Monday, December 29, 2014

No.........



නත්තල දියබත් විය. මෙතරම්ම උදාසීන බවින් කණස්සල්ලෙන් සාංකාවෙන් ගෙවුණු නත්තලක් පෙර නොවූ විරූ තරම්ය. පුද්ගලිකව මෙන්ම සමාජයීයවද අපේක්ෂාසහගත වන්නට, නිදහස් වන්නට, නැවුම් වන්නට කොතරම් උත්සාහ දැරිය යුතුදැයි නැවත නැවතත් සිතුවෙමි. සියල්ල නාය යන්නට ඉඩහැරිය යුතුද? අළුත් පැතුමකට දළුලන්නට ඉඩක් ඉතිරි නොවනු ඇත්ද?

කාංසියෙන් පිරුණු නත්තල් නිවාඩුව නිමකර වැහි ඇල්ලේ ගල්ගැහෙන සීතලේ ම මඟට බැස්සද මාසික සිනමා දැක්ම මඟහැර යන්නට නොහැකි බවක් දැනෙන්නට වූයෙන් මීගමුව මාරිස්ටෙලාව අසලින් බසයෙන් බැසගතිමි. හොඳ චිත්‍රපටයක් නරඹන්නටත් ඒ පිළිබඳ ඵලදායී සංවාදයක යෙදෙන්නටත් අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකිනි. එය මගහැරයාම අළුත් හුස්මක් මඟහැර යාමක් බඳු ය.

මෙවර තිර ගත වූ චිත්‍රපටය "No". 2012 වසරේ නිමැවුණු චිලී සිනමා සිත්තමකි. අධ්‍යක්ෂණය Pablo Larraín. ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂා චිත්‍රපටය ලෙස නිර්දේශිත වී ඇති අතර, කාන්ස් සිනමා උළෙලේදීද, ඩුබායි සිනමා උළෙලේදීද සම්මානයට පාත්‍ර වූ චිත්‍රපටයකි.




1973 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් වාමාංශික ජනාධිපති සැල්වදෝර් අයියන්දේ නෙරපා දමා බලයට පත් හමුදාපති ඔගස්ටෝ පිනෝචේ වසර පහළොවක්ම ඒකාධිපති පාලන සමයක වියරුව අත්දකින්නට තම ජනතාවට ඉඩහැරියේය. 1988 වසරේදී තුන්වන වරටත් බලයේ සිටින්නට, තවත් වසර අටකට තම ධුරකාලය දීර්ඝ කරන්නට පැවැත්වූ ජනමත විචාරණයේදී පිනෝචේ පරාජයට පත් විය. චිත්‍රපටයට පදනම් වන්නේ මෙම ජනමත විචාරණයේදී ඒකාධිපති වියරුවට එරෙහිව ‘‘පිනෝචේ එපා” යනුවෙන් ජනතාව පෙළගස්වන්නට සිදුකරන ප්‍රචාරණ වැඩපිළිවෙලයි.

චිත්‍රපටය තුළ නිරූපිත ඒකාධිපති පාලනයක ලක්ෂණ අපගේ අවධානයට යොමු විය යුතුය. පිනෝචේගේ මිලිටරිමය ඒකාධිපති පාලනය තුළ ජනතාව පීඩාවට පත්වෙයි. නිදහස පතා වීදිබසින මිනිසුන් අවියෙන්, පහරදීමෙන් නිහඬ කරනු ලැබෙයි. කලාකරුවන්, මාධ්‍යෙව්දීන්, සමාජ ක්‍රියාධරයින් පිටුපස නාඳුනන ඔත්තුකරුවන් ලුහුබඳියි. පවතින පාලනයට එරෙහි වන්නන් ඔවුන්ගේ දරුවන්ගේ නාමයෙන් බියගන්වයි. විරුද්ධ පාර්ශවයන්ට මාධ්‍ය තුළින් ජනතාව ඇමතීමේ අවස්ථා වළක්වයි. ඒ අතර මාධ්‍ය තමන්ට වාසි සහගත ලෙස හසුරුවයි. ඒ අතර පිනෝචේ දරුවන් සුරතල් කරයි. දරුවන් සමඟ ඡායාරූප ගනියි. දරුවන් තම පාලකයා වෙනුවෙන් ගී ගයයි. ධජ ළෙලවමින් සුබපතයි. ඔහු මහළු මව්වරුන් සිපගනියි. ජනහමු පවත්වයි. දේශයේ නිදහස සහ අනාගතය පිළිබඳව මානවහිතවාදීව කතා කරයි. පාප්වහන්සේ පිළිගනියි. පාප්වහන්සේ සමඟ ඡායාරූපවලට පෙනී සිටියි. දිනාදුන් නිදහසත්, සිදුකළ සංවර්ධනය ගැනත් නැවත නැවත සිහිපත් කරයි. දේශප්‍රේමී, මානව හිතවාදී බවක්ම ගෙනහැරදක්වයි. දේශයේ එකම විමුක්තිදායක අපේක්ෂාව ලෙස පෙනී සිටියි.



මේ අතර දිනෙන් දින ජනතාව අතර ඒකාධිපති වියරුවට එරෙහි මතය ශක්තිමත් වෙයි. 

එය අද අප මුහුණදෙන යථාර්ථයට ගළපාගැනීම ඔබට ම භාර කරමි.

තවදුරටත් පිනෝචේගේ පාලනය ඉල්ලා සිටින පාර්ශවය "YES" යනුවෙන්ද, පිනෝචේ පාලනය ප්‍රතික්ෂේප කරන පාර්ශවය "NO" යනුවෙන්ද ප්‍රචාරණ වැඩපිළිවෙලට එක් වෙයි. ප්‍රධාන චරිතය වන රෙනේ සැවැඩ්රා නිර්මාණශීලී තරුණ ප්‍රචාරණ ශිල්පියෙකි. ඔහු "NO" ප්‍රචාරණ වැඩපිළිවෙලට සම්බන්ධ වන අතර, රෙනේ සම්බන්ධ දැන්වීම් ආයතනයද එහි ප්‍රධානියාද "YES" ප්‍රචාරණයට සම්බන්ධ වෙයි. බිඳුණු විවාහයක දරුවකු සමඟ තනිව දිවිගෙවන පියෙකු ලෙසද, තම ප්‍රචාරණ ආයතනය තුළම පවතින තරඟකාරිත්වයට මුහුණ දෙමින්ද, විවිධ මත දරන පුද්ගලයන් සමඟ ගැටෙමින්, මිලිටරි පාලනයේ මර්ධනයට මුහුණ දෙමින්ද රෙනේ දේශයේ වෙනසක් වෙනුවෙන් තම වගකීම සහ යුතුකම ඉටුකරන්නට දරන මහන්සිය අපේ හදවත් දල්වන සුළු ය.

දින 27 ක් තුළ එක් රාත්‍රියකට විණාඩි 15 බැගින් ලැබෙන රූපවාහිනී කාලය තුළ ජනමතය හසුරුවාගන්නට රෙනේ "NO" ප්‍රචාරණ වැඩපිළිවෙලට ලබා දෙන නව දැක්ම, සහ නිර්මාණශීලි දායකත්වය සමත් වෙයි. එය වඩාත් අපගේ අවධානයට යොමු විය යුතුයැයි සිතමි. ගීතය, සංගීතය, රූපවාහිනී දැන්වීම් කලාව, බැනර්, පෝස්ටර්, ස්ටිකර් වැනි ජනතාව අතරට ගෙන යා හැකි සියලුම මාධ්‍ය උපයෝගී කරගනියි. සරල සහ හෘද සංවේදී ප්‍රචාරක වැඩපිළිවෙලකි. එය පහසුවෙන් ජනතාව අතර සැරිසරයි. ජනතාව අතර ප්‍රචලිත වෙයි. තහවුරු වෙයි. නව යොවුන් වියේ සිට මහළු විය දක්වාම ආමන්ත්‍රණය කරයි. මුවින් මුව, හදින් හද ‘‘පිනෝචේ එපා” යන පණිවිඩය රැව් දෙයි. අවසන පිනෝචේ ජනමත විචාරණයෙන් පරාජයට පත්වෙයි.

සිනමා සිත්තම නිමවන්නේ වීදි බැස ප්‍රීති ඝෝෂා නඟන ජනතාව අතර සිය පුතු කර තබාගෙන ඇවිද යන රෙනේගේ ප්‍රීතිමත් නිදහස් රුව සමඟිනි.



"NO" ප්‍රචාරණ වැඩපිළිවෙල තුළින් අපට උගත හැකි පාඩම් බොහෝය.

කලාකරුවන්, මාධ්‍යෙව්දීන්, සමාජ ක්‍රියාධරයින් බහුතරයක් එකම වේදිකාවක, එකම මතයක ඒකරාශී වී සිටින මෙවන් තීරණාත්මක මොහොතක අවම වශයෙන් සෑම හදවතකම රැව් දෙන නිදහස, සතුට, සාමය අරුත් ගැන්වෙන, ජීවිතය පිළිබඳව නව අපේක්ෂාවන් දල්වන ගීතයක් නිර්මාණය කර ගත හැකි නම් කොතරම් අපූරුදැයි මට සිතේ. කලාව සහ ජනමාධ්‍ය ජනතාව ආමන්ත්‍රණය කිරීමට ඇති හොඳම ප්‍රවේශයන්ය. නමුත් එය පුද්ගල කේන්ද්‍රීයව, පුද්ගලයකු ඉස්මතු කිරීම වෙනුවෙන් නොව සමස්ත දේශය පිළිබඳව නව අපේක්ෂා දල්වන, පොදු සමාජ යහපත පිළිබඳ ජනතාව අවදි කරන නිර්මාණ විය යුතුයැයි සිතමි.

නිද්‍රාශීලී ජනතාවක් අවදිකරන්නට අඬහැර පෑම පහසු නොවන බව දනිමි. අන්ධ භක්තියෙන් මිථ්‍යාවේ වෙලී සිටින හදවත් එයින් බැහැරට ගැනීමද අසීරුය. ඒ සියල්ලට වඩා බරපතල කාරණය වන්නේ ආත්මාර්ථකාමී ලාභාපේක්ෂාවන් වෙනුවෙන් පොදු යහපත පාවාදෙන මිනිසුන්ද සිටීම ය. කෙසේනමුත් එදා චිලියට මෙන්ම අද අපේ රටට ද තීරණාත්මක මොහොතක් එළඹ ඇත. අපේ ගමන මහින්ද පාලනයක් හෝ මෛත්‍රී පාලනයක් වෙනුවෙන් නොව, පක්ෂ පාට භේද අතැර දැමූ සර්වපාක්ෂික යහපාලනයක් වෙනුවෙන් විය යුතු යැයි සිතමි.

රෙනේට දින 27 ක් තිබිණි. අප ප්‍රමාද වැඩිද?

( සිනමා දැක්ම සමඟ සම්බන්ධ වී ලාංකීය දේශපාලන යථාර්ථයටද අප අවදි කරමින් චිත්‍රපටය තේරුම් ගන්නට අවැසි වටපිටාව සකසා දුන් චූලානන්ද සමරනායක මහත්මාට විශේෂ ස්තුතිය. )

Tuesday, December 23, 2014

තෑගි මල්ල අරන් ඈත හෙමින් කවුරුද එන්නේ


මං පුංචි කාලෙ කතා පොතක් තෑගි ලැබුණ නම් ඒ ඉතාම කලාතුරකින්. අහම්බෙන්. ඉතින් පුංචි කාලෙ මඟහැරුණ ලස්සන ළමා කතා කියවීමේ පිස්සුවක් තාමත් මට තියෙනවා. ඒ නිසාම රස්සාවක් කරන්න ගත්තට පස්සෙ මම ම ඒ මඟහැරුණු පොත් මිල දී ගත්තා.

මගේ මුල්ම පොත් තිළිණය ගැන , කියවීමේ උත්පත්ති කතා , කියවීමේ මල් සමය ගැන මම මීට කළින් ලියලත් තියෙනවා. දැනටත් මං හරිම ආසයි ළමා කතා, නව යොවුන් කතා කියවන්න. ඒ පොත් එකතුවකුත් මා ළඟ තියෙනවා ගෙදර එන පුංචි අයට කියවන්න දෙන්න.



පුංචි අයට තෑග්ගක් දෙද්දි වුණත් පොත් තමයි මං වැඩියම තෝරගන්නෙ. ඒ මොකද සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම් අරන් දෙන්න කැමති වැඩිහිටියො ඕන තරම් හිටියත්, පොතක් තෑගි දෙන්න කැමති අය හරිම අල්ප නිසා. අනික ඇඳුම් සෙල්ලම් බඩු තෝරනවට වඩා පොත් සාප්පුවල රස්තියාදු වෙමින් පොත් තෝරන්න මං කැමතියි.

මෙදා සැරෙත් අපේ ගමේ නත්තල් සීයා ළමා පොත් ටිකක් තෑගි දෙන්න ලෑස්තියි.


ඔයාලටත් පුළුවනිනෙ නත්තල් සීයා කෙනෙක් වෙන්න, ගමේ අහළ පහළ දරුවන්ට පොතක් තෑගිදෙන්න.

Friday, December 19, 2014

දුර ඈත ඉගිළ ගිය කුරුල්ලෝ

by artist Martin Ridley

අසිරිමත් කොදෙව්වය
නිදහස් ය... නිවහල් ය..
නිලන නිල්ල ය
සොඳුරු කැල්ම ය
දිලෙන සිල්ම ය
කුවෙර පුරම ය...

ගිම්හානයේ සැඩ
හිරු රැසින් කම්පිතව
දුර ඈත ඉගිළ ගිය කුරුල්ලෝ
දැන් ඉතින් පියාඹා
එන්න නිසි කාලයයි
වසන්තේ උදාවයි....

යසිසුරින් පිරි
අසිරි පුරවර
පස් පියුමෙන් සුසැදි 
පොකුණු ය
පියුමෙන් පියුම විකසිත
පියුම් කුළුණු ය..
ගව්වෙන් ගව්ව
සුපසන් මාළිග ය...
රජ මැති ඇමති සහ වැසි
යෙහෙන් නිති වැජඹෙති...
තුඩ තුඩ දනන් මුව
යශෝ ගීතිකාවෝ රැව් දෙති...

හද දැරූ සුවහසක් සිහින ද
තුඩ දැරූ විරු සමරු ගීත ද
තටු ලිහී ගිලිහි කවි සම්පත ද
සිසිරයට විසුරුවා යළි එන්න...

අවැසි නැත දැන් ඒ සියල්...

එකම තනුවට එකම ගීතය
එකම හඬකින් ගයනා
තටු බිඳුණු විහඟ බලමුළු
හැම හන්දියක රැඳෙනා..

Monday, December 15, 2014

කොහිවෙද ලියු ඒ පෙම් කව


ගැට පිච්ච මල් පඳුර
කුළුඳුල්ම හසරැලි පාගෙන
පේ වී බලාන උන්නේ
හුදකලා පුංචි ගෙමිදුලක......

දොරගුළු හැරෙන කණිසමට
හුළඟත් එබිකම් කර කර
සුවදුක් කෙලෙසද විමසයි
සිහිලැල් අත්ලෙන් පිරිමැද.......

සුවඳ දුම් සුවඳක් ඇහැරී
සුළඟට හාදු පුදන සඳ
පිච්ච මල් පොකුරක් ළංවෙයි
මරිය මව් තුරුළට හෙමිහිට.......

මුතු කැට සදිසි තරු කැට
අහසම අයිති කරගෙන
හුදකලා කුටියක තරුවක
කවි හිත පාරවන විට...

කදෝකිමි පහන් එළි දැල්වෙයි
බැද්ද වට අඳුරට තනියට
මතක පොත සිතුවිලි පමණකි
කොහිවෙද ලියු ඒ පෙම් කව......


2014.12.13

Thursday, December 11, 2014

වත් සියපත් ය සුසුවඳ



වත් සියපත් ය සුසුවඳ
පත් ඉරු මත්තෙ සුපිපුණු
අත් හැරි විසල් අහසට
හිත් ආරන්නෙ රොන් සුණු

සියක් දහසක් පෙති මත
ලියැවුණු කවෙන් කව
හමනා සුගන්ධයෙහි දැවටුණු
අතිමහත් ප්‍රේමයකි...
මානව දයාවකි....

විටෙක සුසුවඳම නොව
රළු පරළු අමන නොමිනිස්
රුදුරු කටු සැමිටියෙන්
පහර ලත් හදවතක
කම්පනීය ගැස්ම ය....

විනිවිදිමින් දූෂිත වගුරුබිම
එහි දුඟඳ මේ යැයි පවසන
සුවඳවත් ලොවක් වෙනුවෙන්
එළිමහනට එන්නැයි
අපට ඇරයුම් කරන........

ඇසග කඳුළක තෙතමනය
ගිලිහි සුසුමක ගිනි සැර ය
කැකුළු හදවතක පුසුඹ ය
කව්ම නොව ඒ ජීවිතය.......

වත් සියපත් ය සුසුවඳ

හිත් මත 
කව් මකරන්ද තවරන...... 


Tuesday, December 9, 2014

What a Nice Couple


උත්තරා පුංචි රඟහලෙන් කඩිමුඩියේ එළියට බැස්සාය. බොරැල්ල හන්දියේ බෝ ගහ අසලින් අනවසර පිම්මකින් පාර පැන බසයකට ‍ගොඩවැදුණාය. වේදිකා නළුවේ දෙබස්, කදුළු, සුසුම්, තවමත් හිත ළඟම මුත් ඒ හතරඅත පෙරළා බලන්නට ඉස්පාසුවක් නොවීය. තත්පර කටුවේ වේගය සමඟම වේගවත් වූ හදගැස්මට විරාමයක් ලැබුණේ දුම්රිය නැවතුමේදීය.

“හලාවත බලා ධාවනය වන මුතුකුමාරි ශීඝ්‍රගාමී දුම්රිය ස්වල්ප වේලාවක් ප්‍රමාද වී ධාවනය වන බව කරුණාවෙන් සලකන්න.

‘අපරාදෙ ඒ තරම් දිව්වෙ සිත මුමුණයි.  දීර්ඝ සුසුමක් සමඟ ඇය සිමෙන්ති කුළුණකට වාරු වූවාය. අනතුරුව දුරකථන මුහුණතට සමවැදුණාය.

“ කොහොමද Nice Couple? දැනටමත් පැනයකට සයිබරය තටු පළන්ඳා තිබිණි.

“නයිස් කිව්වට නයිස්මත් නැහැ. අපි දෙන්න වගේ තමයි.” ඇය කෙටි පිළිතුරකට පියාපත් දෙමින් සංවාදයකට ඇරයුම් කළාය. දුරකථන මුණුමුණුව මුතුකුමාරි ප්‍රමාදයේ ළතැවුමට අස්වැසිල්ලක් විය.

“ඇයි, වැඩක් නැද්ද?” ඔහු ඇසුවේ සිනාවකිනි.

“නෑ....... ලස්සනයි. හොඳ නොහොඳ ගැන කියන්න තරම් නාට්‍ය කලාව ගැන දැනීමක් මට නැහැනෙ. හිතට දැනෙනවා. විශේෂයෙන්ම ආදරය, ජීවිතය, මනුෂ්‍ය සම්බන්ධතා වටිනවයි කියල හිතන අයට. ඇත්ත ජීවිතේ තමයි. ඇත්ත ජීවිතේම ආරළු බූරලු වුණත් වේදිකාවක් උඩ ආලෝක එළි මැද්දෙ භාවනාවක් වගේ දැහැන්ගත වෙලා විඳින කොට ඒකෙ අමුතු චමත්කාරයක් තියෙනවනෙ. අපිට අපි දිහා ඒ වගේ නිස්කලංකව බලන්න අවස්ථා ලැබෙනව හරි අඩුයිනෙ.”

“ඒක ඇත්ත... අපිට ඉතින් ඇත්ත ජීවිතේ විඳින්නවත්, ආපහු හැරිල බලන්නවත් වෙලාවක් නැහැනෙ..... නාට්‍යයක්, චිත්‍රපටියක් බලන්න කොයි තරම් ආසද? ඒත් ආස කරන කොයිතරම් දේවල් අත්හරින්න සිද්දවෙලා තියෙනවද ජීවිත සටන වෙනුවෙන්...... ඇයි අපි දෙන්න වගේ කිව්වෙ?”



“අපි දෙන්න වගේ කමකට නැති දේවල්වල එල්ලිලා ආදරය මරාගන්න හදන ජෝඩුවක් ඒ නාට්‍යයෙත් ඉන්නවා. තරුණ ජෝඩුවක් හොඳද? තිරය ඇරෙන්නෙ පිළිවෙලට හදපු යුගල ඇඳකුයි, පසුබිමේ එල්ලපු එයාලගෙ හරිම ආදරණීය පොටෝස්  ටිකකුයි එක්ක. දෙන්නගෙ පළමුවෙනි වෙඩින් ඇනිවසරි එක. පැබ් කේක් එකකුයි, වයින් එකකුයි අප්‍රමාණ ආදරයකුයි සතුටකුයි එක්ක තමයි නාට්‍යය පටන් ගන්නෙ. ටික ටික දිගෑරෙද්දි තේරෙනවා දෙන්නගෙ හැලහැප්පීම්. නොතේරුම් ගැනීම්.. දෙන්නම හිතන් ඉන්නවා එයාල හරි වෙනස්.. වෙනස් විදියට ජීවත් වෙන්නෙ කියල. ඒත් අන්තිමේ තේරෙනවා වෙනස් කියල හිතුවට වෙනස්ම නැහැ. වෙනස් වෙන්න උත්සාහ කරනවා විතරයි කියල. මහා සමාජයේ අනිත් අයගෙ උවමනා එපාකම්ම තමයි එයාලට තියෙන්නෙත්.. මොන හැලහැප්පීම් තිබුණත් අන්තිමේ ඒ ආදරය මැරෙන්නෙ නැහැ කියන හැඟීම ඇතිවෙනවා.. ඒ බලාපොරොත්තුවත් වටිනවා....”

දීර්ඝ සුසුමකට පාවී යන්නට ඉඩ හැරි ඈ වටපිට විමසිලිමත් වූවාය.  මුළුගැන්නී සිටි අන්ධකාරය දුම්රිය නැවතුම වෙළාගෙනය. දැල්වෙන පහන් එළි ඒ අඳුර පළවා හරින්නට කිසිදු උත්සාහයක් නොදරාම අලසව ගිමන් හරින සෙයකි. දුම්රිය ප්‍රමාදය ගැන පසුතැවිල්ලක්, වගේ වගක් නැත්තේ ඇයට ම පමණකි. විඩාපත් බිරින්දෑවරු විස්සෝපයෙන් මැසිවිලි නඟති.

......... අපිට මුලදිම හිතෙන්නෙ ටක්කෙටම ගැළපෙන, හරිම ආදරණීය ජෝඩුවක් කියල.......... ඒත් ඒ සිතුවිල්ල වැරදියි කියල ටිකෙන් ටික දැනෙන්න පටන්ගන්නවා. ඒ වයිෆ් හිතනවා හස්බන්ඩ් එයාට හැමදේම කියන්න ඕන කියල. ඒ හස්බන්ඩ් හිතනවා ඇත්තම කියන එක නැති ප්‍රශ්න ඇති කරගැනීමක් ඒ නිසා දේවල් හැංගුවට කමක් නැහැ කියල. ඒක තමයි ගැටුමේ ආරම්භය. දෙන්නම වැරදිත් නැහැ. ‍මුළුමනින්ම විවෘත වෙන්න නම් මහා තේරුම් ගැනීමකුයි, ගැඹුරු ප්‍රේමයකුයි තියෙන්නත් ඕනනෙ. මේ ‍වගේ ප්‍රේමයේ පරිවාස කාලයක ඒ තරම් තේරුම් ගැනීමක් ඇතිවෙන්න විදියකුත් නැහැනෙ.”

“ඔය ගැටුම ඉතින් අළුත් දෙයක් නෙවෙයි. සදාතනිකයි. ගැහැණු පිරිමි ස්වභාවය වෙනස් බව තේරුම් නොගැනීම නිසා ඇතිවෙන අරගලය... සමහර දේවල් තියෙනවා. කතා කරන්න බැරිකමට නෙවෙයි. හිත රිද්දන්න බැරිකමට නොකියා මගහරින දේවල්. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ කොහෙත්ම නොසලකාහැරීමක්... ආදරයේ අඩුවක්........ ” ඔහු හිනැහේ.

“ ඇයි හිනාවෙන්නෙ... ඔයත් ඒ වැඩේම කරන නිසා නේද? මමත් නම් කැමතියි ඇත්ත දැනගන්න. බොරුවෙන් හිත රවට්ටගෙන ජීවත් වෙනවට වඩා තිත්ත වුණත් ඇත්තට මූණ දෙන එක ‍හොඳයි. ඒකනෙ මමත් ඔයාට නිතරම කියන්නෙ ඔයා වෙන කෙනෙකුට ආදරෙයි නම්, මගෙන් ඈත් වෙන්න ඕන නම් ඒක මට කියන්න කියල පැහැදිලිවම. ඕනම වෙලාවක යන්න ඔයාට අවසර තියෙනවා කියල...”

“විවෘත වෙනවයි කියන්නෙ ඔය ටිකට නෙවෙයිනෙ ඉබ්බියෙ.....”

“නෑ මං පොඩි උදාහරණයක් ගත්තා විතරයි. ඒත් ඉතින් විවෘතභාවය ගැනයි, කොන්දේසි විරහිත ප්‍රේමය ගැනයි මහා පණ්ඩිත අදහස් කියන ඔයාටමනෙ ඒව රකින්නත් අමාරු... දැන් මට වෙලා තියෙන්නෙ ආදරවන්තයො දෙන්නෙක් හොයාගන්න. කලාව, සාහිත්‍යය, දේශපාලනය ගැන කතා කරන්න එක ආදරවන්තයෙක්, ජීවිතේ ගැනයි, හිතට එන අනිත් හැමදේමයි කතා කරන්න තවත් ආදරවන්තයෙක්..... ඒකත් නරක නෑ.”

‘‘අන්න අන්න....... දැන් නම් නාට්‍යය පටන්ගන්න වගෙයි හදන්නෙ... ඔය ඇඬියාව පැත්තක තියල What a Nice Couple ගැන කියන්න. ඒ නොරිස්සුම් හඬ ඇයට හුරු ය. හැමදාමත් සිදුවන්නේ එයම නොවේද? තර්කයෙන්, නොරිස්සුමෙන් ඇගේ හඬ යටපත්ව ගියේ මේ මොහොතේ පමණක්ම නොවේ. නාට්‍යයේ නිරූපිත පුරුෂ පාර්ශ්වය ඒ අතින් මේ යථාර්ථයට වඩා යහපත් ය. පැහැපත් ය. ඔහු ආදරය වෙනුවෙන් ඉවසයි. නම්‍යශීලි වෙයි. ආදරණීයව බැඳුම් පවත්වාගන්නට මිස ලිහාගන්නට උත්සාහ නොදරයි. 


‘‘නාට්‍ය චාමර ගුරුගේ ගෙ.. එයත් පිරිමියෙක්. ඒ නිසා පොඩි ඇදිල්ලක් තියෙනවා. ඒත් අන්තවාදී නැහැ. ස්ත්‍රී පුරුෂ චරිත දෙකම ගොඩනගද්දි මැදිහත් දැක්මකුත් තියෙනවා. ඒත් ඒ ගැහැණු ළමයාගෙ හිතුවක්කාරගතිය, නොඉවසිල්ල, නපුරුකම ඉස්මතු කරනව වැඩියි වගේ.. ඒක ගැහැණිය ගැන තියෙන පොදු අදහසක්නෙ...” උත්තරා සිතුවා මිස ඒ බව සිය පෙම්බරාට කියන්නට නොගියාය. ස්ත්‍රීවාදය ගැන දේශනයක් අසන්නට ඈ සිත සූදානමක් නොවිණි. පොදු මනුෂ්‍යත්වය ගැන මිස හුදු ස්ත්‍රීත්වය පිළිබඳව පමණක් අන්තගාමී වෙසෙස් හැඟීමක් ඇය තුළ නොවිණි.

‘‘................. ට්‍රේන් එක එනවා... මම තියන්නම්. තාම ඔෆිස්ද?”

‘‘බස් එකේ. ගෙදර යන ගමන්. බෝඩිමට ගිහින් රින්ග් කරන්න. මම ගන්නම්.” සංවාදය නිමවන ඇසිල්ලේ ඒ හඬ දයාබරව, ළයාදරව දැල්වේ. ඉතින් සියලු දුක් සංකාවන් නිවී යයි.

හයයි දහයට පැමිණිය යුතු දුම්රිය පැමිණීයේ හතයි කාලටය. ප්‍රමාදය නිසාම දුම්රියේ සෙනඟද නොවුණි. කවුළුව අසලම අසුනක් ලැබීම අහඹු අසිරියකි. කොලොම්පුර පසුකරමින් දුම්රිය මන්දගාමීව ඇදෙයි. විදුලි බුබුළෙන් ආලෝකමත් වූ හාත්පස සුන්දරය. ගිනියම් දහවල ගැන හාංකවිසියක් නොදන්නා අහිංසකාවියක ලෙස සිහිල් සුළඟක් සැරිසරයි. වත සිඹියි. ආදරයට මිස වාදයට  සුදුසු පරිසරයක් නොවේ. ඇය නැවතත් දුරකථන අංකය මත ඇඟිලි තුඩු යැව්වේ සිනාවක් මුව මත තෙරපෙද්දීය.

‘‘පුදුමයි... සීට් එකක් ලැබුණා. වාඩිවෙන්න..” හේතු පහදාදීම අවශ්‍ය නොවුණත් උත්තරා නිස්කලංක සංවාදයකට ඉඩක් ඇති බවට ඉඟි කළාය.

‘‘ඒක හොඳයි....... නයිස් කපල් කතාව ඉවර වුණේ නැහැනෙ...”  

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මුදු සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ.....

හද දිනූ ගීතයක හඬ එහා ඉමෙන් ඇසුණි. ගීතය නිමවන තුරු දෙදෙන මුනිවත පිරූහ.

‘‘ලස්සන සින්දුව. බස් එකේ ඩ්‍රයිවර්, කන්ඩක්ටර් සුන්දර මිනිස්සු වගේ.............. ඉතින්?” බලන්නටම සිතා සිටි නාට්‍යයක් මඟ හැරී යාමේ කණස්සල්ලක් ඔහු තුළ වේදැයි උත්තරා සිතුවාය.

‘‘ ඉතින්.............. ඒ නාට්‍යයෙ වයිෆ් කේන්ති ගියාම කටකමසිරියාවක් නැතිව කියවන කෙනෙක්. එයාගෙ වචන පිහිතුඩු වගේ. එයාගෙ ප්‍රශ්නවලට හස්බන්ඩ්ට උත්තර නැති වෙනවා. උත්තර තිබුණත් අරය ඒව තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ... මට හස්බන්ඩ් පව් කියලත් හිතුණා.

ඒ අතින් අපි දෙන්නයි ඒ දෙන්නයි අතර වෙනසක් තියෙනවා. ‍කේන්ති ගියාම කෙළවරක් නැතිව කියවන්නෙ ඔයානෙ. හුස්මක් ගන්නවත් ඉඩක් නැත්තෙ මටනෙ. මම කරන්නෙ දවස් දෙකතුනක් හොරෙන්ම අඬලා කඳුළු පිහදගෙන හිත හදාගන්න එකනෙ. කී වතාවක් නම් හිතුවද ඉතින් හැමදේම ඉවරයි. ඔයාගෙන් ඈත් වෙනවමයි කියල. ඒත් අන්තිමේ ආයෙම ළං වෙන්නෙත් මමනෙ.. නාට්‍යයේ ඒ භුමිකා දෙක මාරුවෙලා...”

උත්තරාගේ සිනාවට දුරකථනයේ අනෙක් පසින් පැන නැගි සිනාවද මුසු විය.

‘‘මට ඔය කාවවත් හුරතල් කර කර ඉන්න වෙලාවක් නැහැනෙ. මට ඊට වඩා වැදගත් වැඩ තියෙනවා...” ඒ සිනාවෙන්ම ඔහු පවසයි.

‘‘ආදරය කියන්නෙත් වැදගත් වැඩක් තමයි.............   ඒ නාට්‍යයෙ  හස්බන්ඩ් ගැන නම් මාරම දුක හිතෙන වෙලාවලුත් තියෙනවා. ඒ මනුස්සයා අධ්‍යාත්මිකව හුදකලා වුණ කෙනෙක්. තනිවුණ කෙනෙක්. වයිෆ්ට ඒක තේරුම් ගන්න ශක්තියක් නැහැ. අරයා ඒ බව තේරුම් කරන්න උත්සාහ ගත් බවක් පේන්නෙත් නැහැ. එයා තනියෙන්ම දේවල් විඳ දරාගෙන වෙහෙසට පත්වෙලා. අතීතයේ එයාගෙ ජීවිතය ගැන. ඒ කාලෙ තිබුණු නිදහස, මිත්‍ර සම්බන්ධතා ගැන. ආර්ථිකයත් එක්ක මනුස්සයෙක් අසරණ වෙන තරම.. නිදහස අහිමි වෙන තරම හස්බන්ඩ්ගෙ හුදකලා ආත්මකථනයෙ කියැවෙනවා. පවුල් සංස්ථාව ඇතුළෙ වැඩියෙන්ම තනිවෙන්නෙ, අසරණ වෙන්නෙ පිරිමිද කියලත් හිතෙනවා. ගැහැණු අයනම් අඬල දොඩලා හැපිල කෑගහල තමන්ගෙ වේදනා පිටකරගන්නවනෙ.... ඒත් පිරිමි හැමදේම හිතේ හිරකරගෙන ඉන්නවනෙ.. එක්කො අරක්කු සිගරට්වලින් විසඳුම් හොයන්න හදයි.. නැත්නම් පිටමං වෙලා යයි... ඒත් ඒ හැමදේකින්ම සිද්ද වෙන්නෙ ආදරය මැරෙන එක. විඳවන එක.....”

‘‘ඒ කතාව ඇත්ත. වෙලාවකට පෙම්වතියට, බිරිඳට වඩා මිත්‍රයෙක්, සිගරට්ටුවක්, බියර් එකක් සමීපයි කියල හිතෙන්න පුළුවන්... ඒ පිරිමි ස්වභාවය.. ගැහැණියකගෙ ආදරයට විතරක්ම බෑ පිරිමියෙක්ගෙ ජීවිතයේ හැම අධ්‍යාත්මික අවශ්‍යතාවයක්ම පුරවන්න.. අනිත් පැත්තටත් ඒක එහෙමම තමයි.. .”

‘‘නාට්‍යයෙ තව හිත්ගත්ත තැනක් තියෙනවා. දෙන්න දරුවෙක් ගැන කතා කරන වෙලාව. වයිෆ් කියනවා ‍එයාට දරුවව වෙනස්ම විදියට හදන්න ඕනි කියල. ඔයා වගේ වෙනස් විදියට හිතන ආදරණීය රස්තියාදුකාරයෙක්.. එහෙමයි එයා කියන්නෙ. ඒ හස්බන්ඩ් අරය තරම්ම බොළඳ තැනක නැහැ. සමාජයත් එක්ක ගැටිල ජීවත් වෙන කෙනෙක් නිසා වෙන්න ඇති. එයා කියනවා අපි කොයිතරම් වෙනස් විදියට හැදුවත් ඒ දරුවට පයගහන්න සිද්ද වෙන්නෙ මේ ජරාජීර්ණ සමාජයට කියල. දරුවා ඒ සමාජයට පයතියන පළමු මොහොතෙම අපචාරයට ලක් වෙනවා කියල.... ඒ කතාව ඇත්ත නේද? අපි අපේ දරුවො ගැන විතරක්ම හිතල හරියන්නෙ නැහැ. සමාජය යහපත් තැනක් වුණොත් විතරයි කොයි දරුවට වුණත් යහපතක් වෙන්නෙ....

‘‘ඔය ඇත්ත මිනිස්සු තේරුම් නොගන්න නිසානෙ මේ හැම අවුලක්ම. අනාගත පරම්පරාව ගැන හිතල, තමන්ගෙ දරුවන් වෙනුවෙන් යහපත් හෙට දවසක් හදන්න ඕන කියල හිතල වර්තමානයෙ ජීවත් වෙනවනම් මේ ලෝකය මීට වඩා ලස්සන තැනක් වෙනවා....

‘‘අන්තිමේදි දෙන්නගෙ ගැටුම් සමනය වෙලා අහිංසක බබෙක් වගේ හස්බන්ඩ් වයිෆ්ට තුරුල් වෙලා දොයිය ගන්නවා. ගොඩක් පිරිමි තමන්ගෙ බිරිඳගෙන්, පෙම්වතියගෙන් ඒ මාතෘක ප්‍රේමය බලාපොරොත්තු වෙනවය කියලත් මට හිතෙනවා. ලස්සනම වැඩේ මොකක්ද දන්නවද? අච්චරම ප්‍රගතිශීලී විදියට හිතන එක්කෙනත් නින්දට යන්නෙ ඕස්ට්‍රේලියාවට පැන ගැනීමේ හීනයක් එක්ක...... තමන් වෙනස්ය කියල හිතන, වෙනස් වෙන්න හදන ගොඩක් ජීවිතවල ඇත්ත ඒකම තමයි නේද? තවත් අතකින් මේ තියන සමාජ ක්‍රමය නිසා මිනිස්සු කොයිතරම් වෙහෙසට, බලාපොරොත්තු විරහිත තත්වයට පත්වෙලාද කියලත් ඉඟිකරනවා. ආදරයට ආදරය විදියට පවතින්න පුළුවන් වටපිටාවක් නැහැනෙ...

ඇය මොහොතකට අවසන් ජවනිකාව සිහිපත් කළාය. බිළින්ඳකු සේ තම බිරිඳගේ තුරුලේ නිදන සැමියෙකි. හිටිවනම ඔහු තිගැස්සී අවදි වේ. කවුරුන් හෝ තමන් දෙස බලා සිටින බව පවසන ඔහු තමන් සිටින්නේ නිරුවතින්දැයි විමසයි. එසේ නොවන බව බිරිඳ පැහැදිලි කළත් තිගැස්ම පහව නොයයි. අවසන ඔවුහු ප්‍රේක්ෂාගාරයට පිටුපා නින්දට වැටෙති. පවුල් සංස්ථාව තුළ සිරවන බොහෝ යුවතිපතීන් කරන්නා සේම ඔවුහු ජීවිතයට පිටු පා නිද්‍රාවක වෙළෙති. නමුත් එතැන ආදරය නොපවතින්නේ නොවේ. ගැටලුව වන්නේ පවතින ආර්ථික සමාජ අර්බුද හමුවේ ඒ ආදරයට කොතෙක් දුරට ජීවිතය දරාගත හැකි වේද යන්නය.


‘‘මට හිතෙනවා ආදරය තියෙන්නෙ නාට්‍යය ඇතුළෙ නෙවෙයි එයින් පිටත කියල...

‘‘ඇයි එහෙම හිතන්නෙ?

‘‘නාට්‍යය ඇතුළෙ තියෙන්නෙ ගැඹුරට මුල් ඇදපු ප්‍රේමයක් නෙවෙයි. ප්‍රේමයේ මතුපිට ගලායෑමක්... ඒත් වේදිකාවෙ දිගෑරෙන ඒ ජීවිත කතාව බලන් ඉද්දි අපිට දැනෙන්න ගන්නවා අපේ බැඳීම්වල අඩුපාඩු. අපේ ආදරයේ තරම.. අපි ආදරය කිය කියා කරන්නෙ කොයිතරම් බොරුවක්ද කියන එක.... අපි ආදරය කියල රැවටෙන්නෙ කොයි තරම් මායාවකටද කියන එක... ආදරණීය මිනිස්සු වෙන්න නම් අපි කොයිතරම් වෙනස් වෙන්න ඕනද කියන එක.. නාට්‍යය අපිට වෙනස් වෙන්න බල කරන්නෑ. ඒත් වේදිකාව දිහා බලන් ඉද්දි හිත කතාකරන්න ගන්නවා. හිනායනවා සමහර වෙලාවට. ඒත් ආපිට හිතෙනවා මේ අපි හිනාවෙන්නෙ අපිටම නේද කියලත්.. ඒ නිසයි මම එහෙම කිව්වෙ...

‘‘කොහොමද රඟපෑම්?

‘‘චරිත දෙකයිනෙ තියෙන්නෙ... එහෙමයි කියල කම්මැලිකමක් දැණුනෙ නැහැ. ඒ දෙන්න හොඳට රඟපානවා. මම නම්වලින් දන්නෙ නැහැ.. අළුත් අය වගේ..මට වැඩිය වේදිකා නාට්‍ය බැලෙන්නෙත් නැති නිසා සන්සන්දනාත්මකව නාට්‍යය ගැන කියන්න අමාරුයි....  

‘‘පොත්ම විතරක් නෙවෙයි කලාව කියන්නෙ. අවස්ථා හදාගෙන හරි වේදිකා නාට්‍ය බලන්න. ඒ සජීවීකම ජීවිතය අළුතෙන් අල්ලගන්න උදව් වෙනවා.... මං කැමතියි ඔයාගෙ කියවීමට.. ඒක නිවැරදිම කියවීම නොවෙන්න පුළුවනි... නමුත් වඩා වැදගත් ඕනෑම කලා නිර්මාණයක් ඇතුළෙ ජීවිතය දකින්න උත්සාහ කරන එක.. ඒ උත්සාහය තමයි අධ්‍යාත්මිකව පොහොසත් වෙන්න උදව් වෙන්නෙ.... 

උත්තරාගේ වත මත සිනාවක් පිපුණි. ඒ හිත කියවීම එතරම්ම අපහසු නැත. එහි ආදරය තැන්පත්ව ඇත්තේ ගැඹුරුම පත්ළේ ය. එය නිරන්තරයෙන් රැළි නඟන නොගැඹුරු දියත්තක් නොවේ.

‘‘ඕහ්.......... බහින්න ළඟයි. කතාවෙන් අමතක වෙනවා...

‘‘ඕකේ. පරිස්සමින් යන්න. හැමදාමත් වගේ ‘පරිස්සමින් යන්න වඩාත් බරට හදවතට දැනෙද්දී ඇය සැනසුම් සිතින් දුරකථනය නිවා දැමුවාය.

What a nice Couple!!!!!!!


Monday, December 8, 2014

ඉර හඳටත් එළිය දෙමූ...


‘‘වියරුවට එරෙහිව වීදියේ විරෝධය” දේශපාලනික වැඩක් වගේම බිම් මට්ටමේ සාමාන්‍ය ජනතාවට කතා කරන්න සිවිල් සංවිධාන එකතු වෙලා කරන කලා කටයුත්තක්, සංස්කෘතික වැඩක් තවත් පැත්තකින්. කොටුවේ පැවති වීදියේ විරෝධයට සහභාගි වුණාම දැණුනා කාලෙකට පස්සෙ සාමාන්‍ය ජනතාවට දේශපාලනිකව ආමන්ත්‍රණය කරන්න හොඳ ක්‍රමෝපායන් ටිකක් එක්රැස්ගෙන කියල. වීදි නාට්‍ය, ගීතය, අවන්ත ආටිගලගේ කාටුන් චිත්‍ර ප්‍රදර්ශනය, අදහස් ලියා තබන දැන්වීම් පුවරුව, රාවය මගින් සංවිධානය කළ මහජන විරෝධතා පෙත්සම, ඒ අතර කෙටි කථන.........

මේ වැඩේට ගීතයෙන් පණ පෙව්වෙ ජයතිලක බණ්ඩාර සහෝදරයා.... ඔහු හැමදාමත් වීදියේ අරගලයත් එක්ක හිටිය සැබෑ මනුස්සයෙක්.. සැබෑ කලාකරුවෙක්..
වැස්ස වගේ ඇද හැලෙමූ
සුළඟ වගේ එකට ඉමූ
මූද වගේ මුතු බඳිමු
ඉර හඳටත් එළිය දෙමූ...

රතු තොල් විදහා මුදු මුහුණේ
අපටයි ගහවැල සිනාසුණේ
දරුවන් වඩමින් ළය මඬලේ
අපටයි මිහිමවු කතා කළේ...

අහස හඬන හඬ ඇහෙන හිතක්
පොළව හඬන හඬ දැනෙන ගතක්
සෙනෙහස උතුරා ගලන ලොවක්
උදාකරමු අපි අපේ ලොවක්...

මේ ගීතයට අපි ආදරය කළේ අපේ නව යෞවනයෙදි.. ඒ ගීතය අපි ආදරයෙන් පිරුණු මිනිසුන් බවට පත්කරන්නට උත්තේජන සැපයූ ගීතයක්. එදා සිට අද දක්වාම බියෙන් අත්මිදෙන්නට ඇරයුම් කරමින්, හඬක් නැති මිනිසුන්ට හඬක් වෙමින් ගැයූ ඒ ආදරණීය මිනිසාට එප්පාවලදි එල්ල වූ මැර ප්‍රහාරය අපි තදින්ම හෙළා දැකිය යුතුයි. ජයතිලක සහෝදරයාට පහර දෙන ආකාරය දැක්වෙන ඒ වීඩියෝ දර්ශනය කඳුළුබර සංවේගාත්මක මතකයක්. නිරායුධ අහිංසක මිනිසෙකුට මෙලෙස පහර දෙන්නට හැකි බලයෙන් හිස උදුම්මාගත් නරුම නොමිනිසුන්ටම මිස අන්කවරෙකුටද?

ඊයේ (07 වෙනිදා ) සවස එම විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන, කලාකරුවන් එක්ව මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රෙය්දී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කළ කතාව අතිශය සංවේදී, ඇස කඳුළු කැන්දන කතාවක්. එය මගේ මතකයේ හැටියට සංක්ෂිප්ත කරන්න පුළුවනි මෙහෙම.

‘‘මට පහර දීම දරාගන්න පුළුවනි. ගුටිකන්නට සිදුවීම මට වේදනාවක් නෙවෙයි. නමුත් මට පහර දෙන මිනිස්සුන්ව මෙහෙයවන බලවේගයේ දෑත් ශක්තිමත් කරන්නෙ මගේ ගීතවලට සංගීතය නිර්මාණය කළ රෝහණ වීරසිංහ කියල දැනෙන එක මට දරාගන්න අමාරුයි.............

මාව බිම පෙරළගෙන පයින් ගැහීම මට දරාගන්න පුළුවනි. ඒත් මට පහර දෙන මිනිස්සුන්ට  මා එක්ක එකම වේදිකාවෙ ගී ගැයූ දිවුල්ගනේ ශක්තිය දෙනවා කියල සිහිවෙන එක මට දරාගන්න අමාරුයි....

ඒ මිනිසුන් අසභ්‍ය වචනයෙන් බැණවදිමින් අපහාස කළ එක මට දරාගන්න පුළුවනි., නමුත් ඒ අපහාස වචනවලට ජවය සපයන්න එදා මට ගීත ලියූ මහින්ද චන්ද්‍රෙස්කරත් දායක වෙනවා කියල සිහිපත් වෙන එක මට දරාගන්න අමාරුයි.....”


ඔහුට වගේම අපටත් ඇත්තටම දරාගන්න අමාරුයි, ස්වයං නිර්වින්දනයට පත්වූ එහෙම නැත්නම් ස්වයං මෝහනයට පත් වූ මාධ්‍ය සහ කලා ක්ෂේත්‍රෙය් සහෘදයන්ගේ ක්‍රියාකලාපය. තමන් දරන මතවාදය වෙනුවෙන් පෙනී හිටින්න ඕනෑම මනුස්සයෙකුට අයිතියක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් තමන්ගේ පෞද්ගලික වාසිය වෙනුවෙන් මුළුමහත් සමාජයක්ම අගාධයට ඇද වැටෙන එක දැක දැකත් නොදකින, අස අසාත් තේරුම් නොගන්න මිනිසුන් මහත්ම ඛේදවාචකයක් නෙවෙයිද?

මෙවර රාවයේ චන්ද්‍රරත්න බණ්ඩාර ආදරණීය රෝහණ හෙවත් ඉස්සර රෝහණට ලියූ ලිපියත් කියවන එක වටිනවා මේ එක්කම....



උපුල් සේනාධිරි සහෝදරයාගේ ‘‘මෙමල් කළඹම ඔබ සතු” කාව්‍ය ග්‍රන්ථය ගැන සංවාදයක් 05 වෙනිදා පුවත්පත් මණ්ඩලයෙදි පැවැත්වුණා. අපි ස්තුතිවන්ත විය යුතුයි මේ කටයුත්ත සංවිධානය කරන හැමදෙනාටම.

නමුත් අප්‍රමාණ දුකක් දැණුනා මට සහභාගි වූ පිරිස දැකීමෙන්. සංඛ්‍යාත්මකව ගත්තත් 12 ඉක්මවූයේ නැහැ. කවි කිවිඳියන් කියන්නට සිටියේ සෞම්‍ය සඳරුවන් පමණයි. උපුල් සහෝදරයාගේ දෑස් නොපෙනීම වාසනාවක් කියල මට ඒ මොහොතේ හිතුණා. දෑස් පෙණුනත් අද බොහෝ කලාකරුවන් සැබවින්ම අන්ධයින් නොවේද?

ඒත් කොළඹ අවට සිටින කවි කිවිඳියන්ට පුංචි කැපකිරීමක් කරල මේ මොහොතට සහභාගි වෙන්න තිබුණ නේද කියල මගේ හිත කියනවා... මෙයත් නිර්වින්දනය වූ සංවේදීබවට තවත් උදාහරණයක්ද?

Tuesday, December 2, 2014

හදවතේ සිරවූ ඉකිබිඳුම - Japanese Wife


මෙවර  මාසික සිනමා දැක්මෙදි තිරගතවුනේ අපර්ණා සෙන්ගෙ “ජපන් බිරිඳ.  හරිම සංවේදී, මානුෂීය, ආදරණීය, සුන්දර සිනමා සිත්තමක්.

‘‘මේ චිත්‍රපටය ඉවසිල්ලෙ බලන්න ඕන. මන්දගාමී ගතියක් දැනේවි. හැම රූප රාමුවක්ම වැදගත්. මනුෂ්‍ය සම්බන්ධතා ගැන, ආදරය ගැන සියුම් විදියට කතා කරන චිත්‍රපටයක්.

සංස්කෘතික වෙනස්කම්, ආගමික වෙනස්කම්.... මේ වෙනස්බව යහපත් දෙයක්. එය ලෝකය සුන්දර තැනක් බවට පත්කරනවා. නමුත් ඒ නිසා ඇතිවන බෙදීම් නරකයි. එය ලෝකයේ පැවැත්මට හානිකරයි.

ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් පෙන්වා දුන් මං ලකුණු ඔස්සේ හදවත් දොරටු විවර කර, අපර්ණා සෙන්ගේ සිනමා සිත්තමට හද මත සැරිසරන්නට ඉඩ හැරියා. ඒ සැරිසර විසින් ගෙත්තම් කළ සිතුවිලි වියමනයි මේ...

චිත්‍රපටය ආරම්භයේ ඉඳන්ම මගෙ හිතේ ඉකිබිඳුමක් හිරවෙලා තිබුණා. ඇස් තෙත් වෙවී තිබුණා. ඒ මියාගි මමයි කියල මට හිතුණා. වෙලාවකට මම ස්නේහමෝයි වගේ. වෙලාවකට සන්ධ්‍යා වගේ. ඒ චරිත අතර මට මාවම පෙනෙන්න දැනෙන්න ගත්තා. වැඩියම දුක ඒ නිසාමද මන්ද?

හදවතටම කතා කරන අතිශය සංවේදී රූප රාමු වියමනක්. ඉසියුම් සිනමා ගෙත්තමක්.

ස්නෙහමෝයි බෙංගාලෙ. මියාගි ජපානයෙ. දෙන්නගෙ ආදරය පැවතුණේ ලිපි හරහා. ඉඳහිට දුරකථනයෙන් වචන කිහිපයක් එයාල හුවමාරු කරගත්තා. කවදාවත්ම හමුවුණේ නැහැ. එයාල විවාහ වෙන්නෙත් එකිනෙකා වෙනුවෙන් කැප වෙන්නෙත් ලිපි තුළින්මයි. ඒක මහ පුදුම ආදරයක්. එහෙම ආදරයක් තියෙන්න පුළුවන්ද කියල කෙනෙකුට හිතෙන්නත් පුළුවනි. 


දෑසින් නොදකින, දෑතින් නොඅල්ලන, හුස්ම පොදක් නොවැටුණ ශරීර දෙකක් අතර හදවත් හමුවීමක් තියෙන්න පුළුවනි. සමහර විට ජීවිතේ කිසිම දවසක හමුනොවන බව දැන දැනත් එවැනි ආදරයක් පවතින්න පුළුවනි. ඒ ප්‍රේමය ඒකපාර්ශවීය නම් ජීවිතේ හරිම දුෂ්කර වේදනාත්මක ගමනක් වේවි. නමුත් ස්නෙහමෝයි, මියාගි අතර ප්‍රේමය වගේ අන්‍යෝන්‍ය බැඳීමක් පවතිනවනම් කටුක ජීවිත ගමන වුණත් ධෛර්යයෙන් දරාගන්න හැකිවේවි. ආත්මයෙන්ම කැපවෙන්න හැකි වේවි.

ඒකපාර්ශවීය ප්‍රේමයක් වෙනුවෙන් ආත්මයෙන්ම කැපවෙන්න බැරි බව එයින් අදහස් වෙන්නෙ නැහැ. සන්ධ්‍යා තමයි එයට හොඳම උදාහරණය. තාරුණ්‍යෙය් අරුණැල්ලෙදිම වැන්දඹුවක් වූ ඇය පුංචි පුතාවත් එක්කරගෙන ස්නෙහමෝයිගෙ නැන්දගෙ හෙවණට එන්නෙ ඇය කරුණාවේ දෙවඟනක් වගේ මනුස්සකමින් පිරී ඉතිරුණු ගැහැණියක් නිසා. වැන්දඹුවකගේ සාම්ප්‍රදායික ජීවන උරුමයට අභියෝග කරන්න තරම් ශක්තිමත් ගැහැණියක් ඇය.

ඈත තියෙන ඉර හඳ ගැන පැතුම් පුරන අපිට ජීවිතේ බොහෝ වෙලාවට හිත ළඟම දැල්වෙන පුංචි පහන් එළි නොපෙනී යනවා. අපිම හදාගන්න මායාමය සිහිනවල ඇලිල ගැලිල ඉද්දි ජීවිතේ යථාර්ථය අපෙන් ඈත් වෙලා යනවා. මහපොළවෙ පයගහල ජීවත් වෙන්න තියෙන අවස්ථාවන් අහිමි වෙලා යනවා. ස්නෙහමෝයිට සන්ධ්‍යාගෙ ආදරය නොදැනෙන්නෙ, නොහැඟෙන්නෙ ඔහු යථාර්ථයට පිටුපාල සිහිනමය ප්‍රේමයකින් මෝහනය වෙලා ඉන්න නිසාද කියලත් මට හිතෙනවා. අධිසංවේදී හදවත් ඇත්තන්ට මුහුණ දෙන්න සිදුවෙන අත්වැරැද්දක් මේ.

කොහොමවුණත් සන්ධ්‍යාට ස්නෙහමෝයි කියන්නෙ පරම පවිත්‍ර ප්‍රේමයේ දිව්‍යමය පිළිරුව. ඇය ආරම්භයේ සිට අවසානය දක්වාම ඒ ආදර දෙවොලේ දේවදාසියක් වෙනවා. කිසිම අවස්ථාවක ඒ දෙවොල ආක්‍රමණය කරන්න උත්සාහ ගන්නෙ නැහැ. ඒ වෙනුවට ඒ සිහිනමය ආදරයත්, ස්නේහමෝයිවත් රැකගන්න ඈ උත්සාහ දරනවා. ඒ ප්‍රේමයේ තවත් පැතිකඩක්. අයිතියක් නොපතන, කාරුණික ඇල්මක් බැල්මක් වුණත් හදවතම පුරවන පරිත්‍යාගී ස්නේහයක්, ඉරිසියාව බිඳක්වත් ගෑවිලා නැති. එහෙම වෙන්න නම් කොයිතරම් පොහොසත් අධ්‍යාත්මයක්, ගැඹුරු ආදරයක් තියෙන්න ඕනිද?

රෝගීව සිටියදී අවසන් හුස්ම ගිලිහෙන්න කළින් ස්නෙහෙමෝයි ‘මියාගි‘ කියල සන්ධ්‍යගෙ අත අල්ලල පපුවට තුරුළු කරගනිද්දි එතෙක් හදවතේ හිරවුණු ඉකිබිඳුම කඳුළු දෙපේළියක් වෙලා ගලාගෙන ගියා. අවසන් දර්ශනයෙදි සන්ධ්‍යා මියාගිව ආදරයෙන් පිළිගනිද්දි, නිවසට.. කාමරයට කැන්දන් යද්දි ආයෙම ඇස්වල කඳුළු වේලිලා හිත සැනසීමකින් පිරුණා.

අතිශය පිරිසිදු පිළිවෙල ස්නේහමෝයිගෙ කුටිය ඔහුගේ ආදරයේ ස්මරණයන් සමඟ කිසිම වෙනසක් සිදුනොවී හුදකලා සන්සුන් බවකින් පිරී තිබෙන බව අපි දකින්නෙ මියාගිගෙ ඇස්වලින්. ප්‍රේමයෙන් පිරුණු මනුෂ්‍ය සම්බන්ධතා ජීවිතය මත තැන්පත් කරන ශාන්තිය, නිවීම, සන්සුන්බව ඒ අවසන් රූප රාමුව තුළ ගොනු වී ඇතැයි මට හිතෙනවා.

චිත්‍රපටයෙ වාර්ගික බෙඳීම්, ජාත්‍යන්තර බල අරගල ගැන ඉඟි සැපයෙන ප්‍රබල තැනක් සරුංගල් තරඟය. ඒ ගැටුම්කාරී රූපරාමු පෙළ අවසන් වෙන්නෙ පුංචි පුල්ටුගෙ දුක්බර මුහුණින්. මනුෂ්‍යත්වයේ ඉරිතැලීම් හරහා නිර්මාණය වෙන ගැටුම්කාරී ලෝකය බිලිගන්නෙ අහිංසක දරුවන්ගෙ අනාගතය නේද? ඒ බව ඉඟිකරන්නෙ අතිශය සියුම් විදියට. භාෂා, සංස්කෘතික, වාර්ගික බෙදීම් අතික්‍රමණය කරමින් මනුෂ්‍යත්වයේ නාමයෙන් එක්ව දිවි ගෙවිය නොහැකිද? ධනය, බලය මුල් කරගනිමින් තරඟකාරිත්වය, වෛරය ද්වේෂය වපුරනු වෙනුවට පරිත්‍යාගය, ආදරය, කරුණාව බෙදා ගත නොහැකිද?


මාෂි, සන්ධ්‍යා, මියාගි ස්ත්‍රීත්වයේ උදාරබවත්, සෞම්‍ය බවත්, ආදරණීය බවත් එක්තැන් කළ අපූරු චරිත. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වගේම ලියුම් බෙදන්නාගේ ඉඳන් පුංචි පුල්ටු දක්වාම වන සියලුම චරිත ආදරවන්තයි. මානුෂිකයි. ඒ මනුෂ්‍යත්වය යම් තරමකින් හෝ බිඳ වැටෙන්නෙ සරුංගල් තරඟයට මැදිහත් වෙන වෙළෙන්ඳා නිසා.

සොබාදහම........ ගඟ, වැස්ස, ඉර එළිය, ගහකොල ඇතුළු සමස්ත පරිසරය චිත්‍රපටයේ ප්‍රධාන භුමිකාවක් තරමටම ප්‍රබලයි. විශේෂයෙන්ම විවිධ හැලහැප්පීම් සතුටු, කඳුළු සමඟ ජීවිතයේ ගලායෑම සංකේතවත් කරන්නෙ ගංඟාව.. බෙංගාලෙ ගැමි පරිසරයේ සුන්දරත්වය අපූරුවට සිනමා සිත්තමට එක්තැන් කරගෙන තියෙනවා..    

ගෝලීය විවෘත ආර්ථිකය තවමත් තියෙන්නෙ මේ ජීවිතවලට එපිටින්. දුරකථනය පවා බොහොම දුරස්. අන්තර්ජාලය ඇහැ ගැටිලවත් නැහැ. විටින් විට නගරයට යන ස්නෙහමෝයි අහම්බෙන් දකින රූපවාහිනී දර්ශන ඔහු වික්ෂිප්ත කරනවා. මේ සා වටිනා මනුෂ්‍ය සම්බන්ධතා, ප්‍රේමණීය බැඳීම් ඇතිවෙන්නෙම, පවතින්නෙම ගෝලීයකරණයේ රුදුරු හස්තයට තවමත් මේ ජීවිත හසුනොවුණු නිසාද?

අන්තර්ජාලය, දුරකථනය, රූපවාහිනිය ආදී වූ නූතන තාක්ෂණික මෙවලම් ක්‍රමෝපායන් හරහා දැන් අපට ක්ෂණික මානව සම්බන්ධතා ඇති කරගත හැකියි. තාක්ෂණය අපේ ජීවිත ආක්‍රමණය කරලද කියලත් හිතෙනවා වෙලාවකට. නමුත් ඒ ක්ෂණික මානව සම්බන්ධතා මෙතරම් ගැඹුරට මුල් අදින්නෙ නැහැ. මෙතරම් හෘදයාංගම නැහැ. ප්‍රේමණිය නැහැ. ඒ වගේම පැවැත්මකුත් නැහැ. එහෙම වෙන්නෙම සොබාදහමෙන් දුරස් වූ  කෘතිම වටපිටාවක මනුෂ්‍යත්වය දළුදමන්න සුදුසු කෙම්බිමක් නැති නිසාද?


අපි අපේ ආදරණීය හදවත්, මනුෂ්‍යත්වයෙන් පිරුණු හදවත් රැකගන්න ශ්‍රමයක් දැරිය යුතුයි. අද තියෙන්නෙ ඒ සඳහා ධෛර්යය දෙන සමාජයක් නෙවෙයි. එනිසාමයි ඒ වෙනුවෙන් වැඩි වැඩියෙන් කැප විය යුතු. හරියට මාෂි වගේ... සන්ධ්‍යා වගේ. ස්නෙහමෝයි වගේ. මියාගි වගේ. පුංචි පුල්ටු වැනි අහිංසක දරුවන් වෙනුවෙන් ආදරයෙන් පිරුණු ලොවක් ගොඩනැගීමේ වගකීම අප සතුයි.