පිටු

Wednesday, June 12, 2013

සිඟිති සුරංගනාවිගෙ දින පොතින් පිටුවක්


( සුරංගනා ලෝකෙ ගැන ඔයාල වැඩි දෙයක් දන්නෙ නැහැනෙ... සුරංගනා ලෝකෙ ගොඩක් සුරංගනාවියො ඉන්නව තමයි. වගේමයි සිඟිති සුරංගනාවියොත් මහ හුඟක් ඉන්නවා. සිඟිති සුරංගනාවියන්ගෙ රාජකාරිය තමයි මේ ලෝකෙ ඉන්න පුංචි ළමයිව බලා ගන්න එක.... එයාලව සතුටින් තියන එක... ඒක ලේසි වැඩක් නම් නෙවෙයි.. වැඩියක්ම රාජකාරිය අමාරු වෙලා තියෙන්නෙ අම්මල, තාත්තල, වැඩිහිටියො නිසාම තමයි.... සුරංගනා ලෝකෙ තියෙන දින පොතේ සිඟිති සුරංගනාවියො තමන්ගෙ අත්දැකීම් ලියනවා.. සුන්දර, දුක්බර, කටුක අත්දැකීම්... සිඟිති සුරංගනාවියක් කැමති උණා අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න. ඇයි කියනවනම් අම්මල, තාත්තල, වැඩිහිටියන්ට පුංචි අයගෙ හිත් කියවන්න පහසු වෙන්නයි... අපිත් කියවල බලමු මොනවද එයාල ලියල තියෙන්නෙ කියල... )

සිඟිති සුරංගනාවිගෙ දින පොතින් පිටුවක්

සිඟිති සුරංගනාවි චූටි මිමීව දන්නෙ එයා අම්මගෙ බඩට එන්නත් කළින් ඉඳල. සුරංගනා ලෝකෙ පුංචි දේව¥තයෙක් වෙලා ඉද්දිත් චූටි මිමීට ඈ හරිම ආදරෙයි. චූටි මිමී හරි අමුතු නමක් නේද? ඔයාල පුදුම වෙයි ඒ වගේ නම් අම්මල තාත්තල දානවද කියල... ඇත්තම කතාව නම් මේ නම චූටි මිමීට දා ගත්තෙ චූටි මිමී මයි. ඇයට අම්මයි තාත්තයි දුන්න නම මෙනොලි මෙත්සලා. යාංතං බහ තෝරන කාලෙ කවුරු හරි ඇහුවම දෝණිගෙ නම මොකක්ද කියල ඈ උත්තර දුන්නෙ ‘‘මිමී කියලයි. ඉතින් ඈ චූටි මිමී උණා..

තාම අවුරුදු තුනක් උණත් සුරංගනා ලෝකෙ ඉඳන් ආව හින්දමද මන්ද චූටි මිමී දැන් හොඳට ගීතිකා කියන්නත් දන්නවා. අත් දෙක වැඳගෙන, ඇස් දෙක වහගෙන යාච්ඤා කරන්නත් දන්නවා. සින්දුත් දන්නවා. අයන්නත් අඳුනනවා. රයන්නත් ලියනවා. චිත‍්‍රත් අඳිනවා. නෝටි වැඩත් නොකරනවම නෙවෙයි. චූටි මිමීගෙ ආච්චම්ම නං කියන්නෙ එයාව ඇහේ තියන් බලා ගන්න  ඕන කියලයි. ඒ තරමට දාංගලේ. අලි හත් දෙනෙක් බලා ගත්ත තරමට මහන්සියි කියල ආච්චම්ම කතාවට කියන්නෙ.. ඉතින් හිතා ගන්න ඇහැකිනෙ චූටි මිමීගෙ දාංගලේ තරම.

මේ ළඟදි දවසක මම්ම එක්ක පොත් අල්මාරිය අස් කර කර ඉන්න ගමන් හූණු බිත්තරයක් කටේ දාල හැපුවා. එයා හිතන්න ඇත්තෙ ටිග් ටැග් සීනිබෝල කියල. මම්ම නං හොඳටම බය උණා. හූනු විසෙන් ළමයි මැරෙනවා කියල අහල තිබුණ නිසා එයාට හීන් දාඩිය දැම්මා. මම්ම බයවුණ තරම දැකල චුටි මිමීත් බය උණා. එයා චුටි මිමීගෙ කට හෝදවල ආදරෙන් කියල දුන්නා මෙහෙම...

‘‘ මගේ චූටි මැණික මීට පස්සෙ කිසිම දෙයක් කටේ දාන්න එපා. අහන්නෙ නැතිවචූටි මිමීත් ඔලූව හෙල්ලූවා. ඒත් එයාට  ඕව මතක තියේවිද නං සැකයි.

ඊට ටික දවසකට පස්සෙ වතුර බොන ගමන් වීදුරුව කටින් හපල වීදුරු කෑල්ලක් කැඩිල කටට ගිහින් තිබුණා. පේනවනෙ දාංගලේ තරම. හොඳ වෙලාවට කට කැපිලත් නෑ. වීදුරු කෑල්ල ගිලිලත් නෑ. ඇහේ තියන් බලා ගන්න  ඕන කියල ආච්චම්මා කියන්නෙ නිකම්ම නොවන බව තේරෙනවනේ...

චූටි මිමී හරිම ආදරෙයි මාමිට. එයාට ඉන්නෙ එකම මාමියි. මාමිගෙ නැන්ද හංසි නැන්දා. චූටි මිමී හංසි නැන්දටත් හරිම ආදරෙයි. දෙන්න හරි යාළුයි. අම්මත් වැඩට යනවා. මම්මා ඉන්නෙ ඈත කොළඹ. ඉතින් චූටි මිමී සින්දු කියන්නෙ, නටන්නෙ, සෙල්ලම් කරන්නෙ හංසි නැන්ද එක්ක. මේ ළඟදි හංසි නැන්ද මල්ලියෙක් ගෙනාවා. මල්ලිත් බඬේ ඉන්න කාලෙ ඉඳන්ම චූටි මිමීව දන්නවා. චුටි මිමී හිටියෙත් මල්ලි හැංගිල හිටිය හංසි නැන්දගෙ බණ්ඩිය වටේම කැරකි කැරකිනෙ. තාම ඉපදිලා දවස් දෙක තුනක් උණත් මල්ලි අඳුනනවා මිමී අක්කගෙ හඬ. අක්කයි, මල්ලියි ගජ යාළුවො වෙන ලකුණු තියෙනවා.

දැන් ඉතින් වැඬේ තියෙන්නෙ අම්ම තාත්තා, මම්මල, මාමිල, නැන්දල, ආච්චම්මල, සීයල අතේ තමයි. චුටි මිමීටත් මල්ලිටත් වෙනසක් නැතිව ආදරය කරන එක. දෙන්නම දෙන්නට ළං කරන එක. දෙන්නවම තේරුම් අරන් වැඩ කරන එක. මේ වැඬේ හරියට සමබරව නොකෙරුණොත් චූටි මිමීගෙ හිත රිදෙන්නත් පුළුවන්. මල්ලිට දුක හිතෙන්නත් පුළුවන්. දෙන්න ඈත් වෙන්නත් පුලූවන් කියල සිඟිති සුරංගනාවිට හිතෙනවා.


ආදරේ බදා ගන්නෙ නැතිව බෙදා ගන්නෙ කොහොමද කියල පුංචි පැංචන්ට කියල දෙන්න  ඕන වැඩිහිටියන්ම තමයි. හැබැයි ඒ වචනවලින් නෙවෙයි ආදර්ශයෙන්.. ක‍්‍රියාවෙන්...

6 comments:

  1. //තාම ඉපදිලා දවස් දෙක තුනක් උණත් මල්ලි අඳුනනවා මිමී අක්කගෙ හඬ//

    මටත් තියනවා ඔය අත් දැකීම එයාට එහේ ඉන්නකොට හොදට ඇහෙනවා

    ReplyDelete
  2. ඒක ඇත්ත... ආදරය, සතුට වගේ හැගීම් සාහිත්‍ය කලා රස වින්දනය... මේ වගේ දේවල්වලට දරුවෙක් හුරු කරන්න පුළුවන් මව්කුසේදීම....

    ReplyDelete
    Replies
    1. ඔව්. කොච්චර සැප සම්පත් තිබුණත් ඒ දේවල් නැතුව වැඩක් නෑ.

      Delete
  3. අනේ ඉතිං මටත් හිටියනේ මේ වගේ චූටි මමියෝ දෙන්නෙක්ම දැන්නං කර දඬු උස්වෙලා. ඒ කාලේ වගේම හිටියනං තමා මං වැඩියම කැමති.

    ReplyDelete
    Replies
    1. දරුවො හැමදාම පුංචියටම හිටිය නං හොදයි කියල හිතෙනව තමයි... ඒත් ඉතින් මේ තමයි ජීවිතේ... මට මතකයි මං නලින්ගෙ කෙලි පොඩ්ඩො දැක්ක පොටෝ එකකින්...

      Delete
  4. ඔක්කෝමත් හරි. දෙන්නව සමබරව තියන එකයි වැඩේ.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...