පිටු

Sunday, March 27, 2016

වව්නියාවට සහ... ඉන් ඔබ්බට.. (02)



සේයා - ලාල් ලක්ෂ්මන්


‘‘එළවළු ටිකක් අරන් යමු.‘‘ ඒ යෝජනාව මන්දැයි වැටහෙන්නේ අපේ ගමනාන්තය වන වලෙයිපාඩු ගම්මානය සිහිවන විට ය. දෙව් මැදුර පිහිටා තිබෙන්නේ ඉතාම දුෂ්කර ගමන්මඟක කෙළවර ගම්මානයෙන් ද දුරස් වූ මහමුහුද අද්දර ය. ඒ පියසට එළවළු මල්ලක් කොතරම් වටින්නේද පහදා දීම අසීරු නැත. අප එළවළු, කෙසෙල් මිල දී ගන්නේ නාච්චිකුඩා පොදු වෙළඳපළිනි. 

‘‘ගමනෙ අමාරුම හරිය තමයි මේ’’ පල්ලවරායම්කට්ටුව හන්දියෙන් වමට හැරී ගුරු පාරට පිවිසෙන විට ඒ මඟ වැනුම ද ටෙරන්ස් පියතුමාගෙන් ම ය. පේන මානයේ වගුරු බිමකි. ඒ මැදින් විහිදෙන ගුරු පාර අඩියෙන් අඩියට වලගොඩැලි සහිත ය. වාහනයකට තබා පයින් වුව යාම අසීරු ය. දිළිඳු බව වෑහෙන වටපිටාවකි. අලුතින් ඉදි වූ නිවෙස් කිහිපයක වහළ මත වූයේ සුදු පැහැයෙන් ලියැවුණු "RED CROSS" නාමය ය. කඩපිලක් දකින්නට ලැබෙනුයේ කලාතුරකිනි. අබලන් මාර්ගය ද, දුහුවිල්ලෙන් වැසුණු පරිසරය ද, විඩාපත් මුහුණු ද ජීවිතය පිළිබඳ මවන සිත්තම එතරම් සැනසිලිදායක නැත.

දුහුවිල්ල අවට ලඳු කැලය වසාගෙන පවතින මුත් මඟ දිගට තටුසලන්නේ නම නොදන්නා රංචු රංචු සමනල්ලු ය. අප පිළිගැනීමට මග දෙපස රොක් වූවාක් බඳු ඒ සමනල් පෙරහැර සිරිපාදේ යනවා නම් විය නො හැකි ය. අහිංසක සමනල් ජීවිත පවා සොරාගත් කටුක බිමක වේදනාව හිසින් දරාගෙන උන් කොහේ යනවා විය හැකිද?

දෙවන නැවතුම

ඒ වේරවිල් ශුද්ධවු පවුලේ කන්‍යාරාමයයි. ගේට්ටුව අබියස සිට අප පිළිගත්තේ සොඳුරු දැරියන් තිදෙනෙකි. වත මත නොසිඳී දැල්වෙන සිනා පහන් වැටකි. දිදුළන දෑසෙහි කාන්තිය අමුත්තන් පිළිගැනුම අපමණ සතුටක් වූ වගට කදිම සාක්ෂ්‍ය ය. කොතරම් වැඩ කන්දක සිර වී සිටියාද යන්න නිහඬවම කියා පාමින් තරමක කිලිටි ලෝගුවකින් සැරසුණු වයස්ගත පැවිදි සොයුරියක් සිනාමුසුව අප වෙත ඒ. අප සමඟ කතා බහට එක් වන අනෙක් පැවිදි සොයුරිය තරුණ ය. ආගන්තුක ආගමන ඉතාම අල්ප බව ඒ අප්‍රමාණ සතුට කැටි වූ සුහද පිළිගැනීමෙන් ම පැහැදිලි ය.

එ ගම් පියස ඉතා දුෂ්කර, ගොවිතැන ජීවනෝපාය වූ පෙදෙසකි. ජනගහණය අඩු ය. එයිනුදු බහුතරය වැන්දඹු, මාතෘ මූලික පවුල් ය. ඉතින්, ජීවිතය අතිශය කටුක බව කිව යුතු ම නොවේ. 

අසුන් ගන්නට පවා පමා නොවී අපි සිටගත්වනම පිළිසඳරෙහි යෙදෙන්නෙමු. දැරියන් තිදෙන නොසිඳෙන සිනා උල්පතක්ව අප අතරම ගැවසෙති. ඒ අම්මා, තාත්තා අහිමි එකම පවුලක සහෝදරියන් බව පැවිදි සොයුරිය පැවසුවේ ඉංග්‍රීසි බසිනි. සියල්ල අහිමිව ගිය කලෙකත් ලෝකයම හිමි වී ඇතිවාක් මෙන් එතරම්ම සොඳුරු ලෙස හිනැහෙන්නේ කෙලෙසදැයි සිතාගැනීමත් අසීරු ය. දරාගැනීමේ ශක්තියද? අවිහිංසකකමද? නොතේරුම්කම ද


ගමනාන්තය

දූවිල්ලෙන් නැහැවුණු සූරිය ගස් යායක් මැදින් තවත් මිනිත්තු පහළොවක පමණ ගමනකි. සමනල් රංචු තවමත් ගමනේ ය. අප සේම ය. ගම්මානය නිම වන ලකුණු දක්වමින් ඈතින් ඈතට දිවෙන වගුරු බිම ය. වගුරු බිමට එපිටින් උස් බිමක  ඉදි වූ සුවිශාල දේවස්ථානයක් දිස් වේ. ඒ වලෙයිපාඩු සාන්ත ආනා දෙව් මැදුර ය. යුද්දය නිම වී වසර හතක් ඉක්ම ගිය ද තවමත් තාවකාලික පියස්සක සෙවණ ලබන ජනතාව හිඟ නැත. මෙතරම් විසල් දෙව් මැදුරක් දෙවියන් වෙනුවෙන්ද? මිනිසුන් වෙනුවෙන් ද? දෙවියන් පවා එය ඉවසනු ඇති ද? මසිත පැනයකි. 

ඒ ප්‍රාතිහාර්යය මුහුදු කූඩැල්ලන්ගෙනි. වලෙයිපාඩු දේවස්ථානයට අයත් නොගැඹුරු මුහුදු තීරුවක් වේ.  ඒ සමුදුරු ඉසව්ව මුහුදු කූඩැල්ලන් හෙවත් අට්ටයන්ට රාජධානියකි. එහි  ධීවර කටයුතු සාමාන්‍ය ජනතාවට තහනම් ය. අතිශය බැතිමත් කතෝලික ධීවර ප්‍රජාව ඒ තහනම ඇදහිල්ලක් සේ සුරකිති. යුද්ධය පැවති කාල සීමාවේ ධීවර කටයුතු අඩාලව පැවති බැවින් මුහුදු කූඩල්ලන් ගහණය කොතරම් වැඩී ගියේ ද යත් ඒ අස්වැන්න සුවිසල් දෙව් මැදුරක් තැනීම සඳහා කෝටි ගණනක මුදලක් උපයා දී තිබිණි. දිළිඳු පැලක සිට දෙව් මැදුරට පිවිස දණ ගහන සැදැහැවත් අහිංසක දෙමළ ජනතාව කිසි විටෙක ඒ පිළිබඳ මැසිවිල්ලක් නොනඟති. දෙව් මැදුර ඔවුනට අභය භුමියකි. අසපුවකි. ඒ ඔවුන්ගේ ශ්‍රද්ධාව විය හැකි ය. එය දේව විරෝධී වැඩකැයි තවමත් මගේ සිත නම් චෝදනාත්මක මැසිවිල්ලක ය.

සභාව දෙවියන් උදෙසා ද? මිනිසුන් උදෙසා ද? එසේත් නැත්නම් ධනය බලය උදෙසා පවතින තවත් ලෞකික රාජ්‍යයක් පමණ ද? කතෝලික සභාව සම්බන්ධයෙන් මේ පැනය උතුරටත්, දකුණටත් වෙනසක් නැති බව පැහැදිලි ය. ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන දැක්ම වූයේ පීඩිතයාගේ විමුක්තිය ය. නමුත් ඒ කල්වාරි ගමන වෙනුවට අද සභාව පාලුකරයේ යක්ෂයා මවා පෑ පරීක්ෂාවන්හි ගොදුරක් වී ඇත්දැයි සැක සිතෙන තරම් ය.  

දෙව් මැදුරට අභිනවයෙන් පැමිණ සිටින තරුණ පිය නම, නමින් වසන්ත ය. වසන්තයක පෙර ලකුණු ආවේගශීලී තාරුණ්‍යය සමඟ අත්වැල් බැඳ ඇත්තාක් මෙනි. ඉතාම කුඩා නිවහනක සෙවණෙහි වාසය කරමින් ම ඔහු අලුත් මුහුදු කූඩැල්ලන් අස්වැන්නෙන් කළ යුතු දෑ සිහිපත් කරයි. පෙර පාසලක්, දරුවන්ට ඉගැන්වීම සඳහා පන්ති කාමර  එකී සිහිනයෙහි පියාපත් සලයි. අපි එයට තවත් සිහින එක්කාසු කරන්නෙමු.  ‘‘පුස්තකාලයක්. ළමයින්ට ඇවිත් පොත් පත් කියවන්න, නිදහස් තැනක්..‘‘  

 අප වලෙයිපාඩු ගියේ හිස් අතින්ම නොවේ. දරුවන් වෙනුවෙන් රැගත් පොත් ගොන්නක්ද සමඟිනි. ඉපැරණි කුඩා දෙව්මැදුර පසෙක නටබුන්ව ගිය පාසල් ගොඩනැගිල්ලකි. 10, 11 වසරවල පමණක් දරු දැරියන් 50 ක් පමණ අපගේ වැඩසටහන සමඟ එක් වූහ. ගම්මානයේ සියලුම දරුවන් එක්ව ගත් කල කොතරම් පිරිසක් වනු ඇත්ද? ඒ දරුවන් වෙනුවෙන් ජීවිත පූජා කරන්නට මුහුදු කූඩැල්ලන් අකමැති නොවනු ඇත. 

දරුවන් සමඟ කළ කෙටි කතා බහ ඔවුන්ගේ දිළිඳු දුෂ්කර ජීවිත පැහැදිලි සිත්තමකට නඟන්නට තරම් වර්ණ, හැඩතල, හැඟීම් මතුකරලීය. ඔවුන් වැඩි පිරිසකගේ දිවි සරිවනුයේ මුහුදිනි. ධීවර රස්සාවෙනි. එසේ නොවන තැන කුලී කම් ය.  සෑම පවුලකම පහ, හය ඉක්මවා යන සාමාජික සංඛ්‍යාවකි. ජීවිතය ජය ගන්නට ඉගෙනුම කොතරම් වටනේද යන්න කීව ද එතරම් බරපතල පවුලක හිඳිමින්, දුෂ්කර මඟ ගෙවා දුර බැහැරින් ඇති පාසල් කරා යමින් ඉගෙනුම ලැබීම පහසු කාර්යයක් නොවන බව වටහා ගැනීම අසීරු නොවේ. අඩු වයසින් විවාහ වීම එකී ගම් පියසේ බහුලව සිදු වන බව අප හා පැවසුවේ වසන්ත පියතුමා ය. 

‘‘අනාගතේදි ඔයාල මොනවද කරන්න හිතන්නෙ..“ දෙමල බස හසුරුවන්නට දැන සිටි ටෙරන්ස් පියතුමාගෙන් දරුවන් වෙත යොමු වූ පැනයකි. 

‘‘මට මතක් වෙන්නෙ නෑ...‘‘ දැරියක් කීවේ කල්පනාබරව ය. තවත් සුළු මොහොතකට පසුව ‘‘ලොකු දුරක් යන්න තියෙනවා.‘‘ ඇය ම සිනාමුසුව පැවසුවාය.

දෙමල බස නොදැනීමේ වරදකාරී හැඟීමෙන් සුපුරුදු ලෙස මම මට ම දොස් නගා ගනිමි. ඉදින් සන්නිවේදනය සිනාවට, දන්නා දෙමළ වචන කිහිපයට, ඉංගිරිසියට සීමා විය. වසන්ත පියතුමා නම් සිංහල වචන කිහිපයක් ගැට ගසා ගැනීමේ හැකියාව පිළිබඳ පසුවූයේ මහත් ආඩම්බරයෙනි.

සේයා - ලාල් ලක්ෂ්මන්

දෙව් මැදුරට එපිටින් වන මුහුද නොගැඹුරු ය. සොඳුරු ය.  කිසිදු සැක සංකාවකින් තොරවම ඇඳුම් උනා තබා මුහුදට පැන්න කොලු කුරුට්ටන් දිය කෙළියට වන්නේ අප තුළ ද මහත් ආශා දල්වමිනි. කාලය ඉතා සීමිත වූ බැවින් ඉවසා වදාරන්නට සිදු වූයේ සයුරු දිය සැනහීමේ නොහිම් කැමැත්තට සාධාරණයක් ඉටුකිරීමේ අවකාශ නොවූ බැවිනි.

අප වෙනුවෙන් සරල, රසවත් දිවා භෝජනයක් සූදානම්ව තිබිණි. උතුරුකරයටම  විශේෂිත වූ මුහුදු ආහාරවලින්ම තැනූ සූපය ‘‘කූල්‘‘ මුලින්ම පිළිගැන්විණි. බත ට සහල් ගමෙන්ම ය. අප ගෙන ගිය එළවලු දෙකක්ද පිස තිබිණි. මාලු හොද්දක් මෙන් ම බැදුමක් ද විය.

‘‘මෙහෙ ජීවන වියදම අඩුයි. මාලු මුහුදෙන්. හාල් ගණන් අඩුයි. දර ටික නොමිලේ. මිනිස්සුන්ට ඕන ජීවත් වෙන්න නිදහස. මූලික පහසුකම් ටික. පාර හැදිලා ගමනාගමන ප්‍රශ්න විසඳුණා නම් ලොකු දෙයක්. ඔයාල ඕනම වෙලාවක එන්න. ඇවිත් නැවතිලා අපේ අය එක්ක කතා බහ කරන්න. ඔයාලගෙ මීසම්වල අයටත් කියන්න උතුරට එන්න කියල.. සමඟිය ගොඩනඟන්න එකතුවෙලා වැඩ කරන්නයි ඕන.“ 

මඟින් මඟට ම වසන්ත පියතුමා කළ ඇරයුම එය ය. 

‘‘අපි මෙහෙ දරුවන්ව එහෙ එක්කරගෙන යමු.‘‘ අපිදු යෝජනා කළෙමු.
මනුෂ්‍යත්වය නංවාලීම වෙනුවෙන් කළ යුතු, කළ හැකි වැඩ කප්පරක් තිබිය දී අප මේ කරමින් සිටින්නේ මොනවාදැයි සිතෙන සිතුම වළක්වා ගැනුම අසීරු ය. ආපසු ගමනේ සිත සැනසිල්ලක ද,  නොඉවසිල්ලක ද තැබූයේ ඒ සිතුම විසින් අවුලුවා ලූ හැඟුම් කන්දරාවකිනි. 

දැකුම්කළු වත මත කල්පනාකාරී සිනාවක් අතුරමින් පෙර කී දැරිය පිළිවදන් දුන් අයුරු මම සිහිපත් කරමි.

‘‘අනාගතේදි ඔයාල මොනවද කරන්න හිතන්නෙ..“

‘‘මට මතක් වෙන්නෙ නෑ................. ලොකු දුරක් යන්න තියෙනවා.‘‘
ඒ ලොකු ගමන යන්නට උතුරු දකුණු භේදයකින් තොරව අප සියල්ලන්ම දරුවන්ගේ ආදරය ද, රැකවරණය ද, ශක්තිය ද විය යුතු නොවේද?

5 comments:

  1. පල්ලියට අයිති මුහුදු තීරයක් කියන්නේ නීතියෙන් නෙමෙයි සම්ප්‍රදායෙන් වෙන්න ඇති නේද?

    සල්ලි නාස්තිකර අවශ්‍ය ප්‍රමාණයට වඩා ෂෝ ඕෆ් වැඩ මෙහෙ හැම ආගමේම තියනවනේද? අතීතයේ හැම සංස්කෘතියෙම මිනිස්සු කොයිතරම් දුප්පත් වුනත් රජවරු හා ජනතාව විසින් සිද්ධස්ථාන හා පූජකයන් සුඛෝපභෝගීව තිබ්බ. ලංකාව ආපස්සට යන්න හරි කැමතිනේද? විශේෂයෙන්ම ආගමික දේවලින්.

    ගරු සරු වැඩි රටක්- නාලක ගුනවර්ධන

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඇත්තටම ඒ සාම්ප්‍රදායිකව පල්ලිය වෙනුවෙන් වෙන් කළ කොටසක්.. නීතිමය අයිතියක් නෙවි...

      ලංකාවෙ ආගමික ආයතන තරම් සැබෑ ධර්මය අමතක කරන, අවතක්සේරු කරන තවත් තැන් නැහැ කියලයි මටත් හිතෙන්නෛ.

      Delete
  2. අද ලංකාවේ ගොඩක් ආගම් ඒවායේ මුලික හරයෙන් ඇත්වෙලා තියෙන්නේ.ධනය,බලය පස්සෙම එව්වාත් යන්න අරන්.

    ලොකු දුරක් යන්න තියෙන ඒ දරුවන්ට අපිත් අපිට හැකි අයුරින් ශක්තියක් වෙමු තරු අක්කේ ඒ දුර අර සමනල්ලු වගේ සැහැල්ලුවෙන් යන්න.

    ReplyDelete
  3. තරු, මේ පොස්ට් දෙකම කියෙව්වා. දැනෙන දේ බොහෝය. ලිවිය යුතු දේ බොහෝය. ඒත් කොතැනින් පටන් ගෙන මොනවා ලියන්න ද කියන ප්‍රශ්ණය කර තියාගෙන ආපහු යන්න වූ වාර කිහිපයකි.

    අර සභාව ගැන කී කතාව මහා පොදු සාධකයකි, හිතන හිත්වලට තවත් පවම පුරවන. තුත්තිරි පඳුරකින් දෙකකින් මොනවා කරන්න ද?

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...