පිටු

Monday, June 18, 2012

සතිඅන්තය සොබාදම් මව් තුරුල්ලේ...


පසුගිය සති අන්තය ගෙවුණේ සොබාදහමයි, නව යෞවනයයි එක්ක... රාජ්‍ය නොවන සමාජ සේවා ආයතනයක වැඩ කරන මගේ යාළුවෙක් නව යොවුන් කොල්ලො, කෙල්ලො විස්සක් සහ අම්මලා දෙදෙනෙක් එක්ක යොවුන් වැඩසටහනකට මග්ගොන මැසනද් යොවුන් පියසට ගියේ පසුගිය සිකුරාදා... වැඩ ඇරිල හවස කට්ටියට එකතු ‍උණේ මරදාන දුම්රිය නැවතුම්පළේදි... දුම්රියේ ගමන වෙනදා තරම් සුවදායක උණේ නැහැ... සති අන්තය සහ රාජකාරි නිම වෙන වේලාව නිසා ලොකු තදබදයක් තිබුණා .. මග්ගොන දුම්රියපළින් බැස ගත් අපිව මැසනද් යොවුන් පියස දක්වා ගෙන යන්න පියතුමා වෑන් රථයෙන් පැමිණ තිබුණා....

මැසනද් යොවුන් පියස

'' අම්මා............  ගෙදර ආවා වගේ සනීපයක් හිතට දැනෙනවා... '' මම වෑන් එකෙන් බැස්සෙම එහෙම කියාගෙන.. මැසනද් යොවුන් පියස අපට නුහුරු තැනක් නෙවෙයි... නිතරම විවිධ වැඩසටහන්වලට එන යන තැනක්... බිම් මහළේ තියෙන පරණ තාලේ විශාල කුළුණු සහිත දිග කොරිඩෝර සහිත විශාල ශාලාව, සීතල සිමෙන්ති පොළව, චාම් පුංචි පල්ලිය හිතට නිවනක් ගේනවා... උඩු මහළ ‍ගැහැණු පිරිමි වෙන් වෙන් වශයෙන් සිය දෙනෙකුට පමණ නේවාසිකව ඉන්න පුළුවන් ශාලා දෙකකින් සමන්විතයි.. වෙනම දේශන ශාලාවක් තියෙනවා විශාල වේදිකාවක් සහිත...

ගොඩක් පැරණි ගොඩනැගිලි... මේ සියලුම ගොඩනැගිලි සිංහල උළු සෙවිලි කර තිබුණාලු.. නමුත් පසු කාලෙක ඒ උළු ඉවත් කර ඇස්බැස්ටස් තහඩු දමා ඇති බව පියතුමා පවසන්නෙ වේදනාවකින්.... සිංහල උළු වහළයේ පුංචි මතකයක් ඉතිරි වෙලා තියෙනවා දේශන ශාලාවේ එක් කොටසක පමණක්....

කෑම කාමරය, මුළුතැන්ගෙය චාම්.. පිරිසිදුයි. පිළිවෙලයි... ඒ මුළුතැන්ගෙයි හදන කෑමත් හරිම රසයි.... හැටන්වලින් ආව දෙමළ පවුලක් පියතුමා එක්ක මේ ආයතනය බලා ගන්නේ... මේ වතාවෙ ඒ අම්ම හිටියෙ නැහැ කෑම හදන්න... එයාගෙ දෝණි දේවිත් අම්මට දෙවෙනි නැහැ... රසට කෑම හදනවා... ඇඹරැල්ල ගෙඩි පිටින් දාලා මාළුවක් හදල තිබුණා මතක් වෙද්දිත් කටට කෙල උණනවා...

බලන බලන අත නිල්ල පිරුණු ගහකොළ... වැලි මිදුලක් ඇත්තෙම නැහැ... පිරිසිදු තණකොල යාය හැන්දෑවට වාඩි වෙලා උණුසුම් තේ කෝප්පයක් බිබී ‍ජීවිතේ ගැන කතා කරන්න කියාපු තැන...

දිගු අතීතයක් තියෙන මේ නේවාසිකය මුලින් භාවිත වෙලා තියෙන්නෙ නිර්මල මරිය නිකායේ පූජකතුමන්ලා වීමට ඉගෙන ගන්නා සිසුන් පුහුණු කරන දෙව්සත්හලක් විදියට. දැන් එය පාසල් සිසුන්, නව යොවුන්, තරුණ තරුණියන් සහා නායකත්ව පුහුණු ඇතුළු විවිධ වැඩසටහන් පවත්වන ස්ථානයක්....

මේ ආයතනය භාරව ඉන්නෙ නිර්මල මරිය නිකායික ගරු මේරියස් පියතුමා... වසර 15 ක විතර අතීතයේ ඉන් මම මේ පියතුමාව දන්නවා... නිහතමානී, සරල, සොබාදහමටත් මිනිස්සුන්ටත් ගොඩක් ආදරය කරන දයාබර පියතුමෙක්... සද්ද දාලා කරන ආටෝප වැඩවලට වඩා හෙමින් නමුත් අර්ථවත් ගමනක් යන දුර්ලභ පියතුමෙක්... මගේ ළ.ක්‍රි.වී. ( ළමා ක්‍රියාකාරී වීරයෝ ළමා එකමුතුව ) අනුශාසක දිවිය ඇරඹුණේ මේරියස් පියතුමා එහි ජාතික අධ්‍යක්ෂකව සිටි අවදියේ.... අපි එතුමාගෙන් ඉගෙන ගත්ත‍ දේ බොහොමයි....

එතුමා තාත්ත කෙනෙක් වගේ අපේ ජීවිතවලට සමීපයි... මැසනද් යොවුන් පියසට යද්දි ගෙදර යනව වගේ හැීමක් දැනෙන්නෙ ඒ නිසයි...


පියතුමාගේ සරල බව, සොබාදහමට ළැදි බව මේ පියසේ ඕනෑම තැනක දැකිය හැකියි...  දිග කොරිඩෝ‍රයේ තියෙන බංකු පෙළ පිටපලු ලෑලිවලින් හදල තියෙන්නේ.... දිගටම තරුණ ජීවිතයට වැදගත් වන කියමන් වියදමක් නැති කලාත්මක බංකු පෙළක්.... කණ්ඩායම් සාකච්ඡා කරන්න ලී කොට රවුමට තබා සකස්  කළ ස්ථාන තියෙනවා... උදෑසන භාවනාවට ගන්න තැන විශාල බට පුරකින් ආවරණය වෙලයි තියෙන්නේ..... එතන ලී කොට, ‍‍කුඩා කොන්ක්‍රීට් කැටවලින් පණහකට පමණ ආසන පණවල තියෙනවා...


මේ ඉසව්වට වතුරෙන් නම් හිගයක් නැහැ... යන යන තැන ළිං, පොකුණු... වෙල් යාය ආසන්නයේ උඩට ‍නොබැපු හතරැස් ළි‍‍ේ වතුර නිල් කැටයක් වගේ... බාල්දිය දාලා අතින් අරන් නාන්න පුළුවන්... අනේ ඒ වතුර ටිකේ සනීපෙ... මේ නේවාසිකයේ නාන කාමරවලින් නෑම, ඇ සේදීම තහනම්. ඒ වතුර හිගයක් නිසා නෙවෙයි... විදුලිය අරපිරිමැස්ම ගැනත් හිතනවා තමයි... ඊටත් වඩා අද කාලෙ බොහෝ ළමයි, ‍යෞවන යෞවනයන් මේ වගේ සුවදායක ස්නානයක අත්දැකීම විල නැහැ... ඒ නිසා ගැහැණු පිරිමි ළමුන්ට  නාන්න මේ වගේ ළිං දෙකක් තියෙනවා යොවුන් පියස ආසන්නයේ...


මැසනද් ‍යොවුන් පියස ගැන නම් තව කියන්න ගොඩක් දේවල් තියෙනවා.. මේ ඇති මම හිතන්නේ... සෙනසුරාදා දවසම පරිසර චාරිකාවකටයි වෙන් වුණේ... ඒ ‍විස්තර මීළ ලිපිවලින් ලියන්නම්... 

6 comments:

  1. ශොකේ නේ අක්කේ...මම ත් ආසයි මේ වගේ අපුරු තැන්වලට.. සොබාදහම කියන්නේ කොච්චර ලස්සන තැග්ගක්ද... අර ලිදක නාන්නත් ආසයි...

    ReplyDelete
    Replies
    1. මග්ගොන කල්වාරිය තියෙන්නෙත් මේ ආසන්නයේමයි නංගී... ඔයා ආයෙම ලංකාවට ආව දවසක යමු. හැබැයි ඒ වෙද්දි ‍අපේ පියතුමා මාරු වෙලා තිබුණොත් තමයි ප්රදශ්නෙ... මේ තැනට, පරිසරයට ආදරය කරන ෆාද කෙනෙක් ආවොත් හොඳයි.... සමහරු උනන්දු වෙන්නෙ මහා ගොඩනැගිලි හදන්නනේ... සරල සුන්දරත්වය විඳින්න පුළුවන් හිත් අඩුයි....

      Delete
  2. පින්තූර ටිකකුත් දැම්මා නම් පංකාදුයි අක්කේ

    ReplyDelete
    Replies
    1. කැමරාව ගෙනියන්න බැරි උණා මල්ලී...අපරාදෙ... මමත් ඒ ගැන වැඩිය හිතුවෙ නැහැ. මල්ලි කෙනෙක් ‍පොටෝ ටිකක් එවන්නම් කිව්වා.. එහෙම උණොත් දාන්නම්... නැත්නම් මම ආයෙම යන දවසක පොටෝ ටිකක් ගන්නම්....

      Delete
  3. විස්තර කරල තියෙන විදිය චිත්ත රූප මවන්න තරම් ප්‍රභලයි.... අපූරු තැනක් වගේ

    ReplyDelete
    Replies
    1. මම දකින ලස්සන අනිත් අයට පෙනේවිද දන්නෙත් නැහැ.. මම මේ තැනට හරි ආද‍රෙයි.. ඒ නිසා වෙන්න ඇති මගේ අකුරු හරහා ඔයාලට මවා ගන්න පුළුවන් වෙන්නෙ....

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...