සියෙරා ලියොන්හි අවුරුදු දොළහක් වයසැති මගේ මිතුරා ඉස්මායෙල් සමග සුන්දර
අවිහිංසක ළමා වියක සිරිය විඳිමින් සිටියදී
නොසිතූ මොහොතක මම බියකරු යුද්ධයකට මැදි වීමි. අග මුල නොදන්නා යුද්ධයකට මැදිව
ඉස්මායෙල් විඳි අනේකවිධ
දුක් සාගරය මැද මමද තෝන්තු වී සිටියෙමි.
ජනතාවගේ විමුක්තිය උදෙසා යැයි කියමින් අවි අතට ගත් කැරලි කණ්ඩායම අහිංසක
නිරායුධ මිනිසුන් මරා දමනුද, ඔවුන්ගේ දේපළ කොල්ල කනුද, මිනිසුන්ගේ ලේ දකිමින්
තිරශ්චීන සතුටක් භුක්ති විඳිනුද සන්ත්‍රාසයෙන්
ඇලලෙමින්ද, මහත් වේදනාවෙන්ද මම බලා සිටියෙමි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යැයි
කියමින් ආණ්ඩුවේ හමුදාවද මිනිසුන් මරා දමනුද ඔවුන් සන්තකය කොල්ලකනුද ඔද්දල් වූ
සිතින් මම බලා සිටියෙමි.
මව්පියන් හෝ තමන්ගේම කිව හැකි කිසිවකු නොමැතිව අසරණ වූ ඉස්මායෙල් මෙන්ම
අනිකුත් දරුවන් කළ හැකි අන් යමක් නැති නිසාම, ජීවත් වන්නට ඇති එකම මග නිසාම අවි
අතට ගනිමින් ළමා කැරලි කරුවකු හෝ ළමා සොල්දාදුවකු වන අයුරු කීරි ගැසෙන හදවතින් මම බලා
සිටියෙමි.
අවියෙන් සන්තකයම උදුරා ගනු ලැබූ පසු, තවදුරටත් ළමයකු වුවද, බලෙන් හිස මත
පටවන ලද ද්වේෂය, වෛරය, කලකිරීම සහ අපේක්ෂා භංගත්වය මත අවියට පෙම් බඳින ඔහුට, ඒ අවියෙන් නිදහස ලැබූ පසු සාමාන්‍ය
දරුවකු ලෙස සමාජයට පිවිසෙන්නට ඇති අසීරුව, දිවා රෑ ඔහු පෙළන පීඩනය කොතරම්
අනුවේදනීයද?
වසර ගණනක ඇවෑමෙන් ඉස්මායෙල් යළිත් ළමයෙකු ලෙස සමාජ ගත වන අයුරුද, යුද්ධයට
මැදි වන අවිහිංසක ළමුන්ගේ කතාව ලෝකයට ගෙන යන අයුරුද මම සැනසුම පිරි සිතින් බලා
සිටියෙමි. සැබවින්ම ඔහු වාසනාවන්තය. නමුත් ඒ වාසනාව රෝස මල් පලසක් මතින් ඔහු කරා
ආවා නොවේ.
ඒ සියෙරාලියොන්හි ඉස්මායෙල්ගේ කතාවයි. යුධ වැදී දිවි බේරා ගත් ළමා සොල්දාදුවකුගේ
කතාවයි. නමුත් එය සැබවින්ම යුද්ධයට මැදි වූ, එයින් දිවි ගළවාගන්නට සමත් වූ එක්
දරුවෙකුගේ ඉරණම පිළිබද කතාවක් පමණයි. ලොවෙන්
සැගවී ගත් මෙබඳු කතා කොතෙක්
නම් ඇත්ද? දහසක් දුක් වේදනාවන් සමග නිවී ගිය තරු කැට කොතෙක් නම් ඇත්ද?
‘‘මේ අවිය බර වැඩියි”
Ishmael
Beah - A Long Way Gone
පරිවර්තනය :- අනුර කේ එදිරිසූරිය
ප්‍රකාශනය :- සුභාවී පබ්ලිෂර්ස්
මිල :- රු. 425.00
ලංකාවේ යුද්ධය නිම වී වසර හතරක් සපිරෙන්නට ආසන්නය.
මේ පොත කියවමින් යන
අතරතුර හිතේ මැවුණු යුද්ධය පිළිබඳ සජීවි චිත්‍රය
මගේ මව්බිමට අදාළ නැතැයි සිතන්නට මම රිසි වෙමි. නමුත් එය හිත රවටා ගැනීමක් නොවේද?
යුද්ධය නිසා සැබවින්ම පීඩාවට පත්වන්නේ යුද්ධයට උල්පන්දම් දෙන අය හෝ ඍජුවම ගැටෙන අය
හෝ නොව එයට අතරමැදි වන අසරණ ජනතාවය. ළමුන්ය. කාන්තාවන්ය. යුද්ධය නිම වී බොහෝ කලක්
ගත වී ඇතද එසේ පීඩාවට පත් වූ අයට සාධාරණයක් ඉටු වී ඇත්ද?
සැබවින්ම යුද්දයේ ගිනි පුළුඟු නිවී ගොසින්ද? යුද්ධයෙන් බැට කෑ මිනිසුන්ගේ දුක් වේදනා
සංසිඳී ඇත්ද? යුද්ධයට ඍජුවම
හෝ වක්‍රව සම්බන්ධ වූවන් තුළ මේ මොහොතේ ඇති ශාරීරික, මානසික, අධ්‍යාත්මික සහ
සමාජයීය පීඩාවන් කවරේද? යුද්ධයට ඍජුවම සම්බන්ධව සිටියවුන් නැවත පොදු සමාජය තුළ
සමාජ ගත කරවීමේදී වඩාත් හෘදයාංගම, දයාන්විත සහ අර්ථාන්විත වැඩපිළිවෙලක් අප සතුව ඇත්ද?
මසිත මේ ගැටළු පැන නැගෙන්නේ දමිල ජනයා ගැන පමණක්ම සලකමින් නොවේ. එල්ටීටී
සාමාජිකයින් හෝ එල්ටීටී ළමා සොල්දාදුවන් ගැන පමණක්ම සලකමින් නොවේ. යුද්ධයට ඍජුවම
හෝ වක්‍රව සම්බන්ධ වූ සියලුම ශ්‍රී ලාංකිකයින් පිළිබඳව සිතමිනි.
පශ්චාත් යුධ සමයක අපගේ අවධානය වඩාත් යොමු විය යුත්තේ යුද්ධය නිසා ඇති වූ සිත් බිඳීම්, අසරණ වීම්, අවතැන්වීම් සංහිඳවමින් මිනිස් සිත්සතන් තුළ සැබෑ සාමයක් ජනිත
කරවීමටත්, ජීවිතය පිළිබදව අළුත් බලාපොරොත්තුවක් ඇති කිරීමටත් නොවේද? නැවත යුද්ධයක්
ඇති නොවෙන තැනට සිත්සතන් සුවපත් කිරීම අද අප අභිමුව ඇති ප්‍රමුඛ කාර්යයයි.
‘‘මේ අවිය බර වැඩියි.” කාලීන අවශ්‍යතාවය
තේරුම් ගනිමින් කළ අගනා පරිවර්තනයක් බව කිව යුතුය. යුද්ධය නිමවීම ගැන සැනසුම්
සුසුම් හෙළමින් සිටින අපි සැබවින්ම යුද්ධයක් යනු කුමක්දැයි තේරුම් ගන්නටත්, යුද්ධයෙන්
පසුව අප මත පැවරී ඇති කාර්යභාරය කුමක්දැයි
තේරුම් ගන්නටත් මෙවැනි පොතපත කියවා හෝ අපේ හෘද සාක්ෂිය අවදි කර ගත යුතු යැයි මම
සිතමි.
‘‘ ..... ඇත්ත වශයෙන්ම මම හමුදාවට බැඳුණෙ මගේ පවුලෙ අය මැරිච්ච හින්දයි. බඩගින්න
හින්දයි. මගේ පවුලෙ අය මරපු උන්ගෙන් පළිගන්න ඕන හින්දයි. නොමැරී ඉන්න, කෑම ටිකක්
උපයගන්න මට ඕන උණා. හැමදේම ඉටු කර ගන්න තිබුණ එකම මාර්ගය, හමුදාවට බැදෙන එක.
සොල්දාදුවකුගේ ජීවිතය දුෂ්කරයි. ඒත් මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ..මම අද මේ කතා
කරන්නෙ පුනරුත්ථාපනය වුණු කෙනෙක් විදියට. ඒ නිසා මට බයවෙන්න එපා. මම තවදුරටත්
සොල්දාදුවෙක් නෙවෙයි. ළමයෙක්. අපි හැමෝම සහෝදර සහෝදරියො. වෛරයෙන් ප්‍රශ්න විසඳන්න බැහැ කියල මම අත්දැකීමෙන් වටහා ගත්තා. ” ( මේ
අවිය බර වැඩියි - පිටු අංක 231 )
ඉස්මායෙල් බේ විසින් 1996 වසරේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ ප්‍රථම
ජාත්‍යන්තර ළමා පාර්ලිමේන්තුවේදී කළ කතාවෙන් කොටසක්...
මේ පොත අර ගන්න ඕන මේ සැරේ නිවාඩුවේදි.
ReplyDeleteඇත්තෙන්ම යුද්ධය නිසා දුක් විඳපු හැම දෙනා ගැනම සානුකම්පිතව බලන අය දැක්කාම පුදුම හිතෙනවා හුලන් හවන අතට ගහගෙන යන්නේ නැති අය එකෙක් දෙන්නෙක් හරි ඉතුරු වෙලා ඉන්න එක ගැන.
පුලුවන් නම් කුමාරිගේ "ඔරොප්පු සාප්පාඩ" කියන කවි පොත හොයාගෙන කියවන්න.
කුමාරිගෙ කෙටි කතා පොතත්, අළුත් කවි පොතත් කියෙව්වා..
Deleteඒ වගේම ළගදි දවසක ඇය මුණ ගැහුණා.. ඒ වෙලාවෙදිත් පොතක ලියල තිබුණ කවි ටිකක් පෙන්නුවා..
හුළන් හමන අතට ගහගෙන යන්නෙ නැති ටික දෙනෙක් හරි ඉතුරු වෙලා ඉන්න නිසා අපටත් අපේ හෘද සාක්ෂිය අවදියෙන් තියන් ඉන්න උදව්වක් වෙනවා.. ඇත්තටම...
මේ ඉංග්‍රීසි පොත පුස්තකාලයේ තිබුණ . කියවන්න ඕන . මොහුත් සමග කල සම්මුඛ සාකච්චාවක් නැරඹුවා . ළමයෙක්ට ළමයෙක් විදිහට ඉන්න බැරි ලෝකය වැඩක් නැහැ .
ReplyDeleteඇත්තමයි බින්දි... ළමයින්ව ළමයින් විදියට පිළීනොගන්න ලෝකය කොයි තරම් සැහැසිද? පව්කාරද?
Deleteසුබ උපන්දිනයක් වේවා තරු අක්කේ !!!
ReplyDeleteස්තුතියි ... නදී නංගිද?
Deleteඔවු... ඔයා මාව අඳුරගත්තා නේ :)
Deleteහොද පොතක්, දන්න තොරතුරු මේවිදියට පුංචි පුංචි සටහන්වලින් බෙදාගත්තාම ඉඳහිටලා පොත් සාප්පුවලට ගොඩවැදුනාම ඒවෙලාවට මතකයට නැගෙනවා. ඒකම ඇති.
ReplyDeleteමෑතක ගොඩක් පොත් කියවන්නට ලැබුණා.. මේ අදහස් දැක්කම හිතුණා ඒ හැම පොතක් ගැනම කෙටි සටහනක් හරි ලියල තියන්න ඕන කියල... ස්තුතියි අයියේ අදහසට...
Deleteමේ වගේ කෘති වැඩි වශයෙන් ලංකාවේ සමාජගත කළ යුගයකයි අපි ඉන්නේ. ඒක නිසා මේ දැනුවත් කිරීම හරි වටිනවා
ReplyDeleteමෙවැනි පොත පත වැඩි වැඩියෙන් අවශ්ය්යි තමයි මල්ලී...
Delete