පිටු

Sunday, October 8, 2017

දේශද්‍රෝහියාට ප්‍රතිචාර


ලොකු නංගී

‘‘අපි ඒ කාලෙ ජේවීපි එක නිසා කොච්චර දුක් වින්දද? ඔයා ඇයි, මේ පොතෙන් ජේවීපී එක සාධාරණීකරණය කරල තියෙන්නෙ?‘‘

‘‘මම? ජේවීපී එක සාධාරණීකරණය කරලා. නෑ මං එහෙම දෙයක් ලියල නැහැනෙ.‘‘

‘‘එතකොට ආදිත්‍ය ජේවීපී නෙමෙයිද?‘‘

‘‘නෑ, නෑ ආදිත්‍ය ජේවීපී නෙවෙයි. ආදිත්‍යට ආගමක් නෑ වගේම, දේශපාලන පක්ෂයකුත් නැහැ.‘‘

..........

අම්මා

සති අන්තයේ ගමේ යද්දි ඈ උන්නේ ගංඟාගේ පොතක් කියවමින්. අම්මා ගංඟාගේ පොත්වලට කැමති නිසාම පොත් ප්‍රදර්ශනයෙන් ඇයට ඒ පොත් ගෙනවිත් දුන්නෙත් මමයි.

‘‘මම ඔයාගෙ පොත ටිකක් කියෙව්වා. මේ කලබල එක්ක කියවන්න පුළුවන් පොතක් නෙමෙයි ඒක. නිවාඩුව කියවන්න ඕන.‘‘ මගේ පොත වෙනුවට ගංඟාගේ පොත කියවීම සාධාරණීකරණය කළේ එහෙම...

ඊටත් ටික වෙලාවකට පස්සෙ මෙහෙම කියනවා.

‘‘ගංඟාගෙ කතා තෙරුම් ගන්න ලේසියි. කියවගෙන යන්න පුළුවන්. මේ වගේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කතාවක් ලියන්නකො.“

අයියෝ, මගේ සියඹලා!!!

...........

පොඩි නංගී

‘‘ගීතක්කා මට කතාව ටිකක් කිව්වා. මමත් මේ කියවන්න ඉන්නෙ නිවාඩුවක් ලැබුණම.“ 

( එයාට ඒ නිවාඩුව කවදාවත් ලැබෙන්නෙ නැති බව නම් මං දන්නවා. )

පොඩි නංගී කොහොමත් පොත් කියවන්න කම්මැලියා. අපේ ගෙදර මං ඇරුණම පොත් ගුල්ලි ලොකු නංගි. ඒ වගේම අම්මා.

‘‘ඉතින් ගීතක්කගෙන්ම කතාවෙ ඉතුරු ටිකත් අහගන්නකො.“ මම කිව්වා.

............

චූටි මිමී සහ චන්දු

පොත් පහක්ම තුරුළු කරගෙන.

‘‘මම්මේ ඔයාද මේ ඔක්කොම ලිව්වෙ?“ ඇසුත් ලොකු කරගෙන.

‘‘මං ලිව්වෙ එක පොතයි. ඒකෙන් තමයි අනිත් ඔක්කොම පොත් හදන්නෙ.“

‘‘මම්මෙ මමත් පොතක් ගන්නවා. මම ටික ටික කියවනවා.“ එහෙම කිව්වට ඈ තාම දෙක වසරෙ.

චන්දු පොතේ පසුකවරෙ පෙන්න පෙන්න... ‘‘මේ මම්මා, මේ මම්මා ‘‘ කියනවා.

අක්කා මල්ලිට පොතේ නම පාඩම් කරවනවා.

‘‘දේශ‘‘ - දේත
‘‘ද්‍රෝහියාගේ‘‘ - දෝයියාගේ
‘‘නිර්මල‘‘ - නීමල
‘‘හෘදය‘‘ - හදය...

මගෙ චන්දු කැටේ පොතේ නම කියන හුරතල් විදියට අල්ලල පොඩි කරන්න හිතුණා.

.........

‘‘තමුසෙ යකෙක් ඕයි. These are the best words I can muster. Amazing writing Nangi. Mixing Soloman and Panchasika is an amazing literary trick."

හෂිත අයියා

..........

‘‘විසල් අහස යට තරු කිරණ, ඔයාගෙ නිර්මල හෘදය මාරයි. ඔයා දක්ෂයෙක්. ඒ ගැන විවාදයක් ඇත්තෙම නෑ. ආදරෙයි.“

කුමාරි අක්කා

"young nun at prayer" | sergei ivanovich gribkov
.........

‘‘නංගියෝ, මට ආයෙත් ඒ පොල්ලතු ගෙදරට දුවල යන්න හිතයි. ඔයාට මාර මතකයක් තියෙනවනේ. ලස්සනට ලියල. මගේ ජීවන අත්දැකීම සහ ඔයාගෙ ලිවීමේ හැකියාව ගැන මම දෙවිඳුන්ට තුති පුදනවා හදවතින්ම. ස්තූතියි. ජේසු පිහිටයි.‘‘

සිස්ට ශිරානි

.........

‘‘තරූ, එයාගෙ කුළුඳුල් නවකතාවට නම දාලා තියෙන්නෙ ‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය‘ කියල. ඒකෙ හැම චරිතයක්ම මහා සමාජෙට අනුව දේශද්‍රෝහීන්. ඒත් ඒ දේශද්‍රෝහීන්ගේ නිර්මල හෘදයන් මොන වගේද කියල කියන්න ඇය අවංක උත්සාහයක් දරල තියෙනවා. දවසක ලෝකය තේරුම් ගනීවි දේශද්‍රෝහීන්ගේ හෘදයන් මොන තරම් නිර්මලද කියල.“

සාලිය

.............

‘‘ඔන්න මං පොත බලන්න ගත්තා. දැන් දෙන්නගෙ හැඩරුවත් මගෙ හිතේ ඇඳිල ඉවරයි. මං නම් සිස්ට සෙව්වන්දි වගේ නෙවෙයි. මට එච්චර දෙයක් කරගන්න හයියක් නෑ. මං හිතුවට වඩා ඔයා දක්ෂයි. භාෂාව හරිම ලස්සනයි.

වාව්... ඔයාගෙ පොතේ මාත් ඉන්නවනේ.“

සිස්ට මර්සි

දෙව්දුව චිත්‍රපටයේ මාලනී
...........

‘‘මොකක්ද බං මේ ලියල තියෙන මළ ඉලව්ව. උදේ ට්‍රේන් එකේ එද්දි කියවන්න ගත්තා. නවත්තගන්න බෑ. ලෙක්චර්ස්වලදිත් කියෙව්වා. හොරෙන් ඉස්කෝලෙ යන කාලෙ වගේ. දැන් ඉන්නෙ 148 පිටුවෙ නික්ම යාමෙ. උඹ ආදිත්‍යට මොනව හරි කරල තිබ්බොත් අම්මපා හොයාගෙන ඇවිත් හොඳ වැඩක් කරනවා. ලැජ්ජයි කඳුළු පිහ පිහ පොත් කියවනකොට. වටේ ඉන්න උන් හිනාවෙනවා.“

විපුලි අක්කා

.............

කිසිසේත් අමතක කළ නොහැකි අපූරු දුරකථන ඇමතුම් කිහිපයක්ම ලැබුණා පොත ගැන. එවරස්ට් ආරච්චිගේ, වසන්තා මිහිඳුකුලසුරිය, කැලුම් ප්‍රසන්න, සාලිය ඉඳුරුවිතාන දැක්වූ අදහස් මට ගොඩක් වටිනවා. ඒව දීර්ඝ සාකච්ඡා නිසා ලියන්නේ නැහැ. වසන්තා අක්කා කියූ අකුරු වැරදිත්, එවරස්ට් අයියා කියූ අටුවාවක අඩුවත් මීළඟ පොතේදි නිවැරදි කරන්න අවශ්‍ය පියවර ගන්න පොරොන්දු වෙනවා.

අමතක කළ නොහැකිම ඇමතුමක් තමයි නයනහාරිගෙ තාත්තා සිරිපාල අබේනායක මහත්මයා ලබා දුන් ඇමතුම.

පොත් ප්‍රදර්ශනය නිම වූ දවසෙ අස්පස් කිරීම් නිමවෙලා නවාතැනට එද්දි රෑ එකොළහයි. සාමාන්‍යෙයන් රෑ එන නාඳුනන ඇමතුම් මඟහැරියත් එදා මම ගෙට ගොඩවුණ ගමන්ම නිසත්, පොත් සම්බන්ධ කාරණයක් විය හැකි නිසාත් ඇමතුමට සම්බන්ධ වුණා.

‘‘දුව මම මේ කතා කරන්නෙ නයනහාරිගෙ තාත්තා. මම මේ දුවගෙ පොත කියවල ඉවරවුණා විතරයි.‘‘

ඒ විදියට පටන්ගත්ත සංවාදය පැය භාගයක් විතර දිගට ඇදුණා. තමන් ලියු පොතක් සම්බන්ධව එවැනි අදහස් දැක්වීමක් අහන්නට ලැබෙන එක මොනතරම් වාසනාවක්ද? ලිවීමේ අරමුණ සාක්ෂාත් වෙලා කියල දැනෙන්නෙ ඒ වගේ අදහස් දැක්වීමකදි. මට කියාගන්න උවමනා වුණ දේ තාත්තා කෙනෙකුට දැනුණ එක අප්‍රමාණ සතුටක්.

‘‘නංගි තාත්තා කතා කළානෙ මට පොත කියවල.‘‘ සතුට වෙනුවෙන් උපන් කඳුළුත් ඇස්වල තියන් මම පහුවෙනිදා නයනහාරිට කතා කළේ.

‘‘මම පොත් ගෙනත් මේසෙ උඩ තිබ්බා අක්කෙ. තාත්තා කොහොමහරි ඔයාගෙ පොත තමයි අරන් කියවල තියෙන්නෙ. පොතේ නම්බර් එකත් තිබුණනෙ. කතා කරන්න හිතෙන්න ඇති. මට කිව්වෙවත් නෑ කතා කළා කියල.“

........

මේ අතර පොතේ නම නිසා, බයිබල් පාඨ නිසා, පොතේ කවරෙ ආකර්ෂණීය නැති නිසා පොත පෙරළල තියල ගිය බවත් දැනගන්නට ලැබුණා. කවරය ගැන චෝදනා තිබුණත් මේ තමයි ඇත්තටම මට උවමනා වුණ කවරය. මේ කවරය සහ ඊට පසුබිම් වූ ස්මාරක පවුර කියන්නෙ ජාති, ආගම්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව යුද සමයේ අතුරුදහන් කරවූවන්, මරාදැමූවන්, මිය ගියවුන් සැමරීම සඳහා කළ නිර්මාණයක්.

මගේ භාෂා රටාවේ වෙඩිවර්ධන අභාසය ඇති බව අසන්නට ලැබුණු තවත් අදහසක්. එය විය හැකි දෙයක්. වසර පහක පමණ සිට පිටු සැකසුම් කරන්නට, ටයිප් කරන්නට මංජුල අයියාගේ පොත් සමඟ ගැටෙන නිසා එම බලපෑමෙන් මුළුමනින්ම මිදෙන්නට නොහැකි වූ බව, එය මගේ ලිවීමට වගේම කියවීමටත් බල පා ඇති බව මා පිළිගන්නවා.


71, 88-89, වසර 30 ක යුද්දය මේ හැම අවස්ථාවකම සිදුවුණා වගේ මනුෂ්‍ය ඝාතන නැවතත් අපේ රටේ සිදුනොවේවා, එයයි මගේ ප්‍රාර්ථනය!!!

ප.ලි.

මූණුපොතේ පළ වූ ප්‍රතිචාර මෙයට ඇතුළත් නොකළේ ඔබ දැනටමත් ඒවා කියවා ඇති බැවින්...

33 comments:

  1. තරුරසී නංගී

    ‘‘අපි ඒ කාලෙ ජේවීපි එක නිසා කොච්චර දුක් වින්දද? ඔයා ඇයි, මේ පොතෙන් ජේවීපී එක සාධාරණීකරණය කරල තියෙන්නෙ?‘‘

    ReplyDelete
    Replies
    1. මම එහෙම කළේ නෑ අයියෙ, හැමෝම කළ ජීවිත විනාශය වැරදි බවයි මට කියන්න උවමනා. ඒව සිදුනොවිය යුතු දේවල්.

      88-89 කාලෙ මගේ අත්දැකීම් ඇතුළත් වෙන, වෙනම නවකතාවක් ලිවීමේ අදහසක් තියෙනවා.

      Delete
    2. ලියනකන් බලාගෙන ඉන්නවා.

      Delete
  2. තාම කියෙව්වෙ නෑ මේක කියෙව්වම ඉක්මනට කියවන්න හිතෙනවා.

    ReplyDelete
  3. නැති බැරි අපිව ඇති හැකි අය විදියට සලකනවා නම්.....

    හරි හරි.. තාම ඉටිකොලේ දැම්මා විතරයි. නැත්තන් තැනක් නොතැනක් නැතුව කියවන්න ගියාම ඉතින් දන්නවනේ මගේ හැටි! පෝස්ටුවක් තලාගන්න පුළුවන් වෙයි මටත්.

    ReplyDelete
    Replies
    1. ඔයා පොත ගත්තද? පෝස්ටුව තලාගන්න කල් බලා හිඳිමි.

      Delete
  4. පොත මට මඟඇරුනා ඒත් අනිවා ගන්නව අරන් බලලම කියන්නම්

    ReplyDelete
  5. මා වෙනුවෙන් අපේ ලෑන්ඩ් ලෝඩ් තුමී පොතක් අරගෙන තියෙන්නෙ...පෙරලා පැමිණි දිනයක කියවමි. ඉක්බිති ගුණ පණ පවසමි.

    /‘‘අපි ඒ කාලෙ ජේවීපි එක නිසා කොච්චර දුක් වින්දද? ඔයා ඇයි, මේ පොතෙන් ජේවීපී එක සාධාරණීකරණය කරල තියෙන්නෙ?‘‘/

    ඔබ එසේ කලද කම් නැත. ඒ සඳහා ඔබට අයිතියක් ඇත...:)

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් එහෙමයි කියල පෙරලගෙන පැමිණෙන්න ඕනෙද? අනේ මේ! හුහ්

      Delete
    2. ඔබේ නමට ම ලියාගත් පොතක් අරන් ගියා... ස්තූතියි රවී අයියේ...

      ඔන්න ඉරිසියාකාරියක් පැන්න මැද්දට....

      Delete
    3. නැතුව ඉතින්.. මෙව්වා මෙහෙම වෙනවා බලාගෙන කට පියාගෙන ඉන්ට කියලද කියන්නේ.... ඉවසුවා ඇති!!

      Delete
    4. තරූ,

      එහෙම තමයි බං.... මේ ලිකිත වගෙ අම්මණ්ඩිලට අපෙ අත්තම්ම කිව්වෙ විසුරු මානවිකාවො..සුනේත්‍රා අක්කගෙ ආච්චි කිව්වයි කියන්නෙ ඩාංඩිඟිසියො කියල....:)

      Delete
    5. ඔයත් ලියන්ට පොතක්... බලන්නකො රවී අයිය නිවාඩු දාලා ඇවිත් පොත අරගන්නෙ...

      සුනේත්‍රා කිව්වෙ රාජකරුණානායකද? එයාගෙ පොත් ගොඩක් කියවල තියෙනවා මට මේ නම අහුවෙලා නැහැ.

      Delete
    6. තරූ,

      ඒ වචනෙ තියෙන්නෙ සුනේත්‍රගෙ මුල්ම කාලෙ පොතක..."සඳුන් ගිර ගිණිගනියි"

      Delete
    7. සඳුන්ගිර ගිනි ගනියි. මා ළඟ තියෙනවා 89 පළමුවෙනි මුද්‍රණයෙ පොතක්.. ආයෙම කියවන්න ඕනි.

      Delete
    8. රවිය ලිකිතව හොරෙන්ම බැඳලා වත්ද?

      Delete
    9. අජිත්,

      අම්මප මේ ලිකිත අම්මණ්ඩි කොයි වෙලෙත් මා එක්ක එල්ලි එල්ලි එන විදිහට මටත් දැං එහෙම හිතිලයි තියෙන්නෙ....හෙහ්,හෙහ්, වෙලාවක විවාහ සහතිකේ හොයාගෙන බලන්ට ඕන...:)

      Delete
  6. මම තරු රසී ට කිව්වා වගේ පොත ගන්න ගියා. හැබැයි මට පොත ගන්න හිතුනේ නෑ... හේතුව පොතේ නම වෙන්න ඇති. පිට කවරෙත් මට අල්ලලා ගියේ නෑ. කවරෙන් පොත මනින්න එපා කිව්වට සමහර වෙලාවට පොතේ කතාව මේ වගේ වෙන්න ඇති කියල කවරේ දැක්කම හිතෙනවා. ඒ ක්ෂණික සිතුවිල්ල හින්ද ගන්න හිතෙන්නේ නෑ.. හැබැයි එදා මම අනිත් පොත් දෙක ගත්ත වෙලාවේ පොත තිබුනානම් තරුරසි ගේ අතින් පොඩි සයින් එකක් දාලම ගන්න තිබුනා. කියෙව්වේ නැතත් තියා ගන්න.. හෙහ් හෙහ්..

    සමහර විට ආයේ දැක්කොත් ගනියි... මගේ කියවීමේ රුචියේ අවුලක් හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. මේ අවංකකමට මං හරි කැමතියි. පොතක් ගන්න ඕන පෙරළල බලල පොත ගැන කැමැත්තක් ඇති වුණොත් විතරයි. දන්නා හඳුනන නිසා පොත් අරන් ගොඩගහගන්න එක නම් තේරුමක් නැති වැඩක්...

      කියවීමේ රුචිය එකිනෙකාගෙ වෙනස්. ඒ නිසා හැමෝම මගෙ පොතට කැමති වෙන්න ඕන කියල මම හිතන්නෙත් නැහැ. අපේ ගෙදර අයගෙම ප්‍රතිචාර වුණත් බලන්නකො. ඒව එහෙම තමයි. ලේඛකයෙක් වුණාම හැම විදියකම ප්‍රතිචාර නිහතමානීව භාරගන්න පුළුවන් වෙන්න ඕන කියලයි මට හිතෙන්නෙ.

      Delete
    2. ඔය පැතුමාට කියලා පොත ගන්නවන්න නම් ඕක ඉස්සරහට 'සිඳුලෝලී' වගේ නමක් දාන්න ඕනේ. ආන්න එතකොට දුවගෙන ගිහින් ගන්නේ. නැත්තම් 'ගත්තේ නැතිනම් ගස්තඩඟුවට ගන්නවා' වගේ ආදර බර වචන වලින් කියන්ට ඕනේ.

      Delete
  7. අනේ ඉක්මනින්ම කියවන්න ඕනා! දැන් ඉතිං නිවාඩුවක් දාල හරි කියවන්න වෙලාව හොයාගන්න හිතෙනවා මේවා දැක්කම <3

    ReplyDelete
    Replies
    1. හෙමිහිට කියවන්න, ඔයාගෙ නිවාඩු නාස්ති කරගන්න එපා අනේ.

      Delete
  8. මේ පෝස්ට් එක කියවනකොට පොත කියවන ආසාව වැඩිවෙනවා තරු අක්කෙ. බලමුකො කවදහරි ඔය පොතෙත් ඕඩියෝ එකක් කරන්න ලැබෙයිනෙ එදාට මම අහල කියන්නම්කො.පොත ගත්තත් කියවගන්න විදියක් නැහැ අක්කෙ.

    ReplyDelete
    Replies
    1. මට ඇත්තටම දුකයි ඉක්මණින් ඔයාලට පොත කියවන්න සලස්වන්න බැරිවුණාට. සත්‍යා එක්ක කතා කරල තියෙන්නෙ. අපි බලමුකෝ...

      කට්ටියම එක තැනක ඉන්නවනම් මං කැමතියි ඔයාලට පොත කියවන්න.

      Delete
  9. ගිය ආණ්ඩුව කාලේ නම් "දේශද්‍රෝහියා" හා "දේශප්‍රේමියා" හඳුනා ගන්න හරි පහසුයි.ආණ්ඩුව එක්ක ඉන්න අය දේශප්‍රේමින්.අනික් අය දේශද්‍රෝහීන්.
    තරු අක්කාගේ පොත කියවන්න ගත්තා.හෙමිහිට කියවලා අදහස් එහෙමත් කියන්නම් කෝ.

    ReplyDelete
    Replies
    1. ගිය ආණ්ඩු කාලෙ බරපතලයි ගැටලුව. කොයි ආණ්ඩුවත් සාපේක්ෂව මෙතැනදි සර්ව යහපත් නෑ.. පොත කියවලම බලන්නකො මල්ලි.

      Delete
  10. ආ.. ඔයා පොතකුත් ලියුවද? හරි නරකයි අපිට කියුවේවත් නෑ.. පොඩ්ඩක් ඉන්නකෝ මාත් ලොකුවෙලා ඔය පොත අරගෙන කියෝලා ඔයාට බැනගෙන බැනගෙන යනවා..

    ReplyDelete
    Replies
    1. ඔයාල ඉතින් ලොකු ලොකු සාප්පුවලින් ලොකු ලොකු මිල ගණන්වලට පොත් ගන්න අයනෙ. අපේ වගේ පොඩි පොත් ඔයාලට පේන්නෙ නෑ ඉතින්...

      Delete
  11. පොත කියවලම අදහස කියන්නම්.

    ReplyDelete
  12. පොත කියවන්න කලින් කියවන්න ලැබීම ගැන සතුටුයි. දැන් පොත කියවමින්.

    ReplyDelete
  13. මේ පොත ලංකාවෙන් පිට ගන්න තියෙනවද?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...