පිටු

Friday, June 21, 2019

අද විසි එක ! මාස දෙකයි !



පාස්කු ප්‍රහාරයට මාස දෙකක් සපිරෙන්නට ඔන්න මෙන්න ය. එක්තරා මුහුණුපොත් මිතුරු සමූහයක සහෝදරියක් දැමූ සටහනක් දැක ඇස කඳුළු නැගිණි.

ඇයගේ ස්වාමියා අනතුරට ලක් වී ඇත්තේ පසුගිය 21 වන දා ප්‍රසිද්ධ හෝටලයක සිදු වූ බෝම්බ ප්‍රහාරයෙනි. බරපතල ලෙස අස්ථි බිඳීමට ලක් වූ ඔහුට එදා සිට කිසිවක් කන්නට හැකි වී නැත. බොන දේවල් පමණි. ඇය පෙරදින තබා තිබුණේ හෙට ඇති ශල්‍යකර්මයෙන් පසුව මට මහත්තයා සමඟ එකට වාඩි වී බත් කටක් කන්නට හැකි වනු ඇති යන අපේක්ෂා සහගත සටහන ය.

අද (19) ඇය යළිත් සටහනක් එක් කොට ඇත. ඒ මගේ මහත්තයාගේ ශල්‍ය කර්මය සාර්ථකයි. “තව පැය දෙකකින් රෝහලින් ඔහුට යමක් කන්නට ලැබේවි.’’ කියාය.

කිව යුතු තවත් සුවිශේෂ දෙයක් ඇත. බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලත් ඇයගේ සැමියාව කඩිනමින් රෝහලට රැගෙන ගොස් ඇත්තේ මුස්ලිම් රියදුරෙකි. ඔහු නොවන්නට තම සැමියා ජීවතුන් අතර නොසිටින්නට ඉඩ තිබුණු බව ටික කලකට පෙර ඇය ස්තුතිපූර්වකව සටහන් කර තිබිණි.

................

පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලත් කොලු පැටියකු පළමු වරට නැවත පාසලට පැමිණී සේයා රූ රැසක් මුහුණු පොතේ බෙදා හැරිණී. පින්තුර පෙළ අනුව ඒ පුතුගේ මුහුණේ අඩක් පිලිස්සී ඇත. බොරු අතක් දැමූ සෙයකි. මෙම දරුවාගේ මව ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව සඳහන්ය. පාසලේ දරුවන් සහ ගුරුවරුන් දරුවා පිළිගත් ආකාරය දකින විට සැනසුම් සුසුමක් නැගිණි. ජීවිතයට මුහුණ දෙන්නට දිරි දෙන වටපිටාවක් ඒ දරුවාට ඇතැයි සිතුණු බැවිනි. එබඳු සරණක් නැතිව අසරණ වන දරුවන් මේ රටේ කොතෙක් නම් ඇත්ද? හම්බන්තොට දී පසුගිය දා අවාසනාවන්ත ලෙස මිය ගියේ එවන් දරුවකු නොවේද?


මෙම ප්‍රහාරවලින් දරුවන්ට සිදු වූ බලපෑම පිළිබඳව ද මුහුණුපොතේ තොරතුරු හුවමාරු වනු දක්නට ලැබිණී.

තාවකාලිකව හිස්කබල ඉවත්කර ඇති දරුවන් ගණන 07
මියගොස් ඇති දරුවන් ගණන 23
උපදේශන අවශ්‍යයි පවුල් 42 ක දරුවන් 78කට
ඉන් 18 ක් ගැහැණු දරුවන්
අතුරුදන් එක් ගැහණු දරුවෙක්
ආධාර අවශ්‍ය ලමුන් ගණන 16

මේ සිදුවීම සමඟ අන්තවාදී ප්‍රහාර නිසා මෙන්ම තම මව්පිය, ගුරුවර, වැඩිහිටියන්ගේ හැසිරීමත්, මාධ්‍ය හැසිරීමත් නිසා ලංකාව පුරා දරුවන්ගේ හදවත් තුළ ඇති වූ බිය, සැක, සාංකාව, අවිශ්වාසය වැනි හැඟීම් මඟින් ඇති කළ දීර්ඝකාලීන ගැඹුරු තුවාල මෙලෙස ගණනය කර දැක්විය හැකිද?

................

බෝම්බ ප්‍රහාරයෙන් කටුවපිටියේ දී බරපතල තුවාල ලත් දන්නා හඳුනන සොයුරියක් තවමත් රෝහලේ ය. ඇයට නැගිටින්නට නොහැකිය. නැවත කිසිදිනක ඈ දෙපයින් නැගිටීද යන්නද සැක සහිත ය. ඇගේ එක් ඇසක් ඇයට අහිමි ය. ඊටත් වඩා ඇසක් වන් ඇගේ එකම පුත්‍රයා ද කටුවාපිටිය බෝම්බයෙන් ඇයට අහිමි වී ඇත. මාස දෙකක් ඉකුත් වන්නට ආසන්නව තිබියදී ඇයට පුතා මිය ගිය බව දැනුම් දෙන්නට සූදානම්ව  ඇත්තේ විශේෂ මනෝ උපදේශන ක්‍රියාවලියක අතරතුර, පියතුමන්ලාගේ කන්‍යාසොයුරියන්ගේ ද මැදිහත් වීමෙනි. එදින දේවස්ථානයේ දී බොහෝ දෙනෙකු අහිමිව ඇති බව, බොහෝ දෙමව්පියන්ට දරුවන් අහිමි වූ බව, බොහෝ දරුවන්ට දෙමව්පියන් අහිමි වූ බව පවසන අතර,

‘මගේ පවුලෙත් කවුරු හරි නැතිවුණාද?” ඇය අසා ඇත. පිළීතුරක් වෙනුවට නිහඬ සුසුම් ලබන විට,

‘මගෙ පුතා ද නැති වුණේ?” ඇය එක්වනම අසා ඇත. ඒ දරුණු වේදනාව ඇය කෙලෙසින් දරාගන්නට ඇත්ද?

‘අනේ එයා නොඉන්න කමටම තමයි එච්චරම හොඳ වුණේ?” තම පුතුගේ ආදරණීය මතකය ඇය සිහිපත් කළේ එලෙසිනි.

පුතු ගැන ආරංචිය අසා ලැබූ බරපතල කම්පනය නිසා ඇය නැවතත් දැඩි සත්කාර ඒකකයට යොමු කරන්නට සිදු වූ බව අසන්නට ලැබිණි.

.................

මේ කතා දෙක තුනක් පමණි. තව කොතෙක් නම් දුක් කන්දරාවල් පාස්කු දින බෝම්බ ප්‍රහාරය ඉතිරි කොට ඇත්ද? මෙබඳු විපතක් සිදුවන තුරු කිසිම පියවරක් නොගෙන බලා සිටි රාජ්‍ය පාලකයන්ට, රාජ්‍ය නිලධාරීන්ට අප ඉතින් කුමක් කළ යුතුද? පිළිතුරු දෙන්නට කාලය ඉක්මණින්ම එළඹෙනු ඇත.

පොදු ජනතාව බිල්ලට දී හෝ තම  බලය රැකගන්නට, බලය ලබාගන්නට සැරසෙන දේශපාලකයන්ට අප දිය යුතු පිළිතුර කුමක්ද? අපගේ වාරය ඉක්මණින්ම එළඹෙනු ඇත.

මේ සිරි ලංකාවේ තට්ටු මාරුක්‍රමයෙන් කිසිම යහපතක් සිදුනොවන බව ය, අප ම පත්කර ගත් මේ ආණ්ඩුවත් අපට කියා දුන්නේ. එක්වෙමු. අලුතින් සිතමු.



Tuesday, June 18, 2019

ම'පෙම්බරා පෙමින් නහවන විට මා



රාත්‍රිය එළඹ ඇත නැවතත්
මුදා හළෙමි මා සේද වරළස
උරතලා මතුයෙහි
විදාහළෙමි වටොරද
‘‘කියන්න මට, ඇත් ද කිසිවක් මා තුළ
ආදරබර නොවන?‘‘

බඳ පටියෙන් බැමි ලා සුරුවම් කර නැත වැඩිමනත්
මගේ ගවොම,
බලන්න කවුළුවෙන් ඔබ යැයි
පැවසූ කල්හි ඔබ මට,
ළෙල දී විහිදියේ නම් ගවොම් සාය හැම නිතර
දොස් නැගිය යුතු ඒ වසන්ත සුළඟට...

නග්න අතු ඉති සසැලී
සැණෙන් හමනා පවනේ
සන්ධ්‍යාව කළඹයි.
'පෙම්බරා පෙමින් නහවන විට මා
උදාරම් වෙමි, මගේ තුරුණු රූ සිරියෙන්..



It is night again
I let down my silken hair
Over my Shoulders
And open my thighs
"Tell me, is there any part of me
That is not lovable?"

I had not fastened my sash over my gown
When you asked me to look out the window
If my skirt fluttered often,
Blame the spring wind

The bare branches tremble
In the Sudden Breeze
The twilight deepens.
My lover loves me,
And I am proud of my young beauty


Tzu Yeh ( 3rd - 4th Centuries)
China
Translated from the Chinese by Kenneth Rexroth and Ling Chung



ත්සු යේ...  සිව්වන සියවසේ චීනයේ, මධු හලක සේවය කළ ගේෂා ස්ත්‍රීයක බව කියැවේ. ඈ ලියූ කවි ද මධු විතක් සේ මන්මත් කරන සුලු ය. ශෘංගාරාත්මක ය. අව්‍යාජ ය. සරල ය. සුන්දර ය.

අධිරාජ්‍යවාදී සාහිත්‍ය කලා සම්ප්‍රදායන් තුළ මෙබඳු කාව්‍ය මාර්ගයන්ට, කවි කිවිඳියන්ට පිළිගැනීමක් නොවූ බව සඳහන් ය. නමුත් පසුකලෙක සාමාන්‍ය ජන ජීවිතය තුළින් මතු වූ මෙවන් අනුරාගී කවි දහරා පාඨක අවධානයට ලක් ව තිබේ.

අවන්හලක මෙහෙ කරන යුවතියකගේ ජීවිතය සුවපහසු වී යැයි සිතිය නොහැකිය. දෛනික දිවි පැවැත්මේ කටුක ස්වරය පරදමින්, වඩා යහපත් ජීවිතයක් පිළිබඳ ත්සු යේ දුටු සුබ සිහින  ඇයගේ කාව්‍යයෙහි ජීවය වී තිබේ. ආදරයෙන් පිරි සුන්දර ජීවිතයක් පිළිබඳ සුබ සිහින අත්නොහළ කිවිඳියකි ඈ. සියවස් ගණනාවකට එපිට සිටි ඇයගේ කාව්‍ය සංකල්පනා අදත් ස්ත්‍රී සංවේදනාවන්හි සාරය කැටිකොට ගන්නේ යැයි සිතමි.  

මේ කවිය මට හමුවන්නේ Women poets of the world කෘතියෙනි. මේ කෘතිය මට හමුවන්නේ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ පුස්තකාලයේ පොත් බැහැර කිරීම සඳහා වූ පොත් සල්පිලකිනි. මුල් පිටුවේ මුද්‍රා සටහන අනුව ලෝක කිවිඳියන් සහ ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව මේ අගනා ග්‍රන්ථය සමාජ විද්‍යාඥයන්ගේ සංගමයට පිරිනමා ඇත්තේ උතුරු කැරොලිනාවේ ඩක් සරසවියෙනි. දැන් ඒ මාහැඟි කෘතිය මා සතු වීම අප්‍රමාණ සතුටකි.


පරිවර්තනය සඳහා මා තෝරා ගත් ත්සූ යේ ගේ මෙකව ඉහත කී කෘතියෙහි ඇත්තේ රෝමානු ඉලක්කම් තුනක් යටතේ ය. එය එකම කවක් ද වෙන් වෙන් කවි තුනක්ද යන්න පැහැදිලි නැත. අන්තර්ජාලයේ මේ කවි පදවලට මුලින් සහ පසුවට ද තවත් කවි පන්ති දෙකක් ඇත. එබැවින් දීර්ඝ කවි පන්තියක තෝරා ගත් කවි කිහිපයක් වීමට ඉඩ ඇතැයි සිතමි.

මා ඉංග්‍රීසි බසෙහි හසළ දැනුමැත්තියක නොවේ. මෙකවෙහි සදොස් තැන් වේ නම් ඒ මගේ කඩු සටනේ දුබල බවට සාක්ෂි වේ. කාව්‍ය පරිවර්තනය කවි ලිවීම තරම්ම සුන්දර මෙන්ම දුෂ්කර කටයුත්තකැයි සිතමි. නමුත් කාව්‍ය ලොවෙන් වසංව පවතින කිවිඳියන් පිළිබඳවත් ඔවුන්ගේ නිර්මාණ පිළිබඳවත් යම් තරමකින් හෝ කතා කළ යුතු යැයි හැඟුණ නිසා කවියක් දෙකක් පරිවර්තනය කිරීමට උත්සාහ කළෙමි.

මේ එක් පරිවර්තනයකි. එහි සාර්ථක, අසාර්ථක බව, සදොස් තැන් සහ යෝජනා ඔබෙන් අපේක්ෂා කරමි. කවිය පරිවර්තනයෙන් පසු යොමුකළ කිහිප දෙනා අතරින් එය නිවැරදි මඟකට ගන්නට උවමනාවෙන් සහය පළ කළේ හෂිත අබේවර්ධන සොයුරා ය. කවියේ මා නොදුටු ඉසව් සොයා පහදා ගන්නට ඔහු දුන් සහය වැදගත් විය. සමහර ඉංග්‍රීසි වචන සඳහා වෙනත් සිංහල වචන සොයන්නැයි යෝජනා කරන අතර ම, ‘‘ඔරිජිනල් කවියක් විදියට වෙනම විඳින්නත් පුළුවන්‘‘ කියා කීම සතුටකි.  මීට අමතරව ගූගල් පරිවර්තකගේ ද, මධුර ශබ්ද කෝෂයේ ද සහය ලබා ගතිමි.





Monday, June 10, 2019

උඩුගම් බලා පිහිනන සංගීත හාමුදුරුවෝ



‘‘ලංකාවෙ අපි තාමත් සංගීතය කියල රස විඳින්න පුරුදු වෙලා ඉන්නෙ සින්දු, ගීත, ගී පද පේළි... සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. වචන ක්‍රමයෙන් අත්හැරල සංගීතය රස විඳින්න හුරුවෙන්න. යානි, කිටාරෝ වගේ සංගීතඥයන්ගෙන් පටන් ගන්න. මෝසාට්, බිතෝවන් දක්වා යන්න.“

දිනෙක සංගීත රස වින්දන වැඩසටහනක් නිමකරමින් එලෙස ප්‍රකාශ කළේ ප්‍රවීණ සංගීතඥ නදීක ගුරුගේ මහතා විසිනි. ඉඩක් ලද විට යානි, කිටාරෝ, බීතෝවන්, මෝසාර්ට් වැනි සංගීතඥයන්ගේ සංගීත සංකලන, සංගීත සංධ්වනි රස විඳින්නට මා පෙළඹුණේ ඒ මඟපෙන්වීමෙනි. හිත අවුල් යැයි දැනෙන, හැඟෙන අවස්ථාවලදී ද භාවනාමය සංගීත සංරචනයන්ට ඇහුම්කන්දීම සිතට නිවීමක් ගෙන එයි. සෙන් සංගීතය, සුෆි සංගීතය, කෙල්ටික් සංගීතය මට හමුවන්නේද එවැනි සොයායාම් අතර ය. රටක් ලෙස අප සංගීත සාගරයෙන් දිය දෝතක්වත් උකහා ගෙන නැතැයි මට සිතෙන්නේ සප්ත ස්වර සමාධියේ විශ්වීය අසිරිය සොයා සැරිසරන එවැනි අවස්ථාවලදී ය.

මාගේ මේ සංගීත උන්මාදය ගැන ලිවීමට සිත් වූයේ මෑතක මුහුණුපොත ඇසුරේ බෙදා ගැනුණු සංගීත සංකලනයක අසිරියයි. එය නිර්මාණය කර තිබුණේ බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ විසිනි. Evolving in The Wind  ලෙසින් නම් කර ඇති එම සංගීත ඛණ්ඩය සොබාදහමේ නිස්කලංක අසිරිය සමඟ වාද්‍ය වෘන්දය ද මනාව ස්ථාපිත කරමින්, සියුම් සංගීත නාදයන් සමඟ ඉතා කදිමට ගැළපූ ශ්‍රව්‍ය දෘශ්‍ය නිමැවුමකි.



ධර්මය සහ සංගීතය අතර ඇති ආත්මීය බැඳීම ඕනෑම ධර්ම මාර්ගයක් ඔස්සේ හඳුනා ගත හැකිය.  විශ්වයේ පළමු සංගීත නිර්මාපකයා සොබාදහම ය. සොබාදහමේ විස්මිත නාද රටා හැරුණු විට, ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකම කලා ශිල්පයක් ලෙස සංගීතය උපදින්නේ ජන වන්දනා ආශ්‍රිතවය. ඉපැරණි සංගීත ධාරාවන්හි සමාරම්භය සැමවිටම ආගමික නැඹුරුවක් ගනී. අතීත ජන වන්දනා පිළිවෙත් හා බැඳුණු ස්තෝත්‍ර, යාතිකා, ප්‍රශස්ති වැනි ගායනා සංගීතයට මව් කුස වීය.

ථෙරවාද බුදු දහම සංගීතය අනුදැන වදාළ ධර්මයක් ලෙස නොසැලකේ. සංගීතය මනුෂ්‍ය හදවතේ තණ්හා, ආශාවන් පුබුදුවා ලෝකෝත්තර දිවිය වෙත ඇද බැඳ තබන නිසා එය ධර්මාවබෝධයටත්, නිර්වාණ මාර්ගයට පිවිසීමටත් බාධාවක් ලෙස සැලකිණි. නච්ච, ගීත, වාදිත - නැටුම් ගැයුම් වැයුම් භික්ෂු දිවියෙන් දුරස්ත විය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළේ එය ධර්මධර, විනයධර ජීවිතයකට බාධා පමුණුවන හෙයින් විය යුතුය. නමුත් එපමණින්ම බුද්ධ ධර්මය සංගීතයෙන් මුළුමනින්ම වියුක්තයැයි සිතිය නොහැකිය. පිරිත් සජ්ජායනයන්හි පවතින ගීතවත් බව පිටුදැකිය හැකිද?

සක්කපඤ්හ සූත්‍රයේ බුදුන් වහන්සේ පන්සිළුගේ ගීතයක් අගය කරන අවස්ථාවක් පිළිබඳව සඳහන් වේ. තම පෙම්වතිය වූ සූරියවච්චසා වෙනුවෙන් නිමැවූ ශෘංගාරයෙන් අගතැන් එකී ගීතය පන්සිළු ගායනා කරන්නේ වීණාවද වයමිනි. ගීය ශ්‍රවණය කර ප්‍රසාදයට පත්වන බුදුන් වහන්සේ පන්සිළුගේ ගැයුම ද, වැයුම ද අගය කළහ. සුභාවිත ගීතය සම්බන්ධව ඇති ඉපැරණිම නිර්වචනය එය විය හැකියැයි මගේ දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය නවකතාවේ ලියා තැබීමි.


ලාංකේය සමාජය බුදු දහම වැළඳ ගත්තේ වුව ද ජන ජීවිතය හා බැඳී පැවතුණු ජන සංගීතය හෝ ගායනා විධි මුළුමනින් අහෝසිව ගියේ ද නැත. පත පොතෙහි කෙලෙස ලියැවී තිබුණද ජන සංගීතය කෙරෙහි බලපවත්නා බරපතල විරෝධයක් බුදු දහමින් මතු වී යැයි සිතිය නොහැකිය. ජන සංගීතය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ බව සිතිය හැකිය. නමුත් ජන සමාජය තුළ පැවති සංගීතය කලාත්මක විශිෂ්ටත්වයක් කරා ඔසවා තබන්නට එකී සංස්කෘතිය තුළින්ම යම් සීමා පැනවෙන්නට ඇත. රාජ්‍ය සහ ආගමික අනුග්‍රහය ලංකාවේ කලාශිල්පවල වර්ධනය වෙනුවෙන් ඍජුවම බල පෑ බවට ඉතිහාසය සාක්ෂ්‍ය දරයි.   
  
බිබිලාදෙනියේ මහානාම හිමියන් මා දන්නා හඳුනන කෙනෙකු නොවේ. මේ සටහන ලියැවෙනුයේ ලාංකේය සංගීත ක්ෂේත්‍රෙය් උන්වහන්සේගේ දායකත්වය අපගේ විශේෂ අවධානයට ලක්විය යුතුය යන හැඟීමෙනි. මෑත කාලයේ සමාජ දේශපාලන අවකාශයන් තුළ භික්ෂු වේෂධාරී උන්නාන්සේලාගේ හැසිරීම දෙස බලන විට බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ අණබෙර ලෑමකින් තොරවම සප්ත ස්වර මියැසි ඇසුර ඔස්සේ සිදුකරමින් සිටිනා අපූර්ව නිර්මාණ කාර්යය අනගි පරිශ්‍රමයක් යැයි සිතමි.
බිබිලාදෙනියේ මහානාම හාමුදුරුවෝ

කිතුනු පරිසරයක උපත ලද, කිතුනු පසුබිමක දිවි ගෙවන මට සංගීතඥයන් වූ පියතුමන්ලා අරුමයක් නොවේ. ගී ගයන, වයන, සංගීතවේදීන් ලෙස කටයුතු කරන පියතුමන්ලා, කන්‍යා සොයුරියන් ඇත. නමුත් ඔවුන් ලාංකේය සංගීතයේ ප්‍රධාන ධාරාව හා මුසුවන අවස්ථා අතිශය දුර්ලභය. එලෙසින්ම විශිෂ්ට ගී පද රචකයන් වූ මහා යතිවරයාණන් වහන්සේලා ගැන මා දන්නා මුත්, සංගීතඥයන් වූ ස්වාමින් වහන්සේලා ගැන මා තුළ අවබෝධයක් නැත. බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේ අපූර්ව චරිතයක් ලෙස මට හැඟෙන්නේ එබැවිනි.

බිබිලාදෙනියේ මහානාම ස්වාමින් වහන්සේගේ ගී තනු නිර්මාණ රස විඳ ඇතත්, සංගීත නිමැවුම් පිළිබඳ මගේ අවධානය යොමුවන්නේ Evolving in The Wind  හරහාය. Loneliness, Serenity in the Mist - සුඛිණෝ, The Unfelt, Religion and Violence, The Pace of Nature, Pilgrims Path, Flying in the Rain ආදී වශයෙන් එහිමියන් කළ නිර්මාණ රැසක් යූටියුබයෙන් මෙන්ම උන්වහන්සේ නමින් ඇති වෙබ් අඩවියෙන් ද රස විඳින්නට අවකාශ ඇත.

එකී සංගීත සංකලනයන්හි මා පෙර සඳහන් කළ සෙන්, සුෆි, කෙල්ටික් වැනි අධ්‍යාත්මික සංගීත රටාවන්හි අනුභාවය විඳිය හැකිය. මහානාම හිමියන් ප්‍රගුණ කරමින් ඉන්නේ ලාංකේය බුදු දහමට නව මඟක් එක්කරන අධ්‍යාත්මික සංගීතමය ප්‍රවේශයක් යැයි සිතමි. සංස්ථාගත ප්‍රධාන ආගමික ධාරාව තුළ ඒ සඳහා ලැබෙන ඉඩ හෝ පිළිගැනීම කෙබඳු වේදැයි සිතීම අසීරුය. මෙය සංගීතයෙහි නව ප්‍රවේශයක් වෙනුවෙන් පමණක් නොව, ලාංකේය සංගීතයේ අධ්‍යාත්මික  ප්‍රවේශයක් වෙනුවෙන්ද  දුෂ්කර පාරමිතා පිරීමක්  වනු ඇත. බිබිලාදෙනිය මහානාම ස්වාමින් වහන්සේ උඩුගම් බලා පිහිනමින් සිටින්නේ යැයි මම සිතමි. ඒ දුෂ්කර මියැසි පාරමිතාවන්හි අපූර්ව ඵල රස විඳීම සමාධි සුවය අත්කර දෙනු ඇත නිසැකවම.








Thursday, June 6, 2019

සාගරාන්තර ආලෝකය

‘‘සාගරාන්තර ආලෝකය‘‘ කෘතියේ සේයාරුවකි. පරිවර්තිකාවගේ මුහුණුපොතින් උපුටා ගැනිණි. 


පළමු ලෝක යුද්දය නිම වී කලක් ගත වී තිබිණි. යුද්දයෙන් මිය ගිය පුතුන් වෙනුවෙන් අම්මාවරුන් තවමත් වැළපෙමින් සිටියදී, අහඹු වරමකින් දිවි බේරී යුද පිටියෙන් නික්ම ආවුන් රණවිරුවන් සේ ඇගයුම් ලැබූ සමය ද කෙමෙන් කෙමෙන් නික්ම යමින් තිබිණි. වීර පදක්කම්, සම්මාන, තරුපටිවල දීප්තිය ගිලිහි යමින් තිබිය දී, ගෞරවාන්විතව හමුදා සේවයෙන් නිදහස් වූ ටොම් ෂර්බෝන් තරුණ රණවිරුවා, ඕස්ට්‍රේලියානුවා උපන් ගම් පියසෙන් බොහෝ දුර බැහැරක ප්‍රදීපාගාර භාරකරුවකු ලෙස රැකියාවක් සඳහා ස්වයං පිටුවහලකට නික්ම ආයේය.

එකී ගමනේ දී ඔහු හමුවන ඉසබෙල්, යෞවනයේ උදාරතර දීප්තියෙන් නැහැවී ගිය යුවතියකි. මිනිස් වාසයෙන් තොර, ගොඩබිමෙන් සැතපුම් ගණනාවක් එපිටින් ඇති හුදකලා දූපතක ප්‍රදීපාගාර භාරකරුවකුගේ පෙම්වතිය සහ ඉනික්බිති ආදර බිරිඳ වන්නට ඈ ගන්නා තීරණය ඇගේ ජීවිතය කුමන අරගලකාරී, අභියෝගාත්මක ඉසව්වකට රැගෙන යාවි ද?

The Light between Oceans චිත්‍රපටයේ දර්ශනයක්

ප්‍රේමය මෙන්ම යුද්ධය ද සදාකාලික නොවේ. ප්‍රේමයෙන් සාමය උදා වීම නිසැක කරුණකි. නමුත් යුද්ධයෙන් සාමය උදා කරගත හැකි ද? පශ්චාත් යුද සමයන්හි අළු යට සැඟවුණු ගිනි පුපුරු හඳුනා ඒවා නිවා දමන්නට අවංක උත්සාහයක් නොදරන්නේ නම්, යුද්ධය නිමාවුවද යම් සමාජයක සැබෑ සාමයක් උදා කරලීම සිහිනයක් පමණි.

හැනා දිනූ ප්‍රේමය ෆ්‍රාන්ස් යොහැනස් රොන්ෆෙල්ට් ජර්මානුවකු වීම ඔහුගේ වරදක් ද? ඇයගේ වරදක්ද? ප්‍රේමයේ වරදක් ද? සාම්ප්‍රදායික සමාජ බැඳීම් පසෙකලා, සියලු විරෝධතා පසෙක ලා දෙදෙන එක්තැන් වන්නේ ලෝක යුද්දයක් ඇවිළවූ ජාතිවාදයට වඩා ප්‍රේමය බලවත් වූ බැවිනි. එකී ප්‍රේමයේ ඵලය පුංචි ග්‍රේස් ය.

නමුත් යුද අනුස්මරණය උත්සවාකාරීව පැවැත්වෙන එක් දිනයක අළු යට සැඟව පැවති ජාතිවාදයේ ගිනි පුපුරු නැවත ඇවිලී, ලැව් ගින්නක්ව නැගී එන්නේ තැබෑරුමක් තුළිනි. මත් වූ හිත්වලට තව තවත් මත්වන්නට, මත් වී විකල්වන්නට ජාත්‍යාලය ද හොඳ මධු ඔඩමකි. සැකය, අවිශ්වාසය ඇති තැන බැඳීම් සුණු විසුණුව යන්නේ අසුරු සැණෙනි. ඉතින් ඇවිළෙන්නට වැඩිමනත් යමක් උවමනා නොවේ. ඒ ඇවිළෙන ජාතිවාදී ගින්න රොන්ෆෙල්ට් වෙතට මරු විකාරෙන් ළඟා වන මොහොතේ ඔහු හබල් ඔරුවකට නැගී සාගර ගැඹුරට ඇදී යන්නේ සිය සිඟිති බිළිඳිය ග්‍රේස් ද සමඟිනි.

පශ්චාත් යුද සමය මනුෂ්‍යත්වය නගා සිටුවනු පිණිස, එකිනෙකා අතර විශ්වාසය තහවුරු කරනු පිණිස, අතීත තුවාල සුවපත් කර නිවීම සැනසීම උදා කරනු පිණිස කටයුතු කොට තිබුණේ නම් ?

The Light between Oceans චිත්‍රපටයේ දර්ශනයක්


ජානුස් ගලේ ප්‍රදීපාගාර භාරකරුගේ බිරිඳව එහි යන ඉසබෙල් තෙවන වරටත් දරුවකු පිළිබඳ අපේක්ෂා ගිළිහී ගිය දැදුරු හදින් පීඩිතව සිටින මොහොතකය ඒ බිළිඳු හඬ ඈ සිසාරා රැව් දෙන්නේ. සැතපුම් ගණනාවක් දුරට කාත් කවුරුත් නැති මහා සාගරයක තනි වූ කුඩා දූපතකට කොහෙන්ද ඒ බිළිඳු හඬ?

විමසිලිමත් වන ටොම් ෂර්බෝන් දකින්නේ මිය ගිය මිනිසකු සහ සිඟිත්තියක සමඟ වෙරළට ගොඩ ගසා ඇති හබල් ඔරුවකි.

නීති, නියෝග, අණ පණත් සියල්ල බැහැර කරන ඉසබෙල් ඒ කුඩා දියණියට මව්වීමට තමන්ටම ප්‍රතිඥා දෙයි. මේ අතර ජානුස් ගලෙන් දුර බැහැර පාටේජස් තුඩුවේ බිළිඳියගේ සැබෑ මව හැනා රොන්ෆෙල්ට් තම ස්වාමියා ද, දියණිය ද අහිමි වූ ශෝකයෙන් උමතුවන්නට ආසන්නව කඩා වැටී සිටියාය. ඇත්තෙන්ම අරගල, යුද්ධ, කලකෝලහාල මැද වඩාත් අසරණ වන්නේ ද, පීඩාවට පත්වන්නේ ද, දුක් වේදනා උහුළන්නේ ද ගැහැනුන් සහ දරුවන් ය. යුද්දය පිරිමින්ට අභිමානයේ උරගලක් වන විට එය ගැහැනුන් සහ දරුවන් මත පතිත වන්නේ වේදනාවේ කටුඔටුන්නක් ලෙසිනි.

The Light between Oceans චිත්‍රපටයේ දර්ශනයක්

ටොම් ෂර්බෝන්, ඉසබෙල්, හැනා රොන්ෆෙල්ට්, පුංචි ග්‍රේස් ලුසී ඔවුන්ගේ ඉරණම කුමනාකාර වනු ඇත්ද?

තවමත් පොතක් කියවා හඬන්නට හැකි බව මෙහි අවසන් පිටු කිහිපය කියවන අතර තදින්ම දැනිණි. මා සිතා සිටියේ ඒ කඳුළු දැන් අහවරව ඇති බව ය.  නමුත් ‘‘සාගරාන්තර ආලෝකය‘‘ කියවා නිම වන විට මා සිටියේ හැඬු කඳුළිනි. එය එතරම්ම සංවේදී කතාවකි.

M.L. Stedman - The Light Between Oceans
පරිවර්තනය - ගංඟා නිරෝෂණී සුදුවැලිකන්ද
විදර්ශන ප්‍රකාශනයකි. මිල රු. 800.00

ගංඟා නිරෝෂිණි සුදුවැලිකන්ද 

The Light Between Oceans 2016 වසරේ දී සිනමාවට නැගී ඇත.

මේ අගනා සංවේදී කතාව පරිවර්තනය කිරීම වෙනුවෙන් ගංඟා නිරෝෂණී සුදුවැලිකන්දට ප්‍රණාමය පුදකරමි. අප පසුකරමින් සිටිනුයේ නැවත නැවතත් ජාතීන් අතර අරගලයකට අත වනන, ගෝලීය ත්‍රස්තවාදයට අප මව්බිම නිරාවරණය කරන, බිහිසුණු ප්‍රපාතයකට රට ඇදී යන බව නොදැන අසංවේදීව කටයුතු කරමින් සිටින මොහොතකය. මනුස්සකමින් බැහැරව අන්තවාදීව, ජාතිවාදීව සිතින්, වචනයෙන්, ක්‍රියාවෙන් අප කරමින් සිටිනා අකටයුතු මිනිස් ජීවිත කීයක නම් පැවැත්ම අඳුරට හෙළා ලනු ඇත්ද?

ආගම, ජාතිය කුමක් වුව ද අන්තවාදය බිහිසුණු ය. එය මනුෂ්‍ය ජීවිත මෙන්ම සමාජය ද කොතරම් දරුණු විනාශයකට ඇද දමන්නේද යන්න වටහා ගැනීමට පාස්කු ඉරුදින ප්‍රහාරයන් වුව ද ප්‍රමාණවත් ය. නමුත් අප අතීතයෙන් පාඩම් උගන්නේ නැත. 71 විසිදහසක්, 88-89 හැට දහසක්, වසර තිහක යුද්දයෙන් ලක්ෂ ගණනක් අපේම මිනිසුන් මැරෙන අයුරු දුටු අප තවත් එවැනි බිහිසුණු ප්‍රපාතයකට රට ඇද දමන්නට දත කන්නේ කුමටද? 

අප බෙදා වෙන්කොට ජයපැන් බොන්නට සූදානම් වන්නන්ගේ සැඟවුණු න්‍යාය පත්‍ර ගැන යම් හෝ අවබෝධයක් ඇත් නම් අප මේ ලෙස ජාති, ආගම්, කුල, පක්ෂ පාට ලෙස බෙදී වෙන්වන්නේ නැත. අප සැමට එරෙහිව සිටින බලවන්ත පොදු සතුරා හඳුනාගනිමු. ලෝක ධනවාදී බල අරගලයේ ගොදුරක් නොවී, රටත්, අප රැකගන්නට නම් අප සහෝදරයන් සේ ජීවත්වන මාර්ගය සොයා පහදා ගත යුතු වෙමු.