Monday, May 6, 2013

සුන්දර සති අන්තේ...






සෙනසුරාදා හැන්දෑවෙ ''බක්මහේ ගැමි සුව'' වැඩසටහනට යන්න උවමනාව තිබුණ නිසා ගමේ ගියෙ නැහැ.. වැස්ස නිසා බක් මහේ ගැමි සුව වෙසක් මහෙත් කෙළවරට ඇදිල ගිහින්... ඒකත් ආශිර්වාදයක්.. කාලෙකට පස්සෙ මගට බහින්නෙ නැතිව පුරා දවසක්ම නවාතැනේ ඉන්න නිස්කලංකයක් ලැබුණා... 


අතුපතු ගෑම්, අස්පස් කිරීම්, ඉවුම්පිහුම් ඉක්මණින්ම අවසන් කරන්නෙ මං ලෝකාන්තිමය මේ දැන් සිද්ධ වෙන්න එනව වගේ... කාලයෙන් වැඩි ඉඩක් ඒ වැඩවලට වෙන් කරන එක අපරාදෙ කියල මට හිතෙනවා... මට වැඩ කියල දැනෙන්නෙ කියවන එක... ලියන එක.. සින්දුවක් අහන එක... සුන්දර රස්තියාදුවක් යන එක... දුක්ගන්නා රාළ කෙනෙක් වෙන එක...ඔන්න ඔය ව‍ගේ ‍දේවල්...  


සෙනසුරාදා දවසම කළේ පොතක් කියවපු එක.. ඉහිට මූණුපොත පැත්තෙ කැරකිලා විද්‍යුත් තැපෑලෙන් ආව ලියමනක් හෙමත් බැලුවා.. ලියන වැඩ කිහිපයක් තිබුණත් කම්මැලිකම හිත පුරෝලා... 


අන්තිමේ බලෙන්ම ව‍ගේ හෘද වස්තුව නම්මගෙන ගීතයක් ගැන අදහසක් ලියා ගත්තා.. යොවුන් පියවර ''හද ගී පොත'' ට අවසන් නිවේදනයත් නිකුත් කරලයි තිබුණෙ මේ සති අන්තෙ ඕනමයි කියල... ලියන එකටත් වඩා අමාරු ලියන්නෙ මොන ගීතය ගැනද කියල තීරණයක් ගන්න එක... අන්තිමේදි හිත නතර උනේ අජිත් කුමාරසිරිගෙ ආමි, නේවි, එයාෆෝස් ගීතයේ... 


ආමි නේවි එයාෆෝස්

ඊපීඞීපී, එල්ටීටීඊ....//

මව්බිම නැත්නං මරණය කිව්වත්

පෙලෝ ටෙලෝ සහ කරුණා අම්මාන්

අම්මේ මේ කිසිවෙකු හට බෑ

ජීවිතෙ දෙන්නට වෛරෙන් නොමරා ඔබ වාගේ

අම්මේ මේ කිසිවෙකු හට බෑ

පණක් රකින්නට ඔබ වාගේ.....



ගීතයට ලියූ විස්තරයෙන් කොටසක්...



‘‘සියුම්ව හද වෙණ තත් පිරිමදින, බුද්ධියට ආමන්ත‍්‍රණය කරන ආනන්දයෙන් ඇරඹී ප‍්‍රඥාවෙන් අවසන් වන මිහිරි ගීත ගැන කතා කරන  හද ගී පොත අද වෙනස්ම විදියෙ ගීතයකට ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. 

අමුවෙන්ම ලියැවුණු කිසිදු සෞන්දර්යාත්මක හැඟීමක් මතු නොකරන මේ ගීතයේ පද වැල්වලත්, ගායනයේත් මතු වෙන්නෙ විප්ලවකාරීබවක්... සැබවින්ම මේ ගායනයේ කන්කළු බවක් නැහැ.. හද සනසන මිහිරක් නැහැ. ගීතයේ කියවෙන යථාර්ථය තරමටම ගායනයත් කටුකයි. හිත හිරිවැටෙන තරමට ගොරහැඩියි. නමුත් එය වත්මන් සමාජයේ කැඩපතක් බඳුයි. 


මේ ගීතය තුළ පරිස්සමින් තෝරා ගත් පවතින සමාජ, දේශපාලන යථාර්ථයන් කිහිපයක් අම්මාගේ ආදරය සමග සන්සන්දනය කරනවා. සැබවින්ම මේ අම්මා සංකේතාත්මකයි. 

ඇයගෙන් නියෝජනය වන්නේ ආදරය... ජීවිතය... ජීවිතය ගැන ඇති අපමණක් බලාපොරොත්තු, අපේක්‍ෂාවන්...... 

ඒ ආදරය සහ ජීවිතය දිනා දෙන්නට අප වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන යුධකාමීත්වයට, පක්ෂ දේශපාලනයට, ආයතනවලට, ජාත්‍යන්තර න්‍යාය පත්‍රවලට හෝ මාධ්‍යයට නොහැකි බවයි ගීතයෙන් ගම්‍ය වනුයේ... සැබෑවත් එයම නොවේද? "


ඉරිදා දවස...


උදේ පූජාව මරදාන පාතිමා දෙව් මැදුරේ... පූජාවට පැය කාලකට කළින් විතර පල්ලියට යන්න ලැබුණ නිසා ඇස් දෙක පියාගෙන සිතුවිලි අතර නිදහසේ සැරිසරන්න අවස්ථාවක් ලැබුණා.. ඒක භාවනාවක්.... 

පූජාව කියල නෑ ඉතින් හිත එහෙ මෙහෙ දුවනවා.. දුව දුව හිටිය හිත ඇවිත් අල්තාරෙ ඉස්සරහ දණ ගහ ගත් වෙලාවක ඇහුණ, පියතුමාගේ දේශනාවෙන් අමතක නොවෙන්නම හිතට වැටු‍ණෙ මේ කාරණාව...


'' මහ වැස්සක් වහින වෙලාවක අපි වීදුරුවක් එළියෙ තිබ්බොත් අපට වතුර ලැබෙන්නෙ වීදුරුවක් පිරෙන්න... බාල්දියක් තිබ්බොත් බාල්දියක් පිරෙන්න ලැබේවි. බැරල් එකක් තිබ්බොත් බැරල් එකක්ම වතුර ලැබේවි. අන්තිමේ දුක් වෙලා වැඩක් නෑ.. මට තියෙන්නෙ වතුර වීදුරුවයි කියල...''


දැනුමින් අවබෝධයෙන් පිරෙන්න නම්, අධ්‍යාත්මිකව පොහොසත් වෙන්න නම් අපි විවෘත විය යුතු බවයි පියතුමා එයින් අදහස් කළේ... අපි ජීවිතයට, ලෝකයට විවෘත ‍වන තරමටයි අපි එයින් පොහොසත් වෙන්නෙ... විවෘතභාවය අපේ අවාසියට හිටින වෙලාවලුත් තියෙනවා... ඒත් පියතුමා මේ කියන විවෘතභාවය එයින් වෙනස්..දැනෙන්න ජීවත් වෙන්න නම් විවෘතභාවයත්, නිදහසත් හරිම වටිනව කියල මට හිතුණා... 


දවස පිරුණෙ ලියන වැඩත් එක්ක... අපි ළමා සංවිධානෙ කාර්යාලයට වෙලා සඟරාවෙ වැඩ කරද්දි පහළ මාලයෙ නාට්‍ය වැඩමුළුව. රංග අභ්‍යාස, හඬ අභ්‍යාස කරනව ඇහෙද්දි දුවල යන්න හිතෙනවා.. ඒත් නාට්‍ය කණ්ඩායමෙන් අයින් වෙලා අවුරුද්දකටත් වැඩියි. දැන් ආගන්තුක ගතියක් දැනෙනවා....


දිවා විවේකයෙදි පෝල් මල්ලි ඇවිත් කියනවා මෙහෙම.. 


'' මාර තැනකින් අක්කෙ ලන්ච් එකට නැවැත්තුවෙ... දිවි නසා ගන්න තරම් හිතුණු අත්දැකීමක් මතක් කර ගෙන ඒ අන්තිම මොහොත රගපාන්න කිව්වා.. ඒත් මට ‍එහෙම ‍අත්දැකීමක් නෑනෙ.. එන්නෙම නෑ...''


ශානක මල්ලිත් කියනව... 

''අද කට්ටිය අමාරුවෙ වැටුණා... දිවි නසා ගන්න තරං හේතු නැතුව '' කියල.. දිවි නසා ගන්න හිතෙන තරම් බරපතළ අත්දැකීම් තියෙන එකත් නිර්මාණකරුවකුට ‍කොයි තරම් වැදගත්ද? 


මට ලියන පිස්සුව... නම් එයාලට නාට්‍ය පිස්සුව... මේ කොයි පිස්සුවටත් අත්දැකීම් බලපානව හරියට.


'' මටත් හරි ප්‍රශ්නයක් ඕක.. අත්දැකීම් බරපතළ නැති වුණාම ලියන දේවල ගැඹුරක් නැතිව යනවනේ... ලියවෙන්නෙම මතුපිටින්... ලියල ලියල අත ගත්තට පස්සෙ ‍මේ ‍මොන බහුබූතයක්ද කියල හි‍තෙනවා.....'' මමත් එකතු වුණා. 


''අක්කව හොද කුණාටුවකට අහු වෙලා නෑ තාම..'' ශානක මල්ලි කියනවා.......... ඒකත් ඇත්ත... කුණාටුවකට අහු උණා නම් ‍හොදයි ව‍ගේ.... 
 


අපේ ලිවීම් වැඩ... එයාලගෙ නාට්‍ය වැඩ ඉවර වෙලා ''බඹර වළල්ල'' චිත්‍රපටය බැලුවා. දේශන ශා‍ලාවෙ බිත්තිය පුළුල් තිරය.... ලී පුටු ආසන... විදුලි පංකා, විවර වුණු ජනෙල් පියන් වායුසමීකරණ අඩුව පිරිමැහුවා.

 චිත්‍රපටයෙන් පස්සෙ ඒ ගැන කතිකාව පල්ලියෙ මිදුලෙ.. ඒ වෙද්දි හතරවටින් කළුවර ගලාගෙන ඇවිත්.. එළිමහන සීතල හුළගින් පිරිලා... සිස්ට ලක්මාලිත් ඇවිත් එකතු උණා කතාබහට... 


'' නියම රපෑම මැල් මහත්ත‍යගෙ... මාරයි... '' ඒ කියන්නෙ මහේන්ද්‍ර පෙරේරා ගැන.


''සංස්කරණය නියමයි.. කොහොමද රෑප රාමු ‍ගළපන හැටි... '' 


'' අධ්‍යක්ෂක නලුවා වෙන්න ගියාම අසාර්ථකයි.. අතුලගෙ රපෑම ඕවර් යනවා... පොඩි එකාගෙ චරිතෙට කවුද වැඩියම ගැළපෙන්නෙ..''


'' සෞම්‍ය ලියනගේ... කමල් අද්දරආරච්චිත් හොදයි...'' 


'' ඔය වගේ ඛේදවාචක කොයි තරං තියෙනවද? පොඩි එකාල මැල් මහත්තුරු දක්වා ගෙනියන... ඒ සිස්ටම් එකයි වෙනස් වෙන්න ඕන... නැත්නම් මැල් මහත්තුරු හැමතැනම.... ''

සිනමාව ගැන කතා කරන්න තරම් දැනුමක් මට නැහැ.. ම‍‍‍ගෙ හිත කම්පනය කරන්‍නෙ  මිනිසුන්‍ ගෙ ඉරණම සකස් ‍වෙන විදිය... 


'' ගහන මරන කපන කොටන ඒවා යද්දි අක්ක ඇස් දෙක වහගෙනනෙ... ඉතින් කොහොමද බරපතළ අත්දැකීම් ලබන්නෙ...  අත්දැකීම් කියන ඒව තමන්ගෙම වෙන්න ඕන නැහැ.. අහන දකින දේවලිනුත් අපට අත්දැකීම් ගොඩ නගා ගන්න පුළුවන්... '' ශානක මල්ලි කියන්නෙ ඔච්චමට හිනා වෙවී..


ඇත්ත...... මට ගහමරා ගන්න ඒව බලන්න බැහැ... ලේ බලන්න බැහැ.... ඒ වෙලාවට ඇස් දෙක වහගෙන ඉන්නෙ. ඉතින් කුණාටුවලට අහුවීම කෙසේවෙතත් අනුන්ගෙ කුණාටුවක්වත් දකින්නෙ කොහොමද? 


සති අන්තය නිම වුණේ ඔන්න ‍ඔහොම.... හිතන්න කාරණා ගොඩක් එකතු කරල.... බඹර වළල්ලකට අහු වෙලා හොල්මන් උණා උණත් සති අන්තය සුන්දරයි...

17 comments:

  1. හෙමීට කියවන්න බුක් මාර්ක් දැම්මා තරු රිසි..නිකම්ම නිකම් කියවලා බැහැ මේ පෝස්ට් එක..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන්.. පස්සෙ කියවල බලන්නකෝ... ඔයා මගේ හැම ලිපියක්ම බලන බව දන්නවා...

      Delete
  2. බඹර වළල්ල මම බැලුවා යූටියුබ් එකෙන්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. මමත් පළමු වතාවට බැලුවෙ... හැම මොහොතක්ම කම්පනයක් දැනෙන චිත්‍රපටියක්...

      Delete
  3. //මහ වැස්සක් වහින වෙලාවක අපි වීදුරුවක් එළියෙ තිබ්බොත් අපට වතුර ලැබෙන්නෙ වීදුරුවක් පිරෙන්න... බාල්දියක් තිබ්බොත් බාල්දියක් පිරෙන්න ලැබේවි. බැරල් එකක් තිබ්බොත් බැරල් එකක්ම වතුර ලැබේවි. අන්තිමේ දුක් වෙලා වැඩක් නෑ.. මට තියෙන්නෙ වතුර වීදුරුවයි කියල...//

    ආගම මොකක් උනත් me කතාවට මමත් එකගයි .....

    ReplyDelete
  4. සිරාවටම බඹර වළල්ලනම් ලොවෙත් ෆිල්ම් එක!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙමයි රජතුමනි... හොද චිත්‍රපටියක් ..

      Delete
  5. කතාව නම් බැලුවා අක්කේ...
    ඒත් ... සමහර තැන් සංකීර්ණයි වගේ මට ..

    ReplyDelete
    Replies
    1. ඔයා බලන එකම සතුටක් නංගි... පොත් කියවන්න හුරු උණා වගේ... කියවීමෙන් අවබෝධය ලබන්නත් හෙමිහිට පුළුවන් වේවි....

      මතකද මම බ්ලොග් එක පටන් ගන්නකල් ඉවසුමක් නොතිබුණු කෙනෙක්නේ ඔයා....

      ‍දවස පුරා මා ළග ඉන්න දෙන්න දැන් කවිත් කියවනවා... සතුටක් දැනෙනවා මට.... මං වටේ ඉන්න අයව පොත පතට, කවියට ළං කරන්න පුළුවන් උණ එක ගැන...

      Delete
  6. සුන්දර සති අන්තයක්!!!

    //'' මහ වැස්සක් වහින වෙලාවක අපි වීදුරුවක් එළියෙ තිබ්බොත් අපට වතුර ලැබෙන්නෙ වීදුරුවක් පිරෙන්න... බාල්දියක් තිබ්බොත් බාල්දියක් පිරෙන්න ලැබේවි. බැරල් එකක් තිබ්බොත් බැරල් එකක්ම වතුර ලැබේවි. අන්තිමේ දුක් වෙලා වැඩක් නෑ.. මට තියෙන්නෙ වතුර වීදුරුවයි කියල...''//

    මගෙ හිතටත් තදින් වැදුනේ මේ කාරණාව...:)

    ReplyDelete
    Replies
    1. මේ වගේ සුන්දර සති අන්ත ගොඩක් ලබන්න තරමං වාසනාව තියෙනවා...

      මටත් ඒ කාරණාව බොහොම හිතට දැණුනා...

      Delete
  7. //දැනෙන්න ජීවත් වෙන්න නම් විවෘතභාවයත්, නිදහසත් හරිම වටිනව කියල මට හිතුණා..//

    මෙන්න මේක නම් හරියටම හරි... විවෘතභාවය කියලා මම දකින්නේ දෙයක් ගැන විවිධ කෝණ වලින් බැලීමේ හැකියාව, නිදහස කියන්නේ සම්මතයන්, විශ්වාසයන් අභිබවා ඒ බැලීමේ පරාසය පුළුල් කරගැනීමට ඇති ඉඩකඩ.

    බඹර වළල්ල චිත්‍රපටයේ ඩීවීඩී එකක් ලඟ තියනවා, නමුත් තවමත් බලන්න ඉඩ ලැබුනේ නැහැ. ඉක්මනින්ම බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. විවෘතභාවය, නිදහස අර්ථ දැක්වීම කදිමයි.....

      චිත්‍රපටිය බලන්න... මගේ දැනීමෙ හැටියටත් ඒක හොඳ චිත්රිපටයක්...

      Delete
  8. කසුන්‍ගේ ක‍‍මෙන්ටුව........ ( පළ ‍වෙලා නැහැ.. ‍හේතුවක් හිතාගන්නත් බැහැ.. සමා‍වෙන්න... )

    //මහ වැස්සක් වහින වෙලාවක අපි වීදුරුවක් එළියෙ තිබ්බොත් අපට වතුර ලැබෙන්නෙ වීදුරුවක් පිරෙන්න... බාල්දියක් තිබ්බොත් බාල්දියක් පිරෙන්න ලැබේවි. බැරල් එකක් තිබ්බොත් බැරල් එකක්ම වතුර ලැබේවි. අන්තිමේ දුක් වෙලා වැඩක් නෑ.. මට තියෙන්නෙ වතුර වීදුරුවයි කියල...//

    ආගම මොකක් උනත් me කතාවට මමත් එකගයි .....

    ReplyDelete
  9. නාට්‍ය කරන එක නියම අත්දැකීමක් සහ උපරිම විඳීම් ගොන්නක්...ඇත්තටම සොඳුරු කතාබහක් අක්කේ...මේ කතාවේ මෙන්න මේ ටික" මහ වැස්සක් වහින වෙලාවක අපි වීදුරුවක් එළියෙ තිබ්බොත් අපට වතුර ලැබෙන්නෙ වීදුරුවක් පිරෙන්න... බාල්දියක් තිබ්බොත් බාල්දියක් පිරෙන්න ලැබේවි. බැරල් එකක් තිබ්බොත් බැරල් එකක්ම වතුර ලැබේවි. අන්තිමේ දුක් වෙලා වැඩක් නෑ.. මට තියෙන්නෙ වතුර වීදුරුවයි කියල...'' හිතට වැදුනා... හොඳටම. බඹර වලල්ල ඇත්තටම සාර්ථක චිත්‍රපටියක්. මුලදී පෙනුන දේ නෙමෙයි අවසානයේ අපිව නොපෙනෙනා මානයකට ගෙන ගියා. ස්තූතියි මේ සුන්දර අත්දැකීම් බෙදා ගත්තට තරූරසී අක්කා

    ReplyDelete
    Replies
    1. නාට්‍ය කියන්නෙ මමත් ආසම කලා මාධ්‍යයක් .. වරින් වර ජීවිතේට ළං වෙලා ඈත් වෙලා යනවා...

      ෆාදගෙ දේශනෙන් මටත් මතක හිටියෙ ඒ කතාව තමයි... මමත් ඒ ඔස්සෙ දිගින් දිගට හිතුවා...

      ඔයා කොයි තරම් කාර්යබහුලද කියල මං දන්නවා... ඒ අතරෙ මගේ බ්ලොග් එක බලන්න වෙලාව හොයා ගන්න එකත් සතුටක්....

      Delete

ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...