යොවුන් වැඩසටහනක් වෙනුවෙන් අපි මග්ගොන මැසනද් යොවුන්
පියසට ගිය බව කළින් පෝස්ට් එකක මම ලිව්ව ඔයාලට මතක ඇති....
ඉතින් සෙනසුරාදා උදෑසන ආරම්භ උණේ සරල සක්මන් භාවනාවකින්...
( අපේ මේ භාවනා හිත්
එක්තැන් කර ගන්න, අළුත්
අරමුණක් ජීවිතේට එකතු කර ගන්න අපිම හදා ගත් සරල භාවනාවන්... ඒ නිසා භාවනාව ගැන
ගැඹුරු අදහස් මෙයින් බලාපොරොත්තු නොවෙනවනම් හොදයි...)
භාවනාව මෙහෙයවූයේ ගරු මේරියස් පියතුමා.. මම ඔයාලට කළිනුත්
කිව්වනෙ බටපඳුරු හෙවණේ භාවනා මධ්‍යස්ථානය ගැන... මෙතන ඉහට උඩින් බට අතු
වියනයි...
නිල්
අහසයි....
පයට
තණනිල්ල...
ගස්
කොට, කුඩා කොන්ක්‍රීට්
කැට තමයි ආසන වෙන්නෙ...
( පාවහන් ගළවා පැමිණෙන
ලෙස අපට කළින්ම උපදෙස් ලැබී තිබුණා... උදේ හතේ කණිසමට තණබිස්සේ පිණිකැට වේලිලා නැහැ. නිරුවත් දෙපයට
දැණුනෙ අපූරු සීතලක්...
අනේ
ඉතින් මේ වගේ සැප විඳින්න අපේ කකුල් පින් කරල නැහැනෙ... හැමදාම රබර් සපත්තු, සෙරෙප්පුවල
හිරකාරයෙක් වෙලා....
ඒ
වෙලාවෙ හුළඟත් හරිම සනීපයි... හුස්ම ගන්න බයකුත්
නැහැ....
වටපිටාවෙ
ගහකොල පිරිලනෙ....
ගන්න
හුස්ම අතිපිරිසිදු බව නැහැතුඩුවලටත් දැනෙනවා..... )
පියතුමා
භාවනාවට පිවිසුණේ මේ විදියට...
පුරුදු තැන්පත් සරල ස්වරයෙන්...
'' මහපොළව පාගන්න ලැබිම
භාග්‍යයක්.....
ඊයා කියන්න ඕනෙ නැහැ............. ඈක්ක කියල හිතන්න
ඕනෙ නැහැ........
මහපොළවේ
තියෙන කටුක බව,
සීතල, උණුසුම මේ හැමදේම
අපි විඳින්න ඕන....
ඒක
තමයි ජීවිතය.
....
අපි පුරුදු වෙලා
ඉන්නෙ නිතරම සෙරෙප්පු දාගෙන ඉන්න....
ගෙදරදි
සෙරෙප්පු දාන්න ඕනෙ නැහැ... ගෙදර වටපිටාව අපි පිරිසිදුවට තියා ගන්නවනම් කිසිම
අපහසුතාවයක් නැතිව අපට නිරුවත් දෙපයින් ඇවිදින්න පුළුවන්නේ.... හැකිතාක් පොළව
පාගන්න...
දෙපතුල්
උණත් ඕනෑවට වඩා හුරතල් කරන්න ඕනෙ නැහැ...
දෙපය
නිදහස්ව ඇවිදින එකෙන් දෙපයේ නිලවල තෙරපුමක් ඇති වෙනවා... එයින් ස්නායු
උද්දීපනය වෙලා සුවදායකබවක් ඇති වෙනවා...
මහ
පොළව පාගන්න ලැබෙන එක භාග්‍යයක් වෙන්නෙ ඒ නිසයි....''
'' අපි මේ ඉන්නෙ කළුතර දිස්ත්‍රික්කයේ.... ලංකාවේ වැඩිම ආරණ්‍ය සේනාසන සංඛ්‍යාවක් තියෙන්නෙ කළුතර
දිස්ත්‍රික්කයේ... බොහෝ වෙලාවට ආරණ්‍ය සේනාසනයක් බිහි
වෙන්න අවශ්‍යම කරුණු තුනක්
තියෙනවා...
v පොඩි කඳු ගැටයක් තියෙන්න ඕන..
v කන්ද වහගෙන ලස්සන වනපෙතක් තියෙන්න ඕන...
v ආසන්නයෙන් ගලා යන දොළ පාරක් තියෙන්න ඕන...
වනවාසී යෝගීන් වහන්සේලා අතින් ගොඩක් හොඳ පොත් ලියවෙන්නෙ
සොබාදහමත් එක්ක,
සතා
සීපාවා එක්ක එතුමන්ලගේ තියෙන සමීප
සම්බන්ධතාවය නිසා...
තැන්පත්
සරල ජීවන රටාව නිසා....
මේ ආරණ්‍ය සේනාසනවල සක්මන් මළු තියෙනවා... අඩි 03 ක් විතර පළලයි... වනවාසී භික්ෂුන්
වහන්සේලා භාවනා කුටිවල නිතරම භාවනාවේ යෙදිල ඉන්නවා... ඒ අතර සක්මන් මළුවත්
එතුමන්ලාට වෙනස් ඉරියව්වකින් භාවනා කරන්නට, භාවනා කළ කරුණු
මෙනෙහි කරන්නට උදව් වෙනවා.... මේ මොහොත නිහැඬියාවේ රසය අත්දකින මොහොතක්.... සොබාදහමත් එක්ක ඒකාත්මික වෙන
මොහොතක්.....
( ආරණ්‍ය සේනාසන ගැන, වනවාසී භික්ෂුන් වහන්සේලාගේ ජීවන රටාව ගැන දැනුමැත්තෙක්
ලියනවනම් ආසයි කරුණු දැන ගන්න...)
කණ්වල එක එක දේවල් ගහගෙන, කන් අඩි පැලෙන සද්ද
බද්දවලට හුරු වෙලා ඉන්න කොල්ලො කෙල්ලො මේ නිහැඬියාවේ රසයත් විඳින්න පුරුදු වෙනව
නම් හොඳයි.... අද අපි යොමුවෙන්න
සරල සක්මන් භාවනාවකට....''
භාවනාව තුළ මේ වගේ කරුණු ටිකක්
පිළිපදින්න අපි එකඟ වෙමු....
·
ඇවිදිමු තැන්පත්ව.... කලබලයකින් තොරව.. සෙමින් දෙපා තබමු.
·
කවුරුවත් දිහා නොබල ඉමු.. ඇස් හමු වෙන්නට බැහැ.
·
ඇවිදින අතරේ බොහෝ දේ හමු වේවි... ඒ සියල්ල පසුකර යන්න.... නමුත් අමතක නොවන, නිතර ඔබේ සිත අවදි
කරන යමක් වේ නම් ආපසු ගොස් එය අතට ගන්න.
·
ඒ තුළින් ජීවිතය දකින්න උත්සාහ කරන්න. ජීවිතයට අරුතක් එක්
කර ගන්නට උත්සාහ කරන්න.
·
ඒ දෑතට ගත් දෙය පල්ලියේ අල්තාරය මත තියෙන කුරුසිය ළගින්
තියන්න....
පුංචි
යැදුමක් පැතුමක් කරන්න.
පියතුමාගේ මේ කතාවෙන් පස්සෙ අපි නිහඬවම සක්මන් භාවනාවට
පිවිසුණා...
ඔන්න
දැන් ලියන්නෙ සක්මන් භාවනාවේ මගේ පෞද්ගලික අත්දැකීම ............
ඔන්න මගේ භාවනාත්මක අත්දැකීම
ඇත්තම කියනවනම් මුලින්ම හෙමින් පා තියන්න අමාරු උණා...
ඇයි ඉතින් උදේ නැගිට්ට වෙලේ ඉඳන් කෑම හදන්න, බත් බඳින්න, අස් කරන්න, අතු ගාන්න, ලෑස්ති වෙන්න,
කෝච්චියට දුවන්න...
කෝච්චියෙන් බැහැපු වෙලේ ඉඳන් අටහමාරට කළින් ඇඟිල්ල තියා ගන්න
දුවන්න..... ඔය වගේ දුවන ජීවිතයක්නෙ තියෙන්නේ.... ඉතින් හෙමිහිට පොළවට නොදැනෙන්න
ඇවිදින එක ලේසි නෑ... ටික වෙලාවක් ගියා .... දඩිබිඩි ගමන් විලාසය සන්සුන් කර
ගන්න...
ඉන්පස්සෙ ඉතින් හිත දුවනවා... ළමයි ටික එකම හරියෙ
ගැවසෙන්නෙ.. ඒ මදිවට සිමෙන්ති පඩියක් උඩ තුන් හතර දෙනෙක් එක පෙළට වාඩි වෙලා.... මේ
මොන විකාරද කියල හිතෙනවා ඇති.... අඩුම තරමෙ මේ ටික වෙලාවටවත් නිදහසේ ඉන්න ඕනෙ... අනිත්
අයගෙ වැඩ ගැන නොහිතා.... එහෙම හිතල මම ශාලාවෙන් අනිත් පැත්තට ගියා... ඒ පැත්තෙ මමම
විතරයා.... මල් ගස් ඇරුණම එක දිගට විහිදුණු තණපියස.....
මම හෙමිහිට ඇවිදගෙන ගියා... ඔන්න දැන හිත ටික ටික
සන්සුන්... මෙහෙම සැහැල්ලුවෙන් ඇවිදගෙන යන කොට... තුත්තිරි ගහක් හමු උණා... මම ඒ
තුත්තිරි ගහ පහු කර ගෙන ගියා... ඒත් මෙන්න තුත්තිරි ගහ මගෙ හිතේ ඇලවිලා....
''......... මේ තුත්තිරි ගහ තුත්තිරි මල් යායක් වෙන්න
පුළුවන්... තුත්තිරි මල් යායක් දුරට දකින්න ලස්සනයි... ඒත් කවුරුවත් ඒ මැදට යන්න
කැමති වෙන්නෙ නැහැනෙ... තුත්තිරි ඇනෙනවා.. ඒක මහා දුකක් නොවුණට කරදරයක්...
තුත්තිරි ඇළුණම ගලවන එක එපා වෙනවා. ඒ විතරක්ද ගලවල දාන දාන තැන පැළ හැදෙනවා....
අපේ හිත්වලත් මේ වගේ තුත්තිරි ගස් පැළවෙන්න පුළුවන්... තරහ, කලකිරීම, නොරිස්සුම,
උදාසීන ගති, ඊර්ෂ්‍යාව..... මේ වගේ තුත්තිරි ගස්... මේවා විගහින්ම ගලවල දාන්න
ඕන... නැත්නම් මමත් මේ ලෝකෙ අසුන්දර, අප්‍රසන්න තැනක් කරන්න දායක වෙනවා.... ''
මගේ හිත මට කියනවා.... '' ඔයාගෙ හිතෙත් මේ දවස්වල
තුත්තිරි ගස් කීපයක් තියෙනවා නේද? ඉක්මණින්ම ඒවා ගලවල දාන්න...''
හිතත් එකක් සංවාදයක යෙදෙමින් මම ඉදිරියටම සක්මන් කළා... මෙන්න
තණකොල අතරින් පුංචි සුදු මොට්ටු වගයක් එබිකම් කරනවා... මම හෙමිහිට පාත් වෙලා
බැලුවා... චූටි බිම්මල් කිහිපයක්... පාවහන් පැළඳි දෙපයින් දඩිබිඩියෙ දිව්වනම් මේ පුංචි
සොබාදම් දරුවො මගේ පයට පෑගිලා පොඩි වෙලා යනවනේ.... ජීවිතේ සරල සුන්දර කාරණා කොයි
තරම් නම් මග හැරිල යනවද මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක....
මම ආපසු හෙමිහිට එන ගමනෙ අර මගෙ හිතේ ඇලවුණු තුත්තිරි
ගහත්, තවත් තුත්තිරි ගස් කිහිපයකුත් ගලව ගත්තා.... පුංචි පල්ලියට ගිහින් කුරුසිය ළඟ ඒ තුත්තිරි ගස්
තිබ්බා.... හිතින් ජේසූට මෙහෙම කිව්වා....
හෘදයෙන් සාන්තදාන්ත
වූද....බැහැපත් වූද ජේසුනී
අපගේ හෘදයන් ඔබගේ
දිව්‍ය හෘදෙට සමාන කළ මැනව.....
'' ආදර ජේසූනී,
තුත්තිරි ගස් ගලවල දාලා මගේ හිත පිරිසිදුව තියා ගන්න මට උදව්වෙන්න....''