පිටු

Tuesday, February 26, 2013

''සොඳුරු නව යෞවනය"


''සොඳුරු නව යෞවනය" ග්‍රන්ථය හඳුන්වා දීම සහ ෆේස්බුක්, රියැලිටි ෂෝ, මොබයිල් ෆෝන් අතර අතරමං වූ අපේ කාලයේ නව යෞවනයේ සැබෑව ගැන කියැවෙන "ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය හා නව යෞවනය" දේශනය 2013 පෙබරවාරි මස 24 වන දින සවස මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේදී පැවැත්විණි. පියවර ළමා හා නව යොවුන් ව්‍යාපාරය මගින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

මූලික වශයෙන්ම මේ වැඩසටහන පැවැත්වුයේ නව යොවුන් දූ පුතුන් සිටින මව්වරුන් පියවරුන්, නව යොවුන් දූ දරුවන්ට උගන්වන ගුරුවරුන් සහ නවයොවුන් වියට මග පෙන්වන විවිධ සේවාවන් සමග එක්වී සිටින වැඩිහිටියන් වෙනුවෙනි.


'' යොවුන් පියවර'' සඟරාව මේ පසු කරන්නේ සිය 14 වන උපන්දිනයයි. යොවුන් පියවරද දැන් යොවුන් වියේය. ආරම්භයේ සිටම පියවර යහපත් දැක්මකින් යුතුව ශක්තිමත් ගමනකට පියවර තබන්නට නව යෞවනයට මග පෙන්වූ සඟරාවකි. යොවුන් පියවර මෙතරම් දිගු ගමනක් ආවේ ඉතා කටුක මාවතක් ඔස්සේ අප්‍රමාණ කැපකිරීම් රැසක් මැදිනි.  

දැඩි දුෂ්කර අවස්ථාවල මද කලක් නිහඬවත පුරන පියවර නැවතත් අළුත් හුස්මක් ගෙන ගමන අරඹන අයුරු මම දැක ඇත්තෙමි. විඳ ඇත්තෙමි. පියවර නව යෞවනයට පුද දෙන්නේද ඒ ධෛර්යයමය. අර්ථවත් ජීවිතයක් වෙනුවෙන්, වඩා යහපත් සමාජයක් වෙනුවෙන් අප්‍රමාණව කැපවීමේ ආදර්ශයය. අර්ථවත් සෞන්දර්යාත්මක වින්දනයක් තුල ජීවිතය සමෘද්ධ කර ගැනීමේ මාර්ගෝපදේශයය. 



පියවර ළමා හා නව යොවුන් ව්‍යාපාරය ලංකාව පුරා  සිදු කළ අර්ථවත් කාර්යභාරයන් සමූහයක් අතර '' සොඳුරු නව යෞවනය" කෘතිය අග්‍ර ඵලයක් බව කිව යුතුමය. පියවර කණ්ඩායම ළමා හා නව යොවුන් වැඩසටහන් කිරීමේදී කාලයක් පුරා භාවිතයට ගන්නා ලද පෝස්ටර් සමූහය විස්තරාත්මක පැහැදිලි කිරීමක් සමග මෙම කෘතියට අන්තර්ගත කොට ඇත. 

නව යෞවනය යනු කුමක්ද? එය ගැඹුරින් හඳුනා ගන්නේ කෙසේද? නව යෞවනය සමග කටයුතු කළ යුත්තේ කෙසේද? නව යෞවනය වඩාත් අර්ථවත් කර ගැනීමට කළ හැකි දේ මොනවාද? ආදී වශයෙන් නව යොවුන්විය හා බැඳී පවතින ගැටලු සමූහයකට පැහැදිලි සවිස්තරාත්මක පිළිතුරු ''සොඳුරු නව යෞවනය'' කෘතියෙන් ලැබේ. සොඳුරු නව යෞවනය හා ගණුදෙනු කරන අයටද, නව යෞවනයේ ජීවත් වන අයටද එක සේ වැදගත් වන කෘතියකි.





කෘතිය පිළිගන්වා ඇත්තේ පාකිස්ථානු ජාතික ‘‘මලලා යූසුෆ්සායි” නම් වූ අපේ කාලයේ යෞවන වීරවරියටය. 



ඈ නමින් ලියා ඇති පිදුම මෙලෙසිනි.

‘‘ දහසක් නව යෞවන යෞවනියන්
අන්තර්ජාල මාධ්‍යයන් ඔස්සේ ජීවිතය මිලින කර ගනිමින්
නව යෞවනයට කළු ලප එක් කරද්දී
11 වියැති සුහුඹුල් නව යෞවනියකව සිටියදීම
අන්තවාදීන්ගේ මරණීය තුවක්කු බට ඉදිරියේ නොසැලී
එකී අන්තර්ජාල මාධ්‍යයන්ම
බාලිකාවන්ගේ අධ්‍යාපන අයිතිය දිනා ගැනීම උදෙසා මෙහෙයවමින්
යහපත් ලෝකයක් ගොඩනැගීමට
නව යෞවනය වැය කළ හැකි බව ලොවට කියා දුන්
2012 වසරේ ලෝකයේ තරුව බවට පත් වූ
පාකිස්ථානු ජාතික මලලා යූසුෆ්සායි නම් වූ
අපේ කාලයේ නව යොවුන් වීරවරියට
සොඳුරු නව යෞවනය පුද කරමු.



( එදින ‘‘ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය හා නව යෞවනය” මැයෙන් මහින්ද නාමල් සොයුරා පැවැත්වූ දේශනය ඉදිරි දිනෙක කෙටියෙන් ලියා තබන්නට අදහස් කරමි. )



3 comments:

  1. මේ වගේ විස්තර ඇසීම දැකීම සතුටට කරුණක්

    ReplyDelete
  2. අයාලේ යන හරසුන් යෞවනය නිසි මගට ගන්න ඕන ඉක්මනින්ම...

    ReplyDelete
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...