පිටු

Tuesday, January 14, 2014

මටත් හිම



කලකින් ගම්බිම් බලා එන මං
පිළිගන්න පේ වෙලා වාගේ ය දැන්..

ගුරු පාර දෙවැට දිග
ලන්ද මැද බැද්ද වට
හිම සේල ඇතිරිල්ල එළාගෙන
සඳ සිනා සලා මග බලාගෙන..

පිණි ඉහෙන හිමිදිරියෙත්
ගිනි දැවෙන මද්දහනෙත්
ඉර මියෙන හැන්දෑවෙත්

හිම බිඳිති... හිම බිඳිති
සුදු මොට්ටු මල් කිනිති...

පොඩිසිඤ්ඤො නැසුවාද හැබෑටම
මේ හැටිම සුදු සිනා සලාගෙන
කරුමයෙන් උරුමයට ආ එ නම

අසාධාරණ බව ම නෑඟුණි ද?

Saturday, January 11, 2014

ඔබ ඇවිත් හිත ළඟමයි..


රාත්‍රිය මැදියමත් තල්ලු කරගෙන පහන් දොරට දිව යමින් තිබුණා... හදිසියෙන්.. හරිම  හදිසියෙන්... හිත පුරා කාන්සියක්... මාන්සියක් මිස හදිසියක් තිබුණෙ නැහැ මට නම්...

හල්මිල්ල ගහ පුරාගෙන උන්නු කණාමැදිරියනුත් නින්දට ගිහින් වගේ... තැන තැන ඉඳ හිට යාංතමට එළියක් දැල්වුණා.... 

කතාවේ අවසන් තිත උඩ පෑන කොයි තරම් වෙලා තාවර වෙන්න ඇද්ද කියල හිතුණෙ, අවසන් තිත කඳුලු බින්දුවක් තරමට විසාල වෙලා පෙණුනම... ඒත් ඇත්තම ඇත්ත අවසානය නම් එය නෙවෙයි.


හීත හී තුඩු ඇමිනී හිතේ කවිකම් උපදියි
භීත අතැගිලි අවසඟ එකව් සැනෙකින් මියැදෙයි
ඈත අහසේ පුරහඳ  නෝක්කඩු නම් එමටයි
මෑත ගණඳුරු තුන්යම සාංකාවම දළුලයි......

යනෙන මං නැති කඳුලක් ඇහිපියස්සේ ළතවෙයි
විඳින විඳවන වග නම් දන්නෙ කවුරුද ඔබම යි
දැනෙන රිදුමක බර නම් කියනු කෙලෙසින් මෙතෙකැයි
යන්න හැරුණද සැනෙකින් ඔබ ඇවිත් හිත ළඟමයි.....


Thursday, January 9, 2014

ස්වර්ණවන්නියේ වල්ලිඅම්මලා






රාගම දුම්රියපළ පසුකොට අගනුවර දෙසට ඇදෙන දුම්රියේ දකුණුපස කවුළුවෙන් මේ දිනවල නිරන්තරයෙන් දිස්වන දසුනකි. වගුරු බිමට මායිම්ව හිස් බිම්කඩ මත  කාලවර්ණ ඉටිකොළයෙන් ආවරණය කළ කුඩා පැල්පත් කිහිපයකි. නිරුවත් දරුවන් ඔක්කේ ගසාගත් අඳුරු පැහැ වෛවාරණ ඇඳුමින් සැරසුණු ගැහැණුන් ය. තැන තැන උක්කුටිකයෙන් වාඩි වී විට හපන, කට කියවන මිනිසුන් ය. තැන තැන දුව ඇවිදින ළමා ළපටින් ය.

ස්වර්ණවන්නියේ වල්ලිඅම්මලාගේ  ඥාති සනුහරයේ අය විය යුතුය. දන්නා හඳුනන අයකු දුටු සේ මසිත ළෙංගතුකමකින් පිරී යයි. 

'කොතරම් නිදහස් නිවහල් ජීවිතද' මම සිතමි... 

නිදහස් නිවහල් මිනිසුන් යනු මේ මහපොළව මත තවදුරටත් යථාර්ථයක් විය හැකිද??????  ක්ෂණිකව මසිත මට ම සරදම් කරයි.   
සයිමන් ට 'සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා' මුණගැසෙන්නට බොහෝ කලකට පෙර 'ස්වර්ණවන්නියේ වල්ලි අම්මලා' මුණ ගැසෙන්නට ඇතුවාට සැක නැත. නමුත් ස්වර්ණවන්නියේ වල්ලි අම්මලාගේ කතන්දරය නොපළ කෘතියක් ව කඩදාසි ගොනු අතර හුදකලා කර තබන්නට ඔහු තීන්දු කර ගත්තේ මන්දැයි ගැටලුවකි. 

''ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා'' කියවමින්, බැදෙමින්, විස්මපත් වෙමින්, ආනන්දයෙන්, අවබෝධයෙන් පහන් වන සිත් දකිමින් සමහර විට ඔහු ඉන්නා තැනක සිට මන්දස්මිතයක් නගනු නිසැක ය. සමහරවිට ඒ ගැන වගේ වගක් නැතුවා වන්නට ද හැකිය. 

''ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා''
කර්තෘ - සයිමන් නවගත්තේගම

..............................

'' මුත්තම්මා...

ඒක නෙවෙන්නං මයෙ නම.. අම්ම අප්ප තියාපු නමක් ගමක් ගැන නිච්චියක් නෑ නොවැ.. 

අපේ රැහේ උරුම කරුම හන්දා සිද්දවෙන කරුණු කාරණා ගැන සහසුද්දෙන් බෝම ලකේට කතාන්දරයක් ලියාලා තියෙනවා නොවැ  සයිමන් උත්තමයා.. උන්නැහේ ඒක ‍පොරසිද්ද කොරල නැතුවලු කළින්... දඩයක්කාරයින්ගෙ කතා තරමට හිත් ගත්තෙ නැතුවා වද්ද? ‍එහෙම හිතාලන්නත් අමාරුයි නොවැ. මේ තරම්ම ආදර කරුණාවකින් අපේ රැහැ ගැන ලියාල තියෙන අපූරුව දැක්කම...

රැහේ බලපුළුවන්කාරි මං කියලයි හැමෝම කියන්නෙ.. මහී කාන්තාවට තරමටම රැහේ උන්ගෙ ගවුරවේ මට ලැබෙනවා. ගෑණු පරානයකට නායකකොම දීගෙන, ඇහුම්කන්දීගෙන වැඩ කොරන මෙහෙව් මනුස්ස කොට්ටාසයක් මිහිපිට ඉන්නවද තව... ගනිච්චියක් නෑ මට නං ඕන්න... වි‍සේසෙන් ඔය කුලවන්ත ඇත්තො අතරෙ.. 

ගෑණු පරානෙකට මොන තරං ගවුරවයක් අපේ රැහේ ඇත්තො අතර තියෙනවද කියල මේ පුස්තකේ බලාපු කෙනෙකුට තේරුම් යාවි...

'' හදුන් කිරිපැණියෙන් හත්දවසක් පුරා දිය නාලා පේවස් වුණත් මාස් සුද්දියෙන් සුද්ද වෙන ගෑණු පරානකාරියක් තරමට පිරිමියෙකුට නම් මේ සම්මජ්ජාතියෙ සුද්දවන්ත වෙන්නට බැරුවා ය. ''

කුවේණි අම්මයෙ පිහිටෙන්, රත්නවල්ලි අම්මයෙ කරුණාවෙන් අපිත් ඉතින් දිවි ගැටගහගන්නව නොවැ. මට ඉතින් මේ ඔක්කොම මයේ කුසේ උපන් දරුවො ගානයි. පරම්පරා ගාණකට අම්ම වෙලා අන්තිමේ මුත්තම්මා වෙලා කුවේණි අම්මගෙ පිහිටාරස්සාව ඉල්ලගෙන, රත්නවල්ලි දේවතාවුන්ගෙ ඇස් මායිමේ රැහේ උන් රැක බලාගෙන ඉන්න එක නෙවැ නහින දෙහින කාලෙ එකම තන්තෝසෙ...

මට යාංතමට වගේ මතකයි, ඔය සයිමන් උත්තමයා ලියාල ඇති වගවිත්ති.. එක වංගියක් දිවි දෝසෙ කැටල රැහේ උපන් ගෙයිම බිළින්දො මියෑදෙන්න ගත්තා.  වල්ලි අම්මත් අපේ කුප්පායම අතෑරල වෙන අහකට වැඩම කොල්ල තිබුණා. අන්තිමට වැදූ ගෙයි මියෑදුණේ බංටිගෙ කුළුදුල් දරු පැටියා.. ඒකා කැලේ ගහල ආවයින් මනත මං තීන්දු කොලා ඒ කුප්පායම අතෑරල යන්ට.. අපේ උන් ඉතින් එක පයින්.

''.... මෙහෙම පාරට තොටට බහින්නට සිද්ද වෙන එක තරම් සන්තෝසදායක දෙයක් ගාඩි රැහේ ඇත්තන්ට මේ ලෝකේ තවත් නම් නොවීය. තවලම ඔවුන්ගේ සහජ පැවැත්ම විය. මහී කාන්තාවගේ ඇඟපත උකුල හරහා කූඹි රැළක් මෙන් පේළියක් සැදී සංචාරය කිරීම කූඹි රැළකගේ අසිරිමත් සොබාවය ‍වගේ ම ගාඩි රැහේ ද අසිරිය වීය.....

....මහ පොළවෙහි යම් තැනෙක පැල්පත් හදා තාවකාලිකව වුව ද කුප්පායමක් වශයෙන් පදිංචි වූ විගස අතීත වර්තමාන අනාගත සියලු පව් කන්දරා ඒකරාශිව බරක් වන්නේය. මහී කාන්තාවට බරක් නොවී ඇගේ දිග පළල කය හරහා ගමන් කරනා විට ගාඩි කුප්පායමේ හැම‍දෙනා ඔවුන්ගේ සියලු දැඟලිලි, පෙරළිලි අතර වුව ද බරක් නොවනා සැහැල්ලු උකුලක් මත දඟලන දුවා දරුවන් පරිදි සැහැල්ලුවට පත් වෙන්නෝ ය. "

ඔය යන ගමනෙදි නොවැ මාකඩුවාව ඇත්තො මුලිච්චි උනේ. උන්දෑ පරදේසක්කාර උත්තමයෙක්ට විනේ කැටල සුදු උත්තමයන්ට කොරෝද විරෝද පාලා ආණ්ඩුමට්ටු වෙලා යන ගමනෙදි තුන්පත් රැලකට අහුවෙලා හොදටෝම අරෝබලත් වෙලයි උන්නෙ.. උන්නැහැගෙ කුලමාන්නෙට හිත් අමාරු නොගෙන අපි උන්දැගෙ පරාණෙත් ගළෝල ඇත් පැට්ටෙකුගෙත් දිවි ගලෝල දිවි දෝසෙන් මිදුණ නෙවැ.. රැහේ එකාලට රොස්පරොස් දොඩාපු මාකඩුවාව ඇත්තන්ට මං කියාපු දැනමුතුකම් හෙම සයිමන් උත්තමයා ඔය යස අගේට ලියාල තියෙන්නෙ.

''..... පොළෝ මහී කාන්තා මෑණියන්ගේ අනික් ඔක්කෝම වගේ සැප සම්පත්, උන්නාන්සේගේ කුසෙන් බිහිවෙන දේවල්, අමුර්තෙ වගේ ගලාගෙන එන රත් ඕජස්, මුතු මැණික් වටින සම්පත්, ඔය ඇත්තොලා පොර කකා උදුරගෙන බෙදාහදා ගන්නවා. පොළෝ මෑණියන්ට රිදව රිදව, පාරව පාරව, පොළෝ කොටල බලාත්කාරෙන්... උන්දැගෙ තනවලින් ඉබේ ගලන කිරි බොන්නේ නැතුව මුළු තනේම කපල කනව වගේ තණ්හාවට ඔක්කෝම බදා ගෙන හපා කනවා. හංගාගන්නවා අටුකොටුවල....



........ ඩිංග ඩිංග ඉහගෙන කනබොන එව්වා අමෘතෙ වාගෙ කොරාගෙන මොන මහිත්තුවකට ද ඕව වැට බැදගෙන බෙදාහ‍දාගෙන අයිති කොරගෙන ඉන්නෙ. අයිති කොරගෙන ඉන්න හින්ද නේද පරදේසෙන් නැව් නැගල එන මිනිස්සුන්ට හිට ඔව්ව ගැන කෑදරකමක් ඇති වෙන්නේ? ඉතින් දෙගොල්ලකට බෙදිල හැදිල යුද්ද, කොරෝද කර ගන්නවා... "

ඔය අල්ලපනල්ලෙම තමයි ඇතින්නට යට වෙලා බංටි කෙල්ල මියෑදුණෙ... ඈ දිවි දුන්නෙ රැහැ වෙනුවෙන්. පස්සෙන් පහු මාකඩුවාව ඇත්තොත් උහුලාගෙන ඇවිත්... ඇවිත්... අපි ආයෙම වාඩිලෑවෙ රත්නවල්ලි දේවතාවුන් වහන්සෙ වැඩම කොල්ල උන්න, අද ඔය ඉනාමලුව කියල පොරසිද්ද වෙලා තියෙන ඉසව්වෙ..  එතනින් එහාට සිද්ද කෙරිච්ච එව්ව පොතේ ලියවිලා නැතුව ඔන්න.. තම තමන්ගෙ නැණනුවණින් හිතාගන්ට හැකි නෙවැ..

සුරංගනා කතාවක් වගේය කියාල හිතාලා මේ කතන්දරේ හෑල්ලුවෙන් තකන්නෙ මකන්නෙ නැතුව, සොබාවදරුමයා එක්ක පෑහුණ අපේ රැහේ වගවිත්ති තේරුම් බේරුම් කොර ගන්නය කියලයි මං ඔය ඇත්තන්ගෙන් ඉල්ලන්නෙ... අපේ විස්වාස, රැහේ රීති ඔය ඇත්තන්ට අමුතු ‍දේවල් වෙන්ට ඇති. ඒත් සිහි බුද්ධියෙන් හිතල මතල බැලුවොත් කාරිය තේරුම් පැහැදුම් යාවි ඒවයෙත් ගතයුත්තක් තියෙන විත්තිය... 

වල්ලිඅම්මගෙ නාමෙන් පුරන තන්තරයක් ගැනත් සයිමන් උත්තමය ලියාල ඇති... මේ විදියට...

'' මේක අපේ රැහේ පරම්පරාවෙන් පරම්පරාවට සිද්ධ වෙන්නාවූ බරපතළ කාරණාවක්... එක පෙකණිවැලකින් රැහේ ඔක්කෝම නෑදෑයෝ බැඳිලා දැවටිලා ඉන්නකොට අම්මා, තාත්තා, පුතා දූ නංගි, මල්ලි අක්ක විදියට එක ම ලේ, එක ම චක්කරේට කැරකෙනවා. කන්න දහ පහළවක් විස්සක් තිහක් යනකොට ඒ චක්කරේ එකට බැදිච්චි එක ම නැඹ වැලේ ලේ අමියා වෙනවා. ආගන්තුක බලසම්පන්න පෙකණිවැලක් මේ චක්කරේට වසී කොරගෙන එක්කහු කොරල බැදගන්ඩ ඕන... ''

වගවිස්තර කියවලාම බලන්ට... පුරාණෙ ඉදන් එන චාරිත්තර වාරිත්තරවල ඇත්ත යුත්ත තේරුම් පැහැදුම් යාවි. ඕව ඔක්කොම සොබාවදරුමයා එක්ක ගැටගැහිල තියෙන කාරණා වෙච්චි..  අලුත් පන්නෙ ඇත්තන්ට හරියාවිද මන්ද?

ඔය අතරෙ ඇති ගම්ගෙවල් ඔල ඇත්තො, රට පාලනේ කොරන ඇත්තො ගැනත් යම් යම් කතන්දර.. ඔක්කෝම එකට එක්කාසු කොරල, අපෙත් නැණනුවණ පාදන අගේ ඇති කතන්දරයක් වියලා නොවැ...

ඔය ඇත්තන්ගෙ බාසාවයි, අපේ බාසාවයි සාරසුබාවට කවලම් කොරාලා ලකේට මේ කතාන්දරේ ගොතල තියෙනවා. අපේ රැහැ ගැන මහා ආදර කරුණාවකින් බැලුම් නොලා මෙහෙව් කතාවක් ලියනව ‍බොරු... 

පස්සෙන් පහු සයිමන් උත්තමයා ලියාපු පුස්තක බොහෝම බරසාරයි කියාල මං අහල තියෙනවා... මේ කතාන්දරේ නම් කාට කාටත් හිසේ ඇම්මක් නැතුව කියවා ගන්ට ඇහැක් වේවි... 

ඔය හිංගල පොතපත කියෝනව කියන ඈයො සයිමන් උත්තමයගෙ පොතපත මගාරින්න නාකයි. හරි අරුම පුදුම ලිවිල්ලක් නෙවැ උන්නැහැට තියෙන්නෙ.. එ‍හෙව් ලියන්නෙක් මේ සම්මජ්ජාතියෙ පහළ වේද හිතන්න අමාරුයි... දේශදේශාන්තර බාසාවලට දැම්මොත් කාරිය හෙම නම ගිය පුස්තක එක්ක ‍එක පෙළට හිටීවි .. හා නැද්ද මං අහන්නෙ... ''


Saturday, January 4, 2014

හද බැඳි සුදු මුදු


මනුෂ්‍යත්වය කෙතරම් අපූරුදැයි ජීවිතයෙන්ම පසක් වන නිමේෂයන්හි දී මුළු ලොවම බදා වැළඳ ගත හැකි නිරායාස පේ‍්‍රමයකින් සිත ඇළලී යයි. එවැනි සුන්දර මොහොතවල දී සිත නැළවිල්ලේය. සැනසිල්ලේ ය. වත නිරන්තර සන්සුන් මදහසකි. ගහකොල, ඇලදොල, කුරුල්ලන්, සමනලූන්, උඳුපියලිය මල්, කණමැදිරි එළි සමග පවා සිනාසෙන්නට සිත්වෙයි. මෙය උමතුවක්දැයි විටෙක මට සිතේ. කෙසේ හෝ එවැනි මහා මෙත් කරුණාවකින්, සංහිඳියාවකින් සිත පිරී ගිය තවත් සුන්දර දවසක් පිළිබඳවය මේ මතක සැමරුම...

දෙව්මැදුර අබියස දී තුන්රෝද රියෙන් බසින විට ම දුරුත්තේ සීතල පවනැල්ල ගත දැවටී හිත නවමු මිහිරියාවක ගිල්වා ලී ය. තේවත්ත බැසිලිකා දෙව්මැදුර ආසන්නයේම ඇති පරණ පල්ලිය, කුඩා පල්ලිය නැතිනම් ලූර්දු මාතා දෙව්මැදුර නෙත ඉදිරියෙනි. මා එහි පැමිණියේ හිතවන්ත සොයුරියකගේ විවාහ මංගල්‍යයකට සහභාගි වීමට ය. මනාල මහතා ද මා දැන සිටියෙකි.

අරුමයකි. මග දෙපසත්, දෙව්මැදුර පුරාමත් ධවල පැහැ වස්ත‍්‍රයෙන් ඉතා සරලව සැරසුණු පිරිසකි. විවාහ මංගල්‍යයක වෛවාරණ විසිතුරු වෙනුවට බලන බලන අත මුදු සුදු පැහැය ය. සුදු මුදු සිනා ය. සාමාන්‍ය කඩදාසියක මුද්‍රණය කර තිබූ ඇරයුම් පතේ පවා ‘‘සරල චාම් ඇඳුමින් සැරසී පැමිණීම අපි ඉතා අගය කරමු.’’ යනුවෙන් සටහන් ව තිබූ බව මගේ මතකයට නැගිණි.

දෙව් මැදුර ද හරි අපූරු ය. වට කළ බිත්ති හෝ මහා දොර කවුළු නැත. කණුවලින් සුසැදි එය වඩා නිදහස් ව, නිවහල් ව සමස්ත පරිසරය සමඟ අනන්‍ය වෙමින් ස්වර්ගීය සලකුණක් ව, දිළිඳු බවේ සංකේතයක්ව පවතින්නකි. සුළං රැලි පවා නිදහසේ සක්මන් කරයි.

‘‘ පැමිණියාට ස්තුතියි’’

මම විස්මපත් වීමි. දෙව්මැදුරට පිවිසෙත්ම දෑත් එක්කොට වැඳ මා පිළිගත්තේ මනමාල මහතා ය. සුදු පැහැ ජාතික ඇඳුමින් සැරසී සිටි ඔහු නිරුවත් දෙපයින් පැමිණෙන සියල්ලන් වෙත යමින් එලෙසින් ම පිළිගන්නා අයුරු මම බලා සිටියෙමි.

තවත් අරුමයකි. නියමිත වේලාවට ම දිව්‍ය පූජාව ආරම්භ විය.

මනාලි පාර්ශවයේ කිසිදු පමාවක් නැත. කිසිදු සැරසිල්ලක් නොවු මොටෝ රියකිනි ඈ පැමිණියේ. මනාලිය සිය මව්පියන් සමඟ ගීතිකා නද මැදින් අල්තාරය අබියසට පැමිණෙන්නීය. 

ඒ නම් මා මුළු ජීවිතකාලයට ම දුටු සරල ම, සුන්දර ම මනාලිය ය. 

සාමාන්‍ය සුදු ඔසරියකින් සැරසී සිටි ඇය පුංචි මල් කිනිත්තක් පමණක් හිස ගවසා ඇත්තී ය. වේලය බිම අමදින තරම් දිගු නැත. පළඳනා ද සුදු පැහැයෙනි. ඉතාම සරල ය. ආලේපන ගැල්වූ බවක් නොපෙනෙන තරම් ය. කුඩා සුදු අරලිය මලින් සහ දෑ සමන් මලින් සැකසූ මල් කළඹක් අත දරන්නී ය. නමුදු ස්වර්ගයෙන් බට දිව්‍යාංගනාවක් තරමට ඇය සුන්දර ව පෙණුනි. අරුමෝසම් මනාලියන් දැක හුරු පුරුදු නෙත නිවී ගියාක් වැන්න.

විවාහ මංගල දිව්‍ය පූජාව  ද අර්ථවත් ගීතිකාවන්ගෙන්, යැදුමින් පිරිපුන් විය. පළමුවෙනි කියවීම බයිබලයේ මා ඉතාමත් ප්‍රිය කරන ‘‘ප්‍රේම පාරමිතාව ය.” කොතරම් ප්‍රිය වුව ද, මෙතරම් පෙම් කිරීම නම් පහසු කටයුත්තක් නොවේ.

‘‘ප්‍රේමය........
 ඉවසිලිවන්ත ය. කරුණාවන්ත ය.
ප්‍රේමය........
ඊර්ෂ්‍යා වන්නේ නැත. පාරට්ටු කරගන්නේ නැත.
උඩඟු වන්නේ නැත.
ප්‍රේමය....
අවිනීත නොවේ. ආත්මාර්ථකාමී නොවේ. හනික නොකිපේ.
නපුර සිතේ ධාරණය කර නොගනියි.
ප්‍රේමය...
අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී හරි දේ ගැන ප්‍රීති වෙයි.
ප්‍රේමය... සියල්ල උසුලයි.
ප්‍රේමයෙහි විශ්වාසයට ඉමක් නැත. බලාපොරොත්තුවට නිමක් නැත.
ඉවසීමට අගක් නැත.
ප්‍රේමය සදාතනික ය.....”

පියතුමාගේ දේශනය ද කලෙකින් අසන්නට ලැබුණු අර්ථවත් දෙසුමකි. ඒකාකාරී, අරුත් විරහිත දේශනා අසා සිටින්නට නොහැකි කම නිසාම පූජාවලට සහභාගි වීමද එපා වූ කාලයක එම කෙටි දේශනය  සිත් ගත් බව නොකියාම බැරි ය.

නව යුවල හුවමාරු කර ගත්තේ සුදු මුදු ය. එනම් සුදු යකඩින් සැදු මුදු ය. රන් තැලි පැළඳවීමක් නොවීය.


විවාහ මංගල්‍යය වෙනුවෙන් කිසිදු උත්සවයක් නොගන්නා බව ද, එකම උත්සවය මෙම දිව්‍ය පූජාව බව ද කියැවිණි. දිව්‍ය පූජාවෙන් පසුව සියල්ලන්ට තේ පැන් සංග‍්‍රහයක් සඳහා ඇරයුම් ලැබිණි.

කිතුනු ජනතාව අතර සුවිශේෂ අනන්‍යතාවයකින් කැපී පෙනෙන ‘‘පුබුදු’’ කිතුනු සංඝය සරල අල්පේච්ඡ ජීවිත පැවැත්මක් ගත කරන්නෝ වෙති. ‘‘සුදු මුදු විවාහ’’ ලෙසින් හැඳින්වෙන ඔවුන්ගේ විවාහ මංගල පිළිවෙත් අතිශයින් සරල ය. ඒ පිළිබඳව අසා තිබුණ ද මම මුල්වරට සුදු මුදු විවාහයක් දෑසින් දුටුවේ අද ය. ණයබරින් මිරිකෙමින් ජීවිතය එපා කරවන විවාහ මංගල උත්සව වෙනුවට කොතරම් අගනා විකල්පයක් ද සුදු මුදු විවාහය.

තේ පැන් සංග‍්‍රහය ආරම්භ කිරීමට පෙර නව යුවළ විසින් දෙව්මැදුරු භූමියේ පැළයක් රෝපණය කරනු ලැබීය. අනතුරුව ඔවුන් පැමිණි අමුත්තන්ගේ සුබ පැතුම් පිළිගන්නා අතර අපි දන්නා හඳුනන හිතමිතුරන් සමග සංවාද වෙමින් නිදහසේ සංග‍්‍රහය භුක්ති වින්දෙමු.

විවාහ මංගල්‍යය මෙහෙයවීමේ නිල බලය ලත් ඡායාරූප ශිල්පීන් නොමැති වීම මහත්ම භාග්‍යයකි. එනිසා ම මනාල යුවලටත් අපටත් රිසි සේ සැරිසරන්නට නිදහස ලැබුණු අතර හිතවතෙකු කිසිදු න්‍යාය පත‍්‍රයකින් තොරව, ඉතාම ස්වභාවික හැසිරීම් රටා සිය කැමරා කෝණයට හසුකර ගන්නා අයුරු දකින්නට ලැබිණි.

පසුබිමින් සිහින් සංගීත රාවයක් පැතිරිණි. ලතින් ගීතිකාවක අනුවාදනයක් විය හැකිය. එය කිසිසේත්ම අපේ සතුටු සාමිචීයට බාධාවක් නම් නොවීය. බොහෝ විවාහ උත්සව මහා කන්දොස්කිරියාවක් වන්නේ එය විවාහ මංගල්‍යයකට වඩා සංගීත සංදර්ශනයක් වන විට ය. එය ද බැහැර කොට තිබීම කොතරම් ආශිර්වාදයක් ද?

සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයක දී තිළිණ ලබා දෙන්නේ මනාල යුවලට ය. නමුත් මේ මංගල උත්සවයේ දී මනාල යුවල විසින් පැමිණ සිටින සැම ට තිළිණයක් සූදානම් කර තිබිණි. ඒ පළතුරු පැළයකි. කොස්, අඹ, අනෝදා, නෙල්ලි, දොඩම්, රඹුටන්, සැපතිල්ලා, කාමරංගා, බෙලි ආදි වූ බොහෝ පළතුරු පැල වර්ග එහි විය. අපට රිසි පැලයක් තෝරා ගන්නට ඉඩ ලැබිණි. මා තෝරා ගත්තේ බෙහෙත් නෙල්ලි පැලයකි. ඒ තනියෙන් සිටින අපේ ගෙදර පැල කරනු සඳහා ය.

මේ නම් අරුම පුදුම මගුලක් ම නොවන්නේ ද?

මම ද නව යුවළ වෙනුවෙන් තිළිණයක් ගෙන ගියෙමි. ඒ පොතකි. තිළිණය ප‍්‍රතික්ෂේප වන විට ‘‘මේ පොතක්.. පුංචි මතක සටහනක්..’’ කියන්නට සිදු විය.  සිනාමුවින් තිළිණය පිළිගැණුනේ ඉන්පසුව ය. 

සරල අල්පේච්ඡ දිවි පැවැත්මක සංහිඳියාව අත්දකිනු නොහැකිව අතෘප්තිකරව ජීවිතය ලූහුබඳින මිනිස් වගට මෙවැනි ආදර්ශමත් මිනිසුන් අසිරියක් ම නොවේද? 


2014 ජනවාරි 04

Tuesday, December 31, 2013

ආදරේ ඕනෑම නෑ කිව්වත් ආදරෙයි මං හීතල හිම කැටයට...






2013 දුරුතු මහේ දවසක හිම කැටයක් හමුවුණා මට....
නොලියවුණු කවි කන්දක් පාමුල හුදකලාවක හිර වුණ...
හීතල හිම කැටයක් උණත් හරිම උණුසුම් හදවතක්...
තනිකමට සින්නක්කරව පවරා දුන්
ගල්ගැහුණු හදවතත් සැළුණා සත්තකින්.....

නපුරුයිලු 2013 බොහෝදෙනෙක් සාංකාබර සිතින්...
ඒත් සුන්දරම වර්ෂයයි ජීවිතේ  පුරාම හමුවුණ මට නම්...
මගේ ‍නොවන මගේම ප්‍රේමයක් හිත රැඳුණ...
කඳුළුත් ගැලුවා හීතලට... සුසුමන් නැගුණා උණුහුමට...
ආදරේ ඕනෑම නෑ කිව්වත් ආදරෙයි මං හීතල හිම කැටයට...

ළා හඳ එළියේ කප්පරක් කණාමැදිරි රැඟුම් එළිදකින..
සීනියාස් මල් යායට.. දාස්පෙතියා මල්ගොල්ලට
මැදිවුණු හුදකලා පුංචි ගෙපැළක...
පණගැහෙන ප්‍රේමණීය හදවතක්... ඉතිරි කළා මට 2013

මුවින් මුව පැතුවත් සුබ නව වසරක්...  
සුබවෙන්නෙ කොහොමද නව වසර....
දිළින්දන්ටත්.. සොබාදහමටත් සරණක් නැති මෙහෙව් දේශයක...
හිතන සිතුවිල්ලටත් වැට බඳින්නට අර අදින අරුමපුදුම බිම්කඩක...
බලාපො‍රොත්තුවක් පමණයි ඉතිරි මනුස්සකමේ නාමයෙන්....
අත්අල්ලාගන්න එකට... ජීවිතේ පුරාම රැකගත් හොඳහිත් එක්ක...

මිනිස්කම වෙනුවෙන්... ප්‍රේමයෙන්... මෛත්‍රියෙන්
තවත් පියවරක් ඉදිරියටම යන්න 2014 දිත්
ධෛර්යයම ලැබේවා... හැම හිතකටම...