Thursday, June 20, 2013

විරාමයක අසිරිය...






දෙතුන් දිනකට පෙර මම සාහිත්‍ය ලිපි කිහිපයක සෝදු පත් බැලුවා. සදොස් තැන් නිවැරදි කළත් යම් තැන්වල අදහස්වල අවුල් බවක් තිබුණා. එයට ප්‍රබලව බලපාල තිබුණේ  අවැසි තන්හි කමාව, තිත නිවැරදිව තබා නොමැති වීම. එය පරිගණකකරණයේ දී ඇති වූ ප්‍රමාද දෝෂයක් ද විය හැකියි. 

එබැවින් නිවැරදි කළ පිටපත සමග මා මෙලෙස ලියා යැව්වා. 

'' නිවැරදි කිරීම්ද සැකමුසු තැන්ද රතු පාටින් ලකුණු කළා. තිත් කොමා අවශ්‍ය තැන්වල නැති වීමෙන් අර්ථ වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න. '' 

මෙය ලිපියක් ලියන්නට තරම් දෙයක් නොවේ යැයි ඔබට සිතෙන්නට පුළුවන්. මට ද එය ඉක්මණින්ම මතකයෙන් ගිලිහී ගිය කාරණාවක් වුණා. නමුත් කොන්ස්ටන්ටයින් පවුස්තොවුස්කිගේ ''රන් රෝස'' කියවමින් ඉන්න අතර ඇස ගැටුණු අපුරු කතාවක් නිසා මෙය ලිවිය යුතු යැයි හැුණා. 

'' ඔන්න ඒ කාලෙ පවුස්තොවුස්කි වැඩ කරමින් උන්නෙ ''මුහුදු නැවියා'' පත්තරේ. පුවත්පතට ලිපි ලේඛන සැපයූ ඇන්ඩ්‍රි සොබොල් කියන වැඩිමහල් ලේඛකයා  දවසක් පත්‍රයේ පළ කිරීමට කෙටි කතාවක් ගෙනත් දී තිබෙනවා. බැලූ බැල්මටම එය කිසි පිළිවෙලක් නැති අවුල් ජාලයක්. නමුත් අන්තර්ගත විෂය ‍ඉතාම වැදගත් දක්ෂ ලෙස ගොතන ලද අපූරු කතාවක්. එය පළ කළ යුතුම කතාවක් උණත් එහි අවුල් සහගත බව නිසා පළ කිරීමද අසීරුයි. සංස්කරණය කරන්නත් කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. යමක් ලියූ පසුව එය මුළුමනින්ම අමතක කර දමන ලේඛකයාගෙන්ද සංස්කරණයක් බලාපොරොත්තු විය නොහැකි වෙලා...

මේ කාලයේ පත්තරේ වැඩ කළාලු මහලු සෝදුපත් බලන්නෙක්. නම බ්ලොගොව්. පුවත්පත් කලාව පිළිබ ඇසු පිරෑ තැන් ඇත්තෙක්. ඔහු ඉදිරිපත් වෙනවා කෙටි කතාව සංස්කරණය කරන්න. 

'' මං අර සොබොල්ගේ කතාව ගැන තව පාරක් හිතුවා. ඒක ‍හොද කතාවක්. මොකක් හරි කරන්න ඕනෑ ඒකට. දන්නවනෙ මට ඔය පත්තර රාජකාරිය හොදට හුරුයි. නිකං අහක දාන්න හොද කතාවක් නෙවෙයි ඒක..''

''ඉතින් මොකක්ද ඒකට කළ යුත්තේ'' 

'' මට දෙන්න අත් පිටපත මං පොරොන්දු වෙන්නම් ඒකෙ එක අකුරක්වත් වෙනස් කරන්නෙ නැති බවට...... මං එක අකුරක්වත් කපන්නෙ නෑ. එක අකුරක්වත් අලුතින් එකතු කරන්නෙ නෑ...'' 

පුරා රැයක් වෙහෙසී ඔහු කතාව සංස්කරණය කරනවා. අනතුරුව එය පළිගු සේ පැහැදිලි, සුමට, විචිත්‍ර, නිරවුල් කතාවක් වූ බවයි පොතේ කියවෙන්නෙ. එකම වචනයක්වත් කපන්නේවත්, අලුතින් එක් කරන්නේවත් නැතිව. නියම තැනට විරාම ලක්ෂණ යෙදීමත්, ඡේද වෙනස් කිරීමත් පමණයි ඔහු කර ඇත්තේ.

'' විරාම ලක්ෂණ හරියට සංගීත රටාවක එන සංකේත වගේ. වාක්‍යයක ඒකමිතිය ඇති කිරීමටත්, වාක්‍යයේ ඒ ඒ ‍කොටසක් ඇතුළත නියම සමමිතිය පවත්වා ගැනීමටත් විරාම ලක්ෂණ හරිම වැදගත්..'' පුෂ්කින් විරාම ලක්ෂණවල වැදගත්කම කියා ඇත්තේ එලෙසින්. 

කෙටිකතාව පුවත්පතේ පළ වූ පසුව සොබොල් ඇස් දෙකෙන් ගිනි පුළිගු විසි කරමින් කාර්යාලයට කඩා වැදී තියෙනවා,  කතාව අතපත ගෑම ගැන මහත් කෝපයෙන්. 

'' අතපත ගෑව කියන එකෙන් ඔහේ අදහස් කරන්නෙ නියම තැනට නියම විරාම ලක්ෂණ යෙදීම නම් ඒක කළේ මමයි. පත්තරේ සෝදු පත් කියවන්නා හැටියට ඒක මට අයිති රාජකාරිය..'' බ්ලොගොව් සන්සුන්ව එහෙම කීවම ලේඛකයා දුවගෙන ඇවිත් ඔහුව සිප වැළදගෙන තියෙනවා. 

'' බොහොම ස්තුතියි.. මට ඉගැන්නූ පාඩමට. මං ටිකක් පරක්කු වැඩියි ඔය පාඩම ඉගෙන ගන්න. මට දැනෙන්නෙ මම මගේ ම ලියුම් කියුම් අවුල් කර ගත්තු අපරාදකාරයෙක් ව‍ගේ.'' 

ඉතින් එදා හැන්දෑවෙ මේ කට්ටිය එකතු වෙලා සව්දිය පිරුවලු පොදුවේ සාහිත්‍යයටත්, විශේෂයෙන් විරාම ලක්ෂණවලටත්.  නිසි තැන නිසි ලෙස යොදන ලද නැවතීමේ තිතකට පුදුම විස්කම් කළ හැකි බවට හැමදෙනාම එකග වුණාලු. 

විරාම ලක්ෂණ... ඒ වචන තුළම කොතරම් විසල් අරුතක් ගැබ් වෙනවාද? වචන දාස් ගණනක කොයි තරම් සුන්දර ලියවිල්ලක් උණත් අවුල් ජාලයක් වෙන්න පුළුවනි විරාම ලක්ෂණ නිවැරදිව නොයෙදීමෙන්. 

ජීවිතයත් දිගු කතාන්දරයක්.. හැල්මේ දිවෙන. වෙලාවකට හරිම අවුල්.. වෙලාවකට හරිම දුෂ්කරයි. වෙලාවකට සන්සුන්.. ප්‍රීතිමත්... ඉතින් දිගු ජීවිත කතාවටත් විරාම ලකුණු අවැසිමයි, විචිත්‍රවත් වෙන්න. නිරවුල් වෙන්න.  ප්‍රශ්නාර්ථ, විස්මයාර්ථ, ‍කොමා, තිත්... ජීවිත කතාවටත් නැතුවම බෑ. විරාමය, විවේකය, නැවතුම අවශ්‍යමයි  දිනෙන් දින.. නිමේෂයෙන් නිමේෂය අලුත් වෙන්න. 

සාහිත්‍ය ලෝකයේ සැරිසරන, නිර්මාණකරණය ගැන හීන දකින කාටත්  කියවන්න අපූරු පොතක්.. 

රන් රෝස ( නිර්මාණය පිළිබද අත්පොතක් )
කර්තෘ - කොන්ස්ටන්ටයින් පවුස්තොවුස්කි
පරිවර්තනය - ආරියවංශ රණවීර
මිල රු. 350/- ( ගොඩගේ ප්‍රකාශන )

35 comments:

  1. මම හිතන්නේ අපි ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් මේ. අපිට ඉතින් බ්ලොගොව්ලා නෑනේ.:)

    මම මේ පොඩි විරාමයක් ගන්ට හිතමින්....:D

    ReplyDelete
    Replies
    1. විරාමයක් අරන් ලියන්නකො අළුත් කතාවක්... සැදෑ අදුර ඊළග කොටස් ටිකත් ඉක්මණින්ම පළ කරන්න....

      Delete
  2. සළකුණු නිසි පරිදි තැබීම වගේම අක්ෂර වින්‍යාසයත් ඉතාම වැදගත්. ඒත් මට ඇති ගැටලුව සමහර සළකුණු බ්ලොගර් එකේ වැඩ කරන්නේ නෑ. වර්ඩ්වල ටයිප් කරලා පේස්ට් කළොත් නම් හරි යනවා. එක් කාරණයක් තියනවා... මේ ළගකදි හැලප අයියත් අනවශ්‍ය මහාප්‍රාණ දමා ඇති තැන් පෙන්වා දුන්නා. මේ බ්ලොග් ලියන අපි අපිම දකින වැරදි අනෙකාට පෙන්වා දෙනවා නම් අපටත් ඉතාම කෙටි කාලෙකින් හැදෙන්න හැකි වේවි.
    ඉතින් එහෙම එකේ මාත් එක වැරැද්දක් විතරක් පෙන්වා දෙන්නම්.. ඒ වගේම මගේ වැරදිත් නොමසුරුව මගේ බිලොගයේම සටහන් කරන්න. මා එය උදව්වක් ලෙසටයි හිතන්නේ.
    //මම මෙලෙස ලියා යැව්වා.// මෙතැන මා ලෙස අනුක්ත විය යුතුයි නොවෙද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි නලින්... එතැන නිවැරදි යෙදුම ‘‘මා‘‘ තමයි. ස්තුතියි.

      ලිවීමේදි භාෂාව ගැන සැලකිලිමත් වෙන්නම ඕන.. හොද අදහසක් අපි එකිනෙකා අපේ වැරදි අඩුපාඩු හදා ගන්න උදව් දෙන එක නම්...

      Delete
  3. ඔන්න මාත් කියෙව්වා. කියල තියෙන කාරනා ගැන සැලකිලිමත් වෙන්න ඕන කියලා මාත් හිතාගත්ත.

    (සෙන්කොට්ටන් දීල තවපොතකුත් ඉල්ල ගන්නත් හිතාගත්ත ඕන්)

    ReplyDelete
    Replies
    1. ළ.ක්‍රි.වී. පැත්තෙ ආවොත් පොත් ටිකක් කියවන්න අරන් යන්න...අපේ පුංචි පුස්තකාලෙ තියෙන්නෙ. අපි ආයෙම මුණ ගැහෙන දවසට මමත් පොත් අරන් එන්නම්...

      රන් රෝස අරන් කියවන්න මල්ලී.... ඒක හරි වටින පොතක්. අවුරුදු දොළහකට පස්සෙ මං ආයෙම කියවමින් ඉන්නවා...

      Delete
  4. හුඟක් වැදගත් මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. ඔබත් එසේනම් බසට පෙම් බැඳි වෛද්‍යවරියක්... සතුටුයි.

      Delete
    2. බසට මෙන්ම මනුස්සකමට පෙම් බැදි වෛද්‍යවරියක්....

      Delete
  5. විරාම ලක්ෂණවල වැදගත්කම අර කොමාවක් නිසා මැරුණ මනුස්සයා ( මට මතක විදියට සරදියෙල් ) හොඳට දන්නවා ඇති.

    ReplyDelete
    Replies
    1. මං ඒ කතන්දරේ දන්නෙ නැහැනෙ නංගි....

      Delete
  6. විරාම වල වැරදි නම් මටත් ඉදලා හිටලා වෙනවා.. හොද වැදගත් සටහනක්..

    ReplyDelete
    Replies
    1. ඒක කොයි තරම් වැදගත්ද කියන කාරණේ මටත් තදින්ම දැණුනෙ බ්ලොගොව්ගෙ කතාව කියෙව්වම මල්ලි...

      Delete
  7. ආයාසයෙන් ලියන තරමට අනායාසයෙන් කියවිය හැකිය කියලා කියනවනේ... අන්තර්ගතය කොච්චර වැදගත් බව දැනුනත්, සමහර ලිපි නම් කියවන්න හරිම අමාරුයි, නිසි පරිදි නැවතීම්, කොමා ආදිය යොදලා නැති නිසා.

    වැරැද්දක් දුටුවිට පෙන්නා දිය යුතුය සහ පෙන්වාදුන්විට හදාගත යුතුය කියන මතයේ තමයි මාත් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ බ්ලොග් එක කියන්නෙත් ලිවීම අභ්‍යාස කරන්න පුළුවන් හොද තැනක්... අපි එකිනෙකාට උදව් වෙමින් මේ ගමන යන්න ඕනි...

      Delete
  8. ඇත්ත. සමහර බ්ලොග් උනත්, ඕනවට එපාවට ලියපු බව හොඳට පෙනවා...

    ReplyDelete
    Replies
    1. මම නං ආසයි අයියේ...... බ්ලොග් ලියන හැමෝම සාහිත්‍යමය, කලාත්මක කටයුත්තක් කරනවයි කියන හැගීමෙන් වගේම ලෝකයට තියෙන ආද‍රයෙන් යුතුකමක් වගකීමක් ඉටු කරනවා කියන හැගීමෙන් ලියනවනම්.... මමත් උත්සාහ කරනවා ඒ වෙනුවෙන්...

      එහෙම අය ඉන්නෙ අතලොස්සයි කියල තමයි හිතෙන්නෙ...

      Delete
  9. බොහෝම වැදගත් ලිපියක්, ඔබේ ඉදිරිපත් කර විදිය රසවත් වගේම ලස්සනයි.

    ලිවීමේ දී මම ගොඩාක් උනන්දුවෙන අංශයක් විරාම ලකුණු.

    පුංචි විරාම සළකුණකින් ලියවිල්ලකට දෙන අසිරිය අපමණයි. ජීවිතයට ඊටත් වඩා... අවැසි විරාමයන් බොහෝය, ඒ ලස්සන මතක් කිරීම බොහෝ සේ සිත්ගත්තා.

    //විස්මයාර්ථ, කමා, තිත්...// හි කොමා හැටියට නිවැරදි වෙනවා නම් හොඳයි.

    පොත ගැන හෝඩුවාවට බොහෝම ස්තුතියි

    ReplyDelete
    Replies
    1. සතුටුයි... මුල් වතාවට ඇවිත් මෙතරම් දිරිමත් සටහනක් ලිවීම ගැන.... මම අඩුපාඩු හදන්නම්...

      Delete
    2. පෝෂණය වියයුතු දේ පෝෂණය කල යුතුයි.

      මේ ගැන ලියන්න හිතා හිටියත් අතපසුවුනා, සිංහල බසින් ලිවීමේ දී අකුරු විනිස පිරික්සුමට මා සුබස යොදා ගන්නවා. සුබස කොළඹ විශ්ව විද්‍යාලයේ භාෂා අංශයෙන් නූතන සිංහල ලේඛණ කලාවට කල අගනා මෙහෙවරක්.

      සබැඳිය:
      http://subasa.ambitiouslemon.com/spellerweb.py

      Delete
    3. අකුරු විනිස පිරික්සුම මා අත්හදා බැලුවා... ඒක හරිම අගේ ඇති වැඩක්.... වටිනවා.. ස්තුතියි...

      Delete
  10. ස්තුතියි තරූ මේ පොත ගැන ඔත්තුවට..ජීවිතේට විරාම ලක්ෂන නැත්නම් ජීවත් වෙන්න එපා වෙනවා තමයි..:)

    ReplyDelete
    Replies
    1. ඇත්තටම රෑ....... මමත් ඒ ගැන බරපතළ විදියට හිතුවා මේ සටහන ලියද්දි.

      පොත අනිවාර්යයෙන්ම කියවන්න... ලස්සනයි... අපූරුයි.. ඒ කාලෙ ලේඛකයෙක් කියන්නෙ මුළු ජීවිතේම ඒ වෙනුවෙන් කැප කළ කෙනෙක්... මේ ජීවන රටාවත් එක්ක ඒක හරි අමාරු වැඩක් උණත් ලිවීම ජීවිතේම කර ගත් අයත් නැතුව නෙවෙයි....

      Delete
  11. ජීවිතයත් ඒක්තරා ව්‍යාකරණයක් තමා. ෙපාත කියවලා තියනවා. අාෙය සැරයක් කියවන්න ඔෙන.

    ReplyDelete
    Replies
    1. ජීවිත කතාවෙත් ව්‍යාකරණ ගළපගන්න ඕන.. තමයි... නැත්නම් අවුල් ජාලයක් වෙයි.. හැබැයි ලේඛකයෙක්ගෙ ජීවිතේ නම් අවුල් ජාලයක් වෙන තරමට ලියන්න කාරණා මතු වෙනවා...

      Delete
  12. ඇයි රත්තරං ඔච්චර ගණං?

    ඇයි රත්තරං, ඔච්චර ගණං?

    ReplyDelete
    Replies
    1. විරාම ලකුණක් ඇති කරන වෙනසක්.. මේ තියෙන්නෙ රත්තරං උදාහරණයක්...

      Delete
  13. සාහිත්‍යය තියෙන්නේ නිවැරදි දේ නිවැරදි විදියට රසවත්ව පාඨකයන්ට සමිප කරන්න, එතැනදි බස හැසිරවිම වගේම බසෙහි රිද්මය, උක්ත ආඛ්‍යාත සම්බන්ධය. පද බෙදිම විරාම ලක්ෂන තිබිම වැදගත් සාධක.
    ඒ නිසා මම බ්ලොග් ලියද්දි ඒක නිවැරදිව කරන්න වෙහෙසනවා හැම විටම. ඒපුරුද්ද ඇතිකරගත්තොත් ජීවිතයටම වැදගත්.

    ReplyDelete
    Replies
    1. මමත් භාෂාව නිවැරදිව පාවිච්චි කරන එක ගැන ගොඩක් සැලකිලිමත් වෙනවා... බ්ලොග් එකට නම් වැඩියම ගැළපෙන්නෙ කථන ශෛලිය කියලත් හිතෙනවා...

      Delete
  14. ඇත්තටම වැදගත්ම දෙයක් තරු අක්කා ලියලා තියෙන්නේ. හරියට විරාම ලක්ෂණ නොදැම්මොත් සම්පූර්ණයෙන් කියවගෙන යන දෙයෙහි අර්ථය වෙනස් වෙනවා. දැන් අක්ෂර වින්‍යාසය ගැන දැනුම මොට වෙලා නිසා, මේ වගේ වැරදි අපේ ලියවිලි වලත් ගොඩාක් ඇතිය කියා හිතනවා. හරිම වැදගත් මාතෘකාවක් ගැන ලියා තියෙන්නේ ස්තූතියි.
    I remembered this ;

    A professor wrote the words, “Woman without her man is nothing” on the blackboard and directed his students to punctuate it correctly.

    The men wrote: “Woman, without her man, is nothing.”

    The women wrote: “Woman: Without her, man is nothing.”

    ReplyDelete
    Replies
    1. ඒකත් ලස්සන උදාහරණයක්... භාෂාව නිවැරදිව, සරලව ඒත් සුන්දරව හසුරුවන්න පුලුවන් නම් ඒක හොද ලේඛකයෙක්ගේ ලක්ෂණයක්...

      Delete
  15. සුදූ, හාල් කීයද ?
    සුදු හාල් කීයද ?

    ReplyDelete
    Replies
    1. විරාමයක් ඇති කරන වෙනසක්.... මේ තියෙන්නෙ තවත් උදාහරණ...

      Delete
  16. විරාමයක් ගන්න ඕනෙ..

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...