පිටු

Wednesday, November 28, 2012

විකිණෙන සොඳුරු අප්සරාවිය.... ( 01 )


බොහොමයක් දෙනා සිහින දකිනවා සුදුපාට මීදුම් රැල්ලක් දවටගෙන සීතලෙන් ගැහී ගැහී, පිපී හිනැහෙන මල් බල බලා සුන්දර නුවරඑළියේ සැරිසරන්න... හාත්පස දිලෙන හරිත වර්ණයෙන් ‍දෙ‍නෙත නිවා ගන්න... දිය ඇල්ලක සිලි සිලි ගීතය අහන්න.... හැබෑවටම එය නැවත නැවත දකින්න කැමති හීනයක් තරමට සුන්දර අත්දැකීමක්... රාජකාරි කටයුත්තකට නුවරඑළි යන්න ලැබුණ නිසා පහුගිය දවස් කීපයක අපූරු අත්දැකීම් රැසක්ම විඳින්න ලැබුණා... ගම්නියම් ගම්වල සැරිසරන අතරතුර නුවරඑළි අප්සරාවි‍යගේ දිදුලන නෙත් කැල්ම යට හැංගිලා තියෙන කඳුළු කැටත් හිත පත්ළටම ගිහින් ලැගුම් ගත්තා....

අපි නවාතැන් ගත්තෙ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් සංචාරක නිවාසයක... රාත්‍රිය සීතලයි.. නමුත් එය දරා ගන්න බැරි තරම් කටුක සීතලක් නෙවෙයි.. උණුසුම් පපුවක හිස ති‍යාගෙන ඇස් දෙක පියා ගන්න හිතෙන සෞම්‍ය සීතලක්.... කරාමයෙන් උණුවතුර ගැලුව නිසා, විල්ලුද ඇතිරිල්ලක සුවය ‍ගෙනෙන බ්ලැන්කට් තිබුණ නිසා සීතලට බැරි උණා කරදරකාරයෙක් වෙන්න නම්... සමහර වෙලාවට කකුලෙන් ඇදල ටිකක් කිතිකවනවා ඇරෙන්න....

අප්සරාවියගේ අරුණැල්ලක අසිරිය



හැමදාමත් උදේ හය වෙද්දි නුවරඑළියේ සුන්දර උදෑසන පිළිගන්න මම එළියට බැස්සා... මුල්ම දවසෙ වටපිටාව මීදුමෙන් පිරිලා. රෝස මල්වල දිලිසෙන පිණිකැට.. වැස්සක පෙරනිමිති කියන තෙතබරිත බවක් හාත්පස තිබුණෙ...  එදා දවස ගෙවුණේ ලබුකැලේ, කොත්මලේ ප්‍රදේශයේ.. දවසම මීදුම... අසුරු සැණෙකින් හාත්පසින් මීදුම අපිව වට කර ගත්තෙ හදිසියෙම කඩා වැටුණ අමුත්තො ගැන විපරම් කරන්නට වගේ. එතැන් සිට එදා දවසම අපි හිටියෙ සීතල මීදුම් සලුව පොරවගෙන. පොද වැස්සේ මුණු මුණුව අසමින්..... කුඩෙත් අල්ලගෙන, සාරිත් උස්සගෙන, කඳු පල්ලම් නගිමින් බහිමින් ගෙයින් ගෙට යද්දි විඩාවක් දැණුනෙ නම් නෑ කොහෙත්ම... සුන්දර නුවරඑළියේ ඇතුළට යන්න යන්න ජීවිතය කොයි තරම් දුෂ්කරද කියලයි හිතුණෙ.

හවස දෙකට විතර මුණ ගැහුණෙ මේ පුංචි පැටව් ටික

දෙවෙනි දවසෙ උදෑසන හාත්පසින්ම වෙනස්... ඈත කඳු පේළි අතරින් හිරු රැස් එබිකම් කර කර මෑත කඳු පේලි රිදී පාට කරනවා... මෑත කඳු යායක ගස්වල තෙත් කඳන් හිරු එළියෙන් දිලිසුණේ රිදී කුළුණු වගේ. බලාන ඉද්දිම වගේ කඳු මුදුන්වල වැතිරිලා ගිමන් නිවූ මීදුම හෙමිහිට හෙමිහිට බොඳ‍ වෙලා ගියා... මනාලියකගේ සුදු සේලයක් පාවී යන්නාක් වගේ. පිණී බින්දු තවර ගත්ත රෝස, ඩේලියා ඉර එළියේ දිලුණෙ සතුටින් ඉපිලෙන්නා වගේ...

හිරු රැසින් බොඳ වෙන මීදුම් සේලය 

'' අද නම් අහස පැහැදිලියි.. හොඳ දවසක් වේවි'' අපි හිතුවා.. ඒත් පැයක් වත් ගියේ නෑ. මෙන්න අහස ඉකි බිඳිනවා. පොද වැස්ස.... '' මේ තමයි නියම නුවරඑළිය.. වැස්සයි, මීදුමයි නැත්නම් නුවරඑළියෙන් වැඩක් නෑ" රාජකාරිය සඳහා අප හා එක්වුණු නුවරඑළි මිතුරෙක් පැවසුවා.

නුවරඑළි අහසත් මගේ හිත වගේ.. වෙලාවකට හරිම පැහැදිලියි. හිනාවෙන් පිරිලා. ඒත් හිතා ගන්නත් බැරි තරම් ඉක්මණට අඳුරු වෙනවා... නුවරඑළි අහසට ඒ වෙනස ලස්සනක් උණාට ජීවිතේට නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි.....

අප්සරාවියගේ රුසිරු

නුවරඑළි යන කිසිවෙකුට අමතක නොවෙන දසුනක් තමයි ග්‍රෙගරි වැව.... ග්‍රෙගරි වැව ළග ගත කළ හැන්දෑවත් සුන්දර මතකයක්... රු. 50 ක් දීල ඇතුළට ගිය අපට රු. 100 දීලා පැයකට බයිසිකලයක හිමිකරුවකු වෙන්න පුළුවන් වුණා. ග්‍රෙගරි වැවේ එක් කොණක සිට අනික් කොණට බයිසිකලයෙන් යන එක අපූරුයි. විවේකයක් ගන්න ඕනෙයි කියල හිතුණොත්, සුන්දර දසුනක අසිරියෙන් නෙත් දැහැන්ගත කර ගන්නට අවැසිතාවක් දැණුනොත් බයිසිකලය පසෙක නවතා ලී බංකුවක වාඩි වෙන්නත් පුළුවනි.  වටපිටාව හරිම ලස්සනට සැලසුම් කරල තිබුණ වුණත්, වැව් තලය අයිනෙ එක් වෙලා තියන ප්ලාස්ටික් බෝතල්, ෂොපින්කවර, කුණු කසල දකිද්දි නම් හිතට දුකයි... ලස්සන තැනක මේ දේවල් නොදා රැක ගන්න එක සංචාරකයින්ගෙ වගකීම වගේම, සුන්දරත්වය මුදලට අලවි කරන තැනක ඒ සුන්දරත්වය නඩත්තු කරන්නත් කැපවීමක් කළ යුතුයි නේද?




බෝට්ටුවෙ වැව වටා සවාරියක් යන්නත් අවස්ථාවක් තියෙනවා. ( නුවරඑළියෙ කොතැනකට ගියත් පර්ස් එකට තට්ටු වෙන්න තියෙන ඉඩ වැඩියි. හැම දේටම මිලක් නියම වෙලා තියෙනවා.. ඒ නිසා එහෙ යන්න ඕන සල්ලි ටිකක් වැඩිපුර අතේ තියාගෙන තමයි. ) වේග රිද්ම ගීයකට නටන නව රැල්ලේ කොලු කෙල්ලන්ටත්, දරුවන් අතින් අල්ලන් ඇවිදගෙන යන මව්පියන්ටත්, සොබාදහමේ අසිරියෙන් නෙත් සිත් සනසන දෙස් විදෙස් සංචාරකයින්ටත්, සෙනෙහසේ සුවදායක නි‍මේෂයක් පතන පෙම්වතුන්ටත් ග්‍රෙගරි වැව අපූරු තැනක් කියලයි මට හිතුණෙ...


රෑ අඳුර වැවට එපිටින් කැලෑවේ ඉඳන් වැව් තලය උඩින් අඩි තියාගෙන එන කොට වැව අයිනෙ පුංචි දුපතක් මවන පඳුරු ගොන්නෙ රාත්‍රිය ගත කරන්න කොක්කු රෑන් පිටින් එනවා.. තැනින් තැන විදුලි පහන් දැල්වෙනවා... හිමිදිරියෙ ග්‍රෙගරි වැව මවන සුන්දර දසුනට නොදෙවෙනි දසුනක් තමයි මේ හැන්දෑකරේ මැවෙන්නෙත්.... නුවරඑළි‍ ගියොත් හිමිදිරියකත්, හැන්දෑවකත් ග්‍රෙගරි වැව ළගට යන්න අමතක කරන්න එපා.... සුන්දරත්වයේ රටාව වෙනස් කරන්න ඉරට ඇත්තේ පුදුමාකාර හැකියාවක්...

( තවත් නුවරඑළි මතක සැමරුම් එක්ක ආයෙම හමුවෙමු. )

13 comments:

  1. harima lassana wistharayak ...mageth sitha gath sundhara nuwara eliya ...lassana matghkaa satahan rAsak Athi thAnak. mage dhulaa ekka yanna perum puranawaa

    ReplyDelete
  2. හරිම ලස්සන විස්තරයක් ...මගෙත් සිත ගත් සුන්දර නුවර එලිය ...ලස්සන මට්ඝ්කා සටහන් රැසක් ඇති තැනක්. මගෙ දුලා එක්ක යන්න පෙරුම් පුරනවා

    ReplyDelete
    Replies
    1. සුන්දර මතක සටහන් නම් අප්රාමාණයි. වැඩ වැඩිකම නිසා දවස දවස ගෙවිල යනවා... කීයක් නම් මතකයෙන් ගිලිහිලා යයිද කියල තමයි හිතා ගන්න බැරි.

      Delete
  3. ඇත්තටම සුන්දර මතකයක අති සුන්දර සටහනක්

    ReplyDelete
  4. හරිම ලස්සනයි තරු අක්කෙ. නුවරඑළිය ට මමත් හරිම ආසයි. කතාව ඇත්ත...වැස්සයි මිදුමයි නැත්නම් ඉතින් ඒ නුවරඑලිය නෙමෙයි :) අපේ නෑයෝ ටිකක් ඉන්නවා ග්‍රෙගරි වැව අයිනෙන් පොඩ්ඩක් උඩට යනකොට. අපි ගොඩක් වෙලාවට එහෙ තමයි නවතින්නේ ගියාම. නුවරඑලිය වගේම එයාලත් හරි හොඳ මිනිස්සු. ඉතින් නුවරඑලියට තියන කැමැත්ත දෙගුණ වෙනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුන්දරයි නුවරඑළිය... ඇතුළ් ගම්වලට යද්දි ඉතාම දුෂ්කරයි ජීවිත... ජීවිත අරගලයක යෙදිල ඉන්න අහිංසක මිනිස්සු ගොඩක් මුණ ගැහෙන්නත් හැකි වුණා... එහෙ නෑදෑයො ඉන්න එක නම් වාසනාවක් නංගි... නැත්නම් නවාතැන්වලට සෑහෙන්න ගෙවන්න වෙනවා...

      Delete
  5. හරිම ලස්සන සටහනක්..ඔය ග්‍රෙගරි වැව ලඟට වෙලා ඇඟ හිටිවට්ටන හුළඟත් එක්ක වැව දිහා බලාගෙන ඉන්න මගෙ තියෙන්නෙ පුදුම ආසාවක්. අවුරුද්දකින් දෙකකින් විතර නුවර එළියට යන්න බැරි උනා....

    ReplyDelete
    Replies
    1. හොදට ඉර පායපු දවසක් නිසා මමත් ජර්සි නැතිව හැන්දෑවෙ වැව ළගට ගියේ... අම්මෝ ඒ හීතලේ හිරි වැටෙනවා තමයි. බයිසිකල් පැද්ද නිසා බේරුණා.

      Delete
  6. මගේ පුංචි කාලෙ ගෙවුනෙත් මේ දේසෙම තමා. කඳපොළ කියන පැත්තේ. මේ පෝස්ට් එකත් එක්කම ඒ අතීතයට ගියා.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. අපිත් කදපොල පැත්තෙ ගියා.... සුන්දර පැත්ත උණාට කදු ගැටවල, බෑවුම්වල ජීවත් වෙන අයට නම් ටිකක් දුෂ්කරයි නේද? සමකයේ වෙනස මොකක්ද? ඇවිත් බලන්න ඕන.

      Delete
  7. මෙදාපාර නත්තලට අනිවාර්යෙන්ම ගිහින් එන්න ඕන කියලා හිතුනා.අපේ මල්ලිලා සෙට් එකත් එක්කාසු කරගෙන ගිහින් එන්ඩ ඕනා.

    ReplyDelete
    Replies
    1. කොල්ලො ටිකකට නම් සතුටු වෙන්න හොද තැනක් තමයි.. නිදහසේ පරිසරය විඳින්න කැමති අයටත් අපූරුයි.

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...