Tuesday, October 30, 2012

සිව් දිනක සොඳුරු මතකය... ( 02 කොටස )



ධර්ම විවේකයකට තුලන ගිය සිව් දිනක අත්දැකීම  මම ඔබත් එක්ක බෙදා ගත්තනේ... එම ගමනේ තවත් අපූරු මතක ඉසව් කිහිපයක් මේ.. 


දවසේ පිය සටහන්....

හිමිදිරියෙන් අවදි වෙලා හැමදාම වගේ මම ගියේ එළිමහනට.. ඉර එළිය විඳින්න.. නිරුවත් දෙපය පිණිකැටවලින් නාවමින් තණකොල ගොල්ලෙ නිදහසේ ඇවිදින්න... දැනෙන සිහිල සිත පුරාම විඳින්න... මීදුමෙන් බොඳ වුණ හරිත පරිසරය දෙනෙතට, සිරුරට පමණ‍ක් නොවේ හිතටත්  සුවදායක හැගීමක් ගෙනාවා... කෘතිම සීතල කොන්ක්‍රීට් ගුහාවක සිරගතව ගෙවන 
ජීවිතයට මේ නැවුම් ඉර එළිය, සීතල පිණිකැට... ආශිර්වාදයක් වගේ...

සක්මනක සුවය විඳි නිල් තණ පලස


මේ එළිමහන් සක්මනේදී විසාල සිතුවිලි ගගුලක් ගලා ගෙන ගියා හිත අසලින්... ඒ සිතුවිලි ගගුලෙ දෙවියන්... ජේසු... මරියතුමිය.. බුදු හාමුදුරුවො විතරක් නෙවෙයි ගමේ පල්ලියෙ ස්වාමිගෙ ඉඳන් කාදිනල් දක්වාත්, අසරණ අහිංසක පීඩිත මිනිස්සුන්ගෙ ඉඳන් රාජපක්ෂ පවුල දක්වාත්... වැලි කැටේ ඉදන් ඉර හඳ දක්වාත් බොහෝ සිතුවිලි පාවුණා... ඒත් ඒ සිතුවිලි මම හිතට බරක් කර ගත්තෙ නැහැ... සැනසුම, සැහැල්ලුව බලාපොරොත්තුවෙන් ආව ගමනක් කිලිටි කර ගන්න අවශ්‍ය නැහැනෙ... නමුත් මගහරින්න බැරි අභියෝගයක් තියෙන බව නම් අමතක කරන්නම බැරි උණා...

ඉන්පස්සෙ උදේ තේ කෝප්පය ...

ආයෙමත් පුංචි පල්ලියෙ නිස්කලංක පැයක්... හිතත් එක්ක කතා කරමින්.. හිතට සවන් දෙමින්... බයිබලය හෝ පොතක් කියවමින්... පුදුමාකාර සැනසුමක් අත්වින්ද මොහොතක්...

ඉන්පස්සෙ උදෑසන ආහාරය....

පියතුමා එක්ක සාකච්ඡාව ඇරඹෙන්නෙ උදෑසන ආහාරයෙන් පස්සෙ... බයිබලය මුල් කර ගත්ත දේව ධාර්මික කරුණු ගැනයි කතා බහ වුණේ... නමුත් කාලීන ආගමික, සමාජ, දේශපාලනික කාරණා එක්ක දේව ධර්මය, ජේසුගෙ ජීවිතය  සම්බන්ධ කර ගනිද්දි පැහැදිලි වෙනවා කිතුනු අපි ඉදිරියෙ මග ඇරල යන්න බැරි  අභියෝගයක් තියෙනවා කියල. ඒ වෙලාවට නම් හිතට හරි බරක් දැනෙනවා... වෙන්න ඕන මොනවද? ඒත් අපි කරන්නෙ මොනවද කියල හිතෙද්දි.... සාකච්ඡා කළ කාරණා කිහිපයක් මේ විදියට පෙළ ගස්වන්නෙ මගේම මතකය අළුත් කර ගන්නයි... ( සමාවෙන්න ‍බ්ලොගය කියවන බොහෝ දෙනෙකුට මේ කාරණා අදාළ නෙවෙනවානම්...  )

හිතට දැණුනු දේව ධාර්මික කාරණා

·         ඇත්ත දේව ධර්මය හඳුන ගන්න නම් අපි බයිබලයේ මූලාශ්‍රවලට යන්න ඕන.. දැන් අපි කියවන බයිබලය ග්‍රීක් භාෂාවට ඇවිත්, ඉංග්‍රීසි වෙලා ඊටත් පස්සෙ සිංහල වෙලා තියෙන්නෙ.. හීබෲ භාෂාවෙන් බයිබලය දෙන අදහස ග්‍රීක් භාෂාවට පරිවර්තනය වෙද්දි ගොඩක් වෙනස් වෙලා තියෙන්නෙ ග්‍රීක් දර්ශනයේ බලපෑම නිසා... බයිබලය හදාරනවනම් හීබෲ භාෂාවෙන්ම හැදෑරීම තමයි වඩාත්ම හොඳ..

·         බයිබලය ධාර්මික ග්‍රන්ථයක් වගේම අපූරු සාහිත්‍ය කෘතියක්... ධර්මය පහදා දෙන්න කතන්දර කීමේ කලාව යොදා ගන්න පුළුවන් බවට හොදම සාක්ෂියක්...

·         බයිබලයේ ඉතිහාසය තුළ ජීවත් වන දෙවියන් හඳුනා ගන්න. ඒ දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක්. ආධිපත්‍යයක් නොදරන, අවදානම් දරමින් ජීවිතේ ඉදිරියට යන්න නිදහස දෙන දෙවි කෙනෙක්... වැටීම්, රිදීම්, තැවීම් තුළ ජීවිතේ ඉගෙන ගන්න ඉඩ හරින, සමාව දෙන්න සූදානම්  දෙවි කෙනෙක්. ඒ වගේම දිළින්දන් පීඩාවට පත් කරන දුෂ්ටකම්වලට උදහස පාන දෙවි කෙනෙක්... බයිබලය තුළ දිග හැරෙන මානව ඉතිහාසය පුරාම මේ දෙවියන් මිනිසුන් අතර අන්‍යොන්‍ය බැඳීම පවතිනවා. ඒක පියපුත් සම්බන්ධතාවයක්... දෙවියන් වහන්‍සේට ඕන කරන්නෙ පරිණත විදියට හිතන වැඩ කරන, අවදානම් ගන්න, වැටි වැටිත් නැගිටින දරුවො.. ( හුරතල් කරන්න බබ්බු නෙවෙයි පියතුමාගෙ වචනවලින්ම කියනවනම්... )




·         මේ දේව තාත්තා පරිපූර්ණ තාත්තා කෙනෙක්.. කරුණාවන්ත තාත්ත ‍කෙනෙක්.. ඒ පරිපූර්ණත්වයත්, කරුණාවන්තකමත් දේව ස්වරූපය දරන අපෙන් එතුමා බලාපොරොත්තු වෙනවා.

·         දෙවියන් වහන්සේ නිර්මාණශීලියි.. එහෙමනම් දේව ස්වරූපය දරන, දෙවියන්ගෙ දරුවො වෙන අපිත් නිර්මාණශීලී වෙන්න ඕන..

·         දෙවියන් වහන්සේ අන්ධ විශ්වාසයට විරුද්ධයි.. ප්‍රශ්න කරන්න, තර්ක කරන්න, සාකච්ඡා කරන්න... ධර්මය අවබෝධ කර ගන්න ලැබෙන්නෙ එවිටයි.  ජුදා සම්ප්‍රදාය තුළ එකවර කිසි දෙයකට එකඟ වෙන්නෙ නැහැ.. ඒ බලපෑම බයිබලය තුළ ගොඩ නැගෙන දේව ධර්මයටත් තියෙනවා...

·         දෙවියන් වහන්සේ තුළ යැපෙන ජීවිතයක් ගැන විශ්වාසයක් නැති නිසයි අපි රැස් කරන්න උත්සාහ කරන්නෙ. ( ධනය, බලය, නිලතල, නම්බු නාම.. ) ඒ වගේම අපි අසහනයෙන්, කලකිරීමෙන්, පීඩාවෙන් ඉන්නවනම් ඒ විශ්වාසයක් නැති කම... කුරුල්ලො වගේ සැහැල්ලුවෙන් ඉන්න....

·          දේව වචනය කියන්නෙ මෙනෙහි කරන්න සිතුවිල්ලක්වත්, දර්ශනයක්වත් නෙවෙයි. බයිබලය තුළ දෙවියන් වහන්සේ කතා කරන හැම අවස්ථාවකම ඇහුම්කන් දීම සහ ක්‍රියාත්මක වීම කැපී පේනවා... මේ නිසා ක්‍රියාවෙන් තොර ඇදහීම නිෂ්ඵලයි.

තවත් කාරණා ගොඩක් කතා කළා... මට හිතෙන්නෙ මේ ටික ඇති කියලයි. දින හතරක් පුරා කතා කළ දේවල්, මෙනෙහි කළ දේවල් ලියන්න පෝස්ට් සීයක්වත් ලියන්න වෙයි.

පුංචි පවුල රත්තරන්...

අපේ කෑම බීම ටික හදල දෙන්න, අපේ නේවාසිකය රැක බලා ගන්න හිටියෙ පුංචි පවුලක්. අම්මයි, තාත්තයි, අවුරුදු පහක පුංචි පුතයි. අවුරුදු විසිතුනක් වයසැති මේ තරුණ අම්මා හරිම කඩිසරයි. මිත්‍රශීලීයි. ඒ වගේම ඈ හදන කෑමත් හරි රසයි. චතුක පුංචි පුතා මේ දවස් කිහිපයේ දේව ධර්මයට ලබා දිය නොහැකි වූ අපූරු චමත්කාරයකින් අපේ හිත් පිරෙව්වා ඇත්තටම... හරිම ආදරණීය, දඟකාර දරුවෙක්..වෙලාවකට හරිම පණ්ඩිතයි..මේ දරුවගෙ කරේ කුරුසයක් දැම්ම කළු පටියකුයි, සුරයකුයි දෙකක්ම තියෙනවා... ආගම් දෙකක සංකලනයක්... අම්ම කතෝලික.. තාත්ත බෞද්ධ... තුලන ආයතනයේ නමට, කාර්යභාරයටම ගැළපෙන පුංචි පවුලක්...

එක දවසක රෑ කෑමට අපට ඉඳි ආප්ප එක්ක මාළු හොදි තිබුණා.. ඔන්න චතුක පුතා කෑම මේසෙ වටේ කැරකි කැරකි මෙහෙම කියනවා...
'' ඔය තියෙන්නෙ මං අල්ලපු මාළු.. මම නැවක මුහුදු ගිහින්, බිලී පිත්තට පණුවෙක් දාලා මාළු දහයක් ඇල්ලුවා... ඒ මාළු තමයි ඔයාලට උයල තියෙන්නෙ අපේ අම්මා... ''
'' ඇත්තට....... ඔයා හරි හපනෙක්නේ...'' අපිත් හිනා වෙලා පුතාව අගය කළා.

චතුක කැමති නෑ එයා යන්නෙ මොන්ටිසෝරියට කියල කියන්න. එයා කියන්නෙ '' මම යන්නෙ ලොකු ඉස්කෝලෙ. මට හැමෝම කියන්නෙ අයිය කියල..'' හැබැයි අයිය ගෙදර ආවම තාමත් අම්මගෙන් කුක්කු ‍බොනවා.. මේ ගැන විහිළු කළාම පුංචි එකා ලැජ්ජාවෙන් ඇකිලෙනවා...
මගේ කැමරාව අතේ එල්ලගෙන ‍වත්ත වටේ කැරකි... කැරකි අපූරු ෆොටෝ ටිකකුත් ගත්තා එයා. මේ තියෙන්නෙ චතුක ගත්ත ෆොටෝ...


පොල් ගෙඩි ඡායාරූපය.. 

ලස්සන අහස නේද?

අපූරු ඡායාරූප ශිල්පියෙක් වගේ


සමනලයෙක්වලු අර ගත්තෙ.. පුළුවන් නම් හොයන්න.

එයාට එයාගෙම පින්තූරයක් ගන්න ඕන වෙලා...

නිදිකුම්බා මල් යායක්... 

තුලන ගෙවුණු සිව් දින නිස්කලංක ගත වුණු මතකයෙන් නොගිළිහෙන සිව් දිනක් වුණා.. ඇත්තටම එය ධර්ම විවේකයක්. ජීවිත විවේකයක්... මේ වගේ විවේකී නැවතුමක් හැම ජීවිතයකටම අවශ්‍යයි කියල මට හිතෙනවා ජීවිතේට අළුත් පණක් එකතු කර ගන්න. 

Thursday, October 25, 2012

රන් කිරි කැටියා


සිඟිති සුරංගනාවී....

සුරංගනා ලෝ‍කෙ ගැන ඔයාල වැඩි දෙයක් දන්නෙ නැහැනෙ... සුරංගනා ලෝකෙ ගොඩක් සුරංගනාවියො ඉන්නව තමයි. ඒ වගේමයි සිඟිති සුරංගනාවියොත් මහ හුඟක් ඉන්නවා. සිඟිති සුරංගනාවියන්ගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි ළමයිව බලා ගන්න එක.... එයාලව සතුටින් තියන එක... ඒක ලේසි වැඩක් නම් නෙවෙයි.. වැඩියක්ම ඒ රාජකාරිය අමාරු වෙලා තියෙන්නෙ අම්මල, තාත්තල, වැඩිහිටියො නිසාම තමයි.... සුරංගනා ලෝකෙ තියෙන දින පොතේ සිඟිති සුරංගනාවියො තමන්ගෙ අත්දැකීම් ලියනවා.. සුන්දර, දුක්බර, කටුක අත්දැකීම්... සිඟිති සුරංගනාවියක් කැමති උණා ඒ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න. ඇයි කියනවනම් අම්මල, තාත්තල, වැඩිහිටියන්ට පුංචි අයගෙ හිත් කියවන්න පහසු වෙන්නයි... අපිත් කියවල බලමු මොනවද එයාල ලියල තියෙන්නෙ කියල...


'' රන් කිරි කැටියා ''

මේ චුටි පුතෙක් ගැන කතාවක්... චූටි පුතු ඉපදෙද්දිම එයාගෙ උඩු තොල හරියට පිහිටල තිබුණෙ නැහැ. කැපුම් පාරක් වගේ උඩු තොල බෙදිලයි තිබුණෙ. ඒ නිසා පුංචිම කාලෙ එයාට හරියට කිරි උරන්නවත් බැරි උණා. එයා ඉපදුණු දවසෙ අම්මටයි, තාත්තටයි හැමෝටමයි හරිම දුකයි ඉතින්... චූටි පුතු අයිය වගේ නෙවෙයි. කෙට්ටුයි. බරත් අඩුයි. අම්මයි, තාත්තයි දෙන්න ගොඩක් සල්ලි වියදම් කරල තොල්පට හැදුවා. දැන් නම් හොයන්නවත් බැහැ. සීරුවෙන් බැලුවොත් පේන පුංචි කැලලක් විතරයි තියෙන්නෙ. ඒ වුණත් චූටි පුතු තාමත් කෙට්ටුයි. අත් කකුල් කෝටු වගේ. ඒ හින්ද අම්ම චූටි පුතුට කිව්වෙ '' කෝටු චූටි '' කියලයි. ආදරේටයි එහෙම කිව්වෙ. චූටි පුතුට දුක හිතුණා එහෙම කියද්දි. ඒත් එයා දන්නෙ නෑ කොහොමද මේක අම්මට ‍තේරුම් කරන්නෙ කියල. තාම එයා පුංචියි අවුරුදු තුනකුත් නැහැනෙ.

අම්ම වැඩට ගියාම චූටි පුතුව බලා ගන්නෙ මම්මාච්චි. .. මම්මාච්චි නම් චූටි පුතුට කතා කරන්නෙ '' මගෙ රන් කිරි කැටියා '' කියලයි. ඉතින් දවසක් චූටි පුතු මම්මාච්චිගෙ තුරුලෙ හුරතල් වෙවී ඉන්න ගමන් කියනව මෙහෙම...

'' මම්මාච්චි නම් මට කියන්නෙ රන් කිරි කැටියා කියල. ඒත් අම්ම කියන්නෙ කෝටු චූටි කියලනේ..."

ඒ කියපු තාලෙටයි, ඒ වෙලාවෙ චූටි පුතුගෙ මූණෙ තිබුණ අහිංසකකමටයි මම්මාච්චිගෙ ඇස්වල කඳුළු පිරුණා. මම්මාච්චි හීන් සීරුවෙම චූටි පුතුගෙ අම්මට දොස් කිව්වා.

" ආයෙ එහෙම කවදාවත් ළමයට ඔය වගේ නම් කියල කතා කරන්න එපා... පුංචි උනාට ළමයින්ගෙ හිතට බලපානව ඕවා.."

මම්මාච්චි තරවටු කළා.

ඉතින් දැන් අම්ම වැඩ ඇරිල ගෙදර එන්නෙම කෝ මගෙ රන් කැටියා කියාගෙන... අම්ම දැන් ආදර වචන ගොඩක් කියනවා. මගේ වස්තුව, මගේ රන් කැටේ, මගේ සුදු පුතා... වගේ... ඉතින් චූටි පුතුට හරිම සතුටුයි. සිඟිති සුරංගනාවිටත් සතුටුයි...


ප.ලි.
මම මේ සිඟිති සුරංගනාවිගෙ ලිපි පෙළ ලියන්න පටන් ගත්තෙ සාමන්ත සොයුරාගෙ කැඩපත සඟරාවට. මට ඕන වැඩි දුර නොහිතා නොබලා අපි කරන ‍කියන දෙයින් පුංචි දරුවන්ට සිදු වන අසාධාරණකම් ගැන සරලව, හිතට දැනෙන විදියට, කෙටියෙන් කතා කරන්නයි. මම ලියන්න හිතන් ඉන්න කතා එකක්වත් මනඃකල්පිත කතා නම් නෙවෙයි.  මගේම අත්දැකීම් හෝ මම ඇසු දුටු දේවල්...

Tuesday, October 23, 2012

සිව් දිනක සොඳුරු මතකය...



මද ඉසිඹුවක් ගමු ජීවිත ගමනේ...

හැල්මේ දිව යන ඒකාකාරී ජීවිතේට, විවේකයක් අරගෙන ටිකක් හිතල බලල, අළුත් පණක් අරන් ඉදිරියට යන්න ඉඩක් හදා ගන්න එක මට හිතෙන්නෙ අපි හැමෝගෙම ජීවිතවලට හරිම වැදගත් කියල. රැකියාවෙනුත් නිවාඩු අරන්, එදිනෙදා ජීවිතේ හැම කටයුත්තකින්ම නිදහස් වෙලා විවේකී දින හතරක් ගත කිරී‍මේ වාසනාව උදා කර ගත්තෙ ඒ අරමුණ ඉටු කර ගන්න. ( තනිකඩ ජීවිතේ විශේෂ වරප්‍රසාදයක් තමයි මේ... හංසයෙක් වගේ හිතුමතේ සැරිසරන්න තියෙන නිදහස... ) ශුද්ධවු පවුලේ පැවිදි සොයුරියන් කිහිපදෙනෙක් සමග ඔවුන්ගේ වාර්ෂික ධර්ම විවේකයට (retreat ) සහභාගි වෙන්න මටත් ඉඩක් ලැබුණෙ අපේ තිබුණ දිගුකාලීන සුහද බැඳීම් සහ අනෝන්‍ය තේරුම් ගැනීම නිසාමයි.

කාර්යාලයේ සියලුම රාජකාරි කටයුතු නිසියාකාරව නිම කරල, පාලනාධිකාරයත් දැනුවත් කරල නිවාඩු ගත්තෙ.. මං නැති අතරෙ කාර්යාලෙ යාළුවො ටික මා නිසා කරදරවලට මුහුණ දෙනවට අකමැති නිසා  හැමදෙයක්ම සම්පූර්ණ කළා... ඒක හිතටත් සැනසීමක්...

දුරකථනයට, අන්තර්ජාලයට නිවාඩු දුන්නා... මග හැරිය නොහැකි වූ එකම කෙටි පණිවිඩයක් විතරයි යැව්වෙ දින හතරටම. එයම මොන තරම් සැහැල්ලුවක් ගෙන දුන්නාද හිතට...? අතුරුදහන් වෙන්න කළින් ගෙදර අයව, අමතයි කියල හිතන අයව දැනුවත් කළා කළින්ම, අධ්‍යාත්මික ගවේෂණයකට යන බව කියල. නැත්නම් මම ආපහු එද්දි මාව හොයන්න පොලිසියෙනුත් දාල තියේවි...

තුලන....

අපි ගියේ තුලන පර්යේෂණ මධ්‍යස්ථානයට.. තියෙන්නෙ ගෝණවල, කැලණියේ... ආරම්භ වෙලා තියෙන්නෙ 1974 වර්ෂයේ... තුලන කියන නම ‍මේ තැනට දීල තියෙන්නෙ සන්සන්දනාත්මකව, තුලනාත්මකව නිවැරදි ධර්මාවබෝධයක් ලබා දෙන ස්ථානය කියන අරුතින්.. මෙය අන්තර් ආගමික,  සංස්කෘතික සංවාදයට ඉඩ ලබා දෙන තැනක්.. ආගමික භේද අබිභවා යමින් සෑම දහමකම හරය තුළ වර්ධනය වීමට ඉඩ ලැබෙන තැනක්... ධර්මය තුළ අළුත් වෙන්න මග පෙන්වන තැනක්... ඒ වෙනුවෙන්ම සැදී පැහැදුණු දුර්ලභ පොතපතින් පිරිපුන් අපූරු පුස්තකාල හතරක් පමණ තියෙනවා..

චාම් පුංචි පල්ලිය යැදුමට භාවනාවට අගේ ඇති තැන... බයිබලය එක්ක, ධම්මපදය, භගවත් ගීතාව, කුරානය සම අසුන් දරනවා... පල්ලිය ඇතුළත් පුංචි පුස්තකාලයක් වගේ.. විවිධ ආගමික පොත් තියෙනවා.

චිත්‍ර, මූර්ති, සංගීතය, පොතපත, චිත්‍රපට මේ හැම දෙයකින්මත් තුලන පොහොසත්...  හරියට කලාගාරයක් වගේ... ස්වාමින් වහන්සේ නමක් විසින් අඳින ලද ලස්සන චිත්‍ර රැසක් අපේ නේවාසිකයේ කොරිඩෝර‍ය දිගට එල්ලා තිබුණා. ( පින්තූර ටිකක් ගත්තෙ නැති එක නම් දුකක්... )

නිල්ල පිරුණු පරිසරය සැබවින්ම සිතට ගතට සුවදායකයි....

ඒ සියල්ලම වඩාත් අරුත් ගැන්වෙන්නෙ.. දැනුම් සාගරයක්, දහම් ආකරයක් බඳු ජේසු නිකායික ගරු ඇලොයි පීරිස් පියතුමා නිසයි...


දේවධර්මාචාර්ය පුංචි ළමයා....

ඇලොයි පියතුමා ගැන මම අහල තිබුණෙ ‍බොහොම කළින්.. එතුමා ලියන දේවල් කියවන්නටත් ලැබිල තිබුණා.. නමුත් එතුමාගෙ කතාවක් මුල් වරට ඇහුවෙ සැප්තැම්බර් 29 දින පැවති කිතුසර සංවත්සර උළලේදී.. එකපයින්ම තුලන යන්න කැමති වෙන්න එදා කතාවත් හේතුවක් වුණා ඇත්තටම.

විමුක්ති දේවධර්මය ( Liberation Theolgy ) ගැන ලංකාවෙ ඉන්න දැනුවත්ම, උගත්ම පියතුමා........  
ඒ වගේම හීබෲ භාෂාවෙන් බයිබලය හදාරා ඇති පියතුමෙක්....
බයිබලයේ දේව ධාර්මික පදනම මැනවින් අවබෝධ කර දෙන්න හැකියාව ඇති පියතුමෙක්..
දෙස් විදෙස් විශ්වවිද්‍යාලවල උගන්වන.. ඉංග්‍රීසි බසින් පොතපත ලියා ඇති දැනුම් සාගරයක්...
හීබෲ, ග්‍රීක්, ලතින්, ඉංග්‍රීසි භාෂා දන්නවා... ( තව මම නොදන්න භාෂාත් ඇති. )
පාලි, සංස්කෘත භාෂා දන්න.. බුදුදහම පවා ගැඹුරට හදාරා ඇති පියතුමෙක්...
නිළ සභාවට, වත්පිළිවෙත්වලට අභියෝගයක් වුණ පියතුමෙක්..

ඔන්න ඔය වගේ කාරණා තමයි තුලන යන්න කළින් මම ඇලොයි පියතුමා ගැන දැනගෙන හිටියෙ. ඉතින් මම හිතින් මවාගෙන හිටියා මහා බැරෑරුම් පෙනුමක් එක්ක නළලත් රැලි කර ගෙන ආගම ගැන කියා දෙන පියතුමෙක්ව.

නමුත් තුලනට ඇතුළු වුණ අපිව පිළිගන්න ආවෙ බතික් කමිසයකින්, සරමකින් සැරසුනු හිනා කටක් පුරවා ගත් සරල මනුස්සයෙක්. තුලන හිටිය දින හතර පුරාම එතුමන්ගේ ඒ සරල ස්වරූපය වෙනස් වුණේ නැහැ. වරින් වර මතුවුණ කතා බස්වලදි අපූර්ව චරිතයක ආනුභාවයයි මා අබියස දිග හැරුණේ. අවුරුදු 78 ක් වයස වුණත් තාරුණ්‍යයේ කඩිසරබවකුත්, ළමා වියේ සැහැල්ලු සුන්දරත්වයකුත් එතුමන් තුළින් නිතරම දිස් වුණා....

හැම උදේකම පියතුමා  ඇවිත් අපිට ටිකක් කතා කරල දවස පුරාම සාකච්ඡා කරන්න, භාවනා කරන්න මාතෘකාවක් දීල යනවා. ගැටලු තැන්වලදි අපට අවස්ථාව තියෙනවා පියතුමා එක්ක සාකච්ඡා කරල ඒව නිරාකරණය කර ගන්න. ‍අපි කණ්ඩායම එකතු වෙලා සාකච්ඡා කරමින් ඉන්න වෙලාවට ඇවිත් ඈතට වෙලා අහගෙන ඉන්නව වෙලාවකට පුංචි ළමයෙක් වගේ හිනා වෙවී....

දින දෙකක්ම රාත්‍රී ආහාරයෙන් පසුව අපට චිත්‍රපට බලන්න අවස්ථාවක් ලැබුණා. පළමු දවසෙ " Of Gods & Men" දෙවෙනි දවසෙ " Ten Commandments " චිත්‍රපටිය පෙන්වන්න දෙවෙනි මහළෙ පියගැටපෙළ නගින ගමන් පියතුමා මෙහෙම කියනවා.....

'' මම මේක දෙතුන් සැරයක්ම බලල තියෙනවා. මම ඔයාලට ෆිල්ම් එක ගැන පොඩි හැඳින්වීමක් කරල යනවා. වැඩ  ගොඩක් තියෙනවා කරන්න. ඔයාල බලල හෙට ඒ ගැන සාකච්ඡා කරන්න. ''  ඒත් චිත්‍රපටිය ඉවර වෙද්දිත් පියතුමා වාඩි වුණ තැනමයි. '' කොයි තරම් බැලුවත් එපා වෙන්නෙ නෑ... '' හිනා වෙමින් එහෙම කියන්නෙ. චිත්‍රපටියෙන් පස්සෙ ඒ ගැනත් ටිකක් කතා බහ කරල  රාත්‍රියටත් සුබ පතල තමයි එතුමා සමු ගන්නෙ...

එතුමන්ගේ පවුලේ සොයුරු සොයුරියන් 12 ක් ලු. ගැහැණු හයයි. පිරිමි හයයි.. පුංචි කාලෙ ගෙදර සංගීතයෙන් පිරී තිබුණු බවයි එතුමා කියන්නෙ. සංගීත භාණ්ඩ බොහොමයක් ගෙදරම තිබුණ නිසා ඒවා වාදනය කරන්නත් ඉගෙන ගත්තලු. මේ සංගීත මතක පොත දිග හැරෙන්නෙ පියානෝව ළග වාඩි වුණාම.. විටෙක ඉතාලි ගීතයක් වාදනය කරන පියතුමා තවත් විටෙක පැරණී සිංහල ගීතයක් වයයි. පියුමෙහි පැණි බොති වන බඹරු... සැළලිහිණි කොවුල් ... එතුමන් වයන තාලයට අපේ ගී හඬ මුසු වන විට ඒ මුහුණ පුරා පැතිරෙන්නේ අපූරු උද්දාමයකි...

'' සංගීතය නැති ජීවිතය හරියට පාස්කු ඉරිදාවක් නැති පාස්කුව වගේ... ගතියක් නැහැ... ''

'' අවුරුදු 5 - 12 ත් අතර ළමයින්ගෙ හිත් වලට යමක් කා වැද්දුවම ඒක මුළු ජීවිත කාලෙම මතක තියෙනවා... මට ලොකු ඕනකමක් තිබුණා ළමයි එක්ක වැඩ කරන්න. ඒත් ඉතින් මාව දේව ධර්මය ඉගෙන ගන්න යැව්වනේ.. ඉන්පස‍්සෙ ඉතින් ඉගෙනගන්නයි, උගන්වන්නයි ජීවිතේම කැප වුණේ.  '' අනතුරුව ළමුන් වෙනුවෙන් කළ නිර්මාණ කිහිපයක් ගැන කතා කළ පියතුමා එහි වීඩියෝ පටයක්ද නරඹන්නට දුන්නා... පියතුමා තුළ තවමත් නිර්මාණශීලී ළමයෙක් ජීවත් වෙන බවයි මට එයින් දැණුනෙ...

පියතුමා උගන්වන දේව ධර්මය අපි මෙතෙක් පල්ලියෙන්, දහම් පාසලෙන් ඉගෙන ගත්ත දේව ධර්මයට වඩා වෙනස්. හිතට සමීපයි. ඒත් සාම්ප්‍රදායික ආගම් අධ්‍යාපනයක හිර වෙලා ඉන්න කෙනෙකුට නම් අභියෝගාත්මකයි. තුලන හිටිය දවස් හතරෙ භාවනා කළ දේව ධාර්මික කාරණා ගැන වෙනම ලියන්න ඕන කියලයි මට හිතෙන්නෙ..

සෙනසුරාදා හැන්දෑවෙ තිබුණ දිව්‍ය පූජාවත් හරිම අපූරුයි. විච්චූර්ණ වැඩ නැති සරල දිව්‍ය පූජාවක්. බයිබලයේ කියවීම් සාකච්ඡා කරන්නයි වැඩි වෙලාවක් ගත්තෙ. එතනදි අපිටත් කතා කරන්න, ප්‍රශ්න කරන්න, පැහැදිලි කර ගන්න  අවස්ථාව තිබුණා. ජීවිතේ පළමු වතාවටයි මම සුදු ලෝගුවක් නැතිව සරම කමිසය ඇඳ ගත්ත පියතුමෙක් පවත්වන දිව්‍ය පූජාවකට සහභාගි උණේ. ජේසුගේ මරණයෙන් පස්සෙ මුල්ම කිතුනු ජනතාව අතරෙ තිබුණු ජීවන පිළිවෙත ආයෙම ඉපදුණා වගේ...

එතුමාගේ ජීවන රටාව හරි අමුතු භාවනාවක් වගේ.. එතුමා දිහා බලන් ඉන්න ගමන් ජීවිත ගමනට එක් කර ගත්ත පාඩම් මහගොඩයි..

'' ඩොක්ටර්ස්ලා කිව්ව මට පිළිකාවක් තියෙනවා කියල.. මාසෙ කීපෙකට කළින්. මම ගණන් ගත්තෙ නෑ.. තව පොත් හයක් විතර ලියන්න තියෙනවා.. මම ඒ වැඩ ටික කරගෙන ගියා. බෙහෙත් බිව්වා. සැහැල්ලුවෙන් හිටිය... දැන් කියනවා ලෙඩේ හොද වේගන එනව වගේලු...

මරණයට බයවෙන්න හොඳ නෑ... Let go… අත් හරින්න... ඒක අවශ්‍යයි. පුංචි බබෙක් වගේ අම්මගෙ බඩේ වතුර බෑග් එ‍කේ පීන, පීන ඇගිල්ලක් උර උර බොහොම සනීපෙට ඉද්දි එන්න බයයි ලෝකෙට... එන්නෙ අඬාගෙන, කෑ ගහගෙන... ආවට පස්සෙ තමයි වැඩේ... මෙන්න බොලේ ආදරය කරන්න කට්ටිය ගොඩයි... වැඩ ගොඩයි.. ඊට පස්සෙ ඉතින් යන්න බයයි... දාල යන්න බෑ කියල අඬනවා.... ආව වගේම තමයි යෑමත්... ඒ ලෝකයත් කොයි තරම් සුන්දරද? අත් හරින්න ඕන... අල්ල ගැනීමෙන් ඒ ගමන සතුටින් යන්න බැරි වෙනවා...

මම හිතුවෙ ජේසු වගේ මම අවුරුදු 33 දි මැරෙයි කියල... ම්හ්... නෑ... දැන් හිතනවා 80 දි මැරෙයි කියල. '' සැහැල්ලු සිනාවකින් සරසා ගත් මුහුණින් එහෙම කියන්නෙ. දැන් මැරුණත් කමක් නෑ. මගේ වැඩ කොටස කරලයි තියෙන්නෙ වගේ හැඟීමකින්....

දින හතරක ධර්ම විවේකයේ ලියන්න කාරණා තව බොහොමයක් තියෙනවා... නැවත හමුවෙමු.

Sunday, October 21, 2012

අසීමිත පෙමක මහිමය...




දැන සිටියෙ නැහැ මම.... ආදරවන්ත පියෙක් බව ඔබ මෙතරම්
ආධිපත්‍යයක් නොදරන ... අසීමිතව ප්‍රේම කරන...

හිතු දේ කරන්න නිදහස දෙන...
වරදින්න.. වැටෙන්න... රිදෙන්න... තැවෙන්න.. ඉඩ හරින
ගොඩනැගෙන්න... නැගිටින්න... සැනසෙන්න... සුවපත් වෙන්න.. මග පෙන්වන...
සමාව දෙන... තුරුළට ගෙන ආදරය පාන...
දයාවන්ත පියෙක් බව....

වා තැබුවෙ අපෙන් ඔබේ විමුක්තිදායක ආදරේ
මන්දැයි වැටහෙන්නේ දැන් මට....
අවදානම් සහිත මාවතක යන්න ඉඩ හරින
වැටීම්.. වැරදීම් තුළ පරිණත වෙන්න ඉඩ හරින
ඔබේ අසීමිත ආදරේ හුනා ගත් පසු
තවදුරටත් අප,
සම්මතය.... සම්ප්‍රදාය තුළ සිරගත කළ රූකඩ ලෙස
නටවන්නට නොහැකි නිසාමය...

පීඩිත මහ පොළවට දුරින් ඔබ ඉන්නෙ උඩ අහසෙ
එලෙසයි මැවුණෙ ඔබේ සිත්තම.... පුංචි කාලේ ඉන්
හිතුවෙ නැහැ ඔබ මාත් එක්ක යන එන... කන බොන...
න... සිනාසෙන... හුස්ම ගන්න දෙවි කෙනෙක් බව...

ුනා ගත්තෙ නැහැ මම..
සුළං රැල්ලේ... මල් සුවදේ .... ගලන ගුලේ... ගහකොල අතරේ...
මිනිසුන් ඇසුරේ.... සිනා කදුළු දහදිය අරගල අතරේ....
ජීවත් වන ඔබ..... අසීමිත ප්‍රේමයෙන් පිරිපුන්...පරිණත පියෙක් බව
සත්‍යය.. යුක්තිය.... ප්‍රේමය වෙනුවෙන් දිවි දෙන්නට වුව නිර්භය
දරු පිරිසක්ම අපේක්ෂා කරන... 


( විමුක්ති දේව ධර්මය සමග පෙමින් බැදුණ... නිස්කලංක.. අභියෝගාත්මක සිව් දිනකට පසුව...) 

Friday, October 12, 2012

රතු ඉද්දත් සුවඳයි....




සාහිත්‍ය මාසය නිම වී ඇති නිසා දැන් මගේ පොත් උණ හොඳ වී ඇතැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. දැන් දැන් පොත් ගැන කතාබහ අඩු වෙමින් යන බවක් පෙනේ. නමුත් පොත් කියවන අය සාහිත්‍ය මාසයේ දී පමණක් නොව වසර පුරාමත්, ජීවිත කාලය පුරාමත් කියවීමේ නිරත වන බව නම් නිසැකය. පොත් ගැන කිසිවක්ම නොලියූ මුත් පසුගිය කාලයේ පොතක් නොකියවූ දවසක් නැති තරම්ය. ඒ අතර සම්පූර්ණයෙන් කියවා නිම කළ  පොත් ලැයිස්තුව මෙලෙසිනි.

මිනිත්තු එකොලහ  - පවුලෝ කොයියෝ ( පරිවර්තන)
‍ජීවිතය අන් තැනක - මිලාන් කුන්දේරා ( පරිවර්තන )
පරඬැල්  - ශාන්ති දිසානායක
සිටුවර පුවත - රූපා ශ්‍රියානි ඒකනායක
රතු ඉද්ද - කරුණාදාස සූරිය ආරච්චි
ශුද්ධවු ජුදාස් - ( කෙටි කතා ) මංජුල වෙඩිවර්ධන

කියවමින් සිටින ( හිතෙන විට තැනින් තැන කියවන.... නැතිනම් මුල සිට අගට නොකියවූ ) පොත්

හිරුත් හිම පියල්ලක ( කවි ) - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
ඇහැල ඇමතුමකට ඇහැරෙමි  ( කවි ) - මංජුල වෙඩිවර්ධන
පියවි සිහිය සහ තේ පානය - සාමන්ත තැන්නගේ  ( පරිවර්තන )
නිසල විල - අචාන් චා හිමිගේ දේශනා ඇසුරින්
මගේ පවුලයි අනෙක් සත්තුයි  ( පරිවර්තන )
කිතුසර විසි වසර සංවත්සර ලිපි එකතුව

වැඩි වශයෙන් මට කියවන්නට ලැබෙන්නේද, මවිසින් බ්ලොගයේ සටහන් තැබුවේද පරිවර්තන පොත් සම්බන්ධයෙනි. පොත්වල අන්තර්ගතයේ ගුණාත්මක බව සේම, ආපට ආගන්තුක වූ සංස්කෘතීන්, පුද්ගලයන්, සිද්ධීන් පිළිබදව කියවන්නට, දැනගන්නට ඇති කුතුහලය නිසාම මසිත පරිවර්තන වෙතට වඩාත් ආකර්ශනය වී ඇතැයි සිතමි. සිංහල බසින් ලියවෙන පොත් වුවද අන් භාෂාවලට පරිවර්තනය වී වෙනත් රටවල අයට කියවන්නට ලැබුණේ නම් ඔවුන්ද මා වැනිම ආශාවකින්, උවමනාවකින් අපේ කතාත් කියවනු ඇතැයි මට සිතේ. එසේ සිතන්නට මම කැමති වෙමි.

පසුගිය සතිය තුළ මා කියවූ පරඬැල්, සිටුවර පුවත, රතු ඉද්ද ගැන යමක් ලිවිය යුතුමැයි මට සිතේ. මෙම කෘති තුනම මට මතක ඇති සැටියට ස්වර්ණ පුස්තක අවසන් වටයට නිර්දේශ වූ පොත්ය. මෙයින් වඩාත් මා සිත් ගත්තේ කරුණාදාස සූරියආරච්චිගේ ''රතු ඉද්ද'' නවකතාවය. මවිසින් කියවූ කෘති තුන අතරින් ''රතු ඉද්ද'' ඉදිරියෙන් සිටින්නේ යැයි මම සිතමි.

මතුපිටින් දිව යන අක්ක නගාලගේ කතාවක් ‍ලෙස දිස් වුවද, අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල සැඟවුණු න්‍යාය පත්‍රයන් පිළිබදව පැහැදිලිව කතා කරන ''රතු ඉද්ද'' නවකතාව, යුද්ධයෙන් පසු ලංකාවේ සාමය අලෙවි කිරීමට දරණ තැතද, ස්වාභාවික සම්පත් කොල්ල කන ජාන මංකොල්ලයද, ඒ හරහා මහා පරිමාණ ලෙස සැරිසරන මුදල් ප්‍රවාහයද, දැනුවත්ව හා නොදැනුවත්වම අධිරාජ්‍යවාදී හස්තවල ගොදුරු වී තම මිනිසුන් තම දේශයේ සම්පත් මුදලට පාවා දෙන මිනිසුන් ගැනද කතා කරයි. රාජ්‍ය වන නොවන සියලු අංශ වල මතුපිටින් පෙනෙන ක්‍රියාකාරිත්වයන් පිටුපස සැගවී ඇති අන්තරායකර න්‍යාය පත්‍රයන් පිළිබදව අප අවදි මනසින් සිටිය යුතු බව '' රතු ඉද්ද '' අපට අනතුරු ඇගවීමක්ද කරයි.

සොබාදහමේ උත්තරීතර බව ගැන නැවත නැවතත් සිතන්නට පෙළඹවීමක් ඇති කරන ''රතු ඉද්ද'', මනුෂ්‍යත්වය පිළිබදව ද සමාජයේ මතුපිට සම්මතයන්ගෙන් බැහැරව ‍ගොස් ආදරණීයව දකින්නට, සිතන්නට අප පොළඹවයි. ඉන්දුත්තරා, සඳවතී, ගුණවතී, ලඹිට්ටී, බිනරි, කෙන්යාවේ ඕන්ජා මෙහි හමු වූ අපුරු ස්ත්‍රී චරිත යැයි මට සිතේ.

නවකතා‍වේ අඩුපාඩුවක් ලෙස මට දැනෙන්නේ මේ සියලු ජාතික, ජාත්‍යන්තර කාරණා හසුරුවන සහ මෙහෙයවන දේශපාලනය පිළිබඳව යම් තරමකට හෝ සාකච්ඡා නොවීමයි. එසේම ''සුන්දරම්'' යනු අවසානයේ දේශයේ විනාශය මෙහෙයවන්නට ජාත්‍යන්තර හස්තයට ආධාර කරන එල්.ටී.ටී. ක්‍රියාකාරිකයෙක් බව නොකියා කියැවේ. සිංහල ඉන්දුත්තරා නිවැරදි කාරියක වන විට දමිළ සුන්දරම්, ඇමරිකන් එන්ජි වැරදි කරුවන් බවට පත් වේ. ඒ දැක්ම තුළ යම් පක්ෂග්‍රාහී බවක් ඇතැයි මට සිතේ. අපේ රටේ විනාශකාරී තත්වයන්ට සිංහල අපිත් වග කිව යුතු ‍නොවේද?

බරපතළ මාතෘකා කතා බහ වුවද නවකතාව එක හුස්මට කියවිය හැකිය. රසවත්ය. මෙහි ගස්වැල් පවා පණ ඇති චරිත බවට පත් වී ඇත. මගේ දැනුමේ, අවබෝධයේ, වින්ද‍නයේ  තරමට ''රතු ඉද්ද'' මට අගය කළ හැකි, ආදරය කළ හැකි කෘතියකි.

( ප.ලි. රතු ඉද්ද ගැන ලියැවුණු කිසිම විචාර ලිපියක් මේ තෙක් මට කියවන්නට ලැබී නැත. පොත කියවීමෙන් මට දැණුනු හැඟීම් ඔබ හා බෙදා ගන්නට පමණක් අවැසි විය. පරිවර්තන කියවන තරම්ම උනන්දුවකින් අපේ කෘතිද කියවිය යුතු යැයි මට සිතේ. ඒ සඳහා ඔබට ද ඇරයුම් කරමි. )

Tuesday, October 9, 2012

අමාවක පෝදා ... අද කවදාද මන්දා...





ගෙයි එකම කා‍මරේ ... වැල් කැඩුණු ළණු ඇඳ පාමුල
සින්ත පැදුරේ ඉඳන්....

අමාවක පෝදා ... අද කවදාද මන්දා...

දුරු රටක සිටින අයියාට ලියන වග නම්...

පෑරුණු තුවාලෙන් ඊයේ රෑත්
මහ තදට ලේ විද්දා..
දෙතුන් සියයක් අංක තිබුණත්
දුරකථන මතකයේ
තවත් දෙතුන් සියයක් අංක ඇතත්
පුංචි දිනපොතේ
කාටවත්ම කියන්නත්
හිතක් ආවෙ නැතුවා....

ඉරාගෙන රෙදි කඩක්
මරිය මව්තුමියගේ සළුවෙන්
තියා මෛත්‍රී භාවනාව තුවාලයට
වෙළන්නට හැදුවත්
තදින් ගැටයක් ගහන්නම බැරි උණා
නැවතුමක් නැතුවම ලේ ගැලුවා...

සුදු ඇඳුමක් ඇඳන් ඇවිදින් තාත්තා හීනෙන්
ඔලුව අත ගෑවා...
ඇස් අග කඳුළු බිඳු දිලිසුණා...
ඒ හී‍නේ  මං මාල හතක් පළඳන් උන්නා
පපුව හාරාගෙන අම්මා කහින කැස්සට
මල් පොකුරත් බිම වැටුණා 
ුරේම හිනාවක් නැගුණා..   

අයියේ කියන්න නම් කාරණා බොහොමයි
ඒත් ඒ හැමතැනම කඳුළුයි...

හිතේ හෑල්ලුවට කුරුටු ගෑවත් මැදියම
මේ අකුරු හෙට උදේ දැල්විලා කේතලේ නටවාවි..

කහට කෝප්පය බොන ගමන් අම්මා
අයියගෙන් ලියුමක් ආවදැයි
පුරුද්දට වාගේ මගෙන් අහාවි.....