මම ආසම කරන දේවල් මොනාද කියල ඇහුවොත් පැහැදිලිවම දෙන්න
පුළුවන් පිළිතුරක් තියෙනවා...
1. පොත්
2. සංගීතය
3. සමාජ ඇසුර ( නෑදෑ
හිත මිත්‍ර ඇසුර වගේම යහපත් සමාජයක් වෙනුවෙන් මමත් යම් දායකත්වයක් ලබා දෙන්න ඕන
කියන එක මම අදහනවා... )
ගීතයක් අහන්න හරි මුමුණනන්න හරි නැත්නම් මට හරිම පාළුවක්
දැනෙනවා... ඒ වගේම කියවන්න පොතක් පතක් අතේ නැත්නම් ඒ වගේම ලොකු හිස්කමක්, පාළුවක්
දැනෙනවා....
මම ආස, මට අහන්න ලැබෙන අපූරු ගීත ගැන මගේ අදහස් ඔබත්
එක්ක බෙදා ගන්න දරණ උත්සාහයෙදි මම මුලින්ම කතා කරන්න හිතුවෙ ගීතිකාවක් ගැන... ( කිතුනු
අපි ගීතිකාවක් කියන්නෙ අපේ ඇදහීම, විශ්වාසය, බලාපොරොත්තු විශ්වයේ භාෂාව වන සංගීතය
සමග මුසු කරල ගීතවත්ව දෙවි පියාණන්ට කරන යැදුමකටයි... අපට ගැයුම කියන්නෙ දේව
වන්දනාවෙම කොටසක්... නැතුවම බැරි කොටසක්.... )
තාගෝර්තුමා කියල තියෙනවා '' ගැයීම දෙවරක් යැදීමක් ''
කියල... ඔයාලත් අහල ඇතිනෙ ඒ ගැන.... තාගෝර්තුමාගෙ කවි කියන්නෙ ඇත්තටම දෙවියන්
ආමන්ත්‍රණය කරන ගීතිකා....
ගැයීම දෙවරක් යැදීමක් වෙන්නෙ කොහොමද කියන එක ගැන මමත්
ගොඩක් වෙලාවට හිතල තියෙනවා.... මට හිතෙන්නෙ ගායනාවක් කරද්දි අපේ හදවතින්ම අපි ඒ
ගායනාවත් එක්ක බැෙඳනවා. ආත්මයෙන්ම එක් වෙනවා... නිකම්ම වචනවලින් කරන
යැදීමකට වඩා ගීතිකාව ප්‍රබල වෙන්නෙ ඒ නිසයි...
පුංචි කාලෙ ඉඳන්ම හරිම ආස ගීතිකාවක්
තමයි '' ලේ කිරි කරලා " ගීතිකාව.... කිතුනු විවාහ මංගල දිව්‍යපූජාවන්වලදි
බොහෝ වෙලාවට මනාල යුවළ දෙමව්පියන්ගෙ පා නැමදල සරණ බන්ධන පිළිවෙතට පිවිසෙන්නෙ මේ
ගීතිකාවෙන්... නව යුවළගෙ, ඔවුන්ගේ දෙමව්පියන්ගෙ වගේම අනිත් අයගෙත් ඇසට කඳුලක්
නැගෙන අවස්ථාවක් මේ....
ලේ කිරි කරලා මට පෙව් අම්මා
මා ලෙඩ වූ විට නිදි මරමින් ළඟ ඉන්නා
මගේ විපතෙදි මා අත්නොහරිනා
අනේ සමිඳුනේ මගෙ අම්මා රැකදේවා.....
දහදිය හෙළලා වෙහෙසක් නොබලා
මා වෙනුවෙන් ජීවිතයම පුදන තාත්තා
මගේ සැප පතා සැප අත් හරිනා
අනේ සමිඳුනේ මගෙ තාත්තා රැකදේවා.....
සුවපත් වේවා මව්පියො දෙදෙනා
ඔවුන් විඳින දුක හිරු දුටු පිණි මෙන් වේවා
විඳ නිම නොවෙනා සැපත ලබන්ටා
අනේ සමිඳුනේ මගෙ මව්පියො රැකදේවා....
මොලොව අපි දකින දෙවියන්, බුදුන් අපේ අම්මයි තාත්තයි නේද?අපි පුංචි කාලෙ ඒ
අය අපි වෙනුවෙන් කොයි තරම් කැපකිරීම් කරනවද? අපේ කරදඬු උස්මහත් වුණාම අපිට දෙමව්පියන්ගෙ
අඩුපාඩු පේන්න පටන් ගන්නවා... අපි තමයි හැමදේම දන්නෙ කියල හිතනවා.. අපේ අතින්
එයාලගෙ හිත් රිදෙනවා... අම්මල, තාත්තල
ඇත්තටම පව්... එයාලගෙ වරදක් අඩුපාඩුවක් තියෙන්නත් පුළුවනි... ඒත් කුසේදි නැති
නොකර, මැරෙන්නට අත් හරින්නෙ නැතිව, මහමග දාල යන්නෙ නැතිව අපට ජීවිතය දුන්නු නිසාම විතරක්
උණත් අපේ ආදරය, ගෞරවය එයාලට හිමි වෙන්න ඕන.....
මේ ගීතිකාව ගැන මතකය අළුත් උණේ හිත සසල කළ සිදුවීමක් නිසයි... ඔයාලට මතක
ඇති මම ලිව්වා කැදැල්ල හැරදා ගිය කිරිල්ලියක් ගැන... ඒ නංගී අපේ ගමේ... පසුගිය
සෙනසුරාදා ඇගේ අවසන් කටයුතු සිදු වුණේ... ඒ පවුලම ගමේ පාරම්පරික බෞද්ධ....
පුදුමයක් උණේ මළ ගෙදරට ගිය ගමන්ම ඇයගේ සැමියා මගෙන් කළ ඉල්ලීමයි... ( ඒ මල්ලි තමයි අපේ ගමේ... අපි පුංචි කාලෙ ඉඳලම
දන්න හඳුනන අය )
'' අක්කෙ ඔයාලගෙ ආගමේ හැටියට මොනා හරි කරන්න... මට ෆාද කෙනෙක් ගෙන්නල
බ්ලෙස් කරල දෙන්න '' මේ ඉල්ලීම කිහිපවරක්ම
යොමු වුණා... අතින් අල්ලගෙන කඳුළු නැති වියළුණු හිස්ම හිස් මුහුණින් ඒ වගේ
ඉල්ලීමක් කරද්දි මගේ ඇස්වලටයි කඳුළු පිරුණෙ...
ඇයි මේ වගේ ඉල්ලීමක් කරන්නෙ.... ඉල්ලීම ඉටු කරන්න උත්සාහ දරන අතරෙ ඇයි ඒ කියන
හේතුවත් මට දැන ගන්න ලැබුණා...
නංගි ජීවත් වුණ අවසන් සති කිහිපයේ එයාල නැවතිලා හිටියෙ රාගම නිවසක...
කතෝලික යාළුවෙක් එයාව තේවත්තෙ පල්ලියට එක්කරගෙන ගිහින් තියෙනවා... තේවත්තෙ
පල්ලියෙ ලස්සන දේව මෑණියන්ගෙ ප්‍රතිමාවක් තියෙනවා... එතනට වෙලා දවසම උණත් ඉන්න
පුළුවනි.. ඒ තරම්ම ශාන්තයි... නිස්කලංකයි... ඉතින් මේ නංගිත් ගොඩක් වෙලා එතන
හිටියලු.... එදා තමයිලු සැනසීමෙ කෙල්ලට නින්ද ගියේ.. ඉන්පස්සෙත් නංගිගෙ ඉල්ලීම
නිසා කිහිපවරක් තේවත්තෙ පල්ලි ගියාලු..
එයා හරිම ආසයිලු මේ '' ලේ කිරි කරලා '' කියන ගීතිකාවට... තමන්ගෙ ජීවිතය අහිමි
වෙනවා කියල දැනෙද්දි ජීවිතය දුන්න අම්මයි, තාත්තයි ගැන මොන තරම් දේවල් හිතෙන්න
ඇද්ද.... ඉතින් කිරිල්ලියගෙ දේහය ළඟ ශුද්ධවු පැය යැදුම් මෙහෙය කරලා අපි මේ ගීතිකාව
ගායනා කළා....
මේ ගීතිකාව ගායනා කළ වෙන කවරදාටත් වඩා වෙනස්ම දුක්බර හැඟීමක් එදා ඇති
උණේ... මේ නංගි රෝහලේ ඉන්නකල්ම මට බලන්න යන්න බැරි උණා... හීනෙකින්වත් හිතුවෙ නැහැ
මේ වගේ ඉක්මන් සමුගැනීමක්... අදත් මගේ හිත පසුතැවෙනවා... ඇය වෙනුවෙන් මොනවත්ම
කළේ නැහැ නේද කියල...
අපෙන් ලෝකයට, දෙමව්පියන්ට වෙන්න තියන යුතුකම් වගකීම් ඉටු කරන්න ඕන... මොකද
අපට මේ ලෝකය දාලා යන්න වෙන දවස අපි හරියටම දන්නෙ නැති නිසා.... ඒ වගේම අපි වටේ
ඉන්න අයත් කොයි මොහොතේ අපෙන් සමුගනීද කියල දන්නෙ නැති නිසා....
ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ....
ප.ල. මේ ගීතිකාව යූටියුබ්වල
තියෙනවා... '' ලේ කිරි කරලා '' සොයන්න... තාම බ්ලොග්වල වැඩි වැඩ දන්නෙ නැති නිසා
මේ ගීතිකාව බ්ලොග් එකට ඇතුළ් කරන්න බැරි උණා...
මාත් ආසම ගීතිකාවක්...
ReplyDeleteමම ලංකාවට ගියාම වැඩිපුර ඉන්න කැමති තැනක් තමා තේවත්තේ පල්ලිය කියන්නේ..අපේ ආච්චිලා ඉන්නේ රාගම නිසා..අපේ පාරෙන් තමා තේවත්තට යන්නෙත්..හරිම අපුරු නිස්කලංක තැනක්..
මරණය කවදා කොයි වෙලේ හරි එනවනේ තරු..එත් යන කෙනාට නෙමේ ඉන්න අයටයි එ දුක දරා ගන්න බැරි..
ස්තූතියි නගා ඔයාගෙ කමෙන්ට් එකට.. ඔයා ආයෙම ආවම අපි යමුකො තේවත්තෙ පල්ලි... යාච්ඤා කරල, ඉටිපන්දම් පත්තු කරල, වෙරළු අච්චාරුවකුත් කන ගමන් කයියක් ගහන්නත් පුළුවන්...
Deleteමම ආසම දේවල් දෙකකුත් අක්කාගේ ලිස්ට් එකේ තියෙනවා. මගේ ලිස්ට් එකේ අංක 1 සමාජ ඇසුර 2. පොත් පත්
ReplyDeleteහුඟක් අය තේවත්ත පල්ලියේ ලස්සන කියලා තියෙනවා. යන්න ඔනේ දවසක
තේවත්තෙ පල්ලි යද්දී මල්ලී පඩිපෙල නැගගෙන පල්ලිය දිහා බලාගෙන හෙමිහිට යන්න.... ඒක ලස්සන දර්ශයනක්... ඉන්පස්සෙ පල්ලිය ඇතුළට යන්න.... වටේම ඇවිදල බලන්න. පහළ බිම් මැදුරටත් යන්න අමතක කරන්න එපා... ලූර්දු ගුහාව ළඟටත් යන්න.... ( කාගෙන් හරි අහන්නකෝ... ඔයාට මග පෙන්වයි..) ආපහු එද්දි පඩිපෙළෙන් එන්නෙ නැතිව වටේ තියෙන පාර දිගේ එන්න.... රබර් ගස් යාය මැදින් එන හුළඟත් විඳගෙනම... කැමති නම් වෙරළු අච්චාරු මුලක්, රටකජු මුලක් අරන් ගිහින් ගල් බැම්මෙ වාඩි වෙලා රස විඳින්නත් පුළුවන්.....
Deleteකැමතිම දේවල් අංක කළාට මොකද මේ කාරණා තුනම අංක 1 තමයි තියෙන්නෙ මල්ලි...
ස්තුති අක්කා විස්තර කිව්වාට :)
Deleteපොත් පත්, කවිය ගිතය, සංගිතය, සිනමාව, සමාජ ඇසුර මේ මගේත් ප්‍රධානම විනෝදාංශ. අපේ මව් ගුණ ගි වගේම පල්ලියේ ගැයෙන ගිතිකාවලත් සියුම් ශාන්ත රසයක් දැනෙනවා. සංගිතයේ බොහෝ නිර්මාන බිහි වෙලා තියෙන්නෙ පල්ලියේ ගිතිකා ආශ්‍රිතවයි
ReplyDeleteලංකාවෙ සංගීත කලාවේ ගමන්මග දිහා බලද්දි කිතුනු කලාකරුවන්ගෙ විශාල දායකත්වයක් තියෙන බව පැහැදිලියි ඇත්තටම... පුංචි කාලෙ ඉඳන්ම ගීතිකා එක්ක බැඳිල සංගීතය අපේ ජීවිත එක්ක බද්ධ වෙන නිසා වෙන්න ඇති එහෙම සිදු වෙන්නෙ....
Deleteමමත් සංගීතය ඉගෙන ගෙන නැහැ... ඒත් රස විඳින්න නම් පුළුවන්... ඔබ කියන සියුම් ශාන්ත රසය මතු වෙන ගීතවලට තමයි මම හුඟක්ම කැමති...
ස්තුතියි අදහස් දැක්වූවාට...