මේ ගෙන්දගම් පුරවරයෙ මට සෙවණ සිසිල සදන නවාතැන තියෙන්නෙ
දිවයිනේ සුප්‍රසිද්ධ කතෝලික විද්‍යාලයක් අසල.
කතෝලික කිව්වට නමට කතෝලික. හෙරෝද්ගෙ පැළැන්තියට
අකුරු සාස්තරේ දෙන. දුප්පතුන් පිටමං කරන.
වතින් දිළින්ඳන්ටත්, සිතින් දිළින්ඳන්ටත් සහනයක් ආලෝකයක්
වුණු මුනිවරයෙකුගේ නම දරන... නමුත් ඒ මුනිවරයාගේ දර්ශනය අහලකවත් නොවන සුප්‍රසිද්ධ
කතෝලික විද්‍යාලයක්...
මට කියන්න ඕන කාරණේ ඒක නෙවෙයි. මාසයකට වරක් මං ගන්න
කිතුසර පත්තර දහය කිතුසර කණ්ඩායමේ පියතුමෙක් මට දෙන්නයි කියල දීල යන්‍නො මේ
විද්‍යාලයේ මුරකුටියට. යන එන ගමන් හිනාවෙන්, කතාවෙන් ගුඩ් මෝනින්ග් එකෙන්
හිතවත් වූ සිකියුරිටි මහත්තැන් පත්තර මිටිය ලැබුණු දාට මං වැඩ ඇරිල එන කල් මග බලාගෙනම ඉන්නවා... මමත් ලියන්නියක් බව මේ පත්තර ගණුදෙනුවෙන්
ඔහු තේරුම් ගන්න ඇති. බොහොම නිහතමානී විදියට දවසක් මගේ අතට පත්තර මිටිය දීල මෙහෙම
කිව්වා...
‘‘ මමත් ඒ කාලෙ ලිව්ව මිස්. භක්ති ප්‍රබෝධනයට. ඥානාර්ථ
ප්‍රදීපෙට. මගෙ ගීත ගුවන් විදුලියෙ සරල ගී වැඩසටහනකටත් අරන් තියෙනවා. මං දවසක
මිස්ට මගේ නිර්මාණ ගෙනත් දෙන්නම් බලන්න. ”
‘‘ ඇයි ඉතින් දැන් ලියන්නෙ නැද්ද? ” මං ඇහුවා..
‘‘මේ වගේ ජොබ් එකක් කර කර කොහොම ලියන්නද මිස්”
ඒ කතා බහ එතෙකින් නිමයි. ආයෙමත් දවසක ඔහු කිව්ව පොත
ගෙනත් දෙන බව. සාහිත්‍යමය ළෙංගතුකමකින් බැඳිල දැන් සිකියුරිටි මහත්තැන් මා එක්ක. මට
බය ඔහුගේ නිර්මාණ එක එක පත්තරවල පළ කරල දෙන්න කියයිද කියල. කිතුසර, භක්ති ප්‍රබෝධනයට
ගැළපෙනවනම් මොනා හරි කර ගන්න පුළුවන්.
පහුගිය බ්‍රහස්පතින්දා හැන්දෑවෙ වැඩ ඇරිල එන මං
දැක්ක ගමන් සිකියුරිටි මහත්තැන් මුර කුටියට දිව්වා.. පාර්සලයක් ගෙනත් මගේ අත
තිබ්බා.. ‘‘ මිස් මගේ නිර්මාණ එකතුව.. ”
‘‘ මේ දවස්වල වැඩ වැඩියි.. මං නිවාඩුව බලල දෙන්නම්..”
එහෙම කියල මම පොත අරන් ආවා.
සෙනසුරාදා හවස් වරුවෙ තමයි සිකියුරිටි මහත්තැන්ගේ නිර්මාණ එකතුව බලන්න විවේකයක් ලැබුණෙ.
සෙනසුරාදා හවස් වරුවෙ තමයි සිකියුරිටි මහත්තැන්ගේ නිර්මාණ එකතුව බලන්න විවේකයක් ලැබුණෙ.
‘‘මගේ කලාව සහ ජීවිතය” මැයෙන් අත්අකුරින් ලියැවුණු
සටහන් පොත ඇස්වලට කඳුලක් එක් කළා. අත් අකුරින්ම ලියූ පෙරවදනේ මෙලෙසින් සඳහන් වෙනවා.
‘‘ පොතක් ලියා මුද්‍රණය කිරීමට නොනිමෙන ආශා මසිත තුළ
තිබුණත්, දිය මතු පිට ඇඳි රේඛාවක් පරිද්‍දෙන් එය බොඳව යන්‍නේ සියල්ල අභිබවා ආර්ථිකය නම් වූ චණ්ඩ මාරුතය මා
තලා පෙලා දමා ඇති නිසාය.”
සැබවින්ම එය සුන්දර කලාකරුවකුගේ අහිංසක නිර්මාණ
එකතුවකි. 1982 වසරේ සිට වරින් වර ලියූ කවි, සිතුවිලි අත් අකුරින්ද, පුවත්පත්වල
පළවූ නිර්මාණ කපා ඇලවීමෙන්ද පොත සකස් කර ඇත. දහමට ඇති ළැදියාව, යහපත්
සමාජයක් කෙරෙහි ඇති අපේක්ෂාවන්, සාහිත්‍යය සහ කලාව කෙරෙහි ඇති බැඳීම 80 දශකයේ
සිට මේ දක්වා පළවූ නිර්මාණ එකතුවෙන් පැහැදිලිය.
ඉරිදා උදේ පූජාවට යද්දි සිකියුරිටි මහත්තැන් සුපුරුදු ලෙස මුරකුටියේ සේවයේ.
‘‘මං ඔයාගෙ පොත බැලුවා... හරි අපූරුයිනෙ. අපරාදෙ නොලිය
ඉන්න එක. කොහොම හරි වෙලාව හොයාගෙන ලියන්න. ” මං කිව්වා.
ජය වේවා!! ඔබට පින් ඔහු ප්‍රම්‍රද්දීපනය කලාට...
ReplyDeleteටික කාලයකට ඉස්සර ඉන්ධන පිරවුම් හලක මනුස්සයෙක් වාහනෙන් වාහනේට යනවා , තමන් ගේ පොත විකුනගන්න. ඔහුගේ මුහුණේ තිබුනේ හිඟමන් යැදීමක් නොවේ, ආඩම්බරය මුසු අයැදීමක පෙනුමක් ....මට ඔහුගේ හිත තේරුනේ කලකට පස්සේ.
ReplyDeleteමේ සටහන මට ඔහුව මතක් කළා
ආ.. ශෙල්ටන් අංකල් නේද?
ReplyDeleteමේ වගේ මිනිස්සු කොයි තරම් ඉන්නවද.. නිර්මාණයක් කරගන්න කාලයක් නැතිවට වඩා ඒ මිනිස්සුන්ට තියන ප්‍රශ්න කල්පනා කරන්නවත් වෙලාවක් නැතුව ඇති...
ReplyDeleteගොඩක් දෙනාගේ හිත් ඇතුලේ ඉන්න කලාකරුවන්ට එලියට එන්න බැහැ එක එක හේතු නිසා. ඔවුන් හිතේම ජීවත් වෙලා මිය යනවා.
ReplyDeleteමේ වගේ කී දෙනෙක් තමන්ගේ නිර්මාණ උපන් ගෙයිම හිර කරගෙන ඉන්නවා ඇද්ද.
ReplyDeleteනිර්මාණ දෙක තුනක්වත් අපට කියවන්න අවස්ථාව උදා කරලා දෙන්න බෑ ද ?
මම මේක ඊයේ කියෙව්වම නිකමට හිතුනා ඒ මනුස්සයට ඒ පොත විකුණලා සල්ලි හොයනවට වැඩිය සතුටක් පොත ප්‍රින්ට් කරලා දැක්කොත් ලැබෙයි නම්, ඒ ගැන අපිට කරන්න දෙයක් නැති වෙයිද කියලා... ඒත් තනියෙන් නම් මටත් යමක් කරන්න අමාරුයි.. ඒක නිසා සද්ද නැතුව ගියා...
ReplyDelete