පිටු

Thursday, January 31, 2013

ඈ මට කතා කළා...



අද 2013 ජනවාරි මාසෙ අන්තිම දවස... මධ්‍යහනයේ නාඳුනන අංකයකින් ඇමතුමක්..

‘‘ අක්කා නාන් කවීතා ”

‘‘ ඕ ගෝඩ් කවීතා ” ........... ! මගේ හිතේ හිනා මලක්. 

ඈ ඔබට මතක ඇති ජීවිතේ සුන්දරද මෙතරම්  ලිපියේ 2013.01.20 දාතමින් ලියැවුණු දින සටහනේ කතා නායිකාව ඇය..

ඥාති විවාහ මංගල්‍යයේ දෙවෙනි දවස යෙදී තිබුණේ 24 රෑ. මා වැඩ නිමවී යන විට රාත්‍රියත් උදා වී ගෙන. මා දුටු මතින්ම කවීතාගේ මූණ පුරා  පාළොස්වක සඳ පිපුණා. දුව විත් දෝතින්ම මා අත ගත්තෙ කිරිල්ලියක් වගේ. නිතරම මා ගැන විමසූ බවයි මගේ නැගණියද පැවසුවේ. ආදරණීය සොයුරියක් විදියට මා ඇගේ සිතේ රැඳී සිටින්නට ඇති. එය මට අපරිමිත සතුටක්. එක් හිතක හෝ සැබෑ ආදරයක්, සංහිඳියාවක් ගොඩ නැගෙනු දැක්ම මට සැනසුමක්....

රාත්‍රී සාදය පුරාම ඈ උන්නෙ මා අසල දැවටි.. දැවටි.. මා ඇය මගේ පවුලේ අයට හඳුන්වා දුන්නෙ මගේම යෙහෙළියක් ගාණට. පසුදා පාන්දරින්ම යාපනේ ගමනට පිටත් වූ නිසා මට ඇයට සමුදෙන්නටවත් නොහැකි උණා... ආපසු යන්නට පෙර ඈ නංගීගෙන් මගේ දුරකථන අංකය ඉල්ලාගෙන තිබුණා.

ඉතින් අද මා ඇමතුවේ ඇයයි මගේ මතකයෙන් ගිලිහී යමින් සිටියදී...

‘‘ කවීතා............ එප්පඩි සුහම් තංගච්චී ”

‘‘ නල්ලම් අක්කා...” තේරුණේ එපමණයි. තවත් දිග හෑල්ලක්.. අණ්ඩර දෙමළ වගේ... මම කමල් සොයා ගෙන දිව්වා. ඔහු දමිළ යාපනේ වැසියෙක්. වැඩ කරන්නෙ අපිත් එක්ක කොළඹ. සිංහල දමිල භාෂා දෙකම මැනවින් හසුරුවනවා...

ඔන්න දැන් භාෂා පරිවර්තක කමල්.

‘‘ අක්කා... ඇන්ටිගෙ පෝන් එක නැති උණා.. එයාට කෝල් එකක් ආවා. මමයි ෆෝන් එක ගෙනිහින් දුන්නෙ. එයා ළිඳ ළඟ ඉඳන් කතා කළේ. ළිඳ ළඟ තියන්න ඇති. වඳුරො ගෙනිච්චද දන්නෙ නෑ. ළිඳට වැටුණද දන්නෙ නෑ. මම හොරකම් කළා කියල හිතල මට ගැහුවා. මාව ගෙදරින් යැව්වා.. ”

ඈ කී දිගු කතාව කමල් මට සාරාංශ කළේ එලෙසින්.

“ දැන් ඔයා කොහෙද ඉන්නෙ. ” මගේ සිංහල ප්‍රශ්නය කමල් දෙමළ බසට හරවනවා.

‘‘ පුංකුඩතිව්... මේ අම්මගෙ ෆෝන් එක. අක්කා ඕන වෙලාවක කතා කරන්න. මම හොරකම් කළේ නෑ අක්කා. ”

කමල් සහ කවීතා අතර සංවාදය අතරතුර මගේ හිත දැවෙනවා.. ඈ අහිංසක කෙල්ලක්. කෙසේවත් මෙවන් වරදක් සිදු විය නොහැකි යැයි මට විශ්වාසයි.  ඇය ඇන්ටී ලෙස හඳුන්වන්නේ මගේ ඥාති නැන්දණියවයි. ඈ සිංහල. ඇගේ ස්වාමියා දමිළ. ඔවුන් වව්නියාවේ වාසයට ගියේ එබැවින්. ෆෝන් එකක් නිසා අහිංසක පුංචි කෙල්ලව තලා පෙළන්නට තරම් ඈ දරුණු වේවිද?

කිසිවක් සිතා ගත නොහැකිය. 

නමුත් ඈ මට කතා කළා ඇගේ දුක කියන්නට. මගේ දෙනෙත් තෙත් වන්නේ ඒ ආදරය, ගෞරවය සහ විශ්වාසය නිසයි.

‘‘ අක්කා.. සී යූ.. බායි... ” මට වැටහෙන බසින් ඈ මට සමු දුන්නා.

‘‘ දෙවි පිහිටයි. සතුටින් ඉන්න නංගී. මම ඔයාට කතා කරන්නම් ” මගේ සිංහල සිතුවිලි කමල්ගේ පිහිටෙන් දමිල බසට හරවාගෙන මම ද ඇයට සුබ පැතුවා.  

නමුත් මහා හිස්තැනක් හිතේ ඉතිරි වුණා වගේ මට දැණුනා..

හිතේ හැටියට ඇගේ දුකට සවන් දෙන්නට, ඇගේ හිත හදන්නට නොහැකි උණේ භාෂා ප්‍රශ්නය හරස් වූ නිසා. ඒ ළතැවිල්ල තාමත් හිත පුරා..

16 comments:

  1. දාන්න කෙටල ඉවර වෙච්චි එක ගියා. ආයේ කම්මැලියි. ඇය ආයේ එන වනිට ඔයිට වඩා සතුටෙන් ඉදීවි. ප්‍රශ්න විසදන්න කාලය තරං සමතෙක් තවත් නෑ තසී

    ReplyDelete
    Replies
    1. ඇත්තම තමයි... වෙලාවකට මැරෙන්න හිතන තරම් කාරණා කාලයක් ගිහින් ආපහු හැරිල බලද්දි කොයි තරම් සුලු දේවල්ද කියල හිතෙනවා... කාලය හිත සුවපත් කරනවා වගේම මැදිහත්ව ජීවිතේ දිහා බලන්න තරමට අපිව පරිණත කරනවා..

      Delete
  2. දෙමල කතා කියවනකොට මට මතක් වෙන්නෙම අනුෂ්කව...
    හිත නිකං මෙවුවා වෙලා යනවා අප්පා.... :D

    ReplyDelete
    Replies
    1. ඒක දුක්බර කතාවක් වගේ...

      Delete
    2. මොන දුක් බරද මේකගේ හීනයක් ඔය....

      Delete
  3. තරූ ගේ හිත මමනම් හොදට තේරුම් ගත්ත වගේ දෑනෙනවා... ඔය විදිහට් කෙනෙක් ගෑන අනුකම්පවෙන් බලන්න පුලුවන් වෙන එක දෙවියො දීපු තෑග්ගක් තරූ.

    ReplyDelete
    Replies
    1. දෙවියො තෑගි දෙන්නෙ නිකම්ම නෙමෙයි නදී... '' ඔබ නොමිලයේ ලැබුවහුය. එය නොමිලයේම ලෝකයට දෙන්න." එයයි ත්යානගශීලී දෙවියන්ගෙ කැමැත්ත.

      Delete
  4. පව්. අහිංසක කෙනෙක්. මට මොනවද කමෙන්ට් කරන්නේ කියලා හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මමත් හිතනව ඇය අහිංසකයි කියල. ඇගෙන් එවැනි වරදක් සිදු වෙන්න විදියක් නැහැ.

      Delete
    2. තරු අක්කේ, මට කියවන්න ලස්සන නවකතා පොත් දෙකක තුනක නම් එවන්න පුලුවන් ද ?
      මෙන්න මේල් ඇඩ්‍රස් එක.

      sithakasankalpana@gmail.com

      මං අන්තිමට කියෙව්වේ රතු ඉද්ද, ස්වයංජාත, කන්දක් සේ මා, පරඩැල් වගේ පොත්. මේ ඇරෙන්න ලස්සන නවකතා නම් ටිකක් එවන්න.ස්තුතියි.

      Delete
  5. බස අපව කෙතරම් දුරස් කරනවද?..බොහොම හැගීම්බර සටහනක්...

    ReplyDelete
    Replies
    1. මෙවැනි අත්දැකීම් ඇති නේද ඔබටත්.... ?

      Delete
  6. භාෂාව මිනිස්සුංව ඈත් කරල තියෙන හැටි නේද? අපේ ඔෆිස් එකේ ඉන්නව පොඩි කාලෙ ඉඳන්ම කණ් ඇහෙන්නෙ නැති කෙනෙක්. ඒ නිසාම එයාට කතා කරන්නත් බෑ. ඉතින් අදහස් හුවමාරු කරගන්න ගියාම මූණදෙන්න වෙන තත්වෙ හිතාගත්තැහැකිනෙ...

    තරු අක්කලට අර දෙමළ භාෂා පන්ති තිබ්බෙ නැද්ද? දැන් ආණ්ඩුවෙ රස්සා කරන අය දෙමළ ඉගෙන ගන්න ඕනිනෙ.

    ReplyDelete
    Replies
    1. දෙමළ ඉගෙන ගන්න අවස්ථා ඕන තරම් තිබුණා. ඒ ගැන උනන්දු උණේ නැහැනෙ. මම 2004 රස්සාවට ආවෙ. ඒ කාලෙ දෙමල අනිවාර්ය නැහැ මල්ලි. දැන් නම් ඉගෙන ගන්නම ඕන...

      Delete
  7. මේක ඇත්තම අත්දැකීමක්ද? බාසාවන් අපිව වෙන්කරලා තැබිම නිසා අපි එකිනෙකාගේ සිතුම් පැතුම් වටහා ගන්න අපහසුයි. ඒවෙලාවට දැන්නේ අපි ගැනම ලැජ්ජාවක්

    ReplyDelete
    Replies
    1. ඇත්තම අත්දැකීමක් තමයි අයියේ.. දෙමළ නොදන්නාකම නිසා අපහසුතාවයට පත් වෙන්න උණා පසුගිය සති අන්තයේදීත්.. ඇත්තටම හිතේ තියෙන දේ කියා ගන්න භාෂාව පොහොසත් නොවීම පුදුමාකාර දුකක් වගේම අසරණ වීමක්...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...