පිටු

Sunday, June 23, 2013

කවි සිහිනයක්...


මං කවි පිස්‍සියෙක් කියල අමුතු‍වෙන් කියන්න ‍දෙයක් නැහැ‍නෙ.. ම‍ගේ ‍බ්‍ලොග් එක බලන හැ‍මෝම ඒ ගැන දන්නවා.. කවි ලියන්න ඒ තරං සමත්කමක් නැතත් කවි විඳින්න ‍බො‍හොම සමර්තයි... කවි නිසා ‍වෙලා ති‍යෙන අලකලංචිත් ‍බොහොමයි... ඒත් නැහැ‍‍නෙ තාමත් හැදිලා...

අද .. ඒ කියන්‍‍‍නෙ  ‍‍පො‍සොන් පො‍හොය දා ඉරිදාවක්නෙ.. මං උ‍දේ පූජාවට ගියා. සාමාන්‍යයෙන් පූජාවට ගියාම මං ඉන්නෙ මේ ‍ලෝ‍‍කෙ නෙ‍වෙයි. පල්ලි‍‍යෙ  වාඩි ‍වෙලා ඉන්න පැය හිතුම‍තේ හිත සැරිසරනවා. ඒක ‍හොද ‍දෙයක් ‍නෙ‍වෙයි කියල මගේ සාම්ප්‍රදායික ආගමික හැදියාව මට ‍දොස් පවරනවා.. ඒත් මා තුළ ඉන්න හිතුවක්කාර ‍‍‍දේව දියණිය නම් කියන්නෙ  ඒ ස්වර්ගීය සැලසුම් අනාවරණය වෙන දිව්‍යමය ‍‍මො‍හොතක් කියලයි...

අද මම දැක්ක ස්වර්ගීය සිහිනය නිකම්ම සිහිනයක් ‍නෙ‍වෙයි කවි සිහිනයක්.. ඇත්තටම නම් ‍මේ කවි සිහිනය ඕපපාතික සිහිනයකුත් ‍නෙ‍වෙයි. මෑත කාල‍යේ කවියත් එක්ක තිබුණු ‍පෙම් පටලැවිලිත් එක්ක උපන් සිහිනයක්. මිතුරු කවියෙකු‍ගේ කවි ‍පොතක ‍පෙරවද‍නෙහි වූ ‘‘කවි තරම් හුරුබුහුටි නොවන කතා කිහිපයක් ” කියවී‍මෙන් අළුත් වුණු සිහිනයක්....   

කවි‍යො ‍බො‍හොමයි.. කවි ‍පොත් එළිදැක්වීමුත් ‍බො‍හොමයි.  කවි වැහි වහිනවා මූණූ‍පො‍තේ. කවි‍යෙන් කරන හුදකලා සටන් මූණු‍පොත පුරාම... මං හීනයක් දකිනවා ‍මෙන්න ‍මෙ‍හෙම...

කවි‍යො හැ‍මෝම එකතු ‍වෙන දවසක්... කවිය ගැන, ජීවිතය ගැන, ‍ලෝකය ගැන කතා කරන දවසක්....

හුදකලා කවි සටන් එක් අරමුණුකට ‍ගොනු ‍වෙන දවසක්....
කවිය සෞන්දර්යාත්මක ආත්ම ප්‍රකාශනයක් ‍ව‍ගේම සමාජ වෙනසකට අත්වැලක් වෙන්න හැමෝම එකතු වෙන දවසක්....

ප්‍රබල සමාජ කාරණා පසුබිම් කර ගත් අතිශය සං‍වේදී සිදුවීම් කවි‍යෙන් ඔපමට්ටම් කරල හිත පත්ළෙම තැන්පත් කරන මහින්ද ප්‍රසාද්, රුවන් බන්දුජීව, සමිත බී අටුවන්දෑල, නදුන් යසිත..........

ළිං මැඩි කවි චින්තන‍යෙන් උදම් ‍වෙමින් ජාත්‍යන්තරයට ගල් ගහන, එලෙසින්ම ළිං පතුළත් ඉන් එපිටත් කවියෙන් විනිවිදින්නට අකුරු අමුණන  ඉසුරු ප්‍රසංග...

වෙඩි වැදී ලේ ගලන හිතකින්ම.....  කවියෙන් වෙඩි තියන මංජුල වෙඩිවර්ධන....

රසට, රතට, තිතට බූන්දියේ අකුරු අමුණන අපූරු කිවිඳිය මාලතී කල්පනා....

සැගවූ සුසුමින්... නිර්දය උපහාසයෙන්... විප්ලවීය උණුහුමින් මනුෂ්‍යත්වය විනිවිදින දෑසින් හිතේ ටැටූ කොටන්නට කල් යල් බලන ඉන්දික ගුණවර්ධන....

හිතුවක්කාර තාරුණ්‍යෙය් දඩබ්බර කවියා කසුන් මහේන්ද්‍ර....

ජීවිතයෙන් අංශු මාත්‍රයක් පත අට එකට සිදවා කවියක නිමහම් කරන රසිකා ගුණවර්ධන...

මුදු සුමුදු කවි පබඳින, කවි රැහැනින් හිත වෙලන සෞම්‍ය සදරුවන් ලියනගේ....

සොබාදහමත්, ජීවිතයත් ඒකාත්මික කරමින් කවි ඇසකින් ලොව දකින්නට මටසිලිටිව අකුරු අමුණන කපිල... විහග... ධනුෂ්කා... ලීරා.... 

මේ මූණුපොතේ නිතර ඇස ගැටෙන කවියන්.... මේ අයත් එක්ක කවි ලොවේ ප්‍රවීණයන්....

තව මට නම් අමතක වූ බොහෝ කවියන්...

මේ හැමෝම එක් වන දවසක්...

සිහිනයක් ම ද?


ඒ වෙනුවෙන් වේදිකාවක් තනන්නට හැකි නම් මට..... 

32 comments:

  1. ඇයි අනේ මට විතරක් කවි ලියන්ට බැරි? :(

    ReplyDelete
    Replies
    1. උත්සාහ කළොත් බැරි වෙන එකක් නැහැ.. මමත් ඉතින් තාම උත්සාහ කරනව විතරයිනේ කවි ලියන්න...

      Delete
    2. නිකං ලියලා බලන්නකෝ ඉතිං.. බෑ කිය කිය ඉන්නේ... ඔය බෑ කියන එකම කවියකින් ලියන්න ට්‍රයි එකක් දෙන්න...

      Delete
    3. ටිකක් ඉවසල ඉමු.. තව මාසෙකට පස්සෙ එයා ලස්සන කවි ලියයි...

      Delete
  2. tharuta වැදගත් වේවි එහෙනම් අපේ " කඳු " ලියන බ්ලොග් එක..අඩුම තරමේ සතියට කවි 80 විතර එක එක මාතෘකා යටතේ එයා ලියනවා...මගේ ජීවිතේට දැකලා නැහැ එහෙම එකක්...ඔයා ආස වේවි ඒවා බලන්න...මෙන්න ලින්ක් එක...

    දිගටම ලියන්න තරු...අපි එනවා බලන්න...මට නම් පල්ලියේ අද්දැකීම් නැහැ ..ඒ වගේ සිරිත් විරිත් ගැනත් ඉගෙන ගන්න ආසාවක් ඇති උනා ඔයා පල්ලිය ගැන ලියපු විදිහෙන්...මම දැකලා තියෙනවා ගොඩක් දුවලා දේව මෑණිවරුන්ගේ පිළිම ළඟටම ගිහින් එක එක හීන ලෝක වලට යන හැටි...

    සමහර අයට කොච්චර ලොකු උනත් ඒ අතීතෙන් මිදෙන්න බැහැ..මන් හිතන්නේ තරුත් ඉන්නේ ඒ ගොඩේ...

    ReplyDelete
    Replies
    1. සහන් මල්ලි,මම ටික කලකට පෙරදී නදී දරුවට තරුසී ගැන කියල කොමන්ට් එකක් දැම්ම ම නදී ළමය කිව්වෙ තරුසී කියන්නෙ කම්මැලිච්චියෙක් කියල.
      දැන් බැලුවම කම්මැලි කම නැතිව ලියන එක සතුටුයි.
      පොඩ්ඩක් වෙන රට වල කරක් ගහපු ඒවා ලිව්වොත් කවුරුත් ආසාවෙන් කියවයි.
      වෙනසකටත් එක්ක ලියල බලන්න.

      Delete
    2. \\\පොඩ්ඩක් වෙන රට වල කරක් ගහපු ඒවා ලිව්වොත් කවුරුත් ආසාවෙන් කියවයි.
      වෙනසකටත් එක්ක ලියල බලන්න.///

      මේ කොටස කාටද කිව්වේ ..? තරුටද , මටද කෙන්ජි අයියේ...?

      මේ ඒක නෙවේ ඔය ලියපු ලිපියක් එවන්නකො මගේ බ්ලොග් එකේ දාන්න..පළවෙනි එක විදිහට චයරූපකරණය වගේ දෙයක් ගැන ලියන්න..මට මේල් එකක් දාන්න ලියලා..මන් පල කරන්නම්..මොකද ඔයත් දැනුම් සාගරයක් තියෙන කෙනෙක්..සිංහල බ්ලොග් අවකාශෙට ඒ දැනුම එකතු කරන්න ඕනේ..

      Delete
    3. සහන්... කෝ දෙනවයි කිව්ව ලින්ක් එක නැහැනෙ...

      පල්ලිය ගැන අත්දැකීම් නම් ගොඩක් ලියනවා හරී මල්ලි.. හරීගෙ හීනලන්තයෙ.... මගේ ලියමන් ඇතුළෙත් ලියවෙයි.. හැබැයි මං පල්ලියෙ සුරුවම් අත ගගා දෙවියන්ට කන්නලව් කරන කෙනෙක් නම් නෙවෙයි... එක්තරා විදියකට හිතුවක්කාර දේව දියණියක්.... මං හිතන්නෙ දෙවියන් වුණත් කැමතියි ඒ හිතුවක්කාරකමට....

      Delete
    4. කෙන්ජි අයියා...නොලියවෙන්නෙ කම්මැලිකමටමත් නෙවෙයි... හිත නිස්කංලක නැති වුණාම... වැඩ වැඩි උණාම... මං ගොඩක් වෙලාවට සති අන්තවලත් වැඩ..වැඩ කියන්නෙ රාජකාරි නෙවෙයි සමාජ කාරි... එහෙමත් දවසක තමයි විවේකෙන් ඉන්නෙ....

      මම අවස්ථා දෙකකදි රට ගිහින් තියෙනවා... ඒ අත්දැකීම් ලියන්න ඕන තමයි.. වැඩේ වෙන්නෙ අළුතෙන් ලියන්න දේවල් මතු වෙද්දි අතීතය ලියන එක මග ඇරෙනවා... ඉන්නකො මං ඉක්මණින්ම ලියන්නම්...

      Delete
    5. දෙනවා දෙනවා කිව්වට දීලා නැහැ නේද කියලා දැනුයි දැක්කේ..මෙන්න ලින්ක් එක කඳු ලියන අරුම පුදුම කවි උල්පත

      දෙනවා දෙනවා කිව්වට දීලා නැහැ කියද්දී සුප්‍රසිද්ධ සිංදුවකුත් මතක් උනා මට .. නෙළා ගනිමි යැයි කප්රුක පිදුවාට , ඉණේ රෙද්දමයි හිටියේ හරාහාට ...

      Delete
    6. ස්තුතියි සහන් ... මේ අමාලි මුණසිංහ කිවිදියගෙ නේද? එයත් මුහුණුපොතේ ‘‘වළාකුළු අතර හිද‘‘ කවි ලියන කෙනෙක්නේ.... ආයෙමත් ස්තුතියි බ්ලොග් එකට පාර පෙන්නුවාට...

      Delete
  3. තරු.. ලංකාවෙ පත්තර , සඟරා, වාර ප්‍රකාශන සහ අන්තර් ජාලයේ කවි ලියන පිරිස බැලුවාම මට පුදුම හිතෙනවා. ඇයි ලංකාව වගේ රටක කවියට තැනක් නැත්තේ කියලා. හොදම නිදසුනක් ලෙස රත්න ශ්‍රී, නන්දන විරසිංහ, එරික්, ආරියවංශ රණවිර, සහ වෙඩිවර්ධනගේ කවිපොතක පිටපත් 250 ක් විකුණගන්න තියෙන අමාරුව පොත් ප්‍රකාශකයෝ දන්නවා. ඒත් කවි ලියනවා. ඇත්තටම මේ කවිපොත් වත් අඩුම තරමින් කියවන්න මේ කවි ලියන අයවත් පෙළබෙන්නේ නැත්තේ ඇයි කියා අහන්න හිතෙනවා.

    ඒ අතින් මම දන්න තරමින් ඔබ නිකුත් වන හැම කවි පොතක්ම කියවන කෙනෙක්.එය නම් අගය කළ යුතුමයි.

    මිට කලකට ඉහත දි නව කවි පරපුර කියලා කවින්ගේ හමුවක් තිබුණා අද කවි ක්සේත්‍රයේ ප්‍රවීනයන් බොහෝ දෙනෙක් අඳුනගත්තේ ඒ වැඩ සටහනකින් ආයෙමත් එවැනි හමුවක් තිබුනොත් ඇත්තෙන්ම හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් අයියේ... අපි ආයෙමත් එවැනි හමුවක් සංවිධානය කරමුකෝ...

      අපි කට්ටියම එකතු උණොත් බැරි වෙන්නෙ නෑ.... මගෙ හීනයත් අන්න එවැනි හමුවක් මුලින්ම....

      Delete
    2. කවි ලියන අයත් අනුනාගේ කවි කියවන්නේ ඉතා කලාතුරකින්. ඉතිං කවි පොත් විකිනේවිද?

      මං නං බොහෝ දවස්වල කවි පිටුවල කියවන්නේ නම් ටික විතරයි. දන්න නමක් තිබුණොත් කවිය කියෝනවා.

      බුන්දි ඔන් ලයින් එන කවි බලන්න. එහෙමත් එකකට තමයි ප්‍රතිචාරයක් ලැබෙන්නේ.

      Delete
    3. මම කවි ලියන්නෙ අඩුවෙන්... නමුත් ගොඩක් කියවනවා.. කවි පොත් ගන්නත් මං කැමතියි.. හැබැයි පෙර පිනක්ද මන්ද මට ගොඩක් පොත් ලැබෙනවා නොමිලයේම කියවන්න.. වටේම ඉන්නෙ පොතපතට ආදරේ කරන පිරිසක් නිසා...

      බූන්දියෙ පළවෙන කවි එකක් නෑර මම කියවනවා... හැබැයි කමෙන්ට් කරනවනම් අඩුයි තමයි... මට පුංචි දුකක් තියෙනවා අයියේ.. මේ හැමදෙයක්ම මට අහුවෙන්නෙ දැන් වීම ගැන... ඒත් පමා වැඩියි කියල හිතන්න මං කැමති නැහැ...

      පුංචි කාලෙ ඉදන් පොත් කියෙව්ව උණත්, ලිව්ව උණත් සාහිත්‍යය ගැන මේ තරං ගැඹුරට හිතන්න ගත්තෙ.. හොයන්න ගත්තෙ මෑතකදි....


      Delete
  4. සමහර කවි කාරයොනම් අහලත් නෑ.. ඒත් සහන් කිව්වා වගේ බ්ලොග් ලියන අය අතරේ ඉන්න.. කඳු ලියන කෙනාටත්.. කංචනා අම්ලානිටත්, හිතුවක්කාරයාටත් මම නම් බොහොම මනාපයි... ඒ වගේම මාරයටත්, කතාටත් කවි ලිවීමේ හැකියාව උපරිමෙන්ම තියෙනවා...

    ReplyDelete
    Replies
    1. මම ලියල තියෙන බොහොම දෙනෙක් මූණුපොතත් එක්ක කවියෙන් ගණුදෙනු කරන අය... ඒ වගේම මං ආදරය කරන කවි කිවිදියන්.. තව මට මග හැරුණු අයත් බොහොම ඇති අයියෙ...

      ප්‍රවීණ ආධුනික හැමෝම එකතු වෙලා කවිය ගැනත්, අද දවසේ කවියෙන් කළ හැකි මෙහෙවර ගැනත් කතිකාවක් ඇති කරනවනම් හොදයි කියල මට හිතෙනවා...

      Delete
    2. ප්‍රවීනයෝ රෙදි නැතුව කඩේ යනවා.. වැඩි පිරිස ආලෙන් අන්ධ වෙලා.. පවතින මජර ක්‍රමය ගැන කී දෙනාද කවි කියවන්නේ.. මමත් කවියක් ලිව්වම ඒක බලන පිරිස බොහොම අඩුයි.. ඒත් කීප දෙනෙක් හෝ කවියට ආදරය කරන පිරිස් බවට පත් කල සුළු ආඩම්බරයක් මට තියෙනවා... සමහර උන් කවි ලියන්නත් පටන් ගත්තා...

      Delete
    3. ඉසුරුගෙ ''නෙත්සර සදෙස'' කවි පොතේ මේ ගැන හොද විග්‍රහයක් තියෙනවා... ඔය කඩේ යාම කොයි කාලෙත් අඩු වැඩි විදියට තිබිල තියෙනවා.. මේ කාලෙ බොහොම ප්‍රසිද්ධියෙ කිසිම ලැජ්ජා බයක් නැතිව ආඩම්බරෙන් කඩේ යන කලාකරුවො වැඩි වෙලා... ඒක තමයි මහාම ඛේදවාචකය.....

      මාතලන් අයි‍යගෙ කවි කියවන්න ඕන වෙලාවක... විවේකීව...

      මුණුපොතෙන් එහාට කවිය යන්න ඕන මිනිස්සු අතරට... ඉස්සර කාලෙ කවි කොල මිනිස්සු අතරට ගියා වගේ... ‍

      Delete
  5. මමත් කවි වලට බොහොම කැමති කෙනෙක් තමයි... පද ටිකක් යාන්තමට ගලපගන්න බැරිකමකුත් නෑ.

    ලංකාවට ගිය වෙලාවක පොත් සාප්පුවකින් රත්න ශ්‍රී ගෙ කවි පොත් කීපයක් හොයන්න ගියාම, එතන වැඩ කරන කවුරුවත් රත්න ශ්‍රී ගැන දන්නෙ නෑ. මම ම හොයලා බලනවා කියලා ඇතුලට ගියත් ඒ දැනුණු කම්පනය නිසා මම පොත් ගන්නෙම නැතුව හැරිලා ආවා.

    කවි පොත් ගැන මිනිස්සු දැනුවත් කිරීමත් අත්‍යාවශ්‍ය දෙයක්. විදේශයක ඉන්න අපිට අලුතින් පිටවුණු කවි පොතක් ගැන දැන ගන්න ලැබෙන්නේ අහම්බෙන්. එහෙම දැනගන්න ලැබෙන පොත් අන්තර්ජාලයෙන් හරි මිත්‍රයන්ගෙ මාර්ගයෙන් හරි ලබාගන්නවා. කවි පොත් ගැන බ්ලොග් එකේ ලියන එක නම් තරූට කරන්න පුළුවන්නේ. ඊට එහා ගිය දෙයකට ප්‍රායෝගිකව සම්බන්ධවෙන්න තරමක් අසීරුයි... නමුත් යමක් සංවිධානය වෙනවා නම් උදව් කරන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. කතාවට එහා ගිය ‍දෙයක් කරන්න මමත් කැමතියි තිසර... බලමු. මං කීප ‍දෙ‍නෙක් එක්ක කතා කරල කවියන්‍ගො හමුවක් ලෑස්ති කරන්න බලන්නම්...

      මම කියවන ‍පොත් ගැන නම් මම බ්‍ලොග් එ‍කේ සටහනක් තියන්නම්... ඒක මමත් ආසා‍වෙන් කරන ‍දෙයක්... මට හි‍තෙනවා ඒ‍කෙන් අනිත් අයටත් ප්‍රයෝජනයක් ති‍යෙනවා කියල....

      Delete
    2. මෙන්න සාමාන්‍යයෙන් කවිම විතරක් තියන බ්ලොග් කීපයක්. විටින් විට කවි ලියන බ්ලොග්කරුවෝ නම් ගොඩක් ඉන්නවා.

      අනිල් හේරත් ලියන වසන්තයේ අග
      මලිති ලියන සහස් පියවර
      හේමලයා ලියන මංමුලාවූ සිතිවිලි
      ප්‍රියන්ත ෆොන්සේකා ලියන කවි සෙවණැල්ල
      ළහිරු අකුරටියගේ ලියන අකූ
      චමිල ලියන වවුල් තිප්පොලේ සිට
      ලිෂාන් පුවක් ඕවිට ලියන ලිෂාන්ගේ බ්ලොග් රෝල
      රසි ලියන සින්ඩරෙල්ලාගේ සපත්තුව
      මාතලන් ලියන පින්තූරු
      රසික කාරියවසම් ලියන විකසිත
      සෙනරත් බණ්ඩාර ලියන සිංහල පද්‍ය රටා

      Delete
    3. තිසර මට වඩා බ්ලොග් කියවන බව පැහැදිලියි මේ සටහනෙන්ම... ස්තුතියි.. මං මේ බ්ලොග් පැත්තෙ යන්නම් ඉඩක් ලද විගසම...

      Delete
    4. තිසර - කවි පොත් ගන්න යන්න ගොඩගේ එකට. එක සෙක්ෂන් එකක්ම තියෙනවා.

      Delete
    5. මං නං කවි විතරක් ලියන එක අතහැරියා. දැන් ලියන්නේ කයි-කතන්දර.

      මෙන්න කයි කතන්දරවල රහස.
      http://kathandara.blogspot.com/2013/04/sugar-coating-poetry.html

      !

      Delete
    6. ඒකත් නියම උත්සාහයක්.... මමත් ලියල ඇති කවි කතා කිහිපයක්..ඇත්තම කතාව නම් හැම කවියක් පිටිපස්සෙම කතාවක් තියෙනවා... ඒ වගේම හැම කවියක් එක්කම කතාවක් උපදින්නත් පුළුවන්...

      මේ කාලයත් එක්ක බලද්දි මට හිතෙනවා නුවර යුගයේ වෙස්සන්තර ජාතක කාව්‍යය, යශෝධරාව, තුන්සරණෙ ලියවුණා වගේ සරලව මිනිස්සු අතරට යන කවි කලාවකුත් බිහි වෙන්න ඕන කියල... ඉතාම සරල අන්තිම නූගතාට උණත් තේරෙන කියවන්න ආස හිතෙන, කියෙව්වම හිතේ හිටින කවි කලාවක්...

      සම්භාව්‍ය, සෞන්දර්යාත්මක කවිය එපා කියනවා නෙවෙයි...

      Delete
  6. කවියට තැනක් නෑ කියලා මට නම් හිතෙන්නෙ නෑ. මොනවා කිව්වත් කවි කියවන, රස විඳින පිරිසක් තාමත් මේ රටේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත දිලිනි... විශාල පිරිසක් ඉන්නවා... සාමාන්‍ය මිනිස්සු අතරට මීට වඩා කවිය යන්න ඕන...

      Delete
  7. මට සෑහෙන කාලෙකින් කවියක් ලියන්න බැරි උනා.. මට මේක කියවද්දී මතක් උනේ අන්න ඒක..

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමම තමා ඉතින් :) අපි ඉතින් යලට මහට නේ ලියන්නේ..

      රසික ගේ විකසිත බ්ලොග් එක තනිකර කවි තියන ඒවායින් මම කැමතිම එකක්..

      Delete
    2. දිනේෂ් මල්ලිත් ලස්සනට කවි ලියනවා.. මම දැකල තියෙනවා... මං හිතන්නෙ ඉක්මණින්ම කවියක් ‘‘වර්ණ‘‘ පිටු අතරට එක් වෙයි...

      සයුරිගෙ කවියක් දැක්ක බව මතක නැහැ... ඒ පැත්තෙ ඇවිත් බලන්න ඕන...

      Delete
  8. ඒ සුබ සිහිනය පලලන්න කියලා පතනවා.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...