පිටු

Wednesday, February 6, 2013

තල් අරණට නෑ ගමනක් ( 02 )




මාරවිලින් ළ.ක්‍රි.වී. වෑන් රථයට ගොඩ උණාට පස්සෙ සිංහල දෙමළ පාඩම පටන් ගත්තා. මුලින්ම අපි ළ.ක්‍රි.වී. ගීය, අනුශාසක ගීය, ගිනිමැල ගීය ඇතුළු තවත් ගී කිහිපයක් දමිළ බසින් ගායනා කරන්න පුහුණු උණා. හැමදාම ඔහොම තමයි ආරම්භයේ තියෙන උනන්දුව දමිළ වැඩසටහනක් නිමා වෙලා ආවට පස්සෙ හෙමිහිට වියැකිලා යනවා.

ළ.ක්‍රි.වී. කාර්යාලයේ වැඩ කරන සබී නංගි දමිළ. ඉතින් උතුරුකරේ සොයුරු සොයුරියන් එක්ක කතාබස් කරන්න මගේ සිංහල සිතුවිලි දමිල බසට හරවා ගන්න මා ඇගේ උදව් ලබා ගත්තා.

උතුරුකරෙන් සහතිකයක්...

'' අක්කට දෙමළ දන්නෙ නැති උණාට අක්ක ගැන හොද සහතිකයක් එහෙ ළමයි ළග තියෙනවා.. '' සබී නංගි කිව්වෙ මා දෙමළ ඉගෙනගන්න දරණ උත්සාහය අතරතුර. මට දැණුනෙ කුතුහලයක්...

'' ඒ කොහොමද?''

'' ගිය අවුරුද්දෙ කුසලතා ඇගයීම්වලට යාපනේ ළමයි ආව වෙලාවෙ.. ඔයා අතින් ඇහුවලු බඩගිනිද කියල. කෑම කන්න එක්ක ගියාලු...'' සබී කිව්වෙ කෑම කන්න කතා කළ ආකාරය රඟ දක්වමින්..

ම්ම්ම්ම්.... මට මතකයි.

ජාතික කුසලතා ඇගයීම්වලට යාපනේ ළමයි ‍ආවෙ කළින් දවසෙ. නේවාසික පහසුකම් සලසල තිබුණෙ ආඬිඅම්බලම සමාජ හා සාමයික කේන්ද්‍රයෙ. එයාලව පිළිඅරන් නේවාසික පහසුකම් පෙන්වල දීලා කෑම කන්න එක්ක ගියා මට මතකයි. ඒ පිළිගැනීම මතක සටහනක් වෙලා ඔවුන්ගේ හිත්වල රැඳී තිබීම සතුටක් ‍වගේම පුදුමයක්.

යාපනේ අනුශාසක පුහුණුව ආරම්භ කළේ සෙනසුරාදා උදෑසන. ළ.ක්‍රි.වී. කොඩිය සහ ජාතික කොඩිය ගුව‍නේ ලෙළ දුන්නා. උතුරුකරේදි තව දුරටත් ළ.ක්‍රි.වී. නෙවෙයි. සිරුවර් සේපාට්ට වීරර්ගල්. ( සි.සේ.වී. ) අපි ළ.ක්‍රි.වී. ගීතය දමිල බසින් ගායනා කළා.

'' එයාල අපේ ජාතික ගීය කියන්නෙ නැහැ.'' සබී නංගි කණට කරල කිව්වා... ජාතික ගී වාදයක් පසුගිය සමයේ පැවති බව මට මතක් උණා. ජාතික කොඩිය උණත් වැඩි වෙලා ගුවනේ රැඳුණෙ නැහැ. දිවා ආහාරයෙන් පස්සෙ ජාතික කොඩිය ලණු පොටකින් ඉහිල් වෙලා පාත් වෙලා තිබුණා. සරදම් සිනා කවට කතා සමග ජාතික කොඩිය හකුලා අරන් තැබුවා කොලු නඩයේ කිහිප දෙනෙක් විසින්.  සිංහයා සමග පැවති අමනාපය පැහැදිලිවම පිළිබිඹු වූ අවස්ථාවක් උණා එය.

සමාරම්භක උත්සව අවස්ථාව සරසල තිබුණ මේ විදියට... ‍



පුහුණුව සාර්ථකව සිදු වූ බවයි මට හැගුණෙ. භාෂාව නොදන්නවා උනත් අභිරූපණ රංගනයන්ගෙන්, ගීතවලින්, විරාම අභ්‍යාසයන්ගෙන් පුහුණුවට උපරිම දායකත්වයක් දෙන්න අපට හැකි උණා... භාෂාව නොදන්නා අපේ නාට්‍යමය ජවනිකාවකින් පස්සෙ දමිල සොයුරු ‍සොයුරියන් ඔවුන්ගේ අදහස් පළ කළා. පියතුමා, සබී නංගි එය දමිල බසින් පැහැදිලි කළා. කණ්ඩායම් සාකච්ඡා පැවතුණා. හවස් යාමයේ සෙල්ලම් කරන්න භාෂාව කොහෙත්ම බාධාවක් උණේ නැහැ. රාත්‍රි කාලයේ පැවති ආදර්ශ ගිනිමැලය දස්කම් එළිදක්වන්නත්, සතුට බෙදා ගන්නත් කදිම අවස්ථාවක් උණා. 



වඩාත්ම හිතේ රැඳුණේ පුහුණුව අතරතුර කාලයේ ගොඩනැගුණ අපූරු මිත්‍ර සම්බන්ධතා.. ‍යාපනේ සිට පණ්ඩිත්තිරිප්පු දක්වා බස් රථයෙන් ආ ගමනෙදි ලක්ෂණා සහ  රොක්සි හිත ළග නැවතුණ තරම කොතරම් දැයි ඔවුන්ගේ නළලත තැබූ තිලකයන් මගේ නළලත හැඩ කිරීමෙන්ම පැහැදිලි උණා... ලක්ෂණා වරක් ඇගේ නළලේ තිලකය මගේ නළලත තියා හිනැහුණු අපුරුව නොමැකෙන සිත්තමක් වගේ මගේ හිතේ ඇඳිල තියෙනවා....

'' යාපනේ මිනිස්සු යුද්දෙන් කෙළින්ම බැට කෑවෙ නෑ. ඒත් බලන්න අපේ ළමයි දිහා. කෙසග සරීර. තාමත් මේ ළමයි යුද්දෙ ඉවර උන තැනමයි. '' නෙදන්කර්නි ඇතුළ් ගම්මානවල සිට ළමුන් රැගෙන ආ පැවිදි සොයුරිය පැවසුවා.

සෙල්ලම් කරල ඉවර වෙලා පිරිසිදුවීම් කටයුතුවලට ඉඩ දීල මිදුලේ සිමෙන්ති බැම්මක වාඩි වෙලා කතා බහේ උන්නු අතරෙයි සිස්ට එයාගෙ අත්දැකීම් බෙදා ගත්තෙ. උතුර නැගෙනහිර සංවර්ධනය යුද්දයෙන් පීඩාවට පත් වුණ දමිල ජනතාවට සහනයක් අරන් ඇවිත් තියෙනවනම් ඒ ඉතාමත් අල්ප වු සහනයක්. පාරවල් කොන්ක්‍රීට් කරන තරම් ලේසියෙන් හිත්වල තුවාල වහල කොන්ක්‍රීට් කරන්නවත් කාපට් කරන්නවත් බැහැනෙ.

මේ ඇත්ත දකුණේ ජනයා අතර බෙදා ගන්න මාධ්‍ය දක්වන්නෙත් අල්ප උනන්දුවක්... රාවය, කිතුසර පුවත්පත් මේ ගැන ඉඳ හිට හෝ ඍජුවම කතා කළත් බොහෝ මාධ්‍යයන්ට දැන් සාමකාමී සමෘද්ධිමත් රටක කතා කරන්න තරම් ගැටලුවක් උතුරුකරේ නැහැ.

ඒ 09 පාර දිගේ යාපනේ ගිහින් එන අපට යුද්දයේ දරුණු ප්‍රතිඵල පේන්නෙ නැහැ ඇත්තටම. ඒ 09 න් පාරෙන් එහා ඈත ගම්දනව්වල, කැලෑවල ජීවිතේට ළං වෙන්නට මොහොතක හරි ඉඩක් ලැබෙනවනම්
ඒ හිත් සුවපත් කරන්න බොහෝ දේ කළ යුතුබව දැනේවි.. හැගේවි...

සුවිශේෂ කවටයෙක්...

සුවිශේෂ චරිතයක් මේ පුහුණු කාලය අතරතුර මගෙ හිතේ රැඳුණා. අවුරුදු 22 ක පමණ තරුණයෙක්. කවට අන්දරේ කෙනෙක් වගේ නිතරම පෙනී සිටින්නට උත්සාහ ගත්තත් ගැඹුරටම පෑරුණු හිතක, සඟවා ගත් අප්‍රසාදයක, තරහක සේයා මට ඔහු තුළින් පෙණුනා. ජාතික ‍කොඩිය ගළවා දමන්න පෙරමුණ ගත්තෙත් ඔහු.

''ඔයා විහිළුකාරයෙක් වගේ හිටියට ගැඹුරට හිතන කොල්ලෙක්.'' මම ඉංග්‍රීසියෙන් කිව්වා.

'' නෑ මිස්... නෑ මිස්... මම විහිළුකාරයෙක්ම විතරයි. විහිළුවක්ම විතරයි. '' සිනාවක් නැති වියළි බැල්මක් දෙනෙතේ රදවාගෙන ඔහු කිව්වෙ උස් හඬකින් ඉංග්‍රීසි බසින්. මගේ හිත ගැස්සුණා ඇත්තටම. ඒ හ‍ෙඬ් තිබුණේ කේන්තියක්ද? ද්වේෂයක්ද? පහදවා ගැනීම අසීරුයි.

ගිනිමැලයෙන් පසුව දින නිමාවේ පැතුම කළේ ඔහු. ඉතාම හැගීම්බරව. සත්තකින්ම ඔහු විහිළුකාරයෙක් නෙවෙයි. ජීවිතේ ගැන ගැඹුරින් හිතන කොල්ලෙක්.

හදවතේ ගැඹුරු තුවාල හංගාගන්නට ඔහු කවටයෙක් ‍වගේ පෙනී ඉන්නවා වන්නට ඇති.  

ජැෆ්නා ''කූල්''

ඉරිදා දිවා ආහාරයෙන් පසුව පුහුණුව නිම උණා. අනුශාසක පුහුණුවේ සංවිධාන කටයුතු කළ යාපනේ පියතුමාගේ ඥාති නිවසක ''කූල්'' බොන්න එන්න යැයි අපට විශේෂ ඇරයුමක් ලැබුණා. කූල් කිව්වම සීතල පානයක සුවය විඳින අපේක්ෂාවෙන් අපි එහි ගියේ. නමුත් ඒ යාපනයටම විශේෂ වූ සූපයක්. ඉස්සො, දැල්ලො, කකුළුවො, මාළු, මඤ්ඤොක්කා, බෝංචි වගේ දේවල් සුප් බඳුනට මුසු වෙලා තිබුණා. විශාල කල්දේරමක හදල තිබුණෙ. පවුලෙ හැමෝම එකතු වෙන විශේෂ අවස්ථාවකදිලු මේ සුප් පානය සකසන්නෙ. 



''කන්න... බොන්න...'' කියාපු සුප් පානය. නිවසේ සියල්ලන් අප පිළිගත්තේ සංග්‍රහ සත්කාර කළේ මහත් ආදරයෙන්. සුප් පානය තරම්ම සිත් ගත්තා ඔවුන්ගේ ආදරය...

රියෝ අයිස්ක්‍රීම්



''යාපනේ ඇවිත් රියෝ අයිස්ක්‍රීම් නොකා ගියොත් වැඩක් නෑ'' රියෝ අයිස්ක්‍රීම් ගැන අපව දැනුවත් කළේ යාපනේ පියතුමා. නල්ලුර් කෝවිල ළග රියෝ අයිස්ක්‍රීම් හලට ගොඩ වෙලා අයිස්ක්‍රීම් එකක් රස විඳින්නත් අප අමතක කළේ නෑ.

පුන් සඳ එළියේ දිළුණු අපුරු කලාකෘතිය

ගිය වැඩේ කළා මිස අපට යාප‍නේ ඇවිදින්න, නරඹන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. ආපසු ගමනේ අලිමංකඩ ස්මාරකය ළගට එද්දි රෑ 8 යි. පාළොස්වක පෝය ආසන්නයේ නිසා පුරහඳ අහසේ සිංහාසනාරෑඪ වෙලා. ඒ සඳ එළියේ අලිංමංකඩ ස්මාරකය බැබළුණා අපූරු කලා කෘතියක් වගේ. හැමතැනම ස්මාරක හැදීම ගැන මගෙ හිතේ වැඩි මනාපයක් නැති උණත් මේ මොහොතෙදි පුර හඳ පසුබිම් කර ගත් ස්මාරකය හිතේ ඇන්දෙ අපූරු සිත්තමක්... 



ඉන්පස්සෙ පුර හඳ අපිත් එක්කම ආවා. ඕමන්තෙයි මුරපොළට එනකල්ම අපි සඳ ගැන කියැවෙන සින්දු කිව්වා... 


කැසුරිනා වෙරළ තීරය
සිංහල, දමිළ, මුස්ලිම් භේදයකින් තොරව සයුරු රළ සමග බොහෝ දෙනා සතුටින් එකමුතු වෙන සුන්දර වෙරළ තීරයක්..


9 comments:

  1. තාමත් යන්න බැරි උනානේ යාපනේ... ඊලග පාර ආවහම හිතල බලන්න ඕනි...

    ReplyDelete
  2. අපූරු සටහනක් තරු . අපිත් ගිහින් ගොඩක් විනෝද වෙලා ආවා . ආයෙම ආයෙම යන්න ආසයි .
    …මතක ඇතුව ආයෙම ගියාම "තල් අරණ"ටත් යන්න . එතන ගොඩක් ලස්සන තැනැක් මූද අද්දර තියන
    …පොඩි හොටෙල් එකක් .
    …මේ පෝස්ට් එකේ මම ආසම කොටස .
    …//යාපනේ සිට පණ්ඩිත්තිරිප්පු දක්වා බස් රථයෙන් ආ ගමනෙදි ලක්ෂණා සහ රොක්සි හිත ළග නැවතුණ තරම කොතරම් දැයි ඔවුන්ගේ නළලත තැබූ තිලකයන් මගේ නළලත හැඩ කිරීමෙන්ම පැහැදිලි උණා... ලක්ෂණා වරක් ඇගේ නළලේ තිලකය මගේ නළලත තියා හිනැහුණු අපුරුව නොමැකෙන සිත්තමක් වගේ මගේ හිතේ ඇඳිල තියෙනවා....
    //

    ReplyDelete
  3. ලස්සන සටහනක්... අන්තිම සේයා රුවට මං ගොඩක් ලයික්..

    ReplyDelete
  4. අනේ........ මමත් ගියේ නෑ අප්පා තාම!
    යන්න ඕනේ ලගදිම :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. මම යාපනේ ගිය හැම විටම දුටු දෙයක් තමයි ඒ වෙඩි වැදුණු හිත් කිසිදවසක සුව කරන්න බැරි බව. ඒ හිත් ඇතුලෙ තියෙන්නේ වෛරයේ ගිනි පුපුරු..

    නල්ලූර් වල රියෝ අයිස්ක්‍රීම් කන්න පැය ගානක් ඉන්න වෙන එකයි හිතට අමාරු.

    ReplyDelete
  6. සිංහල මිනිස්සු ගැන හිතේ වෛරයක් ඇති.... එක අතකට සාධාරණයි කේන්තිය.

    රියෝ අයිස්ක්‍රීම්වල වැදගත්කම මොකක්ද අක්කේ මම දන්නේ නෑනේ?

    ReplyDelete
  7. අනේ මටත් තාම යන්න බැරි උනා ඔය පැත්තට

    ReplyDelete
  8. හතුරු හිත් මිතුරු කරගන්න පාර කපන්න තව තවත් .... සිංහ කොඩිය අකුලපු එක සම්බන්ද වැඩේ ගැන නම් දුකයි. තවමත් ඒ අඳුරු සෙවනැලි ඇවිත් මේ ඉන්න දරුවන්ගේ හිත් දූෂණය කරන්න හදන්නේ යුද්ධයකට... මේ හිත් දිනා ගන්න ලොකු වැඩක් කරන්න වෙනවා නො අනුමානයි.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...