පිටු

Tuesday, April 21, 2015

විසල් අහස යට සයුරු යහනේ





සුවිසල් අහස ය. ඇස තවරන සෞම්‍ය නිල් පැහැය අනන්තය දක්වා විහිද විසිර ගිය සේද සළුවක් මෙනි. ඒ අතර හෙමිහිට ඇදි ඇදී විසිරී යන සුදු පැහැ වළාකුළු ය. මම විසල් අහසට දැහැන්ගත වී පාවි පාවී හිඳිමි. ඉඳ හිට දාංගල් මුහුදු රැල්ලක් ඉස්සී වත සිඹියි. තොල් මත කරදියෙහි ලුණු රසය තවරා යයි. විටෙක මදාවි කුලප්පුවකින් ඇවිළෙන සමුදුර මගේ දැහැන බිඳ දමමින් මා අහසට විසි කර නැවත රැළි අතර රන්දා ගනියි. සිහින් තිගැස්මකින් ළය රිද්මය බිඳී යයි.

විසල් අහසට දැහැන්ගතව හිඳින්නට රිසි සේ හදවතට ඉඩ හැර සැනෙකින් මුහුදු රැළි අතර කිමිදී යමි. 

නිල් ගුවන තරම්ම සමුදුර පතුළ ද භාවනාවට නිසි කමටහනකි. සුපිරිසිදු වැල්ල ය. ගල් පර අතර සැරිසරන වෛවර්ණ මත්ස්‍ය රංචු ය. බලන්න ලස්සන ය. සමුදුරු පත්ළේ මත්ස්‍ය රෑන් වල අසිරිය විඳිමින් සිටින විට නැවත දිය මතු පිටට පැමිණිමට වුව සිත් නොදේ. එතරම්ම චමත්කාර දසුනකි. 


නමුත් විටෙක කුලප්පු වන දිය රළ මුහුදු පත්ළ ද කළඹවා වැල්ල දසඅත විසුරුවා හරියි. ඒ අතර මසුන් රෑන් අතුරුදන් වෙයි. තවත් විටෙක දඟකාර දිය රැල්ලක් දියඹට ඇදගෙන යන්නට ම සැරසෙයි. මොහොතකට සිත තුළ බිය සංකා මතු වෙයි. මම වහා දිය මතුපිටට පැමිණෙමි. විසල් අහස සමඟ නිසල සංවාදයක පැටලෙමි. අහසට සමාන්තරව සමුදුරු යහනේ සැතපී නැළවි නැළවී හිඳිමි.

සිහිනම ය සුන්දරත්වයකි. මෙය සැබෑවක් ද ඔබට සිතෙනු ඇත. 

.......

මෑත රන් පෑ වැල්ල ය. ඒ මත රටා මවන සුදු පෙණ පිඩු ය. මෑත සයුරු තලය හිරු රැසින් දීප්තිමත් කොළ නිල් මුසු ඇස සිසිල තවරන ළා පැහැයෙන් දිලේ. ඈත දියඹ ක්ෂිතිජය දක්වා කෙමෙන් කෙමෙන් තද නිල් පෑයකට හැරේ. නිල් අහස් තලය යට නිලෙන් ම වෛවර්ණ රටා මවන සයුර අහස හා තරඟයකට එල්බුණාක් මෙනි. කාන්දම් බලයකින් මෙන් නෙත් සිත් අන්දා බන්දා තබා ගැනීමට සමත් ය.  

මේ හික්කඩුව වෙරළ තීරයයි. ලක්බිම සතු අතිශය සුන්දර ම වෙරළ තීරයන්ගෙන් එකකි. පැය කිහිපයක සමුදුරු ඇසුරට ඉඩකඩ විවර වූයේ පසුගිය සති අන්තයේ ය. 

කිමිදුම් උපකරණ ද, ජීවිතාරක්ෂක කබා ද පැය කිහිපයකට කුලියට ලබා දීමට සූදානම් වෙළඳ කුටි වෙරළාසන්නයේ ඇත. සමුදුර මත නැළවී නැළවී හිඳින්නට අවැසි මානසික සහ ශාරීරික රැකවරණය සැපයෙන්නේ එමඟිනි. අවශ්‍ය නම් ජීවිතාරක්ෂක කිමිදුම්කරුවකුගේ සහය ද ලබා ගත හැක.  


අහස ද, සයුර ද, සිතුවිලි ද ඒකාත්මිකව ගෙවුණු ඒ හෝරා කිහිපය සිහිපත් වන විට නැවත හික්කඩුව සොයා ඉගිලෙන්නට සිතේ...   

10 comments:

  1. චාරිකා සටහනක් වගේ.මාස දෙකකට කලියෙන් හික්කඩු ගියා.මට නම් හික්කඩුවට වඩා ගල්කිස්ස ලස්සනයි,නිස්කලංකයි.

    ReplyDelete
    Replies
    1. ගල්කිස්සෙත් පුළුවනිද මෙහෙම කිමිදෙන්න.... ඒ පහසුකම් තියෙනවද මල්ලි ? මම ඒ පැත්තට ගිහින්ම නැහැ.

      Delete
    2. ගල්කිස්සේ කිමිදෙන්න නම් බැහැ අක්කේ.ගල්කිස්ස හොඳයි කිව්වේ ලස්සන මුහුදු වෙරළ නිසා.හික්කඩුවේ ඉන්න තරම් සංචාරකයෝ නැහැ,වෙළෙන්දෝ නැහැ.අනික ගමේ මුහුදනේ.
      ගල්කිස්ස මුහුදේ රෑට ලස්සන වැඩියි.ධවල පාටින් තියෙන 'ගල්කිස්ස මහා හෝටලේ'ඇතින් පේන කොළඹ වාරයේ ලයිට් දැම්මාම පුදුම ලස්සනක් තියෙන්නේ තරු අක්කේ.

      Delete
    3. දවසක අපි යමු බලන්න... මම මූණුපොතෙන් පණිවිඩයක් එවන්නම්..

      Delete
  2. හික්කඩුව කෙසේවෙතත් ලිපිය හරි ලස්සනයි

    ReplyDelete
  3. හික්කඩුවේ කොරල් බැලුවා මට මතකයි...මාළු රංචු නම් පුදුම ලස්සනයි තමා. අමුතු නිලක් තියන මාලුවෙක් ඉන්නවා, ඒ නිල් පාට ගොඩබිමේ කොහෙවත් නෑ කියලයි කියන්නේ. හැබැයි කිමිදිලාම බලනකොට තමයි නියම ලස්සන පේන්නේ නේද? ආසයි දවසක එහෙමත් කරලා බලන්න.

    ReplyDelete
    Replies
    1. ගැඹුරු මුහුදටම යන්න ඕනෙ නැහැ... වෙරළ ආසන්නයෙම තරමක් කිමිදුණාම ලස්සන මාළු රංචු දකින්න ලැබෙනවා... උදේ 8 - 10 ත් අතරයි හොඳම කියල දැනගන්න ලැබුණා. ඉරඑළිය හොඳින් තියෙද්දි මුහුදු පත්ල පැහැදිලියි. හවස් වෙද්දි මුහුද රළුයි..ඒ වෙලාවට ටිකක් බය හිතෙනවා....

      Delete
  4. ඔහ් මේක කියෙව්වම කිමිදිල බලන්න ආස හිතුණ
    මං කීවෙ හික්කඩුවෙ

    ReplyDelete
    Replies
    1. ඒ අත්දැකීම විඳලම බලන්න ඕන... මටත් ආසයි ආයෙම යන්න..

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...