පිටු

Tuesday, March 11, 2014

ඉතිං අපි තටු ගසමු!! අහස තවමත් දුරයි.......


දයාබර තරු අක්කා වෙත,

ලෝකෙ අපිට ඕනෙ විදිහට කරකැවෙන්නෙ නැති වුණත් ලෝකය එක්ක කවමදාවත් තරහ වෙන්න එපා . ඔයා සංස්කෘතිය ඇතුළෙ හිර වෙලා. නිදහස් වෙන්න ඕනෙ කරන හැම දෙයක්ම ලැබිලා තියෙද්දිත් ඔයා හිර වෙලා. හරියට යතුරක් අතේ තියාගෙන, දොරක් ළඟට වෙලා.. එපිට ලෝකය දිහා යතුරු හිලෙන් බලන, පුංචි දැරියක් වගේ. මම ඔයාට කවදාවත් හිනා වෙනවා නෙවෙයි. ඔයාගෙ කඳුලු වලට පුංචි හේතුවක් දෙනවා.

මිනිස්සු ප්‍රති සංස්කෘතික වෙන්න දඟලන්න ඕනෙ නැති වුණත්, තමන්ගෙ සතුට තියෙන තැන හොයාගෙන යන්න සංස්කෘතිය බාධාවක් නම් ඒක ඉරා දමන්නම ඕනෙ. හිතේ සතුට හොයාගන්න වෙනස් විය යුතු තැන් වෙනස් කරන්න බය වෙන්න එපා. තමන් මේ ලෝකට කොයි තරම් වැරදි කෙනෙක් වුණත්, තමන්ගෙ හෘද සාක්ෂිය තමන් වැරදි නෑ කියලා කියන තුරු තමන්ගෙ සතුට විනාශ කරගන්න එපා.

මම සතුට හොයාගෙන යාම නතර කළා. සතුට ගැන හිතන බලාපොරොත්තුවත් නතර කළා. මම ජීවිතය නිදහස් කළා. දැන් මගෙ වටපිටාවෙම තියෙන්නෙ සතුට විතරයි. ඒක පුළුවන්නම් උත්සාහ කරලා බලන්න. මම හිතන්නෙ ඔයාටත් හරියන්න ඉඩක් තියෙයි.

එදා ඔයාගෙන් මිදිලා, මම මහජන පුස්තකාලෙ ඉඳන්, දිගටම පාර දිගේ ටවුන් හෝල් එකත් පහු වෙනතුරු පයින්ම ඇවිදගෙන ආවා. ඒ වෙලාවෙ මම වට පිට ඉන්න හැම කෙනෙක් දිහාම බැලුවා. මට ඕනෙ වුණේ ඒ අය මාව නොදකින්නයි. ඒ හැමෝම සුන්දර සැන්දෑව ලස්සන කරගනිමින් හිටියා.. පෙම්වතුන්ගෙ අතේ එලුලුණු පෙම්වතියො, උයන් බංකු වල තමන්ගෙ පෙම්වතාගෙ උරහිසේ හිස තියාගෙන ඉන්න යුවතියො.. කෙළි දෙලෙන් පසුවෙන ළමයි.. හිනාවෙන අම්මලා තාත්තලා.. මගේ හිත ඇතුළෙ ඉරිසියාවක් ඇති කළා. ඇයි අපිට වෙලාව නැති වුණේ කියලා මම මගෙන් ම අහ ගත්තා.

ප්‍රති ආදේශකයක් අහලකවත් නැති සෞන්දර්යවාදියෙක් ළඟ හිටියා නම් ඒ හැන්දෑවෙ සුන්දරකම වචන වලින් කොහොමවත්ම ලියන්න බැරි වෙන්න තිබුණා. ඒත්, ඔයා හිතනවාද මම එදා දැකපු චරිත හැමදාම එතැනට ඇවිත් විනෝද වෙනවා ඇති කියලා. නැහැ. අද එතැන ඇත්තෙ වෙනත් අය.

තමන්ට ඕනෙ විදිහට කැරකෙන ලෝකයක අපි අපේ ජීවිත ගළපන්න දරන වෙහෙස දන්නෙ අපිම විතරයි. සමහරු තමන්ගෙ වෙහෙස ගැන පසු තැවිලි වේවී ජීවත් වෙනවා. තවත් සමහරු තමන්ගෙ ජීවිතයෙ වෙහෙස ගැන නොදැනම මිය යනවා. තවත් අය විවේක ගන්න කාලය හොයනවා. එහෙත් අකීකරු කාලය මහ නරක විදිහට ඔරලෝසුව කරකව කරකව , කැලැන්ඩරය පෙරළවනවා.

ඔයා හුඟක් ඇවිද්දා. දැන් වෙහෙසයි. ඒත් නවතින්න අවසරක් නැහැ. මට පෙනෙනවා සිහින ගොඩක් අහසෙ තියෙක බව. අහස තවමත් දුරයි. ඒත් අපිට සතුටු වෙන්න පුලුවන් කාරණාවක් තියෙනවා. තරු තියෙන්නෙ අහසෙ නිසා.. තටු ගහන්න තරූ!! දුර අහසට ඉගිල්ලෙන්න.. ඈතම තියෙන ඔයාට වටිනම තරුව පොළවට අරන් එන්න උත්සාහ කරන්න . ඒත් සතුට කියන දේ එතැන නැතිව තමන් ළඟ තියා ගන්න උත්සාහ කරන්න.

පරදිනවාට බය නැති හැමෝම දවසක දිනනවාමයි.. මැරිච්ච මිනිස්සුන්ව නැගිට්ටවන්න බැරි වුණත් මැරිච්ච හිත්වලට පණ පිඹින්න දෙවියන් වහන්සෙ අපට කියා දීලා තියෙනවා. ඒත් මේ දේව දූතයන්ටත් අමාරු කාලයක්.

කොහොම වුණත් හැම කාලෙකම අහසට ඉහළින් පායපු සුන්දරම තරුවේ නාමයෙන්...
ඔහුගේ නාමයට ප්‍රශංසා වේවා!!

සුබ උපන් දිනයක් තරු අක්කී..


මම ස්නේහයෙන් නේහා!!

22 comments:

  1. සුභ උපන්දිනයක් තරූ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිසර... මේ මගේ උපන්දිනයට ලැබුණු ලස්සනම තෑග්ග.. මගේ ළාමකකම්වල හැටියට මේ විදියට ජීවිතේ භාරගන්න තව කොයි තරම් කාලයක් යාවිද මන්ද?

      Delete
  2. තරුට හිතන, පතන සෑමදේම එලෙසින්ම ඉටුවෙන සුබ උපන් දිනයක්!!!

    ReplyDelete
    Replies
    1. මං වැඩියම ආදරේ කරන අයට රිදවන්නෙ නැතිව ඉන්න ලැබුණොත් මට ඒ ඇති...

      Delete
  3. මගෙත් සුබ පැතුම් තරූ අක්කේ..:)

    ReplyDelete
  4. ඈත අහසේ තනියෙම දිලෙන පුංචි තරුවක් පොලොවට අරගෙන එන්ඩ තරු අක්කේ !
    සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
    Replies
    1. අහසෙ තරු අහසෙම තිබුණාවෙ මල්ලී... අපිට පොළවෙ ඉඳල බලල සතුටු වෙන්න හැකි නේ...

      සුබපැතුමට තුති...

      Delete
  5. සුභ උපන්දිනයක් තරූ. මම නම් හිතන්නෙ ඈත තියෙන වටින තරු පොලවට ගේන්න අමාරුයි. ඒක නිසා ඒ තරුවට අහසෙම තියෙන්න දීලා සතුටින් ඉන්න උත්සාහ කරන්න.

    ReplyDelete
    Replies
    1. කවුද අප්පා මේ මේ හැටිම උපදෙස් දෙන්නෙ මහා කරුණාවකින්.. කවුරු උණත් ඒ අදහස පිළිගන්නවා...

      ඈත අහසෙ තරු එපා මට.. මං විතරක් උන්නම මදෑ...

      Delete
  6. තරු තියෙන්නෙ අහසෙ නිසා.. තටු ගහන්න තරූ!!
    වලාවකට වුණත් මුවා හිනාවෙන්න තරූ
    සිනිඳු වලා දෝත පුරා තරු නෙළන්න තරූ
    තරුවක් වගෙ බබළ බබළ හිනාවෙන්න තරූ!!
    තටු ගහන්න තරූ!! හිනාවෙන්න තරූ!!

    ReplyDelete
    Replies
    1. ලස්සනයි....ස්තුතියි...

      ඒත් තටු ගහල වෙහෙසයි මට... ඒ නිසා බිම් බලාගෙන හෙමින් ඇවිදගෙන යන්නම්...

      Delete
  7. ලයාන්විත වදන් කැල
    මගේ හද තෙමා බසී
    දිය ඇල්ලක් සේ
    වේගයෙන්
    කඩා හැලෙන

    ReplyDelete
    Replies
    1. මට ලැබුණු සුන්දරම උපන්දින තෑග්ග...

      Delete
  8. ආදරණීය සුබ පැතුමක්. මම තරූට පේලි දෙකිකින් විතර ඔය අදහසම සුබ පැතුමට ලියා එවිවා....

    දෙවන වතාවටත් සුබ උපන්දිනයක්ම වේවා....

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ අයියගෙ සුබ පැතුම... ස්තුතියි ලස්සන පැතුමක්....

      ‘‘කවියට ගීයට ලේඛණ කලාවට පෙම්බඳින තරුගේ ලොව පුර හඳ පායන තවත් වසරක වෙනුවෙන් තරුරසීට සුබම සුබ උපන් දිනයක්ම වේවා....‘‘

      Delete
  9. තරූට.....සුබ උපන් දිනයක් වේවා!!

    ReplyDelete
  10. පමා වී ආ මගේ සුබ පැතුම පිළිගන්න තරූ

    ReplyDelete
  11. සුභම සුභ උපන් දිනයක් වේවා තරෑ!!

    ReplyDelete
  12. තරූ අක්කට මම මුහුණු පොතේ සුභ පැතුව හන්දා මේකේ පරක්කු උනා කියලා අවුලක් නෑනේ..

    ReplyDelete
  13. උපන්දින සුබපැතුම් එක් කළ හැමදෙනාටම හදවතින්ම තුති...

    සමහර සුබපැතුම් දකිද්දි හිතෙනවා ජීවිතය කොයි තරම් වගකීම්සහගත දෙයක්ද කියල..මෙතෙක් ආ ගමන ගැන සතුටකුත් දැනෙනවා...

    ReplyDelete
  14. පරක්කු වුණත් සුබ පැතුම්... සතුට කියන එක නිරන්තරයෙන් තමන් ඇතුළෙ තියෙන්න ඕන දෙයක් කියල මං විස්වාස කරනව!

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...