී පොත නොමිලයේම මුද්‍රණය කර දුන් බර්නි අයියා මෙදා සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ ‘‘නොනිමි ජීවිත කතාව‘‘ පොතත් කිසිදු ලාභයක් තබා නොගෙනම ඉතා කෙටි කලකින් මුද්‍රණය කරදුන්නා. ( මල්ටි කෙයා ප්‍රින්ටර්ස් )



මේව හරිම දෛවෝපගත සිදුවීම් කියලයි මට හිතෙන්නේ....

15 comments:

  1. මේ ගීතය මීට කලින් ඔලුවට වැටිලා තිබ්බේ නෑ... සමහර සිංදු තියනවා පද රචනය කියෙව්වට පස්සේ තමයි ඒවගෙ විශේෂත්වය වැටහෙන්නේ.

    තරූගෙ කැපවීම නම් හරිම අගෙයි... ඔය පොත් හැදීම නම් මටත් අදාලයි...

    මට පොඩ්ඩක් වගේ හිතාගන්න පුළුවන් කවුද ගායකයා කියලා... දීපිකාගෙ ගීතය ලිව්ව කෙනාටයි, මෙයාටයි තියෙන්නේ එකම මුල් නම ද?

    ReplyDelete
    Replies
    1. නැහැ තිසර ඒ එයා නෙවි.. එයා කළින්ම කියල තිබුණ වෙන වැඩක් තියෙන නිසා එන්න වෙන්නෙ නැහැ කියල. මේ ඊළඟ එක්කෙනා..

      Delete
  2. තරූ කතාව මැද්දෙ ඇඩ් දැම්ම ම, මිනිස්සු බලන්නේ ඇඩ් එක දිහා.

    ReplyDelete
    Replies
    1. ඇත්තට... ඉරිසියාකාරයා...

      Delete
  3. කාගේ නෙතකට ගී කියන්නද සිංදුවට මම හරිම ආසයි .මේ වගේ වැඩ වලදී තරු අක්කගේ කැපවීම ඉහලයි , ඔබට පිං

    ReplyDelete
    Replies
    1. මට ම ජීවිතයක් තියෙනවද කියලත් අමතක වෙන තරමට කැපවුණ කාලයක් තිබුණා. දැන් නම් වැඩවලින් තරමක් ඈත් වෙලා බොහොම නිස්කලංකව ඉන්නවා...

      Delete
  4. තරු අක්ක වැඩේකට බැස්සොත් ඉතිං අහන්ට දෙයක් ඇතෑ.. සිංදු පොත් ටික ගාණට මිම්මට තියෙන්ට ඇති.
    මල්ටි කියන්නෙ අර පිට කොටුවෙ තියෙන එක නේද.. මං හිතන්නෙ අඩු පිරිවැයකින් වැඩිම ආදායමක් හොයන ආයතයක්
    වැඩේ කරන්නෙ කොහොමද කියල දන්නව...
    ජයවේවා තරු අක්කේ

    ReplyDelete
    Replies
    1. මේ මල්ටි කෙයා තියෙන්නෙ වත්තල මල්ලි... මේ මල්ටි කෙයා නම් ලාබයට වඩා සේවය වටිනවා කියලයි හිතන්නේ...

      Delete
    2. ඔහ් එහෙමද... එහෙත් එකක් තියේද. කවුදනේන්‍ෙ
      මං එහෙම දෙයක් අදහස් කළේ නෑ එයාළගෙ මාකටින් වල හොද කියන්න විතරයි ඕන වුනේ...

      Delete
  5. මම දන්න සංගීතයක් නැහැ තරුරසි. නමුත් මට හිතෙන්නේ ගීතය ජනප්‍රිය නොවීමටත් අවධානය අඩුවීමටත් හේතුව සංගීතයද කියල. කේමදාස වගේ කෙනෙක් තමයි මේ වගේ ගීතයකට සංගීතයට නියම! අනේ මන්ද මේ මට හිතෙන හැටි.

    පදරචනාව නම් ඉස්තරම්. ගායනයත් නියමයි. මට හිතුනෙම මෙලඩි එක හරි යන්නේ ශෝකී ප්‍රේම ගීතයකට කියලයි.

    ඔබේ කැපවීම අගයකලයුතියි.

    'ඔබ කොහොඹ ගස් ගැන නොතැවී, දිගටම මී අඹ වවන්න....'

    ගොඩක් පොත් පරිශීලනය කරපු කෙනෙක් විදියට මෙහි අවස්ථා සම්බන්ධය දන්නවත් ඇතිනේ. මේ මගේ හිතේ කෙටුනු අදහසක්. මම මියගියත් එය හදවතේ සටහන්ව තියෙන වැකියක් වගේ.

    ReplyDelete
  6. මේ ගිතයනම් අසා නෑ.

    ReplyDelete
  7. ඇවිත් උන්නද.. මං එන්න ලෑස්ති වෙලා සුනිල් අංකල්ගේ කකුල් දෙක අල්ලලා වැඳලා ආවෙ.ජීවිත කාලය පුරා තම අරමුණ වෙනුවෙන් පෙනී සිටිය,දයාබර මිනිසෙක්..

    ReplyDelete
  8. ඊයෙ එන්නම උන්නේ.. නවලින් එනකොට රෑ වුනා.. :(

    ReplyDelete
  9. මනුස්සයෙක් ජීවත්ව ඉද්දි ලැබෙන උපහාරය මැරුණට පසුව ලැබෙන උපහාරයට වඩා හුඟක් වටිනාකමෙන් වැඩියි.. ඒ වාසනාව හිමිවෙච්චි මිනිස්සු හුඟ දෙනෙක් අපේ ලංකාවේ පොළොවේ නැහැ. ඒ අතින් සුනිල් මාදව හරිම වාසනාවන්තයි..

    එක්දහස් නවසිය අනූ හත අවුරුද්දේ අපේ බෑන්ඩ් එක හික්කඩුවේ වෙඩින් එකක් ප්ලේ කරා.. එදා කව්දෝ මනුස්සයෙක් ඇවිත් අපෙන් ඉල්ලුව නදීශානි සින්දුව කියන්න පුලුවනිද කියල.. අපි ඒ සින්දුව බලල තිබ්බේ නැහැ.. ඒ හින්ද අපේ සංගීත කණ්ඩායමේ නායක තුමා ඒ මනුස්සයව මා ලඟට එව්වා මගෙන් අහන්න කියල මොකද මං තමා කී බෝර්ඩ් ප්ලේ කරේ .. මම කිව්වා සින්දුව බලල නැහැ පුළුවන් විදිහකට ගහන්නම් කියල.. අපි ප්‍රැක්ටිස් කරලා නැති උනත් අපි සින්දුව උපරිම සාර්ථකව ප්ලේ කරා.. පස්සේ අර කලින් ආපු මනුස්සය මා ලඟට ඇවිත් මට අතට අත දීල ස්තුති කරලා කිව්වා හරිම ලස්සනට ප්ලේ කරා බොහොම ස්තුතියි මම තමයි ඒ සින්දුව ලියපු කුමාරදාස සපුතන්ත්‍රී කියල..:).. බොහොම සරල මනුස්සයෙක්..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...