අද 2013 ජනවාරි මාසෙ අන්තිම දවස... මධ්‍යහනයේ
නාඳුනන අංකයකින් ඇමතුමක්..
‘‘ අක්කා නාන් කවීතා ”
‘‘ ඕ ගෝඩ් කවීතා ” ........... ! මගේ
හිතේ හිනා මලක්.
ඈ ඔබට මතක ඇති ජීවිතේ සුන්දරද මෙතරම් ලිපියේ 2013.01.20 දාතමින් ලියැවුණු දින සටහනේ
කතා නායිකාව ඇය..
ඥාති විවාහ මංගල්‍යයේ දෙවෙනි දවස යෙදී
තිබුණේ 24 රෑ. මා වැඩ නිමවී යන විට රාත්‍රියත් උදා වී ගෙන. මා දුටු මතින්ම කවීතාගේ
මූණ පුරා පාළොස්වක සඳ පිපුණා. දුව විත්
දෝතින්ම මා අත ගත්තෙ කිරිල්ලියක් වගේ. නිතරම මා ගැන විමසූ බවයි මගේ නැගණියද
පැවසුවේ. ආදරණීය සොයුරියක් විදියට මා ඇගේ සිතේ රැඳී සිටින්නට ඇති. එය මට අපරිමිත සතුටක්.
එක් හිතක හෝ සැබෑ ආදරයක්, සංහිඳියාවක් ගොඩ නැගෙනු දැක්ම මට සැනසුමක්....
රාත්‍රී සාදය පුරාම ඈ උන්නෙ මා අසල
දැවටි.. දැවටි.. මා ඇය මගේ පවුලේ අයට හඳුන්වා දුන්නෙ මගේම යෙහෙළියක් ගාණට. පසුදා
පාන්දරින්ම යාපනේ ගමනට පිටත් වූ නිසා මට ඇයට සමුදෙන්නටවත් නොහැකි උණා... ආපසු
යන්නට පෙර ඈ නංගීගෙන් මගේ දුරකථන අංකය ඉල්ලාගෙන තිබුණා.
ඉතින් අද මා ඇමතුවේ ඇයයි මගේ මතකයෙන්
ගිලිහී යමින් සිටියදී...
‘‘ කවීතා............ එප්පඩි සුහම්
තංගච්චී ”
‘‘ නල්ලම් අක්කා...” තේරුණේ එපමණයි. තවත්
දිග හෑල්ලක්.. අණ්ඩර දෙමළ වගේ... මම කමල් සොයා ගෙන දිව්වා. ඔහු දමිළ යාපනේ
වැසියෙක්. වැඩ කරන්නෙ අපිත් එක්ක කොළඹ. සිංහල දමිල භාෂා දෙකම මැනවින් හසුරුවනවා...
ඔන්න දැන් භාෂා පරිවර්තක කමල්.
‘‘ අක්කා... ඇන්ටිගෙ පෝන් එක නැති උණා.. එයාට
කෝල් එකක් ආවා. මමයි ෆෝන් එක ගෙනිහින් දුන්නෙ. එයා ළිඳ ළඟ ඉඳන් කතා කළේ. ළිඳ ළඟ
තියන්න ඇති. වඳුරො ගෙනිච්චද දන්නෙ නෑ. ළිඳට වැටුණද දන්නෙ නෑ. මම හොරකම් කළා කියල
හිතල මට ගැහුවා. මාව ගෙදරින් යැව්වා.. ”
ඈ කී දිගු කතාව කමල් මට සාරාංශ කළේ
එලෙසින්.
“ දැන් ඔයා කොහෙද ඉන්නෙ. ” මගේ සිංහල ප්‍රශ්නය
කමල් දෙමළ බසට හරවනවා.
‘‘ පුංකුඩතිව්... මේ අම්මගෙ ෆෝන් එක.
අක්කා ඕන වෙලාවක කතා කරන්න. මම හොරකම් කළේ නෑ අක්කා. ”
කමල් සහ කවීතා අතර සංවාදය අතරතුර මගේ හිත
දැවෙනවා.. ඈ අහිංසක කෙල්ලක්. කෙසේවත් මෙවන් වරදක් සිදු විය නොහැකි යැයි මට
විශ්වාසයි. ඇය ඇන්ටී ලෙස හඳුන්වන්නේ මගේ
ඥාති නැන්දණියවයි. ඈ සිංහල. ඇගේ ස්වාමියා දමිළ. ඔවුන් වව්නියාවේ වාසයට ගියේ
එබැවින්. ෆෝන් එකක් නිසා අහිංසක පුංචි කෙල්ලව තලා පෙළන්නට තරම් ඈ දරුණු වේවිද?
කිසිවක් සිතා ගත නොහැකිය.
නමුත් ඈ මට කතා කළා ඇගේ දුක කියන්නට. මගේ
දෙනෙත් තෙත් වන්නේ ඒ ආදරය, ගෞරවය සහ විශ්වාසය නිසයි.
‘‘ අක්කා.. සී යූ.. බායි... ” මට වැටහෙන
බසින් ඈ මට සමු දුන්නා.
‘‘ දෙවි පිහිටයි. සතුටින් ඉන්න නංගී. මම
ඔයාට කතා කරන්නම් ” මගේ සිංහල සිතුවිලි කමල්ගේ පිහිටෙන් දමිල බසට හරවාගෙන මම ද ඇයට
සුබ පැතුවා.
නමුත් මහා හිස්තැනක් හිතේ ඉතිරි වුණා වගේ
මට දැණුනා..
හිතේ හැටියට ඇගේ දුකට සවන් දෙන්නට, ඇගේ
හිත හදන්නට නොහැකි උණේ භාෂා ප්‍රශ්නය හරස් වූ නිසා. ඒ ළතැවිල්ල තාමත් හිත පුරා..