2005
වසරේ රැකියා මාරුව සහ දුරකථනයක් ගැනීම
දුරකථනය ගැන
විශේෂයෙන් සඳහන් කළේ ඉන් අනතුරුව එය අපේ මිත්‍රත්වයේත්, ප්‍රේමයේත්
සමීපතම සගයෙක් වූ නිසා. මේ වසර පුරාම අපි බොහෝ දේ කතා කළා. ප්‍රේමය ගැන ඇරෙන්න. ඒ
ගැන ඉඟි සැපයෙන හැම විටකම නොතේරුම් කතාවකින් මග හරස් කරන්න හෝ හිනාවකින් ප්‍රතික්ෂේප
කරන්න මං පුරුදු උණා. ‘‘ඔයාට ගැළපෙන්නෙ හොඳ සිංහල බෞද්ධ කුල කුමරියක්” මගේ ඒ දරුණු
වදන් සහන් නොකළ වරදකට දුන් දඬුවමක්. (පසුකාලීනව ලද අප්‍රමාණ විඳවීම් වසර ගණනක
නොතකා හැරීමට ලැබුණු දඬුවම්ද කියලත් හිතෙනවා.. )
2006
බක් මහේ අළුත් අවුරුදු උදාව
අළුත් අවුරුද්ද
ලබල හතර වටින් පත්තු වෙන රතිඤ්ඤා හඬ වියැකෙන්නත් පෙරම දුරකථනයට ඇමතුමක්.
‘‘
Wish
you a happy new year.... තාම ගෙදරටවත් කතා කලේ නෑ. මුලින්ම ඔයාට
කතා කළේ... ”
එහෙම කියද්දි නං හිත ගැස්සලා ගියා. එදා තමයි
පළමුවරට මේ මනුස්සය ගැන හිතන්න ඕන කියන හැගීම මතුවුණේ. කඳුළු, සුසුම්, හිනා එක්ක දිගට
ඇදුණු කතා බහක්.
‘‘ මට දරා ගන්න
පුළුවන් සීමාව හරි අඩුයි. මං කැමති නෑ හිත රිද්ද ගන්න. අඬන්න. මං ඉපදුණු දා ඉඳන්ම
අප්‍රමාණව ආදරේ වින්ද කෙනෙක්.. ඒ හින්ද දුකක් වෙන්න එපා කියල විතරයි මං ඔයාගෙන්
ඉල්ලන්නෙ. ” ඒ මං කැමතියි කිව්ව විදිය තමයි. ඉල්ලුව එකම ඉල්ලීමත්... සැබෑ නොවුණු හීනයත් ඒකම තමයි.
‘‘කොහෙ ඉඳන්ද
ඔය කතා කරන්‍නෙ. ඔයා ගෙදර ආවද? ”
බොහෝ වෙලාවක් කතා කරමින් උන්නට පස්‍සෙයි මට මතක් උණේ ඒ වෙද්දි හිටිය පැත්තෙ ඇමතුම් ගන්න විදියක් නොතිබුණ බව. දුරකථන ජාල සම්බන්ධ කර ගත හැකි වූයේ හරිම අඩුවෙන්.
‘‘
මොන නිවාඩුද.. ගහක් උඩ ඉන්‍නෙ.. බොහොම අමාරුවෙන් දෙබලකට
මුක්කුවක් ගහගෙන. ටෙරාලට මීටර් උණොත් ඔක්කොම ඉවරයි.”
‘‘ අනෙ අම්මේ බහින්න ...
බහින්න.. මා එක්ක කතා නොකළට කමක් නෑ. ” මං කෑ ගැහුවා.
2006
පොසොන් මාසය
එල්ටීටීඊ
සංවිධානය විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීම ප්‍රභාකරන්ගේ ඉරණම පමණක් නොවේ තව
බොහෝ දෙනෙකුගේ ඉරණම් කතා වෙනස් කළ කඩඉම් සිද්ධියක් උණා.
2007
- 2009 යුධ ගිනි ඇවිලීම
සාම්ප්‍රදායික
කීකරු දියණීයක් විදියට මං මව්පිය අවසර පැතුවා. විරෝධතා එල්ල වෙන ප්‍රබල කාරණා
තුනක්... ආගමේ නොවීම....... හමුදාවේ වීම.......දුර වැඩි වීම... නමුත් අප්‍රමාණ
විශ්වාසයකින් අසීමිත නිදහසක් දරුවන්ට දෙන, දරුවන්ටත් යහළුවන් වගේ සමීපව ඕනෑම
දෙයක් කතා කළ හැකි මගේ අම්මාත් තාත්තාත් මැදිහත් සිතින් මගේ ඉල්ලීම සලකා බැලුවා..
'' ඔය ඉතින් හිත
ගිය තැනනෙ.. කාලයක් තිස්සෙ දන්න ළමයෙක්නෙ.. ඒ ළමයගෙ අම්ම තාත්ත එක්ක කතා බහ කරල මේ
පැත්තෙ එන්න කියන්න...''
එහෙම කිව්වත්
කවදාවත් සහන්ට අපේ ගෙදර එන්න උණේ නැහැ. යුද්ධය ඇවිළෙමින් තිබුණා. අපි අතරත්
වැඩිපුරම තිබුණෙ සීතල යුද්‍ධ. වචනවලින් වෙඩි තියා ගත්තෙ නැති උණත් හිතන පතන
විදියෙන් අපි හිටියෙ අන්ත දෙකක. චිත්‍රපටියක උණත් කොල්ලයි කෙල්ලයි ආදරේ කරන්න පටන්
ගන්න කළින් ගෙවෙන කාලයනෙ හරිම සුන්දර. ආදරයට ආදරය විදියටම පවතින්න ඉඩ දෙන්න ඕන.
ආදරය තීරණයක් වුණ තැන ඉඳන් නීරස වෙන්න ගන්නෙ නොදැනීම. අනික අපි අතර නම් කවදාවත්ම
ආදරයක් තිබුණෙ නෑ කියලත් හිතෙනවා. මිත්‍රත්වයේ සීමා පවුරු බිඳ ගෙන ළං වෙන්න අපට
කවදාවත්ම බැරි උණා....
ඔය අතරෙදි හිත
ඉරි තැලෙන ගල් බෝරයකුත් පිපිරුණා...
'' ඒ කියන්නෙ ඔයා
මට වඩා අවුරුදු එකහමාරක් විතරම
බාලයිනෙ..'' මං ගල් ගැහුණෙ
විමතියෙන්, කෝපයෙන්, වේදනාවෙන්... වයස නෙවෙයි හේතුව..
එතරම් රහසක් අවුරුදු දහයක් සගවා ගෙන සිටීම....
''
හෙලෝ... හෙලෝ ... ඇයි කතා නැත්තෙ... ඕකනෙ මං මුලින්ම ඔය
ගැන කිව්වෙ නැත්තෙ. කිව්ව නං ඔයා කැමති වෙන්නෙ නෑනෙ... ''
ඒ අදහස සාධාරණ
වෙන්න ඇති. ඒත් මේ තරං දෙයක් හැංගුව කෙනා තව කොතරම් දේ සගවාගෙන ඇත්ද? මගේ හිත අනතුරු
ඇගෙව්වෙ ඒ විදියට.
ඒ දවස්වල සහන්
හිටියෙ වව්නියාවෙ ඇතුළක. එතනින්ආරම්භ කළ යුධ චාරිකාව අවසන් වෙද්දි ඔහු නැවතුණේ
අම්බකාමම්වල. යුද්ධය ඇවිළෙමින් තිබුණා. කතා නොකර මාස ගණන් ගෙවුණා. අහම්බෙන්
දුරකථනය සම්බන්ධ වු මොහොතක '' ඇයි දැන් කතා කරන්නෙවත් නැත්තෙ '' මං ඇහුවම
ලැබුණෙ හරි කෙටි උත්තරයක්.. ඒත් ඒ උත්තරය ඇතුළෙ නොකියු බොහෝ දේ තිබුණා.
''හැම
දෙයක්ම වෙනස් උණා..''
තදින්ම හිතේ
රැඳුණු එවැනි අහඹු දුරකථන කතාබස් කිහිපයක් මතකයේ තියෙනවා..
''
මේ පැත්තෙ මිනිස්සු දාල ගිහින් තියෙන හැම ගෙදරකම වගේ
ඔයාගෙ ජේසු ඉන්නවා.. මරියතුමී ඉන්නවා.. වෙලාවකට හිතෙනවා එයාල මං දිහා බලනව ඇති
කියල. මං පණ පිටින් ඉන්නෙ ඒ හින්ද වෙන්න ඇති. ''
වෙනද යුද්ධය ගැන කතා කරද්දි තර්ක කළත්, වාද කළත් ඒ වචන
එක්ක මං ගැටෙන්න ගියෙ නෑ. මට දැණුනෙ දුකක්. ඒ ගෙවල්වල උන්නු මිනිස්සුන්ට මොකද උණේ
කියල මං ඇහුවෙ නැහැ. ඒත් මගෙ හිත කම්පා වුණා. මමත් වැරදිකාරියක් වගේ හැගීමක්
දැණුනා.
ප්‍රේමණීය නොවූ නමුත් බලාපොරොත්තුවලින් පිරුණු බෙහෙවින් පීඩාකාරී කාලයක්
ගෙවුණා.
මනාපයෙන් සිටි කාලයට වඩා අමනාපයෙන් සිටි කාලය වැඩියි.
සාමයෙන් සිටි කාලයට වඩා ගැටුම්වලින් පිරි කාලය වැඩියි.
සතුටින් සිටි කාලයට වඩා දුකින් සිටි කාලය වැඩියි.
සැනසුමින් පිරුණු ආදරයක් වෙනුවට අවිනිශ්චිත හැගුම්වලින් හිත බර වුණු හුදකලාවක් උරුම වුණේ.
නොගැළපෙන දීගෙ හෙවණැල්ලත් ඇදලු.. නමුත් මේ හැම දෙයක්ම තිබුණෙ හිත ඇතුළෙ. මගේ සුපුරුදු ජීවිතය අල්පමාත්‍රව හෝ වෙනස් වුණේ නැහැ. ඉගෙනීම, රැකියාව, ගෙදර ජීවිතේ, සමාජ ජීවිතේ පුරුදු ලෙසම ගලාගෙන ගියා. සමාජ වැඩත් එක්ක වැඩි වැඩියෙන් බැදෙන තරමට හුදකලාවත්, වේදනාවත් දරා ගැනීම පහසු උණා.
නොදැනීම අපි
අතර ළං කරන්න බැරි තරමේ දුරස්බවක් ඇති වුණේ එහෙමයි. ඒත් වෙනතක් බලන්න නං හිතුණෙ
නැහැ. වගකීමක් යුතුකමක් විදියට යුද්ධය නිමා වන තුරු බලා හිඳීමේ උවමනාවක් දැණුනා.
කතාව නං ලස්සණ යි, තරූ අක්කේ. ඒත් සමහර අකුරු හුඟක් පොඩි නිසා බොහොම අමාරුවෙන් කියව ගත්තේ. ඒ නිසා අකුරු ටිකක් ලොකු කරා නං තවත් හොඳයි.
ReplyDeleteමොකක්දෝ අවුලක්... හදා ගන්න බැරි උණා.. ඒ නිසා මං කොටස් දෙකක් කළා...
Deleteකාට කියවන්නද කුරුමිණි අඩු කොටල තියෙන්නෙ?
ReplyDeleteසමාවෙලා ආයෙම බලන්න... කොටස් දෙකක් කළා.... දැන් හරි වගේ...
Deleteම්ම්ම්ම්ම්ම්ම්ම්.. හුස්මට කියවන් ගියා.... අවසානය ගැන හිත නොසන්සුන්..... සමහර තැන් වලදි හිත බය වුනත් එක්ක..
ReplyDelete// සමාජ වැඩත් එක්ක වැඩි වැඩියෙන් බැදෙන තරමට හුදකලාවත්, වේදනාවත් දරා ගැනීම පහසු උණා. // අත්දැකීමෙන් මෙකනම් ඇත්ත!
ඉදිරිය බලමු