පිටු

Friday, May 17, 2019

පිපිරුණු ළමා හිත් සුවපත් කරනුයේ කෙලෙසින් ද?



ආච්චි අම්මා කෙනෙක් - 2019.04.21 සවස

දවස පුරාම නිහඬ නොවූ රූපවාහිනිය අසල පවුලේ අය. එදා බෝම්බ පිපිරුණු දවස. හැමෝම උන්නෙ කඳුළින් වික්ෂිප්තව. ඒත් දරුවන්ට වැටහීමක් නෑ ඒ ගැන. පිරිස කෑ කෝ ගසමින් සෙල්ලමේ.

‘‘කොච්චර කිව්වත් අහන්නෑනෙ කෑ ගහන්න එපා කියල. අල්ලල දෙනවා දැන් කට්ටියම අයිඑස් ත්‍රස්තවාදීන්ට‘‘ මුණුබුරු මිණිබිරියන්ගෙ කෑකොස්සම අහන් ඉඳල බැරිම තැන ආච්චි අම්මා කෑ ගැහුවා.

‘‘මොනාද අම්මෙ ඔය කියන කතා. ළමයි දන්නවද වෙලා තියෙන දේක බරපතලකම. ඔය විකාර කතා දාන්නෙපා ළමයින්ගෙ ඔලුවට.‘‘

එහෙම කිව්වෙ ඒ ආච්චි අම්මගෙ ලොකු දුව. ළමයින්ගෙ මම්මා...


කටුවාපිටිය ප්‍රහාරයෙන් දිවි අහිමි වූ දුලාජ් පුතාගේ නිවස - 2019.04.22

මරණ ගෙදරට එන එන අය බදා වැළඳ, වැළපෙන ආච්චි අම්මා. ඇය උන්නෙත් හිසේත්, ගතේත් පැලැස්තර දැමූ තුවාල සමගින්.

‘‘බංකුවෙ කෙළවර වාඩි වෙලා උන්නෙ මං. ඒත් පුතාට අයින ඕන වුණා කිව්වා. අපි එයාට අයින දීලා මෙහාට උණා. බෝම්බෙ පිපිරිලා හැමෝම විලාප දෙද්දි මට පුතාගෙ කටහඬ ඇහුණා. එයා උළුවලට යටවෙලා උන්නෙ. මං උළු කෑලි එහෙට මෙහෙට කර කර පුතාව හෙව්වා. කවුරුවත් උදව් කළේ නෑ මට පුතාව හොයන්න.‘‘


දරු දෙන්නෙකුගේ අම්මා කෙනෙක් - 2019.04.23

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ ඒ අම්මයි, මමයි මුලින්ම වැඩට ගියේ එදා, ගියෙත් ආවෙත් එකට. තාමත් බෝම්බ බිය හැමතැනම.

‘‘අපේ දෙන්නා වැඩට යන්න එපා කියල උදේ පොරේ නංගි. ඒත් පහුගිය ටිකේ දිගටම නිවාඩු ගත්තනෙ.‘‘  පිපිරුණු හිත් ගැන කතා බස් අස්සෙ දුම්රිය නැවතුමේදි ඇය පාසල් නොයා ගෙදර ඉන්න දරුවන් ගැන මතක් කළා.  

පසුවදා උදේම මට දුරකථන ඇමතුමක් ඇගෙන්...

‘‘අද මං එන්නෙ නෑ නංගි. ඊයෙ මං ගෙදර ආව ගමන්ම පුතා කිව්වනෙ ‘මං හිතුවෙ අම්මෙ ඔයත් මැරිල කියල‘ දවසම බයේ ඉන්න ඇති නංගි. පව්‘‘ ඈ කිව්වා. ඒ පුතා තුන වසරෙ. ඒ දූටයි, පුතාටයි තාත්තා නැති වෙලා මාස තුනක් වුණා විතරයි. ඉතින් ඒ පැටවුන්ගෙ හිත්වල බය සාධාරණයි.

‘‘මටත් මොනව හරි වුණොත් මගෙ ළමයි දෙන්න කවුරු බලන්නද නංගි.‘‘

............

ඒ අම්මා ම - උදෑසන දුම්රිය නැවතුමේ දී  - 2019.05.14

‘‘බලන්නකො නංගි අපේ දුව කියනවා ඊයෙ රෑ එයා සහරාන්ව හීනෙන් දැක්ක කියල. අද මට වැඩට යන්න එපාලු. නොගිහින් කොහොමද නංගි.‘‘



කාර්යාලීය සගයෙකුගෙන් දුරකතන ඇමතුමක් - ඔහු මුස්ලිම් - 2019.05.15  උදෑසන

‘‘අක්කෙ අද ඇඳිරි නීතිය නං හයට ඉවරයි. ඒත් අදත් වැඩට එන්නෙ නෑ. ඊයෙ හැන්දෑවෙත් කට්ටියක් අපේ ගම පැත්තෙ කැරකිලා තියෙනවා. අපේ වයිෆ් හරි බයයි අක්කෙ. මොනව හරි වුණොත් පොඩි දෙන්න එක්ක එයාට මොකුත් කරගන්න බැරිවෙනවා. ඒ හින්දා දාලා එන්න බෑ.‘‘

ඔහු දෙවනවර පියෙකු වී තවම මාසයක් ගතවන්නට ඇත.


නිවසට ගත් දුරකථන ඇමතුමක් අතර - 2019.05.15 රාත්‍රිය

අපේ චූටි පුතා චන්දු. අවුරුදු හතරට තව මාස කීපයයි.

‘‘මම්මේ කුලියපිටියට බෝම්බ ගාලලු.‘‘ ඒ ළපටි හුරතල් හඬින් එහෙම කියවෙද්දි මගෙ පපුව හෝස් ගෑවා.
‘‘කුලියපිටියට බෝම්බ ගහල නෑ පුතේ.‘‘
‘‘ඇත්ත... බෝම්බ ගාලා.‘‘
 ‘‘පුතාට කවුද කිව්වේ?‘‘
‘‘අම්මා...‘‘

..............

මුස්ලිම් කාර්යාලීය සගයා - 2019.05.16

‘‘අපේ ගේ ඉස්සරහ ගෙදර පොඩි එකා අක්කෙ යන්නෙ සිංහල ඉස්කෝලෙකට. හරි අහිංසක ළමයෙක්. ඉස්කෝලෙ ගියාම දැන් ළමයි ගණන් ගන්නෙ නැහැලු, එක එක ඒවා කියනවලු කියල ඉස්කෝලෙ යන්න බෑ කියනවා. පව් පොඩි එකා හොඳටම බයවෙලා ඉන්නෙ.‘‘



මූණුපොත 2019.05.16 දරුවන් සිව්දෙනෙකුගේ සේයාරුවක් සමඟ සටහනකි.

මේ ඉන්නෙ පෙරේදා නාත්තන්ඩිය, කොට්ටරාමුල්ලෙදි ජාතිවාදියො කපල කොටල මරල දාපු එම්.එස්. ෆවුසුල් අමීන්ගෙ ළමයි හතර දෙනා. තාත්තව බේරගන්න කිසිම දෙයක් නොකරපු පොලීසිය අඩුම ගානෙ කැපිල වැටිල හිටිය තාත්තව ඉස්පිරිතාලෙට ගෙනියන්න, උදව්වක්වත් කරල නෑ.

මේ කාලකන්නි ජාතිවාදින් ගහපු අත් බෝම්බෙකින් විනාශ වෙලා, ගිනිගනිමින් තිබිනු අමීන් මහත්තයගෙ ලොරිය අහල පහල මිනිස්සුන්ගෙ උදව්වෙන් බාගෙට නිවාගෙන ඒ ලොරියටම අමීන් මහත්තයව දාගෙන ඉස්පිරිතාලෙට යනකොටත් අමීන් මහත්තය ජීවතුන් අතර ඉදල නෑ. මේ පොඩි පිරිමි ළමය කෑගගහ උදව් ඉල්ලද්දි පොලිස්සියෙ අය කාටද කෝල් කර කර හිටිය කියල කියද්දි ඒ කටහඩේ තිබුනු අසරණකමින් එයාගෙ කටහඬ වෙව්ලුවා.


බෝම්බවලට, ගැටුම්වලට ඍජුවම මුහුණ දුන් දරුවන්,
දෙමව්පියන්, පවුලේ ආදරණීයයන් අහිමි වූ දරුවන්
තුවාල ලත් දරුවන්
තම ගේ දොර විනාශ වී යන අයුරු දෑසින් දුටු දරුවන්
ඍජුවම වෙනස්කිරීම්වලට, නින්දා අපහාසයන්ට ගොදුරු වන දරුවන්
අනාරක්ෂිත බව නිසා බියට සහ තැතිගැන්මට පත්වන දරුවන්
ජාතිවාදී අදහස් නිසා ආකල්ප වෙනසකට ලක්වන දරුවන්...

අප මේ දරුවන් ගැන සිතා බැලුවාද?

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිංහල, මුස්ලිම් භේදයක් නැතිව දරුවන් ගැන මා සංවේදී වූ අවස්ථා කිහිපයක් ඒ. හදිසියේම ඇති වුණු මේ ප්‍රහාරයත්, ඉන්පස්සෙ ඇතිවුණු ගැටුම්කාරී තත්ත්වයත් නිසා විශාල ලෙස අසරණ වෙන්නෙත්, දීර්ඝකාලීන මානසික අර්බුදවල ගොදුරු වෙන්නෙත් දරුවො. වාර්ගික අදහස් ළමා හිත්වල පැලපදියම් වෙන්නත් මේ සිදුවීම් හේතුවක් වෙනවා.

අද දරුවන් හෙට වැඩිහිටියන්. අද ඔවුන් ඉගෙනගන්නා පාඩම ජාතිය, ආගම පදනම් කරගෙන අනෙකා කොන් කිරීම, හෙළාදැකීම නම් අපට කවදාවත් බෝම්බ පිපිරෙන එකවත්, ගහමරාගන්න එකවත් වළක්වන්න පුළුවන් වෙන්නෙ නෑ.

මේ විදියට තුවාල වුණු ළමා හිත් සුවපත් කරන්න, දරුවන්ගෙ හිත්වල ආරක්ෂාව, සාමය, ආදරය ගැන ආකල්ප ගොඩනගන්න අපට කළ හැක්කේ කුමක්ද? මේ ගැන රජය වගේම පොදු ජනතාව විදියටත් අපි ඉතාම සැලකිල්ලෙන් කටයුතු කළ යුතු වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සියලුම පාසල්වල දරුවන් අතර ආදරය, සාමය වර්ධනය කරන වැඩපිළිවෙලක් සකස් කිරීම ඉතාම වැදගත්. බොහෝ දරුවන්ට මනෝ උපදේශනය අවශ්‍ය වේවි නිසැකවම මේ අර්බුදයෙන් ගොඩඑන්න. මව්පිය වැඩිහිටියන්ගේ වගේම ගුරුවරුන්ගේ සංවේදීභාවය දරුවන් තුළ සිදු වී ඇති වෙනස්කම් හඳුනාගන්න උදව් වේවි.

අපි දරුවන් ගැන අවධානයෙන් ඉමු. පවතින තත්ත්වය ගැන අනවශ්‍ය බියක් ඇති කරනොගෙන ජීවත් වෙන්න දරුවන්ට සහය වෙමු. දරුවන් අහන ප්‍රශ්නවලට උවමනාවෙන් ඇහුම්කන්දෙමු. ඒ අයට තේරුම් ගන්න හැකි විදියට කරුණු කියන්න උත්සාහ කරමු. දරුවන්ගේ හිත්වලට ආදරය, කරුණාව අරන් යන්නත්, ආරක්ෂාකාරී බව පිළිබඳ හැඟීම දෙන්නත් පුලුවන් වෙන්නෙ අපටමයි.

දීර්ඝකාලීනවත් සැලසුම් සහගතව අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් සිදුවිය යුතුයි. ඒ පිළිබඳ කතිකාවන් මේ වන විටත් සමාජය තුළ ඇතිවෙලා. ආගම විෂයට වෙන් වන වෙලාව සෙසු ආගම් සහ සංස්කෘතීන් ගැනත් හදාරන්නට ඉඩකඩ ලැබීම, ආගම් විදියට පාසල් වෙනස් නොකර පොදු අධ්‍යාපන රටාවක් ලංකාව තුළ ඇති වීම වැනි යෝජනා රැසක්. මේ පිළිබඳවත් අවධානය යොමුවීම අවශ්‍යයි.  

ලංකාව පුරාම, හැම ආගමකටම අයත් දහම්පාසල් තියෙනවා. දහම්පාසල් හරහාත් ළමා මනස ගොඩනගන්න විශාල වැඩකොටසක් කරන්න පුළුවන්. ළමා ක්‍රියාකාරී විරයෝ ළමා සංවිධානයේ දරුවන් තුළ ප්‍රගුණ කළ යුතු පස්වන ගුණාංගය විදියට සලන්නෙ ‘‘තමා අදහන දහමට ළැදි, දහම තුළ ජීවත්වන අන් ආගම්වලට ද ගරු කරන කෙනෙක්‘‘, මේ ගුණය දහම් අධ්‍යාපනය හරහා දරුවන් තුළට කාන්දු කළ හැකි නම් අගෙයි.



ළමුන් සඳහාම වැඩ කරන සංවිධාන, සමාජ සේවා ආයතන මේ මොහොතේ වඩාත් වගකීම් සහගතව මෙම අර්බුදකාරී අවස්ථාව හඳුනාගෙන, දරුවන් වෙනුවෙන් වැඩසසටහන් සැලසුම් කළ යුතු වෙනවා.

පවුල තුළ වැඩිහිටියන් ලෙස අප ඉතාම වගකීමෙන් අපගේ සිතුවිලි, වචන, ක්‍රියාවන් හසුරුවා ගත යුතුයි. දරුවන් ජීවිතයේ අයනු ආයනු ඉගෙනගන්නෙ අපෙන්. අප තුළ වන්නේ වර්ගවාදී, ජාතිවාදී සිතුවිලි නම්, අප නිතරම කතා බහ කරන්නේ එවැනි මාතෘකා නම්, අප ක්‍රියා කරන්නේ අනෙකා පිටුදැකීමට නම් අපේ දරුවන්ද ඒ මග ගැනීම වැළැක්වීමට නොහැකි වනු ඇති.

ඒ නිසාම දරුවන් ඉදිරියේ වගකීම් සහගත මිනිසුන් ලෙස, පුරවැසියන් ලෙස හැසිරෙමු. මිනිසුන් ලෙස එකිනෙකාට ආදරයෙන්, ගෞරවයෙන් සලකමු. සෑම ආගමකම, ජාතියකම මිනිසුන් සමඟ වැඩකරන්නට දරුවන් සමඟම එක්වෙමු.

දරුවන් සමඟම සාමය, සංහිඳියාව ගොඩනගන ක්‍රියාකාරකම්වලට යොමු වෙමු. නිවස තුළ එවැනි සාහිත්‍ය කලා නිර්මාණ ඇසුරු කරමු. පොත් කියවමු. ගීත අසමු.

දරුවන් සම්බන්ධයෙන් අපට කළ හැකි තවත් දේ ඔබත් යෝජනා කරන්න.


Thursday, May 16, 2019

කදිරගෙ තාච්චිය



අන්තර්ජාලයෙනි.

කදිර කියද්දි කට්ටියට මතක් වෙනවා ඇත්තෙ මුවන්පැලැස්සෙ කදිරව. පුංචි කාලෙ මුවන්පැලැස්ස අහද්දි මමත් කදිර කියල හිතින් මවා ගත්තෙ කදිරව තමයි. කදිරා කිව්වෙ ඇත්ත කදිරා. අපේ ගමේ උන්නු කදිරා.

කදිර කළේ පොල් කඩන රස්සාව. ගස් නැගල නෙවෙයි. අර දිග උණ කෙකිවලින්. කදිරත් උණ කෙක්කක් තරම් උස, මාර ගහක් වගේ සද්දන්ත මනුස්සයෙක්. උණ කෙකි දෙකක් උරිස්සේ තියාගන ගාණට බැලන්ස් කරගෙන පාරෙ යන කදිරා ඒ කාලෙ සුලබ දසුනක්. මං මේ ඒ කාලෙ කියන්නෙ අසූ ගණන්වල. මං එතකොට පුංචියි.

අපිට ඒ කාලෙ කඩයක් තිබුණා. කඩයක් කිව්වට ඒක මේ ගෙට ඉස්සරහින් පැළැල්ලක් අමට්ටලා හදපු පොඩි සිල්ලර කඩයක්. සීනි සීය කඩදහි ගොට්ටට කිරල, ගෝණි නූලෙන් බැඳල දෙන කාලෙ. රුපියල් දෙකකට තේ කුඩු ගොට්ට අරන් යන, සන්ලයිට්, ලයිෆ්බෝයි  නූලෙන් කපල බාග සබන් අරන් යන කාලෙ. අපිට නම් සත දහයට නාරං බික් ගන්නත්  පුළුවන් වුණා.

පොල් කඩපුවාම සන්තෝසම් විදියට ලැබෙන පොල් ගෙඩි, තීරු කරපු ලෙලි කෙන්දෙන් ජෝඩු ජෝඩු වෙන්න ගැටගහල උණ කෙක්කට දාගෙන එන කදිරා ඒ ටික අතාරින්නෙ අපේ කඩේ ඉස්සරහින්. පොල් ටික හොළවල බලල ඒව පොල් ගොඩට දාන්නෙ තාත්තා හරි අම්ම හරි.

පොල් සල්ලිවලින් බීඩියක් අරන් පත්තුකරන්, තවත් බීඩි මිටියක් ඉණේ සරම් මඩිස්සලේ ගහන් ඕපදූපත් කතා කර කර ඉඳල තමයි කදිර යන්නෙ. ඒ යන්නෙත් ගෙදර නෙවෙයි, කසිප්පු තිප්පලට. ඉන්පස්සෙ ගෙදර. බෙග් මාස්ටර්ගෙ බුදු ගුණ ගීයක් කියාගෙන ගෙදර යන කොට උණ කෙකි කරේ නෑ. ඒව ඉතින් කොහේ කොහේ හරි. පහුවදාට තමයි හොයාගන්නෙ.

කදිරා සමහරදාට තැඹිලි හරි කුරුම්බා හරි අරන් එනවා. ඒව දෙන්නෙ නොමිලේ. ‘‘ආ මෙන්න බබාලට කුරුම්බා ගෙනාවා‘‘ ඒ බබාල කිව්වෙ අපිට. ඉණේ ගහන් ඉන්න කෙකි පිහිය ඇදල කුරුම්බා කපල දෙන්නෙත් කදිරමයි. කුරුම්බා ලෙල්ලෙන් පැත්තක් ගහල හැන්දක් හදල අතට දීලා, ගෙඩිය දෙකට පලල ළොඳ කන්න අපි ඉදිරියෙන් තියන්නෙත් කදිරමයි. ඒ කොච්චර කොහොම වුණත් අපි කදිරට බයයි.

..............

මේක කදිර ගැන කතාවක් නෙවෙයි. වෙන කතාවක්.

කදිරල උන්නු පොල් අතු ගෙවල් ටික තිබුණෙ වෙල් යායෙන් මෙපිට. වෙලෙන් එහා පැත්තෙ තිබුණෙ විශාල පොල් වත්තක්. ඒකෙ පොල් කඩන්නත් කදිරල යනවා. ඒ පොල් වත්ත අයිතිව තිබුණෙ දෙමළ මුදලාලි කෙනෙකුට. මට නම මතක නෑ. අපි සුබ්‍රමනියම් කියමුකො. එයාට ටවුමෙ කඩත් තිබුණලු. හොඳ මනුස්සයෙක්ලු. වට පිටාවෙ හිටිය සිංහල මිනිස්සු ගොඩක් ඒ පොල් වත්තෙ වැඩ කළාලු. කදිරල නීත්‍යනුකූලව පොල් කඩනව වගේම හොරාට වෙල මායිමේ තියෙන ගස්වලට නැගල හොර පොලුත් කඩනවලු. එහෙම දවසට පොල් ගේන්නෙ රෑට ගෝනියක දාගෙන.

‘‘මොකෝ ඉතින් මේවයෙ ගහල තියෙනවද හොර පොල් කියල.‘‘ අම්ම සැරට කියන්නෙ පොල් ගෝනි කඩේ මිදුලට ආ දාට.

අසූතුනේ ලොකු කලබලයක් වුණානෙ ලංකාව පුරාම. ඒ කලබල ගතිය මටත් යාම්තමට වගේ මතකයි. ඇඳිරි නීතිය කියන වචනෙ මං මුලින්ම ඇහුවෙ ඒ දවස්වල. ඇඳිරි නීතිය දැම්මා කිව්වම මං බැලුවා ඇයි කළුවර වුණේ නැත්තෙ කියල. මං හිතුවෙ ඇඳිරි නීතිය කියද්දිම රෑ වෙලා වගේ කළුවර වැටෙයි කියල. ඇත්තටම නම් රටම කට්ට කළුවරක ගිලිලා තිබුණා. ඒක කොච්චර ගණ කළුවරක්ද කියල මං තේරුම් ගත්තෙ ඊටත් ගොඩක් පස්සෙ කාලෙක.

දවසක් රෑ වෙල් යායෙන් එහා පොල්වත්ත මැද ලොකු ගිනි ජාලාවක් පෙනුණා. අපේ ගෙදර අයත් මිදුලට බැහැල බලන් උන්නා.

‘‘දෙමළ වුණාට සුබ්‍රමනියම් මුදලාලි හිත හොඳ මිනිහා. පව්.‘‘

‘‘ඇඳිරි නීතියත් දාලා තියෙද්දි කවුද අප්පා මේ අපරාධ කරන්නෙ.‘‘

‘‘ටවුමෙ කඩ කඩල තියෙන්නෙ පොලිසියත් ඉන්දැද්දිමනෙ.‘‘

එක එක කතා.

‘‘ඒ ගිනිගන්නෙ වත්තෙ බංගලාව ද අම්මෙ?‘‘ මං ඇහුවා.

‘‘යන්ඩ යන්ඩ ගිහින් නිදාගන්න. පොඩි ළමයින්ට ඕන නෑ මේවා. ‘‘ අම්මා කෑ ගැහුවා. අපි ගෙට වුණා. නින්ද ගියාද නැත්ද මන්දා.

රෑ මැද කවුදෝ දොරට ගහනව ඇහුණා. හෙමිහිට දොර ඇරුණා. කසුකුසුවක්. ආයෙමත් මට නින්ද යන්න ඇති.

By Nayanahari Abenayake - 2014 Aluthgama

‘‘මේ හොඳ නොන්ස්ටික් සාස්පානක්.‘‘ උදේ මං කුස්සියට යද්දි  අම්මා අන්ඩ තියෙන අලුත් තාච්චියක් කරකව කරකවා හිටිය මල් මල් හිනාවකින්. තාත්තගෙ මූණ නොරිස්සුමින් කළුවෙලා.

‘‘මං කිව්වා ඕක ගන්ඩ එපා කියල. ගින්දර‘‘ තාත්තා  පුටුවත් පස්සට තල්ලු කරල නැගිට්ටා. කඩේ ඇරලත් නෑ. දෙන්නම උන්නෙ කුස්සියෙ. තාම ඇඳිරී නීතියලු. කඩේ අරින්නෙත් නැහැලු.

‘‘කදිර කිව්වෙ කීයක් හරි කමක් නෑ දෙන්න කියලනෙ. අනික ඉතින් මං ගියායැ ගෙවල් කඩන්න.‘‘

අම්මාත් මූණ පුලුටු කරන් ඇතුළු කුස්සියට වැදුණා.

ඒ සාස්පාන ඊට පස්සෙ බොහෝ කාලයක් තාච්චියක අඩුව පිරිමහිමින් අපේ දර ලිප්වල දුම් ගැහි ගැහී බිත්තර බැද්දා. කරවල තෙල් දැම්මා.

අර පොල් වත්ත සිංහල මුදලාලි කෙනෙක් අරන් තිබුණා. කුණුකොල්ලෙට කියල තමයි මිනිස්සු කිව්වෙ. සුබ්‍රමනියම් මුදලාලි පවුල පිටින්ම ඉන්දියාවට ගියාලු. දැන් ඒ පොල් වත්ත නෑ. තියෙන්නෙ ‘සිරිපුර‘. කෑලි කෑලි කඩල විකුණපු සිරිපුරක්...

By Nayanahai Abenayake - 2014 Aluthgama

දැන් කිව්වෙ මේ 2019ට. මාත් ගමේ නෑ. ඉන්නෙ ස්විස්ටර්ලන්තෙ.

පාස්කු ඉරිදා බෝම්බ පිපුරුණා කියද්දි මගෙ හිතත් පිපුරුණා දැන් මං පල්ලි යන්නෙ නැති වුණත්, හිත පත්තුවුණා. ස්විස්ටර්ලන්තෙ උන්නත් ඉතින් තාම හිතේ සිංහල අස්කොන් තියෙනවනෙ. බෝම්බෙ පිපිරිලත් දවස් ගාණකට පස්සෙ ටවුමෙ මුස්ලිම් කඩවලට ගැහුව කියද්දි මට මතක් වුනේ සුබ්‍රමනියම් මුදලාලිව.

‘‘ඔච්චර දේපළක් තිබුණ මිනිස්සු, දන්න කියන කාලෙ ඉඳල උන්නු ටවුම. ඒත් අන්තිමේ ඒ මිනිස්සුන්ට ඇඳිවත පිටින් ඉන්දියාවට යන්න උණේ.‘‘

කොටුවෙ බෝම්බෙට අහුවුණු මහප්පව බලල ගෙදර ආපු දවසක තාත්තා කියපු දිග කතාවක් ඇතුළෙ සුබ්‍රමනියම් මුදලාලිත් උන්නා.  සුබ්‍රමනියම් මුදලාලිගෙ ගේ කැඩුවෙ, ගිනි තිව්වෙ කදිරල ද? සමහරවිට නැතුව ඇති. පිටින් ආව අය වෙන්න ඇති. ඒත් කදිරල ඒ ගේ කොල්ල කෑවා. සමහරවිට ගේ කැඩුවෙත්, ගිනි තිබ්බෙත් උන්ම වෙන්න ඇති. තාමත් මගෙ හිතේ නොවිසඳුණු ගැටලුවක්.

අපේ ගමේ මුස්ලිම් කවුරුත් නෑ. ඒ හින්දා කවුරුත් ගුටිකන්න නැතුවැති. ගහන්න අයත් නෑ. දැන් කදිරලත් මැරිලනෙ. තාත්තා කළින්ම මැරුණු එක හොඳයි මේව නොදකින්න. නැත්නම් එයා හාට් ඇටෑක් හදාගන්නවා. ඒ තරම් කැක්කුමක්නෙ තිබුණෙ දෙමළ, මුස්ලිම්  මිනිස්සු ගැන. ඒ දවස්වල අපේ කඩේට බඩු ගත්ත කඩ වැඩිහරියක් මුස්ලිම්. බයිසිකලේ පිටිපස්සෙ බැන්ද ලෑලි පෙට්ටිය පුරවල ගෙනාපු තරමක් බඩු ගෙනාවෙ ණයට.

අර තාච්චිය ! ඒක මට තාම මතකයි. අපේ ටවුමෙ මුස්ලිම් කඩවලට ගහල ගිනි තිව්වා කියද්දි මගේ හිත තාමත් ඒ තාච්චියට ඇලිල නේද කියල මට හිතුණා .

මාවිල්ආරුවෙ ඉඳන් ගහගෙන, ගහගෙන යද්දි වගේම, 2009 යුද්දෙ ඉවර වෙලා කිරිබත් දන්සැල් දෙද්දිත්, ඇමරිකාවෙ පෙන්ටගනයට ගැව්වමත්, ඇෆ්ගනිස්තානෙට සිරියාවට බෝම්බ දාද්දිත් මගේ හිත බිත්තරයක් වගේ අර තාච්චියෙ බැදෙනවා. බැදි බැදී පිච්චෙනවා.  

අවුරුදු ගාණකට පස්සෙ අගහිග බෝ වෙලා කඩෙත් වැහිලා අම්මා ඩුබායි යන්න සැලසුම් සකස් කර කර උන්නා. එතකොට මං පහවසරෙ. අසූ අටේ. සැරින් සැරේ ක‍ඩේ වහන්න වුණා කාලයක්ම. ණය පොත පිරිල, පිරිල ඒ වගේ පොත් දෙකතුනක්ම කඩේ ලාච්චුවෙ තිබුණා. අන්තිමට කඩ ලෑලි කවදාවත්ම නොඇරෙන තැනට ආවා. ඒකෙන් මුළු ගේ පුරාම මුළු දවසම මැකී නොයන අඳුරක් බෝ වෙලා තිබුණා.

අම්මගෙ රට ගමන ගැන තාත්තගෙ ඒ හැටි මනාපයක් තියෙන පාටක් පෙනුණෙ නෑ. ‘ගෑනු රට පටවල හම්බකරන් කන්න මට ඕන නෑ.‘ තාත්තා කිව්වෙ එහෙම. ‘හැමදාම මෙහෙම දුක් විඳින්න බෑ. අවුරුදු දෙකකට ගිහින් ආවනම් ඇති.‘ අම්මා කිව්වෙ එහෙම.

කන්න තිබුණු බත් පිඟානෙ අඩුවක් පුරවන්න මං උන්නෙ බිත්තරයක් බදින්න ලෑස්තියෙන්. අර තාච්චුවම තමයි ලිපේ තියල තිබුණෙ.

ලිප පත්තුකරන්න ගිනිකූර ගැහුව විතරයි ගිනි පෙට්ටියම මගෙ අතේ පත්තු වුණා. මං කෑ ගැහුවා. අම්මයි, තාත්තයි දෙන්නම දුවල ආවෙ තරඟෙට.

‘‘ආයෙමත් ඔය රට යන කතා ඕනෙ නෑ. පේනවනෙ කරගත්ත දේ‘‘ 

යක්ස කේන්ති ගිහින් උන්නු තාත්තා අර තාච්චිය අරන් මිදුලට විසි කරා.
එදා තාච්චියෙ අඬුව කැඩුණා. ඒක ආපහු කුස්සියට ආවෙ නෑ. ගිනි පෙට්ටියම අතේ ඇවිලිලා පිච්චුණු ඒ කැලල තාමත් මගෙ වම් අතේ තියෙනවා.

By Nayanahari Abenayake




Thursday, May 9, 2019

අලුත් දහමක් සෙවිය යුතු වේ අප



ආගම වෙනුවෙන් ඔබට හැකි නම්
මරා දමන්නට මිනිසුන්
අතුරුදන් කොට දමන්නට
සිරගත කරන්නට හෝ
කොන් කරදමන්නට
කුමකට ද එවන් ආගමක්...

ධර්මයක් වේ නම් ලොව
මනුෂ්‍යත්වය උත්තරීතර බවට
නංවනු මිස,
යම ලොව මැවිය යුතු වෙද මිහිපිට
කුමකටද එවන් ආගම්
පන්සල්, පල්ලි, කෝවිල්...

මුදුනත් දී වඳින දෑතින්ම
සිර කළ හැකි නම් ගෙල
මිනිසකුගේ
කුමකට ද එවන් වැඳුමක්, පිදුමක්
ඇදහුමක්...

එපා ඉතින් මට ඔබේ ඔය ඇදහිල්ල
ජීවිතයට වඩා ජාතිය, ආගම උතුම් වූ
මනුෂ්‍යත්වයට වඩා නීතිය උසස් වූ
ප්‍රේමයට වඩා වෛරයට ආ වැඩූ...

අලුත් දහමක් සෙවිය යුතු වේ අප
මිනිසුන් ලෙස හුස්ම ගන්නට
ඉඩක් සාදන මිනිස් දහමක්
ඇදහුමක් නොවන අලුත් දහමක්...




Friday, May 3, 2019

-පොදු සිහිනය තනිව දැකීම හෙවත් අප්පච්චිගේ ඛේදය-



නාමල් ජයසිංහයන් ලියූ සටහනකි.

"තත්ත්වයන් නැවත ගොඩ නැගිය නො හැකි ලෙස කඩා බිම පතිත මොහොතකදී පවා නැවත ගොඩ නැගිය හැකිය" යන විශ්වාසය ද සිහිනයක්ව අවසන් වු වකවානුවක, නැවත සිහිනය හා යථාව පටලවාගෙන ඇය ආවා ය.

දෑස් හැර අවට බලන කල, මට නො තිබු පොත් රාක්කය, මම මගේ දුවට තනා දෙමි. ඒ පොත් පිටු අතරේ ඇත්තේ ජිවිතයේ අඳුරු අහුමුළුවල වූ ක්ෂුද්‍ර ආලෝකය කෙරේ විශ්වාසය තැබූ අතීත මිනිසුන්ගේ දා ලේ වැකුණු ප්‍රයත්නයන් බව ඇයට වටහා දිය යුතු ය.

ඇගේ මේ වයසේදි මා නො ඇසූ සංගීතය මම මගේ දුවට අසන්නට සලස්වමි. සිය අභ්‍යන්තරික කැකෑරීම් හා ප්‍රමෝදයන් ස්වර කිහිපයක් මත ඇණ ගසා ගොඩනැගූ සංධ්වනිවලින් ඇයව ප්‍රහර්ෂයට පත් කරමි. ප්‍රමෝදය සේ ම ඛේදයන් ජීවිතයට ආශිර්වාදය ගෙන පැමිණෙන අඳුරේ පණිවිඩකරු බව ඉන් ඈ වටහා ගන්නවා ඇත.

මම මගේ දුවට සෘතුන්හි වෙනස කියා දෙමි. වස්සානයේ වැසි දියෙන් බරිත වන්නටත්, ගිම්හාන දාහයෙන් දැවෙන්නටත් සලස්වමි. එවිට ඈ දිනෙක, ජිවිතයේ සෘතුන්හි නියත ගලායාම වටහා ගන්නවා ඇත.

මම මගේ දුවට මම දන්නා ඉංග්‍රීසි වචන කිහිපය උගන්වමි. අතීත ද්විභාෂික මුගධයින්ගේ උවමනාවට ඒකභාෂික වු අපේ පරම්පරාව මෙන්, ඉංග්‍රීසි වචනයක් ඇසුණු සැණින් උන්හිටි තැන් අමතක කරවන විකල් බවෙහි ස්වයං වහලා ඇයට හමුනොවනු ඇත.

මම මගේ දුව වෙනුවෙන් උපයා වත්කමක් ඉතිරි කරමි. එවිට ඇයට, සිය අප්පචිචී මෙන් "යායුතු මානය පෙන්වා ඉතිහාසය බල කරද්දිත්", එදිනෙදා සිල්ලර ඉදිරියේ දීනව සිය අභිලාශයන් දවා හළු කර ගන්නට සිදූ නොවනු ඇත.

මම මගේ දුව ඉදිරියේ නොසඟවා ඇඳුම් උනා දමමි. හඳිමි. එවිට ඇය ශරීරය යනු ජීවිතයේ එකම ආශ්චර්යය, විශ්මය හෝ ස්වර්ගයේ දොරටුව ලෙස මා මෙන් වරදවා නොගන්නවා ඇත.

මම මගේ දුවට අවංක වෙමි. ඇගේ මව හා මගේ වූ ප්‍රේමය, පෙනුණු තරම් අවංකව පවත්වා ගත නොහැකි වූ වරදකාරී පශ්චාත්තාපය නො සඟවා පවසමි. ඉන් ඈ මා පරමාදර්ශී ලෙස වරදවා වටහා නො ගන්නවා සේම, ඇගේ නිසි කලදී පරමාදර්ශි ජිවිත සොයන නිරර්ථක තෙහෙට්ටුවෙන් කෙඩෙත්තු නොවනවා ඇත.

මම මගේ දුවට සියලු ආගමික ශාස්තෘවරුන් ගැන උගන්වමි. සියලූ ශාස්තෘවරුන්ගෙන් පසුව ආගම සේවය කළේ 'ආධ්‍යාත්මයට නොව රාජ්‍යයට' බැව් ඇයට වටහා දෙමි. එසේම නැවත උත්පත්තිය හා ස්වර්ගය, යන හිතළු මුලාවෙන් ඇයව ගලවා ගමි. එවිට ඇය අප මෙන් ඒ වෙනුවෙන් කරන පාප-පාරමී පුජාවන් ගෙන් මිදී, සිය අනෙකා නොරිදා තම ආත්මය සනහා ගන්නා ආගම තමන්ම තනා ගන්නවා ඇත.

මම මගේ දුවට පාර්ලිමේන්තුව හා උසාවිය ගැන උගන්වමි. ඒවා පිටත සමාජයේ ප්‍රතිබිමිබ බව ඇයට එත්තු ගන්වමි. එවිට ඇය, අප මෙන් පිටත සමාජයට වඩා යහපත් පාර්ලිමේන්තුවක්, උසාවියක් බලාපොරොත්තු වන්නට තරම් අදේශපාලනික නොවනු ඇත.


මම මගේ දුවව දණ්ඩනයට ලක් කරමි. රළු උස් හඬින් බැණ වදිමි. ඇගේ මෘදු දෑස්හි උතුරන කඳුළු කෙරේ මගේ තුන් සිතක සතුටක් නැති වුවත් "රළු පරළු ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලය" ඈ හඳුනා ගනු ඇත. මෘදූ බවෙහි හා ආදරයේ ආශ්චර්යය වඩා හොඳින් තේරුම් ගනු ඇත.

ඇය කුමන වරදක් කලද, මම ඇය වෙනුවෙන් සිටින බව මම මගේ දූවට පවසමි. ඈ මගේ නිර්මිතය නිසා, ඇගේ වරදෙහි දණ්ඩනය මට හිමි බැව් ඇයට පවසමි. එවිට ඇය, "පව් නොකළ ශිෂ්ටයින්" ගල් ගසද්දී මා ඇයව මුවා කරගන්නා බැව් දන්නා නිසා, කනේරු ඇට, කෘමිනාශක හෝ ටයිපටි ගැන සිතන්නට වධ නො වනු ඇත.

ඇගේ නැදෑ සමූහයා ගැන මම මගේ දුවට කියා දෙමි. මේ සුවඳ හමන මල්, අර ඈත පියඹන කුරුල්ලන්, මේ ඇවිද යන තරුණයා, අර තෝසේ කඩේ වෙහෙසෙන සහෝදරයා ඇගේ නෑදෑයින් බැව් මම ඇයට පවසමි. එවිට ඇය අප මෙන් සිය නෑදෑයින්ගේ වියෝවකදි ප්‍රමෝද-සැණකෙළි නොපවත්වනවා ඇත.

අවැසි විටෙක තමන් තුළ ම ඝෝෂාකාරී වීමටත්, තවත් විටෙක සියලු ඝෝෂා මැද සමාධිගත වීමටත් මම ඇයට උගන්වමි.

විටෙක පැහැදිලි අහස මෙන් සියලු හැඟීම් විහිදාපාන්නටත්, විටෙක ගැඹුරු සයුර මෙන් සියලු රහස් පතුලෙහි ම සඟවා ගන්නටත් මම ඇයට උගන්වමි.

අවසානයේ........!!!

ඉතිහාසයේ පටන් ම අන්කිසිවකට නොව සිය හෘදසාක්ෂියට පමණක් එකඟ වූ මිනිසුන්ට, සිය මිනීවල සියතින් ම හාරාගැනීමට සිදූ වූ බව මමද දනිතත්, අකමැත්තෙන් වුව මම මගේ දූවට හෘදසාක්ෂිය ගැන උගන්වමි.

තව මොනවද මට කළ හැක්කේ....?

මම මගේ දෑස් ගෙවෙන තුරු ඈ දෙස බලා සිටිමි. සියල්ල පූර්ණය. සුදානම් ය.

අහස් කුස පා වූ පිහාටුවක සැහැල්ලූවත්, පෘථිවියෙහි බරත් එක වර දරා සිටින "අරුම පුදුම කැරලිකාර දැරිය" දැන් මා සතුය.

ධනුර්ධයාණෝ..., සිය ආත්මයේ ම ශක්තිය හා ප්‍රාර්ථනය තම හිත මත තැන්පත් කර අවකාශයට මුදාහරින්නාක් මෙන් මම ඇයව මුදාහරිමි. දැන් මේ සිහිනය තුළ ම තෘප්තියේ ආහ්ලාදය සමග නිද්‍රාවට....... සිතන්නටත් පෙර මට නින්ද ගොස්ය.
.........................................................

දොරට තට්ටු කරන හඬ ......

සිහිනයත් යථාවත් පැටලෙමින් මම දොර හරිමි. මුදාහැර හෝරාවක් ගෙවෙන්නටත් පෙර මගේ දුව මා සොයා පැමිණ ඇත. සිය ආත්මයේ සියලු දිය උල්පත් සිඳීගියෙකු සේ මගේ දුව මා දෙස බලා සිටී. කඳුළු වස්සන දෑස් චෝදනා වගුරන සුළු වුවද, බිඳුණු අභ්‍යන්තරික වෙව්ලිල්ලක් සමඟ ඇය මට කතා කරයි.

"අප්පච්චි....... මම තනියම...!!! ඔයා හදපු ලෝකෙ ඉන්නේ මම විතරද ...?"

මම සිහිනයෙන් ඇහැරෙමි. පොදුවේ දැකිය යුතු සිහිනය තනිව දැකීමේ ඛේදය සමඟ ඇහැරෙමි. මම දැන් කුමක් කරන්නද.......? මම මගේ ම දියණිය මුලාකිරීමේ සාපරාධය කර ඇත්තෙමි.

ඇය කොතරම් සොඳුරු දැරියක්ව වැඩී ඇත්දයත්, කඳුළු උතුරන දෑසින් හිස් අහස දෙස බලා නිහඬව සියලු වේදනා සිය ගැඹුරේ ම සඟවා ගනිමින් සිටී.

දැන් සියල්ලටම මම ප්‍රමාද වැඩිය. නමුත් ඇගේ ඛේදයේ කඳුළු අමුණා තැනූ කටු ඔටුන්න පැළැඳ ස්වයං කුරුසගත වීමකට තවමත් මම ප්‍රමාද නැත.

පොදුවේ දැකිය යුතු සිහිනය තනිව දැකීමේ ඛේදය සමඟ මිය යාමට තවමත් ප්‍රමාද නැත.