 |
|
ඒ පෙම්වතුන්
තාරුණ්‍යෙයේ
|
ඒ කතාව
ඇරඹෙන්නේ මෙලෙසිනි.
‘‘ඔබට දැන්
වයස අසූ දෙකකි. ඔබ සෙන්ටිමීටර් හයක් කොට වි ඇත. අද ඔබේ බර කිලෝ හතළිස් පහක් පමණක්
වුව ඔබ එදා මෙන්ම පියකරුය. මන බන්ධනීය ය. ආශා දනවන සුලු ය. මේ වන විට අපි වසර පනස්
අටකට වැඩි කාලයක් එකට ජීවත්ව ඇත්තෙමු. අන් කවරදාටත් වඩා අද මම ඔබට ප්‍රේම කරමි.
මගේ පපු කුහරය ඇතුළෙන් මට නැවතත් දැනෙන විනාශකාරී හිස් බව පුරවාලිය හැක්කේ මගේ
සිරුර මත තෙරපෙන ඔබේ සිරුරේ උණුසුමින් පමණකි.‘‘
D
වෙත ආදරයෙන් - පිටුව 15
අසූ
දෙහැවිරිදි සිය පෙම්වතියට, බිරිඳට මේ විවෘත පෙම් හසුන ලියන ඇගේ පෙම්වත් සැමියා ඇයට
වඩා වැඩිමහළු වන්නේ වසරකින් පමණි. ඒ වියපත් හදවත පවා සදාතනික උණුහුමින් පෙම්වත් කළ
ප්‍රේමය පිළිබඳ ඔහුගේ ආපසු හැරී බැලීම එක්තරා විදියක පාපොච්චාරණයක් ද වන්නා සේය. අන්‍යොන්‍ය අවබෝධය, තේරුම් ගැනීම, කැපවීම
සිහිනයක් පමණක්ම වු, තවදුරටත් ප්‍රේමය අරුත් ගැන්විය නොහැකි හිස් අඳුරු ලොවක ආලෝක
පුංජයක් සේ ඒ ආදරය මා හදවතේ දැල්වෙමින් පවතී.
‘‘අපේ ආදර
කතාව එහි සැබෑ අරුතින් පැසසීමට නම් එම ආදර කතාවේ කොටස් එකට එක් කළ යුතුය. ඔබ හා මා
අප බවටත්, එකිනෙකා තුළත්, එකිනෙකා වෙනුවෙනුත් ජීවත් වීමට අපට ඉඩහසර විවර කර දුන්නේ
අපේ මේ ආදර කතාවයි. දැන් මා මෙය ඔබට ලියන්නේ මගේ ජීවිතය කුමක් වීද යන්නත්, අප එක්ව
ගෙවූ ජීවිතය කුමක්ද යන්නත් වටහා ගනු පිණිසය.‘‘
පිටුව 16-17
ඔවුන්
හමුවන්නේ අහම්බෙනි. එය පළමු බැල්මෙන්ම ඇරඹි ප්‍රේමයකැයි ඔහු පවසයි. එංගලන්තයේ ඉපිද,
හැදී වැඩුණු ඈ ආකර්ෂණීය, බුද්ධිමත්, පොත පත කියවූ, සමාජශීලී තරුණියක්ව උන්නාය. 1923
වසරේ ඔස්ට්‍රියාවේ වියානා නුවර උපන් ඔහු හිට්ලර් ඕස්ට්‍රියාව ආක්‍රමණය කිරීම
හේතුවෙන් 1939 වසරේ ස්විස්ටර්ලන්තයට පළා ආ යුදෙව්වෙකි. ඇයද ඔහු මෙන්ම අවතැන් තරුණියක
ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසුව නව ලොවක් ගොඩනැංවීමේ ක්‍රියාවලිය තුළ කැප වී කටයුතු
කරමින් සිටියාය. ලෝක යුද්ධ පසුබිමේ පිටුවහල් වුවන් ලෙස ස්වකීය උපන් බිම්වලින්,
පවුල්වලින් දුරස්ත වූ ලොවකදී ඔවුහු හමුවෙති. ප්‍රේමයෙන් බැඳෙති. ඉදින් ඒ ප්‍රේමය
එකිනෙකාට මහත් අස්වැසිල්ලක් වන්නට ඇති බව නිසැකය. පෙම්වත් දෙපළට හුවමාරු කරගන්නට
ප්‍රේමය, අනුරාගය පමණක් නොව සමාජ, දේශපාලනික ලෝකයක්ද ඔවුන් අතර තිබිණි. ‘‘තමන්ටම
කියා සොච්චමක් නැති ඔස්ට්‍රියානු යුදෙව්වකු කෙරෙහි ඔබගේ සිත ඇදී ගියේ කෙසේද?‘‘ ඔහු
විටක විමතියට පත්වෙයි.
‘‘සංතුෂ්ටිය
යනු දෙන දෙයක් හෝ ලබා ගන්නා දෙයක් නොවන බව මම ඔබෙන් වටහා ගතිමි. එය ඔබව මුළුමනින්ම
අනෙකා වෙත පිදීමේත්, අනෙකා වෙතින් තමන්ව ඉල්ලා සිටීමේත් ආකාරයක් විය. අපි එකිනෙකා
වෙත අපි එකිනෙකාව පූර්ණ ලෙස පුදදුන්නෙමු.‘‘
පිටුව 23
ඔහු විවාහය
පිළිබඳ සාංකාබරිත හදවතක් ඇත්තෙකු විය. ඇයගේ ප්‍රේමය නම් වන ඉන්ද්‍රජාලික අත්දැකීම තුළ
ගැළවුම සොයාගෙන සිටි ඔහු නැවත යථාර්ථය වෙත ඇද දමන විවාහ සංස්ථාව තුළ කොටුවන්නට
දැක්වූයේ මහත් අකමැත්තකි. කෙසේ නමුත් එකී අහඹු
අසිරිමත් ප්‍රේමය අහිමිකර ගැනීමට ඇති අකමැත්ත නිසාම ඔහු ඇය හා සරණ බන්ධනයට
එළඹෙන්නේය.
ඔහු
පූර්ණකාලීනව ලිවීමට කැපවන්නේය. ඇය ඔහු දිරි ගන්වන්නියද, පහසුකම් සපයන්නියද, සියලු
දුෂ්කරතා නිහඬව දරාගනිමින් කැපවන්නිය ද වන්නීය. ස්ථිර රැකියා නැති, ස්ථිර නවාතැන්
නැති, දිළින්ඳන් ලෙසින් තැනින් තැන යන ඒ දුෂ්කර දීර්ඝ කාලය තුළ ඈ කොතෙක් නම්
කැපවීම් කරන්නට ඇත්ද, වටහා ගත හැකි වන්නේ ඔහු ලියන දෙයින් ම පමණි. ඇගේ හැඟීම්
කෙබඳු වන්නට ඇත්ද? සිතීම අපහසුය. ඔහුම පවසන පරිදි ඈ පැමිණිලි කරන්නියක නොවූවාය. ඇය
ඔහු හා බෙදාගත්තේ ආදරය, අනුරාගය පමණක් නොවේ. ඔහුගේ වෘත්තීය ජීවිතයේ හවුල්කාරියද,
සමාජ ජීවිතයේ ආලෝකයද ඇයම විය.
‘‘අප තවදුරටත්
පුද්ගලික ජීවිතය තුළ ඒකාත්මිකව සිටියා පමණක් නොවේ. පොදු ජන ජීවිතය තුළද ඒකාබද්ධ ක්‍රියාකාරිත්වයක්
නිරූපණය කළෙමු.‘‘
පිටුව 52
ලිවීමෙන් තොරව
ජීවත් විය නොහැකි පුද්ගලයකු සමඟ තමා බැඳී ඇති බව ඇය නිවැරදිව වටහාගෙන උන්නාය. ඒ
වෙනුවෙන්, සැබවින්ම ඔහුගේ ලිවීමේ සිහින වෙනුවෙන් තම මුළු ජීවිතයම වුව කැපකරන්නට ඇය
නිර්ලෝභීව බැඳී උන්නාය.
‘‘ලේඛකයකුට
ආදරය කරනවා කියන්නේ ඔහු ලියනවට ආදරය කරන එකට. ඔබ වතාවක් කීවාය. ‘ඉතිං ලියන්න‘“
පිටුව 53
එක් අතකින් මේ
විවෘත පෙම් හසුන උන්මාදනීය ඇල්මකින් ලිවීමට බැඳුණු ලියන්නකු විඳින වේදනාවන්,
දුෂ්කරතා මෙන්ම ඒ ජීවිතය හා බැඳුණු අන්‍ය ජීවිත සිදුකරන කැපකිරීම් පිළිබඳවද
කියැවෙන ලියවිල්ලකි.
ඔහු මාධ්‍යෙව්දියකු,
කතුවරයකු, විසිවන සියවසේ ප්‍රමුඛතම සාමාජීය දාර්ශනියකු සහ දේශපාලනික පාරිසරික විද්‍යවේ
පුරෝගාමියකු ලෙස ස්වකීය ජීවිත අරමුණු සාක්ෂාත් කරගන්නේය. බොහෝ දුෂ්කරතා මැද වුවද ඔහු
ලේඛන දිවියේ මෙන්ම සමාජ ක්‍රියාධර භූමිකාවේද ස්වර්ණමය යුගයට එළඹෙන අතර ඒ පිටුපස වන
ඇයගේ ශ්‍රමයද, කැපවිමද අතිමහත් වන්නේය. ඒ පිළිබඳව ඔහු හදවතේ වන කෘතවේදීත්වය, එදා
ඇය වෙත පිරිනොනැමුණු අගය කිරීම ප්‍රමාදව හෝ පිදීමේ අභිලාසය මේ ලියවිල්ල පුරා හුස්ම
ගන්නේය. ශුද්ධ බුද්ධිමතකු ලෙස නමක් දිනා ගැනීම සඳහා තමා කොතෙක් නම් ඈ නොසලකා හැර
ඇත්ද? යන්න ඔහු අසූ වියැතිව සිහිපත් කරනුයේ ශෝකයෙනි. නමුත් ඈ කිසිදු පැමිණිල්ලකින්
තොරව ඒ සියල්ල විඳ දරාගෙන ඇත. බොහෝ විට සිදුවන්නේ එයම නොවේද? ධනය, බලය, නිලය
වෙනුවෙන් අනවරත අරගලයක යෙදෙන පුරුෂ ලෝකය තුළ ගැහැනිය සියල්ල නිහඬව දරාගැනීම.
 |
|
ඒ පෙම්වතුන් වියපත්ව
|
ඇයගේ
බුද්ධිමත් බව, තීක්ෂණ නුවණ, සමාජශීලීත්වය කොතරම් වුවද ඇය තමන්ගේ ඉලක්ක හඹා ගොස්
ලබා ගත් ජයග්‍රහණයන් පිළිබඳව මේ හසුනේ කොතැනකවත් සඳහන් නොවන්නේය. ඈ විශ්වීය
බුද්ධිමතකු බිහිකරන්නට ස්වකීය සියලු හැකියාවන් කැප කළ ගැහැනියක පමණක්ම වූවාද? මහා
පුරුෂයින්ට බිරින්දෑවරුන්, හෝ පෙම්වතියන් වන ගැහැනුන්ගේ ඉරණම එයද?
‘‘අන්තිමේදී
ට්‍රේටර් එළිදුටු විට මා ඔබට ණයගැති බවට මා නැවත වතාවක් අවබෝධ කොටගතිමි. මට මා බවට
පත්වීම සඳහා ඔබ ඔබගේ සියල්ල කැපකොට තිබුණි. ‘‘
පිටුව 95
ඇය පරිසර
හිතවාදිනියක වූවාය. වාණිජ ලෝකයේ මලපුඩුවල නොවැටී ජීවිතය කළමනාකරණය කිරීමට සුක්ෂම
වුවාය. ගැමි පරිසරයට ඇළුම් කළ ඇය ගම, කැලෑව, සතුන් දෙස බලන්නේ කෙසේද? ආදරය කරන්නේ
කෙසේද දිවි පැවැත්මෙන්ම ඔහුට කියා දුන්නාය. වෛද්‍ය විද්‍යාව විසින්ම උරුම කරදුන්
දුර්ලභ රෝගයකින් පීඩා විඳින අතරම ඖෂධ ප්‍රතික්ෂේප කරමින් සොබාදහම සමඟ ශරීරය සහ මනස
ඒකාත්මික කරගනිමින් වේදනාව පාලනය කරගැනීමට ඇය උත්සාහ කළාය. එම රෝගය ඔවුන් දෙදෙනාම
පරිසර විද්‍යාව, තාක්ෂණ විරෝධය යන විෂයන් නැවත අධ්‍යයනට පෙළඹවීය. ඉතින්, ඔහුගේ
පාරිසරික දේශපාලන දැක්මේ මූලය ඇය නොවී යැයි කිව හැකිද?
රැකියාවෙන්
විශ්‍රම ලබා ගම්බද පෙදෙසක පදිංචියට යන ඔහු ඉන්පසු එළඹි ජීවිතය පුරාම ඈ වෙනුවෙන්
කැප වී සිටියේය. සුපුරුදු ලෙස මේ කාලය පුරාද ඇය ශාරීරික වේදනාවන් දරා ගනිමින් ලිවීමට ඔහු උනන්දු කරමින් නොසැලී උන්නාය.
‘‘ඔබ ඔබගේ
මුළු ජීවිතයත්, ‘ඔබ‘වමත් ඔබ විසින් මට දී ඇත. අපට ඉතිරිව ඇති කාලය තුළ මට මා
සම්පූර්ණයෙන් ඔබ වෙත දීමට අවැසිය.‘‘
පිටුව 121
ඔහු ආන්ද්‍රේ
ගෝර්ස් ය.
ඈ ඩොරීන් ය.
2007 වසරේ ඈ
අසූ තුන් වැනි වියද, ඔහු අසූ හතර වන වියෙහිද වන විට ඔවුහු දෙදෙන සියදිවි නසාගනිමින්
එක්ව ආ මඟ එක්වම නික්ම යන්නෝය.
විවෘත පෙම්
හසුන පුරා දිවෙන්නේ ඔවුන් දෙදෙනාගේ අපූරු ප්‍රේමයත්, ඒ තුළ ඩොරීන්ගේ කැපවීමත් එය
දුටුවත් නොදුටු සේ සිටි, තම බිරිඳගේ කැපවීම අගය කිරීමට පැකිළුණු ස්වාමි පුරුෂයකුගේ
පසුතැවිලි හදවතත්ය. ඒ හා සමඟම කාලීන සමාජ දේශපලාන පසුබිම පිළිබඳ පැහැදිලි සිත්තමක්
මවාගන්නටද මේ විවෘත පෙම් හසුන කැටපතක් වන්නේය.
ස්ත්‍රී පුරුෂ
ආදරය පිළිබඳ සාංකාබරිත හැඟීම් ජීවිතය උදාසීන කරන පසුබිමක හිඳ මම ඔහුගේත් ඇයගේත් ප්‍රේමය
දෙස බලා හිඳිමි. ප්‍රේම පාරමිතාව යථාර්ථයක් කිරීමට ඈ සමත් වී යැයි කිව නොහැකිද? ඒ
සියල්ල වෙනුවෙන් ඇය කොතෙක් නම් දේ දරා ගන්නට ඇත්ද?
Letter
to D - Andre Gorz
D
වෙත ආදරයෙන් - පරිවර්තනය විදුර ප්‍රභාත් මුණසිංහ
අහස ප්‍රකාශනයකි.