පිටු

Monday, September 3, 2012

මිදි උය‍නේ කඳුළු කතාව



ඔව් මම වයසක ගෑණි‍යෙක්.. 
අවුරුදු 76 ක්... ජීවන බර දරා ගත්
උහුලා ගන්නට බැරි තරම්
 ‍ප්‍රේම‍යේ බරකුත්....
දැන්වත් ඉතින් ආදරණීය උරහිසක සතපවන්නට මහිස
ආදරණීය දෑසක ‍ඇඳුණු 
මගේම රුව දකින්නට
ඉසිඹුවක් ලද යුතු ‍නො‍වේද?

අස්කන්සෙට්... ‍මේ මිදි උයන 
ඵල දැරූ සෑම මිදි ‍ගෙඩියකම
ඇත්තේ ම‍ගේ දහදිය කඳුළුයි....
රස නහර පිනවූ  වයින් ‍ලෙසින් යළි ඉපදු‍ණේ
ආදරය නමින් මා ‍හෙළූ කඳුළුයි...

ඔව් මම වයසක ගැහැණියක්... අවුරුදු 76 ක්... ජීවන බර දරා ගත්
නමුත් මනසින් සහ හදවතින් තවමත් ‍යෞවන‍යේ....
ආදර‍යේ හිමිකම ‍වෙනු‍වෙන් සටන් වදින්නට දැන්
ම‍ගේ සිත සවිමත්ය....

කිමද ‍මේ අ‍මෝරාගෙන අසිපත් වි‍රෝධ‍යේ
ජීවිතය විඳින්නට මට ද අයිතියක් තිබිය යුතු ‍නො‍වේද?
‍ප්‍රේම‍යේ අයිතිය පාවා දුන් වරදට
මා ලැබූ පශ්චාත්තාප‍යේ දඬුවම දැන්වත් නිමා විය යුතු ‍නො‍වේද?

යෞවන‍යේ අබි‍සෙස් ලබන්නට වරම් ‍‍නොමැතිව ළතවුණ
ප්‍රේම‍යේ සිතුවිලි දැන්වත් නිදහ‍සේ ගලා යා යුතු නො‍වේද?

ඔව් මම වයසක ගැහැණියක්... අවුරුදු 76 ක්..
ඒත් ම‍ගේ ආදරය තවමත් තරුණයි...
මනරම් වසන්තයක් තරමටම....



---------------------------෴ ----------------------------------

( බරසාර පොතක් කියවන්නට ලැබුණා... පිටු 479. හැබැයි එක හුස්මට කියවගෙන ගියා.. හරිම රසවත්.. ‍පොත ගැන විස්තරයක් ලියනවට වඩා ‍හොඳයි කියල හිතුණා කවි සිතුවිල්ලක් ලියන එක... නතාලි කියන්‍නෙ ‍මේ ‍පො‍තේ ප්‍රධාන චරිතය...  නතාලි‍ගේ ජීවන පුවත මූලික කතාව වුණත් එයට ඈඳුණ අපූරු ජීවන පුවත් කිහිපයක්ම ‍මෙහි කිය‍වෙනවා...

ඒ ව‍ගේම මිදිවැල්වල ජීවන කතාන්දරයත් හරිම අපූරුයි... ජීවිතය ගැන අළුත් ආ‍ලෝක දහරාවන් එල්ල කරන අදහස් වරින් වර මුණ ගැ‍හෙනවා... මට හි‍තෙනවා වැඩිය හිතට බරකුත් නැතිව කියව‍ගෙන යන්න පුළුවන් ‍රසවත්, හරවත් ‍පොතක් කියල... හැබැයි රු. 600 ක් කියද්දි බඩ පපුව දනව නම් තමයි...නිර්මලා නංගිට පින් සිද්ධ‍වෙන්න මේ ‍පොත කි‍යෙව්වෙ...  )

කෘතිය                          - The Vineyard
ලිව්‍වේ                          - Barbara Delinsky
සිංහලට නැගූ විට           - මිදි සහ මතක
පරිවර්තනය කළේ         - තුෂාරි ජයවර්ධන
මිල                               - රු. 600.00
ප්‍රකාශනය                     - වි‍ජේසූරිය ග්‍රන්ථ ‍කේන්ද්‍රය          


Barbara Delinsky
 

22 comments:

  1. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් කොමිස් එකක්වත් තියෙනවාද අක්කේ :D

    ReplyDelete
    Replies
    1. පහුගිය දවස් ටිකේ කියවපු පොත් නිර්මලා නංගි ගෙනත් දුන්නේ... මම හිතන්නෙ එයාලගෙ ගෙදර වැඩිපුර තියෙන්නෙ විජේසූරිය පොත්.... මම නිර්දෝෂයි මල්ලී..

      Delete
    2. මම සැක කලෙමි, මම දැන ගතිමි :D

      Delete
  2. අම්බෝ මේ කට්ටිය සෑහෙන්ඩ පොත් කියවනවා නෙව...

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නැහැ.. හැබැයි හැමදාමත් මා ළග කියවන්න පොතක් තියෙනවා.. අළුත් පොතක් නැත්නම් කියවපු පොතක් හරි ආයෙම කියවනවා... ඒකෙන් වරදක් සිද්ධ වෙන්නෙ නැහැ මල්ලී..

      Delete
  3. බොහොම අපූරු පද ටික!

    ReplyDelete
  4. අයියෝ දුක හිතෙනවා වියපත් කාන්තාව කියන දේවල් අහපුවහම.මිනිස්සු වයසට ගියත් හැගීම් තරුණයි නේ..

    ReplyDelete
    Replies
    1. වියපත් මිනිස්සු දිහා අවබෝධයෙන් වගේම කාරුණිකව බලන්න අපි පුරුදු වෙන්න ඕන... එයාලටත් ආදරය ඕන... අවධානය ඕන... සමහර විට පුංචි ළමයි ‍වගේ... අපි එයාලගෙ හැගීම් තේරුම් ගන්න ඕන..

      Delete
  5. මේ ටිකේ පේන්න හිටියේ නැත්තෙ පොත් වලට යට වෙලා ඉඳල තියෙනවා .

    ReplyDelete
    Replies
    1. ඇත්ත ගිම් ... දුක්බර සිතුවිලිවලට කියවීම ඔසුවක් වගේ...

      Delete
  6. දවසින් දවස පෙන්ඩින් ලිස්ට් එකට පොත් එකතු වෙනවා... කවද කියවන්න ලැබෙයිද මන්දා

    ReplyDelete
    Replies
    1. අහුවෙන පොතක් කියවන්න... පොත් ගැන ලිස්ට් හදාගෙන ඉන්න එක තේරුමක් නැහැ කියලයි මට හිතෙන්නෙ... මම කතා කරන්නෙ මට කියවන්න ලැබෙන පොත් ගැනනෙ... මීට වඩා හොඳ පොත් ඕන තරම් ඇති මල්ලී..

      Delete
  7. පොත්.. මමත් මේ දවස් ටිකේම පොත් ගොඩකට යට වෙලා හිටියා.. :) මේකත් අරන් බලන්න ඕනේ.. ජය වේවා..

    ReplyDelete
  8. ලස්සන පොතක් වගේ . හ්ම්ම් පරිප්පු කිලෝ කියක් විතර අත අරින්න වෙයිද ..පිටු බර ගානක පොතක් නේ
    කොලරා කාලේ ආලේ සිහි වුනා . අහිමි වූ ප්‍රේමය හැමදාම තරුණද මන්දා .

    ReplyDelete
    Replies
    1. අහිමි වූ ප්රේොමය හැමදාම තරුණයි... සුන්දරයි තමයි බින්දි.. ඒකත් හරියට " නෙළා ගන්න බැරි හින්දයි ඔබ ඔය තරමට සුන්දර " ගීතයේ වගේ තමයි........

      Delete
  9. පොත් ගැන දැනුවත් කලාට ඉස්තුතියි ...!!!!

    ReplyDelete
    Replies
    1. පොතක් කියවීමෙන් මම ලබන වින්දනය අනිත් අය එක්ක බෙදා ගන්න ලැබීම සතුටක්..

      Delete
  10. ඔය පොත මා ළඟත් තියෙන්වා.. ඒත් කියවන්න වුනේ නෑ... බරසාර පොතක් නිසාම සහ භාෂාවත් ටිකක් විතර බරසාර නිසාම මට වෙලාවක් නැතිවුනා.. හැබැයි ඔයාගෙ කවිය දැක්කාම ආස හිතුනා.. කියවන්න ඕනෙ.. තිත්ත කෝපි කියලත් පොතක් කියෙව්වා ඒකත් ටිකක් මේ වගේ ශෛලියෙ එකක් කියලා හිතුනා..

    //ඔව් මම වයසක ගැහැණියක්... අවුරුදු 76 ක්..
    ඒත් ම‍ගේ ආදරය තවමත් තරුණයි...
    මනරම් වසන්තයක් තරමටම....//

    වයසින් වියපත් වුනත්, ආදරේ වියපත් වෙන්නෙ නෑ.. එහෙම වියයුතු නෑ.. ලස්සනයි!!

    ReplyDelete
    Replies
    1. පොත බරසාර උණාට එක හුස්මට කියවගෙන යන්න පුළුවන් නංගි...

      Delete
  11. පොත්පත් ගැන දැනුවත්වන මාසේ..ඒත් මේ මාසේ තමයි පොත් ප්‍රකාශකයන් පාඨකයා හූරාගෙන කන්නේ.. මේකත් අගනා පොතක් .

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...