පිටු

Thursday, April 11, 2013

සිහින දැකපු පාප් වහන්සේ






දේව ධර්මාචාර්ය ජේසු නිකායික ගරු ඇලොයි පීරිස් පියතුමා විසින් ඉංග්‍රීසි බසින් ලියා ඇති   Fr. Frank's Confessions ( Seven Days from His Diary ) කෘතිය එළිදැක්වීම 2013 මාර්තු මස 25 වන සඳුදා සවස 3.00 මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවැත්වුණා.. 

සීමිත පිරිසක් සහභාගිව සිටියේ... සුපුරුදු නිම් නොවන හසරැල්ල සමග සිනා මවන ඇලොයි පියතුමාගේ ළගන්නා කතා බහ නිසා උත්සව ශාලාවේ හිස් බවත් මැකී ගියා... පිළිගැනීමේ කතාව කළේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, නීතිඥ  ගරු අශෝක් ස්ටීවන් පියතුමා... උත්සව සභාව මෙහෙයවුවේ තාර්සියස් ප්‍රනාන්දු මහතා...

මේ කෘතිය ලිවීම ඇරඹිලා තිබුණෙ 2011 වසරෙදි. ඇලොයි පියතුමා සිහින දකින ශුද්ධෝත්තම පියතුමෙක් ගැනයි කෘතියේ කියවෙන්නෙ. කෘතියට පසුබිම් වුණු අතීත සිද්ධි පියතුමා විස්තර කළේ හිනැහෙමින්.. ඒ බොහෝ කාරණා වතිකානුවට, රෝමයේදී දේවධර්මය සම්බන්ධව කළ දේශනවලට, එහිදී මතු වූ ගැටලුවලට සම්බන්ධයි... කතාව අවසානයේ පියතුමා මේ විදියට කිව්වෙ සැනසිලිදායක හඬකින්...

'' මට සතුටුයි.. මගේ ඇස් පියවෙන්න කලින් සභාවේ නව ගමන දකින්න හැකි වීම ගැන... මගේ පාප් වහන්සේ .... මං සිහින දැකපු පාප් වහන්සේ තමයි මේ ඉන්නේ...'' 

ගරු ඇලොයි පියතුමා


අනතුරුව පැවති විවෘත සංවාදයේ දී මතු වු කරුණු කිහිපයක් ‍මේ...

නව පාප්තුමාගේ පත්වීමත් එක්ක මේ ඇති වෙන වෙනස්කම්වලට 
 වතිකානු‍වේ රාජ්‍ය දෙපාර්තමේන්තු ඉඩ දෙයිද? පළමුවෙනි ජුවාම් පාවුළු පාප්තුමාට වුණ දේ වෙයිද?
 
'' දරිද්‍රයන්ට ළං වීම, අල්පේච්ඡතාව ඉතාම හොද ප්‍රගතිශීලී ලක්ෂණ... නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ සභා නවෝදයකට... අපෝස්තලික තානාපති සේවයට කෝටි ගණන් වියදම් කරනවා.. වතිකානුව තුළ වගේම ඉන් පිටතත් බොහෝ සභා නායකයින් ගත කරන්නෙ සුඛෝපභෝගී ජීවිත... අන්ත දිළිඳු මනුස්සයගෙ ඉදන් සභාවට එකතුවෙන සල්ලිවලින් මෙවැනි ජීවිත ගත කිරීම කොයි තරම් සාධාරණද? වතිකානුව ඇතුළත සිදු වෙන දූෂණ, වංචා නවත්වන එක ලේසි නැහැ. ඒවාට අරක් ගත් අය ඉන්නවා.. ඔවුන් ඉවත් කිරීම පහසු නැහැ... 
 
වෙනසක් අවශ්‍යයි... නමුත් පැහැදිලි දැක්මක් ඇතිව.. ඉක්මන් නොවී වෙනස්කම් කළ යුතුයි... 

පළමුවෙනි ජුවාම් පාවුළු පාප්තුමත් වෙනසක් බලාපොරොත්තුවෙන් වැඩ කළ කෙනෙක්.. නමුත් එතුමා නිදි පැදුරේම මරණයට පත් වෙලා තිබුණා. එය හෘදයාබාධයක් කියල කිව්වත්, ඒ මරණය අභිරහසක්... අළුත් පාප්තුමාට ජීවිත අවදානමක් ඇති‍වෙන්න පුළුවන්. එවැනි දෙයක් නොවේවා කියල අපි ප්‍රාර්ථනා කරමු.. යාච්ඤා කරමු. 

සභාවට වෙනසක් අත්‍යවශ්‍යයි. අපි සුබවාදීව වෙනස්කමක් බලාපොරොත්තු වෙමු.. 

නව පාප්තුමා විමුක්ති දේව ධර්මයට එතරම් කැමැත්තක් නැහැ නේද?

විමුක්ති දේව ධර්මය කියන්නෙ මාක්ස්වාදය නෙවෙයි. මාක්ස්වාදයටත් ‍පෙරයි බයිබලය තුළ විමුක්තිය ගැන කතා කරන්නෙ.... විප්ලවය, අරගලය කියන වචන එක්ක අවි ගැනීම, හිංසාව මතක් වෙනවා... විමුක්ති දේව ධර්මය ගැන පාප්තුමාගේ අපැහැදීම මේ අදහස් එක්ක ගොඩනැගුණ දෙයක් වෙන්න ඕන... එය නිවැරදි විය යුතුයි. 

දුප්පතුන්ගේ විමුක්තිය ගැන හිතනවනම් අල්පේච්ඡතාව විතරක් මදි... දුප්පතුන්ගේ විමුක්තිය වෙනුවෙන් වැඩ කරන්න ඕන... 

බයිබලීය විමුක්ති දේව ධර්මය උගත් අය අද ලංකාවෙ නැහැ. ගිහි අයටත් මේ දැනුම දෙන්න ඕන.. බයිබල් අධ්‍යයනයට අවස්ථා හදල දෙන්න ඕන.... එවිටයි සභාව වැරදි මග යද්දි ජනතාව‍ට ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්නෙ... 

සභාව කියන්නෙ ජනතාව.. අපි ජනතාවට වග කියන්න ඕන. ඒ බව අළුත් පාප්තුමා තේරුම් අරන් තියන බව පේනවා.. ඒ හින්දයි මුලින්ම ජනතාවට කිව්වෙ තමන්ට ආශිර්වාද කරන්න කියල.. තමන් වෙනුවෙන් යාච්ඤා කරන්න කියල.... 

මේ අතර සභාව සිනා ගැන්වුණ ප්‍රශ්නයක් පියතුමාට යොමු වුණා...

උපත්පාලනය, ගබ්සාව, සමලිංගිකත්වය.. මේ කාරණා ගැන ෆාදගේ පාප් වහන්සේ මොනවද හිතන්නෙ?

අපි හොයා ගන්න ඕන බයිබලය තුළින් මේ වගේ ප්‍රශ්නයක් දිහා ජේසු බලන්නෙ කොහොමද කියල. ඒ ප්‍රේමයේ දෑසිනුයි අපිත් බලන්න ඕන. ජේසු හැම වෙලේම නීතියට වඩා මනුෂ්‍යත්වය, ප්‍රේමය උත්තරීතරයි කියන තැන ඉදලයි වැඩ කළේ...
සභාවෙන් නැගුණ අදහසක්...

'' අවජාතක දරුවෙකුව පිළිගන්න සමාජය සූදානම්ද? පියෙකු නැති දරුගැබක් එක්ක අසරණ වන ගැහැණියකට සමාජය තුළ රැකවරණයක් තියෙනවද?  අවජාතක දරුවෙකුට කතෝලික ඉස්කෝලෙකට යන්න පුළුවන්ද? සමාජයේ ඔලුව කෙළින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන්ද? එහෙමනම් අපි කොහොමද ගබ්සාව එපා කියන්නෙ... 

සමලිංගිකත්වයට යොමු වීම මානසික වගේම ජීව විද්‍යාත්මක හේතු නිසා ඇති වන තත්ත්වයක්.. සමහර විට තමන්ට එයින් මිදෙන්න අවශ්‍ය වුණත් මේ වගේ ඇබ්බැහිවීම්වලින් මිදෙන්න අමාරුයි... ඒක වරදක් කියල කියන්න අපිට තියෙන අයිතිය මොකක්ද?  ''
පියතුමා ඒ ගැන බෙදා ගත් අදහස්... 

වෙන රටවල අවජාතක ළමයි කියල කොටසක් නැහැ. '' I am single parent child " දරුවෙකුට බය නැතිව එහෙම කියන්න පුළුවන්.. නමුත් අපේ රටවල එහෙම නැහැ. ඒ නිසා කාන්තාව ‍ලිංගික භාණ්ඩයක් කර ගැනීම වළක්වන්න ඕන... කාන්තාවන්ට ලිංගික අධ්‍යාපනය ලැබෙන්න ඕන. අනවශ්‍ය දරු ගැබක් ඇති වෙන්න කළින් එය වළක්වා ගන්න විදිය තරුණියන්, යුවතියන් දැනුවත්ව ඉන්න ඕන.. අද පාසල් දැරියන් පවා මේ ගැන දැනුවත් වීම අවශ්‍යයි. 

මගේ පාප්වහන්සේට සමලිංගිකයන් දැන්වීමක් පෙන්වනවා... ඒකෙ තියෙනව මෙන්න මෙහෙම... '' අපි අස්වාභාවික නොවෙමු." මේ තමයි මනුෂ්‍යත්වයේ විවිධත්වය.. මගේ පාප් වහන්සේ ඒ විවිධත්වය පිළිගන්නවා... 

මෙම සාකච්ඡාවෙන් දින කිහිපයකට පසුව සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ගරු අශෝක් ස්ටීවන් පියතුමා මෙවැනි සටහනක් මූණුපොතේ පළ කර තිබුණා... 

DEAR POPE FRANCIS. 

Please close all the Vatican Embassies everywhere in the world which ruin lots of money of the poor people and use that money for the poor in the world. I am sure you will agree with me that CHRIST needs no official state ambassadors to spread HIS good news except HIS baptized brothering.

ඉරිදා පූජාවට සහභාගි වෙද්දි ශුද්ධෝත්තම පියතුමා වෙනුවෙන් යාච්ඤා කරන අවස්ථාවක් තියෙනවා... ඒ මොහොතෙදි වෙනදට වඩා හදවතින්ම මතු වන හැගීමෙන්, ආදරයෙන් යාච්ඤා කරන්න හිතෙනවා... ඒ කියන්නෙ මේ වෙනසට මගේ හිතත් එකගයි... දුප්පතුන්ගේ පාප්වහන්සේ සිහිනයක් නොවේවා කියලයි මමත් ප්‍රාර්ථනා කරන්නෙ. 

පළමුවෙනි ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා මේ වෙද්දිත් ආ‍න්දෝලානාත්මක චරිතයක් බවට පත් වෙලා.. ඒ පිළිබදව විවිධ අදහස් පළ වෙනවා... එය මල් වෙඩිල්ලක් සේ ක්ෂණික දීප්තියක් ඇති කර නිවී ‍යා යුතු නැති බවයි මම හිතන්නෙ.. ඒ නිසාම මමත් හිතනවා ඉක්මන් වීම හොද නැහැ කියල... වෙනසක් කරන්න ශක්තිමත් පදනමක් ඕන... මිනිසුන් දිනා ගන්න ඕන... 

මතුපිට සරල වෙනසකින් පමණක් දුප්පතුන්ගේ දේව රාජ්‍යය බිහි වෙන්නේ නැහැ... ඊට අභ්‍යන්තර වෙනසක් අවශ්‍යයි. එය දවසකින් දෙකකින් ඉටු කළ හැකි දෙයක් නෙවෙයි...

Tuesday, April 2, 2013

තාත්තලාටම ඇයි හෘදයාබාධ




මං පුංචි කාලෙ ඉ‍‍ගෙන ගත්ත, නොමැකෙන්නම හිතට කා වැදුණු කාරණාවක් මේ.. 

ළ.ක්‍රි.වී. යෙ ( ළමා ක්‍රියාකාරී වීරයෝ ) වසරක තේමාවක් තියෙනවා ''සලකමු මව්පිය බැතියෙන් සැමදා'' කියල. පුංචි කාලෙ මේ තේමාව ක්‍රියාත්මක වුණ අවුරුද්දක තාත්තලගෙ ආදරය ගැන කියා දුන්න පියතුමෙක් ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්...

'' ඇයි වැඩිපුර තාත්තල හාට් ඇටෑක්වලින් මැරෙන්නෙ..?''

''අම්මලට හාට් ඇටෑක් හැදෙනව අඩුයි... හාට් ඇටෑක් නැත්නම් හෘදයාබාධවලින්, පපුවෙ අමාරුවලින් වැඩිපුරම මිය යන්නෙ තාත්තල...'' 

අපි පුංචියි... හාට් ඇටෑක් කියන වචනෙ ගැනවත් තේරුමක් තිබුණෙ නැහැ.. ඒ හින්ද දෙන්න උත්තරයක් හිතට ආවෙත් නැහැ... 

''තාත්තල ගොඩක් මහන්සි වෙලා වැඩ කරන හින්ද?'' එක් ළමයෙක් කිව්වා මතකයි...

'' අම්මල හිතේ දුක, කේන්තිය කෑ ගහල අඬල දොඩල පිට කර ගන්නවා... ඒත් තාත්තල හැමදේම හිතේ හිර කරගෙන තනියම විඳවනවා... දරුවො උණත් වැඩිපුර ආදරේ අම්මට, ළං වෙන්නෙ අම්මට, හැමදේම කියන්නෙ අම්මට... ඉල්ලීම් ඉදිරිපත් කරන්නෙත් අම්මට.. 

ගොඩක් වෙලාවට තාත්තා දරුවන්ගෙන් ඈතයි... තාත්තව අපි දකින්නෙ සැරපරුෂ කෙනෙක් විදියට.. ඉතින් පවුල ඇතුලෙ තාත්ත තනිවෙනවා.. තනියම ගොඩක් දේවල් දරා ගන්නවා.. ඒ පීඩනය දවසක පිපිරෙන්නේ හෘදයාබාධයක් විදියට වෙන්න පුළුවන්... ඉස්සර කියන්නෙ ළය පැලිල මැරුණා කියල... ළය පැලෙනව කියන්නෙ මේ විදියෙ මරණයකට තමයි... 

තාත්තට ළං වෙන්න.. තාත්තව තේරුම් ගන්න උත්සාහ කරන්න... තාත්තටත් දැනෙන්න ආදරය කරන්න... වැඩ ඇරිල ආවම ළගට ගිහින් කතා කරන්න. මහන්සිද අහන්න... තා‍ත්තේ ‍තේ එකක් හදල දෙන්නද අහන්න... තාත්ත එක්කත් කතා කරන්න... එයාටත් ඇහුම්කන් දෙන්න. තාත්තල අම්මල වගේ ආදරේ පිටට පෙන්නනව අඩුයි. ආදරේ තියෙන්නෙ හිත ඇතුළෙ. ''

තවත් බොහෝ දේ පියතුමා කියා දුන්නා මතකයි... තදින්ම හිතට වැදුණෙ තාත්තට ආදරේ කරන්න, තාත්තට ඇහුම්කන් දෙන්න, තාත්තව තේරුම් ගන්න කියපු කතාව..

හදිසියෙම මේ මතකය අළුත් වුණේ ඊයෙ හැන්දෑවෙ සිදු වුණ දෙයක් නිසා.. ළ.ක්‍රි.වී. කාර්යාලයේ වැඩ කරන නංගියෙකුගේ තාත්තා හදිසියෙම නැති උණා.. වැඩ ඇරිල කෝච්චියට දුවන අතරෙ මේ පණිවිඩය ලැබුණම මං හිතුවෙ අප්‍රේල් පළමුවෙනිදා රැවටීමක් කියල.. ඒත් කතාව ඇත්ත කියල දැණුනම මමත් ආපහු හැරිල ඉස්පිරිතාලෙටම ගියා...

ලංකාව හතරවටේ ළ.ක්‍රි.වී. පවුලේ බොහෝ පියවරුන්ගෙ අවමංගල්‍යයන්ට සහභාගි වෙලා තිබුණ උණත් මේ මරණය හිතට දැනෙන්න බලපෑව කාරණා කිහිපයක්ම තියෙනවා... 

පාස්කු නිවාඩුවට පස්සෙ බලංගොඩ ඉදල දුව ඇරලවන්න ආව තාත්තා ළ.ක්‍රි.වී. කාර්යාලය ඇතුළෙදිමයි අවසන් හුස්ම පොද පිට කරල තියෙන්නෙ... මේ පළමු වතාව අපි එවැනි අත්දැකීමකට මුහුණ දුන්න. 

අනික දූලා හතර දෙනෙක්ගෙ තාත්තා කෙනෙක්අවුරුදු 53 දි මේ නොඑන ගමන් යන්නෙ.. එක දුවෙක් විතරයි විවාහක. මරණය දැන ගත්ත ගමන් මගේ හිතට ආවෙ කෙල්ලො තුන්දෙනා... මොන දේ උණත් ජීවිතේට මුහුණ දෙන්න ඕන තමයි. නමුත් මුලදිම මේ තත්ත්වය බාර ගන්න එකම කොයි තරම් අමාරුද? 

ගල්ගැහිල වගේ කඳුලක්වත් හෙලන්නෙ නැතිව, කා එක්කවත් කතා නොකර ඉස්පිරිතාලෙ බිත්තියට වාරුවෙලා හිටිය ඒ තාත්තගෙ දෙවෙනි දූ දකිද්දි මටත් හිතා ගන්න බැරි උණා මොකද කරන්න ඕන කියල... 

ඒ තාත්තා දැනගෙන ඉඳල නැහැ.. තමන්ට හැදෙන්නෙ හෘදයාබාධයක් බව. එක් වතාවකුත් මේ වගේම පපුවෙ කැක්කුමක් හැදිල තිබුණත්බෙහෙත් බීල තියෙන්නෙ ගෑස්ට්‍රයිටීස් කියල. අසනීප ගණන් අරගෙනත් නැහැ.... 

නොදැනුවත්කමත්, ‍නොසැලකීමත් මේ වගේ ඉක්මන් සමුගැන්මකට හේතුවක් උණාද? 

ඒ වගේම දූල ගැන මොන තරම් බලාපොරොත්තු කන්දරාවක්, බරක් හිතේ තියෙන්නත් ඇද්ද? 

පිරිමි අයට වැඩි පුර හෘදයාබාධ ඇති වෙන එකට වෛද්‍ය විද්‍යාත්මකව බලපාන වෙනත් හේතු තියෙන්නත් පුළුවනි. ඒත් අතීතයේ දවසක පියතුමා කියා දුන් කාරණයත් බලපානව ඇති කියල මට හිතෙනවා... 

කොහොම උණත් ඒ කතාව මට මගේ තාත්තව තේරුම් ගන්න, ළං වෙන්න, ආදරේ කරන්න මග පෙන්නුවා... 

තාත්තලට තනි‍ වෙන්න නොදෙන්න අපි එයාලට ළං වෙන්න, තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන... 



Thursday, March 28, 2013

කැන්ගරුවෝ




දෙතුන් වතාවක්ම කියවා ඇති නව කතාවක්... නැවතත් වසර කිහිපයකට පසු කියෙව්වා... ඒත් දැණුනෙ මුල් වරට කියවනව වගේ හැගීමක්... 1997 යුද්ධය පවතින කාලයක ලියවුණු පොතක තියෙන දේශපාලන සමාජ කාරණා යුද්ධය නිමි යැයි කියන අදටත් වලංගුයි නේද කියල හිතෙනවා... අළුත් කියවීමකට යන්න පුළුවන් උණේ පශ්චාත් යුධ සමයක පෙරපර සන්ධි ගළපමින්, අනාගතය කෙලෙස වේවි ද සිතමින් කිය වූ නිසාද කියලත් හිතෙනවා... 

ඒ පොත සෝමා ජයකොඩිගෙ කැන්ගරුවෝ... මේ එහි පෙරවදන

දයාබර පාඨකය,

ආයුධ වෙළදාමෙන් විනිමය සොයනු ලබන බටහිර බොහෝ බලවත් ජාතීන් තුන්වෙනි ලෝකය යැයි හදුන්වනු ලබන දුප්පත් රටවල, තමන්ට ගැතිකම් කරන නිවට පාලකයින් රජ කරවීම සදහා උත්සාහ ගනු ලබන්නේ කුමක් නිසා දැයි මැනවින් සොයා බැලීමේ කාලය උදා වී ඇත.

ජාති, ආගම්, ගෝත්‍ර, පක්ෂ ආදී වශයෙන් එකිනෙකා අතර ගැටුම් ඇති කර යුදගිනි අවුළුවා, රට දැයට හිතැති පාලකයින් ඝාතනය කරවා, නව ආයුධ සංස්කෘතියකින් ‍තුන්වෙනි ලෝකයේ ජනතාව ග්‍රහණයට ගැන්මට ඔවුන් එන්නේ ආක්‍රමණික වේෂයෙන් නොව සංක්‍රමණික වේශයෙන් නිසා ඔවුන්ගේ කූඨ උපාය ඥානයන් වටහා ගැනීමේ හැකියාවෙන් ද අපි දිනෙන් දින දුර්වල වෙමු.

ආධාර, සහනාධාර, ණය ආධාර දෝතින් ගෙන ඔවුන් සංක්‍රමණය වන විට බලය උදෙසා ඕනෑම‍ දෙයක් බිලි දෙන්නට සූදානම් පාලකයින් සේම, නිකන් ලැබෙන ඕනෑම දෙයකට දෝත පාන රටවැසියන් ද ඔවුන් අභියස නිවටුන් වන්නේ තමන් දෙපා තබා සිටිනා මහ පොළවද ලැජ්ජාවට පත් කරවමිනි.

අවදි මනසින් වත්මන් ලෝකය දෙස බලා ස්වකීය ජන්ම භුමියේ අනාගත සුරක්ෂිත භාවය ගැන සිතන කවරෙකු වුව ද ආත්ම ලාභයෙන් හා බලකාමයෙන් තොර වීමේ උදාර ලක්ෂණය තුළ ශ්‍රේෂ්ඨත්වයට පත්වීම නිතැතින්ම සිදුවන්නකි. ධනය, බලය, ශක්තිය මෙහෙයවා ලබන  කීර්තිය ප්‍රශංසාව සැබවින්ම හිස්ය.
මිනිසකු ශ්‍රේෂ්ඨයකු වීමට නම් ආත්ම ලාභයෙන් ‍තොරව, ස්වකීය දේශයට, දැයට, වර්ගයාට ආදරය කළ යුතු අතර එමගින් මුළු මිනිස් ප්‍රජාව කෙරෙහිම ආදරයක් ඇති කර ගත යුතුය. 

''කැන්ගරුවෝ'' නවකතාව පෙරවදන

කතුවරිය සෝමා ජයකොඩි

1997 මුල්වරට මුද්‍රණය ( අදටත් වලංගු නොවේද මේ කියමන්.... )

කැන්ගරුවෝ හිතට දැණුනු එක් සිදුවීමක්.... 

ඒ......... අත්අඩංගුවේ පසුවන, එල්ටීටීඊ ත්‍රස්තවාදියෙක් යැයි සැක කරමින් දින ගණනාවක් ප්‍රශ්න කිරීම්වලට ලක්වුණ රහල් කුමාරස්වාමි බලන්නට බිම්බා අමන්‍දොළුව තරුණිය  ගිය අවස්ථාව.... 

''....... තමන්ගෙ ජාතිය බලයට පත් වෙනවා දකින්න ඔයා කැමති නැද්ද? ''

බිම්බාගේ අතුරු ප්‍රශ්නය දමිළ තරුණයා සිත ඇති කළේ කෝපයකට වැඩි දුකකි.

'' මෙච්චර කල් මං හිතුවා ඔයත් මමත් එකම මනුෂ්‍ය ජාතියකට අයිති අය කියලා. ඒත් දැන් ඔයා මට මතක් කරල දුන්නා මගේ අදහස වැරදි බව. බිම්බා මට ඔයත් එක්ක කතා කරන්න දෙයක් තවත් ඉතුරු වෙලා නැහැ. කරුණාකරල දැන් ඔයා යන්න. මං මේ කරදරේ වැටුණෙ වරදක් කරල නෙමේ. ඒක නිසා මට මං ගැන බයක් නැහැ. මං නිසා ඔයා කරදරේ වැටෙනව දකින්න මං කැමති නැහැ. ඔයා යන්න..."

බිම්බා මලානික වුවාය. රහල් නැගී සිටියේය.

'' අපේ හොද හිත් විනාශ කළේ ඔයාගෙ ඇමරිකන් යාළුවා. ඔයා එයාගෙන් පරෙස්සම් වෙන්න. ඇමරිකන් යාළුවො තමා මුළු ලෝකෙම විනාශ කරන්නෙ. ඒක ප්‍රභාකරන්ට තේරුම් යන දවසත් වැඩි ඈතක නෙමේ...'' ( 213 පිටුව )

'' මෙච්චර කල් මං හිතුවා ඔයත් මමත් එකම මනුෂ්‍ය ජාතියකට අයිති අය කියලා. ඒත් දැන් ඔයා මට මතක් කරල දුන්නා මගේ අදහස වැරදි බව.'' 

මේ කෙටි වැකිය මට සිහිපත් කළේ පුදුවෙයි රත්නතුරෙයි කවියාගෙ මෙන්න මේ කියමන... 

" මා කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න යුගයෙදි මම කීවා මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. එතකොට සිංහල මහා ජාතිවාදය කීවා , නෑ උඹ ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි , උඹ දෙමළෙක් කියලා. මම නැවත නැවතත් කීවා , නෑ මම දෙමළෙක් නෙමෙයි , මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. නෑ උඹ දෙමළෙක් , ඔවුන් කීවා. පසුව මම කියන්න ගත්තා , " ඔව් මම දෙමළෙක් " කියලා. එතකොට ඔවුන් කියනවා , නෑ නෑ උඹ දෙමළෙක් නෙමෙයි , උඹ ශ්‍රී ලාංකිකයෙක් කියලා... "
- පුදුවෙයි රත්නතුරෙයි - ( 2002 )

ලේඛිකාව චරිත තුළට ආරෝපණය වී තම දේශපාලන මති මතාන්තර ප්‍රකාශ කරන්නට දරන උත්සාහය විටෙක ඒකාකාරී බවක් දැනවුවද කැන්ගරුවෝ අගය කළ හැකි දේශපාලන නවකතාවකැයි මම සිතමි. ‍දේශපාල‍නයෙන් තොර නවකතාවක් සෝමා ජයකොඩිගේ ලේඛන කලාව තුළ සොයා ගත නොහැකිය.



 බොහෝ විට දේශපාලනය සමග ගලා යන ප්‍රේම කතාවක් ද ඇත. ඇගේ ප්‍රේම කතාද මගේ සිත් ගනියි. නමුත් කැන්ගරුවෝ තුළ ප්‍රේම කතාවක් නැත. 

වසරින් වසරට පොත බැගින් එළි දක්වන්නට හදිසියක් ඇතැයි විටක සිතුණද, එනිසාම ඇගේ නවකතා කලාවේ යම් පසුබෑමක් දිස්වන්නේ යැයි සිතුණද මම ඇගේ පොත පතට ඇලුම් කරමි.

Friday, March 22, 2013

'' අබ්බගාත කවි''





පාළු දුම්රිය නැවතුමේ මා තනි කර දුම්රිය අලස ගමනින් ඉදිරියට ඇදී ගියේය. ඉමක් නොපෙනෙන දුරට විහිදුණු කෙත් යාය සිප ගෙන නිසංසලේ ඇදී ආ සිහිල් සුළං රැල්ලක් පිළිගැනුම් හාදුවක් පිරි නමයි. දුම්රිය නැවතුම කුඩා වුවද සිත්කළුය. නැවතුම දෙපසින් ඇරඹී යකඩ වැටට සමාන්තරව දිවෙන දාස්පෙතියා මල් යායකි. තැනින් තැන එළවළු පළා වර්ගය. ඉන් එපිට පහත් බිමේ රන් පැහැ ගත් කුඹුරු යාය ය. 

දුම්රිය නැවතුමට ඉදිරියෙන් රේල් පාරට සමාන්තරව ගලා යන ඇල පාරකි. අලස දිය දහරක් තුරුළු කර ගෙන එය නිසොල්මනේ ගලා බසියි. ඉන් එපිට තුන්මංහන්දියට සෙවණ දුන්නේ අතුපතර විහිදී ගිය දැවැන්ත නුග ගසකි. කුඩා කඩමණ්ඩිය මල්ගුඩිය සිහි කරවයි. කෙසේ නමුත් සැනසිලි සුසුමක් නැගුණේ ත්‍රීවීලයක් නවතා ඇති බව දක්නට ලැබීමෙනි. 

අතීතයට අයිති කතාවක් වත්මනෙහි ර දක්වන නළුවක කොටස්කාරියක් වෙමින් ඉන්නාක් බඳු හැඟීමකි මා තුළ ඇති වූයේ... 

මුලින්ම යමක් කුසට දා ගත යුතුය. පාන්දරම නවාතැනින් පිට වූයේ හිස් බඩට හලා ගත් ඇල් වතුර වීදුරුවකින් සෑහෙමිනි. ත්‍රීවීල් සොයුරාට සිනහවක් තිළිණ කරමින් මම කුඩා තේ කඩයට ගොඩ වීමි. ලැවරියා එක සහ පදමට ඉඟුරු මුසු කළ තේ කෝප්පය සිත ද, ගත ද තෘප්තිමත් කළේය. 

සුළු මොහොතකට පසු මම ත්‍රීවීලයේ රියදුරු සොයුරාට මා යා යුතු ඉසව්ව විස්තර කරමින් සිටියෙමි. 

'' නිවටන් සමරසිංහ කියල කෙනෙක්.. දැන් අවුරුදු 75 ක් විතර ඇති. ඉස්සර කවි ලියපු කෙනෙක්. කවි, චිත්‍ර විචාර එහෙම ලියපු කෙනෙක්..පොත් එහෙමත් පළ කරල තියෙනවා...  '' 

මම තෙවරක් පමණ මේ එකම විස්තරය පැවසූවෙමි. පිටසක්වල ජීවියෙක් ගැන මුල් වරට අහන්නාක් වැනි බැල්මකි ඔහුගේ දෑස් වල වූයේ. 

''එහෙම කෙනෙක් නං මේ හරියෙ නෑ මිස් '' 

''වෙන්න බැහැනෙ.. මට කිව්වෙ මේ ස්ටේෂන් එකෙන් බැස්සම ළගයි කියලනෙ..'' 

කඩයේ මුදලාලි ද ස්වේච්ඡාවෙන්ම උදව් කරන්නට ඉදිරිපත් විය. නමුත් කුමන ඵලක් ද? 

''මේ අවට නං ඔය කියන විදියෙ කෙනෙක් නෑ නෝනා..'' ඔහු පවසන්නේද එයම ය. 

මම තුන්වෙනි වරටත් දුරකථනය ගෙන අංකනය කොට මූණත දෙස බලා සිටියෙමි.  නිස්සාර ගමනක් පැමිණියේ ද යන හැගීම මසිත විඩාපත් කරමින් තිබිණි. 

දිගින් දිගටම නාද වන රූං රූං ශබ්දය පිළිබ කණස්සළු හැඟීමෙන් ''ෂිහ්'' කියවෙත්ම දුරකථන රැහැන් සම්බන්ධ විය. මසිත විකසිත විය. ඇමතුම එහා කෙළවර සිටියේ නිව්ටන් මහතාගේ ප්‍රිය බිරින්දෑය. 

''  මම සුරංගි... දවසක් කතා කළේ විචාර ලිපියක් ගැන... '' 

''අනේ ඔව් මතකයි.. ඒ ලිපිය තාම හොයා ගන්න බැරි උණානෙ. මට එදා දුන්න අංකයට කතා කළා. ඒත් ඒක වැඩ කළේ නැහැ...'' 

'' ආ ඒකට කමක් නැහැ..ලිපිය හදිසි නැහැ. රවී සහෝදරය කිව්ව මට නිව්ටන් මහත්තයව ටිකක් බලල එන්න කියල... අසනීපෙන් කිව්ව නිසා..''

ඇගේ දයාවන්ත හිනාවක් සවනත රැ‍දෙයි. 

''මම දැන් ස්ටේෂන් එක ළග ඉන්නෙ.. මට කියන්නකො කොහොමද එන්නෙ කියල...'' 

ඇය මට ගමන් මග විස්තර කරන්නීය. අනතුරුව ඇමතුම විසන්ධි කළ මම ත්‍රීවීලයට ගොඩ වීමි. 

''වමට ගිහින් පාලමෙන් අනිත් පැත්තට දාලා ගියාම පන්සලක් තියෙනවද?'' මම අසමි. රියදුරු මල්ලී හිස සළයි. 

''පන්සල ළගින් දකුණට දාලා කෙළින්ම ගියාම සරස්වතී කලායතනය කියල තියෙනවලු. එතන.'' 

''මිස් කිව්වේ මේ ළග කියලනෙ.. ඒ කොයි තරම් දුරද? පන්සල හරියෙ කලායතනය කිව්ව නම් මං දන්නවනෙ...'' එවර ඔහු සිනාසෙමින් පවසයි.

සැබෑවකි. වැරදුණේ මටය. කවියකු, විචාරකයකු ගැන දැන ගන්නට තරම් අවස්ථාවක් වී නම් ඔහු පාළු කඩමණ්ඩියක ත්‍රීවීල් රියදුරෙක් වේද?

ගමටත් අමතක වී ඇති මේ කවියා රටට අමතක වීම ගැන කවර කතා ද? 
  
පාලමෙන් එතෙර වූ තීවීලය කුඹුරු යායක් මැදින් ඉදිරියට ඇදේ. 

මගේ සිත ඔහු සොයා ඇදේ. දැන් මේ මොහොතේ ඔහු කුමක් කරමින් ඉන්නවා ඇත් ද? අද මා මේ ගමන ඔහු වෙනුවෙන් යන බව ඔහු දනී. ආලින්දයේ කෙළවර රෝද පුටුවට බර වී ඔහු ගෙමිදුල දෙස බලා  සිටිනවා විය යුතුය, උකුල මත ඇති සටහන් පොතත් පෑනත් පිරි මදිමින්. හදවතින් ඔහු මා සමග ම යනවා ඇති. නමුත් ජීවය අහිමි වූ දෙපා මත දුක්බර සුසුමක් දැවටෙනවා ඇති. ඒ අතර නොලියවුණු කවියක පද පේළි ගළපනවා ඇති. අද හෙටම විද්‍යුත් තැපෑලෙන් කවියක් මා සොයා එනවා ඇති. 

''හෙට එහෙ ගියාම නිව්ටන් මහත්තය මුණ ගැහුණම වෙන හැමදේම.. කතා කරන හැමදේම මට සජීවීව ලියල එවන්න..'' 

ඊයේ ඇමතුම විසන්ධි වීමට පෙර ඔහු කළ ඉල්ලීම එයයි. සිනහවක් සමග සුසුමක් ද මවෙතින් ගිලිහිණි. ඒ රාත්‍රිය ද  බොහෝ දිගු විය. මතක එකින් එක පෙළ ගැහුණු තවත් දිගු රාත්‍රියක් විය. 

.......................................................

පුදුමාකාර අහඹු හමුවීමක්. තවමත් දෑසින් ස්පර්ශ කළ නොහැකි වූ.... දෑතින් ස්පර්ශ කළ නොහැකි වූ.. සයිබර් ගුවන මතුපිට ලියැවූණු ප්‍රේමණීය සහෝදරත්වයක ස්පර්ශය.... කොතරම් වටනේ ද මට. 

මටත් මාව අහිමි වෙමින් පැවති අඳුරු නිමේෂයක දැල්වුණු තරු එළිය...    
  
ඉකුත් වසරේ පොත් ප්‍රදර්ශනයේ සැරිසරමින් සිටින විට කැටපත් පවුර අසල කවි කුටිය ඇස ගැටිණි. එහි එතරම් සෙනගක් සිටියේ ද නැත. කවි පොතක් ගන්නට අවැසිතාවක් ද විය. ''හිරුත් හිම පියල්ලක'' අතැඟිලි දැවටෙමින් තිබෙන මොහොතක රාක්කයේ පහළ තට්ටුවක තිබුණු ඔහුගේ අළුත් කවි පොත දෑසට හමු විය. 

'' අබ්බගාත කවි'' තිගැස්මක් ඇති කරන මාතෘකාවකි. 

මුල් කවරයේ වූයේ ‍හැඩි වුණු පාළු ගෙමිදුලක හුදකලා වූ රෝද පුටුවක් සහ ඒ වටා විසිර පවත්නා කඩදාසි ගොන්නකි. රෝද පුටුව මත කවියක් ලියූ කඩදාසියක් ඇත. ඒ මත බෝල්පොයින්ට් පෑනකි. කවරයේ පින්තූරයම නිහ කවියකි. 

පසුපිට කෙටි සටහනක් සමග රෝද පුටුව මත සිටින ඔහු‍ගේ ඡායාරූපයකි. සිනහවක් නොවන මුත් දෑසේ බැල්ම කාන්තිමත්ය. අපේක්ෂා සහගතය. මම අතරින් පතර පෙරළා උඩින් පල්ලෙන් කවි කිහිපයක් නෙත ගා බැලුවෙමි. ඒ කවි කිහිපයේ වුව ද තැවරී තිබුණු සාංකාබර හුදකලාවක දෝංකාරය...... දෙවරක් නොසිතා පොත මිළ දී ගන්නට මා පෙළඹවීය.     


අබ්බගාත කවි පොතේ මුල්ම කවියේ මුල්ම පද හරි ඉක්මණින් මගේ මතකයේ නිදන් විය.

අබ්බගාත සිතක - මන්දහාස කවිකම්

වදනකු දු නොනගින පාළු මන්දිරයකි
හුස්මකු දු නොනගින නිසල ආලින්දෙකි
රෝද පුටු සිහසුනක සසල සිතුවිලි රළෙකි
වාරු නැති දෙපා මත වතළ පිණි බින්දුවකි

හෙලනා සුසුමන් ද අබ්බගාතය
නැගෙනා කඳුලැල් ද අබ්බගාතය
මැවෙනා සිත්තම් ද අබ්බගාතය
පූදින කවිකම් පමණි මන්දහාසය




 ........................
 
මේ නිමාවක් නොවේ.

 ( කෙටි කතාවක් නොවේ.. නව කතාවක් ද නොවේ... නමුත් කතාවකි. ප්‍රබන්ධයකි. )