පිටු

Tuesday, January 14, 2014

මටත් හිම



කලකින් ගම්බිම් බලා එන මං
පිළිගන්න පේ වෙලා වාගේ ය දැන්..

ගුරු පාර දෙවැට දිග
ලන්ද මැද බැද්ද වට
හිම සේල ඇතිරිල්ල එළාගෙන
සඳ සිනා සලා මග බලාගෙන..

පිණි ඉහෙන හිමිදිරියෙත්
ගිනි දැවෙන මද්දහනෙත්
ඉර මියෙන හැන්දෑවෙත්

හිම බිඳිති... හිම බිඳිති
සුදු මොට්ටු මල් කිනිති...

පොඩිසිඤ්ඤො නැසුවාද හැබෑටම
මේ හැටිම සුදු සිනා සලාගෙන
කරුමයෙන් උරුමයට ආ එ නම

අසාධාරණ බව ම නෑඟුණි ද?

27 comments:

  1. මොහොම අපූරූ පද වැල් ටික.. රහම රහයි...

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙකුට හරි රහ වුණා මදැයි...

      Delete
  2. මටත් හිම කියපු ගමන් බැලුවා මෙයා කම්මැලිකමට ගුලි වෙලා කියලා.
    නිවාඩුවට ගමේ ගිහින් වගේ. අපිට කතා ටිකක් ගමෙන් අරන් එන්න.

    ReplyDelete
    Replies
    1. කතා නම් ඕන තරම්.... රංගි ලියන්න හිතක් තමයි නැත්තෙ...

      අපේ ගේ පිටිපස්සෙ පතහත් එක්ක පුංචි කැලෑවක් වැවෙන්න ඇරල තියෙන්නෙ.. ඒක මහා ගෝටුල්ලක්... ගිනිතිල්ල, කිරිමදුවැල් තව නොදන්නා වැල් ගාල්වලින් වැහිලා... මල් පිපෙනවා... ඒවට සමනල්ලු එනවා... චූටි කුරුල්ලො කූඩු හදන් ඉන්නවා... ඒ නිසා කපල දාන්න හිතෙන්නෙ නැහැ....

      මේ සති අන්තෙ ගෙදර යද්දි ඒ පොඩි කැලෑව පිරෙන්න පොඩිසිඤ්ඤමරං පදුරුවල මල් පිපිලා... සුදුම සුදු පාටයි... හිම වැටිල වගේ... ලස්සනයි... සමනල්ලුත් එනවා... ඒවයෙ මල් පැණි තියෙනවද අනේ මන්ද? පාර දිගට ත් එහෙමමයි... මේ මල් පිපෙන කාලෙ වෙන්න ඇති....

      ඒ දිහා බලන් ඉද්දි හිතුණා අනේ මේ මල් පදුරට වෙන ලස්සන නමක් තිබුණ නම් කියල....

      Delete
    2. ඔහොම හරියන්නේ නෑ මේ නම් එකක්වත් දන්නේ නෑ. ෆොටෝ අරන් එන්න ගමෙන් එනකොට. පතක කියන්නේ මොකක්ද? පතල් ද ඇපේ පැත්තේ පතල් කියන්නෙ මැණික් පතල්. ගෝටුල්ලක් කියන්නේ නිකම් කැලෑවක් වගේද? ගිනිතිල්ල අහලාවත් අනෙ. කිරි මදුවැල් වෙන්නැති මම පොඩි කාලේ පොල් පිති හරක් බඳින්න භාවිත කාලේ. ඒකේ මල් පිපෙනවා නේද සුදු පාට? පොඩිසිඥ්ඥො මරන් දන්නෙත් නෑ.
      මම හිතන්නේ ඔයා මේ කියන නම් තමයි දන්නේ නැත්තේ. නැත්නම් ඔය මගේ යාළුවෝ කියන්නේ මම ගස් වැල් දන්න හැටියට උන් ලංකාවේ ඉඳලාවත් ඒවා දන්නෙ නෑ කියලා.

      Delete
    3. කැමරාව තිබුණෙ බෝඩිමේ රංගි... ඒ නිසයි පොටෝ එකක් ගන්න බැරිවුණේ... ලබන සතියෙ යද්දි මල් තියෙද්දි දන්නෙ නැහැ...

      පතහ කියන්නෙ විසාල වතුරවලක්... පොකුණක් වගේ...

      ගස්වැල්වලට එක එක පැතිවල කියන නම් වෙනස් නේද? ඒ නිසයි සමහරවිට අපි නමින් නොදන්නෙ...

      මේ සැරේ යද්දිත් තිබුණොත් මම පොටෝ එකක් අරන් එන්නම්...

      Delete
  3. ඔය මල් වලට එක එක පැති අනුව වෙනස් නම් තියනවා නේද? අපේ පැත්තේ නම් ඔය නම කියනවා අහලම නෑ.

    ReplyDelete
    Replies
    1. තව නම් තියෙනවා තමයි තිසර... මට ඒ එක නමක්වත් මතක් වුණේ නැහැනෙ...

      Delete
    2. ඒ නම් මතක් වුනා නම් කවියට මොකද වෙන්නේ.

      Delete
  4. හිත ඇතුලේ මැවුනා කියා ඇතිදේ. සුපිරියි

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ මල් දැකල තියෙනවනම් හිතා ගන්න පුළුවනි...

      Delete
  5. අපුරුවට ගෙත්තම් කරලා

    ReplyDelete
    Replies
    1. ඒකට ලකුණු දෙන්න ඕන මල් යායට ම තමයි...

      Delete
  6. මං හිතුවේ ඇත්තටම හිම කියලා...
    අපූරු නිර්මාණයක්....

    ReplyDelete
    Replies
    1. පින්තූරවලින් ඇරෙන්න ඇත්තටම හිම දැකල නැහැ මල්ලි මම... පොඩිසිඤ්ඤමරං මල් ගොල්ල දකිද්දි හිම මතක් වුණා...

      Delete
  7. මම ඒත් ආයෙම කල්පනාවෙන් කියෙවුවා කෝ මේකේ හිම කියලා.. පස්සෙනේ තේරුණේ.. ලස්සනයි අක්කේ..

    ReplyDelete
    Replies
    1. හිම වැටිල වගේම තමයි එක යායට පිපිල තියෙද්දි...

      Delete
  8. කෙටි නිසාම රස වුනාද මන්ද...?
    ඉතාමත් අගෙයි තරු...

    ReplyDelete
  9. පොඩිසිඤ්ඤෝ මරං ලස්සන මල් පිපුනාම විතරද? බොහොමයක් එහෙම තමයි:D

    ReplyDelete
    Replies
    1. මල් පිපුණාම තියෙන ලස්සන වෙනදට නැහැ.. ගණනකට ගන්නෙ නැති පදුරු විතරයි..

      Delete
  10. කමෙන්ට් එකෙන් පැහැදිලි නොකලනම් මමත් බැලුවා අර නමේ කතාව මොකක්ද කියලා.
    මට නොතෙරුණ හින්දමද මන්දා හිත ගියේ කවියට. අර මල් ගැන නම් එකක්වත් මාත් දන්නේ නැ අහලත් නැ අක්කේ. හ්ම්ම්

    ReplyDelete
  11. නගරයේ ඉඳන් ගමට යද්දි හැම විටම හිතෙන්නේ ගම අලුත් ඇසකින් අපි දිහා බලන් ඉන්නවා කියලා. බොහොම සුන්දර අත්දැකිමක් සුන්දර විදියට පෙලගස්වලා කවියකින්

    ReplyDelete
  12. ලස්සන කවි සිතුවිල්ලක්... මට මතක් උනේ පේරාදෙණියේ රොබරෝසියා මල් ඇතිරිල්ල !!

    ReplyDelete
  13. එහෙම මලක් ගැන ඇත්තෙන්ම දැනන් වුන්නේ නැහැ.පොඩිසිඤ්ඤොමාර,අපුරු නමක් නේ.

    ReplyDelete
  14. හිම බිඳිති... හිම බිඳිති
    සුදු මොට්ටු මල් කිනිති...

    ගති.......................
    ගුඳ ගත ගතිම ගති...............

    මා-මා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...