පිටු

Wednesday, April 8, 2015

ඉනික්බිති ඔහු..ඇය..අපි...





ඉනි අවන් ගැන
බොහො දනා බොහෝ දේ
ලියා ලූ හෙයින්
මම නොලීමි....  

මම පැවසීමි. ‘‘ඒ වුණාට ඔයා නොලිය ඉන්න එපා. එක එක්කෙනාගෙ ලිවීම වෙනස්.. කිහිපදෙනෙක්ම ලත් තැනම මගේ අදහස ලොප් කර දැමුවෝ ය. ඉදින් ලියමි. ඉනි අවන් ගැන ම නොවේ. ඉනි අවන් ඇස් හමුවේ දිග හැරි ජීවිතය ගැන ය. දකුණේ අපි අදත් අත්විඳින ජීවිතයේ හඳගම ගේ සදාතනික වටිනාමක් ඇති පෙර කියවීම ගැන ය. 

ජීවිතයේ මඟ හැරී ගිය බොහෝ දේ අතර ඉනිඅවන් ද විය. මඟහැරුණු සමහර දේ අහඹු ලෙස නැවත හමුවන සීමිත වාසනාවත් මොහොතවල් ජීවිතයේ ඇත. මාසික සිනමා දැක්මට පින්සිදු වන්නට අශෝක හඳගම සිටින සංවාද මණ්ඩපයකදී ම ඉනි අවන් හදවතේ පටළවා ගන්නට ඉඩ ලැබුණේ එලෙසිනි.  ආරම්භක රූප රාමුවේ සිට ම මා සිටියේ මහා තිගැස්මක, කම්පනයක, වේදනාවක වෙලෙමිනි.

‘‘ඔයා කළින් බලල තියෙනවද?‘‘ චිත්‍රපටය අතරතුර මේරියන් අක්කා හෙමිහිට ඇසුවාය.

‘‘නෑ අක්කෙ.. ෆස්ට් ටයිම්.. දුකයි නේ..? මාර ෂොක්..“ සත්තකින් එවේලේ දෑසේ කඳුලක් විය.  

........ මෙන්න උඹල ගහල, මරලා අපට දිනල දුන්නු නිදහස... දැන් සතුටු ද?..... 

එකී පැනය නිමේෂයෙන් නිමේෂය හදවත කොනහන්නට විය. හිස් අහස ද, මහ මුහුද ද, වික්ෂිප්ත මුහුණු ද, නළියන කඳුළු ද, තල් සූකිරි ද, රියෝ අයිස්ක්‍රීම් ද විටින් විට ඇසුවේ එකී පැනයම ය. මම ද පෙරළා ප්‍රශ්න කළෙමි.

... දකුණෙ අපිත් බැට කන්නෙ මේ විදියට ම බව දන්නවද?.... 

...මෙච්චරම... 

...නෑ... ඔච්චරම නෙවෙයි.. ඇත්ත.... ඒත් ඔය කතාව අස්සෙ මට දකුණත් පේනවා. යුද්ධයෙන් පස්සෙ මෙහෙත් එහෙමයි. අළුත් ධනපති පංතියක් බිහිවුනා. විශේෂයෙන්ම යුද්ධය විකුණන් කෑව පාලක පන්තියමයි යුධ ජයග්‍රහණය කියන එකත් විකුණන් කෑවෙ. අපි හිටියෙත් තුෂ්නිම්භුත වෙලා. ඔය වගේම. කරකියාගන්න දෙයක් නැතිව. ඒත් පිළිගන්නවා එක දෙයක්, සන්තකේම නැත්තටම නැති වුණාමත් ජීවත් වෙන්න ඔයාලට තියෙන ධෛර්යයෙන් දශමයක්වත් අපට නෑ... අපට තියෙන්නෙ හෘදය සාක්ෂියක් ඇති මිනිසුන්ගෙ මහා පරිමාණ හිගයක්.. 

...........

පුනරුත්ථාපනය කළ විමුක්ති කොටි සොල්දාදුවා පුනරුත්ථාපනය නොකළ සමාජයකට අත් හැර දමා තිබිණි. ඔහු පෙරළා ගමට පැමිණෙන මොහොතේ කිරිබත් වත්, ප්‍රීති ඝෝෂාවත්, උණුහුම් සිනාවක්වත් තිබුණේ නැත. අතීතයෙන් ගැලවුමක් නැති මිනිසෙකු වර්තමානය ලුහුබඳින්නට වෙර දරන ආකාරය අනුවේදනීය ය. යුද්ධයෙන් සමීපතමයන් අහිමි වූ මිනිසුන් අතර, විත්තිකරුවකු වෙමින් පොදු විමුක්තිය වෙනුවෙන් එදා සටන් වැදුණු ඔහු ට අද තම පුද්ගලික විමුක්තිය වෙනුවෙන් අරගල කරන්නට සිදු වී ඇත. 

‘‘නොමැරී ඉතිරි වුණු එක මගේ කරුමෙ. මට ඒ කරුමෙ ගෙවන්න ඉඩ දීපල්ලා..“ ඔහු විටෙක කෑ ගසා ඉල්ලයි. 

යුද්ධය නිම වී යැයි කියා වෙනසක් නැත. විමුක්තිය සිහිනයක් ම පමණි. එය උතුරට පමණක් පොදු  වූ ඉරණමක් නොවේ.


පශ්චාත් යුධ සමයේ ජීවිතය ගැට ගසා ගැනීමට ඔහු කරන්නේ තවත් යුද්ධයකි. එම ජීවන අරගලය තුළ අධිෂ්ඨානශීලීත්වයෙන් ද, තීක්ෂණ බවින් ද, ධෛර්යයෙන් ද, මනුෂ්‍යත්වයෙන් ද පිරිපුන් සොඳුරු මිනිසෙකු අපි දකිමු. මේ පුනරුත්ථාපිත ජීවිතයෙන් නිමැ වූ මිනිසෙක් ද? එය එසේ නොවන බව වටහාගන්නට වැඩිමනත් පැහැදිලි කිරීම් අවශ්‍ය නැත. ලෝකයම එක මිටට එරෙහි වූ ත්‍රස්තවාදී යැයි සම්මත සංවිධානයක් තුළ නොසිඳුණු මනුෂ්‍යත්වයේ උල්පතක් වන් මෙබඳු මිනිසෙක් ජීවත් වීද? ( හඳගම ඉඟි කරන යථාර්ථය හෘදය සාක්ෂියක් ඇති හඳගමගේ විමුක්ති කොටියා ලියවිල්ල තුළ මංජුල ග්‍රහණය කරගත් ආකාරය බලන්න. )

..........

එකී යථාර්ථය අසත්‍යයකැයි බැහැර කළ නොහැකි බවට සාධක වර්තමානයෙන් කොතෙකුත් හමු වේ. 

‘යුද්ධයෙන් පසුව යාපනේ අපරාධ වැඩියි. නගර වැසියෝ අගමැතිට කියති. 2015.03.31  ලංකාදීප පුවත්පත වාර්තා කර තිබිණි.  අපරාධ ලෙසින් ඔවුන් හඳුන්වා තිබුණේ හොරකම්, ස්ත්‍රී දූෂණ සහ මත්ද්‍රව්‍ය ය. යුද්ධයට පෙර මේ තත්වය නොතිබුණා නම් ඒ ඇයි? 


2009 න් පසු උතුර ආතුර වෙමින් පවතිනු හඳගම ඉනි අවන් හරහා සාකච්ඡා කොට තිබිණි. නියපොත්තෙන් කඩන්නට හැකි දේ පොරවෙන් කපන්නට සිදු වන තුරු බකන්නිලා සිටින්නට අපි තරම් දක්ෂ මිනිසුන් කොට්ඨාශයක් තවත් ලොව ඇත්ද? සමස්ත ලංකාවේ ම කාන්තා හිංසනය, බලහත්කාරය, ළමා අපචාර, අපරාධ රැල්ල, ක්‍රමයෙන් වර්ධනය වූ  මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෑත භාගයේ කොතෙක් ගැඹුරට මුල් ඇද ඇත්ද යත් දේශපාලන වෙනසක් ඇති වී නව රජයක් බිහි වී ඇති මේ මොහොතේ පවා ඒ අවනීතියට, පරිහානියට  එරෙහිව කටයුතු කිරීම කොතරම් අපහසු වී ඇත්ද?

ත්‍රස්තවාදය පරාජය කිරීම පහසු ය. ඒ අවි ආයුධ සහිත දෘශ්‍යමාන සතුරෙකි. නමුත් ධනවාදය ත්‍රස්තවාදයටත් වඩා බියකරුය. යුද්ධයට වඩා විනාශකාරී ය.  අදෘශ්‍යමානව සක්‍රීය වෙමින් මුළුමහත් සමාජයක් විනාශ කර දමන ධනවාදයේ මකර හස්තය හසුකර ගැනීම ලෙහෙසි පහසු නැත. 

උතුරත් දකුණත් වෙනසක් නැත. ධනය, බලය, නිලය හමුවේ ආත්මය පාවාදෙන්නෝ, ආත්ම පාවා ගන්නෝ බොහෝ වෙති. මෙවැනි සමාජයක හෘදය සාක්ෂියක් ඇතිව ජීවත් වීම යනු ම නිරන්තර විමුක්ති අරගලයකි.

.......


අක්ෂරය, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න නරඹා තිබූ මට මේ හඳගමගේ සිනමා සිත්තමක්දැයි සාංකාවකි. සෙක්ස් නැත. නිරුවත නැත. ඒ වෙනුවට හදවතින්ම වැළඳ ගත හැකි ස්ත්‍රී පුරුෂ සබඳතාවයකි. අතිශය මානුෂික වූ ස්නේහයකි.  සිනමා සිත්තමට ලිංගිකත්වය හසුකර ගත හැකි අවස්ථා ස්වභාවයෙන්ම මතුවෙද්දීත් ඇස් කන් පියාගෙන සිටින හඳගම ගැන දැණුනේ විස්මයකි. වාරණ හස්තයට හසුනොවන්නට දැරූ තැතක් ලෙස එසේ කළේ ද නොදනිමි. නමුත් දැනුවත්ව හෝ නොදැනුවත්ව  ස්ත්‍රී පුරුෂ අනුරාගී ආලිංගන හෝ බලහත්කාර ලිංගික ක්‍රියාකාරකම්  බැහැර කිරීමෙන් චිත්‍රපටයට කිසිදු හානියක් සිදු වී නැත. 

පුනරුත්ථාපිත තරුණයා ගමට පිවිසෙන විට අතීත පෙම්වතිය කණවැන්දුම් ව දරුවකු සමඟ තනිව සිටින්නී ය. කුල පදනම මත තවදුරටත් ප්‍රතික්ෂේප වුව ද ඔහු, අතීත පෙම්වතිය දරුවාද සමඟ භාර ගනියි. එතැනදී තවදුරටත් මුල්වන්නේ ප්‍රේමය ම ද යන්න ගැටලුවකි. තම බිරිඳගේ නර්තනය නිවුණු සන්සුන් ඇසකින් නරඹන තරුණයා, ඉනික්බිති සිය ලෙයින් ඇයගේ නළලත සින්දූර් අතුරන විට පවා මතුවන්නේ ආදරවන්තයෙකු හෝ සාම්ප්‍රදායික ස්වාමිපුරුෂයකු නොව යුතුකම විසින් අවුළුවන හෘද සාක්ෂියක් සහිත අපූර්ව මිනිසෙකි. අතීත පෙම්වතිය ඔහු විසින් සිය නිවසට කැන්දා ගෙන එන රූප රාමුව කිසිසේත් අමතක නොවේ. විසල් අහස යට බෑගය අතින් ගත් තරුණයා ය. ඔහු ට බොහෝ පිටුපසින් දරුවා වඩා ගත් ගැහැණිය ය. මේ දුරස් බව චිත්‍රපටය අවසානය දක්වාම නොබිඳී පැවතිණි. 


තමන් නිසා සිකුයුරිටි රස්සාව අහිමි වූ දුප්පතාගේ හිතුවක්කාර ඇඹේනිය මුලින් නුරුස්නා ලෙස පිටුදකින තරුණයා ක්‍රමයෙන් ඇයට සමීප වෙයි. දුප්පත්කමේ කරවටක් ගිළුණ, අනාදරයෙන් හෙම්බත් වුණු ගැහැණියට ඔහු ස්නේහවත් වේ. ඇයගේ ධෛර්යසම්පන්න, නිදහස් ගැහැණු ආත්මය ඔහු ආකර්ෂණය කර ගන්නා බව පැහැදිලි ය. 

එය හුදු කායික ආකර්ෂණයක් හෝ අනුරාගී බන්ධනයක් ලෙස ලඝු කර දැමිය හැකි නොවේ. ඔහු සතු මනුෂ්‍යත්වයේ ම, හෘදය සාක්ෂියේ ම දිගුවක් ලෙස ඇති වන ඒ අධ්‍යාත්මික බන්ධනය කෙරෙහි මසිත වන්නේ පහන් හැඟීමකි. ඉනි අවන් තුළ ප්‍රේමණීය ස්ත්‍රී පුරුෂ සබඳතාවක සැබෑ ගැඹුර අත්දකින්නට ලැබෙන්නේ මේ අධ්‍යාත්මික බන්ධනය තුළිනි.

ඉනි අවන් තුළ මතු වන ස්ත්‍රී ජීවිත කියැවීමට මම  අතිශය ළැදි වෙමි. එය යථාව ය. එම යථාව වේදනාත්මක ය.  කටුක ය. එලෙසින්ම ආදරණීය ය. ධෛර්යවත් ය. මෙහි නිරූපිත සමස්ත කාන්තා ජීවිතය එකම ඛේදවාචකයකි. මේ යථාර්ථය යුද්ධය අතරතුරදීත්, යුද්ධයෙන් පසුවත් උතුරු නැගෙනහිර කාන්තාවන්, දරුවන් සමඟ කළ විවිධ වැඩවල දී මම අත්දැක ඇත්තෙමි. යථාර්ථය මීටත් වඩා දුක්ඛ මහෝඝයකි. අදටත් නොවියළුණු කඳුළු ගංඟාවකි. 

‘‘ මේ ඇත්තටම හඳගම දකින ස්ත්‍රීය ද? නැත්නම් හඳගම ඇතුළු සමස්ත පිරිමි වර්ගයා අපේක්ෂා කරන ස්ත්‍රීය ද? ‘‘ 

මේ ගැටලුව මසිත පැන නැගුණේ පසුදින මුළුතැන්ගෙයි ඉවුම්පිහුම් යුද්දයේ පැටලී සිටින අතර ය. 

සිකියුරිටි බිරින්දෑ යුද කාලසීමාව තුළ කොපමණ කටුක දිවියක් ගත කරන්නට ඇත්ද? එය සිතන්නටවත් අසීරු බව ජීවිතය සම්බන්ධයෙන් වන ඇගේ වත්මන් ප්‍රතිචාර ගැඹුරින් විමසන විට පැහැදිලි ය. නමුත් ඇය සැහැල්ලු සිනාවක්, ධෛර්යවන්ත වදනක්, ආදරණීය බැල්මක් තුළ සියලු කටුකත්වයන් අමතක කරදමයි. පුරුෂ ලෝකය අපේක්ෂා කරන පරමාදර්ශී ගැහැණිය ඇය ද? සියල්ල සිනාවෙන් උසුලන ගැහැණියක්.......?

සැම ගැහැණියකටම එලෙස ධෛර්යවන්ත විය හැකි නම් අගනේය. නමුත් ඈ සතු ඒ ධෛර්යය, ආදරය දේශපාලන බල අරගලවල සදාකාලික ගොදුරක් වන්නට, ලිංගික පීඩාවෙන් ශාරීරිකවත් ආත්මිකවත් විනාශ කරදමන්නට, ආර්ථිකය නම් වන මරඋගුලේ හුස්ම හිරකර දමන්නට ලබා දෙන බලපත්‍රයක්  නම් නොවිය යුතු ය.  
  
‘‘මැරුණෙ නැහැනෙ. අපි ජීවත් වෙමු.‘‘  

පශ්චාත් යුධ සමයේ, තාවකාලික පැල්පතක වෙසෙමින්, ආර්ථික අහේනියෙන් පෙළෙමින්, සිය ස්වාමියා වෙතින් පවා කිසිදු තෙතමනයක් නොලබමින්,  පුරා රැයක්, පිරිමින් කිහිපදෙනෙකු අතින් අතවරයට ලක් වී, මහමඟ දමා ගිය පසුත් ඇය පවසන්නී එලෙසිනි. 


රාධා........ 

එල්ටීටීඊ සංවිධානයත්, කුලහීන පෙම්වතාත් අතහැර තම පියාටත් වඩා වැඩිමහල් මිනිසකු සමඟ දීග යන්නට ඇයට සිදුවෙයි. පළමු රාත්‍රියේම කුස දරාගන්නා කළලයක් සමඟ ඇය කණවැන්දුම් වෙයි. පසුව අතීත පෙම්වතාගේ බිරින්දෑව රාත්‍රී තනි යහනේ නිහඬ සුසුමකින් ජීවිතය දරාගන්නට ඇයට සිදු වෙයි.  ස්වාමියා මරා දමන්නට පැමිණෙන මැරයන් ඉදිරියේ හිස් අහසට උණ්ඩ වරුසාවක් මුදා හරිමින් ඇය තම ස්වාමියා වෙනුවෙන් පෙනී සිටියි.  රාධා ද, මාතෘත්වයේ ප්‍රතිමූර්ති වන් තරුණයාගේ අම්මා ද, රාධා ගේ අම්මා ද නිහඬව සියල්ල උසුලයි. ඒ ගැහැණු මගේ ගැහැණු සිත පාරවයි. 

සිනමා සිත්තම තුළ ඉනි අවන් ( ඉනික්බිති ඔහු ) ඉනියවන් ( සොඳුරු මිනිසා ) උත්කර්ශවත්ව මතු කළ ද, මගේ ගැහැණු ආත්මයට ඉනි අවල් ( ඉනික්බිති ඇය )  ඉනියවල් ( සොඳුරු ගැහැණිය ) ලෙසින් කියවීමට  ඇති කැමැත්තෙන් බැහැර විය නොහැකි ය. 

.......

චිත්‍රපටය කතා කරන්නේ පශ්චාත් යුධ සමය ගැන ය. නමුත් මිලිටරිය නැත. කාකි නිළ ඇඳුමක් බෙහෙතකටවත් දකින්නට ඇත. 

ඉනි අවන් සම්බන්ධයෙන් හඳගම ට එල්ල වූ ප්‍රබල විවේචනයක් ගොඩනැඟුණේ ඒ හරහා ය. ජාතික ප්‍රශ්නය පිළිබඳව හඳගමගේ සවිඥානික දේශපාලනික මතවාදය ඉනි අවන් තුළ හිතාමතා බැහැර කර ඇති බව ය.  නමුත් මට ඒ ගැන දැනෙන්නේ වෙනස්  අදහසකි. ඉනි අවන් මුළුමනින් ම දේශපාලනික ය. එය බරපතල දේශපාලන කතිකාවකට දොරගුළු හරින සිනමා සිත්තමකි. ඒ දේශපාලන කතිකාව ගොඩනැගෙන්නේ චිත්‍රපටයේ යටිපෙළ හරහා ය. රූප රාමු තුළින් මතු නොකර සඟවා තබන පුද්ගල, සමාජ යථාර්ථය තුළ ය. ඒ කතිකාව තුළ ත්‍රස්වාදය පරාජය කළේ යැයි උදම් අනන දකුණේ සිංහල මහා සමාජයට එල්ල කරන උත්ප්‍රාසාත්මක ප්‍රතිවිරෝධය හඳුනා ගැනීම අපහසු නැත. 

........ මෙන්න උඹල ගහල, මරලා අපට දිනල දුන්නු නිදහස... දැන් සතුටු ද?.....

එතෙකින් නවතින්නේ නොවේ. කුල පීඩනයෙන්, පන්ති පරතරයෙන් දෙමළ දරිද්‍රයාව තව තවත් පීඩාවට පත්කරන කුලීන, ධනවත් දෙමළ සමාජය කෙරෙහි වන විවේචනය ද ලෙහෙසියෙන් බැහැර කළ නොහැක. දෙමළ ඩයස්පෝරාව පවා එම විවේචනයෙන් බැහැර වන්නේ නොවේ. 

‘‘අපේ අතට ආයුධ දීලා උඹල වීසා හදාගත්තා.‘‘ වරෙක කුලහීන පුනරුත්ථාපිත තරුණයාගේ මුවින් පිට වන එවදන් දෙමළ සමාජයේ හෘද සාක්ෂියට අභියෝගයක් විය යුතු නොවේද? යුද සමයේ කැනඩාවෙහි විසූ එකී ධනවත්  තරුණයාම පශ්චාත් යුද සමයේ ජාවාරම්කාර ධනවාදයේ අදිසි හස්තයක්ව සිටීම මහා ම සරදමක් නොවේද? එදත් ගොදුර පීඩිත පන්තියම වෙද්දී අදත් ගොදුර එයම ය. 


යුද්දයෙන් පෙර හා පසු කියා වෙනසක් නැත. උතුර දකුණ කියා ද වෙනසක් නැත. මෙම විෂම සමාජ ක්‍රමය තුළින් උපදින පීඩනය දකුණ ග්‍රහණයට ගන්නේද මීට වෙනස් ආකාරයකින් නොවේ. 

එවැනි කොදෙව්වක සොඳුරු මිනිසුන්, ගැහැණුන් වැඩි වැඩියෙන් අපට අවැසි වන්නේ ධනවාදයේ කුරිරු හස්තයෙන් මනුෂ්‍යත්වය මුදවා ගනිමින්, පොදුවේ සැමට නිදහසේ හුස්ම ගත හැකි වටපිටාවක් ගොඩනඟනු සඳහා ය. 

( මාසික සිනමා දැක්ම 2015.03.28 මීගමුව මාරිස් ස්ටෙල්ලා විදුහලේ දී............... සිනමා සිත්තම සමඟ හෘදයාංගම සංවාදයක යෙදෙන්නට මඟ පෙන්වූ අශෝක හඳගම, විදර්ශන කන්නංගර, චූලානන්ද සමරනායක සහෘදයන් ට විශේෂයෙන් තුති පුදමි. )



12 comments:

  1. නමුත් මේ චිත්‍රපටිය හරහා හඳගම ඔහුගේ අනන්‍යතාව නැතික්රගත්තද කියන හැගීම එනවා බලද්දී. මොකද සාම්ප්‍රදායික චිත්‍රපටි කලාවක් හඳගමගෙන් මේ තාක් දැකලා තිබ්බේ නැති නිසාවෙන්

    ReplyDelete
    Replies
    1. විදූ මීටත් වඩා වෙනස්නෙ මල්ලි...

      මං හිතන්නෙ නිර්මාණකරුවෙකුගෙන් එකම ආරක නිර්මාණම බලාපොරොත්තු වෙන්නත් බැහැ... චිත්‍රපට ශෛලිය සාම්ප්‍රදායිකද නැද්ද කියන කාරණයට වඩා මේ මතු කරන සංවාදයයි වැදගත්... අනික ඒ සංවාදය කොයි තරම් කලාත්මකව ගෙන එනවද කියන එක... ඒ අනුව බලද්දි මට ඉනි අවන් ඉතාම ලස්සන, සංවේදී, අර්ථසම්පන්න චිත්‍රපටයක්...

      Delete
  2. ඉනි අවන් නම් බලලා නෑ....එ්ත් එ් ගැන සෑහෙන්ඩ විචාර නම් කියෙව්වා....
    එත් මේක නම් වෙනස් ම එකක්....පට්ට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඉනි අවන් ගැන ගොඩක් විචාර ලියැවිලා තිබුණ නිසා මමත් නොලිය ඉන්නයි හිතුවෙ....

      ඒත් අද තත්වය වෙනස්... යුද්ධය ඉවර වෙලා අවුරුද්දක් විතර ගෙවෙන කාලෙ හැදුණු ඉනිඅවන්, අවුරුදු හයකට පස්සෙ කියවද්දි දැනෙන විදිය වෙනස්.. වගේම ප්‍රබලයි. බරපතළයි.... ඒ වෙනස් තත්ත්වය ඇතුළෙ ඉනි අවන් ගැන තවත් වෙනස් කියවීමකට යන්න පුළුවනි... අනිත් අයට වඩා මට දැනෙන විදියෙත් වෙනසක් ඇති නෙ...

      ඒ නිසා ලියන්න හිතුවා..

      Delete
  3. මම නම් බලලා නැහැ. සිංහල චිත්‍රපටි බලන්නේ අඩුවෙන් නිසා. ඒත් අක්කගේ ලිපියි කියෙව්වම නම් බලන්නම හිතුණා..

    ReplyDelete
    Replies
    1. මටත් චිත්‍රපටි නම් බැලෙන්නෙ අඩුවෙන්.. මාසික සිනමා දැක්මෙදි චිත්‍රපටයක් විතරක් නෙවෙයි ඒ ගැන කතාබහකුත් ඇති වන නිසා ඒ අවස්ථාව මගාරින්නෙ නැහැ...

      ඉනි අවන් බලන්න නංගි.. ලස්සනයි වගේම හිතන්න කාරණා ගොඩක් තියෙනවා..

      Delete
  4. //පුනරුත්ථාපනය කළ විමුක්ති කොටි සොල්දාදුවා පුනරුත්ථාපනය නොකළ සමාජයකට අත් හැර දමා තිබිණි// බරපතලම ගැටළුව මෙච්චර සරලව කියුවේ කොහොමද?

    ඉවාන් කියුවා වගේ සමහර වෙලාවට නම් හිතෙනව මේ හඳගමමද කියල.. ඒත් සෙක්ස් අයින් කරපු එකෙන් කතාවේ මුල් පෙළ අර්ථය ඉහළට ගේන්න මේ පාර ඔහු සමත් වෙලා කියල මටත් හිතෙනව. හොඳ චිත්‍රපටියක් ගැන හොඳ විචාරයක්. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කළ්‍යාණ......

      චිත්‍රපටයක් සාර්ථක වෙන්න ලිංගිකත්වය , නිරුවත අත්‍යවශ්‍යම නොවන බව පැහැදිලියි... එහෙමයි කියල ඔහුගේ මුලින් චිත්‍රපටවල විශිෂ්ඨත්වය කොහෙත්ම අඩුවෙන්නෙ නැහැ.

      Delete
  5. හදගම සම්බන්ධයෙන් විවිධ විචාරයන් තියෙන්න පුළුවනි... ඒත් මට අනුව නම් හදගම කියන්නේ අමුතුම අාරක් තියෙන අපේ නිර්මාණකරුවන් දකිනවාට වඩා ඒහා දැක්මක් තියෙන කෙනෙක්.... ඔහුගේ අනන්‍යතාවය ඒකම දේකට කොටු නොකර මේ විදිහට විවිධ පුළුල් පරාසයකට යනවාට මමනම් කැමතියි...

    ReplyDelete
    Replies
    1. ඒ අදහසට මමත් එකඟයි.

      Delete
  6. මටත් ඉතින් ඔන්න ඉනි අවන් ෆිල්ම් හෝල් එකක වාඩිවෙලාම බලන්න ඉඩ ලැබුණා. මටත් මතු වුණ ප්‍රධානම ගැටළුව තමයි, උතුරේ තියෙන්නේ හමුදා පාලනයක් කියන තරමට චෝදනා එල්ල වෙන කාලෙක, හඳගමගේ ඉනි අවන් වලට ඒක බග ඇරුණේ කොහොමද කියල එක. මග ඇරුණාටත් වඩා මග ඇරලාද කියල කාරණට මතු වෙන එක ගැන. ඒකේ එක දර්ශනයක් තියනවා පොලිස් මුරපොලක වාහනය නැවත්තුවත් පොලිසියෙන් කිසිම උනන්දුවන් නැතුව ඒ වාහනයට යන්න කියන හැටි පෙන්නන. මේක අද යාපනයේ ඇත්තම තත්වයද? ඒ වගේම එල්.ටී.ටී.ඊයට සම්බන්ධ අර වගේ ජාවාරම් කාරයන්ට ඕනෑම තැනක යන්න, රැස්වෙන්න තරම් නිදහසක් තියනවද? ආරක්ෂක අංශ වලින් ඒවා ගැන කිසි සැලකිල්ලක් නැද්ද? චිත්‍රපටියක යටිපෙල සාර්ථකත්වයට, මතුපිට පෙලෙහි සාර්ථකත්වයත් අනිවාර්යයි කියලා හිතන කෙනෙක් මම. චිත්‍රපටයක් කියන්නෙ මූලිකවම රූපමය කලාවක් නිසා, අපිට ඇහට දකින්න ලැබෙන දේ විශ්වාසනීය වෙන්න ඕනේ... ඉන් එහා තියන යටිපෙලක් ගැන අපිට හිතන්න පුළුවන් ඊට පස්සෙයි. ඒ වගේම චිත්‍රපටයේ සමහර දර්ශන තියනව අභව්‍ය ගතියක් තියන විශේෂයෙන්, අර කාන්තාව වෙඩි තියන එක එහෙම.

    හඳගමගෙ චිත්‍රපටි අපේ රටේ හැදෙන බොහොමයක් චිත්‍රපටි එක්ක ගත්තහම ඉදිරියෙන් තමයි ඉන්නේ. ඒත් මගේ අදහස තමයි අපේ නිර්මාණකරුවෝ බොහෝ වෙලාවට චිත්‍රපටියේ පෙන්වන දෙයෙහි ඇතිකරන විශ්වාසනීයත්වයට එච්චර තැනක් දෙන්නේ නෑ. දැන් අර සෙකියුරිටි ජොබ් එක නැති වෙච්ච පවුල ඇවිත් කඩේ ඉස්සරහ බලාගෙන ඉන්න දර්ශනය ගත්තොත් එක තනිකරම සංකේතීය එකක්. හඳගමගේ හැම චිත්‍රපටියකම ඔය 'බලාගෙන ඉඳීමේ' දර්ශන තියනවා. සමහර චිත්‍රපට ඇතුලේ ඒ වගේ සංකේතීය දර්ශන වලට අවශ්‍ය පසුබිම තියනවා. ඒ දර්ශන චිත්‍රපටයේ ස්වභාවය, ගලායාම එක්ක ගැලපෙන්න ඕනේ. මට නම් ඉනි අවන් ඇතුලේ ඒ දර්ශනය ගලපන්න පුලුවන් පසුබිමක් ගලායාමක් පෙන්නේ නෑ. ඒක හඳගම පුරුද්දට එකතු කරපු දෙයක් වගේ කියලා හිතුනේ.

    චිත්‍රපටියේ සමහර දෙබස්, දර්ශන තියනවා තමයි අපිට ගැඹුරට හිතන්න පොළඹවන. අර තුවක්කුව හාරලා ගන්න සිද්ධවෙන සිද්ධි දාමයට එහෙම මම කැමතියි. නමුත් චිත්‍රපටියක මතුපිට සාර්ථක නැත්නම්, එතනින් එහාට චිත්‍රපටියේ යටිපෙල ගැන හිතන්න මට නම් සෑහෙන අමාරු වැඩක්. චිත්‍රපටිය බලල එළියට ආවේ අසංතෘප්ත ප්‍රේක්ෂකයෙක්...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තිසර සමහර විට චිත්‍රපටිය බලල හුදකලාවම ප්‍රේක්ෂාගාරයෙන් නැගිටින කෙනෙකුට මේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්....

      මට ඊට වඩා වෙනස් අත්දැකීමක් ලැබුණෙ. ඇත්තටම එදා චිත්‍රපටයට කළින් විදර්ශනගෙ කතාවකුත්, චිත්‍රපටයෙන් පස්සෙ හඳගම, විදර්ශන, චූලානන්ද සම්බන්ධ වුණු කතිකාවකුත් ඇති වුණා. ඒ සංවාදය චිත්‍රපටය ගැන වෙනස් කියවීමකට යන්න උදව්වක් වුණා...

      හඳගම එදා කී දේවල් අනුව මේ චිත්‍රපටිය රූපගත කරන හැම තැනකම මිලිටරිය ඉඳල තියෙනවා. හැබැයි නිළ ඇඳුමින් නෙවෙයි.. සංස්කරණයෙදි සමහර රූප රාමු ඉවත් වුණු බවත් කියැවුණා.

      වාරණයට හසුනොවෙන්න දැනුවත්ව ඇති කළ හිඩැස් මේ චිත්‍රපටියෙ තියෙනවා. ඒ හිඩැස් කියවා ගැනීම ප්‍රේක්ෂකයාට පැවරෙන අමතර වැඩක් තමයි.. නමුත් මට නම් ඒ වැඩේ සුන්දරයි...

      ඔහේ බලාගෙන ඉන්න රූප රාමු ඒක හඳගමගෙ සිනමා උපක්‍රමයක් තමයි... හැබැයි උතුරෙ ඇතුළට ගියාම ගොඩක්ම යුද්දෙන් බැට කෑව ගම්වල මේ විදියට බලාගත් අත බලන් ඉන්න සැබෑ මිනිස් රූප හමුවෙනවා තිසර. චිත්‍රපටියෙ නම් මේ නිහඬ ගල් ගැහුණු මිනිස් රූප බලන් ඉන්නෙ අපි දිහා... වෙලාවකට අභියෝග කරනවා වගේ.තවත් වෙලාවකට ආයාචනා කරනවා වගේ...

      උතුරෙත් දකුණෙත් ජාවාරම්කාර ව්‍යාපාරික පෙළැන්තියක් ගොඩනැගුණා... පැහැදිලිවම දේශපාලන රැකවරණයක්, මිලිටරි රැකවරණයක් නැතිව මේ දේවල් කරන්න අමාරුයි.... හඳගම රූප රාමුවලින් නොකියන ඒත් හිතන්නට පොළඹවන්නෙ ඒ යථාර්ථය ගැනයි කියල මට හිතෙනවා...

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...