Monday, December 31, 2012

හැම දවසක්ම අළුත් දවසක්




දවසින් දවසට කොළයෙන් කොළයට කොළ අඩු වෙලා දින දසුනෙ... අළුත් අවුරුද්දක් උදා වෙද්දි ආශාවෙන් බලා හිටිය කාලයක් තිබුණා... 

හැමදාමත් නත්තලට හදන නත්තල් ගහ, ගවලෙන සමුගන්නෙ ජනවාරි පළමුවෙනිදටත් හැඩ වැඩ පෙන්වමින් අපි දිහා බලා ඉදල අළුත් අවුරුද්දටත් ආසිරි පතල...

පුංචි කාලෙ ඉන් මගෙ පුරුද්දක් තිබුණා දෙසැම්බර් 31 හැන්දෑවට වතුර වීදුරුවකට සමන්පිච්ච මල් දාලා ජේසුට පහන් පත්තු කරන තැන තියන එක.. පහුවෙනිදා උදේට ගෙදර හැමෝම ඒකෙන් ටිකක් බිව්වා.. ඇයි එහෙම කළේ, කොහෙන්ද පුරුදු උණේ කියල නම් මතක නැහැ. ඒත් ඒ සමන්පිච්ච මල් වීදුරුවෙ අපූරු නැවුම් බවක් තිබුණා. උදෙන්ම ඒ වගේ දසුනක් හිතටත් නෙතටත් ප්‍රියයි... කැම්පස් ආවට පස්සෙ ඒ පුරුද්ද ඉබේම මග ඇරිල ගියා...

දෙසැම්බර් 31 රෑට, එහෙමත් නැත්නම් ජනවාරි පළමුවෙනිද උදේට අනිවාර්යයෙන්ම පල්ලි යන එක බොහෝ කිතුනුවන්ගෙ සිරිතක්.. එයින් නව වසරට දෙවිුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒත් පහුගිය කාලෙ හොස්ටල්වලයි, බෝඩිම්වලයි ගෙවුණු ජීවිතේ මේ සිරිත රැකුණට වඩා මග හැරුණ අවස්ථා වැඩියි.

ඉගෙන ගන්න කාලෙ දෙසැම්බර් 31 රෑ 12 ට පහනක් පත්තු කරල පොතක් බලා ගත්තා.. ඒ නව වසර පුරාම ඉගෙනීමේ වැඩ හොින් කර ගන්න ලැබෙන්න කියල හිතල. එවැනි ප්‍රාර්ථනා ජීවිතේ අධිෂ්ඨානයන් උණාම ඉලක්කවලට යන්න ලේසි වෙනවා... හැබැයි අද මං හිතනවා ජීවිතේ හැම දවසක්ම ජනවාරි පළවෙනිදාවක් වගේ නැවුම්, අධිෂ්ඨානශීලී දවසක් වෙන්න ඕන කියල.

කැම්පස් ජීවිතෙන් පස්සෙ අවුරුදු පහක්ම හිටිය නුගේගොඩ බෝඩිමේ ඇන්ටි දෙසැම්බර් 31 රෑ දොළහ වෙනකල්ම ඇහැරගෙන ඉන්නව බුදුන් වින්න. එයා බුදු කාමරේට යන්නෙ මගේ කාමරේ මැදින්... යස රට නිදන් ඉන්න මාව ඇහැරවල මටත් පහනක් ලෑස්ති කරල දෙනව රෑ 12 ට පත්තු කරන්න. ඉතින් මමත් පහන පත්තු කරල යැදුමක් පැතුමක් කරනවා. මගේ ඕනකමටත් වඩා ඇන්ටිගෙ හිත සතුටු කරන්න.

රැකියා ජීවිතේ ඇරඹුණාට පස්සෙ නව වසරෙ වැඩ පටන් ගන්න මුල්ම දවසෙ කාර්යාලයෙදි සිව් ආගමික වතාවත් සිදු කෙරුණා. ඒ හැම අවස්ථාවකම කිතුනු පියතුමෙක් සම්බන්ධ කරන වගකීම පැවරුණේ මට. ළ.ක්‍රි.වී. ළමා ව්‍යාපාරයත් එක්ක සම්බන්ධ වෙලා අවුරුදු ගාණක් වැඩ කළ නිසාම නිර්මල මරිය නිකාය මට මගේ පවුල වගේ වෙලා. ඒ නිසා පියතුමෙක් සම්බන්ධ කර ගැනීම කවදාවත් අපහසු උණේ නැහැ. මේ වතාවෙ ආගමික පිළිවෙත් ඕන නැහැ කියල චක්‍රලේඛයක් ඇවිත්ලු. රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව විතරක් දුන්නම ඇතිලු. ( ආගම දහම අදහන මිනිස්සුන්ට හිතට එකව රාජ්‍ය සේවයේ යෙදෙන එක අද හරිම අමාරු වැඩක් නිසා වෙන්න ඇති. )

පුංචි කාලෙ ඉල අළුත් අවුරුද්දක් පිළිගන්න කොයි තරම් පේ වෙලා බලන් උන්නත් 2012 පටන් ගත්තෙ නම් මම වෙනස්ම විදියකට. දෙසැම්බර් 31 රෑ හො හැටි නිදා ගත්තා. පල්ලි යන් කියල ඇන්ටි බල කළත් ගියේ නෑ. ( දැන් නවාතැනේ ඇන්ටි කතෝලික ) ජනවාරි පළවෙනිද ගියේ මළ ගෙදරක. එදත් පල්ලියකට ගොඩ උණේවත් නැහැ.ඒත්  හැම මොහොතකම හදවතින් මම දෙවියන් එක්ක සංවාද වෙමින් 2012 වසර පුරා ජීවත් වුණේ. ( පල්ලි යාම ටිකක් එපා වෙලා තිබුණ උණත්. )

2012 වසරෙ මට කිසි නරකක් උණෙත් නැහැ. ජනවාරි 25 අත්තිවාරම් කපල, මුල්ගල් තිබ්බ ගේ පොඩ්ඩ යම්තම් ඇතුළට වෙලා ඉන්න පුළුවන් විදියට එකලසක් කර ගෙන නත්තලේදි පදිංචි උණා. ‘‘මගේ ගේ කිව්වට එහෙම කියද්දි හිත ඇතුළෙන් වරදකාරී හැීමක් දැනෙනවා.

ඇත්තටම ඒක මගේ නෙවෙයි, අපේ ගේ...

ගේ හදාගන්න නිර්ලෝභීව තමන්ගෙ ඉඩමෙන් කොටසක් දුන්නෙ ලොකු නංගී. ගේ හදන්න ඉතිරි කර ගත් මුදලත්, ණය ගත් මුදලත් ගෙවන්නෙ මගේ වැටුපෙන් උණාට ඒ මේ රටේ මිනිසුන්ගෙ දහඩිය මහන්සිය..... අනික මම කොළඹ ඉද්දි ගේ හැදුණෙ අම්ම, තාත්තගෙ නංගිලගෙ, මල්ලිගෙ වෙහෙස මහන්සියෙන්. බිත්ති බැන්දෙ, වහළෙ ගැහුවෙ ගමේම අය. ඒ නියම කුලියවත් අය කර නොගෙන. හිතවත්කම සහ හො හිත මත තමන්ගේම වැඩක් වගේ කරල දුන්නෙ.

ගේ හදන්න පටන් ගත්ත දා ඉඳල ලැබුණ ආශිර්වාදයන්, දිරි ගැන්වීම් මෙතෙකැයි කියන්න බැහැ.

මේ විදියට බැලුවම මමය, මගේය කියල කිසිම දෙයක් මේ ලෝකෙ නැහැ නේද කියල හිතෙනවා. අපි කන බත් ඇටයක් ගානෙ, අපේ ඇගේ දුවන ලේ බිංදුවක් ගාණෙ, අපි ලියන අකුරක් ගානෙ කෝටි සංඛ්‍යාත මිනිසුන්ගෙ දහඩිය මහන්සිය, කැපවීම, ආදරය තියෙනවා...

2012 වසරේ මම ලැබූ අනිත් ජය මගේ බ්ලොග් එක.

බ්ලොග් ගැන නාම මාත්‍රිකව දැනගෙන, බ්ලොග් කියවල, ඉන්පස්සෙ තනියෙන්ම ඉගෙනගෙන බ්ලොග් එකත් හදා ගත්තා. අන්තර් ජංජාල පහසුකමත් ලබා ගත්තා. ඒ නිසා හදවතේ පිරුණු හිස්තැන් බොහොමයි.
පරාජයන්, හිත් වේදනාවන්, අමාරුකම් තිබුණෙ නැතිව නෙවෙයි... ඒත් ඒ හැමදේම අමතක කරන්න පුළුවනි ගොඩක් දෙනෙක්ගෙ ආදරය ලබන්න වාසනාවන්ත වෙලා තියෙනව නේද කියල හිතද්දි. නොලැබුණ දේට වඩා ලැබිල තියෙන දේවල් වටිනවා.

ඉතින් .... හැම දවසක්ම අළුත් දවසක්... හැම මොහොතක්ම අළුත් මොහොතක්... 2013 දිත් එය එසේම වේවා... ඔබටත් මටත්...

දුක් විින, අසරණ වුණ බොහෝ මිනිස්සුන්ට සැනසුම් සුසුමක් හෙළන්නට, තුටු කුළක් හෙලන්නට ඉඩක් ලැබෙන... ඒ වෙනුවෙන් හක් නගන්නට ශක්තිය, ධෛර්යය ලැබෙන සුබ නව වසරක් වේවා... 

Friday, December 21, 2012

ගමද........? නගරයද......?




පුංචි කාලෙ ඉස්කෝලෙ, දහම් පාසලේ, සාහිත්‍ය සමිතියෙදි විවාද කරන්න ලැබුණු මාතෘකාවක්නෙ මේ... ලැබෙන්නෙ ''ගම'' නම් අපි ගම වර්ණනා කළා ඒකට හේතුත් ගොඩක් තිබුණා... ලැබෙන්නෙ ''නගරය'' නම් ඒ ගැනත් කියන්න බොහෝම කරුණු තිබුණා...

 බොහෝ කලාකරුවන්, ලේඛකයන් අත මේ ගම නගරය කියන මාතෘකාව කතාබහට ලක් වෙලා තියෙනවා නොයෙක් වර... මට මතකයි මංජුල වෙඩිවර්ධනයන්ගෙ කවියක තිබුණ ගමෙන් නගරයට ඇවිත් නගරයේ සියලු සැප පහසුකම් භුක්ති විඳිමින් ගම වර්ණනා කර කර ඉන්න කවියො ගැන... හරියටම මතක නැහැ මොන කවි පොතේද කියල. ( පිලිහුඩුවීද ? බලල කියන්නම් )

පහුගිය ටිකේම මට හරියට හිතුණ ‍ගමේ යන්නෙ කවදද? ගෙදර යන්නෙ කවදද කියල. ඒ මම නගරයට කැමති නැති නිසා නෙවෙයි. ඉපදුණු හැදුණු වැඩුණු ... ගමේ පවුලෙ අය, නෑසියන්, හිත මිතුරන්, ගහකොල අතර හිත නිවන ගතියක් තියෙනවා.. හිත සැනසෙන ආදරණීය බවක් තියෙනවා... ඒ නිසා ගමට හිත ඇදෙන ගතියක් තියෙනවා.

කොළොම්පුරට ඇවිත් දැන් අවුරුදු ‍දොළහක් ගෙවිලා... කොළඹ කියද්දි බොහෝ දෙනෙක්ගෙ හිත්වල තියෙනවා රැවටිලිකාර, භයානක තැනක් ‍වගේ හැඟීමක්. ඒත් මේ තරම් කාලෙකට මට නම් කිසිම භයානක අත්දැකීමකට මුහුණ දෙන්න වෙලා නැහැ. ‍යහපත් මිනිසුන් මුණ ගැහිල තියෙනවා. ජීවිතයට වටින අත්දැකීම් රැසක් එකතු වෙලා තියෙනවා..

දරා ගන්න බැරි දේවලට තියෙන්නෙ දූවිල්ල, විස දුම, මහා කන්කරච්චලය තමයි...

අද ගම නගරය කියල වෙනසක් නැහැ... කොතනත් එක වගේම හොද, නරක මිනිසුන් ඉන්නවා. ඒ නිසා ගමවත්, නගරයවත් සන්සන්දනය කරන එක තේරුමක් නැහැ.. මිනිස්කමේ පරිහානියක් හැමතැනම දකින්න තියෙනව වගේම, මනෂ්‍යත්වයේ සුවඳ විහිදුවන මිනිසුන් කොතනත් ඉන්නවා.

මට වැඩියෙන්ම ආදරය කරන අය ඉන්නෙ, මාව වැඩියෙන්ම තේරුම් ගන්න අය ඉන්නෙ ‍ගමේ, ගෙදර කියල මට හිතෙනවා. කුස්සියට වෙලා අම්මයි, තාත්තයි එක්ක කයියක් ගහන්න.... චූටි දෝණි ( නංගිගෙ) එක්ක සෙල්ලම් කරන්න, බයිසිකලය අරන් මහගෙවල් වල රවුමක් යන්න, නිදහසේ ගහකොල, වෙල්එළි, වැව් දෙණියෙ හුළග විඳින්න .... ගමට යන්න ආසයි.

නත්තල ගමට යන්න මට කුරුලු පිහාටුවක් එවල... හෙට ඔන්න ගෙදර යනවා මම. නත්තල් ආච්චි වෙලා.. ආයෙම එන්නෙ 30 ඉරිදා.. ගෙදර ගියාම අන්තර් ජංජාල නැහැ. කොම්පියුටරේ තියෙන්නෙත් බෝඩිමේනෙ... ඒ නිසා ඔන්න හැම දෙනාටම,

ආදරය........... සාමය...........සතුට පිරුණු  සුබ නත්තලකට ආසිරි පතනවා හදවතින්ම...

( ලංකාව පුරාම බොහෝ දෙනෙක් කරදර ගොඩකනෙ මේ දවස්වල ඉන්නෙ... ඉතින් ආගම් භේදයකින් තොරව අපි හැකි විදියට මිනිසුන්ට සහනයක්, සතුටක්, ධෛර්යයක් වෙන්න උත්සාහ කරමු. )

Tuesday, December 18, 2012

සාප්පු සවාරි...




ෂොපින් යන එක සාමාන්‍යෙයන් කාන්තා පාර්ශ්වය බොහොම ආසාවෙන් කරන වැඩක්නේ. ඒත් මට නම් එපාම කරපු වැඩක්... මම හරිම කම්මැලියි සාප්පු සවාරි යන්න. මගේ යාළුවොත් මේ බව දන්නවා. මා එක්ක ෂොපින් ගිහින් වැඩක් නෑ කියල තමයි එයාල කියන්නෙ.

ඉක්මණින්ම ගන්න ඕන දේ අරගෙන ‘‘ මම නම් හරි යමුද? කියල මං කියාවිලු. කතාව ඇත්ත තමයි. මට ඕන ඉක්මණින්ම ගන්න දෙයක් අරගෙන ආපහු හැරෙන්න. මේ නිසා තනියෙන්ම ෂොපින් යන්න තමයි දැන් මම පුරුදු වෙලා ඉන්නෙ. කවුරුවත් පස්සෙන් සාප්පුවක් සාප්පුවක් ගානෙ ඇවිදින කරදරෙන් නිදහස්... මට ඕන දේ ගත්ත ආවා...

කම්මැලි නොහිතෙන්නෙ පොත් අතර රස්තියාදු වෙන්න විතරයි.... පොත් සාප්පුවක නම් ඕන තරම් වෙලා ඇවිද ඇවිද ඉන්න ආසයි..... ආපහු යන්න හදිසියක් නැහැ. ඒත් ඉතින් පොත් අතර රස්තියාදු වෙන්න ආසාවෙන් එන යාළුවො නම් නෑ.

ෂොපින් ගැන ලියන්න හිතුනෙ අද ටිකක් කොටුවෙ ඇවිද්දා, පුංචි පුංචි බඩු ටිකක් ගන්න. වරුවක්ම නිවාඩු දාලා ගියේ ටිකක් ඇවිදින්න ඕනෙ කියල හිතාගෙන... තෝරල බේරල ඕන කරන දේවල් ගන්න ඕන කියල හිතාගෙන. ඒත් දෙක වෙද්දි ගන්න ඕන හැමදේම අරගෙනත් ඉවරයි. අපරාදෙ නිවාඩු දැම්මෙ කියල හිතුණා.

මම අකමැති උණත් සාප්පු සවාරි යන එකේ වාසිත් නැතුව නෙවෙයි....


·         අපට අවශ්‍ය කරන දේවල් අඩු මිලට, පහසුවෙන් ගන්න පුලුවන් මොන වගේ තැන්වලින්ද කියල දැන ගන්න ලැබෙනවා... ( ෂොපින් යන්න අකමැති නිසා මට මේ දැනුම නෑ... ඉතින් හදිසියකට ගන්න ඕන දෙයක් ගැන දැන ගන්න කාගෙන් හරි අහන්නම වෙනවා..)

·         නිතර ෂොපින් යන අය හොදින් දන්නවා මිල ගණන්... ඒ වගේම හෙට්ටු කරල මිල අඩු කර ගන්නත් දන්නවා... ( මං වගේ උදවිය කරන්නෙ වෙළෙන්දො කියන ගානක් දීල බඩු අරන් එන එක... සමහර විට අපරාදෙ කියල හිතෙද්දි පමා වැඩියි. )

·         නිතර සාප්පු සවාරි යද්දි සාප්පුවල අය එක්ක හිතවත් වෙනවා. එයිනුත් යම් වාසි තියෙනවා.. මිල ටිකක් අඩු කර ගන්න, හොදම දේ තෝර ගන්න අවස්ථා ලැබෙනවා. 



මට හිතෙන හැටියට අවාසි තමයි..

·         කාලය නාස්ති වෙන එක..
·         අනවශ්‍ය දේවලුත් ගොඩ ගහගන්න එක..
·         නිකරුණේ මුදල් වැය කරන එක...
·         තව ගොඩක් දේවල් තියෙනවා.... කුණු දූවිලි නෑම, විස වායුව ආස්වාස ප්‍රාස්වාස කිරීම, ලේ කෝප කර ගැනීම වගේ දේවල්...

සාප්පු යන්න තියෙන අකමැත්ත නිසාම මම පාවිච්චි කරන උපක්‍රම කිහිපයක් තියෙනවා.



·         ගන්න ඕන මොනවද කියල කළින් සැලසුම් කර ගැනීම.
·         වියදම් කරන මුදල තීරණය කරල ඒ මුදල පමණක් ළග තබා ගැනීම
·         ගන්නෙ කොතනින්ද කියල කළින්ම සැලසුම් කිරීම
·         පළමු හෝ දෙවන සාප්පුවෙන් මිල දී ගැනීම
·         අත්‍යවශ්‍යම කරුණකදී අත්‍යවශ්‍යම දෙයක් පමණක් මිල දී ගැනීම
·         හැකි තරම් සාප්පු සවාරි නොයා සිටීම
·         කොළඹ නගරයේ සාප්පු ගානෙ ඇවිදිනව වෙනුවට ගමේ යන ගමන් ආසන්න නගරයෙන් අවශ්‍ය කරන දෙයක් ගැනීම ( මේ නිසා අපේ පැත්තෙ අය ඇදුම් පැළදුම් ගන්න කොළඹ, මීගමු, වත්තල එද්දි මම කොළඹ ඉදන් ගිහින් එහෙන් ඕන කරන දෙයක් ගන්නවා... )


බුදු හාමුදුරුවො දේශනා කළ සරල අල්පේච්ඡ දිවි පැවැත්ම කොයි තරම් වටිනවද? ඒ වටිනාකම තේරුම් අරන් ජීවත් වෙනව නම් මේ වගේ විකුණන විකිණෙන සමාජයක වල්මත් නොවී පොළවෙ පය ගහල ජීවත් වෙන්න පුලුවන් කියල මට හිතෙනවා... ඒක ලේසි වැඩක් නම් නෙවෙයි. විශේෂයෙන්ම මේ වගේ උත්සව සමයක...   

Friday, December 14, 2012

සන්තකයම බෙදා ගත් නත්තල් සීයා


ඒ 2004 වසරේ නත්තල් දිනයයි. අපි උඳුවප් මහේ 24 වන දා රාත්‍රියේ ගමේ පල්ලියේ පැවති නත්තල් දිව්‍ය පූජා මෙහෙයට සහභාගි වෙමින් සිටියෙමු.

'' යන්න නත්තල්  දින ඉපදුණු ජේසු කුමරුන් ලොවට ගෙන ආ ආදරයේ සාමයේ පණිවිඩය ‍රැගෙන යන්න. '
පියතුමා අවසාන ආශිර්වාදය දානය කළේය. අපි සැවොම නත්තල් ප්‍රීතියෙන් ප්‍රමුදිත සිතින් මෙලෙස ගායනා කළෙමු.

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා ... ලස්සන බිළිදෙක් මල් වගේ
මවගෙ ළයේ සුරතල් විඳින්නා ... මුතු වැනි රූ සපුවයි ඇගේ
ජය ජය ජය සිරි ... ජය මංගල සිරි... මංගල ආසිරි අත් වේවා...
මෙලොවට මේ නත්තල් දිනේ

ගීතිකාවෙන් පසුව එකිනෙකාට නත්තල් සුබපැතුම් පිරි නමමින් අපි පල්ලිය ඉදිරිපසට එමින් සිටියදී '' අනේ අනේ මෙන්න නත්තල් සීය කෙනෙක් එනවා.... '' ළමෝ කෑ ගසන්නට වූහ. සියල්ලෝ දෙව්මැදුරු අංගණයට පිවිසුණහ. පොල් ගස් පේළි අතරින්, අන්ධකාරය මැදින් නත්තල් සීයා කෙනෙක් හෙමිහිට පැමිණේ. අතක වර්ණවත් බැලුම් පිරුණු සැරයටියකි. අ‍නෙක් අතින් ගත් කුඩා සීනු‍වේ නාදය සුර‍ලොව සිට විහි‍දෙන නාදයක් ‍මෙන් නිසල රැය පුරා රැව් ‍දේ. නත්තල් සීයාගේ ඇුම අංගසම්පූර්ණය. උර මත කුඩා මල්ලකි. අඩුවකට ඇත්තේ පිණිමුවෙක් පමණි. මින් පෙර කිසි දිනෙක මෙලෙස නත්තල් සීයා කෙනෙක් අපේ ගමේ කුඩා දෙව් මැදුරට පැමිණ නැත. සියල්ලන් විස්මපත් වූයේ එබැවිනි.

දෙව් මැදුර අසලටම පැමිණි නත්තල් සීයා ‘‘ සුබ නත්තලක් ‍වේවා දරුවනේ...” ආරෑඪ කර ගත් වයස්ගත කටහඬකින් සියල්ලන්ට සුබ පැතුවේය. අනතුරුව මල්ලෙන් ගත් බැලුම් බෝල සහ ටොෆි දරුවන් අතර බෙදා දුන්නේය. වැඩිහිටියන්ටත් ටොෆිය බැගින් ලැබිණි. දුප්පත් නත්තල් සීයා කෙනෙක් විය යුතුය. තෑගි මල්ල එතරම් පොහොසත් නොවූයේ එබැවිනි. නමුත් අපේක්ෂා නොකළ මොහොතක පැමිණි නත්තල් සීයා අප හා බෙදා ගත් සතුට නම් සුළුපටු නොවීය. ඔහු ළමුන් සමග අත්පොඩි ගසමින් නත්තල් ගීතිකා, ළමා ගී කිහිපයක් ගායනා කළේය.

‘‘කවුද මේ නත්තල් සීයා...?”
‘‘ වෙන පල්ලියකින් ආව කෙනෙක්ද? අපේ පල්ලියෙ කෙනෙක් වෙන්න නම් බෑ....”
‘‘ කියන්න බෑ.... කවුද බලන්න පේන්න නැත්තෙ...”

අපට මහත් ගැටළුවකි. විමසිල්ලෙන් බැලූ මුත් කිසිදු සලකුණක් හඳුනා ගත නොහැකිය. සුදු පුළුන් රැවුලෙන් මුළු මුහුණම වැසී ඇත. ඇහි බැමටද සුදු පුළුන් අලවා ඇත. කණ්නාඩි කුට්ටමක් පැළඳ ඇති මුත් මම දෑසට එබිකම් කළෙමි. නත්තල් සීයාගේ දෙනෙතේ හුරු පුරුදු දීප්තියකි. ඒ නම් දන්නා හඳුනන දෑසකි.

‘‘ ඇස් දෙක අපේ අයියගෙ වගේ...” මම හෙමිහිට අපේ කට්ටිය සමග කීවෙමි.
‘‘ වෙන්න බෑ අයිය පල්ලි ඇවිත් හිටියනේ...” නංගී කීවාය.
‘‘ ලොකු පුතා වගේ තමයි...” තාත්තාද කීවේය.

අපි වටපිට බැලුවෙමු. අපේ නෑනා රේණු, දූත් වඩාගෙන සිනාසෙමින් බලා සිටියාය. අයියා පෙනෙන්නට නැත.

‘‘ අයිය නේද නත්තල් සීය? ” රේණු හිස සලා හිනැහුණාය.

‘‘ කොහෙන්ද අනේ ඇඳුම හොයා ගත්තෙ. ”

‘‘ රෙදි ගෙනත් මැහුවා...”

‘‘ ඒ කවදද? අපි දන්නෙවත් නෑනෙ...” අපි පුදුම වීමු.

මේ නත්තල් සීයා අපේ බාප්පාගේ ලොකු පුතාය. බාප්පා සර්පයෙකු දෂ්ට කිරීමෙන් මිය යන විට අයියාට වයස අවුරුදු තුනක් පමණ වන්නට ඇත. අයියා කුඩා කල හදවතේ සිදුරක් නිසා සැත්කමක් කළ හෙයින් බර වැඩ කළ නොහැකිය. ජීවනෝපාය පිණිස ඔහු කළේ කුඩා සිල්ලර කඩයකි. එය ලාබ ලැබූ වෙළඳාමකට වඩා ගමටම ණයට දුන් වෙළඳාමකි. කුලී ගමන් යන තීරෝද රථයකුත් තිබිණි. කෙසේ නමුත් ඔහු අතමිට සරු කෙනෙකු නොවීය. ඉහටත් උඩින් ණය ගොඩ ගැසී තිබූ කාලයකි. ඒ වන විට අයියාට සිටියේ එක් දියණියක පමණි.

මේ දිනවල කඩේ කොටසක අයියාගේ මිතුරකු කුලියට ඇඳුම් මැසීම කළේය. නත්තල් සීයා ඇඳුම මසා ඇත්තේ ඔහු විසිනි. මාසයක පමණ කාලයක සිට කඩය වැසීමෙන් පසුව රාත්‍රී එකොළහට පමණ මේ ඇඳුම ටිකෙන් ටික මසා තිබිණි. සැලකිය යුතු මුදලක් ඒ සඳහා වැය කර ඇත. එම නත්තලේ අපේ නෑනාට හෝ දියණියටඅළුත් ඇඳුම් පැළඳුම් කිසිවක් නොගෙන, කැවිලි පෙවිලි කිසිවකට මුදල් වැය නොකර අයියා නත්තල් සීයා සිහිනය වෙනුවෙන්ම කැප වී තිබිණි.

එදා ඉපදුණු ගමේ නත්තල් සීයා දැන් සෑම නත්තලකම ගමට පැමිණේ. ඊලග වසර වන විට සයිප්‍රස්වල සිටි නැන්දා කෙනෙක් අපට තව නත්තල් සීයා ඇඳුමක් එවා තිබිණි. ඒ වසරේ නත්තල් දා හිමිදිරියේ නත්තල් සීයලා දෙදෙනෙක් ගම වටා සැරිසැරූහ. ළමුන්ට පොත්, පෑන්, පැන්සල්, ටොෆි, බැලුම් බෙදා දුන්හ. වසරින් වසර නත්තල් සීයාගේ තෑගි මල්ල පොහොසත් විය. වසර කිහිපයකට පසු අපිද ගීතිකා ගයමින් නත්තල් සීයා සමග ගෙයින් ගෙට ගියෙමු. නත්තල් සීයලා, කැරොල් කණ්ඩායම් ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කරන අවස්ථා ඇත. නමුත් අපේ නත්තල් සීයා තෑගි බෝග, ආදරය, සතුට ලබා දී පෙරළා ලබන්නේ ආදරය, සතුට සහ ආශිර්වාදය පමණි.

වසර කිහිපයක සිට අසල්වැසි ගම්වලටද, කොහු මෝල් කිහිපයකටද, වැඩිහිටි නිවාසයටද අපි නත්තල් අසිරිය රැගෙන යන්නෙමු. දැන් එය අපේ නත්තලේ අනිවාර්ය අංගයක් වී ඇත. ප්‍රමුඛ කාර්යයක් වී ඇත. නත්තල් සීයාගේ තෑගි මල්ල පිරෙන්නේ අප සැමගේ දහඩිය මහන්සියෙනි. කොළඹ කොටුවෙන් මිල දී ගන්නා කුඩා සෙල්ලම් බඩුවකින්, කතන්දර පොතකින්, නත්තල් සැරසිල්ලකින් අපේ ගමේ පුංචි එකෙකුගේ මූණේ ඇ‍දෙන හිනාව බලන්නට අපූරුය.

නත්තල් සීයා සමග යන ගමනේ අප ලැබූ අපූරු අත්දැකීම් රැසකි.

·         වරක් ගමේ තරමක මානසික දුබලතාවයකින් පෙළෙන නැන්දා කෙනෙක් වරුවක් පුරාම නත්තල් සීයාට වඳිමින්, නත්තල් සීයා පසුපස පන්නන බල්ලන් එළවමින් පෙර ගමන් ගියාය.

·         ජීවිතේට නත්තල් සීයා කෙනෙක් දැක නැති පුංචි එවුන් බිය වී කෑ ගසන, දුව ගොස් හැංගෙන අවස්ථා සුලබය. හෙලුකොට්ටෙන් සෙල්ලම් කරමින් උන් කොහු මෝලක පුංචි එකෙක් නත්තල් සීයා දැක බිය වැදී දුව ගිය ආකාරය අප සැම සිනා සයුරක ගිල්වන්නට සමත් විය. පසුව අම්මාගේ චීත්ත කොණේ එල්ලී පැමිණි දරුවා අතට කෙසේවත් තිළිණයක් දීමට නොහැකි විය. නත්තල් සීයා තෑග්ග අම්මා අත තැබුවේය.

·         එක් වසරක අසල්වැසි නැන්දා කෙනෙකුට නත්තල් සීයා මැටි කෝප්පයක් තෑගි දුන්නේ ‘‘ මේකට අඹ මාලුවක් කාරිය හදල දුන්නට කමක් නෑ කියමිනි. පසුදිනම අපට අඹ මාලුවක රස බලන්නට ලැබිණි. ඇගේ අතින් හැදුණ අඹ ව්‍යාංජනය තරම් රස අඹ ව්‍යංජනයක් තවත් නැත. නත්තල් සීයා පවා ඒ බව දනී.

·         නත්තල් සීයාගේ පැමිණීමෙන් ළමුන් තරමටම සතුටු වෙන්නේ වැඩිහිටි නිවාසයේ ආච්චිලා සීයලාය. හැරමිටි ගසමින් ඔවුහුද ගී ගයති. නටති. අපේ පොඩි උන් සුරතල් කරති. තම දරු මුණුබුරන් ළග නැති අඩුව මොහොතකට හෝ මැකෙනවා ඇතැයි සිතෙන්නේ ඔවුන්ගේ වියපත් මුහුණු මත ඇදෙන සිනා රැලි නිසාමය. නමුත් කට කොණකට හෝ සිනා රැල්ලක් නොනැගෙන දුකින් බරවූ රැලි ගැසුණු මුහුණුද නැත්තේ නොවේ.

·         පසුගිය වසරේ අපි වැඩිහිටි නිවාසයට යන විට සවස්වරුවය. එවෙලේ ආච්චිලා සීයලා නින්දේය. ආපසු එන බව කියා පැමිණියද නැවත යන්නට නොහැකි විය. එදා දවසම ආච්චිල සීයලා අප එනතුරු බලා සිටි බව කන්‍යා සොයුරියන්ගෙන් දැන ගන්නට ලැබිණි. නැවත එවැනි වරදක් වන්නට ඉඩ නොතැබිය යුතුය.

අපට නත්තල වඩාත් ප්‍රීතිමත් අත්දැකීමක් වී ඇත්තේ නත්තලේ සතුට බදා ගන්නවාට වඩා බෙදා ගැනීම නිසා යැයි මට සිතේ. ආර්ථික අමාරුකම් කොපමණ වුවද මෙවරත් නත්තල් සීයාගේ තෑගි මල්ල පුරවන්නට අපි සූදානමින් සිටිමු. නත්තල් සීයා එනතුරු ඇගිලි ගනිමින් බලා හිින පුංචි උන්ගේ හීන බො කළ නොහැකිය.

2010 වසරේ නත්තලේ පින්තූර කිහිපයක්... 


නත්තල් සීයා ගමනට සැරසෙමින්

ළමුන් සමග ගීතයක් ගයමින්

අනේ බබෝ බයවෙන්න එපා... මම නත්තල් සීයා..

නත්තල් සීයා ආච්චිල සීයලා එක්ක