Friday, May 17, 2013

සුනාමියෙන් උපන් ළෙංගතුකම්




2004 සුනාමිය ඇවිත් රටම කළඹල ගිය මොහොතේ අපි ( ළ.ක්‍රි.වී. ) මට්ටක්කුලිය ඉඳන් මග්ගොන දක්වා බොහොමයක් සුනාමි කඳවුරුවල ළමා වැඩසටහන් කළා.. මුල් සතිය ඇතුළත.. 

ළමයි එක්ක සෙල්ලම් කරන්න, කතා කරන්න තමයි ගොඩක්ම කාලය වෙන් කළේ. වාද්දුව පන්සලක ස්වාමින් වහන්සේ නමක් කීව මතකයි '' මොනව හරි උස්සන් ඇවිත් හිඟන්නන්ට දෙනව වගේ දීල අනුකම්පාවෙන් බලල යනවට වඩා මිනිස්සුන්ගෙ සතුට, සැනසිම වෙනුවෙන් වැඩක් කරන හරි අපූරුයි..'' කියල.    

අපි ළමයි එක්ක සින්දු කියද්දි, නටද්දි, සෙල්ලම් කරද්දි වැඩිහිටියන්ගෙ මූණුවල වුණත් තිබුණ දුක, අසරණකම යටවෙලා සිනාවක් මතු උණා... දරුවන්ගෙ සතුට තමයි දෙමව්පියන්ගෙත් සතුට... 

මග්ගොන විසෙන්ති ළමා නිවාසේ මුල් දවස්වල 2000 ක විතර සෙනගක් හිටියා.. දවසක්ම අපි ඒ කඳවුරේ ගත කළා. අපි වටේ කැරකි කැරකි හිටිය පුංචි පුතෙක්... කටකාරයි. කියවනවා ඉවරයක් නෑ. හරිම හුරතල්. ඒ සුපුන්... හැබයි එයා සෙල්ලම් කරන්න ආවෙ නැහැ.. පැත්තකට වෙලා බලන් උන්න විතරයි. වතාවක් දෙකක් කතා කළත් ගන්නම බැරි උණා.. ඒත් කදවුර පුරා ඇවිදිද්දි මයෙ අතකින් අල්ලගෙන කියව කියව ඇවිද්දා... කඳවුරේ හැමෝම සුපුන්ව දන්නවා.. එයා හැමෝම එක්ක යාළුයි.. හැමෝම එයාට ආදරෙයි.. හරිම ප්‍රසන්න ආදරණිය දරුවෙක්... 

''මේ තියෙන්නෙ අපි ඉන්න තැන...'' එක ශාලාවක පැදුරක් එළල වටේ බෑග් කිහිපයක් තිබුණු තැනක් සුපුන් පෙන්නුවා. බො‍හෝ දෙනෙක්ට ඉතිරි වෙලා තිබුණෙ ඇඳිවත විතරයි.. සුපුන්ගෙ අම්මයි, තාත්තයි, අක්කයි ඒ වෙද්දි එයාලගෙ මුහුද ඇවිත් කඩල බිදල දැම්ම ගේ බලන්න ගිහින් තිබුණා.. එතැන ඉඳන් එන ගමනෙදි තමයි සුපුන් කීවෙ ඇයි එයා සෙල්ලම් කරන්නෙ නැත්තෙ කියල... 

''මට සෙල්ලම් කරන්න හොඳ නැහැ... ලොකු ලෙඩක් තියෙනවා.. එක සැරයක් ඔපරේෂන් කරල තියෙන්නෙ...'' එහෙම කියල ටී ෂර්ට් එක උස්සල තුවාල කැලල පෙන්නුවා. පපුව හරි මැදින් බණ්ඩි ගෙඩිය දක්වාම සැත්කමක කැලලක් තියෙනවා.. ඒ තරම්ම අහිංසක මලක මේ හැටි විසල් කැලලක්.. දෛවය කොයි තරම් අකාරුණිකද ? 

මග්ගොන කඳවුරින් අයින් වෙලා කුලී ගේකට ගියායින් පස්සෙ සුපුන් ගැන ආරංචියක් නැති වුණා.. ඊටත්  ටික කාලකෙට පස්සෙ අපි වෙන්නප්පුව ශුද්ධවු පවු‍ලේ කන්‍යාරාමය එක්ක කලුතර පැත්තෙ සුනාමියට අහු වුණ ඉස්කෝලෙක ළමයින්ට පොත්, නිල ඇදුම් අරන් ගියාම ඒ ඉස්කෝලෙ සුපුන්ගෙ අක්කත් ඉන්නවා... නොදැනිම අපි වටේ දේවදුතයො සැරිසරනවා ආදරණීය හිත් යා කරමින්... 

''අපේ මල්ලි අක්කලව නිතර මතක් කරනවා.. '' ඇය ළඟටම ඇවිත් කතා කළා. එතනදි ලිපින,  දුරකථන අංක හුවමාරු කර ගත් නිසා දිගුකාලීන මිත්‍රත්වයක පදනම වැටුණා... 

දැනට අවුරුදු 05 කට විතර කළින් සුපුන්ගේ ඔලුවෙ ගෙඩියක් තිබිල ඔපරේෂන් කලා. කොළඹ ජාතික රෝහලේ... ඒ වෙලාවෙ පිටියුටරි ග්‍රන්ථිය අයින් කලා.. ඉස්පිරිතාලෙ ඉද්දි මං නිතරම එයාව බලන්න ගියා.. ශල්‍යකර්මයෙන් පස්සෙ සතියක් විතරම උන්නෙ දැඩි සත්කාර ඒකකයේ......... 

එයාගෙ පවුලෙ අයත් එක්ක වීදුරුවෙන් මෙහා පැත්තෙ ඉඳල බලන් ඉද්දි මට දැණුනෙ සුපුන් මගෙත් දරුවෙක් වගේ..  මහා ලොකු උපකාර නොකළත් ඒ වෙලාවෙ මං සුපුන්ගෙ පවුලත් එක්කම හිටියා.... ඒකෙන් ඒ පවුලම ගොඩක් හිතවත් වුණා... සුපුන්ගෙ තාත්ත රැකියාව කළේ බස් රියදුරු කෙනෙක් විදියට.... ඒ වෙද්දි අම්මට රැකියාවක් කරන්න විදියක් තිබුණෙ නැහැ.. හරිම හොද අහිංසක මිනිස්සු....

ඇමරිකන් සුනාමි නිවාස ව්‍යාපෘතියකින් සුපුන්ලටත් ගෙයක් ලැබුණා... 

'' අපිට දැන් ලස්සන ගෙයක් තියෙනවා.. අක්ක අපේ ගෙදර එන්න..'' 

 නිතර කීවත් මට යන්න බැරි උණා.. මාසෙකට වතාවක්වත් අපි දුරකථනයෙන් කතා කරනවා.. හැම මාසෙකටම වරක් සුපුන්ව ජාතික රෝහලේ වෛද්‍ය සායනයට කැන්දන් එනවා.. ඉඳහිට අපි එතනදිත් මුණ ගැහෙනවා...  

මැයි මාසෙ 15 වෙනිදා සුපුන්ගෙ අක්කගෙ විවාහ මංගල්‍යය පැවැත්වුණා.. ''ඔන්න මේ සැරේ නං එන්නම ඕන...'' සුපුන් මට අනතුරු ඇගෙව්වෙ මාස ගාණකට කළින්... 

සැප්තැම්බර් 05 වෙනිදා එයාගෙ උපන්දිනේ.. මට එදාට අමතක උණොත් හෙම කතා කරන්න, හැන්දෑවෙ ඇමතුමක් එනවා මට...'' අක්කට දැන් මාව අමතක වෙලා නේද? අ‍ද මගෙ උපන්දිනේ... '' ඉතින් නෝක්කඩු ගොඩයි... 

සුපුන්ගෙ වැඩීම බාලයි... පුංචි අලි පැටියෙක් වගේ මහතයි.. දැන් අවුරුදු දහ අටක් උණාට තාම අවුරුදු දහයක දොලහක ළමයෙක්ගෙ හැසිරීම... 

පල්ලියෙදිත් මාව දැක්ක ගමන් ඇවිත් අතේ එල්ලුණා... 

'' මං හිතුවෙ ඔයා එන්නෙ නැති වෙයි කියල...'' හිනා වෙවී කියනවා. 

'' නෑවිත් කොහොමද? ඉන්පස්සෙ ඔයා මා එක්ක තර‍හ වෙයිනෙ...'' ඉස්සර හුරතලෙයි, කටකාරකමයි තාම තියෙනවා.. කොහොමද හිතන්නෙ අවුරුදු දහ අටක ඉළන්දාරියෙක් කියල.. 

'' අක්ක මට කතන්දර පොත් ගෙනාවද? මට හිතුණා ඔයා එද්දි පොත් ගෙනෙයි කියල...'' 

ඉස්සර මං එයාට කතා පොත් ගෙනිහින් දෙනවා.. ඒ මතකය... පුංචි ළමයෙක් වගේ මගේ බෑග් එක අරගෙන පොත් හොයනවා. .. ඇත්තටම ''වීත්යාගෙ ළමා විය''  අතට අරගෙනත් ආපහු තියල ගියා... දැන් සුපුන් ලොකුයිනෙ කියල හිතල.. යොවුන් පියවර සගරාව ගත්තෙ නං එයාට දෙන්නමයි... 

'' ඔයා හොස්පිට්ල් එද්දි මට කියන්නකො මං පොත් ටිකක් ගෙනත් දෙන්නං'' මං කිව්වෙ පොතක් ගෙන නොගිය කණස්සල්ලෙන්.. 

'' හැබැයි මට ලොකු පොත් කියවන්න බෑ... මට එක සැරේකට එක පිටුවකට වඩා කියවන්න බෑ... නිදිමත එනවා.. ඇස්වලට කදුළු පිරෙනවා. මතක හිටින්නෙත් නෑ .. ඒ හින්ද අක්කෙ චූටි කතා තියෙන පොත් ගේන්න..'' පොත් ගැන කොන්දේසිත් පනවනවා.. 

මගුල් ගෙදර හැමෝටම මාව අදුන්නල දුන්නෙ සුපුන්ගෙ යාළුවා කියල.. කියන පමාවට නෑදෑයොත් මාව දන්නවා...මේ තමයි සුපුන්ගෙ තරු අක්කා කිව්වම, මනමාලයත් කියනවා අක්ක ගැන මෙහෙ නිතර කතා වෙනව.. අද තමයි දැක්කෙ කියල... දන්නෙම නැතිව මං මගුල් ගෙදර විශේෂ අමුත්තෙක් වෙලා..

මම කළේ හරිම පුංචි දෙයක් එයාල වෙනුවෙන්.. ඒත් මට 
එයාලගෙන් ලැබුණු ආදරය, පිළිගැනීම මහමෙරක් තරං.. 

'' ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි'' 

මේ කියමන මං අදහන්නෙ මෙවැනි දයාබර මිනිසුන් අප්‍රමාණව මගේ ජීවිතේදි මුණ ගැහිල තියෙන නිසා...

14 comments:

  1. අවංකවම හිතට හුගක් දැනුණුනා මේ පුංචි කථාව.....

    ReplyDelete
    Replies
    1. මටත් ‍ගොඩක් දැණුන නිසයි ලියන්න හිතුවෙ...

      Delete
  2. //'' ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි''//
    මේකනම් නියම සත්‍යයක්...

    ReplyDelete
    Replies
    1. ආදරයේ බලය ගැන මමත් විශ්වාස කරනවා නලින්...

      Delete
  3. Post එක දාපු ගමන් ආවට දැනුයි කියෙව්වේ. හරියට වැටහුනේ නැහැ. :P රෑට ආයේ පාරක් කියවන්න ඕනේ ;)

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙ කසුන්ට වැටහිලාම නැහැ වගේ.. අවුල්ද ලියල තියෙන විදිය..

      Delete
  4. සමාවෙන්න තරු අක්කේ, මේ පැත්තේ එන්න බැරි උනාට, තරු අක්කගේ පෝස්ට් උඩින් පල්ලෙන් කියවන්න හිත දෙන්නෙත් නෑනේ..
    ඔයාගේ හිත ගැන මම දන්න නිසාම තේරෙනවා ඔයාට කොච්චර මේ වගේ අය දැනෙනවද කියලා

    ReplyDelete
    Replies
    1. දැනෙන අය බොහොම මුණ ගැහිල තියෙනව ජීවිතේ.. ඒක සතුටට කාරණයක්...

      Delete
  5. හිත හොඳින් කරන පුංචි දෙයක් උනත් ඒ අයට මහ මෙරක් වගේ

    ReplyDelete
    Replies
    1. ජීවිතේ සතුට රැදෙන්නෙ මහ දේවල්වල නෙවෙයි අවංකව, සතුටින් කරන පුංචි දේවල්වල කියන එක දැනෙනවා නංගි..

      Delete
  6. මුලු ලොවම ඔයාට ආදරෙයි තරු....
    හිතට හොදින් දැ‍නුනා සුපුන්ගේ කතාව... එයාට විතරක් නෙමෙයි පුංචි කාටත් ඔයා ආදරෙයි නේ. සුපුන් වගේ අයට ඕන කරන්නේ ආදරය තමයි.

    ReplyDelete
    Replies
    1. හැමෝටම ඕනෙ ආදරය... තේරුම් ගැනීම... පිළිගැනීම... අපිට අමතක වෙලා යන කාරණේත් ඒකමනෙ..

      Delete
  7. ගොඩක් හිතට දැනුන කතාව.
    ඈදරණීය අයට හැමෝම ආදරෙයි ඒක නම් ඇත්ත

    ReplyDelete
  8. සුනාමියත් එක්ක ඔයාල එහෙ ගියා කියල මට අහන්න ලැබුන. මං ඉතින් ඒ කාලෙ පොඩි කොල්ලනෙ දැන්නෙ මේ හරි හරියට ඔයලත් එක්ක වැටිලා වැඩ කරන්නෙ. ඉතින් අක්කෙ සෑහෙන්ට කියෙව්වා ඔයාගෙ බ්ලොග් එක. ඔක්කොම කියවන්නනම් දැන් වෙලාවක් නෑ අයේ වෙලාවක ඉතුරැටික කියවන්නම්කො.

    ReplyDelete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...