Wednesday, April 29, 2015

සදාදර රෝසි




‘‘ඔයා මේ පොතට කැමති වේවි.. ඇය සදාදර රෝසි ගැන කිව්වෙ එහෙමයි.

ලියුම් ලියන්නත්, ලියුම් කියවන්නත් මං කොයි තරම් කැමතිද කියලවත්, එකතු කළ ලියුම් කප්පරක්, නිතර නිතර බලන ආදරයෙන් රැකගන්න ඊමේල්ස් තොගයක් ඇති බවවත් හාන්කවිසියක් නොදැනයි ඇය එහෙම කිව්වෙ. ඒ පොත ගැන මං කළින් අහල දැකල තිබුණා. ඒත් නමෙයි, කවරයෙයි තිබුණු මොකක්දෝ සීනිබෝල ගතියක් නිසා මට ඒක ගන්න හිතුණෙ නැහැ.

ඒත් අන්තිමේ මෙන්න සදාදර රෝසි මං ළඟ....

මේ දවස් ටිකේම සදාදර රෝසි මා එක්ක කෝච්චියේ වැඩට ආවා ගියා. හුදකලා නවාතැනේ තනි නොතනියට ළඟින් උන්නා. මෙන්න ඉබේම මම ත් සදාදර රෝසිට ආදරේ වෙලා. රෝසිට විතරක් නෙවි ඇලෙක්ස්ට, කේටිට, ජෝෂ්ට, රූබිට... හැම දෙනාටම.... මං පොතට වසඟ වුණා බොහොම ඉක්මණින්. (අපෝ ඔයාව වසඟ කරන්න නම් පොතක ඒ හැටි දෙයක් තියෙන්න ඕන නැහැ කියල කියන්න නේද කට හදන්නෙ. ඒ සිතිවිල්ල වැරදියි. ඇත්තටම ඒක හරි ලස්සන කතාවක්.) 

 ‘‘ පුංචි කාලෙදි අපි හිතන්නෙ අපිට අපි කැමති ඕනම කෙනෙක් වෙන්න, අපිට අපි කැමති ඕනම තැනක යන්න පුළුවන් කියලනෙ. අපිට දකින්න පුලුවන් සිහිනවල සීමාවක් නෑ. බලාපොරොත්තු නොවෙන දේවල් වෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. මැජික් ගැන, සුරංගනා කතා ගැන, මේක මෙහෙම වෙයි, ඒක එහෙම වෙයි කියල විශ්වාස කරනවා. ඊට පස්සෙ අපි ටික ටික වයසට යනවා. අර අහිංසකකම සුණු විසුණු වෙලා යනවා.”
පිටුව 271

පුංචි ඇලෙක්ස්ගෙයි, පුංචි රෝසිගෙයි  සුන්දර වැඩවල ඉඳන් දෙන්න දෙතැනක දෙවිදියක ජීවිත තෝරගෙන අම්මෙක්, තාත්තෙක් වෙලා, වැඩිහිටියන් බවට පත් වෙලා ඒත් සදාතනික මිත්‍රත්වයකින් බැඳිල ඉන්න හැටි අමුතු ආකෘතියක තමයි දිගහැරෙන්නෙ. සම්පූර්ණ කතාවම යන්නෙ ලියුම්, විද්‍යුත් තැපැල් ලියුම් හුවමාරු, කෙටි පණිවිඩ හරහා. අන්තර්ජංජාලයත් එක්ක ජීවිතේ ජංජාලයක් කරගත්ත ඈයින්ට නම් පොත හරි පහසුවෙන් වැටහේවි. වෙලාවකට හිත කලම්බනව තමයි. ඇස්වල කඳුළුත් පුරවනවා. ඒ වගේම හිනා ගස්සනවා. රසවත්..


කෙනෙකුට හිතෙන්න පුලුවනි. සාර්ථක චරිත නිරූපණයකට, සිද්ධි නිරූපණයකට ඒ විදිය ගැළපෙනවද කියලත්. මට සහතික වෙන්න පුලුවනි, කිසිම ගැටලුවක් නැතිව අපිට ඒ චරිත, සිදුවීම්, හැඟීම් තේරුම්ගන්න පුළුවනි. හුවමාරු වෙන ලියුම් කන්දරාවත්, කෙටි පණිවිඩ සම්භාරයත් රෝසිගෙත්, ඇලෙක්ස්ගෙත් ළමා වියේ ඉඳන් එයාල අම්මල තාත්තල බවට පත් වෙන තුරුත් ජීවිතය ගලාගෙන යන විදිය ලස්සනට මවාදෙනවා. ඒ දෙන්නගෙ ජීවිත එක්ක බැඳිල ඉන්න අනිත් අයව වුණත් කියවගන්න අමාරු නැහැ.

මිත්‍රත්වයේ සහ ආදරයේ හැඟීම් හරිහැටිම තේරුම් ගන්න බැරි වුණාම, ජීවිතේ වැදගත්ම තීරණ, නොවැදගත් විදියට ගත්තම, වැදගත්ම අවස්ථා නොසැලකිලිමත් විදියට මඟ ඇරුණම අපි කොයි තරම් අසරණ වෙනවද? සමහර විට මුලු ජීවිත කාලය පුරාම ඒ අසරණභාවයෙන් ගැලවීමක් නැති වෙනවා.

සැබෑ මිතුරන්ට ආදරවන්තයො වෙන්න ලේසි නැහැ වගේ, ආදරය කරන කෙනෙක්ව කොයි තරම් හිතුවත් යාළුවෙක්, සහෝදරයෙක් විදියට පිළිගන්නත් අමාරුයි. ( අත්දැකීමෙන් කියන්නෙ.) ඒත් අන්තිමේදි රෝසි කියන මේ කාරණයට එකඟ නොවීත් බැහැ වගේ..

From : Rosi
To: Stephani
Subject: හොඳම යාළුවො සදහටම අපි එක්ක ඉන්නවා.
අනේ මගේ බුද්ධිමත් සහ ඥානවන්ත අක්කා ස්ටෙෆානි, ඔයා කිව්ව හරි! මට අවුරුදු දහහතේදි ඔයා කිව්ව මතකද ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා ඇවිල්ල යනවා. ඒත් හොඳම යාළුවො අපි එක්ක සදහටම ඉන්නවා කියල...... ඒ කාලෙ මට ඔයා කියපු දේ ගැන විශ්වාසයක් තිබුණෙ නැහැ. හැබැයි දැන්නම් මං අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා...
තෑන්ක්ස් ස්ටෙෆ්.. හොඳම යාළුවො සදහටම අපි එක්ක ඉන්නව තමයි.!

පිටුව 292

නූතන සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි විශ්ව ගම්මානයක ගම්වැසියො වෙලා ඉන්න බව ඇත්ත. ඒත් එතනදිත් අපි සුපුරුදු විදියට ළිං මැඩි ජීවිතයක් තමයි ගෙවන්නෙ. සජීවි මනුෂ්‍ය සම්බන්ධතාවලින් දුරස් වෙලා සයිබර් අවකාශගත හමුවීම් වලට සීමා වුණාම අපට ජීවිතයේ ආදරණීය අවස්ථා බොහොමයක්, ආදරණීයම මිනිසුන් බොහොමයක් මඟ හැරෙන්නත් ඉඩ තියෙනවා. හරියටම ඇලෙක්ස්ටත් රෝසිටත් එයාලව මඟ හැරුණ වගේ.

සමහර විට ආදරයේ පිවිතුරු සුන්දරත්වය රැකෙන්නෙත් මේ මඟහැරීම නිසාම වෙන්නත් පුලුවන්. නීති පොතේ අත්සන් කරලා එක වහළක් යට කූඩු වුණාට පස්සෙ බොහෝ විට ආදරය පිළුණු වෙන්න තියෙන ඉඩකඩ වැඩියිනෙ. ඒත් ජීවිතය එක තැන නතර වෙන්නෙ නැහැ. සුබවාදී සිහින අත්නොහැර ධෛර්යයෙන් පෙරට යා යුතුමයි. සදාදර රෝසි ආදරණීයව ජීවිතයට එකතු කරන අත්දැකීම එය බවයි මට හැගෙන්නේ.

කොහොම වුණත් අවිනිශ්චිත සුන්දර අහම්බයන් හමුවෙන්න තියෙන ඉඩ සදහටම නැතිවෙන්නෙ නැහැනෙ... කොයියම්ම මොහොතක හෝ මඟහැරුණු ජීවිතය හමුවෙන්නත් ඉඩ තියෙනවා.

මේ තරම් ආසාවෙන් පොතක් කියවගෙන යද්දි අවසානයේ පාත් වෙන්න පුලුවන් අන්තිම අසාධාරණ හෙණගෙඩිය, බලාපොරොත්තු කඩ කරවන, දකින්න නුසුදුසුම අවසන් වාක්‍ය මොකක්ද දන්නවද? 

‘‘සදාදර රෝසි කෘතියේ දෙවැනි කොටස සමඟ නැවත හමුවෙමු.“

හා කො ඉතින්,

Cecelia Ahren – LOVE, ROSIE
පරිවර්තනය - ගංඟා නිරෝෂිණි සුදුවැලිකන්ද
විජේසුරිය පොතක්..

22 comments:

  1. මම හිතන්නෙ මේක Where rainbows end කියන එක. ඒක ගිය අවුරුද්දෙ චිත්‍රපටයකට LOVE, ROSIE නැගුනා කියන නමින්. පොත කලින් කියවලා තිබුණ නිසා ඒ චිත්‍රපටිය නම් පොත තරම් සාර්ථකයි කියලා හිතෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. පොඩි වැරදීමක්, පොත love, rosie කියන නමිනුත් තියෙනවා

      Delete
    2. ඒ නම් දෙකින්ම තියෙන්නෙ එකම පොත නංගි... දෙවැනි කොටසත් ඉක්මණින් එනවලු..

      Delete
    3. මාත් හොයලා බලන්න ඕනේ,,

      තැන්ක්ස් තරු විස්තරේට, කියවන්න ආස හිතුණා

      Delete
    4. ඔයා ඉංග්‍රීසියෙන් කියවනවනම් හොයා ගන්න පහසු වේවි. සිංහල පොත ඕන නම් ඔය පැත්තෙ එන කෙනෙක් ඉන්නවනම් අරන් එවන්න පුළුවනි.... ඔමා...

      Delete
    5. තෑන්ක්ස් හොඳේ, ඔයාගේ වචනෙට..මන් ඉංග්‍රීසි එක හොයාගන්න බලන්නම්, නැති වුණොත් ෆිල්ම් එක වත් බලන්න ඕනේ,,

      Delete
  2. //මේ දවස් ටිකේම සදාදර රෝසි මා එක්ක කෝච්චියේ වැඩට ආවා ගියා// මං අහන්නම හිතං හිටියේ මෙච්චර පොත් කියවන්න වෙලාවක් කොහොමද හොයා ගන්නේ කියල.. :)

    සයිබර් අවකාශයේදී මටනම් මග හැරිච්ච බොහෝ මිනිසුන් හම්බ උනා.. (දැනට)... මඟ හැරුණු අය ගැන දැන්ම දැන ගන්න විදියක් නැති හැටි. @ රෝසිව දැකීමේ කුතුහලයෙන්..

    ReplyDelete
    Replies
    1. කෝච්චියේ සහ බස් රියේ තමයි වැඩිපුරම පොත් කියවන්නෙ.. ඒ නිසා ගොඩක් වෙලාවට පොතක් ගැන සරල අදහසක් ලියනව මිස ගැඹුරට ලියන්න අමාරුයි...

      Delete
    2. ඒ වගේම මේ කෝච්ච් බස් ගමන්වලදි බරපතල නවකතා, විෂය කරුණු ගැඹුරින් සාකච්ඡා වෙන පොත්, කවි පොත් කියවන්නත් අමාරුයි...

      Delete
  3. මම නම් පහු ගිය කාලේ වැඩට කෝච්චියේ ගියේ තාරා එක්ක... ඊළඟට කාවද එක්ක යන්නේ කියලා මම මේ කල්පනා කරන්නේ... බලමු ලොවීනව වත් එක්ක යන්න...

    ReplyDelete
    Replies
    1. කවුරු හරි එක්කරගෙන ගියාම පාලු නැහැනෙ තිසර..........

      මටත් දැන් තනියෙන් ගමනක් යන්නම අමාරුයි...

      Delete
    2. තිසර නරක් වෙලා තියෙන තරම්...ගෑනු ලමයෙක් නැතුවම බෑ නේද? :P

      Delete
  4. හී හී රෝසිව දැක්කොත් කාරෙකේ දාගෙන යනවා...

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ.... තනියෙන් හිනාවෙන්නත් පුළුවනි.... ලේ පිරිසිදු කරගන්නත් හොඳයි...

      Delete
  5. පොත කියවලා අවුරුදු ගානක්.බැරිම තැන ගංගාට මැසේජ් එකකුත් දැම්මා. ඒ අවුරුදු දෙක තුනකට කලින්. පස්සේ ඉන්ග්ලිෂ් පොත හොයාගත්තා. ෆිල්ම් එක තරම් පොත සුභවාදී නෑ.හැබැයි පොත ෆිල්ම් එකට වඩා නියමයි..ෆිල්ම් එක ෆිල්ම් එකක් හින්දම ඉක්මනට සුභවාදී අවසානයකට ගෙනිහින් තියෙන්නේ..අනික ෆිල්ම් එකේ කතාව වෙනස් ටිකක්.ෆිල්ම් එකේ හැටියට ඇලෙක්ස්ට ළමයෙක් නෑ..

    ReplyDelete
    Replies
    1. ෆිල්ම් එක බලල නැති නිසා මට ඒ වෙනස හිතාගන්න අමාරුයි... අවසානය ගැන දැනගන්න ඉතින් පොතේ දෙවැනි කොටස එනකල්ම ඉන්න වෙනවා.... ළඟදිම එන බව දැනගන්න ලැබුණා...

      Delete
  6. ඒක නිකන් සුජීව ගේ පොතක් වගේ නෙවෙයි ද? මට නම් හිතුනේ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. මට එහෙම දැණුනෙ නැහැ කියවද්දි නම්...

      Delete
  7. අපේ නංගි ගෙනල්ලා සදාදර රෝසි මමත් කියෙව්වා.සරල ලස්සන පොතක්.'පොත් කියවන අය සමුහයේ' මම පොත ගැන පුංචි පොස්ට් එකකුත් දැම්මා.තරු අක්කා වගේ මමත් වැඩියෙන්ම මේ පොත කියෙව්වේ යන එන ගමන් බස් එකේදී.කම්මලි කමක් නැති ලස්සන පොතක්.

    ReplyDelete
    Replies
    1. සරල කතාවක් වගේ පෙණුනට මේ පොත මිත්‍රත්වය, ආදරය, පවුල් බැඳීම් ගැන ලස්සන කතාවක් කියනවා....

      අනික මේ සයිබර් අවකාශගත ජීවිත ගැන, සයිබර් සම්බන්ධතා ගැන, ඒවයෙ ප්‍රාෙයා්ගික බව ගැන හිතන්නත් හොඳ පදනමක් දානවා.. මට හිතෙන හැටියට...

      මනෝ කොහොමත් අපි එක අත්තෙ වහන කුරුල්ලො වගේ.. සිතුම් පැතුම් රස වින්දනය සමානකම් තියෙනවා..

      Delete
  8. තරු කියනවානම් අපිත් කියවලා බලන්නම්කෝ

    ReplyDelete
  9. මටත් පොතක් එක්ක ගමන් යන පුරුදුදක් තියනවා.මමත් රෝසි දැකලා තියනවා .ඒත් පොතේ පිටකවරෙන් කිවේ මට හරියන් නැති කතාවක්.ඒ හින්දා ළඟට ගත්තේ නෑ ගන්න ඕනි කියලා හිතුනා දැන්

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...