පිටු

Friday, October 10, 2014

උදා තරුවකි ඈ සැබවින්ම


‘‘අපි කොහොම හරි මා ගෙන්න ගන්න ඕන. එහෙම නැති වුණොත් දිනේයො මැරෙන්නයි යන්නෙ.

‘‘ඒත් ඒක කරන්නෙ කොහොමද? ටීරෝ උන්නෙ මොනවත් හිතාගන්න බැරුව.

එයාලගෙ මා රස්සාව කරමින් ජීවත් වුණේ ගමේ ඉඳල කිලෝමීටර් තුන්සීයකටත් වඩා දුරින්. ජොහැන්නස්බර්ග්වල.

‘‘අපිට මහපාරට ගිහිල්ල ඒක දිගේ ඇවිදගෙන යන්න පුළුවනි. නලේදි සන්සුන් හඬින් කිව්වා.

පිටුව 02

දිනේයෝ පුංචි නංගිට ගොඩක් අමාරුයි. එයා අසනීපෙන්. නලේදිට හරි දුකයි. එයා නංගිට ගොඩක් ආදරෙයි. අම්මා උන්නෙ ඈතක. තාත්තත් නෑ මියෑදිලා. නලේදියි, මල්ලි ටීරෝයි, දිනේයෝ පුංචි නංගියි රැක බලාගන්න දුර ඈත පෝසත් ගෙදරක බැලමෙහෙ කරන්න අම්මට සිද්ද වෙලා. පුංචි ඈයො තුන් දෙනා උන්නෙ ආච්චි අම්ම එක්ක. ඒක දුප්පත්කමේ පතුලටම ඇද වැටුණු දුෂ්කර ගමක්. හරිම අකාරුණික විදියට දිළිඳුබවේ රකුසා අහිංසක දරුවන්ව බිල්ලට ගත්තා. නලේදිට තමන්ගෙ නංගි ගැනත් මහා බයක් දැණුනා.   

පුංචි නංගිව බේරගන්න නම් අම්ම ඉන්නම ඕන කියල නලේදි ට හිතුණා. කොහොම හරි අම්මව හොයාගෙන ගෙදර එක්කරගෙන එනවා, ඈ එක හිත් හිතාගෙන මල්ලි ටාරෝවත් එක්කරගෙන මගට බැස්සා.

ත්ස්වානා බසින් නලේදි කියන්නෙ උදා තරුවට.. මේ උදා තරුවක කතාවයි සැබවින්ම.. 

සුදු මිනිසුන්ගේ දැඩි නීතිරීති වලින් අමානුෂික විදියට පාලනය වෙන රටක අඳුරු සමක් සහිත වීම ම කොතරම් අපරාදයක්ද කියන එක මේ ගමන පුරා නලේදිත්, ටාරෝත් තේරුම් ගන්නවා. ඒ වගේම කොතරම් දුෂ්කරතා මැද වුණත් ආදරය, මනුෂ්‍යත්වය නොනිවී දැල්වෙන බවත්, ඉතාම දුෂ්කර ජීවිතයක් වුණත් දරාගන්න ධෛර්යය දෙන්න ආදරයට පුළුවන් නේද කියලත් නලේදිගෙයි ටීරෝගෙයි කතාව කියවගෙන යද්දි හිතෙනවා. ආදරය ලඟ දැනෙන පොහොසත්කම ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අප්‍රමාණ ශක්තියක් වෙනවා.

නිදහස කියන වචනයේ තියෙන ගැඹුර, වටිනාකම ඒ නිදහස දිනාගැනීම වෙනුවෙන් කළ යුතු අරගලය ගැනත් මේ ගමනෙදි පුංචි උන් දෙන්නා වැටහීමක් ලබනවා. තමන්ගෙම භූමියේ පිටස්තරයන් වී හිඳීම, අපාරාධකරුවන් සේ නිරන්තරයෙන් අවමානයට නින්දාවට පීඩාවට වේදනාවට පත් වීමට සිදුවීම තරම් ඛේදවාචකයක් තවත් තියෙනවද?




................

ලස්සන ළමා කතාවක් වගේ දිගෑරෙන බෙවර්ලි නායිදුගෙ ‘‘ජොහැන්නස්බර්ග් කරා නවකතාව ජාති, ආගම්, කුල, පන්ති, වර්ණ ආදි වූ කුමන භේදයක් නිසා වුව මනුෂ්‍ය කොට්ඨාශයක් පීඩාවට පත් කිරීම කොතරම් අමානුෂිකද යන්න අපට සිහිපත් කරනවා. ඉගෙනගන්නට කොතරම් පාඩම් අතීතයේ තිබුණත් අදත් අප වටා සිදුවන්නේ ඒ නොපණත්කම් ම නොවේදැයි හිත විමසනවා.


Journey to Jo'burg - Berverley Naidoo
ජොහැන්නස්බර්ග් කරා
පරිවර්තනය - චූලානන්ද සමරනායක
සුභාවි ප්‍රකාශනයක්
මිල රු. 200.00 

‘කතාවකට වැඩි යමක් යනුවෙන් කෘතිය අගට එක් කර ඇති කොටස දකුණු අප්‍රිකානු වර්ණභේද වාදයේ බරපතල බවත්, නිදහස දිනාගැනීම දක්වා ඔවුන් ගිය කටුක ගමනත් පිළිබඳ පැහැදිලි සිත්තමක් අඳිනවා.

‘‘මම සුදු ආධිපත්‍යයට එරෙහිව සටන් කර ඇත්තෙමි. මම කළු ආධිපත්‍යයට එරෙහිවද සටන් කර ඇත්තෙමි. මම හැම පුද්ගලයෙකුටම සාමයෙන් එක්ව දිවි ගෙවිය හැකි සමාන අවස්ථාවක් ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහස් සමාජයක් පිළිබඳ පරමාදර්ශය ආදරයෙන් වැළඳගෙන සිටිමි. ඒ වනාහී මම ජීවත් වෙමින් ළඟා කරගැනීමට අපේක්ෂා කරන පරමාදර්ශයකි. ඉදින් එලෙසම අවශ්‍ය වන්නේ නම් එය නොපැකිළ මා දිවි පිදුමට වුව සූදානම්ව සිටිනා පරමාදර්ශයක්ද වන්නේ ය.

නෙල්සන් මැන්ඩෙලා සිරභාරයට පත් කිරීමේ තීන්දුව ලබා දීමට පෙර, විත්තිකුඩුවේ සිට ඔහු කළ කතාවේ කොටසක්...

එහි කතුවරියගේ සටහන අවසානයේ මෙලෙස සඳහන් වෙනවා.

‘‘දැන් ආණ්ඩුව පත් කරන්නේ සුදු කළු සියලුම දකුණු අප්‍රිකානුවන්ගේ කැමැත්තෙනුයි. ඒ නිසා තවදුරටත් වර්ණභේදවාදී නීති ක්‍රියාත්මක වෙන්නෙ නෑ. හැබැයි පවතින තත්වය වෙනස් කරන එක, නීති වෙනස් කරනාවට වඩා හුඟක් අමාරුයි. තවමත් ඇති-නැති, දුප්පත්-පොහොසත් පරතරය හරිම බරපතළයි. ඒ නිසා සමානාත්මතාව කියන පරමාදර්ශය වෙනුවෙන් කරන සටන අපි කොහෙත්ම අමතක නොකළ යුතුයි. හැම ළමයෙකුටම සමාන අවස්ථා ලබා ගැනීම උදෙසා අපිට තවමත් තරණය කරන්න තියෙන්නෙ විශාල කන්දක්. මේ ගමන අඛණ්ඩව කෙරෙන එකක්..

මේ ප්‍රකාශය අද ලාංකීය සමාජයටත් කොයි තරම් අදාළ වෙනවද... හිතන්න.




කෘතිය අවසන් වන්නේ හදවතට කතා කරන කතුවරියගේ නිසඳැසකින්.

ඔවුන් වෙර දැරූයේ නිදහසට විලංගු ලෑමට ය.

උදුරා ගත්තෝය උන් පොත
ඉරා දමා පිටු
දැමුවෝය ගින්නට...

දුම තුළින් තටු සැලී පොතේ පිටු

උදුරාගත්තෝය ඔවුහු එම පිටු
ඉරා දමා වදන් පේළි
මිරිකාලූවෝ ය...

පිට පැන්නේය එවදන් අතැඟිලි අතරින්

අඹරාලූවෝ ය ඔවුහු වදන්
එවදන්හි හඬ පිටට ගෙන
ගිල්වා දැම්මෝය නිහැඬියාව තුළ

එනමුදු ‍
පොතෙහි හදගැස්ම උස් හඬින් නැග ආවේ ය.
පිටුවලට ලැබිණි පියාපත්
වදන්වලින් නිදහසේ හුස්ම ඉපදුණි.





5 comments:

  1. කතුවරියගේ සටහනේ අවසානය...+++++++++++++++

    ReplyDelete
  2. ඔබ උපුටා දක්වා තිබෙන , කතුවරියගේ කතාව යතාර්ථයක් බවට පත් කරන්න මුළු දකුණු අප්රිකාවම වෙහෙසුනා , නමුත් ඒ වෙනුවෙන් අපේ රටේ අවංක මැදිහත් වීමක් තියෙනවද?

    ReplyDelete
  3. // පිටුවලට ලැබිණි පියාපත්
    වදන්වලින් නිදහසේ හුස්ම ඉපදුණි.//

    හරියට ඔයාගේ ලියවිල්ල වගේ තරූ...:)

    ReplyDelete
  4. නිදහස වෙනුවෙන් වේවා.ජාති,වර්ග,ආගම්,කුල භේද වෙනුවෙන් වේවා ලෝකේ කොහේ වුනත් ඒවාට එරෙහිව සිදුවූ සටන් සධාරණයි වගේම ඒ හැම සටනක්ම අපිටත් වලංගුයි තරු අක්කේ.මොකද මේක පුංචි රටක් වුනත් අන්තවාදීන් බහුතරයක් ඉන්න නිසා.

    ReplyDelete
  5. පොත නම් කියවලා නෑ.. කියවන්න හිතුනා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...