පිටු

Tuesday, April 14, 2015

වසන්තයේ සිනමා දැක්ම


ආදරය... සාමය.. සතුට පිරුණු නව වසරක් වේවා හැමදෙනාටම...

අද 14... ඊයෙ ලිව්ව සටහන දාන්න බැරි වුණා.. සිග්නල් අවුලක් නිසා... වසන්තයේ මගේ සිනමා දැක්මේ ආරම්භයයි මේ....

......

සිරි සිරි පොද වැස්ස දවස පුරාම.. විටෙකදි මොර සූරන වැස්සක්.. දරාගන්නම බැරි දුක් කන්දරාවක් හිර කරගත්ත පපුවක් වගේ මුළු අහසම අන්ධකාරයෙන් බර වෙලා...

නත්තල දියබත් කළ ඒ වැස්සම අද අවුරුද්දටත් අත පොවල.. ඒත් හිතේ කාන්සියක් තිබුණෙ නැහැ. කවුරුන් හෝ ඒවි, කවුරුන් හෝ සුබ පතාවි ඒ කිසිම බලාපොරොත්තුවක් නැති නිසාම ද මන්දා පාළුවක් දැණුනෙත් නැහැ.. උදෙන්ම කළේ කෝපි කෝප්පයක් හදා ගෙන ‘‘මායාවාසයේ‘‘ තනි වුණ එක.. අයියෙන්දේගේ මායාවාස ඔයා කියවන්නම ඕන පොතක් කියල, තිළිණ කළේ තිසර.. අවුරුදු නිවාඩුව පටන් ගත්තෙම එයින්. දුම්රිය ගමනත්, බස්රිය ගමනත් මොහොතක විඩාවක් නොගෙනෙන තරමට මං මායාවාසයේ අතරමං වෙලා උන්නෙ...

දෙවෙනි වතාවටත් චූටි මිමී එක්ක ටින්කර් බෙල් කාටුන් එක බලන්න වුණා ඉන්පස්සෙ. ‘‘අර ඇස් පේන්නැති අයියගෙ චිත්‍රපටිය දාන්න..‘‘ ඇය ඇවටිලි කරන්න පටන් ගත්තා...  ඊයෙ රෑ හැමෝම එක්ක බැලුව මජිද්ගෙ චිත්‍රපටියම ආයෙම චූටි මිමියි.. මම යි බලන්න ගත්තා.

..............

පාරාදීසයේ පැහැය.... The Color Of Paradise

තරමක අතීතයක මුල් වරට ඇස ගැසුණු ඉරාන චිත්‍රපටය Children Of Heaven.   ස්වර්ගයේ දරුවෝ.. මජිද් මජිදි ගේ අධ්‍යක්ෂණයක්...  ඒ චිත්‍රපටය අපි ළක්‍රිවියේ ළමා පුහුණු වලදිත්, අනුශාසක පුහුණුවලදිත් නොයෙක් වර පෙන්වමින් ඒ පිළිබඳව සාකච්ඡා කළා. චිත්‍රපටයේ අයියගෙත්, නංගිගෙත් බැඳීම ආදරය- ධෛර්යය අපි හැමෝටම ආදර්ශයක් වුණා.

ඇත්තටම ඒ අතීතය හරිම සුන්දරයි, දරුවන් එක්ක ගී ගයමින්, නටමින්, නාට්‍ය රඟදක්වමින්, සෙල්ලම් කරමින්, කතා බහ කරමින් ගෙවුණු කාලය... ළමුන්, අනුශාසක සොයුරු සොයුරියන් වෙනුවෙන් කැප කළ කාලය ආපහු හැරිල බලද්දි ලොවට දුන් දෙයට වඩා තමන්ගේම ජීවිතය පොහොසත් කරගන්න රැස්කරගත් දේ වැඩි බව ළක්‍රිවියට ඇප කැප වූ ඕනැම කෙනෙකු පිළිගනීවි....

අවුරුද්දට ගමේ ආවෙ මජිද්ගේ  තවත් චිත්‍රපට දෙකක් එක්ක. The Color Of Paradise ඉන් එකක්.


අම්මා අහිමි වුණු ගැමි ගොවි පවුලක ඇස් නොපෙනෙන දරුවෙක් මුල් කරගෙන ගොඩනැඟෙන මේ කතාව හරිම සංවේදීයි.. පාසලින් අස්වෙන මොහොම්මද් රැක බලා ගැනීම තාත්තාට ගැටලුවක්. ඔහු නැවත විවාහයකටත් සූදානමින් ඉන්නෙ. තාත්තා මොහොම්මද්ට ආදරේ නැතිව නෙවෙයි. ඒත් ජීවන අරගලයට මුහුණ දෙන තැනදි ඔහුත් අසරණයි. දෑස නොපෙනීම නිසාම සාමාන්‍ය දරුවන්ටත් වඩා හොඳින්  මිනිසුන්ටත්, සොබාදහමටත් අතිශය සංවේදී දරුවෙක් විදියට මොහොම්මද් හැදෙනවා.. වැඩෙනවා..

ආච්චි අම්මා, නංගිලා දෙන්නා, මොහොම්මද් අතර ගැඹුරු ආදරවන්ත බැඳිමක් තියෙන්නෙ. ගැමි ගොවි ජීවිතයත් එක්ක අපූරුවට පෑහෙන දයාවන්ත ආදරයක්...

අතිශය මානුෂික හැඟීම් විසින් හසුරුවන තාත්තා, ආච්චි අම්මා, මොහොම්මද්, ගුරුවරු, සොයුරියන්, වඩු වැඩපළේ අන්ධ මනුෂ්‍යයා. ඒ විතරක් නෙවෙයි ගහකොල, කුරුල්ලො, ගංඟා ඇල දොල සමස්ත සොබාදහම.... මජිද් හරි සියුම්ව මේ චරිතවල හැඟීම් අල්ලගන්නවා..

තාත්තා - Father

මජිද්ගේ ම චිත්‍රපටයක්... අනතුරකින් පියා මරණයට පත් වන පවුලක වැඩිමහල් නව යොවුන් පුතා නගරයට යනවා රැකියාවකට. ඔහු නංගිලා තුන්දෙනාටත්, අම්මටත් තෑගි භෝග අරන් ආපහු ගමේ එද්දි ගෙදර කවුරුවත්ම නැහැ. අම්මා පොලිස් නිළධාරියෙක් එක්ක විවාහ වෙලා.. පුතා හිතන්නෙ ඔහු අම්මව මුදල් බලයෙන් යටපත් කරගත් බව.. නමුත් එතැනත් පවතින්නෙ අතිශය මානුෂික කාරණාවක්..

පොලිස් නිළධාරියා දරුවන් ලැබීමට හැකියාවක් නැති නිසාම දික්කසාද වූ අයෙක්. ඔහු මේ මවත් දරුවන් හතර දෙනාත් තමන්ගේම අය වගේ භාරගන්නෙ මහත් ආදරයකින් සහ සතුටකින්... චිත්‍රපටය පුරාම දිවෙන්නෙ මේ නව යෞවනයා තමන්ගෙ අලුත් තාත්ත ගැන තරහෙන්, ඉරිසියාවෙන් දැවෙන විදියත්, මේ අලුත් තාත්තා තමන්ගෙ නව යොවුන් පුතාව දිනාගන්න දරන උත්සාහයත් එක්ක...

ඕනෑම ජීවිත කතාවකට නිශ්චිත අවසානයක් දෙන්න අමාරුයි.. මජිද්ගෙ දැනට මා බැලූ චිත්‍රපට තුනේම කතාව ඉදිරියට ගලාගෙන යන්න අවකාශය ඉතිරි කරල මනුෂ්‍යත්වය අවදි කරන තැනකින් කතාව නිම කරනවා. පිය පුතු සම්බන්ධතාවය ගොඩනැඟෙන බවට ඉඟි කරමින් තමයි මේ චිත්‍රපටයත් නිමවෙන්නෙ..
ඔහු බරපතල සමාජ අර්බුද සිනමාවට නඟනවට වඩා සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ විවිධ පැතිකඩ සියුම්ව හසුකරගන්නත්, සංවේදීව ඒ අත්දැකීම ප්‍රේක්ෂකයා සමඟ බෙදාහදා ගන්නත් සමත් අධ්‍යක්ෂකවරයෙක් බවයි මගේ හැඟීම... දරුවන්, පවුල, ගම්බද ජීවිත, ඔහු වැඩි වශයෙන් තම නිර්මාණවලට දායක කරගන්නවා. ඔහුට උවමනා මනුෂ්‍යත්වය දල්වන්න. අපේ හදවත් ආදරයෙන්, ඉවසීමෙන්, පරිත්‍යාගයෙන් පුරවන්න. සංවේදී බවින් දල්වන්න. ඒ අතින් ඔහුගේ නිර්මාණ හරිම සාර්ථකයි. සුන්දරයි. මානුෂිකයි


‘‘ඔබ ආදරය කරන කෙනා ඔබට ලැබු‍ණොත් හිතන්න දෙවියන් ඔබට කරුණාව දැක්වූ බව.. නමුත් ඔබේ ආදරය ඔබට නොලැබුණොත් ඒ කියන්නෙ දෙවියන් ඉන්නෙ ඔබ එක්ක.‘‘
දවස පුරාම එක සීරු වැස්ස.. එළියට බහින්නත් කම්මැලියි.. ආයෙම නිස්කලංකයේ ප්‍රේමණීය චිත්‍රපටයක දැහැන්ගත වුණා. හින්දි සිනමාවේ ප්‍රේමණීයම චිත්‍රපට නිමැවුම්කරුවෙක් සංජය ලීලා බන්සාලි. හම් දිල් දේ චුකේ සනම්, දේව්දාස්, ගුෂාරිෂ්  ඔහුගේ නිර්මාණ අතර ආශාවෙන්ම බැලූ චිත්‍රපටි ලෙස මතකයේ ඇඳී තියෙනවා...

සාවරියා මඟ හැරී තිබුණු චිත්‍රපටයක්... ඒත් පෙර කී නිමැවුම්කරුගේ මයි.... ආදරය දෝරෙ ගලා යන... ඒ තරමට විරහව හද පෙළන සුන්දර චිත්‍රපටියක්... සංගීතය, ගීතය ප්‍රේමයටම පණ පොවනවා.. ලස්සනම රූපරාමු.. ලස්සනම ගීත... හින්දි සිනමාවේ සුරඟන උත්කර්ශයෙන් පිරුණු චිත්‍රපටයක්...

නරකම නෑ... ආනන්දනීයයි... ප්‍රඥාව දල්වනවද කියන කාරණය අමතක කරල ඒ සුන්දර චමත්කාරයට හිත පුරවන්න ඉඩ ඇරියා... චිත්‍රපටය අවසාන හරියේ කියැවුණු මේ කොටස හිතේ රැඳුණා.. 
‘‘ඔබ ආදරය කරන කෙනා ඔබට ලැබු‍ණොත් හිතන්න දෙවියන් ඔබට කරුණාව දැක්වූ බව.. නමුත් ඔබේ ආදරය ඔබට නොලැබුණොත් ඒ කියන්නෙ දෙවියන් ඉන්නෙ ඔබ එක්ක.‘‘

ඒක එහෙම ම නම් දැන් දෙවියන් මා එක්කත් තවත් බොහෝ අය එක්කත් ඉන්න ඕන.. මොකද මේ ලෝකෙ වැඩියෙන්ම ඉන්නෙ ආදරය නිසා බිඳුණු හදවත් එක්ක ජීවත් වෙන අයනෙ... 

3 comments:

  1. නොනැකතේ කරන්න හොඳ වැඩක් තමයි ෆිල්ම් බැලිල්ල.. ඒත් මේ ළමයි එක්ක බෑනේ. ඔන්න එහෙනම් තරූටත් ලබන්නාවූ වසර තව තවත් නැවුම් හැඟුම් බිහිවන හා ඒවා අකුරු කිරීමට ඉවරයක් තියෙන සාමකාමී හා සැහැල්ලු වසරක් වේවා!

    ReplyDelete
  2. මගේ මේ අවුරුදු නිවාඩුව ගෙවුණේ නම් පොත් එක්ක.තාත්තා චිත්‍රපටය බලන්න මටත් ආසයි.
    දෙයියෝ මට දැන් කරුණාව දක්වලා තියෙන්නේ...:)

    ReplyDelete
    Replies
    1. අනාගතයෙන් පැමිණ ලියමි.
      තාත්තා නම් සිංහල ටෙලිවිෂන් මාලා නාටකය ද ඉතා අගනා සංවේදී එකකි!

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...