Thursday, June 26, 2014

අඳුරු යුගයක ඇවිළෙන මතක...



 
සමාව....!!!!!
සමාව ඉල්ලන්නෙ දැන්ද?

අනික ඉල්ලන්නත් කළින්මනෙ මම නම් සමාව දුන්නෙ... බයේ ගැහි ගැහී උන්නු කාලය, අනුන්ගෙ ගෙවල්වල නිදාගත්තු කාලය, කැලෑවල රෑ ගත කරපු කාලය මේ හැමදෙයක්ම අමතක කරල සමාව දුන්නෙ බොහොම ඉස්සරින්... එහෙම සමාව දීලා කුළුඳුල් ඡන්දෙත් දෙන්න හිතන් උන්නෙ උන්දැලටමනෙ. ඒ කුළුඳුල් කතිරෙ වයඹ මහා ඡන්ද මංකොල්ලෙට අහුවෙලා සුන්නත්දූලි වෙලා ගිය එක වෙනම කතාවක්...

අපි වින්ද දුක් කන්දරාවට සමාව දුන්නත්, අර අහිංසක මල්හාමි මාමගෙ කටට වෙඩි උණ්ඩයක් ගිල්ලවල උන්දැගෙ ජීවිතේ උදුරගත්ත එකට නම් සමාවක් දෙන්න අමාරුයි. ඉස්කෝලෙ යන එන අතරෙ නාරං බිකක්, බුල්ටෝ එකක් අපි ගත්තෙ ඒ මනුස්සයගෙ කඩෙන්. ඒක පොඩි සිල්ලර බඩු කඩයක්, අන්ධකාර ගුහාවක් වගේ. කොහු මෝලට දන් දීල දකුණු අත වැලමිට ළඟින්ම නැති වයසක මනුස්සයා.. දේශද්‍රෝහීන්ට මරණය කිව්වට මල්හාමි මාමා දේශද්‍රෝහියෙක් වුණේ කොහොමද කියල නම් මට තේරුමක් නෑ....

හැන්දෑවට අඩියක් ගහගත්තම කටකමසිරියාවක් නැතුව විමුක්තිකාමීන්ට බැණ වැදුණට ඒ මනුස්සයගෙ කටට වෙඩි උණ්ඩයක් ඔබන්න ඕනද? ඒ බැනුමත් සාධාරණයිනෙ. අතට කීයක් හරි ලැබෙන කඩ පොඩ්ඩත් වහල දාන්නෙයි කියල ලියුම් දාල යනකොට, නොබැන ඉවසන්න නම් මුනිවරු වෙන්න ඕන.. නැත්නම් කෝටිපතියො වෙන්න ඕන.

උන්දැ දන්න සමාජවාදෙ. හයහතරක් නොදන්න බේබදු තාත්ත කෙනෙක්නෙ කියල හිතල සමාව දෙන්න තිබුණා...

අනික ජනාධිපතිවරණෙ වෙලාවෙ ඡන්ද පොලට යමින් හිටි ලොකු සීයට වෙඩි තිව්ව එක... සමාවක් දෙන්නම බෑ. උපතින්ම උන්දැ ගොලු, බිහිරි... කොයි තරම් අහිංසක මනුස්සයෙක්ද? අලියට කෙළින් කතිරෙ ගහන එක ඇරෙන්න මෙලෝ දේශපාලනයක් දැනන් උන්න මනුස්සයෙක් නෙවෙයි. මිනී පිට්ටනියෙ හැංගිලා ඉඳන් ඒ තාත්තට වෙඩි බින්දෙ පණ ගැහුණ මනුස්ස හදවත් ඇත්තො නම් වෙන්න බෑ... ලොකු සීයගෙ ලොකු පුතා පළාතෙ විමුක්ති පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙක් වෙලා ඉද්දියි එහෙම විපත්තියක් උණේ.‍

ඉන්පස්සෙ අවුරුදු ගාණක් ජීවත් වුණත් ලොකු සීය උන්නෙ දකුණු අත පණ නැතිව. උන්දැගෙ ලොකු පුතා හමුදාවෙන් අල්ලගත්තලු. අදටත් ඉන්නවද, නැද්ද, වුණේ මොකක්ද කවුරුවත් දන්නෙ නෑ...   පුතා ජේවීපී කියල අන්තිමේ තාත්තට වන්දියක්වත් ලැබුණෙ නෑ. 

‘‘නොදැනලු වෙඩි තිව්වෙ.. ඡන්දෙ දාන්න යන අය බය කරන්නලු. ගම්වල අහිංසක මිනිස්සු බය කරල, ඡන්දෙ දාන්න තියෙන අයිතියත් නැති කරල ලබා ගන්න පුළුවන් විමුක්තියක් නැති බව අර පන්ති පහෙන් කියා දෙන්න නැතිව ඇති ... කරන්න ඕන රටේ තොටේ සිද්දවෙන කිසිම දෙයක් ගැන වගේ වගක් නැතිව එදා වේල හොයාගන්න ඔට්ටු වෙන මිනිස්සුන්ගෙ ඇහැ කණ පාදල තමන්ගෙ කතිරය හරියට පාවිච්චි කරන්න ඕන කරන දහිරිය දෙන එක නෙවෙයිද? කැපුවත් කොල, කැපුවත් නිල් කියල පක්ෂ බදන් අදහන් ඉන්න ගම්මුන්ව බය කරල වෙනස් කරන්න නං ඉතින් මේ රටෙන් බාගෙකටත් වඩා වෙඩි තියල දාන්න වෙයි.

හැබැයි අපේ තාත්ත නම් අදටත් ජීවත් වෙලා ඉන්නෙ ඒ ලොකු සීයගෙ ලොකු පුතා හින්ද? අපේ ගම් පළාතෙ මරන්න ඕන යූඑන්පී කාරයන්ගෙ නම් ලැයිස්තුව ආවම ඒ මාම කිව්වලු.. ‘‘ අයියව මරල දාල අක්ක ළමයි එක්ක දුක් විඳිනව බලන් ඉන්න බෑ. බය කරල පක්ෂෙ වැඩවලින් අයින් කරන්නම් කියල... තාත්තගෙයි, අපෙයි විමුක්තිය උදා වුණේ ඔන්න ඔය විදිහට. නැත්නම් විමුක්තිකාමීන්ගේ සද්ගුණවත්භාවයට හෙම නෙවි.

මේව ඉතින් ‘ලු කතා විතරක්ම නෙවෙයි.. අහපු දැකපු විඳපු කතා. මගේ පුංචි හිතේ පැලපදියම් වෙච්චි කතා...

ඒ හැම දෙයක්ම එහෙම වෙලා තියෙද්දිත් මම නම් සමාව දීලයි උන්නෙ... ඒ ගොඩක් බලාපොරොත්තු ඇතිව.. ඒත් ඒ බලාපොරොත්තුත්  බිඳිල ගිහින් ගොඩක් කල්..

ඒ හින්දම උන්දැලගෙ ලොක්ක සමාව ඉල්ලුව නොඉල්ලුව කියල කිසිම වෙනසක් සිද්ද වෙන්නෙ නෑ... අනික තවදුරටත් මට කිසිම බලාපොරොත්තුවක් නෑ උන්දැලගෙ විමුක්තිය ගැන..


 

අනුන්ගෙ ගෙවල්වල, කැලෑවල ගත වුණු නිමක් නැති රාත්‍රීන් ගණනාවකට පස්සෙ අම්මා අන්තිම ආඥාවත් නිකුත් කළා. ‘‘මට තවත් මේ ළමයි එල්ලගෙන තැන් තැන්වල ලගින්න බෑ... වෙන දෙයක් වෙන්න මම ළමයි එක්ක ගෙදර ඉන්නවා.

ඒ මහා අන්ධකාර සමයක්.. මං පුංචියි. ඒත් ඒ මනුස්සකම් ගිලිහිලා ගිය භීෂණකාරී අන්ධකාරෙ මැද මගේ පුංචි හිතත් නිරන්තර බයකින් ඇවිලි ඇවිලි තිබුණ මතකයි. මට බලපෑවෙ එකම හේතුවයි. ඒ අපේ තාත්තා ආණ්ඩු පක්ෂෙ කෙනෙක් වීම. ඒ ඇරෙන්න රටේ තොටේ වගවිත්ති ගැන අවබෝධයක් මට තිබුණෙ නැහැ.

රජ මැතිවරු ඉලක්ක කර ගන්න බැරි වුණ විමුක්තිකාමීන් ඒ වගේ ගම් මට්ටමේ දේශපාලන ක්ෂුද්‍ර ප්‍රාණියො ඉලක්ක කර ගනිමින් උන්නා. ඒ අනතුරු හෙවණැලි අපි වටේ සැරිසරමින් උන්නා. තැන තැන මුණු මුණු, කුටු කුටු.. බියෙන් සැලෙන වේව්ලන ඇස්.. හුළඟ පවා නොසන්සුන්. රෑ මැද ඇහෙන බල්ලන්ගෙ බිරුම් සද්ද, රතිඤ්ඤා සද්දයක් උණත් අපිව බයෙන් සලිත කළා.

ඉතින් එදා රාත්‍රියෙ කොහොම හරි අපි හැමෝම උන්නෙ ගෙදර..  අපිව තනි කරන්න බැරිකමට තාත්තත් අපි එක්කම උන්නා. ඒ කාලෙ එකම කාමරේ බිම එලන පැදුරක අපි හතරදෙනයි අම්මයි, තාත්තයි නිදාගන්නෙ එක පෙළට. අම්මයි තාත්තයි, නංගිල දෙන්නයි, මල්ලියි මමයි. මල්ලි පුංචියි. අවුරුදු දෙකක් නෑ.

රෑ මැද ඈතින් ඇහෙන්න ගත්ත බල්ලන්ගෙ බිරුම් හඬ එන්න එන්නම ළං වුණා. තාත්තා ඇහැරිලා. හුස්ම ගන්න හඬ ඇහුණා. මේ වගේ බලු බිරුම් සද්දෙට රැවටිලා ගෙදරින් පිටවෙලා, රෑ තිස්සේ ලඳු කැලෑවල ඉඳල කිසිම දෙයක් සිද්ද නොවුණ නිසාමද මන්ද, තාත්තා එදා කලබල වුණේ නැහැ. ඔහේ අහගෙන උන්නා. අන්තිමට අහල පහල ගෙවල්වල බල්ලොත් බුරන්න ගත්තා. කොටියා ආවෝ ආවෝ කියල නොදුවා උන්න දවසෙම ඇත්තටම කොටියා ඇවිත් තිබුණා. මහා සේනාවක වගේ අඩි සද්ද ගේ වට කරන හඬ ඇහෙද්දි සහළවල උණ ගත්ත ගානට මං ගැහි ගැහී උන්නෙ. ඒ බය විස්තර කරන්න වචන නෑ. කාමරේ අන්ධකාරෙ පිරිල තිබුණ නිසා තාත්තගෙවත්, අම්මගෙවත් මූණු පෙණුනෙ නෑ. ඒත් ඒ දෙන්නගෙ හුස්ම හඬ මහා කුණාටුවක් වගෙයි මට දැණුනෙ.

‘‘අද නං එනව වගේ... අම්මා තාත්තට කෙඳිරුවා. තාත්තා ගල් ගැහිල උන්නෙ.

ඒ අතරෙ තමයි පිටිපස්සෙ දොරට තට්ටු කරන සද්දෙ ඇහුණෙ.

‘‘අපි පොලිසියෙන්.. මේ දොර අරිනවා.” ඒ උගුර යටින් කළ ගිගිරුමක්. වැඩි හඬක් පිටනොවෙන්න. අම්මයි, තාත්තයි නිහඬවම උන්නා. ඒ නිහඬබව ඇතුලෙ මොන තරම් බයක්, තැතිගැන්මක්, කැළඹීමක් තියෙන්න ඇත්ද කියල අද මට හිතෙනවා.

‘‘දොර ඇරියෙ නැත්නම් දොර කඩනවා.” නොනවත්වා දොරට තඩිබාන හඬ ඇහුණා. ඒ වෙලාවෙ මම කොතැනද, කොහොමද උන්නෙ කියල මට මතක නෑ.

තාත්තා නැගිට්ටා.. අම්ම මල්ලිවත් වඩාගෙනම තාත්තගෙ ඇඟේ එල්ලුණා.

‘‘එපා එපා.. දොර අරින්න එපා.” තාත්තා අම්මා දිහා බලන්න ඇති. වෙන කරන්න දෙයක් නෑ වගේ බැල්මක් තියෙන්නත් ඇති.

තාත්තා සාලෙට ගියේ එළියෙ විදුලි බුබුළුත් දල්වාගෙනමයි.

‘‘ලයිට් නිවනවල” ගිගිරුම් හඬක් නැගුණෙ සාලෙ කවුළුවෙන්. තුවක්කු කටක් සාලෙට එල්ල වෙලා තිබුණා. වෙඩි තියනවනම් ඒ කවුළුවෙන් ඕන හැටියෙ වෙඩි තියන්න තිබුණා. ජනෙල් පියන් තිබුණෙත් නැහැනෙ. මං ඒ වෙලාවෙ උන්නෙ කාමරේ දොරකඩ උලුවස්ස අල්ලගෙන. හරියටම ඒ තුවක්කු කටට කෙළින්. ඒ තුවක්කුවක්ය කියල මට තේරුනෙත් නැහැ. මං බලන් උන්නෙ අම්මයි, තාත්තයි දිහා.

තාත්තා උඩ අගුල පන්නල දොර ඇරියා. දොර අරිනවත් එක්කම පිටිපස්සෙ ඉස්තෝප්පුවෙ උන්න හැඩි දැඩි මනුස්සයෙක් තාත්තගෙ නළලට තුවක්කුවක් තිබ්බා. ඒ පිස්තෝලයක්ලු. මං පස්සෙ දැනගත්තෙ.

‘‘තමුසෙ නේද ................ ” කළු තොප්පියයි, කළු ඇඳුමයි එක්ක කට්ට කළු අවතාරයක් වගේ පෙණුන ඒ මනුස්සයා තාත්තගෙ නම ඇහුවා. තව මොන මොනවදෝ කතා ගොඩක්. තර්ජන ගර්ජන. මට මතක නෑ. කළු අඳුරු මුහුණු විටින් විට ජනේලෙනුත් එබුණා.

ඒ අතරෙ තමයි අම්ම මල්ලිත් වඩාගෙන තාත්තයි, පිස්තෝල කටයි මැද්දට පැන්නෙ.

‘‘එයාව මරනවනම්, මටයි, දරුවන්ටත් වෙඩි තියල මරල දාන්න.” අම්මගෙ හඬ වෙව්ලුවා. ඒත් අම්මා ඇඬුවෙ නෑ.

අන්ධකාර රාත්‍රියක, අවි අමෝරාගත් විසිපහක් තිහක් වටේ සැරිසරද්දි අම්මගෙ හිතට ඒ තරම් හයියක් ආවෙ කොහොමද කියල මට තාමත් හිතා ගන්න බෑ. ඒ වෙලාවෙ අපි හතර දෙනා කෑ ගහපු සද්දෙ ගොඩක් ඈතට ඇහුණ කියලයි පස්සෙ ගමේ අය කිව්වෙ.

අම්මා තාත්තට ඉස්සරහින් තුවක්කුවට මූණ දීගෙන, හෙමිහිට තාත්තව මුවා කරගෙන සාලෙටත් ඉන්පස්සෙ කාමරේටත් අරන් ආවා. බය කරන්න මිස කොකා ගස්සන්න නියෝගයක් නොතිබුණු නිසාම වෙන්න ඇති විමුක්තිකාමී අන්ධකාර හෙවණැලි අම්මව වළක්වන්න උත්සාහ කළේ නෑ.

තාත්තා නිදි පැදුරෙම ඉන්ඳවුනේ වාරුවක් නැතිවම වෙන්න ඇති. නංගිල දෙන්නයි මමයි තාත්තා වට කරගත්තා. තාත්තා වෙව්ලන හැටි මට දැණුනා. එයා හයියෙන් හයියෙන් හුස්ම ගත්තා. මගේ තාත්තා ඒ තරම් අසරණ වෙලා උන්නු දවසක් මම තවත් දැකල නැහැ. තාත්තා අත්දෙකින්ම අපිව තුරුල් කර ගත්තා.

අම්ම මල්ලි වඩාගෙන කාමරේ දොරකඩමයි උන්නෙ. සාලෙට ආව කීප දෙනෙක් තාත්තට කිව්වා දේශපාලන වැඩවලින් අයින් වෙන්න. අයින් වෙනවයි කියල බැනර් එකකුත් දාන්නලු. පත්‍රිකාවක් දුන්නා ගමේ හැමෝටම පෙන්නන්න. කියන විදියට වැඩ නොකළොත් කරදර වෙයි කියලත් කිව්වා.

කොයි තරම් කාලයක් ගෙවුණද මන්දා. ඒ මිනිස්සු ගෙයින් පිට වෙලා, වත්තෙනුත් පිටවෙලා ඈතින් ඈතට ගිය බව දැණුනෙ බල්ලන්ගෙ බිරුම් සද්දෙ ඈතටම ඇදිල ගියාට පස්සෙ.

සෑහෙන වෙලාවක් ගියාට පස්සෙ අන්ධකාරෙ මැද්දෙන් අහල පහළ අය එකා දෙන්නා ගෙදරට ආවා. අපේ කෑගෑමට එන්න ආව ඉස්සරහ ගෙදර මාමගෙ පිටේ තුවක්කු කටක ලකුණු තියල. අල්ලපු ගෙදර මාමගෙ මූණ ඉදිමෙන්න පාර කීපයක් වැදිලා... 

ඒ අස්සෙ ලොකු අම්මා ( තාත්තගෙ අම්ම ) ඒ මහ රෑ හැතැප්ම බාගයක් විතර මග ගෙවාගෙන තනියෙන්ම ගෙදරටම ඇවිත් තිබුණා. දෙයියනේ දරු කැක්කුම වෙනුවෙන් අම්ම කෙනෙකුට දරන්න බැරි අවදානම මොකක්ද? බල්ලන්ගෙ බිරුම් සද්දෙ එක්ක ලොකු අම්ම දැකල තිබුණා සේනාවක් එනවා පාර දිග. ඊට ටිකකට පස්සෙ වෙඩි හඬකුත් ඇහුණලු. ඉවසගෙන ඉන්න බැරිම තැන එයා පාරට බැහැල තිබුණා. ලොකු අම්මට මගදි හමුවුණාලු චේගුවේරා කොල්ලො අපේ ගෙදර ඇවිත් ආපහු යනවා. ඈ එහෙමයි හැඳින්නුවෙ. ළමයෙකුට අසනීපයි වාහනයක් හොයන්න යනවා කිව්වලු.

‘‘ඔය ගෑණි ඔය බොරු කියන්නෙ. ඒ ........... ගෙ අම්මා” සැරපරුෂ හඬක් නැගුණලු.

‘‘යන්න අරිනවා.. යන්න අරිනවා කිව්වලු” එක්කෙනෙක්..

‘‘පුතාට කරදරයක් නෑ... ගෙදර යනවා, ගෙදර යනවා” කිව්වලු තව කෙනෙක්.

ඒත් ලොකු අම්ම නැවතුණේ අපේ ගෙදරටම ඇවිත්..

............................

පහුවෙනිද උදේ ගම වටේම බයිසිකලෙන් ගිහින් අර පත්‍රිකාව හැමෝටම පෙන්නුවෙ මම. එදාම තාත්තා බැනර් එකක් දැම්මා පක්ෂයේ තනතුරුවලින්, සියලුම දේශපාලන වැඩවලින් අයින් වෙනව කියලත්.

ඉන්පස්සෙ ආයෙම ටික කාලයක් අපි උන්නෙ ගෙදරින් පිට. ඒ රාත්‍රී සැඟවීම් එපාම වෙලා, අම්ම තාත්තව ගෙදරින් පිට කරල අපි එක්ක ගෙදරම උන්නා. එහෙම උන්නු දවස් දෙකකම ආයෙමත් එයාල ආවා. එක දවසක් පත්‍රිකා වගයක් බෙදා ගෙන ගියා. අම්මයි අපියි විතරක් උන්නු නිසා දොර අරින්න ඕන නැහැ කියල ජනේලෙන්ම කොල ටික දීල ගියා.

අන්තිමටම ආව දවසෙ ටික දෙනයි උන්නෙ. දෙන්නෙක් ගේ ඇතුළටම ඇවිත් අම්ම එක්ක කතා කළා. එයින් එක්කෙනෙක් කැරළි කොණ්ඩයක් තිබුණු පැහැපත්, උස කරුණාවන්ත තරුණයෙක්. අහල ගම් හතකවත් කෙනෙක් නෙවෙයි. අම්ම උන්නෙ මල්ලි වඩාගෙන. මම අම්මගෙ ගවුමෙ එල්ලීගෙන.

‘‘අක්කෙ අයියට කියන්න ගෙදර නිදා ගන්න කියල. අපෙන් කරදරයක් වෙන්නෙ නෑ.” ඔහු කිව්වා.

‘‘දුව ඉගෙනගන්න දක්ෂයි කියල ආරංචියි. හොඳට ඉගෙනගන්න” කියල මගෙ ඔලුවත් අත ගෑවා. ඒ අතරෙ උඩු රැවුල අතින් පිරි මැද පිරිමැද එබිකම් කළ කෙනාව මම අඳුන ගත්තා. ඒ අපේ මාම මයි. ඉතින් මගේ හිතේ තිබුණු බය නැති වෙලා ගියා.

රෑ මැද්දෙ වීදි සංචාරය කළ කණ්ඩායම මහ දවාලෙම ඇවිත් තාත්තව මුණ ගැහිල කියල තිබුණා ‘‘රෑ තිස්සෙ දරුවන්ව දාලා ගෙදරින් පිට ඉන්න එපා.. ආයෙම කරදරයක් වෙන්නෙ නෑ” කියල.

එතන තිබුණෙ අප්‍රමාණ මනුස්සකමක්. ඇත්තටම තාත්තගෙ ජීවිතේ බේරුණේ මනුස්සකම නිසා. එදා එහෙම නොවෙන්න අපේ ජීවිතවලට මොන වගේ ඉරණමක් අත්වෙන්න තිබුණද කියල හිතන්නත් අමාරුයි. ඒත් ඒ මනුස්සයොම අවට ගම්වල ජීවිත උදුරගෙනත් තිබුණා..

කාලෙකට පස්සෙ අපිට ඒ මාමව නැති වුණා. එයා එක්ක උන්නු ගොඩක් දෙනෙකුට වුණ දෙයක් නැහැලු. අදටත් ඒ අවසන් රාත්‍රී හමුවීමෙ දැවටිලා තිබුණු අප්‍රමාණ මනුස්සකම මගෙ හිතේ ඇඳිල තියෙනවා.

.............................

මම මගේ මුල්ම ඡන්දෙ දෙන්න පෙරුම් පුරාගෙන හිටියෙ එයාලටමයි. ඒ පරම්පරාව ම කොල එළි දල්වද්දි, පොතපත නිසා හදවත සමාජවාදී වෙලා තිවුණයින් වෙන්න ඇති. ඡන්දෙ දානව තියා ඡන්ද කාඩ් එක ඇහැටවත් දකින්න ලැබුණෙ නෑ. ඒ ඉතිහාසගත වුණු වයඹ මහා ඡන්ද මංකොල්ලෙ.

තවත් කතාවක්...

ඉතින් සමාව ඉල්ලීම වැදගත් තමයි. ඒත් වඩා වැදගත් වෙන්නෙ අපි අතින් වුණ වැරදි මොනවද හොයල, බලල ඒව නිවැරදි කර ගන්න එක. සමාව වචනයට එහා ගිය ක්‍රියාදාමයක්, ප්‍රතිපදාවක් වෙන්න ඕන... 

එහෙම බලාපොරොත්තුවක් තියන්න පුළුවන් විමුක්ති ව්‍යාපාරයක් ලංකාවෙ බිහි වෙන එක හීනයක්ම ද කියල මට හිතෙනවා. 

 

Friday, June 20, 2014

ඉතින් මං යන්නයි හදන්නෙ..


 
මා වැනි කවින්දා
එනු මැන ළඟට කැන්දා
දුක් සැප කුමන්දා
අසනු නොහැකිව
හද සොවින්දා......

උඳුපියලිය මලක් වුව නොතැලෙන සේ මම හුදකලා කුටිය අසලට යමි. කවුළු පියන්පත් වැසූ ලෙසින්ම ය. හද දොරගුළු ලා වසා ලූයේත් එපරිද්දෙන්ම ද? අසන්නට වුවමනා වුව අසනු නොහැකිය.
මුනිවත බිඳිනු නොරිසි ය.

සුවෙන් ද නොදනිමි. හිත පෙළන එකම පැනය එය ය.

සුපසන් අක්ෂර අරගලයක නම් කල්පයක් වුව ඉවසා වදාරනු හැකි ය. නමුත් කියා නොකියා සඟවන ගිලන් බවින් පීඩා විඳියි නම්...... ?

සඳ සැඟවීගෙන
මල් මැලවීගෙන
කුරුල්ලන් ශෝකෙන
කොහේ කොතැනද ඔබ
අසනු මෙන....

ජීවිතය බදා වැළඳ ගනු රිසියෙන්, ප්‍රේමය අත් හැරි යුගයක අහම්බෙන් හමු වූ ස්නේහයේ කවිය ඔබ ය. ප්‍රේමය සේම ජීවිතය ද අත් හැරී තිබූ බව එතෙක් මම නොදැන සිටියෙමි.

වසා ලු කවුළුව පාමුළ මැලවුණි මල් පියලි ය. දින කිහිපයක සිට මා තබා ගිය මල්... දුටුවේ වත් නැතිද? එහි සුවඳවත් දැණුනේ නැතිද...?

කවුළු පියන්පතකට කොපුල තබා මම සිතින් මුමුණමි.

 
‘‘ඉදින් වෙහෙස ද? අත් දෙකට.... ලියලාම.... වෙහෙසද හිතට හිතලාම...
ඩිංගක් විවේක ගන්න.. එන්නකො එළියට.. ඔයා ආවොත් හැමදේම වෙනස් වේවි...

කෝපි දෙකක් හදාගෙන පඩිය උඩ... එක ළඟ වාඩි වෙලා කතා නැතිව බලා ඉම්මු.... ඈත අනන්තය දිහා... ඔයාටවත් මටවත් ළං වෙන්න බැරි.... ඈත අනන්තය දිහා...

කෝපි සුවඳයි, උණුහුමයි එකතු වුණාම හිතේ සංකාවන් ඈතට පාවෙලා යාවි......

මම පොරොන්දු වෙනවා වචනයක්වත් කතා කරන්නෙ නැහැ.. ඔයා හිතන්න... ඔයාට කැමති දෙයක් ගැන... මම හිතන්නම්....... මම හිතන්නම්...  ඔයා ගැන....”

පිච්ච මල් පොකුරක
ඉහුනු පිණි බිඳුවක
දැවටුණු ස්නේහයක
සිහිල අකැපව
සැඟව ගියවෙද......

‘‘අර බලන්න.. අර සමන්පිච්ච වැල... මල් පිරිලා.... ඉස්සරම දවසක මම ඒ මල් පැලය ඉන්දුවෙ මෙතන.... මේ කුටිය ඉස්සරහ.... ඔයාව මතක් කරගෙනමයි... කවදහරි දවසක ඔයා ඇවිත් මේ කාමරේ ඉද්දි..... ලියද්දි..........  රෑ පුරා සුවඳ දිදී පාළු මකන්න කප්පරක් මල් පිපේවා කියල හිත හිත......

......... ඒත් අර එක තැනකින් අතු ඉති වේලෙන්න අරගෙන... ළා දළු පාට මැකීගෙන... මට බයයි පිච්ච වැල මැරේවි ද?

ඉතින් මං යන්නයි හදන්නෙ.....  එකම එක වතාවක් මේ කවුළුව අරින්න... යන්න කළින් මට මූණ ඩිංගක් දැකගන්න...   
 
 

Tuesday, June 17, 2014

අපේ දරුවන්ගෙ හෙට දවස


‘‘ලොකු මම්මයි, පොඩි මම්මයි පුංචි කාලෙ මෙහෙ ඉඳන් දැන් ලොකු අම්මලගෙ ගේ තියෙන තැනටම පයින් යනවා..”
මං එහෙම කිව්වෙ චූටි දෝණිට ( චූටි මිමීට....) පුංචි කපටිකමකුත් හිතේ තියාගෙන තමයි එහෙම කිව්වෙ... මේ විසිඅට වෙනිදට දෝණිට අවුරුදු හතර සම්පූර්ණ වෙනවා.. දැන් වඩන් යන්න බැහැ බරයි. ටිකකින් අත් දෙක රිදෙන්න ගන්නවා.... මගේ ගෙදර ඉඳල එයාලගෙ ගෙදරට හැතැප්ම බාගයක් විතර තියෙනවා. ඒ දුර ටිකක් පයින් ඇවිදවන්න ඕනැවටයි මං එහෙම කිව්වෙ. 
හැබැයි ඒ කතාව බොරුවක් නෙවෙයි. මමයි, ලොකු නංගියි අවුරුදු හතර පිරෙන්නත් කළින් මේ දුර පයින් ඇවිදල තියෙනවා... එක වගේ මහපු ලස්සන ගවුම් පොඩි ඇඳගෙන. හැමෝම හිතුවෙ නිවුන්නු කියල. ඒත් අපි අතර අවුරුද්දක පරතරේ තිබුණා....
චූටි දෝණිගෙ චූටි අතින් අල්ලගෙන හෙමින් හෙමින් ගුරු පාර දිගේ ඇවිදගෙන යද්දි හිතට අමුතුම සතුටක් දැනෙනවා.. 
ක පොත් දාහක් කියෙව්වත් ලබන්න බැරි, මෙන්න මෙහෙමයි කියල විස්තර කරන්නත් බැරි නිස්කලංක සතුටක්...
චූටි නංගි සෙනසුරාදා උදේ වරුවක් වැඩ නිසා මම සෙනසුරාදා උදේ ගෙදර යන්නෙම දෝණිව බාර ගන්න බලාගෙන... සෙනසුරාදා උදේ වරුවට මමනෙ දෝණිගෙ අම්මා. මම එහෙමයි එයාට කියල දීල තියෙන්නෙ. ‘‘අම්ම නැති වෙලාවට ඔයාගෙ අම්ම තමයි මම්මා...”
‘‘අම්ම නැති වෙලාවට කවුද මගේ අම්මා...  වෙලාවකට දෝණිම ප්‍රශ්නෙ අහල දෝණිම උත්තර දෙනවා.. ‘‘අම්ම නැති වෙලාවට ඔයා තමයි මගේ අම්මා..”
ළ.ක්‍රි.වී.ය ත් එක්ක බැඳිල, ළමයි වෙනුවෙන් රට වටේ වැඩ කර කර ඇවිදපු මාව, හැම සති අන්තයකම ගෙදරට අද්දපු ආදරයේ රැහැන වුණේ  චූටි දුව... සංසාරෙ කවදා හරි දවසක එයා මගේම දරුවෙක් වෙලා ඉන්න ඇති.. ඒ තරම්ම පුදුමාකාර බැඳීමක් අපි අතර තියෙන්නෙ...
ඉතින් ලොකු මම්මයි, පොඩි මම්මයි චූටි කාලෙ ඇවිදගෙන ගිය පාරෙ චූටි දෝණි ඇවිදගෙන ආවෙ සතුටින්..
‘‘ගස්කොලන්, මල් දිහා බල බල, කුරුල්ලන්ගෙ සින්දු අහ අහා, හුළඟ වැදි වැදී පයින් ඇවිදින එක ගොඩක් හොඳයි..මං දෝණිට කිව්වා.
‘‘ඉතින් කුරුල්ලො සින්දු කියන්නෙ නෑනෙ.. එයා මට කියනවා. පණ්ඩිත ආච්චියෙක්.
‘‘ඔය ඇහෙන්නෙ කුරුල්ලන්ගෙ සින්දු තමයි... එයාල සින්දු කියන්නෙ එහෙමයි..මං එයාට කුරුලු කිචි බිචිය අහන්න ඉඩ දුන්නා...
අපි දෙන්න ඇවිදගෙන එනවා... ඔන්න කහපාට මල් පුරෝගත්තු කනේරු ගහක්.. ගෙඩිත් පිරිලා..
‘‘මම්මෙ අර ගෙඩි කඩල දෙන්න..දෝණි කිව්වා.
‘‘ඒ ගෙඩි කන්නෙ නෑ.. වස... කෑවොත් මැරෙනවා..මං දෝණිට කිව්වා.
‘‘මං දැන් ලොකුයිනෙ... ඒ හින්දා කන්නෙ නෑ.. බලනවා විතරයි.දෝණි මට කිව්වා.
ඉතින් මං ගෙඩියක් කඩල අතට දුන්නා... එයා කනේරු ගෙඩිය කරකව කරකව බැලුවා.. මං එයාට කනේරු මලක් කඩල දීලා ඒක උරල පැණි බොන හැටි කියල දුන්නා. අපිත් පුංචි කාලෙ කනේරු ගස් හොය හොය මල් කැඩුවනෙ ඒ පැණි බින්දුවට තියෙන පෙරේතකමට...
‘‘මී මැස්සො, සමනල්ලු ඇවිත් මේ පැණි බොනව.. අපි එයාලටත් මල් ඉතුරු කරන්න ඕන.. ඔක්කොම මල් කඩන්න හොඳ නැහැ...මං දෝණිට කිව්වා. එයා මල් දෙකකින් සෑහීමකට පත් වුණා.
‘‘චූටි බින්දුවයි නේ තියෙන්නෙ... රසා......යි..” දෝණි ඇස් නටව නටව කිව්වා... දඟ මල්ලක් වගේම කෝලම් මල්ලක්..
ඉතින් අපි දෙන්න හෙමිහිට ඇවිදගෙන ආවා.. අතරින් පතර මං එයාව වඩා ගත්තා.
ඒත් දෝණි වැඩියෙන්ම කැමති වුණේ පයින් ඇවිදගෙන යන්න....
..................................
අපි දරුවන්ට කොයි තරම් ආදරේද? අපේ දරුවන්ගෙ ජීවිත ලස්සන වෙනව දකින්න, අර්ථවත් වෙනව දකින්න, බියෙන් සැකෙන් තොර සාමකාමී සමාජයක් එයාලට අයිති වෙනව දකින්න අපි කොයි තරම් ආස කරනවද?
ඒත් මේ මොහොතෙ අපේ නොවන අපේ මව්බිමේ ඇවිලෙන ජාතිවාදී ගිනිදැල් අපේ හිත් දවාලන මහා ගින්නක් වේවිද කියන බය මට තියෙනවා.. ඉතිහාසයේ සිදු වූ වැරදි ආයෙම ආයෙම සිදුවෙන්නෙ අපේ අනුවණකම්, ආත්මාර්ථකාමීකම්, උඩඟුකම්, තණ්හාවන් නිසා නෙවිද?
අද මේ විනාශ වෙන්නෙ, විනාශ වෙලා යනතුරු අපි නිහඬවම බලා ඉන්නෙ අපේ දරුවන්ගෙ හෙට දවස...
මනුෂ්‍යත්වය වෙනුවෙන් පෙළ ගැහෙමු. සියලුම වාදභේදයන්ට එරෙහි වෙමු.



මට මුස්ලිම් යාළුවො ඉන්නෙ හරිම සීමිතව... මෑතක අඳුනා ගත් කිහිපදෙනෙක් විතරයි. ඊයෙ දවසෙ මම ඒ හැමෝටම කතා කළා. පණිවිඩ යැව්වා... මගේ සංවේගය බෙදා ගන්න අතරම අපි සාමකාමීව මේ ජාතිවාදී උන්මන්තකයින්ට එරෙහි වෙන්නෙ කොහොමද කතාබහ කළා. ඒ එක මිතුරියක් ලියා එවූ මේ සටහන ඇස්වලට කඳුළු ගෙනාවා.
‘‘මට බය මාත් එක්ක හිතවත්ව උන්නු යාළුවොත් වෙනස් වෙයිද කියල. ඒත් ඔයා මෙහෙම කියද්දි හිතට ලොකු හයියක් දැනෙනව තරූ. පින් ඔයාට..”

Tuesday, June 10, 2014

දැන් මා නොවෙද අම්මා ඔබේ....


 
තේවත්ත පල්ලියෙ
රබර් හේඩාව යට
පන්පැදුරෙ....
හිස තියන් මා උකුල මත
හොරෙන් පිසලූ කඳුළු කැට
නොදුටු සේ උනිමි
අම්මේ....

නොපෙන්වා සඟවාන
හිනැහෙන
අපමණක් කඳුළු උල්පත්ය
ම හද බැම්මේ....

අප මුවින් ගිලිහෙන
යැදුම් හඬ
අසා උන් සුළඟ වුව 
සාංකාවෙන් වගෙයි
අම්මේ...
සල සල ව සසැලෙන
හීන් කෙඳිරිල්ලක්ව
ඈතටම ඇදී යයි
පිම්මේ....

කෙසඟ කේඩෑරි සිරුර තුළ
අන්තිම දිරි පොදත්
එක්කරන්
නැගිටින්න වෙර ගන්න
අම්මේ...
 
අපමණක් දුක් දැරූ
මව්කමට
මාතෘ ස්නේහයෙන්
උර දෙනුව
පැතුම් කප්පරකි හද
දැන් මේ...
 

 
2014.05.07