Wednesday, May 29, 2013

ඔහු ඇවිදින් ( බි‍දෙන නොබිදෙන ... බිඳින නොබිඳින තහංචි )



තුන් වෙනි දවස

එලාමය කන්කෙඳිරි ගාන හඬ දරා ගන්න බැරි තැනමයි මං නැගිට්ටෙ. යාන්ත්‍රිකව කාලසට‍හනේ රාජකාරි සම්පූර්ණ කළත් හිත කිව්වෙ ගෙදර නවතින්නමයි. ඒත් දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්නෙ කොහොමද? ලෑස්ති වෙලා, අත්බෑගයයි, පොත් ටිකයි අරගෙන පුංචි ලියමනකුත් ලියාගෙනමයි මං ඉස්තෝප්පු කාමරේට එබුණෙ. නිදි නොනිදි මුහුණෙ විඩාපත් බවක් දැවටිලා. ''පව්'' හිත කිව්වා. මං අතින් පව් කියවෙන්නෙ අනුකම්පාවට විතරක්ම නෙවෙයි. කරුණාවට... ළෙංගතුකමට.. ආදරයටත් පව් කියල කියවෙනවා. ඒත් ඒ වචනෙ එයාගෙ හැීම් වර්ගීකරණයට අහුවෙන්නෙ අනුකම්පාව විදියට. දවසක් ඒ ගැන වාද උණ හැටි මතක් වෙලා ‍කම්මුල් සැළුණා හිනාවකින්.

''ඔයා පව් ඇත්තටම පව්... මට දුකයි..'' මං හිතින් කිව්වා..

හෙමිහිට ලියුම තියල එන්නයි හැදුවෙ.. ඒත් හුළග දාංගලේට සාරි පොට අරන් ගිහින් අතටම අල්ලල දීල. මං ඒ බව දැන ගත්තෙත් ආපහු එන්න හැරෙද්දි සාරි පොට ඇදිල ගිහින් මං යහනේම පසෙකින් ඉන්දවෙද්දි.

'' අද ඉන්න...'' සාරි පොට අරන් සුව බලල පෙරව ගන්නෙ පුංචි ළමයෙක් වගේ.

'' කොහොමද ඉන්නෙ ? ළමයි පව්... බලන් ඉන්නවනේ.. හෙට නිවාඩුවක් දාලා එන්නම්...'' ඒ ළමයි ඔක්කොටම වඩා මට මේ ළමයා ගැන පව් කියල හිතෙමින් තිබුණෙ.

'' එතකොට........ හෙට ළමයි පව් නැද්ද? බලන් ඉන්නෙ නැද්ද? '' ඒ නං සරදම් හිනාවක්.  විහිළු කරන්න ගියාමත් කෙළවරක් නැහැ. වාද කරන්න ගියාමත් කෙළවරක් නැහැ.. පරාජය නං මට ම තමයි.  

'' නිවාඩු දැම්මම දන්නවනේ.. බලන් ඉන්නෙ නැහැ.. මං ගිහින් එන්නං....''  මං නැගිටිද්දි සාරි ‍පොටත් අකමැත්තෙන් මං පස්සෙ වැටුණා. හිත ආපස්සටම ඇදෙද්දි මං පසු නොබලාම ඇවිදගෙන ගියා. ඇස්වල උණුහුමට කුළු කැට ‍තෙරපුණා.

දවස අලසයි. සුසුමින්ම පිරුණා. හිත මං ළග තිබුණෙම නැහැ. '' මිස් ට අද සනීප නැද්ද? මූණ කළු වෙලා.. '' දැරිවියක් ඇවිත් කිව්වම මං හිනා වෙලා හිස අත ගෑවා. දුවම් දීමත් දුවම් විඳීම තරම්ම දුකක්ද?  එක් විටම දුවම් දෙන්නාම දුවම් විින්නා වෙන්නෙ කොහොමද?

නොහිතු විදියට හවස අමතර පන්තියක් බාර ගන්න උණේ. බැහැයි කියන්න හිත නැමෙන්නෙ නැති කම ගැන අද නං දැණුනෙ පසුතැවීමක්. ඒ බව කියන්න ඇමතුමක් ගනිද්දි  කවදාවත් නැති විදියට හිත ගැහුණෙ.. අතැගිලි වෙව්ලුවෙ. එක්සැණින්ම දුරකථනය සම්බන්ධ උණා.. මොහොතක නිහතාවයක්. උණුසුම් හදවතක ‍නොඉවසුම් සුසුම් දහරක් සුළං රැල්ලක් වෙලා සවන් පෙතිවල වැදුණා.....

'' මං අද එන්න ටිකක් පමා වෙනවා.. ඔයා කෑම කන්න.. බඩගින්නෙ ඉන්න එපා?..'' වරදකාරී හැගීමක් මට දැණුනෙ.

'' හ්ම්...'' දිගු හුස්මක්.. කල්පයක් තරං දැණුන නිමේෂයක නිසලතාවයක්.. අනතුරුව දුරකථනය විසන්ධි වන හ..

පන්තිය නිම වෙලා කවදාවත් නැති පුදුමාකාර හදිසියකින් මං ගෙදර දුවගෙන ආවෙ.. තුන්කාසෙන් දාඩිය හලාගෙන. 

තවදුරටත් දුරස්ථීකරණය වූ බ්‍රෙෂ්ට්ගෙ නාට්‍යයක ජවනිකාවක් වගේ ගලා යන්න ඉඩ දිය යුතුයි ද ජීවිතයට. මුවින් නොකියන එක වචනයක් වෙනුවෙන්  දෑසින් ගලා හැලෙන අසංඛ්‍ය වූ  වචන පිරුණු කතන්දරයක් නොතකා හැරිය යුතු ද? අප්‍රමාණ බැතියකින් සෙනෙහසකින් පරාජය පිළිගන්නද මම.. එවන් සිතුවිලි දැහැනක කෙළවර මං උන්නෙ ලියන කුටියේ දොරකඩ...

පොතකට සමවැදිල උන්නත් මගේ පා ගැටෙන හ නොඇසී තියෙන්න විදියක් නම් නැහැ... සෙරෙප්පුවලින් නිදහස් වෙලා සීරුමාරුවට අඩි තියල පිටිපස්සෙන් ගිය මං අත් දෙකින් ඇස් දෙක වහ ගත්තා. පුංචි කාලෙ කරන සෙල්ලමක්.. අත් දෙක අත ගාල බලල කවුද කියන්න ඕන.. හරියටම කිව්වෙ නැත්නම් ‘‘රැවටිච්චී පොල්කිච්චී - රෑන ගලේ හැංගිච්චී  කියනවා.. ඒ ළමා වියේ සෙල්ලං ගතියයි මගෙ හිතේ තිබුණෙ...

ඒත් ?

‘‘පිස්සුද ? වැඩක් බව පේන්නෙ නැද්ද?

මගෙ අත් දෙක විසි කරල කෑ ගහපු සද්දෙටත් වඩා මං තිගැස්සුණේ ඇස්වල නපුරු බැල්මට. ඇස් කොහොමද වෙස් පෙරළන්නෙ මේ තරං... හිනාවෙන ඇස්... කතා කරන ඇස්... ළෙංගතුකම ගලා හැලෙන ඇස්.. මේ විදියට ගිනි ගන්නෙ කොහොමද?

මං නතර උණේ කාමරේ.. කුළු හිර කර ගත්තෙ ළිට යනකල්.. කාටවත් පේන්න අන සිරිතක් පුංචි කාලෙවත් මට තිබුණෙ නැහැ. කොයි තරම් වෙලා කුළු ගැලුවද.... ඒ තරම්ම වෙලා මං නෑවා.. රතු උණු ඇස් එක්ක ගෙට යන්න බැරි නිසා කුස්සියෙ පිටිපස්සෙ පඩිය උඩ වාඩි උණා.. දීප්තිමත් රතු ඔටුන්නක් දා ගත්ත කොට්ටෝරුවෙක් පොල් ගහකට කොටමින් උන්නා.. කොට්ටෝරුවා ඇයි මේ තරං ආඩම්බර.. රතු ලස්සන ඇුම හින්දද?

හතරවටින් අුරත් වැටීගෙන... ඒත් නැගිටල යන්න හිතක් තිබුණෙ නැහැ. ජීවිතේ හැමදාමත් සතුටත් එක්ක මහා දුකක් එන්නෙ ඇයි? පුංචි බලාපොරොත්තුවක් උණත් කුලක් වෙලා ගිලිහිලා යන්නෙ ඇයි? මං හිතමින් උන්නා.

හිසෙත් යංතමට වැදීගෙන උකුලට වැටුණු කොල ගුලියක් නිසා මං ගැස්සුණා. හැරිල බලන්න ඕන උණේ නැහැ දෙපා මං ළගම නතර වෙලා. මං හෙමිහිට උණ්ඩි වෙලා තිබුණ කොල ගුලිය දිග හැරියා..

තිගැස්සෙන ඇස්.... බර ද කොතරම් හිතට
දඩබ්බර වචන ... බර ද එතරම් හිතට...

කවි සිිත්තක්.. මං හිස එසෙව්වෙ නැහැ. කවියේ ඇද අකුරු පිරිමදිමින් උන්නා.. රතු ඇස් පෙන්නන්නවත්, කුළු හලල බොළ හිතේ තරම මේන් කියන්නවත් මට ඕන උණේ නැහැ. මුනිවත බිුණෙ ඔහුගෙන්මයි.

‘‘ මට රුපියල් විස්සක් විතර දෙන්න.. ඒ ඇයි කියන පුදුමයෙන් මං හිස එසෙව්වෙ.

‘‘කඩේට ගිහිල්ලවත් තේ එකක් බීල එන්න... බරපතළ හඬකින් එහෙම කියද්දි මගේ හිනාව පිට පැන්නෙ නොදැනීම... මං හෙමිහිට නැගිටල ගෑස් ලිප පත්තු කරල වතුර එකක් රත් වෙන්න තිබ්බා..

‘‘ඇඬුව නේද?” වේදනාත්මක හඬක් මා අසලින්ම...

‘‘කඳුළු හරිම වටිනවා... ඇඬුවට කමක් නෑ අර්ථයක් ඇති දේකට.. මා වෙනුවෙන් නිකරුණේ කඳුළු නාස්ති කර ගන්න එපා.... ” ඒ කතාව නිම වෙද්දි ආයෙම මගේ ඇස්වල කඳුළු... විණාඩි කිහිපයකට පස්සෙ ආපහු හැරෙද්දි කුස්සියේ මං විතරයි.

පළමු දවසෙ වගේම දෙන්නත් එක්ක රෑ කෑම කෑවෙ ඉස්තෝප්පුවෙ බිම වාඩි වෙලා.. හෙළු කඳුළු පරද්දන්න වගේ හිනා වැහි වස්වන රස කතා සාගරයක් එක්ක. හැමදාම ඔය විදියටම හිනා වෙලා ඉන්න මං හිතින් කිව්වා.

මං කුස්සියත් අස් කරල දොරවල් වහල එද්දිත් ඔහු තාම ඉස්තෝප්පුවේ බිම දිගා වෙලා.. අත් දෙක නවලා හිස යටින් තියාගෙන කල්පනා සාගරයක.

‘‘ඇයි අද ලියන්නෙ නෑ ?” මමත් ඒ ළගින්ම වාඩි වුණා.

‘‘අද දවසටම එක වාක්‍යයි..” කට කොණකට නැගුණෙ ලැජ්ජාශීලී හිනාවක්.

‘‘ ඒ මොකෝ ?”

‘‘ ලියවුන්නෑ... හිත හරි නැති උණාම ලියවෙන්නෑ..” 

ඔහු කිව්වෙ ඈතක බලාගෙන. මමත් ඒ ඇස් පාර දිගේම බැල්ම ගෙන ගියා. පෝය හඳ තාම පිරිපුන්. ඒත් අන්ධකාර වළාවකින් හඳ මුවා වෙමින් යනවා... හල්මිල්ල ගහ පිරෙන්න පුංචි කණාමැදිරි එළි... තොරණක් වගේ... හඳ එළිය හැංගුණාමයි කණාමැදිරි එළි තරු එළි වගේ බැබළෙන්නෙ. ඒ ඇස් නැවතිලා තියෙන්නෙ කණාමැදිරි එළි ළග...

‘‘ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයලු..” ඒ කතන්දරේ හිතට එබුණෙ අකුණු සැරක් වගේ.

මං හෙමිහිට පපුව උඩින් නිකට තියල ඇස්වලට එබුණා.

‘‘ ඔන්න කණාමැදිරි නාඩගමක් ඇස්වල ”

ඇස් දිලිසෙන හැටියට එහෙම කියන්න හිතුණත් මං කිව්වෙ නැහැ..

‘‘මං කණාමැදිරි එළියක්වත්, ගිනිපෙනෙල්ලක්වත් නෙවෙයි...”

ඒත් සිතුවිල්ලක් විතරයි... වචන උණේ නැහැ.

‘‘ ඔන්න ඇස්වලින් තහනම් වචනෙ දෝරෙ ගලනවා...”

කියන්න හිතුවත්... මං හිත හිර කර ගත්තා. 

තවදුරටත් වචනවල අර්ථයක් තියෙනවද? හුළගට... හඳ එළියට.. කණාමැදිරියන්ට... අන්ධකාරෙට පවා.... වචන නැති උණත් කොයි තරං දේ කියනවද? ඒව පපුව අස්සටම දැනෙන්නෙ නැතුවද?

නෙත් ධ්‍යානයේ ගැඹුර දරා ගන්න බැරිකමට මං ඇස් පියාගෙන පපුව මතින් හිස තියා ගත්තා. පිණි තැවරුණු හුළගට තෙත් කැවිල තිබුණ කම්මුල උණුහුම් වෙන්න ගත්තා. තහංචි නොතකන උණුසුම් හදවතක ගැස්ම දැනෙන්න ගත්තා. දීර්ඝ සුසුමක් හිස් මුදුනත දැවටිලා විසිරිලා ගියා. ඒ සුසුමේ ලියවුණු දිග කතාන්දරය මං මයේ හිතටම පහදවා දෙමින් ඉන්න අතර නොදැනීම මං උණුසුම් දෑතක වෙලිල පැටලිලා හිර වෙලා හිටියා....

ඒ රැය පුරාම ඉස්තෝප්පු කාමරෙන්  නිදන කුටියට ගලාන ආ පහන් එළි තීරු පවා ප්‍රේමණීය නිද්‍රාවක සුවසේ සැතපුණා...

................................................................

නොනිමි දිවි ගමනක, එක්සොදුරු හීනයක් නිමා වුණ වගයි..


30 comments:

  1. අද තමයි කොටස් තුනම කියෙව්වේ... මම තෝරගත්ත වෙලාව හරි හොඳයි... හි හි...

    ලේඛකයෙක්ට , නිදහස් චින්තකයෙක්ට, මාක්ස්වාදියෙක්ට ආදරය කරනවා කියන්නේ පොඩි දඬුවමකට වඩා ලොකු දෙයක් නෙවෙයි කියලා මට හැමතිස්සෙම හිතෙනවා.... ලියන වචන වලින් කෙළලා අරිනකොට මේ මනුස්සයා හැබෑවටම මේ ලෝකෙ ඉන්න මනුස්සයෙක්ද කියලා සැක හිතෙනවා.... හිත හිරිවට්ටන ආදර වදන් කියනකොටත් මේ ඉන්නේ මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි කියලා හිතෙනවා..

    ඒත් හැබැයි ගොඩක් වෙලාවට ඒ වගේ කෙනෙක්ගේ වටිනාකම ඉතුරු වෙන්නේ ලියපු වචන වල විතරයි... අර කියපු වචන අන්තිමට කාට හරි ලොකු බරක් ඉතුරු කරලා තියනවා....

    කතාව ලස්සනයි තරූ...

    ReplyDelete
    Replies
    1. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
    2. කතා‍‍වො කියූ ‍නොකියූ හැම‍දේම ඔයා හරියටම ‍තේරුම් අරන් ති‍යෙනවා...

      ඔයා කියල ති‍යෙන්‍නො නම් ඇත්තම ඇත්ත.........

      Delete
    3. මමත් මේ කතාව කියවන්න ගත්ත දවස හොඳයි. කොටස් තුනම එකටම බලලා ඉවර කළා.. හීනයක්ම විතරයි වගේ හැඟීමක් දැනෙනවා. හැබැයි ගලාගෙන ගිය විදිහ ලස්සනයි. තරු අක්කා කියන්නෙ අපූරු ලියන්නියක්. කොහොම වුණත් ඔය වගේ මිනිස්සුන්ට ආදරේ කරන්න හිතන එකම, මනුස්ස ආත්මයක ගෙවන ලෝක පවක් සහ දඬුවමක්.. ඒ නිසා කවදාවත් මනුස්ස දුවක් ඔහොම කෙනෙකුට ආදරේ කරන්නෙ නෑ.. ඒකට වෙනම කට්ටියක් එක එක කාලෙට මේ ලෝකෙට එනවා. සුදු පාට දිග ගවුමයි..මල් ඔටුන්නයි.. තාරකා කෝටුවයි නැති නිසා අඳුන ගන්න ටිකක් බැරුවට.. ඒ අයව අඳුනන අය ලෝකෙ පුරාම ඉන්නවා.. ඒ වගේ අය වෙනුවෙන් තව ලියන්න තරු.. ඔයා හිතනවාට වඩා ස්වර්ගය ඔයාට කිට්ටුයි.

      Delete
    4. ස්තුතියි නංගා.. ඔයා හදවතින්මයි මෙහෙම කියන්නෙ කියල දන්නවා.. තාරුකා කෝටුව නැතිව ඇවිත් මේ ලෝකෙ සැරිසරන අය අතරෙ ඔයත් ඉන්නව කියල මං දන්නවා...

      Delete
  2. //නොනිමි දිවි ගමනක, එක්සොදුරු හීනයක් නිමා වුණ වගයි..//

    ඒ උණාට රෑ දිගලු. අපි තව හීන බලන්ට ඇහැරගෙන ඉන්නවලු. හරිම ලස්සන ලියැවිල්ලක් තරු.:)

    //‘‘ ලියවුන්නෑ... හිත හරි නැති උණාම ලියවෙන්නෑ..” //

    මේ කතාව කොච්චර ඇත්තද? ඒ වගේ වෙලාවට අදහස් ඔලුවට එන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. ජීවි‍තේ පුරාම හීන බල බලම ඉන්නත් බැහැ‍‍‍නෙ ‍පොඩ්ඩි......‍මේ හී‍‍නෙ ‍මෙතනින් ඉවරයි.

      Delete
  3. කතාව ලස්සණට ඉවර වුණා. මම ආසා යි මේ කතාවට, තරූ අක්කේ.

    ReplyDelete
    Replies
    1. හැම කතාවක්ම ලස්සනට ඉවර වෙනවනම් හොදයි නේද...

      Delete
  4. ම්ම්ම්. . . . . .
    ලස්සන කතාව තරු අක්කෙ.
    ආව ගමන්ම මේක දාගත්තට වැඩ වැඩි නිසා කියවන්න හිතුණෙ නෑ.
    වැඩ අස්සෙ කියෙව්වට වැඩක් නැති නිසා.
    ඔන්න දැන් තමයි කියෙව්වෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගි.. මේ කතාවට වැඩි දෙනෙක් කැමති උණේ ඇයි දන්නෙ නෑ...

      Delete
  5. ආයෙත් කියන්නම ඕනි නෑනේ......ලස්සනයි.....ගොඩක් ලස්සනයි.....

    ReplyDelete
    Replies
    1. සිත්තමීගෙ සුන්දර සිත්තමක් ‍වගේද? දිගටම බැලුවට ස්තුතියි හොදේ

      Delete
  6. පැය 11/2ක පමණ චිත්‍රපටයක් විනාඩි 15ක කෙටි චිත්‍රපටයක් මෙන් කතාවට හානියක් නොවන අයුරින් බොරු ආලවට්ටම් වචන වලින් බැහැරව සිත් තුලට ඇනෙන,දැනෙන අයුරින්,මුල සිට අග දක්වා එකම ආරකට ලිවිම ඉතා විශිෂ්ටයි.
    ඔබගේ උත්සාහය 100%ක් සාර්ථක යැයි මගේ හැගීමයි.

    ReplyDelete
    Replies
    1. මේ කතාවට මාත් කැමති තමයි.. ඒත් මේ තරමංම හොදද කියල නං හිතා ගන්න බැහැ... මට හිතෙන්නෙ අමුතු අමුතු ප්‍රේම කතාවලට බොහෝ දෙනෙක් කැමති බවයි... දිරිමත් කිරීම ගැන ස්තිතුයි.. මේ අකුරු ටික මට සකුරා මල් යායක් වගේ...

      Delete
  7. ලස්සනයි අක්කේ.මට කියන්න තියෙන්නේ අද හයියෙන්ම වහින එකයි ඔෆිසියේ කවුරුත් තාම නාපු එකයි කොයි තරම් හොදද කියලා. <3

    ReplyDelete
    Replies
    1. ඒකෙන් කියවෙන්නෙ බට්ටි කෙල්ලත් අක්කණ්ඩි වගේම හීන දකින්න කැමති වග....

      Delete
  8. හරිම ලස්සනයි අක්කෙ. මම ආස මේ වගේ හිනා වෙලා ඉවර වෙන කතා වලට ...
    හරියට මගේ ආදර කතාව වගේ ....

    ReplyDelete
    Replies
    1. මේ නම් අශෝකමාලා වෙන්න ඕන... මින් පස්සෙ මං හිනාවෙන්ම ඉවර වෙන කතා ලියන්නම්කො.. සාලියටත් කියන්න... ඒ ගැන..

      Delete
    2. තාම ඉවර උණේ නැහැනෙ කතාව... මේ පුංචි කොටසක් විතරයි ''නිමි'' වුනේ.. ඒ නිසා දැන්මම කියන්න බෑ හිනාවෙන් ඉවර වෙයිද? කදුලින් ඉවර වෙයිද කියල නම්...

      Delete
  9. තරුගේ මේ නිර්මාණය සැබැවින්ම සාර්ථකයි. ඇත්තෙන්ම ඔබට හොදට ලියන්න පුලුවන් වගක් හැගෙනවා මුළු නිර්මාණය පුරාම කාව්‍යමය බසක් භාවිතා කරනවා ඒ හැකියාව තරමක් විරලයි.

    ReplyDelete
    Replies
    1. කවියටත් මං කැමතියි.. කවි බසින් කතා ලියන්නත් කැමතියි.. මේ පුංචි උත්සාහයක් අයියෙ...

      Delete
  10. ලස්සනයි... නියමයි... මේ කාලෙ කියන විදිහට පට්ටයි... හිතට දැනෙන්න කතාවක්. අද උදේ නැගිට්ට ගමන් මං කලේ ඔයාගෙ බ්ලොග් එක හොයපු එක. කොහොමත් ඉස්සර ඉදන්ම මං අක්කගේ වචන වලට කැමතියි. මොකද වචන වලින් දෙයක් මවන්න ඒ විදිහටම පෙන්නන්න ඔයාට හොද හැකියාවක් තියෙනව කියලා මට හිතුනෙව.

    ReplyDelete
    Replies
    1. අනේ අප්පේ මං වචනවලින් මවනවද? ‍කොහොම උණත් සතුටුයි මල්ලී.. ඔයා මගේ බ්ලොග් එක හොයා ගත්තට.. ඒ වගේම ඔයත් ලියන එක ගැනත් සතුටුයි.....

      Delete
  11. මට මේ කොටස මඟ හැරිලා, මම මෙ කතාව ආයෙත් කියවන්න හිතිලා බ්ලොග් එකට ආවමයි දැක්කෙ.

    පුදුම ලස්සනයි මෙ කතාව. මංදා, මෙ කතාවෙ "ඔහු" ව මගේ හිතේ කෙනෙක්ව ඇන්දා... අමුතුම ශෛලියක් එක්ක ගිය කතාව මම හුඟාක් වින්දා..:)

    ReplyDelete
    Replies
    1. අමුතුම කතාවලට අමුතුම ශෛලීන් මැවෙනවා මං හිතන්නෙ නංගි...

      Delete
  12. හරිම ලස්සනට ලියවුන කතාවක්. සමහර විට මේ ඔයා ගොතපු කතාවක් වෙන්න ඇති. ඒත්, මේ කතා කියවද්දි මට දැනුනේ මගේ ජීවිත කතාවමයි. මගේ කතාවේ ඔහුත් මමත් කලාවට ඔයාල තරන් බර නොවුනත්...ඔහුම මට කියදුන්න ආදරය ඔහුගෙන් බලාපොරොත්තු වෙද්දි මම මුණ දුන්න ප්‍රශ්ණ ඔයාගේ කතාවේ විදිහමයි. ඒත් මගේ කතාවේ අවසානය ඔයාගේ වගේ සුන්දර නැහැ. තනිවෙන්න පුළුවන් තැන් වලදීත් නළලතට දුන්න හාදුවකට විතරක්, එහෙම නැත්තන් දවස ගානේ දෙන දුරකථන ඇමතුම් වලට විතරක් අපේ ආදරේ සීමා උනා. ඒ ආදරේට හෙට දවසක් නැති උනත්...මගේ හිතට දැනුනු එකම ආදරේ වුනු ඔහුගේ ආදරය වෙනුවෙන් මම ජීවිතේ තියෙනකල් බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මන්දා... දුකයි.. ඔයාගෙ කතාවෙත් අවසානයක් නෑ .. මගේ කතාවෙ වගේම... අතරතුර දකින හීන තමයි මේ ලියවෙන්නෙ.. ඇත්තම නෙවෙයි...

      Delete
    2. ඇත්තම නොවුනත් ඔයාගේ කතාව මගේ කතාවට වඩා සතුටුදායක වෙන්න කියල මම මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා. මොකද මම දන්නවා මේ විදිහට තනියෙන් දුක් විඳින එක කොයි තරන් අමාරුයි ද කියල...
      ආදරේ කරන්න ගියාම අපි තාර්කික නැහැ. ඒ දේවල් පිටින් දකින මිනිස්සු අපිව විවේචනය කරන්නේ හරියට ඒ අයගේ මුළු ජීවිත කාලෙම ගත්තේ තාර්කික තීරණ විතරක් වගේ...අර මුණු පොතේ ලියල තිබුන වගේ..."බොක්කෙන් ආදරය කරන අය යම්කිසි දවසක බොක්කෙන්ම පසුතැවෙනවා" කියල...එහෙම වෙයි ද දන්නෙත් නැහැ...ඒත් මගේ බලාපොරොත්තුව මට ආදරේ නොකරන ඔහු වෙනුවෙන් හැමදාම කැපවෙන්න. ජීවිතේ සතුට මම දැක්කේ ඔහුගෙන් නිසා වෙන කෙනෙක්ට ආදරේ කරන්න මට බැහැ...ඒ වගේම ඔයාගේ වෙනත් ලිපියක තිබුන වගේ ඔහුත් බිමත් වෙලා මිය යනවා මට බලන් ඉන්න බැහැ.

      Delete
    3. තනියෙන් දුක් විදින එක කොයි තරම් අමාරුද?......... ඇත්තමයි....

      ඒත් ලියන්න හයිය දෙන්නෙත් ඒ දුකම තමයි....

      බීමත් වෙලා මිය යනවා බලන් ඉන්න වුණා මට.... මගේ කිසිම වරදක් නැතිව උණත්... .... ඒක බොහෝම ඈත කතාවක්... නැවත එවැනි අතපසුවීමක් මගෙන් වෙන්න ඉඩ දෙන්නෙ නැහැ මම....

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...