පිටු

Thursday, June 30, 2016

සිහිනයක කෙළවර...

by vishalmisra


මුලින් ම කිව යුතුව ඇත්තේ මෙය සිහිනයක් බව ය.

ඊටත් පෙර මෙය කෙටි කතාවක් ලිවීමට මා දරන ප්‍රයත්නයක් බව ද කිව යුතුම ය.

කෙසේ නමුත් මේ සිහිනයකි. සිහිනයේ ප්‍රධාන චරිත තුනකි. මම, ඔබ සහ ඔහු ය. දැන් ඔබ සහ ඔහු, ඔබ කවුරුන්ද, ඔහු කවුරුන්ද, සිතා ගත නොහැකිව මහත් පටළැවිල්ලක් ඇති කරගනු ඇත. කුමක් කරන්න ද? මට ද එය නිශ්චිත නැත. වරෙක ඔබ ඔහු වේ. ඔහු ඔබ වේ.

සිහිනයට අනුව නම් අප සිටියේ විනෝද චාරිකාවක ය. කොහේදැයි නොදනිමි. සිහිනය ඇරඹුණේ ම රාත්‍රියෙනි. නිවාඩු නිකේතනයකිනි. අප සිටියේ රැයට මුහුණ ලා එහි ආලින්දයේ ය. සුළඟ අතිශය සිහිලැල් ය. නමුත් දාංගල් ය. සීතල සිමෙන්ති බිම ඇතිරූ ඇතිරිල්ලක තරු පිරි අහසට මුහුණ ලා අපි එක පෙලට නිදාගෙන සිටියෙමු. පවුලේ අයත්, හිත මිතුරනුත් එහි වූ බවට ඡායාමය මතකයක් ඇත.

මා සිටියේ ඔබ අසල ය. වසර ගණනාවකට පසු ඔබ කොහේදෝ සිට පැමිණ සිටියේ ය. ( එය කිසිසේත් විය නොහැක්කක් බව එවේලෙහි මට සිහිපත් වූයේ නැත. ) අපේක්ෂිත ආගමනය නිසා උද්දාමයෙන් පිම්බුණු සිතින් මා පොළවටම ඇලී ගියාක් බඳු ය. ඔබේ සිරුරින් නික්මෙනා සුවඳ මගේ නැහැතුඩුවල වැදී කිති කැවිණි. ඔබේ සුසුම් ස්වර මගේ හදවතේ ඇමිණිනි. අපි බොහෝ දෑ කතා කළෙමු. අපේ ඇස් තිබුණේ අහසේ ය. නමුදු අපේ සිත් තිබුණේ එකම ස්වරයක පැටලී එක දැහැනේ ය.

ඔහු ( ඔබ ) සිටියේ ඒ සයනාසන මිනිස් තීරුවේ ම මඳක් ඈතට වන්නට ය. බිරිඳ සහ දරු දෙදෙනා අතර මැද ය. ඒ ඇස් අතර සාංකාවක් කෙවෙමින් තිබුණා දැයි සිහිනය අතරතුරම වුව මා පිරික්සා බැලූ බව මතක ය. එකම විට උද්දීප්තව ද, සාංකාබරිතව ද මා මියෙන්නට ආසන්න වූවා වැනි ය.

වරෙක ඔහු මා අනෙක්පස වැතිරී උන්නේ ය. ‘‘එක් පසෙක ඔබ අනෙක් පස ඔහු. මා මැදින්. දෙන්න දෙපැත්තෙන් ශාන්ති මැද්දෙන්.‘‘ නමුත් මසිත කිසිදු ශාන්තියක් එවේලෙහි නොවූ බව නිසැක ය. දෙදෙනාගේම ඇස්වල සාංකාවන් නොතැවරෙන්නට දෙදෙනාටම හරි මැදින් දෙදෙනාටම අයත් නොවන, නමුත් දෙදෙනාටම අයත් වන නිශ්ශබ්ද තීරුවක සීරු මාරුවේ රැඳී සිටින්නට මා අපමණ උත්සාහයක් දැරූ බව මතක ය.

අප කතා කරමින් සිටියේ ඔබේ නව කතාවෙන් සිනමා සිත්තමක් ගෙත්තම් කරන අයුරු ය. එහි දර්ශන පටිගත කරන ස්ථාන, චරිත රඟන නළු නිළියන්, සංගීත අධ්‍යක්ෂණය මෙකී නොකී බොහෝ දෑ දෙපසින් මිදී මා හරහා හුවමාරු වන්නට විය. මම අසා සිටියෙමි. එවිට හමා ආ සුළඟෙහි කරදියෙන් පෙඟුණු ලුණු රසයක් කැලතී තිබිණි. අප නිදා උන්නේ සූරිය ගස් හෙවණැල්ලක සීතල ළවැල්ලකයැයි දැනෙන තරමට මුහුදේ ඝෝෂාව ඈතින් ඇසිණි.

මොහොතකට පසු ඔහු නැවතත් බිරිඳත් දරු දෙදෙනාත් අතර මැද තමන්ට වෙන් වූ ඉඩ තීරුව සොයා නික්ම ගියේය. ඉක්බිති නිහඬතාවකි. සුළඟේ මිමිණුමට පිළිරැව් දෙන, තුරු සිරි සිරිය අතරමැද තරු එළි නිවි නිවී දැල්විණි.

චාරිකාව නිමවූයේ ඔබේ ( ඔහුගේ ) නිවසිනි. එය විසල් අලංකෘත මැදුරකි. අප වෙනුවෙන් ඔබ නිවසේ සංග්‍රහයකි. බිරිඳත්, ඔබත් ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස දරනු මම දුර සිට බලා සිටියෙමි. මසිත බර වී තිබුණා මතක ය. සියල්ල සිදුවිය යුතු පරිද්දෙන්ම සිදුවෙමින් තිබියදීත් කුමක්දෝ අහිමි ව ගියාක් බඳු හැඟීමකින් දැවි දැවී මා ඔබ මොබ සැරිසැරුවෙමි. එවිට ඔහු සිටියේ කොතැනකදැයි මට මතක නැත. සමහර විට ආ දෙසටම නැවත හැරී ගියා වන්නට ඇත. නමුත් සමුගන්නා වගක් කී බවක් නම් මතක නැත.

ඉක්බිති ඇස හැරිණි. සිහිනයක් බව සිහිව හෝස් ගා හිත ඇවිළිණි. සිත සිත ඉන්නට වෙලාවක් නැත. ඇඳෙන් පැන කුස්සියට දිව ගියෙමි. වෙලාව හයට ආසන්න ය.

...............

කෙටි කතා පන්තියේ ( පන්තියක් ම නොවේ. වැඩමුළුවකි. ) පළමු දේශනය ප්‍රවීණ කෙටිකතාකරුවෙකුගෙනි. කිසිදු අලසබවකින් තොරව අසා සිටිත හැකිය. ඔහු කතාවෙහි දක්ෂයෙකි. කතා කලාවෙහි ශූරයෙකි. එබැවින්ම අතැඹුලක් සේ නිර්මාණකරණය ගැන කතා කරන්නට සමතෙකි. කෙටි කතාවක් නිර්මාණය කරන්නේ කෙසේද? පහදා දෙන්නට ඔහු තෝරා ගත්තේ අපූරු නිදසුනකි.

‘‘ඔයාල දන්නවනෙ ගල් විහාරය. ගිහින් ඇතිනෙ හැමෝම. ස්වභාවික පිහිටි ගල් තලාවක් හාරලා තමයි ගල් විහාරයේ ඒ අපූරු පිළිම නෙළල තියෙන්නෙ. ගල් තලාවන් ඕන තරම් තියෙනවා. ඒත් ඒ හැම ගල් පව්වකම මෙහෙම වැඩක් කරන්න පුළුවන් ද? බෑ...‘‘

ලේඛකයා ගල් විහාරය වර්ණනා කරමින් සිටිය දී මා සිතින් සිටියේ එතැන ය. හිඳි පිළිම, හිටි පිළිමය, සැතපෙන පිළිමය එහි සියුම් සිවුරු රේඛාවක් පවා නිරීක්ෂණය කරමින් පෑ ගණනක් ගෙවා දැමූ හැටි මතක ය. එතරම්ම මා ගල් විහාරය හා බැඳුණේ ඒ පිළිම නිසා ම පමණක් නොවි ය යුතු ය. ඒ නිස්කලංක වටපිටාව නිසා ද විය යුතු ය.

‘‘කවුරු හරි කෙනෙකුට මේ ගල් පව්ව දැක්කම මුලින්ම හිතේ අදහසක් ගොඩනැගෙන්න ඇති එය නිර්මාණයකට සුදුසු බව. ඒ ගැන දිගින් දිගටම හිතන්න ඇති. ඒ සංකල්පනාවලියෙන් බැහැර වෙන්න නොහැකි වෙන්න ඇති. ඉන්පස්සෙ සැලසුම් සකස් වෙන්න ඇති. ඒ සංකල්පීය අදහසට, දැක්මට ශිල්ප ඥානයත් එකතු වෙලා, මහා ශ්‍රමයක් තුළ තමයි ගල් විහාරය උපදින්නෙ. ගල් පව්ව විශාල ප්‍රමාණයක් අහිමි කරගෙන තමයි පිළිම, කැටයම් මතුවෙලා තියෙන්නෙ. කෙටි කතාවත් අන්න ඒ වගේ...”

මම සිතින් සිටියේ ෂාමීට් ගේ රන් රෝස මල ළඟ ය. ජීවිත කාලයක් පුරා කුණු කසල රොන් සුණු සුඟ බැගින් එක්කොට ඔහු තැනූ රන් රෝස මල. එය කිසිදිනක ඔහුගේ ප්‍රේමවන්තිය අත පත්කරන්නට නොලැබුණ බව සත්‍ය මුත් අදටත් ඒ ප්‍රේමණීය ශ්‍රමය අපේ සිත් තුළ රන් රෝස මල් උපද්දන්නේ නොවේද?



Jan Vermeer Painting

‘‘ගල් විහාරය තැනුණු ගල් තලාව වගේ තමයි කෙටි කතා කරුවාගෙ අත්දැකීම. නිර්මාණකරුවගෙ ශිල්පීය කුසලතාවය යොදවල බොහොම අරපරිස්සමට ඒ අත්දැකීමෙන් සාර්ථක නිර්මාණයක් කරන එක හරියට අර ගල් පව්ව හාරල, ගාණට ඔප මට්ටම් කරල පිළිමයක් නෙළනව වගේ වැඩක්. ඒකට හරි දැක්මක් තියෙන්න ඕන. සංයමයක් තියෙන්න ඕන. හැකියාවක් තියෙන්න ඕන. අභ්‍යාසයක් තියෙන්න ඕන. කෙටි කතා ලියන්න හැමෝටම බැරි ඒකයි. ලියන බොහෝ කතා, කෙටි කතා නොවෙන්නෙත් ඒකයි. කවියටත්, නව කතාවටත් වඩා කෙටි කතාව සියුම්. තියුණු යි. අත්දැකීම කියන ගල්පව්වෙන් කෙටි කතාව කියන සියුම් නිර්මාණය මතු කරගන්න ගල් වඩුවෙක් වගේ ලෝබ කමක් නැතිව බොහෝ දේ කපල කොටල අත්හරින්න පුලුවන්කම තියෙන්න ඕන.”

....................

ඉදින් මගේ ගල් පව්ව නැතිනම් අත්දැකීම පෙර කී සිහිනය ය. මම එයින් කෙටි කතාවක් නෙළන්නට වෑයම් කරමි. සැබවින්ම අසීරු ය. සිතුවිලි ඉසිර විසිර යයි.

....................

බොහෝ පමා වී ඇත. විසිරුණු සිහිනයක අතරමං වීමේ ප්‍රතිවිපාක තවමත් ලිප මත ගොජ දමයි. මම පලා මිට සීරුවට එක්කොට ලෑල්ල මත තබා කපාගෙන, කපාගෙන යමි. සිරිස්.... සිරිස්....

....... ඔයා අවසන් වතාවට මං දැක්කෙ 2009 ජනවාරි 12.

‘‘කෙල්ල, මේ හැංගෙන්න ඕන වෙලාවක් නම් නෙවෙයි. ඒත් ඉදිරියට කරන්න තියෙන කප්පරක් දේවල් වෙනුවෙන් පණ ගැටගහගන්න ඕනි. ඒ හින්දා ටික දවසකට වහන් වෙන්න වෙනවා. කවදා එන්න වෙයිද දන්නෙ නෑ..”

දුරුතු හීතල හැන්දෑවක හදිසියේ පැමිණ, හදිසියේ කියා දැමු ඒ වචනවලින් අනතුරුව ඔබේ හුස්ම පොදක්වත් හමුනොවුණි.

‘‘සාමය වෙනුවෙන් හඬ නැගූ සහෝදරයා අතුරුදහන්”

‘‘දේශද්‍රෝහියා රටින් පැන ගිහින්.”

‘‘ඩොලර් කාක්කො. නැති බංගස්ථාන වෙන එකමයි හොඳ.”

හැම කළු ජනවාරියකම අතුරුදහන් වූවන් සොයා දෙන්නැයි විටෙක කන්නලව්වක්, විටෙක තර්ජනයක්, විටෙක ප්‍රශ්නාර්ථයක් රැගත් පුවරුවක් අතැතිව ශිවකුමාරිලා, පාතිමා ලා සමඟ මම ද කොටුව දුම්රියපළ ඉදිරිපිට වැළපුණෙමි. නමුත් ඔබ පැමිණියේ නැත.

චිරිස්.........

‘‘ආහ්”

මහපටැඟිල්ල කරාමයක් සේ උතුරයි. ලේ... හැමතැනම ලේ...

...............

හැමදිනම වගේ මම අදත් මොහොතක් ඔබේ ඡායාරූපය අසල රැඳී සිටිමි.

...... ඔයා නැති වුණාට පස්සෙ ජීවිතේ හිස්වුණා. ඔයා කවද හරි එයි කියල මං බලන් උන්නා. මං උන්නෙ ඇවිදින මළ මිනියක් වගේ. එයා තමයි ඩිංගක් හරි හිතට හයියක් වුණේ. ඒත් එයාට එයාට ම කියල ගෙයක් තිබුණා. තනියෙන් ඉන්න අපේ ගෙදර හැමදාම උන්නෙ මං විතරයි. දැන් අපේ කෙසුත් සුදුවේගන. එයාගෙ ලොකු පුතා ළඟදි බැන්දා. එයා ළඟදිම සීය කෙනෙකුත් වෙයි. ඒත් ඔයා තාම තරුණයි. එදා වගේමයි. මං හීනෙන් දැක්කනෙ. කිසිදෙයක් වෙනස් වෙලා නෑ... ඒ හිනාව, කතාව, සුවඳ එදා වගේමයි... හරි පුදුමයි...


එදා ඒ අවසන් වරට සමුගත් දින විඩාපත් වත මත නොගිලිහී රැඳුණු තාරුණ්‍යයේ දීප්තිමත් සිනහව සිහිනය තුළ වුව ද ඔබ අත්නොහැර සිටි හැටි!!!
 
...............

මම කෙටි කතාව ලිවීම අත්හැර දමමි. ඒ සිහිනයෙහි එක් නිමේෂයක්, බැල්මක්, සුසුමක් වුව අත්හැර දැමිය නොහැක. සියල්ල ගුලි කොට සදහටම හදවතෙහි රැක ගත යුතු ය. ඉතින් මම කතාව ලිවීම අත්හැර දමමි.

සමාවෙන්න, ඉතින් මේ කෙටි කතාවක් නම් නොවේ. සිහිනයක් ද නොවේ. 


Monday, June 27, 2016

දාංගල් හුළඟක ඇරයුමක්...




සිලි සිලි සසලවා
තුරු ළිය
ළදළු අතු ඉති
ඇරයුමකි, සුළඟින්
එන්න එළියට...

කොතරම් බර ද ඔය
හුදකලා කුටියෙහි
කැකෑරෙන උණුහුම
අන්ධකාරය අවුළන...

එන්න එළියට,
අන්න අර අහසෙහි
විසුළ තරු කැට
ඉඟි බිඟි කරන
කවියකි මධු මිහිර උපදන!!

මෙන්න මම
මල් සුවඳක්
අරන් ඇවිදින්
සිහිලැල් දහස් අතෙකින්
වැළඳ ගමි ඔබ
නිවී සැනහෙනු පිණිස...

ඉතින්,
එන්න එළියට
රැයත්, අහසත්, තරුත්
ඔබට ය...
එකමෙක හිනා බිඳක්
පමණක් මට ඇති ය...

Thursday, June 23, 2016

හිම මල් යායක කතන්දරේ


පුංචි ම කාලෙ මගේ සුන්දර ම මතකය විසල් පොල් වත්තක් මැද මැටි ගඩොල් බිත්ති බැඳල සුදු හුණු ගාපු, පොල් අතු හෙවිල්ලපු, සීතල සිමෙන්ති පොළවක් තිබුණු පුංචි ගෙයක අම්මයි, තාත්තයි, ලොකු නංගියි එක්ක ගෙවපු ජීවිතේ... අවුරුදු පහක් වෙද්දි ඒ ලස්සන වටපිටාව දාලා ගෙවල් පොකුරක් මැදට එන්න සිද්දවුණත් මං හැමදාම ආදරය කළේ ‘කණු කැලේ‘ නමින් හැඳින්වුණු ඒ කැලෑබද ගෙදරටම යි. මගේ අතීතකාමය කොතරම්ද කියනවනම් අන්තිමේ ඒ ළමා කාලෙ සුන්දර මතක කැටි වුණ බිමේ ම මගෙ ම කියල පුංචි ගේ පොඩ්ඩක් හදාගෙන සතිඅන්තයේ හරි නිස්කලංකව ඉන්න ඉඩක් ලැබුණු එක වාසනාවක් කියලයි හිතෙන්නෙ.

ගේ වටේටත්, ගුරු පාර දිගත්, අවට වතුවලත් අපමණක් පිපෙන සීනු මල් (වල් ළූණු), පොඩිසිඤ්ඤමරං මල්, ගිනිසීරියා මල්, වැට මාර මල් විරල අත්දැකීමක් නෙවෙයි. ඒත් එක දවසක ගමේ යද්දි පාර දිගටමත්, මගේ දුප්පත් මාළිගාව වටෙත් එක යායට පිපිල තිබුණු පොඩිසිඤ්ඤමරං මල් දැක්කම මගේ හිත නතර වුණේ හිම බිමක. ඒ වෙද්දි හිම වැටෙන රටවල ඉන්න මිතුරු මිතුරියන් හිම ගැන කවි ලියමින් උන්නා. හිම පින්තූර වත් පොතේ සැරිසරමින් තිබුණා. ඉතින් මමත් කවියක් ලිව්වා මටත් හිම  කියල.

‘‘අපේ ගේ පිටිපස්සෙ පතහත් එක්ක පුංචි කැලෑවක් වැවෙන්න ඇරල තියෙන්නෙ.. ඒක මහා ගෝටුල්ලක්... ගිනිතිල්ල, කිරිමදුවැල් තව නොදන්නා වැල් ගාල්වලින් වැහිලා... මල් පිපෙනවා... ඒවට සමනල්ලු එනවා... චූටි කුරුල්ලො කූඩු හදන් ඉන්නවා... ඒ නිසා කපල දාන්න හිතෙන්නෙ නැහැ.... 

මේ සති අන්තෙ ගෙදර යද්දි ඒ පොඩි කැලෑව පිරෙන්න පොඩිසිඤ්ඤමරං පඳුරුවල මල් පිපිලා... සුදුම සුදු පාටයි... හිම වැටිල වගේ... ලස්සනයි... සමනල්ලුත් එනවා... ඒවයෙ මල් පැණි තියෙනවද අනේ මන්ද? පාර දිගට ත් එහෙමමයි... මේ මල් පිපෙන කාලෙ වෙන්න ඇති.... 

ඒ දිහා බලන් ඉද්දි හිතුණා අනේ මේ මල් පඳුරට වෙන ලස්සන නමක් තිබුණ නම් කියල...“

රංගි ගෙ කමෙන්ටුවකට මං උත්තර බැඳල තියෙන්නෙ ඒ විදියට. ඒ මල් යාය ට හිම මල්  කියන නම යෝජනා කළේ පොඩ්ඩි. ( පොඩි කුමාරිහාමි) හිම මල් කියන්න අමාරු නිසා හිමාලි කියමුද? ‘‘යායට පිපුණම හිමාලියා කියමු එහෙම යෝජනා කළේ අරූගෙ අඩවියේ අරූ (අරුණ). 

.......................

අන්තිමේ ‘‘මටත් හිම‘‘ කවිය මගේ ‘‘තරු ඇස් රහස්‘‘ කවි පොතටත් එකතු වුණා. පුංචි සංස්කරණයක් එක්ක.


කවි පොත එළිදක්වන පොඩි උත්සවයක් ගමේ තිබුණා මේ අවුරුද්දෙ ජනවාරි 16 වෙනි දා. එදා කබලෑ දෙවිගම ප්‍රජාශාලා වත්ත එළිපෙහෙළි කරල තිබුණත් පසුබිමින් වුණ වත්ත (තල්කට්ට) සුපුරුදු විදියට ළඳු කැලෑ සළු පිළි එක්කම උත්සවයට සහභාගි වුණා. වැටෙන් මෙහාට එබි එබී පොඩිසිඤ්ඤමරං මල් යායක් තිබුණා. හැබැයි පාට වියැකෙමින්. හිම සේල ඇතිරිල්ලක තරම් කලඑළියක් තිබුණෙ නෑ. ඒත් සමහර විට එයාලට සතුටු හිතෙන්නත් ඇති අපිත් ඔය පොතේ කවියක ඉන්නවනෙ කියල.

පොත ගැන කතා කළ නාමල් අයියගෙ ඇස්වලට ( මහින්ද නාමල් ) ඒ මල් යාය සම්මුඛ වෙලා තිබුණා. එයා තමන්ගෙ කතාවදි පැමිණ හිටි අයගෙ අවධානය ඒ මල් පැත්තට යොමු කරල විශේෂයෙන් ඒ කවිය ගැන කතා කළා.

‘‘හැම අවුරුද්දකම, හැමදාමත් ඔයාල මේ මල් දකින්න ඇති. ඒත් ඔයාලට දැනුණද ඒ මල් ගැන මේ විදියට?‘‘ එයා සභාවෙන් ඇහුව ප්‍රශ්නයක්. ඉන්පස්සෙ කවිය ගැන විග්‍රහයක් කළා. එදා ආව ගමේ බොහෝ දෙනෙකුට  අදටත් මතක  තියෙන මගේ කවිය ‘‘මටත් හිම. පොඩිසිඤ්ඤමරං මල් දකින හැමවෙලාවකම එයාලට කවියත්, මාවත් මතක් වේවි.

...................

මැයි පළමුවෙනිදා ගමේ හැමෝම පොදුවේ දානයක් දෙන දවස. ස්වාමින් වහන්සේලාට දන් පිළිගැන්වීමෙන් පසුව ගමේ හැමෝමත් සප්පායම් වෙනවා. එදා දානෙට ඇවිල්ල උන්නු නැන්ද කෙනෙක් හෙමිහිට මගෙන් මෙහෙම අහනවා.

‘‘දුවේ මං ඔයාගෙ කවි පොතක් නංගිගෙන් අරන් ගියා. එදා කිව්ව පොඩිසිඤ්ඤමරං ගැන ලියල තියෙන කවිය මට හොයාගන්න බැරිවුණානෙ.

සතුටත්, දුකත් මුසුවුණු අමුතු හැඟීමකින් මගේ හිත බරවුණා. මං දන්නවා ඇය ස්වාමිපුරුෂයත් නැතිව, අසනීප දරුවෙකුත් එක්ක කුලීවැඩක් කරන් තනියම ජීවත් වෙන කෙනෙක් බව. විශේෂයෙන් ඇවිත් සල්ලි දීල පොතක් අරන් ගිහින් කවියක් ගැන හොයනව කියන්නෙ කොයිතරම් අපූරු දෙයක් ද? කොතරම් හිත කම්පනය කරවන මානුෂික කාරණාවක්ද?

‘‘නැන්දෙ ඒ කවියෙ මාතෘකාව ‘මටත් හිම‘ ඒ නමින් බලන්නකො“

මමත් හෙමින් කිව්වා.

.....................

පසුගිය ජූනි 05 වැනි දා මීගමුව මාරිස්ටෙලා විදුහලේ පැවති කවි පොත ගැන සංවායෙදිත් ‘‘මටත් හිම‘‘ කවිය සාකච්ඡාවට ලක්වුණා.
නාමල් අයියා ඒ ගැන කතා කළේ මේ විදියට.


‘‘මටත් හිම‘‘ මේ කවිය අතිශය සරල එකක්නෙ. මේ පුංචි දූල පුතාල එක්ක මේ ගැන කතා කරන්න ඕන නිසයි මම මේ කවිය ගැන වැඩිපුරම කතා කරන්නෙ. මේ කවිය ලියපු අක්ක හෝ නැන්දා කොළඹ ඉගෙන ගෙන හෝ රැකියාව කරල නිවාඩුවට ගමට යනකොට දකිනවා ගමේ පුංචි පුංචි සුදු පාට පොඩිසිඤ්ඤමරං මල් වටේට පිපිල තියෙනවා. එතකොට එයා ඒක තමයි හිම කියල දකින්නෙ. අන්න ඒක තමයි දැකීම. කුලියාපිටියෙ කබලෑ දෙවිගමට හිම වැටෙන්නෙ නෑනෙ මළාට. අපි දන්නවනෙ. එතකොට එයා දකිනවා හිම බිඳිති, හිම බිඳිති. හැබැයි මේ හිම බිඳිති ඉවර වෙලා අන්තිම කවිය ලිව්වෙ නැත්නම්!

කලෙකින් ගම් බිම් බලා එන මං
පිළිගන්න පේ වෙලා වාගේය දැන්
ගුරු පාර දෙවැට දිග
ලන්ද මැද බැද්ද වට
හිම සේල ඇතිරිල්ල එළාගෙන
සඳ සිනා සලා මඟ බලාගෙන

පිනි ඉහෙන හිමිදිරියෙත්
ගිනි දැවෙන මද්දහනෙත්
හිරු මියෙන හැන්දෑවෙත්
හිම බිඳිති හිමබිඳිති
සුදු මොට්ටු මල් කිනිති

දැන් කවිය මෙතිනින් නැවතුණා නම්, එහෙම වුණා නම් මේ කවියට ලැබෙන වටිනාකම හරිම අඩු එකක්. එතනින් එහාට ගිහිල්ලා ‘දැන් මේ මොන ගහේ මල් ද සුදු පාට කියල මේ කවිය ලියන අක්ක, නැන්ද කල්පනා කරනවා. ඒ කල්පනාව තුළින් තමයි දැකීම උපදින්නෙ. මේ කවියෙ මුල් කොටසෙ ආනන්දය තියෙනවා, ඒකෙන් ප්‍රඥාවකුත් දෙන්න ඕන. ආනන්දයේම ප්‍රඥාවකුත් තියෙනවා. ආනන්දයයි, ප්‍රඥාවයි වෙන් කරන්න ඕන නැහැ. දැන් ඔන්න බලන්න අතනින් පස්සෙ මෙන්න මෙහෙම කෑල්ලක් මේ කවියට තියෙනවා.

පොඩි සිඤ්ඤො නැසුවාද හැබෑටම
මේ හැටිම සුදු සිනා සලාගෙන
කරුමයෙන් උරුමයට ආ නමක
වග වාසගම් රිදුම් නොගෙනේද...

අන්න එතැනදි හිම බිඳිති වලින් එහාට ගිය හිතන්න දෙයක්, මහා ප්‍රඥාවක් තියෙනවා. මේ සුදු පාට මල් පිපිල තියෙන්නෙ කොහෙද? පොඩිසිඤ්ඤ මරං කියන ගස්වල. ඒ නම ඇහෙද්දි ගස් මිනිස්සු මරනවද කියල ප්‍රශ්නයක් එනවා. පොඩි සිඤ්ඤො කියන කෙනාගෙ කකුලෙ ඇනිල මේ කෝටුවක් පොඩි සිඤ්ඤො මැරෙනවා. මෙච්චර ලස්සන මල් පිපෙන ගහට ඇයි දෙයියනේ අපි එහෙම නමක් දැම්මෙ, නේද? ඕකෙ කෝටු ඇනුනු දාස් ගාණක් ඉන්නවනෙ. මටත් ඇනිල තියෙනවා. මං මේ ඉන්නෙ. මං හරියට බය වුණා පොඩි සිඤ්ඤො මරං කෝටුව ඇනුණ දවසෙ. ඇයි මැරෙනව කියලනෙ හිතන්නේ. කොහොමද මේ සිනා සලන මල් ගහ පොඩි සිඤ්ඤො මැරුවෙ. ‘කරුමයෙන් උරුමයට ආ නමක වග වාසගම් රිදුම් නොගෙනේද‘ නම්, වාසගම් කොයි තරම් මිනිසුන්ව රිදවනව ද?

රත්න ශ්‍රී විජේසිංහ කවියා ලියන්නෙ ගීතයක් ‘ලෙංචිනා මගෙ නංගියේ‘ කියල. එයා ඡන්දෙට ගියාම නම් මිනිසුන්ව රිදවන හැටි දකිනවා. ඡන්ද පළේදි නම කියවෙන කොට අඩුකුලේ කියන අය කැළඹෙන හැටි දැකල තමයි ඔහු මේ ගීතය ලියන්නෙ. නම් ගම් කොච්චර මිනිස්සුන්ව රිදවනවද? පුදුම විදියට රිදවනවා. අපි ගොඩක් නම් දාල තියෙන්නෙත් නරක විදියට. අපට කුරුල්ලෙක් ඉන්නවා කැහිබෙල්ලා. කොච්චර ලස්සන කුරුල්ලෙක්ද කියල බලන්න.  ඒ නම ගැළපෙනවද? එහෙම කරන්න හොඳ නෑ. අන්තිම නරකයි. රටේ බහුතරයක් සිංහල ප්‍රදේශවල දෙමළ සහෝදරයන් සිංහල ඉගෙනගෙන සිංහල නම් දාගන්නවා. ඒ ජාතික සමඟිය වෙනුවෙන් නෙවෙයි. ඇයි ඒ නම් ගම් මිනිසුන්ව රිදවන නිසා, ප්‍රතික්ෂේප කරන නිසා. ඒ සංස්කෘතියේ සුන්දරත්වයට කැමති අපට මේක හරි වේදනාවක්. හිම බිඳිති අස්සෙ මේ අවසන් කෑල්ල එකතුවීමෙන් කවිය හුදු සෞන්දර්යාත්මක කාරණාවකින් එහාට ගිහිල්ලා අපට මාර දේවල් හිතන්න පුරුදු කරනවා. අන්න ඒක තමයි කවියේ ලක්ෂණය, කවියේ මෙහෙවර. අන්න ඒ දැකීම තමයි කවිය කවියක් බවට පත්කරන්නෙ.

...................

විපුලි නිරෝෂණී සහෝදර කිවිඳිය ඒ ගැන අදහස් දැක්වුවෙ මේ විදියට.
‘‘ඒ වගේම මං හරිම කැමතියි ඇය ඉතාම සරල අත්දැකීම්වලට යනවා. ඇයගේ ජීවන වටපිටාවෙ තියෙන අත්දැකීම් සරලව කියනවා මෙන්න මෙහෙම. මාතෘකාව ‘මටත් හිම‘


කාලෙකින් ගම්බිම් බලා එන මං
පිළිගන්න පේ වෙලා වාගේය දැන්
ගුරු පාර දෙවැට දිග
ලන්ද මැද බැද්ද වට
හිම සේල ඇතිරිල්ල එළාගෙන
සඳ සිනා සලා මඟ බලාගෙන

පිනි ඉහෙන හිමිදිරියෙත්
ගිනි දැවෙන මද්දහනෙත්
හිරු මියෙන සැන්දෑවෙත්
හිම බිඳිති හිම බිඳිති
සුදු මොට්ටු මල් කිනිති

පොඩි සිඤ්ඤො නැසුවාද හැබෑටම
මේ හැටිම සුදු සිනා සලාගෙන
කරුමයෙන් උරුමයට ආ නමක
වග වාසගම් රිදුම් නොගෙනේද...

පොඩිසිඤ්ඤමරං ගහ ගැනයි කියන්නෙ. හැබැයි ඇය කියන්නෙ ‘මටත් හිම‘ කියල. ගෙදර එන විට දැනෙන ආස්වාදය, උණුසුම්බව, පිළිගැනීම ඇය එය අර්ථ දක්වන ආකාරය. ‘හිම බිඳිති හිම බිඳිති - සුදු මොට්ටු මල් කිනිති‘ ඇය පිළිගන්න මඟ බලාගෙන ඉන්නෙ. සරල අත්දැකීමක්. නිමිත්තක්. නමුත් එය අපූරු නිමිත්තක්. පොඩිසිඤ්ඤමරං කියල කරුමෙට ලැබුණු නමක් තමයි තියෙන්නෙ.

මේ පොඩි දරුවො පරිසරයට සංවේදී නම් දැකල ඇති පරිසරයෙ නම්වල හරි අපුරු ලස්සනක් තියෙනවා. ඔබත් නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරගන්න කැමති නම් පරිසරයට, ගහකොලවලට සංවේදී වෙන්න. ඒ තුලින් ඔබට දකින්න පුළුවන් මේ කියන අර්ථකථන. ඒ තුළින් අපූරු රූප මැවේවි, අපුරු උපමා මැවේවි ඔබට. ඒව කොහෙන්වත් කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ. ඒව පැනනැගෙන්න අප තුළින්මයි. අපේ අත්දැකීම් ඇසුරින් තමයි. පරිසරයත් එක්ක කුඩා කාලෙදිම අපේ කවිත්වය වර්ධනය කරගන්න පුළුවන්. ඔබ පරිසරය එක්ක කරන සංවේදි ගනුදෙනුව එක්ක තමයි ඒ හැකියාව බිහිවෙන්නෙ.

ඉතින් ඔන්න ඕකයි මගෙ හිම මල් යායෙ කතන්දරේ.