Monday, February 25, 2013

තරුවක් සමග වරුවක්...


ගමේ ගෙවුණු සති අන්තයක් ගැනයි මේ... වන්නිය කියලනෙ යාළුවො විහිළු කරන්නෙ අපේ ගම් පළාත ගැන. ඇත්තකුත් තියෙනවා. මගේ ආදරණීය වන්නිය. 

හන්දියෙන් බැහැල කිලෝමීටරයක් තරම් දුර පයින් යන්න තියෙනවා ගෙදරට. දුරකතන ඇමතුමක් දුන්නාම ගෙදරින් කවුරු හරි එනවා එක්කරන් යන්න. මේ සෙනසුරාදා උදේ ආවෙ තාත්තා. ඒ වෙද්දිත් මම පන්සල ළගටම පයින් ඇවිදින්... චැලියේ ඉදිරි පස මගේ පුංචි තරු කැටෙත් ඉන්නවා. ඇස් දෙක පාරටම අලවගෙන ආව දෝණි දුර තියාම මාව දැක්කම තරු ඇස් දෙක වහගෙන සීය තාත්තගෙ පපුවට හේත්තු වෙලා දොයි. 

‘‘ දෝණිට හොඳටම නින්ද ගිහින් නේද ? ” තාත්තා බයික් එක හරව ගත්තම දෝණිට උම්ම එකක් දීලම මම නැග්ගා. හොර පූසි වගේ නිදි. හිනාව චූටි තොල් අතර හිර කරගෙන... 

මම තාත්තගෙ අතට යටින් අත දාල කිති කැව්වා. කම්මුල මිරිකුවා. ‘‘ මගේ චූටි කෝලම කියල. මෙන්න ඇඹරි ඇඹරි හිනා වෙනවා සිලි සිලි ගාලා ... 

‘‘ මම්මෙ මාව ගන්න... තාත්තගෙ අත් දෙකට යටින් කැරලි කෙහෙරැලි හිස එබෙනවා පිටිපස්සට. තාත්තා බයික් එක නවත්වල දෝණිව උස්සල පිටිපස්සට දුන්නා. ඔන්න දැන් කතා පෙට්ටිය වැඩ...

‘‘ මම්මෙ අර තැත්තෙක්... වෙලේ දිගේලි කළ හරකෙක් පෙන්වනවා..

'' බැකෝ එකේ හුළං ගිහින් නේ? '' වෙල අද්දර නවතා ඇති බැකෝ යන්ත්‍රයක් දැක ඈ පවසනවා රවුම් ඇස් කරකවමින්.... සිඟිති සිරුරින් මිදෙන අපූරු සුවඳ, සුළං රැලිවල එතී එතී මා වටා දැ‍වටෙනවා.... ගෙමිදුලට හැරෙද්දිම යතුරුපැදිය.... අම්ම ඉන්නවා පෙරමග බලාගෙන. 

'' මේ... මේ...'' චූටි දෝණි මගෙ ඇඟට අත තියල අම්මට පෙන්වන්නෙ අනර්ඝ සම්පතක් කැන්දන් ආව වගේ හැඟීමකින්. ඉතින් ආයෙමත් දිග හාදුවක් මම්ම‍‍‍ගෙන් චූටි රෝස මලට.... මෙයාගෙ හුරතල්වැඩවලට හිත ආදරෙන් පිරෙන හැටියට දවසක හිත පුපුරල යයිද මන්ද?

ඉතින් ඉන්පස්සෙ උදේ වරුවම මම ඇගේ අත්අඩංගුවෙ සුන්දර සිරකාරියක්..... ඇගේ අම්මා මගේ චූටි නංගී වැඩ ඇරී එනතුරු..

'' මොනාද මට ගෙනාවෙ..'' සුපුරුදු ප්‍රශ්නය මුලින්ම.. ඉතින් දෝණිවත් උකුලෙ තියා ගෙන කුස්සියෙ වාඩි වෙන මම මුලින්ම කරන්නෙ ඇයට ගෙනා දේවල් එකින් එක අතේ තියන එක. වැඩි දෙයක් ඕන නැහැ ඇගේ පුංචි හිත සනසන්න. යෝගට් එකක්, කතන්දර පොතක්, චොකලට් පෙත්තක් වගේ දෙයක් හොඳටෝම ඇති.

චොකලට් බෝලයෙන් බෝලය කටට දා ගන්න ඇය තොරතෝංචියක් නැතිව ප්‍රශ්න අහනවා. ආච්චම්ම, සීයතාත්ත, මම ඇගේ හුරතල් කතා අහ අහ හිනාවෙනවා.. අම්ම තාත්ත එක්ක කතා කරන්න මට ඉඩක් නෑ.

'' කෝ මටත් දෙන්න එකක්'' ආච්චම්ම අත දික් කරනවා. '' බෑ '' ගත් කටටම දෝණි එහෙම කියන්නෙ චොකලට් පෙට්ටියත් පිටුපසට කරගෙන...

මම ඇගේ කණට කරල රහසක්  කියනව වගේ මෙ‍හෙම කිව්වා.. ( ඇය ආසයි රහස් කියනවට. කන්පෙතිවල දැවටෙන මුණු මුණු හඬට, සුසුම් පොදට ඇය ආස ඇති. රහස් කියන වෙලාවට බෙල්ලත් ඇද කරගෙන, බැබළෙන ඇස්වලින් අහන් ඉන්න හැටි බලන්න ආසයි...  )

'' චූටි මැණික... ආච්චම්මටත් දෙන්න චොකලට් බෝලයක්.. එකම එකක්.. ජේසු ආදරෙයි බෙදා හදාගෙන කන හොඳ ළමයින්ට...''

ඔන්න උකුලෙන් බැහැල දුවල ගිහින් ආච්චම්මටත්, සීයටත් චොකලට් බෝලය ගාණෙ දීල ඇය ආයෙම මා ළගට දුවගෙන එනවා... '' ම‍ගේ හොඳ මැණික... ගුඩ් ගර්ල්..'' මම ඇයව අගය කරනවා.

ළමයින් සමග ගණුදෙනු කිරීමත් එක්තරා කලාවක්.. මම ඒ බව ඉගෙන ගත්තෙ ළ.ක්‍රි.වී.යෙන්. හැබැයි හැමවෙලාවෙම මේ කලා උපක්‍රම සාර්ථක වෙන්නෙත් නෑ.  හැම උපක්‍රමයක්ම වැරදිලා පුංචි ඇස්වල කඳුළු ළඟ අපි පරදින වෙලාවල් තියෙනවා අනන්තවත්.

මට දැන් හොඳටම බඩගිනි.. උදේ පාන්දර නවාතැනින් පිටවෙන්නෙ තේ එකක්වත් නොබී. අම්ම ගලේ අඹරල හදන පොල් සම්බෝලෙ එක්ක බත් කටක් කන්න බලාගෙන ගෙදර එන්නෙ. ඒත් දෝණිගෙන් ගැළවෙන්න හරිම අමාරුයි.. වැසිකිලි දොර ළඟටත් ඈ එනවා... '' මම්මෙ කකුල අල්ලන්න...'' කියල දොර යටින් චූටි කකුල රිංගවන්න හදනවා. ඉතින් මං ඇගේ චූටි ඇඟිල්ලක් අල්ලල හෙමිහිට කොනිත්තනවා... විසිරෙන හිනාවක් එක්ක ඈ කකුල ඇදල ගන්නවා... ඒත් ආයෙම ආයෙම ඒ දේම... නැවතත්... මං එළියට එනතුරුම...

'' මගෙ රත්තරන් මැණික් කැටේ... මම්මට බඩගිනි... අපි බත් කාල සෙල්ලම් කරමු. '' යාප්පුවෙන් ඇයව ‍සනසල බෝනික්කව අතට දීල මම කන්න පටන් ගත්තා. මෙන්න ඒ ගමන මගේ බෑගය අදිනවා... බෑගයේ තියෙන පොත් එකින් එක එළියට ගන්නවා.

'' මම්මෙ... මම්මෙ මේ අයන්න...'' දෝණි කෑ ගහද්දි මං බැලුවෙ පුදුමයෙන්. ''ඇහි පියන් ඇහැරිලා'' කවි පොත පෙරළගෙන සුදු පසුබිමේ ලොකු අකුරින් තියෙන අයන්න ඇය මට පෙන්වනවා. සතුටින් පිරිල ඇගේ මුහුණ. ළඟම යාළුවෙක් මුණ ගැහුණ වගේ. අකුරු කියවල තවම මාසයයි. දැනටමත් අයන්න ඇගේ හිතේ ලැගුම් ගෙන.  

ආයම පොතක් ඇදල ගත්ත ඇය '' මේ... මේ... ෆාද මාමා '' මට පෙන්වනවා.. මේ මතක ශක්තිය විස්මයක්. මා දන්නා හඳුනන ෆාද මල්ලිලා දෙදෙනෙක් මගේ නිවස ආසිරි ගන්වන්න ආවෙ මාස ගණනකට පෙර. එදා දෝණි ඔවුන් සමග බොහෝ මිත්‍ර උණා. චතාරික මෙනෙහිකිරීම් කෘතියේ පසු පිටේ තියෙන ඔවුන්ගේ කුඩා පින්තූර හඳුනා ගන්නට තරම් ඇගේ මතක ශක්තිය කොතරම් ප්‍රබල විය යුතුද? අම්මයි තාත්තයි මිණිබිරියගේ හපන්කම් ගැන ආඩම්බරයෙන් හිනැහුණා.

ආයෙමත් බෑගය තුළ සිඟිත් අත් දාගෙන නිරීක්ෂණ චාරිකාවක... ‘‘ මම්මෙ මේ ජෙලි...ජෙලි...” ඇය සතුටින් කෑ ගහනවා. ඇගේ අතැඟිලි පෙන්වන ජෙලි දුටුමතින්ම මගේ හිත ගැස්සුණා. මාතෘකාවක් නැති මාතෘ භුමියේ පිටකවරයේ පින්තූරය. ඒ පුංචි හිත දන්නෙ මොනවද? ඉරි තැලී ගිය පොළව මතින් ගලාගෙන එන ලේ දහරාව ඇයට පේන්නෙ ජෙලි වගේ. ( බොහෝ වැඩිහිටියන්ටත් මේ ලේ පෙණුනෙ ඒ විදියටනෙ. ) දෝණිගෙ පුංචි හිතට බර වැඩියි ඒ ගැන කතාව. ඒ නිසා මං නිහඬ උණා. වාසනාවට ඇගේ අවධානය ඉක්මණින්ම අන් අතක.

බත් කාල අත ගත්ත ගමන් මං නැවතත් ඇගේ අත්අඩංගුවෙ. ඉන්පස්සෙ ඔට්ටු සෙල්ලම්, හැංගි මුත්තන්, සෙල්ලම් ගෙවල්... මටත් මාව අමතක වෙලා.. මමත් පුංචි ළමයෙක් වෙලා.

නන්නත්තාරෙ ඇවිද ඇවිද හිටිය බලු මහල්ලෙක් උගේ සැෑ සමය ගත කරන්න අපේ මිදුල තෝරගෙන තියෙනවා ගෙදර ඇත්තන්ගෙ කරුණාව නිසා. ඔට්ටු සෙල්ලම් කර කර ඉන්න ගමන් බලු මහල්ලාට පයින් ගහන්න දෝණි සැරසෙනවා.. බල්ලා නැගිටගන්නවත් වලංගු නැති කමට යම්තමින් හිස ඔසවා අසරණ බැල්මක් හෙළුවා විතරයි. මං දෝණිව වැළැකුවා..

‘‘ මේ බලන්න මැණික... බව්වගෙ ඇස් දිහා. අනේ ගහන්න එපා කියන්න වගේ බලනවා. අර බලන්න ඇස්. පව් නේද? මේ බව්ව වයසයිනෙ. එයාට ගහන්න හො නෑ. දොයියගන්න දෙමු. බල්ලගෙ මූණ කෙළින් මිදුලෙ දණ තියාගෙන මං දෝණිට බල්ලගෙ ඇස් දෙක පෙන්නුවා. ඇයත් හොින් බලාගෙන ඉන්නවා. බල්ලගෙ අසරණ ඇස් අපි දිහාටම යොමු වෙලා...

‘‘ බව්ව පව්නෙ... අපි පොරවමු... ඈ දුවගෙන ගිහින් රෙදි පාපිස්ස ඔසවන් ඇවිත් බල්ලගෙ ඇට දැම්ම. වැඩි සෙනේ දබරෙටයි කියන්නෙ නිකමටයැ. දැන් දෝණිගෙ වැඩි අනුකම්පාවත් බල්ලට හිරිහැරයක් වෙන්න යන්නෙ. එපා කිව්වට අහන්නෙත් නෑ...

‘‘ මේ එන්නකො මං ඔයාට අම්බිලි මාමෙක් ඇල දෙන්න මම පයේ විළුඹයි, මහපටැඟිල්ලයි තද කරල වටයක් කැරකිලා වැලි පොලවෙ අම්බිලි මාමෙක් ඇන්ඳා. ඔන්න ඒ ගමන බල්ලත්, පාපිස්සත් අමතකයි. ඇයත් මගේ අම්බිලි මාමා ළඟින්ම අම්බිලි මාමෙක් අඳින්න හදනවා.. ඒත් අඩයි ඇ‍දෙන්නෙ. පුංචි කකුල තද කරල පොළවට වටයක් කැරකෙන්න ඇයට තේරෙන්නැහැ. ‘‘ මට බෑනෙ ” ඇය කෑ ගහනවා.

‘‘තව ටිකක් ලොකු උණාම ඔයාටත් පුළුවන්... එහෙනම් අපි දෙන්න දැන් ඔට්ටු සෙල්ලම් කරමු. ” මම කිව්වෙ ඇගේ පුංචි හිත හදන්න. අවධානය වෙනතකට ගන්න. ඒත් ඈ ලේසියෙන් පසුබට වෙන්නෙ නෑ. පුංචි කකුල මං ඉස්සරහින් තියල ඈ මට කියනවා ‘‘ මම්ම අඳින්න... ” අත් අල්ලල අකුරු ලියනව වගේ ඇගේ පුංචි කකුල අල්ලල අම්බිලි මාමෙක් අඳින්න කියලයි ඈ මට කියන්නෙ. මම ඇයව ඔසවාගෙන පුංචි කකුල බිම තියල කරකවල අම්බිලි මාමෙක් ඇඳල දුන්නා... සතුටින් ඇගේ මුහුණ බැබළුණා...

අම්ම දෝණිව නාවද්දි, මමත් නා ගත්තා... ඔන්න අපි දෙන්නම නාල ඉවර උණේ එකට. හිසටම ඇළුණු කොට කැරලි කෙහෙරැලි ඇයත් පිස දමනවා නැමීගෙන.. මං වගේ. හරියට දිග කොණ්ඩයක් තියෙනවා වගේ... ළමයි අනුකරණයට කොයි තරම් ළැදිද? ඇත්තටම ළමයි ජීවිතයට ගොඩ වෙන්නෙ වැඩිහිටියන් පෙන්වල දෙන පාර දිගේම නේද? වැරදුණොත් දරුවන්ට ඒ වගකීම අපටත් පැවරෙනවා නේද?

‍දෝණිට මං බත් කැව්වා. එයත් බත් අරගෙන කෑවා... පව් බඩගිනි තියෙන්න ඇති ගොඩක්. දවසම සෙල්ලමේනෙ. එදා දවල් ජපන් චිත්‍රපටයක් පෙන්නුවා ජාතික රෑපවාහිනියෙ. සකුරා හනාකෝ කියල අලි දෙන්නෙකුයි, සත්තු වත්තකුයි ගැන කතාවක්. දූයි මායි දෙන්නම හාන්සි පුටුවට වෙලා චිත්‍රපටිය බැලුවා. ඇය මගේ පපුවට හිස තියාගෙන... ඉඳහිට ඈනුම් යනවා... ඇස් පියවෙන්න ඔන්න.. මෙන්න... මට ඇගේ සිඟිති සුවඳ දැනෙනවා. ඇගේ උණුසුම දැනෙනවා. හිත ආදරෙන් පිරිල යනවා. මට ඇය මිරිකල මිරිකල හාදු වැස්සකින් නාවන්න හිතයි. ඒත් මං හෙමිහිට නළලට හාදුවක් තියල කෙහෙරැලි අතගාමින් උන්නා...

ඇයත් එක්ක ගෙවුණු කාලෙ පුංචිම දුකක්වත් දැණුනෙ නෑ නේද? මට මාවත් අමතක වෙලා නේද? සැහැල්ලුවෙන් හිත පිරිල නේද? කියල මට හිතුණා... ළමයි කියන්නෙ මේ ලෝකෙ බර හෑල්ලු කරන්න සුරලෝකෙ ඉඳන් එන දේවදූතයොද? ඒ දේවදූතයන්ටත් විස කවන, තලා පෙලා දමන කුරිරු සමාජයක් නේද දැන් අප හමුවේ තියෙන්නෙ...

ඔන්න දෝණිගෙ අම්ම ආවා... ඇයට දැන් නිදිමත අමතකයි.. දැන් ඇයට මාත් අමතකයි. කුක්කු බඩගිනි ඇවිත්. අම්මෙකුගෙයි දරුවෙකුගෙයි සුන්දර ආදර අන්දරය....

( දෝණි ලොකු වෙලා මම්මගෙ බ්ලොග් එක බලන දවසක එයා තේරුම් ගනීවි එයා ඉපදුණේ හැදුණෙ වැඩුණෙ කොයි තරම් ආදරයෙන් පිරුණු පවුලකද කියල. ඒ වගේම එයා අපේ ජීවිතවලට කොයි තරම් සතුටක්.. පූර්ණත්වයක් අරන් ආවද කියල... එයත් තේරුම් ගනියි.... ලොව දුන්න දේවල් අද අපට අපත් පෙරළා ලොවට දිය යුතු බව.... මම මේ ලිපිය ලියන්නෙ දෝණි වෙනුවෙන්.. මගේ පුංචි රෝස මල වෙනුවෙන්.... )

2013.02.17


ඉපදුණු දා රෝහල් තොටිල්ලේ....


මුලින්ම ගෙදර ආව දවස

මුලින්ම ගෙදර දිය නෑ මොහොත

මුලින්ම පල්ලි ගිය දවස


මුලින්ම මුණින් හැරුණු දවස්වල


අවුරුදු දෙකේ උපන්දිනයට මම්ම දුන්න තෑග්ගත් එක්ක


අකුරු කියවපු දවස ( 2013.01.20 )

5 comments:

  1. හිනා වෙවී තමයි මේ ලිපිය කියෙව්වේ.. බොහෝම ලස්සනයි.. ළමයින්ගේ ලෝකය කොච්චර සුන්දරද කියලා හිතෙනවා..

    පුංචි දෝණිට සුභ අනාගතයක් පතමු..

    ReplyDelete
  2. මේ පැත්තට එන්නෙම නෑ කියලා හිතාගෙන උන්නට මේ දැක්කට පස්සෙ නම් එන්නෙ නැතුව ඉන්නම බැරි උනා ඔන්න :).. මගේ ලෝකෙත් මේ වගේම හුරතල් පැටව් ගොඩාක් ඉන්නවා. ඊයෙ ගමේ ගිය වෙලේ ඔක්කොම අපේ ගෙදර. බේරෙන්න බෑ..

    කතාව ෂෝක්. ඔය පොඩි අය එක්ක ගණුදෙනු කරන එක අර කියනවා වගේ කලාවක්ම තමා..හරිම පරිස්සමෙන්... හරිම සංයමෙන් කරන්න ඕනෙ. මොකද දැන් ඉන්න පොඩි අය අපිට වඩා හුඟාක් ඉස්සරහින් ඉන්නේ..

    ReplyDelete
  3. me poddi ganama akka kalinuth post ekak damma neda. eth ekanam liyala thibune dukin. eweleta wena hith ridim kochchara ikmanata nathi wela yanawada. menna ekata sakshiyak :)

    ReplyDelete
  4. පුංචි දෝනියන්දෑ හොද ළමයෙක් වේවි. ඒක විස්වාසයි... සුභ අනාගතයකට සුභ පැතුම්!!

    ReplyDelete
  5. පුංචි අය එක්ක ගෙවෙන ජීවිතේ නම් පුදුමාකාරයි..... මමත් පුංචි කෙනෙක් නිසා දන්නවා ඒකෙ රග...

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...