පිටු

Sunday, March 27, 2016

වව්නියාවට සහ... ඉන් ඔබ්බට.. (02)



සේයා - ලාල් ලක්ෂ්මන්


‘‘එළවළු ටිකක් අරන් යමු.‘‘ ඒ යෝජනාව මන්දැයි වැටහෙන්නේ අපේ ගමනාන්තය වන වලෙයිපාඩු ගම්මානය සිහිවන විට ය. දෙව් මැදුර පිහිටා තිබෙන්නේ ඉතාම දුෂ්කර ගමන්මඟක කෙළවර ගම්මානයෙන් ද දුරස් වූ මහමුහුද අද්දර ය. ඒ පියසට එළවළු මල්ලක් කොතරම් වටින්නේද පහදා දීම අසීරු නැත. අප එළවළු, කෙසෙල් මිල දී ගන්නේ නාච්චිකුඩා පොදු වෙළඳපළිනි. 

‘‘ගමනෙ අමාරුම හරිය තමයි මේ’’ පල්ලවරායම්කට්ටුව හන්දියෙන් වමට හැරී ගුරු පාරට පිවිසෙන විට ඒ මඟ වැනුම ද ටෙරන්ස් පියතුමාගෙන් ම ය. පේන මානයේ වගුරු බිමකි. ඒ මැදින් විහිදෙන ගුරු පාර අඩියෙන් අඩියට වලගොඩැලි සහිත ය. වාහනයකට තබා පයින් වුව යාම අසීරු ය. දිළිඳු බව වෑහෙන වටපිටාවකි. අලුතින් ඉදි වූ නිවෙස් කිහිපයක වහළ මත වූයේ සුදු පැහැයෙන් ලියැවුණු "RED CROSS" නාමය ය. කඩපිලක් දකින්නට ලැබෙනුයේ කලාතුරකිනි. අබලන් මාර්ගය ද, දුහුවිල්ලෙන් වැසුණු පරිසරය ද, විඩාපත් මුහුණු ද ජීවිතය පිළිබඳ මවන සිත්තම එතරම් සැනසිලිදායක නැත.

දුහුවිල්ල අවට ලඳු කැලය වසාගෙන පවතින මුත් මඟ දිගට තටුසලන්නේ නම නොදන්නා රංචු රංචු සමනල්ලු ය. අප පිළිගැනීමට මග දෙපස රොක් වූවාක් බඳු ඒ සමනල් පෙරහැර සිරිපාදේ යනවා නම් විය නො හැකි ය. අහිංසක සමනල් ජීවිත පවා සොරාගත් කටුක බිමක වේදනාව හිසින් දරාගෙන උන් කොහේ යනවා විය හැකිද?

දෙවන නැවතුම

ඒ වේරවිල් ශුද්ධවු පවුලේ කන්‍යාරාමයයි. ගේට්ටුව අබියස සිට අප පිළිගත්තේ සොඳුරු දැරියන් තිදෙනෙකි. වත මත නොසිඳී දැල්වෙන සිනා පහන් වැටකි. දිදුළන දෑසෙහි කාන්තිය අමුත්තන් පිළිගැනුම අපමණ සතුටක් වූ වගට කදිම සාක්ෂ්‍ය ය. කොතරම් වැඩ කන්දක සිර වී සිටියාද යන්න නිහඬවම කියා පාමින් තරමක කිලිටි ලෝගුවකින් සැරසුණු වයස්ගත පැවිදි සොයුරියක් සිනාමුසුව අප වෙත ඒ. අප සමඟ කතා බහට එක් වන අනෙක් පැවිදි සොයුරිය තරුණ ය. ආගන්තුක ආගමන ඉතාම අල්ප බව ඒ අප්‍රමාණ සතුට කැටි වූ සුහද පිළිගැනීමෙන් ම පැහැදිලි ය.

එ ගම් පියස ඉතා දුෂ්කර, ගොවිතැන ජීවනෝපාය වූ පෙදෙසකි. ජනගහණය අඩු ය. එයිනුදු බහුතරය වැන්දඹු, මාතෘ මූලික පවුල් ය. ඉතින්, ජීවිතය අතිශය කටුක බව කිව යුතු ම නොවේ. 

අසුන් ගන්නට පවා පමා නොවී අපි සිටගත්වනම පිළිසඳරෙහි යෙදෙන්නෙමු. දැරියන් තිදෙන නොසිඳෙන සිනා උල්පතක්ව අප අතරම ගැවසෙති. ඒ අම්මා, තාත්තා අහිමි එකම පවුලක සහෝදරියන් බව පැවිදි සොයුරිය පැවසුවේ ඉංග්‍රීසි බසිනි. සියල්ල අහිමිව ගිය කලෙකත් ලෝකයම හිමි වී ඇතිවාක් මෙන් එතරම්ම සොඳුරු ලෙස හිනැහෙන්නේ කෙලෙසදැයි සිතාගැනීමත් අසීරු ය. දරාගැනීමේ ශක්තියද? අවිහිංසකකමද? නොතේරුම්කම ද


ගමනාන්තය

දූවිල්ලෙන් නැහැවුණු සූරිය ගස් යායක් මැදින් තවත් මිනිත්තු පහළොවක පමණ ගමනකි. සමනල් රංචු තවමත් ගමනේ ය. අප සේම ය. ගම්මානය නිම වන ලකුණු දක්වමින් ඈතින් ඈතට දිවෙන වගුරු බිම ය. වගුරු බිමට එපිටින් උස් බිමක  ඉදි වූ සුවිශාල දේවස්ථානයක් දිස් වේ. ඒ වලෙයිපාඩු සාන්ත ආනා දෙව් මැදුර ය. යුද්දය නිම වී වසර හතක් ඉක්ම ගිය ද තවමත් තාවකාලික පියස්සක සෙවණ ලබන ජනතාව හිඟ නැත. මෙතරම් විසල් දෙව් මැදුරක් දෙවියන් වෙනුවෙන්ද? මිනිසුන් වෙනුවෙන් ද? දෙවියන් පවා එය ඉවසනු ඇති ද? මසිත පැනයකි. 

ඒ ප්‍රාතිහාර්යය මුහුදු කූඩැල්ලන්ගෙනි. වලෙයිපාඩු දේවස්ථානයට අයත් නොගැඹුරු මුහුදු තීරුවක් වේ.  ඒ සමුදුරු ඉසව්ව මුහුදු කූඩැල්ලන් හෙවත් අට්ටයන්ට රාජධානියකි. එහි  ධීවර කටයුතු සාමාන්‍ය ජනතාවට තහනම් ය. අතිශය බැතිමත් කතෝලික ධීවර ප්‍රජාව ඒ තහනම ඇදහිල්ලක් සේ සුරකිති. යුද්ධය පැවති කාල සීමාවේ ධීවර කටයුතු අඩාලව පැවති බැවින් මුහුදු කූඩල්ලන් ගහණය කොතරම් වැඩී ගියේ ද යත් ඒ අස්වැන්න සුවිසල් දෙව් මැදුරක් තැනීම සඳහා කෝටි ගණනක මුදලක් උපයා දී තිබිණි. දිළිඳු පැලක සිට දෙව් මැදුරට පිවිස දණ ගහන සැදැහැවත් අහිංසක දෙමළ ජනතාව කිසි විටෙක ඒ පිළිබඳ මැසිවිල්ලක් නොනඟති. දෙව් මැදුර ඔවුනට අභය භුමියකි. අසපුවකි. ඒ ඔවුන්ගේ ශ්‍රද්ධාව විය හැකි ය. එය දේව විරෝධී වැඩකැයි තවමත් මගේ සිත නම් චෝදනාත්මක මැසිවිල්ලක ය.

සභාව දෙවියන් උදෙසා ද? මිනිසුන් උදෙසා ද? එසේත් නැත්නම් ධනය බලය උදෙසා පවතින තවත් ලෞකික රාජ්‍යයක් පමණ ද? කතෝලික සභාව සම්බන්ධයෙන් මේ පැනය උතුරටත්, දකුණටත් වෙනසක් නැති බව පැහැදිලි ය. ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන දැක්ම වූයේ පීඩිතයාගේ විමුක්තිය ය. නමුත් ඒ කල්වාරි ගමන වෙනුවට අද සභාව පාලුකරයේ යක්ෂයා මවා පෑ පරීක්ෂාවන්හි ගොදුරක් වී ඇත්දැයි සැක සිතෙන තරම් ය.  

දෙව් මැදුරට අභිනවයෙන් පැමිණ සිටින තරුණ පිය නම, නමින් වසන්ත ය. වසන්තයක පෙර ලකුණු ආවේගශීලී තාරුණ්‍යය සමඟ අත්වැල් බැඳ ඇත්තාක් මෙනි. ඉතාම කුඩා නිවහනක සෙවණෙහි වාසය කරමින් ම ඔහු අලුත් මුහුදු කූඩැල්ලන් අස්වැන්නෙන් කළ යුතු දෑ සිහිපත් කරයි. පෙර පාසලක්, දරුවන්ට ඉගැන්වීම සඳහා පන්ති කාමර  එකී සිහිනයෙහි පියාපත් සලයි. අපි එයට තවත් සිහින එක්කාසු කරන්නෙමු.  ‘‘පුස්තකාලයක්. ළමයින්ට ඇවිත් පොත් පත් කියවන්න, නිදහස් තැනක්..‘‘  

 අප වලෙයිපාඩු ගියේ හිස් අතින්ම නොවේ. දරුවන් වෙනුවෙන් රැගත් පොත් ගොන්නක්ද සමඟිනි. ඉපැරණි කුඩා දෙව්මැදුර පසෙක නටබුන්ව ගිය පාසල් ගොඩනැගිල්ලකි. 10, 11 වසරවල පමණක් දරු දැරියන් 50 ක් පමණ අපගේ වැඩසටහන සමඟ එක් වූහ. ගම්මානයේ සියලුම දරුවන් එක්ව ගත් කල කොතරම් පිරිසක් වනු ඇත්ද? ඒ දරුවන් වෙනුවෙන් ජීවිත පූජා කරන්නට මුහුදු කූඩැල්ලන් අකමැති නොවනු ඇත. 

දරුවන් සමඟ කළ කෙටි කතා බහ ඔවුන්ගේ දිළිඳු දුෂ්කර ජීවිත පැහැදිලි සිත්තමකට නඟන්නට තරම් වර්ණ, හැඩතල, හැඟීම් මතුකරලීය. ඔවුන් වැඩි පිරිසකගේ දිවි සරිවනුයේ මුහුදිනි. ධීවර රස්සාවෙනි. එසේ නොවන තැන කුලී කම් ය.  සෑම පවුලකම පහ, හය ඉක්මවා යන සාමාජික සංඛ්‍යාවකි. ජීවිතය ජය ගන්නට ඉගෙනුම කොතරම් වටනේද යන්න කීව ද එතරම් බරපතල පවුලක හිඳිමින්, දුෂ්කර මඟ ගෙවා දුර බැහැරින් ඇති පාසල් කරා යමින් ඉගෙනුම ලැබීම පහසු කාර්යයක් නොවන බව වටහා ගැනීම අසීරු නොවේ. අඩු වයසින් විවාහ වීම එකී ගම් පියසේ බහුලව සිදු වන බව අප හා පැවසුවේ වසන්ත පියතුමා ය. 

‘‘අනාගතේදි ඔයාල මොනවද කරන්න හිතන්නෙ..“ දෙමල බස හසුරුවන්නට දැන සිටි ටෙරන්ස් පියතුමාගෙන් දරුවන් වෙත යොමු වූ පැනයකි. 

‘‘මට මතක් වෙන්නෙ නෑ...‘‘ දැරියක් කීවේ කල්පනාබරව ය. තවත් සුළු මොහොතකට පසුව ‘‘ලොකු දුරක් යන්න තියෙනවා.‘‘ ඇය ම සිනාමුසුව පැවසුවාය.

දෙමල බස නොදැනීමේ වරදකාරී හැඟීමෙන් සුපුරුදු ලෙස මම මට ම දොස් නගා ගනිමි. ඉදින් සන්නිවේදනය සිනාවට, දන්නා දෙමළ වචන කිහිපයට, ඉංගිරිසියට සීමා විය. වසන්ත පියතුමා නම් සිංහල වචන කිහිපයක් ගැට ගසා ගැනීමේ හැකියාව පිළිබඳ පසුවූයේ මහත් ආඩම්බරයෙනි.

සේයා - ලාල් ලක්ෂ්මන්

දෙව් මැදුරට එපිටින් වන මුහුද නොගැඹුරු ය. සොඳුරු ය.  කිසිදු සැක සංකාවකින් තොරවම ඇඳුම් උනා තබා මුහුදට පැන්න කොලු කුරුට්ටන් දිය කෙළියට වන්නේ අප තුළ ද මහත් ආශා දල්වමිනි. කාලය ඉතා සීමිත වූ බැවින් ඉවසා වදාරන්නට සිදු වූයේ සයුරු දිය සැනහීමේ නොහිම් කැමැත්තට සාධාරණයක් ඉටුකිරීමේ අවකාශ නොවූ බැවිනි.

අප වෙනුවෙන් සරල, රසවත් දිවා භෝජනයක් සූදානම්ව තිබිණි. උතුරුකරයටම  විශේෂිත වූ මුහුදු ආහාරවලින්ම තැනූ සූපය ‘‘කූල්‘‘ මුලින්ම පිළිගැන්විණි. බත ට සහල් ගමෙන්ම ය. අප ගෙන ගිය එළවලු දෙකක්ද පිස තිබිණි. මාලු හොද්දක් මෙන් ම බැදුමක් ද විය.

‘‘මෙහෙ ජීවන වියදම අඩුයි. මාලු මුහුදෙන්. හාල් ගණන් අඩුයි. දර ටික නොමිලේ. මිනිස්සුන්ට ඕන ජීවත් වෙන්න නිදහස. මූලික පහසුකම් ටික. පාර හැදිලා ගමනාගමන ප්‍රශ්න විසඳුණා නම් ලොකු දෙයක්. ඔයාල ඕනම වෙලාවක එන්න. ඇවිත් නැවතිලා අපේ අය එක්ක කතා බහ කරන්න. ඔයාලගෙ මීසම්වල අයටත් කියන්න උතුරට එන්න කියල.. සමඟිය ගොඩනඟන්න එකතුවෙලා වැඩ කරන්නයි ඕන.“ 

මඟින් මඟට ම වසන්ත පියතුමා කළ ඇරයුම එය ය. 

‘‘අපි මෙහෙ දරුවන්ව එහෙ එක්කරගෙන යමු.‘‘ අපිදු යෝජනා කළෙමු.
මනුෂ්‍යත්වය නංවාලීම වෙනුවෙන් කළ යුතු, කළ හැකි වැඩ කප්පරක් තිබිය දී අප මේ කරමින් සිටින්නේ මොනවාදැයි සිතෙන සිතුම වළක්වා ගැනුම අසීරු ය. ආපසු ගමනේ සිත සැනසිල්ලක ද,  නොඉවසිල්ලක ද තැබූයේ ඒ සිතුම විසින් අවුලුවා ලූ හැඟුම් කන්දරාවකිනි. 

දැකුම්කළු වත මත කල්පනාකාරී සිනාවක් අතුරමින් පෙර කී දැරිය පිළිවදන් දුන් අයුරු මම සිහිපත් කරමි.

‘‘අනාගතේදි ඔයාල මොනවද කරන්න හිතන්නෙ..“

‘‘මට මතක් වෙන්නෙ නෑ................. ලොකු දුරක් යන්න තියෙනවා.‘‘
ඒ ලොකු ගමන යන්නට උතුරු දකුණු භේදයකින් තොරව අප සියල්ලන්ම දරුවන්ගේ ආදරය ද, රැකවරණය ද, ශක්තිය ද විය යුතු නොවේද?

Wednesday, March 23, 2016

Gloomy Sunday – A Song of Love and Death






යුද්ධය, මිත්‍රත්වය, ජීවිතය, ප්‍රේමය මේ සියල්ල සමඟ විටක මනුෂ්‍යත්වය ඉක්මවා යන විටක මනුෂ්‍යත්වය පාගා දැමෙන ත්‍රිකෝණික ප්‍රේම කතාවකි. Nick Barkow විසින් රචිත නවකතාවක් පසුබිම් කොටගෙන සප්ත ස්වර විස්මය සමඟ සිනමාත්මක සෞන්දර්යය අපූර්වාකාරයෙන් මුසු කොට නිමැවූ සිනමා සිත්තමකි. ප්‍රේමය විසින් ජනිත කරනු ලබන මනුෂ්‍ය පැවැත්මේ චමත්කාරයත්, අනුවේදනීය බවත් එහි මනාව ගෙත්තම් ව ඇත. 

දෙවන ලෝක යුද සමයේ හංගේරියාවේ ඉතා කුඩා අවන්හලකින් ඇරඹෙන තුන් කොන් ප්‍රේම කතාවකි. ඒ අවන්හල් හිමි යුදෙව් ජාතිකයා එහි සේවය කරන රූමත් සේවිකාව සහ පියානෝ වාදකයා අතර ය.

එකී ප්‍රේමය සහ විරහවේ සාංකාව අතරින් උපදින අතිශය සංවේදී සංගීත ඛණ්ඩයකි. Gloomy Sunday ලෙසින් නම් ලබනුයේ එකී මියැසි සංකලනයේ වේදනාත්මක අසිරියයි. එය බොහෝ සාංකාබර හදවත් තුළට ජීවිතයෙන් සමුගෙන යන්නට චිත්ත ධෛර්යය වැඩ වූ සංගීත නාදයක් බවට පත් වෙයි. එහි නිර්මාතෘ වූ තරුණ අන්ද්රේස් ද අවසන තෝරා ගන්නේ සිය දිවි නසා ගැනීම ය. 

යුද්ධයේ දී මෙන්ම ප්‍රේමයේ දී ද සිදු වන කිසිවක් අසාධාරණ නැතැයි කියමනක් ඇත. නමුත් සැම විටම එය එලෙසින්ම පිළිගත යුතු ද? 

ජර්මන් ආඥාදායකත්වය තුළ මනුෂ්‍යත්වය වැළලී යන ආකාරය සිනමා කෘතිය තුළ නිරූපණය වන්නේ ඉතා අනුවේදනීය අයුරිනි. කිසිදු යුද්ධයකදී මනුෂ්‍යත්වය කිරුළු දරන්නේ නැති බවට විවාදයක් නැත.
මතකයෙන් බැහැර නොවන සොඳුරු අනුවේදනීය චිත්‍රපටයකි. 






Tuesday, March 22, 2016

වව්නියාවට සහ....... ඉන් ඔබ්බට....!!!

සේයා - ලාල් ලක්ෂ්මන්

ගිනි ඉහෙන කාෂ්ටකයේ, නිල ඇවිලෙන අහසේ සුදුමැලි ලපයක්ව ලැගුම්ගෙන ඉවසිලි සහගතව කල් මරන සඳවත ය. කෙමෙන් කෙමෙන් අඳුර මෝදු වෙයි. සඳ සුදුමැලි සළු උනාලයි. බැසයන සූර්යයාගේ ගිනියම උකහාගන්නා එ සඳවත‍, ඒ ගින්නෙන්ම ඇවිලෙන්නාක් වැන්න. 

අම්බෙයිකුලම දිය රැළි සරැළි පිස හමන වේදනාබර සුළඟේ හැපෙමින් වුව, අපි කලබල නගරයේ අපිළිවෙලත් කුණු කාණුවල දුර්ගන්ධයත් අමතක කරන්නට වෙර දරමින් සිටිමු. සියලු දුක්ඛ දෝමනස්සයන් හදවතින්ම දරාගත් දැවි දැවී දැල්වෙන, මැරි මැරී උපදින සඳ යායුතු මාවත පෙන්වයි.

ඒ වව්නියාව ය. නවම් පොහොයට පෙර දින ය. රෑ අහර, සයිවර් ය. මසාල තෝස, උළුඳු වඩ, ඉඟුරු තේ සමඟ මුසුවුණු අප්‍රමාණ ළෙංගතුකමින් කුසත් හිතත් පිරී යයි. තිස් වසරක යුද්දයට පවා පොලොවට සමතලා කර දමන්නට බැරිවුණු ‘මනුස්සකම‘ දෑස අබියස දිග හැරෙමින් ඇත.

උදෑසන...................

ගමනාන්තය, කොහෙදෝ නොදන්නා ඉසව්වකි. හිමිදිරිය ඉක්ම යන්නට පෙර කුටියෙන් පිටතට පිවිසෙමි. විසල් දේවස්ථාන කුළුණේ කුරුසියට නුදුරින්ම අහසේ තවමත් පහන් තරුව ය. හුදකලා තාරුකාව, ‘ඉර මඟ එන බව‘ මුමුණන්නාක් බඳුව එකළාව දිලෙමින් පවතී. නිස්කලංක හැඟුමින් පිරී යන සිත අලුත් හුස්මකට ඉව අල්ලන බව දැනේ.

ජීවිතය, නැවතිල්ලේ විඳින්නට ඉස්පාසුවක් නැති නගරය, අවදිවෙමින් තිබේ.

උදා අරුණලු සමඟින්ම අපි වව්නියාවෙන් නික්මෙමු. මහනුවර සිට යාපනය බලා දිවෙන ඒ නයින් පාර ය. පසුවන්නේ ඕමන්තය යි. මාන්කුලම් හන්දියෙන් වමට ය. මල්ලාවි පසුකර වෙල්ලාන්කුලම් හන්දියෙන් යාපනය මාවතට පිවිසෙමු. උතුරු වසන්තයේ හමා ආ සංවර්ධනයේ අංශුමාත්‍ර දැක්මක් හෝ ඇත්තේ නැවුම් තාර ඇතිරිල්ලෙන් වැසී ගත් මං මාවත්වල ය. එය ද ප්‍රධාන මාර්ග පමණි. ඇතුළ් ගම්මානවල තත්වය කාෂ්ටක ය. දුෂ්කර ය. අප ඒ බව අත්දැක ඇත්තෙමු.

සංවර්ධනයෙන් බිඳක් හෝ තම ජීවන අරගලයට වාරුවක් කරගන්නට දරන ප්‍රයත්නය ඒ නයින් මඟ දිගට හමුවේ. වී වේලන්නට කාපට් මාවත ආශිර්වාදයක් වී ඇත්තේ මත්තලට පමණක් ම නොවේ. රියදුරන් පවා ඒ වී වේලිල්ලට හුරු පුරුදුව ඇත්තාක් මෙනි. දීර්ඝව අතුරාලන වී පලස් මඟ හැර යන්නට තරම් සංයමයක්, මනුස්සකමක් රියදුරන් කෙරෙහි ඇත.

‘‘පාර මිනිස්සුන්ට හරි ප්‍රයෝජනයි. වී වේලල, ඔහොමම හවස් වෙද්දි ලොරිවලට විකුණනවා.‘‘ පැහැදිලි කිරීම අපට මඟ පෙන්වන ටෙරන්ස් පියතුමාගෙනි. (සවස ආපසු ගමනේ දී දෑසින්ම ඒ බැව් දකින්නට ද අපට හැකි විය.)

පාර දෙපස එක යාය ට රන්වනට පැසී දිලෙන කෙත් වතු ය. තවත් තැනෙක ගොයම් කපා අස්වනු රැස් කරගත් බව හඟවන ඉපනැල්ල ය. විටෙක ඉමක් නොපෙනෙන කැලෑව ය. බිඳෙන් බිඳ හිරුට දිය උරාගන්නට ඉඩ දී හැකිලී යමින් පවතින වැව්, දිය කඩිති ය. හිරු උදාවත්ම භුමියෙහි කාෂ්ටක බව වැඩි වැඩියෙන් දැනෙන්නට වෙයි. තුන්කාන්සෙන් දාඩිය හලාගෙන බයිසිකල් පැද යන ළමා ළපටින් ය; තරුණ තරුණියන් ය; වැඩිහිටියන් ය. මාර්ග දියුණු වීමත් සමඟ ඉගිල්ලී යන බස් රථ, ටිපර් රථ, වාහනවලට යට වී තැලී පොඩි වී සුන්බුන් වන පා පැදි උතුරුකරේ බහුල බව අසන්නට ලැබිණි. පාරාදීසය පහළ වුව ද දුප්පතාගේ දුක තවත් වැඩි වනු මිස සරණක් නොලැබෙනු ඇත්ද?

ඒ නයින් මඟ දෙපස කළඑළි ගැන් වූ කෝවිල් ය. සුවිසල් දෙව් මැදුරු ය. අඩුවක් නැතිවම හමුදා කඳවුරු ය. කඳවුරු බිමට අයත් බවට කටු කම්බි පොටින් ලකුණු තැබූ භූමි වපසරි, මාවත දෙපස දිගින් දිගටම පෙනේ. ඒ අතරින් පතර දලුලමින් වැඩෙන බෝ පැල ය. බෝපැල මැදිකරගෙන ඉදිවෙමින් පවතින පන්සල් ය.
 
හමුදාව විසින් ඉදිකෙරුණු, සොල්දාදු සත්කාර විඳින්නට ඉඩහසර ලබා දෙන අවන් හල් ය. දියුණුවක පෙර ලකුණු දක්වන කඩපිල් ය. ෂෙල්, බෝම්බ, උණ්ඩ පහරින් කැඩුණු බිඳුණු නිවාස, පැල්පත්, තහඩු මඩු අතර ඉදිවෙමින් පවතින නව නිවහන් ය. අසීරු නමුත් ධෛර්ය සම්පන්න ජීවිතය දලුලමින් පවතී. මඟ දෙපස වන්නේ එවන් ලකුණු ය. ඒත් ඒ ජීවිතය ඇත්තෙන්ම කෙබඳුදැයි, දෑසින් මිස නැවතිල්ලේ විමසා බලන්නට තරම් ඉඩක් නැත. කාලය හරස් ව ඇති බැවිනි. 

සේයා - ලාල් ලක්ෂ්මන්

පළමු නැවතුම...

එක් නැවතුමක ජීවිතය බෙදා හදාගනු පි‍ණිස වන මඳ විරාමයකි. ‘මුලංකාවිල් දෙව් මැදුර‘ ය. දෙව් මැදුරු බිමේ ‘කුඩා පොල් අතු මැදුරු‘ කිහිපයකි. ඒ වනාහී දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන පන්ති කාමර බව පැහැදිලි ය. පසෙක වන්නේ ළදරු පාසල යි.

දෙව්මැදුර පිටුපස අවතැන් කඳවුරක දක්නට ලැබෙන කුඩා තහඩු නිවාස දෙකකි. නිල ලැගුම් ගෙය අත්හැරි ආනන්ද කුමාර් පියතුමා තම නිවස්නය කොට ගෙන ඇත්තේ ඒ කුඩා තහඩු නිවසයි. ‘‘Father of Nature’’. කුමාර් පියතුමන්ව එබඳු හෘදයාංගම ‘නාමකරණයක’ රඳවන්නේ, අපට හමුවන තවත් තරුණ පියතුමෙකි. විවාදයක් නැත. සැබවින්ම ඒ ‘‘සොබාදහමේ පීතෘවරයෙකි’’. වේට්ටියක් සහ කමිසයකින් සැරසුණු ඔහු අප හමුවට පැමිණ සිටින්නේ නිදහස් නිරුවත් දෙපතුළිනි. විසල් පලුගසක සෙවණේ අපි දැන හඳුනා ගනිමු. කතා බස්, ආගිය තොරතුරු ගැන ය.


සේයා - ලාල් ලක්ෂ්මන්

පියතුමා විසින් අමුත්තන් පිළිගැනෙන කුටිය ද, පුස්තකාලය අවකාශයද, සාලය ද ලෙස භාවිත කෙරෙන තහඩු කුටියට පිවිසෙන්නට ඇරයුමකි. බුදු දහම, හින්දු දහම, ඉස්ලාම් දහම, කිතු දහම එකලෙස ම ගරු බුහුමන් ලබන බවට සලකුණු කුටිය පුරාම ය. හැම දහමකම හරය පිරිපුන් මනුස්සකම වෙත අප ඔසවා තබන බව වටහා ගත නොහැකි සමාජයකට කුමන දහමකින් වුව පලක් වෙද? නමුත් සොබාදහම සමඟ ඒකාත්මිකව දිවි ගෙවන පියතුමා තුළ නම් සැම දහමකම උතුම් බව තහවුරුව ඇති වග අතිශයින් පැහැදිලි ය.

කුඩා තහඩු කුටියෙහි වරිච්චි බිත්ති සැරසී ඇත්තේ යුද්ධය අතරතුර ජීවිත පරිත්‍යාග කළ දෙමළ පියතුමන්ලා ගේ සේයා රූ වලිනි. දුෂ්කරම අතීතයක පීඩිත ජනතාව අත් නොහැරි ධෛර්යසම්පන්න මිනිසුන්ගේ ජීවිත පරිත්‍යාගයන්හි මහා ප්‍රේම පාරමිතාව ඒ සෑම සේයා රුවක් සමඟම බැඳී පවතී.

සේයා - ලාල් ලක්ෂ්මන්

1985 වසරේ ‘‘තරුණ අය ගැන කල්පනාවෙන් ඉන්න.‘‘ කියමින් එක් අතෙක බයිබලය ද, අනික් අතෙහි කොන්තයද ගෙන අතුරුදහන් වූ මේරි බැස්ටියන් පියතුමා ගේ සේයා රුව ය. එතුමන් ඝාතනය කළ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අංශ වෙත ය. කාලයේ වැලි තලාවෙන් වසා දැමූවද යුක්තිය ඉටුනොවූ තවත එක් අයුක්ති සහගත මනුෂ්‍ය ඝාතනයකි.

යාපනයේ අල්ලෙයිපිඩි පිලිප්නේරි දේවස්ථානයේ සේවය කරමින් සිටියදී 2006 අගෝස්තු 20 වන දින අතුරුදහන් වූ ජිම් බ්‍රවුන් පියතුමාගේ අධිෂ්ඨානපූර්වක බැල්ම තවත් සේයා රුවක ඇඳී ඇත. යුද්ධයේ බියකරුම දිනවල අල්ලෙයිපිඩි ප්‍රදේශයේ ජනතාවට එම ප්‍රදේශයෙන් පිටත්වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීම හේතුවෙන් පියතුමා සහ නාවික හමුදාව අතර විරසකයක් පැවති බව ද, එතුමාට නාවික හමුදා නිලධාරියකු තර්ජනය කළ බව ද, පියතුමාව අවසන් වරට දැක ඇත්තේ නාවික හමුදා මුරපොල අසලදී බව ද ප්‍රකට කතාවකි. නමුත් අදටත් සිදු වූයේ කුමක්ද කිසිවෙක් නොදනිති. පරීක්ෂණ නැත.

2009 මැයි මස යුද්ධය අවසානයේදී හමුදාවට භාර වූ ජනතාව අතර සිටි ෆ‍්‍රැන්සිස් ජෝසප් පියතුමාටද සිදුවූයේ කුමක්දැයි කිසිවෙකු නොදනී. ඒ වෙනුවෙන් අධීකරණයේ නඩුවක් පවරා ඇතත් තවමත් තීන්දුවක් නැත.

පියතුමන්ලාගේ ඉරණම එබඳු නම් සාමාන්‍ය මිනිසුන් ගැන කවර කතා ද? බොහෝ ජනමාධ්‍යෙව්දීන්, සමාජ ක්‍රියාධරයන්, සාමාන්‍ය වැසියන් යුද්ධය අතරතුරත්, ඉන් පසුවත් අතුරුදහන් වූ බව, මරා දැමුණු බව නොදන්නේ කවුරුන්ද? ඔවුන් වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටුවිය යුතු ය. ඒ ජාත්‍යන්තරය සැනසීමේ අදහසින් හෝ ඡන්ද මංකොල්ල කෑමේ අරමුණින් නොව මනුෂ්‍යත්වයේ නාමයෙනි. මේ බිම ඉපදුණු කාටත් ජාති, ආගම් භේදවලින් තොරව නිරුපද්‍රිතව නිදහස්ව දිවි ගෙවීමේ අයිතිය ඇති බවට අනාගත පරපුරට ලබා දෙන නිශ්චිත සහතිකයක් ලෙසිනි.

‘‘අපිට හුරු පුරුදු නැති ෆාද කෙනෙක්? ’’ මේරි බැස්ටියන්, ජිම් බ්‍රවුන්, ෆ්‍රැන්සිස් ජෝෂප්, කරුණාරත්නම් ආදී වූ පියතුම් සේයා රූ අතර ජීවිත කතාව හමුනොවූ මේ ‘පිය චරිතය’ කවුද? අපි අතර සිටින සොහොයුරෙක් විමසයි. ඔහුගේ සාවධානය අගය කටයුතු වේ. එය අපට අලුත් ඉතිහාසයක තතු කියයි.

‘‘ඒ ජෝන් ලොරාට් ෆාද. චන්ද්‍රිකා ආණ්ඩුව කාලෙ යුද්දය ඇවිළෙද්දි අවතැන් වුණු මිනිස්සු එක්ක පලෙයි ඉඳල යාපනේ ගිය ගමනට ඒ ෆාද සම්බන්ධ වුණා. මං එතකොට සහෝදරතුමෙක්. බිෂොප් එක්ක මම නැවතුණා. අපට යන්න විදියක් තිබුණෙ නැහැ. යන්න එන්න බැරි වයසක අය අනූවක් විතර රැක බලාගන්න සිද්දඋණා. ලොරාට් පියතුමා වතුර විස වෙලා වමනෙ ගිහින්ම අනාථ කඳවුරකදි මැරිල තිබුණා. මම බේරුණෙ අර වයසක මනුස්සයො එක්ක මට රැඳෙන්න සිද්දවුණ නිසා. ඔය කතාව මතක් කරන බිෂොප් නිතරම මට මෙහෙම කියනවා.

‘‘You are still alive. You should be a ringing bell throughout that entire life. ’’

ඔවුන් පවසන්නේ මෙය යි. ‘‘ඔබ තවමත් ජීවතුන් අතර. ඔබ ඒ සීනුව ඔය ජීවිතේ පුරාවටම නාද කරමින් සිටිය යුතුයි.’’ ජීවිතේ පුරා ම සීනුව අවදි කරමින් සිටිය යුතු වක්‍රෝත්තිය ‘මතකය අවදි කරමින්, පීඩිත ජනතාව වෙනුවෙන් හඬ නඟමින් සිටිය යුතු’ වීම ය. ආනන්ද කුමාර් පියතුමාට කිසිවක් අමතක නැත. ඔහුට ඇත්තේ තවමත් පණ ගැහෙන මතකයකි. පියතුමා මෙසේ සිය ප්‍රාණ පරිත්‍යාගී මිත්‍රයා මෙනෙහි කරයි.

‘‘ලොරාට් ෆාදව මරල දැම්ම නෙවෙයි. වතුර විසවෙලයි මැරුණෙ. ඒ නිසයි ඒ ගැන වැඩිය නොකියවෙන්නෙ. ඒත් පැහැදිලිවම ඒ මරණෙත් ප්‍රාණ පරිත්‍යාගයක් තමයි.’’

දීර්ඝ කතාව අවසානයේ නැඟෙන දීර්ඝ සුසුම් වැලකින් පුංචි කුටිය පවා සැලී යයි. ජීවිතය පුදුමාකාර ය. අත්හරින්නට හෝ අල්ලාගන්නට සිදුවන්නේ කුමන අවස්ථාවකදී ද? කුමක් උදෙසා ද? පූර්ව නිශ්චයන් ජීවිතය අබියස පරාජිත ය. කුමක් වුව ජීවිතයෙන් පළායන්නට නොව සැබෑ මිනිසුන් ලෙස ජීවත් වන්නට මහා ධෛර්යයක් අවැසි බව නම් නිසැක ය. 

සේයා - ලාල් ලක්ෂ්මන්

මුලංකාවිල් ප්‍රදේශය ද යුද්ධයේ නීරස වධගාවිනාවන්ට කාලයක් තිස්සේ නිරාවරණය වූ ප්‍රදේශයකි. අප්‍රමාණ දුක්ඛ වේදනාවන්ගෙන් පිරි ජීවිත කතන්දර හැම ගෙමිදුලක් ගානේම වන බවට සැකයක් නැත.

‘‘අපි ඉතුරු වුණා. දැන් ඉතින් මැරෙන්න බැරිකමට ජීවත් වෙනවා. ’’

තරුණ වැන්දඹුවන්, තරුණ තරුණියන්, වයස්ගත මව්පියන් සමඟ කතා බහ කරන විට බොහෝ දෙනෙකු තුළින් මතුවන්නේ එවැනි අදහසක් බව ආනන්ද කුමාර් පියතුමා පවස යි.

1992 වසරේ ඉරණතිව් දූපතේ සිට ජීවිතය සොයා පළා ආ දමිළ පවුල් 175 ක් දැන් පවුල් 300 ක් බවට වැඩෙමින් ඉරණමාදා නගර් නම් තාවකාලික ගම් පියසක තවමත් දිවි ගෙවනුයේ තම උපන් බිමට යාමේ ප්‍රාර්ථනාවන් එලෙසම සිත් තුළ රඳවා ගනිමිනි. නාවික හමුදාව භාරයේ පවතින ඒ දූපත අවට අවසර ගෙන ධීවර කටයුතු කිරීමේ අවස්ථාව උදා වී ඇත ද තවමත් තම ගම්බිම් වෙත යාමේ අවසරය ඔවුනට හිමි වී නැති බව පවසන විට සිය බැටළු රැළ කෙරෙහි සැබවින්ම කණස්සලු වන්නාවූ සැබෑ එඩේර පිය ලකුණු ආනන්ද පියතුමාගේ වතෙහි ද සලකුණු වේ.

‘‘දරුවන්ට හරි, ජීවිතේ ගැන අලුත් බලාපොරොත්තු දෙන්න ඕන. ධෛර්යය දෙන්න ඕන. ඒක අපි කළ යුතුම දෙයක්. ඕනම වෙලාවක එන්න. මෙහෙ නැවතිලා මිනිස්සු එක්ක වැඩ කරන්න. අර මිෂන් හවුස් එකම නිකම් වහල දාලා තියෙන්නෙ.. ’’ඒ ආදරණීය ඇරයුම අපට ය.

අපි පියතුමාගෙන් සමුගනිමු. නැවතත් ගමන ඇරඹි ඇත. ගමනාන්තය ඇත්තේ තවත් බොහෝ දුරිනි. 


සේයා - ලාල් ලක්ෂ්මන්

ගමනේ ඉතිරි අඩ තවත් සටහනකින්.... 

Thursday, March 17, 2016

නෙළුම් යායෙදි හමුවෙමු.

fr.aliexpress.com

අම්මගෙ අම්මා ( අපි කියන්නෙ ලොකු අම්මා..) බලන්න මහ ගෙදර යන්නෙ වෑ කන්ද උඩින්.. වටරවුමෙන් තාර පාරක් තිබුණත් වෑ කන්ද උඩින් වැටුණු ගුරු පාරෙ මේ ගමන යන එක මං හරිම ආස වැඩක්. එකාතකින් ඒ මං ආසම කරන ගම්මැද්දෙ පුංචි චාරිකාවක්..

චූටි මිමීවත් චැලියේ තියාගෙන වෑ කන්ද උඩින් මහ ගෙදර ගිය දොහක වැව පුරාම නෙළුම්, ඕලු, මානෙල් පිපිලා තිබුණා.. චූටි මිමීට ඕන වුණා මල් කඩන්න... ඒත් වැවට බැස්ස කාලයක් මතක තිබුණෙ නැහැ..

‘‘මල් කඩන්න බෑ මැණික ඈත නෙ තියෙන්නෙ. මඩ ඇති එරෙයි. ගිලෙයි..‘‘

මල් කඩන්න බහින්න කම්මැලිකමට, මඩ ගෑවෙනවට අකමැත්තට මම ඇයට සමාවට කාරණා දාහක් කිව්වා. නමුත් ඈ නෙවෙයි සැලුණෙ. ඇයට මලක් ඕනමයි. ඉතින් මැයි ගස් හෙවණක පුංචි මොටෝව ගාල් කරල පරිස්සමින් උඩටම වෙලා ඉන්න කියල අවවාද අනුශාසනා ටිකකුත් කරල, ඈත මෑත බලල මං වැවට බැස්සා.. 

වැඩිය දුර නොයා අත දිග මානෙන් නෙළුම්, ඕලු මල් කීපෙකුයි නෙළුම් කොල දෙක තුනකුයි කඩන් ආයෙම උඩට නැග්ගා. චූටි දෝණි පරිස්සමට තිබ්බ තැනම එහෙමම ඉන්නවා. ඒත් ඇගේ ඇස් නොඉවසිල්ලෙන් දිලිහෙනවා. අත් දෙකම මං දිහාට දිගු වෙලා..

ඇය මල් ටික අතට ගත්තෙ හරිම ආසාවෙන්... එච්චරටම සිඟිති හිතක් එළිය කරන්න නෙළුම් මලකට පුලුවන් ද?

..................

මෑතක ඉඳන් හැම තැනම කසු කුසු. බ්ලොග් අවකාශයෙත් නෙළුම් මල් යායක්ම පිපෙනවලු.

පහුණු සන්දියෙ සයිබර් සැණකෙලි, අවුරුදු උත්සව, සයිබර් චාරිකා, බ්ලොග් සම්මාන උළෙල මේ හැම සයිබර් මංගල්ලයක්ම නොපෙණුනා නොදැණුනා සේ උන්නෙ.. එකක් කම්මැලිකම.. අනික නොදන්නා සංගෙදි අස්සෙ එකෙල මෙකෙල වෙන්නට තිබුණු අකමැත්ත.. පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තියෙන වැඩි කැමැත්ත...

මෙදා වංගියෙ නම් නෙළුම් කයිය මගාරින්න බැරි තත්වයක් තියෙන්නෙ. එක හේතුවක් සයිබරයෙ අකුරු අමුණන බොහෝ දෙනෙක් දැනටමත් මහ පොළව මත දැන හඳුනා ගත් සොඳුරු සිතැත්තන් වීම.. මේ නෙළුම් මල් පුප්පන වැඩේටත් එයින් කීපදෙනෙක්ම සෑහෙන්න මහන්සි වෙද්දි අහක බලන් ඉන්නත් බැහැනෙ. ඉතින් පළමු වතාවට නෙළුම් කයියෙ අසිරි සිරි බලන්න එන්නයි හිතන් ඉන්නෙ.

නෙළුම් සුවඳක් අරන් යන්නට සයිබර් සංහිඳ නෙළුම් යායෙදි හමුවෙමු... 

මාතලන්ගේ අඩවියෙන්

Thursday, March 10, 2016

නොනිමි ජීවිත කතාවක්...





ඒ 2005 වසරේ බක් මාසය. ළක්‍රිවී ( ළමා ක්‍රියාකාරී වීරයෝ ) වාර්ෂික අනුශාසක සම්මේලනයේ ගී රස වින්දන වැඩසටහන සඳහා ඇරයුම් කර තිබුණේ කුමාරදාස සපුතන්ත්‍රී ට. ඔහු ගේ ගීත වැඩි සංඛ්‍යාවක් ගායනා කළ ප්‍රවීණ ගායකයකුට ගී ගැයුම් සඳහා ඇරයුම් කළත්, අවුරුදු සමයේ වැඩිපුර මුදලක් හරිහම්බ කර ගැනීමට ඇති බැවින් පැමිණීම අපහසු බව කියා තිබුණා. අපි බොහොම දුප්පත් විදියට වැඩ කරගෙන ගිය ළමා සංවිධානයක්. විශාල මුදලක් ගෙවීමේ හැකියාවක් තිබුණෙ නැහැ. අවසන සපූ, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් සමඟ අප වෙනුවෙන් මග්ගොන ළමා නිවාසයට පැමිණියේ කිසිදු අයකිරීමකින් තොරවම. 

( මේ අතුරු කතාවක්.... සෑම වසරකම සම්මේලනයේ දී ළමුන් කැටුව යන අනුශාසකවරුන් වෙනුවෙන් අපි ගී පොත් පිංචක් තිළිණ කරනවා. අප ළමා ව්‍යාපාරයේ ගීත, ළමා ගීත, ජීවිතය අරුත් ගන්වන ගීත, විනෝදාත්මක ගීත ආදී වශයෙන් ඒ පොත් පිංච හරවත්, රසවත් ගීතයන්ගෙන් පුරවන්නට ගී තිළිණය ලබා දීම ආරම්භ වූ 1999 වසරේ සිට ම බොහෝ දෙනෙක් අපමණ වෙහෙසක් දැරූවා. 

2002, 2003 වසරවල ගීත තේරීමෙන් සහ චිත්‍ර ඇඳීමෙන් එයට සහය වූ මම 2004 සිට 2011 දක්වා එහි සම්පූර්ණ වගකීම භාරගෙන කටයුතු කළා. ගීත තේරීම, චිත්‍ර ඇඳීම, පිටු සැකසීම මාතින් සිදු වූ ප්‍රමුඛ කාර්යයන්.  මුල් කාලයේ රෝනියෝ කිරීමටත්, පසුකලෙක ඩුප්ලෝ කිරීමටත් රෑ නිදිවරමින් ළක්‍රිවී කාර්යාලයේ ගත කළ කාලය සැබවින්ම සුන්දර මතකයක්...)


2005 වසරේ ගීත පොත සකස් කරද්දි සමීර අයියාගෙන් මල් වරුසා කැසට් පටය මවෙත ලැබුණා. එහි දීපිකාගේ ගීතවලට මා වශී වුණ තරම්!!!!  එවර ගීත පොතේ මල් වරුසා කැසට් පටයෙන් පොන්ත නෝනගෙ කොණ්ඩේ, විකසිත හසරැළි ගීත ලැගුම් ගත්තා. ගී පොතේ පසුකවරය සැකසුණේ කාගෙ නෙතකට ගී ලියන්නද ගීතයෙන්.

ඒ වන විටත් සම්මේලනයේ ගී රස වින්දන වැඩසටහනට දීපිකා සම්බන්ධ කරගැනීම සම්බන්ධව අදහසක් හෝ මතු වී තිබුණෙ නැහැ. ඇය පැමිණීම අහම්බයක්. එය සුන්දර අහම්බයක්. සපුගේ කතා බහත්, දීපිකාගේ ගැයුමත් රස විඳ අවසානයේ තේ පැන් සංග්‍රහය අතරතුර දීපිකා කියූ දෑ තවම මතකයි...

‘‘අහම්බෙන් වුණත් මේ වැඩේට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මං ගොඩක් සතුටු වෙනවා. මං පුදුම වුණා ගීත පොත දැක්කම. ඇත්තටම මගේ මල්වරුසා කැසට්පටයෙ වටිනාම සින්දුව සුනිල් මාධව ලියපු ‘කාගෙ නෙතකට ගී කියන්නද‘. ඒත් ඒ ගැන මාධ්‍යවලවත්, සමාජයේවත් අවධානයක් යොමු වුණේ නැහැ. ඔයාල ඒ ගීතයේ වටිනාකම තේරුම් අරන් තියෙන එක ගැන මට සතුටුයි..‘‘
  
කාගෙ නෙතකට ගී ලියන්නද
කාගෙ සවනට ගී කියන්නද
මේ මහා දෙරණේ
අහෝ මිනිසුන් අන්ධවී ඇත

නැතිව පිළිසරණේ

මගේ ගීතය තබා එන්නෙමි
නාඳුනන සොහොයුරන් සිරවූ
අඳුරු සිර කුටියේ
හැඟුම් යටකළ පවුරු අබියස
යකඩ දොර අතරේ


මගේ ගීතය – තබා එන්නෙමි
වට රවුම් මැද – මල් උයන් ළඟ
සාපලත් නගරේ
නිරාහාරව වැතිර සිටින
දිළින්දන් අතරේ


මගේ ගීතය තබා එන්නෙමි

දුප්පතුන් වෙනුවෙන්ම දිවිදුන්
සොහොයුරන් සිරසේ
සැබෑ මිනිසුන් සදා වැතිරෙන
සොහොන් කොත් අතරේ


ගායනය – දීපිකා ප‍්‍රියදර්ශනී
ගේය පද- සුනිල් මාධව පෙ‍්‍ර්මතිලක
සංගීත නිර්මාණ - රෝහණ වීරසිංහ



පීටර් අයියාගේ කැමරා ඇස 2016.03.10

මේ අතීත කතාව මතකයට නැගුණේ අද සුනිල් මාධව ප්‍රේමතිලක වෙනුවෙන් පැවති උපහාර උත්සවයෙදි ඒ ගීතය ගැනත් කියවුණු නිසා. එවන් වූ උපහාර උළෙලක් සංවිධානය කරන්නට වෙහෙස මහන්සි වූ සැමට ස්තුතියි කළ යුතු යි. පසුකාලීනව ඔහු දැරූ මතවාද, ලියූ කියූ දේවල් සම්බන්ධව වාද විවාද තිබුණත් පුවත්පත් කලාවටත්, සාහිත්‍යයටත්, සමාජයටත් සුනිල් මාධවයන් සිදුකළ සේවය අපි කෘතවේදීත්වයෙන් සිහිපත් කිරීම, අගය කිරීම වැදගත්. 

සුනිල් මාධව මට දැණුන මිනිසෙක් වුණේ මුලින්ම පත්තර පිටුවල හමු වූ ලිපිවලින්, සත්‍යවාදියකුගේ දින පොත තුළින්. පසුව හඬනු මැන නිදහස, මිනිසෙක්, සැබෑ කවියෙකුගේ කතාව, අන්ධකාරයේ දරුවා (කැරොලිනාගේ දින පොත) ඔහුගේ සාහිත්‍ය මෙහෙවර තුළින්.

මහජන පුස්තකාල ශාලාව පිරී පිටාර ගලන්නට නන් දෙසින් පැමිණ සිටි සහෘදයන් ඔහුගේ මනුෂ්‍යත්වය සහ දීර්ඝකාලීන පුවත්පත් කලාවේ මෙහෙවර වෙනුවෙන් නිහඬ සාක්ෂියක් වුණා. 

............

තවත් හරි අපූරු කතාවක් තියෙනවා. 2005 වසරේ සුනිල් මාධව ලියූ ගීතය රැගත් ගී පොත මුද්‍රණය කර දුන්නෙ බර්නි අයියා. ( ඩෙවොන් ගල්හේන )  කිසිදු අයකිරීමකින් තොරව. ළක්‍රිවියට දෙන තෑග්ගක් විදියට. පුවත්පත් කලාවට සුනිල් මාධව අපූර්ව සොඳුරු මනුෂ්‍යයකු වන්නේ යම් සේ ද, ළක්‍රිවියට බර්නි අයියාත් එවැනිම අපූරු සහෝදරයෙක්. මඟ පෙන්වන්නෙක්. තම යෞවනය, තාරුණ්‍යය ඔහු කැප කළේම ළක්‍රිවිය හරහා ළමුන් සහ අප වැනි යොවුන් ජීවිත ගොඩනගන්නට..

ඉතින් එදා ඒ ගී පොත නොමිලයේම මුද්‍රණය කර දුන් බර්නි අයියා මෙදා සුනිල් මාධව ප්‍රේමතිලකයන්ගේ ‘‘නොනිමි ජීවිත කතාව‘‘ පොතත් කිසිදු ලාභයක් තබා නොගෙනම ඉතා කෙටි කලකින් මුද්‍රණය කරදුන්නා. ( මල්ටි කෙයා ප්‍රින්ටර්ස් )



මේව හරිම දෛවෝපගත සිදුවීම් කියලයි මට හිතෙන්නේ....

Wednesday, March 2, 2016

ඔව්!!! ඒ සමනල්ලු සිරිපාදේ නොයති,



ලේ ඉහුණු බිම්කඩක
මල් රොන් සුණු සුවඳ
ඉව කරනු කෙලෙසක...
දූවිලි ෂෙල් වැකුණු
අතු ඉති කටු තුඩු මත
මලක් වුව නොපිපීම
කවර නම් අරුම ද...

කාෂ්ටක මඟ දිග
අඳුරු ළඳු දෙනි මැද
කුමක් නම් සොයන්නෙද
ඒ පුංචි සමනල්ලු...

අත් නොහැරි අත්බවෙක
අතරමඟ විසිකෙරුණු
දුෂ්කර ම ජීවිතය
හැර නොයා දිනන්නට
කියා දෙන දුයිෂෙන්
කවුරුන්ද?
පියාපත් එපමණ ම
සවි ඇද්ද?

නන්දිකඩාල්
කලපුවෙන් ඔබ්බට
කය දුෂ්කර ප්‍රාර්ථනාව*
මුමුණන්නෙද නිහඬවම
රෑනින් රෑන සැරිසරන
ඒ පුංචි සමනල්ලු...


සේයා - ලාල් ලක්ෂ්මන්


නවම් පොහොය දා අපි වව්නියාවේ ඉඳන් වලෙයිපාඩු දක්වා දුර ගමනක් ගියා. කඩිනම් දුෂ්කර ගමනක්. ගියා නොගියා සෙයින් ගිහින් ආ ගමනක්. දරුවන් වෙනුවෙන් ආදරය අරන්... 


පල්ලවරායම්කට්ටුව හන්දියෙන් හැරුණු තැන සිට අබලන් ගුරු පාර දෙපස දිගටම රෑන් රෑන් පුංචි සමනල්ලු උන්නා. සුදු පාට, කහ පාට, අලු පාට සමනල්ලු. නිමක් නැතිවම.. දිගටම.. පේන මානෙක මලක් නොවුණට, මඟ දිගටම සමනල් රංචු. හරියට අපිව පිළිගන්න වගේ, එහෙමත් නැත්නම් අපට පේන්න වගේ... එහෙමත් නැත්නම් මොනවදෝ නැති වුණ දෙයක් හොයනවා වගේ...

මට තාමත් මතක් වෙනවා, ඒ පුංචි සමනල් රංචු...


.......

*කය දුෂ්කර ප්‍රාර්ථනාව කියන්නෙ ජේසුගේ දුක් විඳීම සිහිපත් කරන උච්ච ස්වරයෙන් ගැයෙන විලාප ගී ගායනාවක්. ජේසුතුමන්ව පාවා දීමේ සිට මරණය දක්වාම වන සිදුවීම් එකින් එක මෙහිදී ගායනා කරනවා. ඒ මරණයට අපත් වගකිව යුතු නේද කියන පසුතැවීම සහ සමාව යැදීමේ පශ්චාත්තාපී කොටසකුත් එයට ඇතුළත්. කය දුෂ්කර ප්‍රාර්ථනාව ගද්‍යමය ගායනාවක්. කවි ගායනාවක් නෙවි. ඒක තමයි විශේෂත්වය. 



මෙය ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා රචනා කළ දේශනා නවයේ පසම් පොතෙහි එන්නක්.
කය දුෂ්කර ප්‍රාර්ථනාව යූ ටියුබයෙන් අසන්න, මෙන්න ලින්කුව.....

 අතීතයේ අපේ ගම්වලත් චතාරික සමයට (පාස්කු කාලයට) පසම් ගායනා කෙරුණා. රැයක් එළිවන තුරු පසම් ගායනා කිරීම පුංචි අපට නම් ජේසුගේ දුක් විඳීම, මරණය මෙනෙහි කරන දුකින් පිරුණු රැයකට වඩා අසිරිමත් අපූරු රැයක් වුණ බව මතකයි.. ඒ ගැන වෙනම ලියන්න ඕන..

සේයා රූ - ලාල් ලක්ෂ්මන්







Tuesday, March 1, 2016

නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ...



සරා සසර ගව් සිය දුර සපැමිණ
නුරා සුසර මල් හී සර විදිමින
දරා සුනෙර සදිසිව නෙක අණවින
අරා ගැඹර හද ඔබම ය සසොබන...

සසල හදකි මේ දැවුණ නිදැල්ලේ
උදුල සඳකි මළ දවස මුළුල්ලේ
පතළ කුළුණු ගුණ පිරුණු සෙවිල්ලේ
නිසල විලකි ඔබ, හිඳිමි නිවිල්ලේ...

දුලා පුළුලු හද මැදුර කොයින්දා
බලා හිඳිමි මඟ එනු කොයිබින්දා
හෙලා ඇසග වැහි දුකඳුර සින්දා
පළා යම් කෙලෙස, නොහිම් පෙමින්දා...


...................

( තරුරසීට සුබ උපන්දිනයක්... මම තරුරසී වුණේ නම් බොහෝ කලින්.. මගේ තනියට තරුරසී බ්ලොග් අඩවිය ඉපදිලා අදට අවුරුදු හතරයි... )