පිටු

Friday, March 22, 2013

'' අබ්බගාත කවි''





පාළු දුම්රිය නැවතුමේ මා තනි කර දුම්රිය අලස ගමනින් ඉදිරියට ඇදී ගියේය. ඉමක් නොපෙනෙන දුරට විහිදුණු කෙත් යාය සිප ගෙන නිසංසලේ ඇදී ආ සිහිල් සුළං රැල්ලක් පිළිගැනුම් හාදුවක් පිරි නමයි. දුම්රිය නැවතුම කුඩා වුවද සිත්කළුය. නැවතුම දෙපසින් ඇරඹී යකඩ වැටට සමාන්තරව දිවෙන දාස්පෙතියා මල් යායකි. තැනින් තැන එළවළු පළා වර්ගය. ඉන් එපිට පහත් බිමේ රන් පැහැ ගත් කුඹුරු යාය ය. 

දුම්රිය නැවතුමට ඉදිරියෙන් රේල් පාරට සමාන්තරව ගලා යන ඇල පාරකි. අලස දිය දහරක් තුරුළු කර ගෙන එය නිසොල්මනේ ගලා බසියි. ඉන් එපිට තුන්මංහන්දියට සෙවණ දුන්නේ අතුපතර විහිදී ගිය දැවැන්ත නුග ගසකි. කුඩා කඩමණ්ඩිය මල්ගුඩිය සිහි කරවයි. කෙසේ නමුත් සැනසිලි සුසුමක් නැගුණේ ත්‍රීවීලයක් නවතා ඇති බව දක්නට ලැබීමෙනි. 

අතීතයට අයිති කතාවක් වත්මනෙහි ර දක්වන නළුවක කොටස්කාරියක් වෙමින් ඉන්නාක් බඳු හැඟීමකි මා තුළ ඇති වූයේ... 

මුලින්ම යමක් කුසට දා ගත යුතුය. පාන්දරම නවාතැනින් පිට වූයේ හිස් බඩට හලා ගත් ඇල් වතුර වීදුරුවකින් සෑහෙමිනි. ත්‍රීවීල් සොයුරාට සිනහවක් තිළිණ කරමින් මම කුඩා තේ කඩයට ගොඩ වීමි. ලැවරියා එක සහ පදමට ඉඟුරු මුසු කළ තේ කෝප්පය සිත ද, ගත ද තෘප්තිමත් කළේය. 

සුළු මොහොතකට පසු මම ත්‍රීවීලයේ රියදුරු සොයුරාට මා යා යුතු ඉසව්ව විස්තර කරමින් සිටියෙමි. 

'' නිවටන් සමරසිංහ කියල කෙනෙක්.. දැන් අවුරුදු 75 ක් විතර ඇති. ඉස්සර කවි ලියපු කෙනෙක්. කවි, චිත්‍ර විචාර එහෙම ලියපු කෙනෙක්..පොත් එහෙමත් පළ කරල තියෙනවා...  '' 

මම තෙවරක් පමණ මේ එකම විස්තරය පැවසූවෙමි. පිටසක්වල ජීවියෙක් ගැන මුල් වරට අහන්නාක් වැනි බැල්මකි ඔහුගේ දෑස් වල වූයේ. 

''එහෙම කෙනෙක් නං මේ හරියෙ නෑ මිස් '' 

''වෙන්න බැහැනෙ.. මට කිව්වෙ මේ ස්ටේෂන් එකෙන් බැස්සම ළගයි කියලනෙ..'' 

කඩයේ මුදලාලි ද ස්වේච්ඡාවෙන්ම උදව් කරන්නට ඉදිරිපත් විය. නමුත් කුමන ඵලක් ද? 

''මේ අවට නං ඔය කියන විදියෙ කෙනෙක් නෑ නෝනා..'' ඔහු පවසන්නේද එයම ය. 

මම තුන්වෙනි වරටත් දුරකථනය ගෙන අංකනය කොට මූණත දෙස බලා සිටියෙමි.  නිස්සාර ගමනක් පැමිණියේ ද යන හැගීම මසිත විඩාපත් කරමින් තිබිණි. 

දිගින් දිගටම නාද වන රූං රූං ශබ්දය පිළිබ කණස්සළු හැඟීමෙන් ''ෂිහ්'' කියවෙත්ම දුරකථන රැහැන් සම්බන්ධ විය. මසිත විකසිත විය. ඇමතුම එහා කෙළවර සිටියේ නිව්ටන් මහතාගේ ප්‍රිය බිරින්දෑය. 

''  මම සුරංගි... දවසක් කතා කළේ විචාර ලිපියක් ගැන... '' 

''අනේ ඔව් මතකයි.. ඒ ලිපිය තාම හොයා ගන්න බැරි උණානෙ. මට එදා දුන්න අංකයට කතා කළා. ඒත් ඒක වැඩ කළේ නැහැ...'' 

'' ආ ඒකට කමක් නැහැ..ලිපිය හදිසි නැහැ. රවී සහෝදරය කිව්ව මට නිව්ටන් මහත්තයව ටිකක් බලල එන්න කියල... අසනීපෙන් කිව්ව නිසා..''

ඇගේ දයාවන්ත හිනාවක් සවනත රැ‍දෙයි. 

''මම දැන් ස්ටේෂන් එක ළග ඉන්නෙ.. මට කියන්නකො කොහොමද එන්නෙ කියල...'' 

ඇය මට ගමන් මග විස්තර කරන්නීය. අනතුරුව ඇමතුම විසන්ධි කළ මම ත්‍රීවීලයට ගොඩ වීමි. 

''වමට ගිහින් පාලමෙන් අනිත් පැත්තට දාලා ගියාම පන්සලක් තියෙනවද?'' මම අසමි. රියදුරු මල්ලී හිස සළයි. 

''පන්සල ළගින් දකුණට දාලා කෙළින්ම ගියාම සරස්වතී කලායතනය කියල තියෙනවලු. එතන.'' 

''මිස් කිව්වේ මේ ළග කියලනෙ.. ඒ කොයි තරම් දුරද? පන්සල හරියෙ කලායතනය කිව්ව නම් මං දන්නවනෙ...'' එවර ඔහු සිනාසෙමින් පවසයි.

සැබෑවකි. වැරදුණේ මටය. කවියකු, විචාරකයකු ගැන දැන ගන්නට තරම් අවස්ථාවක් වී නම් ඔහු පාළු කඩමණ්ඩියක ත්‍රීවීල් රියදුරෙක් වේද?

ගමටත් අමතක වී ඇති මේ කවියා රටට අමතක වීම ගැන කවර කතා ද? 
  
පාලමෙන් එතෙර වූ තීවීලය කුඹුරු යායක් මැදින් ඉදිරියට ඇදේ. 

මගේ සිත ඔහු සොයා ඇදේ. දැන් මේ මොහොතේ ඔහු කුමක් කරමින් ඉන්නවා ඇත් ද? අද මා මේ ගමන ඔහු වෙනුවෙන් යන බව ඔහු දනී. ආලින්දයේ කෙළවර රෝද පුටුවට බර වී ඔහු ගෙමිදුල දෙස බලා  සිටිනවා විය යුතුය, උකුල මත ඇති සටහන් පොතත් පෑනත් පිරි මදිමින්. හදවතින් ඔහු මා සමග ම යනවා ඇති. නමුත් ජීවය අහිමි වූ දෙපා මත දුක්බර සුසුමක් දැවටෙනවා ඇති. ඒ අතර නොලියවුණු කවියක පද පේළි ගළපනවා ඇති. අද හෙටම විද්‍යුත් තැපෑලෙන් කවියක් මා සොයා එනවා ඇති. 

''හෙට එහෙ ගියාම නිව්ටන් මහත්තය මුණ ගැහුණම වෙන හැමදේම.. කතා කරන හැමදේම මට සජීවීව ලියල එවන්න..'' 

ඊයේ ඇමතුම විසන්ධි වීමට පෙර ඔහු කළ ඉල්ලීම එයයි. සිනහවක් සමග සුසුමක් ද මවෙතින් ගිලිහිණි. ඒ රාත්‍රිය ද  බොහෝ දිගු විය. මතක එකින් එක පෙළ ගැහුණු තවත් දිගු රාත්‍රියක් විය. 

.......................................................

පුදුමාකාර අහඹු හමුවීමක්. තවමත් දෑසින් ස්පර්ශ කළ නොහැකි වූ.... දෑතින් ස්පර්ශ කළ නොහැකි වූ.. සයිබර් ගුවන මතුපිට ලියැවූණු ප්‍රේමණීය සහෝදරත්වයක ස්පර්ශය.... කොතරම් වටනේ ද මට. 

මටත් මාව අහිමි වෙමින් පැවති අඳුරු නිමේෂයක දැල්වුණු තරු එළිය...    
  
ඉකුත් වසරේ පොත් ප්‍රදර්ශනයේ සැරිසරමින් සිටින විට කැටපත් පවුර අසල කවි කුටිය ඇස ගැටිණි. එහි එතරම් සෙනගක් සිටියේ ද නැත. කවි පොතක් ගන්නට අවැසිතාවක් ද විය. ''හිරුත් හිම පියල්ලක'' අතැඟිලි දැවටෙමින් තිබෙන මොහොතක රාක්කයේ පහළ තට්ටුවක තිබුණු ඔහුගේ අළුත් කවි පොත දෑසට හමු විය. 

'' අබ්බගාත කවි'' තිගැස්මක් ඇති කරන මාතෘකාවකි. 

මුල් කවරයේ වූයේ ‍හැඩි වුණු පාළු ගෙමිදුලක හුදකලා වූ රෝද පුටුවක් සහ ඒ වටා විසිර පවත්නා කඩදාසි ගොන්නකි. රෝද පුටුව මත කවියක් ලියූ කඩදාසියක් ඇත. ඒ මත බෝල්පොයින්ට් පෑනකි. කවරයේ පින්තූරයම නිහ කවියකි. 

පසුපිට කෙටි සටහනක් සමග රෝද පුටුව මත සිටින ඔහු‍ගේ ඡායාරූපයකි. සිනහවක් නොවන මුත් දෑසේ බැල්ම කාන්තිමත්ය. අපේක්ෂා සහගතය. මම අතරින් පතර පෙරළා උඩින් පල්ලෙන් කවි කිහිපයක් නෙත ගා බැලුවෙමි. ඒ කවි කිහිපයේ වුව ද තැවරී තිබුණු සාංකාබර හුදකලාවක දෝංකාරය...... දෙවරක් නොසිතා පොත මිළ දී ගන්නට මා පෙළඹවීය.     


අබ්බගාත කවි පොතේ මුල්ම කවියේ මුල්ම පද හරි ඉක්මණින් මගේ මතකයේ නිදන් විය.

අබ්බගාත සිතක - මන්දහාස කවිකම්

වදනකු දු නොනගින පාළු මන්දිරයකි
හුස්මකු දු නොනගින නිසල ආලින්දෙකි
රෝද පුටු සිහසුනක සසල සිතුවිලි රළෙකි
වාරු නැති දෙපා මත වතළ පිණි බින්දුවකි

හෙලනා සුසුමන් ද අබ්බගාතය
නැගෙනා කඳුලැල් ද අබ්බගාතය
මැවෙනා සිත්තම් ද අබ්බගාතය
පූදින කවිකම් පමණි මන්දහාසය




 ........................
 
මේ නිමාවක් නොවේ.

 ( කෙටි කතාවක් නොවේ.. නව කතාවක් ද නොවේ... නමුත් කතාවකි. ප්‍රබන්ධයකි. )

15 comments:

  1. උගත්කමට සරිලන රැකියාවක් නොලැබුන තරුණයොත් ඇති නේද,කාගෙ හරි ත්‍රීවීල් එක්ක කුලියට ගෙන හයර් කරල බඩවියත රැකගන්න.
    මේ ඇත්තම කවියකු සොයා යන ගමනක්ද?
    >>මල්ගුඩිය<< යනු කුමක්ද?

    ReplyDelete
    Replies
    1. @ Kenji @ Japan

      ඔබ "මල්ගුඩි දවස්" ගැන දන්නේ නෑ වෙන්න බෑ!
      Malgudi Days by R.K. Narayan
      http://en.wikipedia.org/wiki/Malgudi_Days_(book)

      Delete
    2. ඊටත් වඩා අන්ත අසරණ තත්වයන්ට පත් වුණු උගතුන් ඉන්නවා.. ඇත්තටම...
      කතන්දර කියල තියෙන්නෙ ඒ මල්ගුඩි කතාවල එන කඩමණ්ඩිය ගැනයි මට මතක් උණේ...

      Delete
  2. මම හිතුවේ ඇත්තටම කෙනෙකු සොයා ගිය ගමනක් කියලා. ඇත්තටම සිත්ගත්තා මේ ලිපිය.

    ReplyDelete
    Replies
    1. සත්යුය සහ මායාව අතර කතාවක්... ස්තුතියි නගා..

      Delete
  3. හදවත පතුළටම දැනෙනවා තරූ...ස්තුතියි.

    ReplyDelete
  4. මේ වගේ ලේඛකයෝ අද ලෝකයේ ඇත්තටම ඉන්නවා. මම හිතුවේ ඔයා ඒ වගේ කෙනෙක් ගැන ලියලා කියලයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ වගේ කලාකරුවො ඉන්නවා.. මේ සොයා යාම තුළ නම් ඇත්තකුත් තියෙනවා ‍පොඩ්ඩි.. ඒක හරිම සංවේදී අත්දැකීමක්..

      Delete
  5. මම මේ දහ අතේ කල්පනා කළා මේ වගේ පරිසරයක් තියෙන ඉස්ටේසම මොකක්ද කියලා? හයියෝ....

    ReplyDelete
    Replies
    1. මේ ස්ටේසම නම් තියෙන්නෙ මල්ලී.. නාත්තණ්ඩියත් මාදම්පෙත් අතර.. හැබැයි ඒ ස්ටේසමයි මේ කතාවයි අතර සම්බන්ධතාවයක් නැහැ... අත්දැකීම් දෙකක සිද්ධි ගැළපීමක් තියෙන්නෙ...

      Delete
    2. දුම්මලසුරියත් දුම්රිය ස්ථානයක් තිබෙනවද?

      Delete
    3. දුම්මලසූරියෙ නැහැ... මාදම්පෙනෙ තියෙන්නේ... මම දවසක් වැඩ සටහනකට ගියා වළහපිටිය දහම්පාසලක... වළහපිටිය දුම්රිය නැවතුම ගැන මතක‍යෙන් තමයි මේ මුල් හරිය ගොඩනැගුවේ...

      Delete
  6. මටත් මේවගේ කෙනෙක් මේ පසුගිය දවසක කොළඹ මහජන පුස්තකාලෙදි හමුවුණා එහු බෙහෙවින්ම වියපත් සුන්දරම ලේඛකයෙක් ඔහු 70,80 දශකවලදි පුවත්පත්වලට ලියන ලද ලිපි රැසක් මට පෙන්නුවා ඔහුගේ පැරණි අත්බෑගයෙන් මතුකර. මට හිතුනේ ඒ සුන්දර මිනිසා මේ තමයි තරු කියන මිනිසා කියලා.

    ReplyDelete
    Replies
    1. ලෝකයට අමතක උණ සුන්දර මිනිසුන් තව කොයි තරම් ඇතිද නේද අයියෙ...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...