පිටු

Tuesday, October 30, 2012

සිව් දිනක සොඳුරු මතකය... ( 02 කොටස )



ධර්ම විවේකයකට තුලන ගිය සිව් දිනක අත්දැකීම  මම ඔබත් එක්ක බෙදා ගත්තනේ... එම ගමනේ තවත් අපූරු මතක ඉසව් කිහිපයක් මේ.. 


දවසේ පිය සටහන්....

හිමිදිරියෙන් අවදි වෙලා හැමදාම වගේ මම ගියේ එළිමහනට.. ඉර එළිය විඳින්න.. නිරුවත් දෙපය පිණිකැටවලින් නාවමින් තණකොල ගොල්ලෙ නිදහසේ ඇවිදින්න... දැනෙන සිහිල සිත පුරාම විඳින්න... මීදුමෙන් බොඳ වුණ හරිත පරිසරය දෙනෙතට, සිරුරට පමණ‍ක් නොවේ හිතටත්  සුවදායක හැගීමක් ගෙනාවා... කෘතිම සීතල කොන්ක්‍රීට් ගුහාවක සිරගතව ගෙවන 
ජීවිතයට මේ නැවුම් ඉර එළිය, සීතල පිණිකැට... ආශිර්වාදයක් වගේ...

සක්මනක සුවය විඳි නිල් තණ පලස


මේ එළිමහන් සක්මනේදී විසාල සිතුවිලි ගගුලක් ගලා ගෙන ගියා හිත අසලින්... ඒ සිතුවිලි ගගුලෙ දෙවියන්... ජේසු... මරියතුමිය.. බුදු හාමුදුරුවො විතරක් නෙවෙයි ගමේ පල්ලියෙ ස්වාමිගෙ ඉඳන් කාදිනල් දක්වාත්, අසරණ අහිංසක පීඩිත මිනිස්සුන්ගෙ ඉඳන් රාජපක්ෂ පවුල දක්වාත්... වැලි කැටේ ඉදන් ඉර හඳ දක්වාත් බොහෝ සිතුවිලි පාවුණා... ඒත් ඒ සිතුවිලි මම හිතට බරක් කර ගත්තෙ නැහැ... සැනසුම, සැහැල්ලුව බලාපොරොත්තුවෙන් ආව ගමනක් කිලිටි කර ගන්න අවශ්‍ය නැහැනෙ... නමුත් මගහරින්න බැරි අභියෝගයක් තියෙන බව නම් අමතක කරන්නම බැරි උණා...

ඉන්පස්සෙ උදේ තේ කෝප්පය ...

ආයෙමත් පුංචි පල්ලියෙ නිස්කලංක පැයක්... හිතත් එක්ක කතා කරමින්.. හිතට සවන් දෙමින්... බයිබලය හෝ පොතක් කියවමින්... පුදුමාකාර සැනසුමක් අත්වින්ද මොහොතක්...

ඉන්පස්සෙ උදෑසන ආහාරය....

පියතුමා එක්ක සාකච්ඡාව ඇරඹෙන්නෙ උදෑසන ආහාරයෙන් පස්සෙ... බයිබලය මුල් කර ගත්ත දේව ධාර්මික කරුණු ගැනයි කතා බහ වුණේ... නමුත් කාලීන ආගමික, සමාජ, දේශපාලනික කාරණා එක්ක දේව ධර්මය, ජේසුගෙ ජීවිතය  සම්බන්ධ කර ගනිද්දි පැහැදිලි වෙනවා කිතුනු අපි ඉදිරියෙ මග ඇරල යන්න බැරි  අභියෝගයක් තියෙනවා කියල. ඒ වෙලාවට නම් හිතට හරි බරක් දැනෙනවා... වෙන්න ඕන මොනවද? ඒත් අපි කරන්නෙ මොනවද කියල හිතෙද්දි.... සාකච්ඡා කළ කාරණා කිහිපයක් මේ විදියට පෙළ ගස්වන්නෙ මගේම මතකය අළුත් කර ගන්නයි... ( සමාවෙන්න ‍බ්ලොගය කියවන බොහෝ දෙනෙකුට මේ කාරණා අදාළ නෙවෙනවානම්...  )

හිතට දැණුනු දේව ධාර්මික කාරණා

·         ඇත්ත දේව ධර්මය හඳුන ගන්න නම් අපි බයිබලයේ මූලාශ්‍රවලට යන්න ඕන.. දැන් අපි කියවන බයිබලය ග්‍රීක් භාෂාවට ඇවිත්, ඉංග්‍රීසි වෙලා ඊටත් පස්සෙ සිංහල වෙලා තියෙන්නෙ.. හීබෲ භාෂාවෙන් බයිබලය දෙන අදහස ග්‍රීක් භාෂාවට පරිවර්තනය වෙද්දි ගොඩක් වෙනස් වෙලා තියෙන්නෙ ග්‍රීක් දර්ශනයේ බලපෑම නිසා... බයිබලය හදාරනවනම් හීබෲ භාෂාවෙන්ම හැදෑරීම තමයි වඩාත්ම හොඳ..

·         බයිබලය ධාර්මික ග්‍රන්ථයක් වගේම අපූරු සාහිත්‍ය කෘතියක්... ධර්මය පහදා දෙන්න කතන්දර කීමේ කලාව යොදා ගන්න පුළුවන් බවට හොදම සාක්ෂියක්...

·         බයිබලයේ ඉතිහාසය තුළ ජීවත් වන දෙවියන් හඳුනා ගන්න. ඒ දෙවියන් ආදරණීය තාත්තා කෙනෙක්. ආධිපත්‍යයක් නොදරන, අවදානම් දරමින් ජීවිතේ ඉදිරියට යන්න නිදහස දෙන දෙවි කෙනෙක්... වැටීම්, රිදීම්, තැවීම් තුළ ජීවිතේ ඉගෙන ගන්න ඉඩ හරින, සමාව දෙන්න සූදානම්  දෙවි කෙනෙක්. ඒ වගේම දිළින්දන් පීඩාවට පත් කරන දුෂ්ටකම්වලට උදහස පාන දෙවි කෙනෙක්... බයිබලය තුළ දිග හැරෙන මානව ඉතිහාසය පුරාම මේ දෙවියන් මිනිසුන් අතර අන්‍යොන්‍ය බැඳීම පවතිනවා. ඒක පියපුත් සම්බන්ධතාවයක්... දෙවියන් වහන්‍සේට ඕන කරන්නෙ පරිණත විදියට හිතන වැඩ කරන, අවදානම් ගන්න, වැටි වැටිත් නැගිටින දරුවො.. ( හුරතල් කරන්න බබ්බු නෙවෙයි පියතුමාගෙ වචනවලින්ම කියනවනම්... )




·         මේ දේව තාත්තා පරිපූර්ණ තාත්තා කෙනෙක්.. කරුණාවන්ත තාත්ත ‍කෙනෙක්.. ඒ පරිපූර්ණත්වයත්, කරුණාවන්තකමත් දේව ස්වරූපය දරන අපෙන් එතුමා බලාපොරොත්තු වෙනවා.

·         දෙවියන් වහන්සේ නිර්මාණශීලියි.. එහෙමනම් දේව ස්වරූපය දරන, දෙවියන්ගෙ දරුවො වෙන අපිත් නිර්මාණශීලී වෙන්න ඕන..

·         දෙවියන් වහන්සේ අන්ධ විශ්වාසයට විරුද්ධයි.. ප්‍රශ්න කරන්න, තර්ක කරන්න, සාකච්ඡා කරන්න... ධර්මය අවබෝධ කර ගන්න ලැබෙන්නෙ එවිටයි.  ජුදා සම්ප්‍රදාය තුළ එකවර කිසි දෙයකට එකඟ වෙන්නෙ නැහැ.. ඒ බලපෑම බයිබලය තුළ ගොඩ නැගෙන දේව ධර්මයටත් තියෙනවා...

·         දෙවියන් වහන්සේ තුළ යැපෙන ජීවිතයක් ගැන විශ්වාසයක් නැති නිසයි අපි රැස් කරන්න උත්සාහ කරන්නෙ. ( ධනය, බලය, නිලතල, නම්බු නාම.. ) ඒ වගේම අපි අසහනයෙන්, කලකිරීමෙන්, පීඩාවෙන් ඉන්නවනම් ඒ විශ්වාසයක් නැති කම... කුරුල්ලො වගේ සැහැල්ලුවෙන් ඉන්න....

·          දේව වචනය කියන්නෙ මෙනෙහි කරන්න සිතුවිල්ලක්වත්, දර්ශනයක්වත් නෙවෙයි. බයිබලය තුළ දෙවියන් වහන්සේ කතා කරන හැම අවස්ථාවකම ඇහුම්කන් දීම සහ ක්‍රියාත්මක වීම කැපී පේනවා... මේ නිසා ක්‍රියාවෙන් තොර ඇදහීම නිෂ්ඵලයි.

තවත් කාරණා ගොඩක් කතා කළා... මට හිතෙන්නෙ මේ ටික ඇති කියලයි. දින හතරක් පුරා කතා කළ දේවල්, මෙනෙහි කළ දේවල් ලියන්න පෝස්ට් සීයක්වත් ලියන්න වෙයි.

පුංචි පවුල රත්තරන්...

අපේ කෑම බීම ටික හදල දෙන්න, අපේ නේවාසිකය රැක බලා ගන්න හිටියෙ පුංචි පවුලක්. අම්මයි, තාත්තයි, අවුරුදු පහක පුංචි පුතයි. අවුරුදු විසිතුනක් වයසැති මේ තරුණ අම්මා හරිම කඩිසරයි. මිත්‍රශීලීයි. ඒ වගේම ඈ හදන කෑමත් හරි රසයි. චතුක පුංචි පුතා මේ දවස් කිහිපයේ දේව ධර්මයට ලබා දිය නොහැකි වූ අපූරු චමත්කාරයකින් අපේ හිත් පිරෙව්වා ඇත්තටම... හරිම ආදරණීය, දඟකාර දරුවෙක්..වෙලාවකට හරිම පණ්ඩිතයි..මේ දරුවගෙ කරේ කුරුසයක් දැම්ම කළු පටියකුයි, සුරයකුයි දෙකක්ම තියෙනවා... ආගම් දෙකක සංකලනයක්... අම්ම කතෝලික.. තාත්ත බෞද්ධ... තුලන ආයතනයේ නමට, කාර්යභාරයටම ගැළපෙන පුංචි පවුලක්...

එක දවසක රෑ කෑමට අපට ඉඳි ආප්ප එක්ක මාළු හොදි තිබුණා.. ඔන්න චතුක පුතා කෑම මේසෙ වටේ කැරකි කැරකි මෙහෙම කියනවා...
'' ඔය තියෙන්නෙ මං අල්ලපු මාළු.. මම නැවක මුහුදු ගිහින්, බිලී පිත්තට පණුවෙක් දාලා මාළු දහයක් ඇල්ලුවා... ඒ මාළු තමයි ඔයාලට උයල තියෙන්නෙ අපේ අම්මා... ''
'' ඇත්තට....... ඔයා හරි හපනෙක්නේ...'' අපිත් හිනා වෙලා පුතාව අගය කළා.

චතුක කැමති නෑ එයා යන්නෙ මොන්ටිසෝරියට කියල කියන්න. එයා කියන්නෙ '' මම යන්නෙ ලොකු ඉස්කෝලෙ. මට හැමෝම කියන්නෙ අයිය කියල..'' හැබැයි අයිය ගෙදර ආවම තාමත් අම්මගෙන් කුක්කු ‍බොනවා.. මේ ගැන විහිළු කළාම පුංචි එකා ලැජ්ජාවෙන් ඇකිලෙනවා...
මගේ කැමරාව අතේ එල්ලගෙන ‍වත්ත වටේ කැරකි... කැරකි අපූරු ෆොටෝ ටිකකුත් ගත්තා එයා. මේ තියෙන්නෙ චතුක ගත්ත ෆොටෝ...


පොල් ගෙඩි ඡායාරූපය.. 

ලස්සන අහස නේද?

අපූරු ඡායාරූප ශිල්පියෙක් වගේ


සමනලයෙක්වලු අර ගත්තෙ.. පුළුවන් නම් හොයන්න.

එයාට එයාගෙම පින්තූරයක් ගන්න ඕන වෙලා...

නිදිකුම්බා මල් යායක්... 

තුලන ගෙවුණු සිව් දින නිස්කලංක ගත වුණු මතකයෙන් නොගිළිහෙන සිව් දිනක් වුණා.. ඇත්තටම එය ධර්ම විවේකයක්. ජීවිත විවේකයක්... මේ වගේ විවේකී නැවතුමක් හැම ජීවිතයකටම අවශ්‍යයි කියල මට හිතෙනවා ජීවිතේට අළුත් පණක් එකතු කර ගන්න. 

15 comments:

  1. මේ වගේ ගමනක් මටත් යන්ඩ තියෙනවා නම්....

    ReplyDelete
    Replies
    1. කීපදෙනෙකුට එකතු වුණා නම් තුලන වුණත් දින කීපයක වැඩක් දා ගන්න පුළුවන් මල්ලි. සල්ලි ටිකක් නම් වියදම් වෙනවා. මේ වගේ අත්දැකීම් ජීවිතේට ලොකු වෙනසක්, අළුත්බවක් අරන් එනවා.

      Delete
  2. විවේකයක් ලැබුණු ගමන් මමත් යනවා.....ලස්සනට හිතට වදින්න ලියලා තියනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අගය කළාට. ඔන්න මමත් සමකය වටේ යනව දැන්. අපූරු ලිපි එකතුවක්.

      Delete
  3. හරිම හුරතල් පොඩි එකෙක් :)
    පින්තුර ටික දැක්කම හිතුනා යන්න තියනවනම් කියලා...

    ReplyDelete
    Replies
    1. හරි හුරතල් වගේම දක්ෂ දරුවෙක්. දාලා එද්දි මට දුකත් හිතුණා.

      Delete
  4. Replies
    1. ඇත්තෙන්ම ෂෝක් අත්දැකීමක්.

      Delete
  5. හරිම රසවත් විස්තරයක් . ඔන්න මාත් තලවිල පල්ලි ගිහින් ආවා .

    ReplyDelete
    Replies
    1. තලවිල පල්ලියත් මම හරි ආස තැනක්.

      Delete
  6. ඉස්කෝලේ යන කාලේ අපෙත් වැඩේ කොල්ලෝ ටික එකතු වෙලා පල්ලි පන්සල් කෝවිල් ඔය ඔක්කොටම යන එක... කාර්යබහුල ජීවිතෙන් මිදිලා එහෙම ඉන්න‍කොට හිතට ලොකු සැනසීමක් දැනෙනවා නේද? සමනලයා මම නං හොයාගත්තා... ළගට ගියොත් සමනලයා යන නිසාද කොහෙදෝ දුර ඉදන් අරගෙන තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. කතෝලික නිසා වැඩිපුර පල්ලි ගියාට පුංචි කාලෙ ඉදන් මමත් හරි ආසයි පන්සල් යන්න. පන්සලක තියෙන නිස්කලංක බව පල්ලියේ නෑ නේද කියල ඉස්සර මට හිතුණා. ඒත් දැන් නම් පන්සල් පල්ලි ඔක්කොම එකයි. දහමට වඩා මුල් තැන තියෙන්නෙ වෙන වෙන දේවල්වලට.

      Delete
  7. සිත නිස්කලංක කරගන්න මේ වගේ අත්ර්හ්දකිම් ලබන්නත් වාසනාව තියෙන්න ඕන . හරිම අපුරු චායාරූප ශිල්පියෙක්නේ . ලස්සන නිල අහස . පොල් වත්තක ලස්සන තණබිස්සේ වැතිරිලා වලාකුළු රටා දිහා බලන් උන්න පුංචි කාලේ මතක් වුනා .

    මමත් ආසයි බයිබල් කතා කියවන්න . ඔයාට කියන්න ඊයේ කොරියන් කතාවක බලද්දී මට මතක් වුනා බයිබලේ එන කතාවක් . අර ගෙදරින් ඈත් වෙලා හිටිය නරක පුතා ආවහම තාත්තා හොඳට සලකන කතාව . යන්තම් මතක . ඒ වුනාට ඒ කතාවෙන් ගත්තු පණිවුඩය නම් හොඳට ,මතකයි..එතකොට මට හිතුනා ආයේ බයිබල් කතා ටිකක් කියවන්න තිබ්බනම් හොඳයි කියල .

    ReplyDelete
    Replies
    1. බින්දි ඔයා කියන්නෙ අකීකරු පුත්රියාගේ උපමා කතාව ගැන. නාස්තිකාර පුත්රෙයාගේ උපමාව කියලත් කියනවා. ඇලොයි පියතුමා ඔය උපමාව ගැන ලස්සන විග්රපහයක් කළා. මම හිතන්නෙ ඒ ගැන වෙනම පෝස්ට් එකක් ලිව්වොත් හොදයි වගේ. ෆාද කියන්නෙ අකීකරු පුත්ර්යා කියන නමම වැරදියි කියල. ඔයා වුණත් හිතුවෙ නරක පුතෙක් කියලනේ. අපිත් පුංචි කාලෙ ඉදල හිතුවෙ එහෙම නේ. ඒත් ෆාද කියන්නෙ මේ බාල පුතා අවදානම් ගන්න බය නැති, ජීවිතේ වෙනසක් බලාපොරොත්තුවෙන් ඉදිරියට ගිය කෙනෙක් කියලයි.

      Delete
  8. පියතුමා කිව්ව බයිබලය හීබෲ බසින්ම කියවන්න කියන කතාව නම් ඇත්ත තමා. ඉතිහාසය හදාරන අපිටත් උපදෙස් දෙන්නේ ද්විතික හරි තෘතීය හරි මූලාශ්‍ර කියවනවාට වඩා ප්‍රාථමික මූලාශ්‍රයම කියවලා බලලා කරුණු ඉගෙන ගන්න කියලා. ගමරාල කාක්කෝ 7 දෙනෙක් වමනේ කළා වගේ වෙනසක් නොවුනත් සුළුවෙන් හරි වෙනස්කම් ප්‍රාථම්ක මූලාශ්‍රය පාදක කරගෙන ලියන ද්විතික හෝ තෘතීය මූලාශ්‍රවල තියෙන්න.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...