Monday, February 18, 2013

බිඳී විසිරෙන පිණි කැට අතර ... මුතු කැට




උත්තරාගෙ කතා

උත්තරා... මගෙ හොඳම යෙහෙළියක්. වෙලාවකට එයයි මමයි දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් කියල හිතෙන තරමට... උත්තරා කියන්නෙ කතා සාගරයක්. කතා මවන්නියක්. කතා කියන්නියක්. ඒත් ලියන්නෙ නෑ. කම්මැලියි. ඉතින් මං හිතුව ලියන්න උත්තරාගෙ කතා.



හිටි ගමන් වෙලාවකට රෑ දහයට එ‍කොළහට දුරකථනය කෑ ගහනවා...



'' මොනාද බං මේ ලියන එව්ව මෙව්ව...  ශෝකාලාප, නර්මාලාප, වාගාලාප... මේව කවිද? '' හීන දකින නින්දෙ ඉන්න මාව උත්තරා උස්සල පොළවෙ ගහනවා. ඒ කියන්නෙ ඈ මේ රාත්තිරියෙ මගේ ''තරුරසී'' බලනවා.



'' එව්ව මෙව්ව ලිය ලියා ඉද්දි කවද හරි කවියක් එළියට එයි බන්... නිදාගන්න දීපන්කො. '' මම එහෙම කියල දුරකථනය විසන්ධි කරල නිහඩ කරනවා තදම නිදි මතේ නම්. මොකද පැයකටවත් නවතින්නෙ නැති කතාබහක් දරා ගන්න ඇහිපියන්වලට බැරි නිසා. හැමදාම කතා කළත් නිමාවක් නැති කතා බහක් අපට තියෙන්නෙ.



'' කොහෙද බං මේ හැමදාම රස්තියාදුවෙ යන්නෙ. මාවත් එක්ක යමන්කො. '' මගේ චාරිකා සටහනක් කියවන ඈ වෙලාවකට ඉල්ලීමක් කරනවා. හරියට පොත් සාප්පු ගානෙ, චිත්‍ර ප්‍රදර්ශන ගානෙ, සංවාද වාද විවාද අස්සෙ, කොළඹ වටේ රස්තියාදු වෙන්නෙ මාත් එක්ක ව‍ගේ කතාව.



'' කොහොම එක්ක යන්නද? උඹේ තියෙන දාංගලේටයි.. වක්කඩ කැඩුව වගේ කියවිල්ලටයි.. මං යන්නෙ සීරියස් ගමන්.... '' මං හිනා වෙලා මග අරිනවා.  



ඉතින් මේ ඇගේ කතාවක්... කතාව ඇගේ උණාට ලියන්නිය මම. ඒ නිසා මේ කතාව ඇතුලෙ ඈ ඉන්නවා. ඒ ‍වගේම මමත් ඇති...

--------------------------------------------------------

බිඳී විසිරෙන පිණි කැට අතර ... මුතු කැට

උත්තරා හීතල හිමිදිරියෙ නා ගත්තා. චීත්ත රෙද්දත් ඇඳන් කාමරේට ඇවිත් හතර වටේ කැරකුණා. දුරකථන මූණතේ සමනළය වහපු තැනමයි. ඉංග්‍රීසි අකුරු ටිකක් ඉතුරු කරල ඉගිල්ලිලා නෑ. නෝ මිස් කෝල්. අම්මේ සැනසීමක් හිතට.

ලෑස්ති වෙන්නෙ වැඩට යන්න. ඒත් ඊට කළින් තවත් වැඩක් යෙදිලා. දන්නෙ නෑ හරියටම. ඇමතුමක් එන්න නියමිතයි. නිහඬ දුරකථනය ගෙනාවෙ සැනසීමක් හිතට.

'' උඹවත් දැකල නැති මනමා‍ලයෙක් මට ගැළපෙනව කියල කියන්නෙ කොහොමද?'' උත්තරා ප්‍රාණසම මිතුරියට සත්තමක් දැම්මෙ ටික දොහකට කළින්. සත්තම‍ට උත්තරේ විදියට මනමාලයගෙ ගෙදර ගිහින් වගතුග බලල මදිවට දුරකථන අංකයත් දීලම ඇවිදින්.

'' කතා කළාවෙකො මං කියන්නම් කියන්න තියෙන හැමදේම..'' උත්තරා එදත් හැන්දෑවෙ සද්දයක් දැම්ම මිතුරියට.  තනිකඩ ජීවිතේ ගැන අම්මට තාත්තටවත් නැති විස්සෝපයක්නෙ වටේ පිටේ අයට තියෙන්නෙ. දන්නව ළෙංගතුකමට බව. ඒ හින්දයි නෝක්කඩුවක් මිසක ඇනුම්පදයක්වත් කටින් පිට නොවෙන්නෙ.

'' මේ මේ නොකෙරෙන තැනට කතා නොකර කෙරෙන තැනකට කතා කරපන්.. මේ කොල්ල උඹට ගැළපෙනවා.'' මිතුරියත් දැම්මෙ නොදෙවෙනි සද්දයක්. උත්තරා නිහඬ උණා. අන්තිම තීන්දුව තමන් අත බව ඇය දන්නවා.

ගැළපෙනවයි කියන්නෙ එක්කො ගේ දොර ඇති කොල්ලටම කියල. ආගම, ජාතිය හරි ඇති. නැත්නම් නැන්දම්මා නැතුව ඇති. උස, පාට කැපෙනව ඇති. රස්සාව අවුලක් නැතිව ඇති. අරක්කු සිගරට් බොන්නෙ නැතිව ඇති.  උත්තරා තනියෙන් හිනා උණා මිතුරියගෙ ගැළපීම් මතක් වෙලා. ඔය ඔක්කෝම නැත්නම් එකක් දෙකක්වත් සම්පූර්ණ ඇති.

'' ඉස්කෝලෙ උගන්නන්නයි, ළමයි දෙන්නෙක්ගෙ වැඩයි, ගෙදර දොර වැඩයි... ඒ අස්සෙ කපුකම් කරන්නත් වෙලාව හොයා ගන්නෙ කොහොමද මැණිකේ.... ? '' ඇදල පැදල උත්තරා ඇහුවෙ විහිළුවට උණත් ඇත්තටම.

'' හිත ඇත්නම් පත කුඩාද කියල කතාවක් තියෙන්නෙ.  තනියෙන් බුදු වෙන්නවත්, අපායට යන්නවත් බෑ මට උඹ නැතිව ''

මසං ගෙඩියත් බෙදා ගෙන කෑව පුංචිම කාලෙ, එකටම ඇස් හිස් ඔබා ගෙන අඹ යාළුවෝ පොත පිටුවෙන් පිටුව බලපු පුංචිම සන්දියෙ තිබුණ ළෙංගතුකමින්මයි ඈ කිව්වෙ. ඒ කියමනට නම් උත්තරාගෙ ඇස්වල කඳුළු පිරුණා.  




දින දෙකක් විතර හැන්දෑවට දුරකථනය නද දුන්නට...  නාඳුනන පුරුෂයෙක් එක්ක ටික වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදුණට... ඒ කතා බහේදි දැන ඇඳුනුම්කම් මතු උණාට උත්තරා හිතුවෙ නෑ මේ තරම් ඉක්මණට මනමාලයෙක් බැහැ දකින්න.

කොටුවෙ පල්ලිය ගාව.. සඳුදා උදේ අටට...

පෝලිමක් ඉන්නවලු මනමාලියො බලන්න ඔහුට. ඒ වගේම බලලත් තියෙනවලු කප්පරක් මනමාලියො. උත්තරා නම් කීවෙ ඒ ඔක්කොම දෙනා බලල හරි ගියෙම නැත්නම් අන්තිමට එන්න මාව බලන්න කියල. කවියක් ලියන එක, පොතක් කියවන එක, සින්දුවක් අහන එක මිස මනමාලයො බලන එක මගෙ විනෝදාංශයක් නෙවෙයි කියල උත්තරා කිව්වෙ විහිළුවටමත් නෙවෙයි.

 ඒ  කීමටද දන්නෙ නෑ හැමෝටම කළින් මනමාලයට උත්තරාව දකින්න ඕන වෙලා.

ම්ම්ම්ම්... මොකක්ද අඳින සාරිය. ළා දම් මල් සාරිය. ඒක චාම්. කැපිල පේන්නෑ. මළ ගෙදරක යන්න උනත් හොඳයි. විණාඩි පහයි සාරියට. ඇස් දෙක වහගෙන උනත් අඳින්න පුළුවනි.

රිංගෙව්වා සුදු අඩි උස සපත්තු දෙක කකුල් දෙකට. ඕනෑවට වැඩියි වගේ. මොකටද? ගැලෙව්වා. ආයෙම හම ගිය පරණ සෙරෙප්පු දෙකම දා ගත්තා. පවුඩර් ටිකක් ගා ගත්තා ලස්සනට නෙවෙයි පුරුද්දට. මූණෙ තෙල් ගතිය යන්න.

ධවල වර්ණ කේෂ නාලිකා ( සුදු පාට කෙස් ගස් කිව්වම හරි නෑ වගේ ) පෝලිම පැනගෙන ඉස්සරහටම ඇවිත්. කාලෙකින් සැලොන් එක පැත්තෙ යන්නත් බැරි උණා. සුදු කෙස් කළු කරන්න සල්ලි දෙද්දි හිත කීරි ගැහෙනවා. ‍සැලෝන් එකකට යනව‍ට වඩා පොත් සාප්පුවකට යන්න උත්තරා කැමතියි.

දුම්රියෙ ඉද්දි ඇමතුම් කිහිපයක්ම ලැබුණා. මනමාල‍යගෙන් නෙවෙයි මිතුරියගෙන්. මනමාලයට වැඩට යන්න පරක්කු වෙනවලු. ඒ තියෙන හදිස්සියට රේල් පාර දිගේ දුවගෙන එන්නයැ. උත්තරාට තනියෙන් හිනා.

කොටුවෙ දුම්රියපළ ඉදිරිපිට ඈ ඉන්නව පෙරමග බලාගෙන.

'' මොකද බං ඔය මළ ගෙදරක යන්න වගේ..'' උත්තරා දැක්ක ගමන් මිතුරිය  මූණ පුලුටු කර ගෙන ඇඟට කඩන් පැන්නා. '' මේ වගේ වෙලාවකටවත් ටිකක් කළඑලියට අඳින්න එපායැ. ''

'' වෙනද වැඩට යන විදියටම තමයි ආවෙ. මගුල් ගෙදර නෙමෙයිනෙ මේ. බලනව විතරයිනෙ අද? '' මිතුරියගෙ කේන්තිය ගාණකට නොගෙන උත්තරා ඇගේ සාරි කටුවේ මුතු කැට ටික අතගෑවා.  ඉන්පස්සෙ සාරි පොට අරන් අතේ පටලව ගත්තා.

'' ඉතින් යං '' උත්තරා ඉස්සර උණා. මිතුරියත් ළා හිනාවක් තවරගෙන පෙළට වැටුණා.

පල්ලිය ඉදිරිපිටදි මිතුරියගේ දුරකථන සංඥාවට මනමාලය ආවා එළියට.

හිතේ අහළකවත් ඇඳුණු රුවක් නෙවෙයි. උත්තරාගෙ හිතේ සැක සංකා දුරු උණා. පුංචි හරි බයක් තිබුණෙ හිත ඇදෙන රුවක් තිබිල, කතා බහටත් හිත ඇදිල හා කියන්න ‍වෙන තැනට වැඩ සිද්ද වෙයි කියල. දැන් ඒ ගැන බයවෙන්න දෙයක් නෑ.

කරේ දිලිසුණ රන් චේන් පට රත්තරන්ද කියල අහන්නත් හිතුණා උත්තරාට. මේ දවස්වල චේන් කඩනව හරියට ‍කොළඹ........ කියන්නත් හිතුණ ඇයට. ඒ සිතුවිල්ලට පිට නොපැන්න හිනාව ඇස්වල හිරවෙලා දිලිසුණා.

මුලින්ම හුවමාරු උනා හිනාවක්. සබකෝලයක් නෑ දැන් උත්තරා‍ට. ඈ දන්නවා මේ ඉදිරියෙ ඉන්නෙ අනාගත සහකාරය නොවන බව.. හිසේ සිට පාදාන්තය දක්වා බලන්න හිතුණෙ නෑ උත්තරාට.  ඇස් දෙකට පුළුවන් නම් හිතට එබිල උත්තරාව කියව ගන්න. අඩුම තරමෙ ඒකත් ලොකු සුදුසුකමක් ඇයට. ඒත් ඒ ඇස්වලට එහෙම හැකියාවක් නැති බව උත්තරාට දැණුනා. වේලිල කරංගෑටි වෙලා ගිය වැව් පිටියක ඉන්නව වගේ හැඟීමක් ඇයට දැණුනෙ...     

මිතුරිය දෙන්නව අඳුන්නල දුන්නා. ටිකක් කතා කරන්න කියල නොකියා කියන්න වගේ ඈ පල්ලිය ඇතුළට යන්න හැදුවා.

'' දැන් දැක්කනෙ. පස්සෙ කතා කරන්න බැරියැ නේද? අපි යමුද අටහමාරටත් කිට්ටුයි.''

උත්තරා ඔර්ලෝසුව දිහා බලාගෙනම වචන අතෑරියා, රාජකාරිය දේව කාරියටත් වඩා ලොකුයි වගේ හැඟීමකින්. මිතුරියගෙ ඇස්වලින් ගින්දරක් පිට පැන්නා. මනමාලයට මොනා  හිතුණද දන්නෑ. උත්තරා ඒ ඇස් මග ඇරියා.

'' ඔව් යමු.... මටත් පරක්කුයි. අපි පස්සෙ කතා කරමු. දැන් දැක්කනෙ.'' ඔහු උත්තරාගෙ කතාව අනුමත කළා. ඒ අනුමත කිරීම නම් යහපත් විවාහයකට හොද සුදුසුකමක් වගේ. ඒත් ඒ ගැන වැඩිදුර නොහිතාම උත්තරා ඉස්සර උණා. සුනාමියෙන් ගැළවෙන්න දුවන්නා වගේ. මොහොතකට පස්සෙ මිතුරිය පෙළට වැටුණා.  

'' පිස්සුද උත්තරා.. අර කොල්ලට මොනව හිතෙන්න ඇද්ද? මූණට දමල ගහන්න වගේ අරහෙම කිව්වම. බඳින්නම බැරි නම් මොකටද ආවෙ. '' මිතුරියගෙ කුටු කුටුව උත්තරා අසලින්ම ඇහෙනවා. ඇත්ත තමයි වරදක් කළා වගේ හැඟීමක් උත්තරාටත් දැණුනා,  මනමාලයට නෙවෙයි මනුස්සකමට.

'' එන්න කිව්ව බලන්න. ඉතින් මං ආවා. දැන් බලල යන්න යනවා. '' උත්තරා කිව්වෙ කවියක් කියන්න වගේ තාලෙට. මිතුරිය නිහඬයි. මුහුණ අඳුරුයි.

'' හිත පිරෙන්නම හුස්මක් ගත්ත‍ට පස්සෙ ආදරෙන් ඒක මුළු ජීවිතේටම ඇති... මං කිව්ව‍ට උඹ කවදාවත් අහන එකක්යැ. '' ඈ නැවතත් කිව්වෙ සමාව යදින හඬකින් තාලයක් නැතිව.

'' අනාගතේ මං දන්නෙ නෑ දැනට... අදට.... මගෙ හිතේ ඉඩක් නෑ...'' උත්තරා මිතුරියගෙ අතක් අල්ලගෙන ඇස්වලට එබුණා.

'' එහෙනම් උඹට නෑවිත් ඉන්න තිබුණ මේ ගමන ''

'' උඹට තේරෙන්නෑ... අත්දැකීම් ජීවිතේ පොහොසත් කරනවා. මනමාලයෙක් බැහැදැකීමක් අත්දැකීමක්. අනික උඹේ මහන්සියට අසාධාරණයක් කරන්නත් බැහැනෙ.  මේ තරම්ම මහන්සි වෙන එකේ මගෙත් හිත ඇදිල ගියොත්......  කුටුම්භ සංරක්ෂණයත් නරක දෙයක් වෙන්න බැහැනෙ. උඹ යස අගේට පවුලත් කාගෙන මාවත් කන්න හදන්නෙ... '' උත්තරාගෙ සිරික්කියට මිතුරියගෙ යකා නැංගා.

'' මළ සමයං... මං නෑ ආයෙ උඹට...'' කහ ඉර ගැනවත් නොබල ඈ පාර පැන්නා.

ඔය ගියාට තව ටික දවසකින් ආයෙම කතා කරයි.

'' උත්තරා කොහෙද ඉන්නෙ? මොකද කරන්නෙ? '' කියල අහගෙන.

බැබළෙන ඇස්වල හිනාව හිර කරගෙන උත්තරා පිටු පා යන මිතුරිය දෙසම බලා උන්නා ආදරයෙන්. ඉමහත් ආදරයෙන්.

හිනාව වියැකී යද්දි ඇස්වල, හීන් සීරුවේ ගලාගෙන එන කඳුලක සීතල දැනිල උත්තරා ඉක්මණින් ඇහි පිය ගැහුවා. බසයට නගින්න මොහොතක් තියල ආපහු හැරුණු මිතුරිය අත වනනව උත්තරාට පෙණුනා, ඇස්වල බැඳුණූ කඳුළු දැල අතරින්... නිසැකවම ඇගේ කොපුල් පොපියනව ඇති හිනාවකින්... ඉහිරෙන්න ආසන්න හිනාවකින්...


ඒ කතාව නිමි.
-----------------------------------------------------------

අද රෑට දුරකථන ප්‍රහාරයක් එල්ල වේවිද දන්නෙ නෑ.



‘‘මොනාද බං අර ලියල තියෙන විකාර.. ඒක කතාවක්ද? මින්මනත කිසි දෙයක් කියන්නෙ නෑ උඹට...”



'' මං ලියන්නියක් බව දැන දැනමනෙ උඹ ජීවිතේ දිගාරින්නෙ මං ඉස්සරහා... ලිවීම මගෙ අයිතියක්, පට්ටයි කීම හෝ පට්ට ගැසීම උඹේ අයිතියක්. ''



එහෙම කියන එක සාධාරණද මන්ද...? තාමත් හිතනව මං....

9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නියමයි අක්කියෝ..ආසාවෙන් කියෙව්වා. ඔන්න ඔයාට උත්තරා අක්කා මොනා හරි කිව්වොත් මට කියන්න මම දෙන්නම් එයාට හොදවයි දෙක්ක.ආ මේම හිටියට ඔයා කියන්න ඔයාට හරි වස නංගෙක් ඉන්නවා ආයේ කතා නොකිව්වොත් එයාට අල්ලලා දෙනවා කියලා. හරිද අක්කියෝ..
      ආ ඒකේන් මේකෙන් අමතක උනානේ කියන්න ආපු එක මටත් ඉන්නවා අප්පා උත්තරා අක්කට හිටිය වගේ යාළුවෙක්. උන්දැත් යස අගේට පවුලත් කාගෙන මාවත් කන්න හදන්නෙ...:P ඔන්න රෑ ජාමේ අරගෙන කියනවා බට්ටි ඔයා මොකද කරන්නේ අනේ මට නින්ද යන්නෑ කියලා.හීන සාගරයක් බල බල ඉන්න මගෙන් මොනා කරනවද කියලා ඇහුවාමි මොනා කියන්නද අනේ..මම ඉතිං කියනවා ආ මමද මම මේ නානවා ඔයත් නාගන්න කියලා...

      Delete
  2. උත්තරා මොනවා කිව්වත් සිත් ඇදගන්නා ආකෘතියකට අනුව ලියපු ලියවිල්ලක්..නියමයි..

    ReplyDelete
  3. යාළුවා වගේම යාළුකමත් නියමයි. කතාවත් ඒ වගේමයි :)

    ReplyDelete
  4. හරිම ආසාවෙන් කියෙව්වෙ... අපුරුයි ....

    ReplyDelete
  5. හරිම අපූරු යලුවෙක්නෙ තරූ අක්කට ඉන්නෙ...

    ReplyDelete
  6. අපූරුවට ලියලා තියෙනවා තරු අක්කේ.

    ReplyDelete
  7. කතාවනම් සුපිරියි අක්කෙ...

    ඊළඟ කොටස එනකන් බලන් ඉන්නවා..

    ReplyDelete
  8. තරූට පද්‍යසාහිත්‍ය වගේම ගද්‍ය සාහිත්‍යයත් රසට ලියන්න පුළවන්. වඩාත් විච්චිත්‍රවත් ආකාරයෙන් ලියන එක නම් අගෙයි

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...