පහුගිය සිකුරාදා ( 07 ) හැන්දෑවෙ වැඩ ඇරිල
මං වසරේ මුල්ම ළ.ක්‍රි.වී. ළමා සාහිත්‍ය වැඩමුළුවට යමින් හිටියෙ. ජා ඇල බස්
නැවතුමේ දී පොඩි උන් දහතුන් දෙනෙක් එක්ක ශ්‍රියන්ති අක්කත් ඒ බස් එකටම නැගෙනව
දකිද්දි සතුටකුත් දුකකුත් දැණුනා. අවුරුදු 25 කටත් වැඩි ඇති ඇගේ ළ.ක්‍රි.වී. අනුශාසක
දිවිය. නිමක් නැති අසනීපවලින් නිරන්තර දුක් විඳින ඇය තාමත් ළමයි එක්ක.
පුංචි උන් ටික ඉඩ තියෙන තියෙන තැන්වල වාඩි
උණා. සීට් එකේ තුන් හතර දෙනා බැගින්. ඒ හිරවීමත්, තදබදයත් විනෝදයක්. ඇත්තටම ළමා
විය කොයි තරං සැහැල්ලුද? එය මහා බරක් කරල තියෙන්නෙ වැඩිහිටි අපිම නේද? කිරි ටොපි,
බිස්කට් හුවමාරු වෙනවා. මටත් පංගුව ලැබෙනවා. කටුනායකදි අධිවේගි මාර්ගයේ බැම්ම
දකිද්දි පුංචි එකෙක් මෙහෙම කියනවා. '' අර බං ලොකු වැවක් ''
'' ඒ පුතේ කටුනායක කොළඹ අධිවේගී පාරෙ බැම්ම.
ඊට උඩින් තියෙන්නෙ පාර. ඒ පාරෙන් ඉක්මණට කොළඹ යන්න පුළුවන්.'' මං කියා දුන්නා. ඇස්
ලොකු කරගෙන අහන් හිටි පුංචි එකා අනිත් යාළුවන්ටත් විස්තරේ කියනවා. මං ආයෙත් මෙහෙම
කිව්වා.
''හැබැයි පුතේ මේ පාරවල්වල යනව වගේ නෙවෙයි.
ඒ පාරවල් වල යන්න සල්ලි ගෙවන්න ඕන. යන්න පුළුවන් අළුත් සැපපහසු වාහනවලට විතරයි.
මේ වගේ අබලන් බස්වලට යන්න බෑ. ''
ඒකත් ඇස් ලොකු කරගෙන අහන් හිටිය පොඩි එකා
යාළුවන්ට විස්තර කරල දෙනවා. මේ පුදුමෙන් ඇස් ලොකු කරගෙන අධි වේගී පාර දිහා බලන්
උන්නෙ වන්නියෙ ළමයි නෙවෙයි, මට්ටක්කුලියෙ ළමයි.
සාහිත්‍ය වැඩමුළුවට ළමයි 110 යි. බලාපොරොත්තු
නොවුණ සංඛ්‍යාවක්. මුලින්ම අනාගතේ ලේඛකයෙක් වෙන්න කැමති කවුද ඇහුවම අත ඉස්සුවෙ
තුන් දෙනයි. පුංචි පුස්තකාලයක් තිබුණට ආසාවෙන් පොත් කියෙව්වෙ කිහිප දෙනයි. කැටපත්
පවුරක් තිබුණට සිතුවිල්ලක් ලියන්න උත්සාහ කරල තිබුණෙ කීප දෙනයි. නිර්මාණ කරන්න
අවස්ථාව දුන්නම තරමක් හරි සාර්ථක නිර්මාණ තිබුණෙ කීපයයි. අද ළමා පරපුර කියවීමට
ලිවීමට දක්වන උනන්දුව කොයි තරම් පහළ මට්ටමකද කියල දැනෙන එක හිතට හරි වේදනාවක්. හැම
ළමයෙක්ටම අවධානය දෙන්න නොහැකි වුණේ සංඛ්‍යාත්මකව වැඩි වීම නිසා. ඒකත් ලොකු අඩුවක්
විදියට දැණුනා.
සෙනසුරාදා දවස පුරාම වැස්සයි මහා හුළගයි
නිසා ළමයින්ව ශාලාවෙන් පිටට යවන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ. අලියන්ටයි ළමයින්ටයි
නලියන්ටමනෙ හිත. ඉතින් සෑහෙන දුෂ්කර ව්‍යායාමයක් උණා අවධානය එක තැනක රඳවා ගැනීම. රාත්‍රියේ පැවති විවිධ ප්‍රසංගයෙදි
නං දක්ෂ නළු නිළියන් සිටින බව පෙණුනා. පොතපතට, ලේඛණයට වඩා ජනප්‍රිය මාධ්‍යවලටයි
ළමයින්ගෙත් වැඩි කැමැත්ත.
මැක්සිම් ගෝර්කි, ඈන් ෆ්‍රෑන්ක්, මාටින්
වික්‍රමසිංහ, සිබිල් නැන්දා වැනි ලේඛකයන්ගේ ජීවිත තොරතුරු රසවත් කතන්දර ලෙස කියා දීම ලේඛන කලාවට දරුවන්
තුළ යම් ඇල්මත් ඇති කිරීමට හේතු වූ බව පෙණුනා. පොත්වලින් ගත් කොටස් රග දැක්වීමත්
පොත පතට ඇල්මක් ඇති කිරීමට හොද ක්‍රමවේදයක්.
ඉරිදා උදෑසන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, සමන්
හේමරත්න සොයුරන් අපගේ ආරාධනය පිළිගෙන ස්වේච්ඡාවෙන්ම පැමිණීයේ ළමයින්ට කතා කරන්න. මහින්ද
සොයුරා ළමයින්ගෙ හීන ගැන කතා කළේ තමන්ගේ ළමා වියේ සිහින ගැනත් මතක් කරමින්... ඔහු
ළමා වියේ ගොඩකවෙල ළ.ක්‍රි.වී. එකමුතුවක සිටි බව දැන ගැනීමත් සතුටට කාරණයක්. පුංචි පුංචි
කතන්දරවලින් ළමයින්ගෙ අවධානය ගන්නත් ඔවුන් අමතක කළේ නැහැ.
හීන ගැන කතා කරද්දි එක් දියණියක් කීවෙ ඇගේ
හීනය '' යුධ සෙබළියක් වීම '' බව. ඇගේ හිතේ ඒ හීනය ගොඩ නැගුණෙ රූපවාහිනියෙ යුධ තොරතුරු
නැරඹීමෙන් බවයි පැවසුණේ. ජීවිත දිනවීමට
මිස ජීවිත විනාශ කිරීමට හීන නොදැකිය යුතු බව සමන් සොයුරා ලස්සනට පහදා දුන්නා.
නමුත් වැඩමුළුව අවසානයේ සමු ගන්නට පැමිණි විට '' ඔයාගෙ හීනෙ වෙනස් කර ගත්තද?''
කියල මං ඇහුවම '' ඒ හීනෙ නම් මං අතාරින්නෙ නෑ අක්කෙ '' කියලයි කිව්වෙ. මට දැණුනෙ
පුදුමයක්. අපි ආදරෙන් කියල දෙන දේකට වඩා
මාධ්‍ය මවල දෙන හීන දකින්න ළමයි කොයි තරං කැමතිද?
දොස්තර, ඉංජිනේරු, ගුරුවරුවන්ට වගේම
බස්කොන්දොස්තර කෙනෙකුට උණත්, පාර අතුගාන කම්කරුවෙකුට උණත් ලේඛකයෙක් වෙන්න පුළුවන්.
ඒ වෙනුවෙන් අවශ්‍ය වෙන්නෙ උනන්දුව, ආශාව, නිතර නිතර ලිවීම සහ කියවීම බව කියා
දුන්නම වැඩමුළුව අවසානයේ ලේඛකයන් වෙන්න කැමති සංඛ්‍යාව වැඩි වෙමින් තිබුණා.
සංවේදී, බුද්ධිමත්, යහපත් දරුවෙක් බිහිවෙන්න
පොතපතට කළ හැකි කාර්යභාරය අතිමහත්.
දරුවන් පාසල් විෂය නිර්දේශයට අමතරව කියවීමට
යොමු කිරීම ගුරුවරුන්ගේත්, මව්පිය වැඩිහිටියන්ගේත් වගකීමක්. හැම ගෙදරකම පුංචි
පොත් එකතුවක් තියෙන්නම ඕන. අම්මල තාත්තලත් දරුවන් එක්ක එකතු වෙලා පොත් කියවනවනම්
හොදයි.
දරුවන්ගේ ජීවිතේ විශේෂ අවස්ථාවලදි පොතක් තෑගි දෙනව නම් වඩාත් අගෙයි.
පෝස්ට් එක දැක්ක ගමන් මටත් මතක් උනේ අර පුංචි කෙල්ලව. මං අහගෙන ඔයා හීනෙ වෙනස් කර ගත්තද කියල අහද්දි '' ඒ හීනෙ නම් මං අතාරින්නෙ නෑ අක්කෙ '' කියනව. ඔයගේ පෝස්ට් එකට මටත් දෙයක් එකතු කරන්න හිතුන තරු අක්කෙ ඒ සමන් සොහොයුරා එයාගෙ කතාව අවසන් කරපු වචන ටික.
ReplyDeleteබලන්න පෙනෙනවාට වඩා යමක්.
අහන්න ඇසෙනවාට වඩා යමක්.
සිතන්න සිතෙනවාට වඩා යමක්.
සරලත්වය අස්සෙ හැන්ගිච්ච ලොකු අර්ථයක් ඒ වචන ටිකේ තියෙනව කියල හිතනව.
(රහසින් - අපිත් ඉන්නව ඕන් පොටෝ කෑල්ලක)
(හය්යෙන් - කෝ කෝ කොහෙද? ) :D
DeleteThis comment has been removed by the author.
Deleteඈතින් ඉන්නව තමයි.. අදුර ගන්න අමාරුයි...
Deleteමොකද තරුට ලොකු නිවාඩුවක් ලැබිලද?ලියාගෙන ලියාගෙන යන්නෙ :).
ReplyDeleteබොහොම සතුටුයි මෙහෙම ලියන එකට.
ඔබගෙ ලිපි මම කියවන්නෙ ගොඩක් නිවාඩුව ඉද්දි.
දිගටම ලිවීමට ශක්තිය පතමි.!.
ස්තුතියි... ලිපි කියවල දිරි ගන්වනවට.. ලොකු නිවාඩුවක් ගන්න ඕන නිසා ලියමින් හිටි ලිපි ඉවර කරල පළ කළා....
Deleteහොඳ වැඩ සටහනක්!!! ඒවගේම හොඳ ලිපියක් තරු.
ReplyDelete//මුලින්ම අනාගතේ ලේඛකයෙක් වෙන්න කැමති කවුද ඇහුවම අත ඉස්සුවෙ තුන් දෙනයි.//
මේ කේෂ්ත්‍රයේ ඉස්සරහට ගියාම වැඩක් නෑ කියන එක ළමයින්ට දැන්මම තේරිලා වෙන්ටෑ.:D
මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඕන වැඩක් වෙන්න නෙවෙයි වැඩක් කරන්න කියන එකයි අපි පහදල දෙන්න ඕන... අනික පොඩ්ඩි ආපහු ලැබෙන දීමනා භෞතික නැහැ අධ්‍යාත්මිකයි නේද?
Deleteවැඩසටහනට ඉතසිතින් සුබ පතමි.
ReplyDeleteස්තුතියි නංගි
Deleteඅගය කළ යුතු පින්කමක්.....
ReplyDeleteපින්කමක් වගේම යුතුකමක් වගකීමක් කියලත් හිතෙනවා මට..
Deleteපුංචි කාලේ ඉඳන් ළමයින්ව කියවීමට යොමු කරවීම දෙමව්පියන්ගේ යුතුකමක් වගේම වගකීමක්.
ReplyDeleteඒත් කාලෙත් එක්ක ළමයි ඒකෙන් ඈත් වෙනවා තාක්ෂණික මාධ්‍ය නිසා. වැඩිම බලපෑම මං දකින විදියට කම්පියුටරෙන්. ඒක ළමයින්ගෙන් ඈත් කරන එක නම් ටිකක් අමාරු වැඩක් වේවි. දැනට වඩා ඉස්සරහට. ඒකට කරන්න තියෙන්නේ ඊ බුක් මගින් හරි කියවීම හුරු කරවන එක.
නවීන තාක්ෂණයත් එක්ක පොත පත ළමයින්ට සමීප කරන ක්‍රමවේද හොයන්න වෙනවා... අත්හදා බැලීම් කරනවා.. බලමු කොයි තරම් දුරට සාර්ථක වෙයිද කියල..
Deleteසාහිත්‍ය වැඩමුළුවක් තියනව කියල දැනගත්තම ඉන්ඩ බැරි කමට නිවඩුවකුත් දාල ආවට, සැසිය පැත්තකින් තියල කුස්සියට සේන්දු වුනා. (අපි ආසම තැන එතනනෙ ඉතින්) උයන්න එහෙම උදවු වෙලා අන්තිමටම කන්න ගත්තම මාළු ඉවරවුනු භාජනෙන් හොදි විතරක් ගන්න හැටි තරූ දැක්ක.
ReplyDeleteඔළුව වනල අඩගහල බත් කටකුත් කවල පිගානෙ තිබුණු මාළු කෑල්ල මගේ පිගානට මාරු කරල තරූ නැවතුනේ නෑ.
මල්ලි, ළමයින්ට ලේඛකයන් ගැන හදුන්වල දෙන්න ඕන. මැක්සිම් ගොර්කි ගැන කියන්න පුලුවන්ද?
ගොඩක් කාලෙකට පස්සෙ ළමයින්ට කතා කරන්න යන්නෙ. හිතට පොඩි චකිතයක් දැනෙන තරමටම අපි මොට්ට වෙලා.
මල්ලි පොත් කියවනවනෙ නේද?
ඉදුල් එහෙම හෝදගෙන හවස සැසියට ගියාම තරූ අක්ක අහපු ප්‍රශ්ණෙට කට උත්තර නැති උනේ අන්තිමටම කියවපු පොතවත් මතක් කරගන්න බැරි උනු නිසා.
කොහොම හරි ගැටගහගෙන අක්කගෙත් උදව්වෙන් ඈන් ෆ්‍රෑන්ක් ගැන කියල එලියට පැන්නෙ අක්ක අහපු ප්‍රශ්ණෙත් අරගෙනමයි...
කාලෙකට කලින් තිබුණු මගෙ පොත් කියවන විනෝදාන්ශෙ ආයෙත් පටන් ගන්න ඒ තල්ලුව හොදටම ඇති.
ඔයා හොදට කතා කළා ඈන් ෆ්‍රෑන්ක් ගැන... දන්නවනෙ මගේ හැටි පේන්න හිටියොත් වැඩක් ගන්නමයි හිතන්නෙ. කුස්සිය, වේදිකාව, ක්‍රීඩා පිටිය මේ වගේ හැම තැනක්ම ළ.ක්‍රි.වී. අනුශාසකවරුන්ට හුරු පුරුදු වෙන්න ඕන...
Deleteළ.ක්‍රි .වී. ??
ReplyDeleteළමා ක්‍රියාකාරී විරයෝ.... ළමා සංවිධානයක්.. මමත් පුංචි කාලෙ ළ.ක්‍රි.වී. ළමයෙක්.. පසුව අනුශාසක කෙනෙක් උණා... දැන් අනුශාසක ජීවිතේටත් අවුරුදු 16 ක්....
Deleteඒ ගැන කතා කරන කොට නං මගේ අම්මට තමයි හුඟක් ම ස්තූති කරන්න ඕනේ හැම සතියක ම මට පොතක් අරගෙන දුන්නට. ඒ කාලේ මම එකතු කරපු සිබිල් නැන්දගේ පොත් තාමත් කියවන්නේ ආසාවෙන්. මන්දා පොත් කියවීමෙන් ලබන සතුට වෙන කිසිම දේකින් ලබන්න බැරි බව යි මගේ හැඟීම!
ReplyDeleteමගෙත් මුල්ම ගුරුතුමියත්... පොත් කියවන්න මුල්ම පෙළඹවීම ඇති කළ කෙනත් අම්ම තමයි. පොත් කියවීමෙන් ලබන සතුට වෙනත් කිසිම දේකින් ලබන්න බැරි බව ඇත්ත. මමත් හිතන්නෙ එහෙමමයි. නමුත් අද ළමා පරපුරට ඒ අත්දැකීම නැහැ...
Delete'' අර බං ලොකු වැවක් '' මේ ටික කියද්දිම හිතුනා මේ නම් ජා-ඇල ළමයි වෙන්ට බැරි බව.
ReplyDeleteහොඳ වැඩක්නෙ.. ඒත් අද කාලෙ ළමයින්ව රූපවාහිනියෙන් විතරක් නෙයි කොම්පීටරයෙනුත් ගලවා ගන්න බැරිවෙලා.. කම්පීටරය ඉගෙනගන්න වැඩකට යොදන්නෙ ලමයි කීයෙන් කීදෙනාද?
ජාඇලින් බස් එකට නැග්ගට ජා ඇල ළමයි නෙවි...
Deleteකම්පීටරේ ඉගෙනගෙන හරි වැඩකට යොදා ගන්න නුවණ පහදල දෙන එක වැඩිහිටි අපේ වගකීමක්.. ඒත් කොයි තරං දුරට ඵලදායී වෙයිද කියන එක නං ගැටලුවක්....
මේ කළ දේ තොතරම් හොඳද, අද ළමයි ජනප්‍රිය කලාවන් පස්සේ දුවන්න පුරුදුවෙලා. පොත් කියවීම සහ ලිවිම වැනි නිර්මාණාත්මක ක්‍රියාතාරතම් ළමුන්ගෙන් ඈත්වෙලා..110 කින් එක්කෙනෙක් දෙන්නෙක් හදාගන්න පුළුන්නම් ඒක දැවැන්ත ආයෝජනයක් වේවි.
ReplyDelete