පිටු

Showing posts with label සමනල පියාපතක පිනි බිඳුවක්. Show all posts
Showing posts with label සමනල පියාපතක පිනි බිඳුවක්. Show all posts

Thursday, December 5, 2013

සමනල පියාපතක පිනි බින්දුවක් 06


‘‘මොනාටද අයියෝ පාලකයො වෙනුවෙන් ඕපදූප හොයන්නයි, අහිංසකයො පස්සෙ පන්නන්නයි උසස්වීමක්.... මදිද මේ තරම් කල් දුක් වින්ඳා.. දැන් ඔය ඉන්න විදියට ඉඳල පෙන්ෂන් අරන් හෙමිහිට අයින් වෙන්න...”

ජීවිතේ කඩඉම් ප්‍රශ්නයකට උත්තරයක් බලාපොරොත්තුවෙන් කලකට පසු දෙනෙත් උත්තරා ඇමතු විටෙක ඇය උත්තර බැන්දේ එලෙසිනි.

‘‘ඒ කතාවත් ඇත්ත? මටත් ඇති වෙලා.. තේරුමක් නෑ.. ” 

දෙනෙත් ඇගේ උත්තරය අදහා ගත් සෙයකි. පිළිතුර සමග ම සුසුමකි. උදම් අනන සුවිසල් ජයග්‍රහණයක් කෙළවර ශුන්‍ය වූ හැඟීමක් පමණම ද ශේෂය. තමන්ට තමන්ම අහිමි වන තරමට යුද්ධය හා බැඳී සිටි සොල්දාදුවෙකි ඔහු.

කතා නොකරන්නෙමැයි කොතෙකුත් සිතා සිටිය ද ඔහුගේ ඇමතුමකට පිටු පෑ නොහැකි සියුම් හුයක් නොබිඳී තවමත් ශේෂව ඇතැයි ඇය සිතන්නේ විස්මයෙනි.

‘‘මට මේ වගේ දෙයක් කතා කරන්න වෙන කවුරුවත් නෑ..” එසේ කියන විටක ඉතින් නොරිස්සුම් වන්නේ කෙලෙසින්ද?

සතියකට දෙකකට පසු නැවතත් දෙනෙත්ගෙන් ඇමතුමකි.

‘‘මම ලොක්කව මුණ ගැහිලා කිව්වා මට මේ පත්වීම භාර ගන්න බෑ කියල... අකමැත්තෙන් මේ ව‍ගේ වැඩක් කරන්න බෑ..  එහෙමනම් අකමැතියි කියල ලියුමක් දෙන්න කිව්වා... ඉතින් මම ලියුමක් දීල ආවා.. ” 
උත්තරාට පුදුම සිතුණි.... ඈ කීවේ සිතට ආ දෙයකි. එය ඔහුගේ වෘත්තීමය ජීවිතයට කෙසේ බලපානු ඇත්දැයි ඈ දුරදිග සිතා බලා නොතිබිණි. ඇගේ මතය  ජයග්‍රහණය කරවන්නට ඔහු සිතුවේ ඇයි?

''තවමත් මා ඔබේ සීනියර් ඇඩ්වයිසර් ද? ...'' එසේ අසන්නට පොපියන සිත ඇය වෑයමෙන් සඟවා ගත්තාය.

වත්මන හීතලට හිත මත මිදෙමින් පවතී. අතීත රසබර මතකයක උණුහුමින් හිත හිනා ගැස්විය හැකිනම් කදිම ය. ඉදින් උත්තරා ‘‘යකඩ සපත්තුවා” සොයා අතීත සක්මනකට පාවඩ එළන්නීය.

.........................................
යකඩ සපත්තුවා..

උත්තරා නින්දෙන් පිබිදුණේ තිගැස්මෙනි. ඈ මෙතෙක් හිස තබා සුවසේ නිදා උන්නේ නන්නාඳුනන පිරිමි උරහිසක බව වැටහෙන විට දැණුනු අසරණ බව වදනින් විස්තර කළ නොහැක. බස් රථය සිසාරා පැතිර ගිය ගී හඬ මැඩගෙන නැගුණු යෙහෙළියන්ගේ හිනා හඬ දෙසවන පැටළුණේ සිත කේන්තියෙන් පුරවමිනි. ඇය නිලුපුලී දෙස බලා රැව්වාය. උත්තරා නින්දට වැටෙන විට අසුනේ කෙළවර උන්නේ නිලුපුලී ය. ඈ කොයි මොහොතේ නැගී සිටියාද, නාඳුනන ජ්‍යෙෂ්ඨ උත්තමයා කොයි මොහොතේ එහි වාඩි වූවා ද උත්තරා දන්නේ නැත.

‘‘සොරි..”

‘‘ආ....... ඒකට කමක් නෑ..” නිදිබර දෑසින් ඔහු හිනැහුණේය.

පාන්දර පහත් පසු වී ඇත. දැන් බස් රථය සරසවියට ආසන්න වෙමින් පවතින බව වටින් පිටින් පෙනෙන මං සලකුණුවලින් ඇය වටහා ගත්තාය. සරසවි පැමිණ නවක වධ සමයේම ඔවුන්ට වලස්මුල්ල ප්‍රදේශයේ මළ ගෙදරක යන්නට සිදු වූයේ නේවාසික යෙහෙළියකගේ පියාගේ මළගම වෙනුවෙනි. අලුත් නැවෙන් ගොඩ යන බලාපොරොත්තුවෙන් මෙවැනි ගමන්බිමන්වලට ස්වකැමැත්තෙන්ම බොහෝ ජ්‍යේෂ්ඨ උත්තමයන් සම්බන්ධ වන බව උත්තරා දැන ගත්තේද මේ ගමනින් පසුව ය. තෙල් බැම්ම මත නැංගුරම් ලාගෙන නවකයින් වාත කරන, තෙල බෙදන, දුෂ්ට බැලුම් හෙලන ජ්‍යෙෂ්ට උත්තමයන් අතුරුදහන් වී තිබිණි. සිටියේ ප්‍රේමණීය සහෝදරත්වය උතුරා පිටාර ගලන වැඩිහිටි සහෝදරයන් සමූහයකි. ජ්‍යෙෂ්ඨ උත්තමාවියන් නම් සිටියේ  නේවාසිකයේ ගජේට එක් වූ පිරිසෙනුත් කිහිප දෙනෙක් පමණි. අන් සියල්ලෝ නවකයෝය.

තෙල් බැම්ම අසල නවත්වන ලද බසයෙන් අවමංගල නඩය බැස ගන්නා විට උදෑසන අරුණැල්ලද ඉඟි බිඟි පාමින් තිබිණි.

‘‘අන්න උඹට උරිස්ස දන්දුන්න ශ්‍රද්ධාවන්තයා බලන් ඉන්නවා.. තැන්කියු කියල වරෙන්..” නිලුපුලී සිනා පිටවනු වළකන්නට අසීරු වෑයමක ය.

‘‘පිස්සු..” උත්තරා කේන්තියෙන් පැවසුවද ආපසු හැරී නොබලා ඉන්නට නොහැකි විය. සැබවින්ම ඔහු බලාගත්වනම ය. සුව නින්දකට උරතලය පරිත්‍යාග කළ මිනිසෙකුට සිනාවකින්වත් කෘතගුණ නොසැලකීම අමනුස්සකමකි. එකී සිතුවිල්ල ම ඈ මුවගට ගෙන දුන්නේ සිනාවකි.

‘‘ආව් ආව් කෙල්ල ගොඩ ගියා... ” ඒ තවත් යෙහෙළියකි.

‘‘අනෙ අම්මේ ගෝරිල්ලෙකුට රිලා පැටියෙක් ජෝඩු කළා නම් ඔයිට වඩා අපූරුවට තියෙයි. ” උත්තරා කීවේ ඒ සද්දන්ත රූපකාය පිළිබඳව ඇති වූ තිගැස්මෙනි.

ඔහු යකඩ සපත්තුවා වූයේ කෙසේද? උත්තරාගේ සිත අතීතයට දිවෙයි. දිනෙක ඔවුන් දේශන නිම වී පැමිණෙන විට තවත් පිරිසක් සමග ඔහු ඉදිරියෙන් යමින් උන්නේය. පැළඳි සපත්තු යුවලේ පිටුපස රිදී පැහැති පිත්තල පටි දෙකක් විය. ඒ මන්දැයි උත්තරා දන්නේ නැත. 

''අන්න මිනිහ යකඩ පටිකාරයෙක්..'' බෞතිස්මය සියල්ලටම කට ඉස්සර කර ගන්නා නිලුපුලීගෙනි. ඒ පිත්තල පටි සහිත පාවැස්ම නිසා එදා සිට  ඔහු අප අතර හැදින්වුණේ යකඩ පටිකාරයා, යකඩ සපත්තුවා  නමිනි. ඒ බව නොදත් ඔහු දිනපතා පැළදියේ ද ඒ සපත්තු කුට්ටමම ය.

ඉඳ හිට තෙල් බැම්ම මත සිට නෙතට නෙත මුණ ගැසුණු බැල්මක්, යෙහෙළියන්ගේ කවට වදනක් හැරුණු විට එය දුරදිග ගිය කතාවක් වූයේ නැත. අසංග සූරියබණ්ඩාර සිටියේ හදවතම අරක් ගෙන ය. ඉදින් ගෝරිල්ලෙකුට වෙට්ටු දමන්නට හදවතක් ඉතිරිව තිබුණේ නැත.

සරසවියේ පළමු වසර ගෙවී යමින් තිබිණි. සිදු වූ එකම වෙනස නිවසේ ලිපිනය වෙනුවට නේවාසිකයේ ලිපිනය අසංග අතපත් වීමත්, අම්මාගේ මැදිහත්වීමකින් තොරව මුලින්ම ලිපිය විවර කරන්නට උත්තරාට අවසර ලැබීමත් ය. ඉදින් දිනෙන් දින... හසුනෙන් හසුන දෙහදක් යා වෙමින් තිබිණ.

දෙවන වසර ආරම්භයේ අළුත් සිසු පිරිස පිළිගන්නට ළහි ළහියේ සූදානම් වන කාණ්ඩයට උත්තරා මැදි වූයේ නොදැනුවත්වම ය. සරසවි බිම තුළම නේවාසිකව සිටීමත් කවියට සහ සිත්තමට ඇති ඇල්මත් නවක නම්නීකරණ වැඩසටහනේ සංවිධාන කටයුතුවලට සම්බන්ධ වන්නට සුදුසුකම් වී තිබිණි. ඇය නම් නවක වධයක් කියා දෙයකට මුහුණ දී තිබුණේම නැති තරම්ය. 

උත්තරා සරසවි කන්ද නැග ආයේ කවිමල් යායක් මැදිනි. ගුරු ගීතයේ දුයිෂෙන් ‘‘වසන්තය ළග එනවා සත්තයි” කියමින් උන්නේය. රත්න ශ්‍රී, පරාක්‍රම කොඩිතුවක්කු වැන්නවුන්ගේ කාව්‍යමය චින්තාවලී උදා අරුණලු සේ මග දෙපස ආලෝකමත් කළේය. නවක පිරිස පිළිගන්නට ගීතමය සන්ධ්‍යාවන්, දේශන, නාට්‍ය ආදී වූ රසබර අත්දැකීම් පෙළ ගැසී තිබිණි. නවක වධය ගැන හිත මත පැටවී තිබූ මහා බර දින කීපයකින්ම වියැකිණි.

ඉදින් අළුත් නැව පිළිගන්නට එවැනිම සුන්දර අත්දැකීම් ගොන්නක් මහා ශිෂ්‍ය සංගමය හා දෙවෙනි වසර සිසුන්ගේ දායකත්වයෙන් සූදානම් වෙමින් තිබිණි. සිත්තමක වර්ණ තවරන්නට, කවියකට වදන් ගොනු කරන්නට උත්තරා ද සම්මාදම් වූවාය. එකී කාර්යබහුල දින කිහිපයේ ඔවුන් නැවතී සිටි‍යේ සරසවි බිමෙන් දුර බැහැර වූ නේවාසිකාගාරයක ය. සැන්දෑ වූ දිනවල නේවාසිකය දක්වා යුවතියන් ගේ පරිස්සමට ආ තරුණ නඩයේ යකඩ පටිකාරයා ද විය.

''පව් බං... හැමදාම ගෙනත් අරින්න එනවා... වචනයක්වත් කතා කරපං.." නිලුපුලී කීවේ වරක් දෙවරක් නම් නොවේ.

'' මං එන්න කිව්ව ද? අනික මං නිසාම එනව කියල කියන්නෙ කොහොමද?''

''ඉතින්, කතා කළාම ගෙවෙනවද?''

''නෑ........ බලාපොරොත්තු ඇති වෙනවා. බලපං දකිද්දිත් බය හිතෙනවනේ...''

'' ඒ වුණාට හරි සීරියස් පාටයි... කවදාවත් කෙල්ලෙක් එක්ක කතා කරනවවත් දැකල නෑ..''

''ඒකම තමයි වැඩියම බය..'' උත්තරා හිනැහුණේ කට කොණිනි.

කරුවලේම අත කොනිත්තා නිලුපුලී කට වසා ගත්තාය.

ශිෂ්‍ය සංගම් කාර්යාලය පිහිටා තිබුණේ ප්‍රධාන ආපන ශාලාවේ කෙළවරක වූ උඩු මහළේය. නවකයින් පිළිගැනීමේ උත්සව මාලාවට ප්‍රදර්ශන පුවරු සදහා කවි පබඳිමින්, කවි තෝරමින්, සිත්තම් අඳිමින් සිටි එක් දිනක පහත මාලය දෙසින් ඇසුණේ මහා ගාලගෝට්ටියකි. ශිෂ්‍ය සහයෝගිතා ව්‍යාපාරයේ සිසුන් ශිෂ්‍ය සංගම් කාර්යාලය වටලා තිබිණි. ආරාවුලේ අගක් මුලක් නොදත් ඉහළ මාලයේ  වැඩවල යෙදී උන් පිරිස නිවාස අඩස්සියට පත් වූහ. ඒ අතර ඉහිළුම් නොදෙන තාරුණ්‍යෙයේ ජවයෙන් මත් වූ පිරිසක් පහළ උන් පිරිස සමග ගැටුමට ආයුධ සොයන්නට වූහ. බියෙන් තැතිගත් කෙල්ලන් රෑන එක පොදියට මුළුගැන්වී උන්හ. ඉහළත් කෑ කෝ ගැසීම් ය. පහළත් කෑ කෝ ගැසීම් ය. කිසිවෙකුත් පසු බසින්නට සූදානමක් නැත.

සිතුවම් පුවරු සඳහා ගෙන ආ රීප්පයක් අතින් ගත් චණ්ඩියෙක් කෝපයෙන් කෑ මොර දෙමින් පහතට බසින්නට සැරසෙමින් සිටියේය. ඔහු නවත්වා ගන්නට කෙල්ලන් රෑනක්ම හතරවටින් එල්ලී පොර බදමින් සිටියහ. ඉහළට ගත් හුස්ම පහළ දමන්නට උත්තරාට අමතක වූයේ ඒ යකඩ සපත්තුවා බව දැකීමෙනි. නිලුපුලී ඇගේ අත මිරිකා ගත් වනම ය. කිහිපදෙනෙකුගේම වැර වෑයමෙන් අත වූ රීප්පය උදුරා ගත හැකි විය. කෝපයෙන් වෙවුලුම් කමින් උන් ඔහු එක්වරම උත්තරා දුටුවේය. එසැණින් ආපසු හැරී අසල කාමරයකට වැදුණේය.

දිගු සුසුමක් හෙලුවේ නිලුපුලී ය.

උත්තරා ඇතුළු පිරිසට පහළ බසින්නට හැකි වූයේ පොලිසිය පැමිණ ආරාවුල සමථයකට පත් කර පැයකට පමණ පසුවය. එතෙක් වේලාම ඔවුහු හතරවටින් වටවූ සිතුවම්, කවි පුවරු මැද තුෂ්ණිම්භුතව නිවාස අඩස්සියේ පසුවූහ.

‘‘මගේ අම්මේ.. ආයෙ නං ඔය යකඩ පටිකාරයා දිහා ඇහැක් ඇරලවත් බලන්න එපා..” නිලුපුලී කීවේ නේවාසිකය කරා ආපසු එමින් සිටියදී ය.

‘‘මං කොහොමටත් බැලුවෙ නෑ.. කට්ටියකටනෙ ඕන වෙලා තිබුණෙ බලවන්න....'' උත්තරා හිනැහුණි. 

'' දැක්කද? කෙල්ලො විසිපහක් විතර එල්ලිලා හිටියා..” නිලුපුලී අවුස්සා දැමීමේ උවමනාව සිත තුළ පෙරළි කරයි.

‘‘ඒ කෙල්ලො විසිපහටම මේච්චල් වුණේ නැති මනුස්සයා එක බැල්මට කාමරේට රිංගුවා පූස් පැටියෙක් වගේ.. මිනිහට ලැජ්ජ හිතුණා... අපිව දැක්කම..” 

මැයි මල් පවා සලිත වන සිනාවකි.

ඉන්කලකට පසු ඇහැක් ඇර බලන්නට හෝ ඔහු සැබවින්ම සරසවි බිමේ වූයේ නැත. පොලිස් නිළධාරියකු ලෙස පත්වීම් ලැබ නික්ම ගිය බව දැන ගන්නට ලැබිණි. විභාග සමයන්හිදී නේවාසිකය ඉදිරි පිටින් යනෙනු දුටුවද උත්තරා ඇස නොගැටී ඉන්නට ප්‍රවේසම් වූවා ය. නමුත් සිව්වසර පුරාම ඔහු සරසවියේ සැරිසැරුවේ නම් තනිවම ය.

ඒ දෙනෙත් සමග සියලු සන්නිවේදන සබඳතා බිඳ වැටී තිබුණු කාලයක් බව උත්තරාට මතකය.

................................................

‘‘සියලුම ප්‍රකාශ ලබා දීම අත්හිටුවන්න තීරණය කළා.. ” දෙනෙත් පවසයි.

‘‘ඇයි ?”

‘‘ඔය කතා කරන්නෙ මගේ දුක සැප අහන්න නෙමෙයිනෙ.. ඔයාගෙ කතාවෙ අඩුලුහුඩු පුරව ගන්න..” ඒ නෝක්කාඩුවකි.

‘‘ඔයාට දුකක් නෑ කියල මං දන්නවා.. ඉතින් අමුතුවෙන් දුක සැප හොයන්නෙ මොනාටද?”

‘‘ මගේ සැප ගැන නම් කියල වැඩක් නෑ... අඩුතරමෙ අම්ම තාත්ත නැති වුණ දවසක මට යන්න තැනක්වත් නෑ.. ඔයානං ගේ පොඩ්ඩක්වත් හදා ගත්තා.. අපට අවසර නෑනෙ ඉතින් ඒ ගෙදර එන්න...”

උත්තර බදිනවාට වඩා මුනිවත රැකීම ‍හොද ය. ජීවිත වියමන රටා දමන්නට කියූ ලියූ කොතෙක් නම් වදන් උඩුහුළගට ගසා ගෙන ගොස් ඇත් ද? දුක සැප බෙදාගෙන ළගින් ඉන්නට පැතුම් පිරූ කාලයකුත් තිබුණා නොවේද? ඒ ප්‍රාර්ථනා දුහුවිල්ලක් තරමටවත් මායිම් නොකළේත් ඔහුම නොවේද? 

මේ නිමාවක් දුටු කතාවක් මිස අලුත් ආරම්භයක් ගත යුතු කතාවක් නොවේ. 

‘‘වයසට ගියාම, බලන්න කාත් කවුරුත් නැති වුණොත් එන්න... . හැබැයි දැන් නම් එන්න එපා. අමාරුවෙන් හදා ගත්ත හිතයි, සැනසීමයි නැති කර ගන්න ඕන නෑ මට... ”

උත්තරා කීවේ දැඩි සිතිනි. සිතින්, වචනයෙන් ක්‍රියාවෙන් හෝ අතපසුවීමකින්වත් නැවත හිත මත ගිනි කන්දක් පුපුරනු දකින්නට ඇයට අවැසි නැත. 



මේ ගෙවෙමින් පවතින්නේ ජීවිතයේ ආදරණීයම වසන්තය යි. දෙනෙත්ට වුව ඒ සදහා උරුමකම් කිව නොහැක.





Tuesday, November 26, 2013

සමනල් පියාපතක පිනි බින්දුවක් (05)


සපුමල් සුවඳක් සේ...


‘‘යකඩ සපත්තුවා ගැන ලියන්න කළින් සපුමල් සුවද ගැන ලියන්න ඕන... උත්තරා පවසන්නීය.

‘‘ඇයි?”‍ මම අසමි.

‘‘ඒ මතකෙට මං හරිම ආදරෙයි... නත්තල් හීතල වගේ හරිම සුවදායක හැගීමක් දැනෙන්නෙ. ඒ තරං දේකුත් නෙවෙයි.. ඒ වුණාට සරසවි මතක අතර සුන්දරම මතකයක්...”

..........................

‘‘ කැම්පස් එකේ පළවෙනි අවුරුද්දෙ.. ක්‍රිස්තියානි සංගමයත් එක්ක මගෙ වැඩි ගණුදෙනුවක් තිබුණා. කැම්පස් යන්න කළිනුත් සමාජ වැඩ එක්ක හිටියනෙ.. කොළඹ ආගන්තුක තැනක් උණත් යොවුන් එකතුවෙන් දැන අඳුන ගත්ත අක්කල, අයියල කීප දෙනෙක්ම ඒ වෙද්දි කැම්පස් එකේ හිටිය නිසා ක්‍රිස්ටියන් සොසයිටි එකෙන් ගැළවෙන්නත් බැරි වුණා.. ඕනම කැම්පස් එකකට යන්න ලකුණු තියෙද්දිත් මං කැළණිය අංක එකට තේරුවෙ වෙන මොනවත්ම නිසා නෙවෙයි මාව බලා ගන්න ඔය අයියල අක්කල ටික උන්නු නිසානෙ... මං වගේ පිස්සු කෙල්ලෙක්..

දවසක් ක්‍රිස්තියානි සංගමෙන් ලෑස්ති කළ පූජාවකට යමින් උන්නා මං.. තෙල් බැම්මෙ වාඩි වෙලා හිටියා දන්න අයිය කෙනෙක්... ඒ කාලෙ ශිෂ්‍ය සංගමේ සභාපති. අපේ යොවුන් එකතුවට බැහැලම වැඩ කළ කෙනෙක්.. පස්සෙ එයා විප්ලවකාරයෙක් වෙලා අපේ වැඩවලින් ඈත් උණා...

ඉතින් මං ඇහුවා ‘‘අයියෙ, පූජාවට යන්නෙ නැද්ද?” කියල. 

‘‘පූජාවලට ගියාට වැඩක් නෑ බං.. පූජා වෙන්නෙ නැතිව..” 

ඔන්න දුන්න උත්තරේ. කතාව ඇත්ත. ඒත් ඉතින් එක එක්කෙනාට පූජා වෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනෙ. මං හිතුවා විතරයි. කිව්වෙ නැහැ. ඕක කිව්ව නම් තර්ක කෝටියයි. මං ආස නැහැ වාද කරන්න. මං ආස හිතන්න.. ලියන්න... මගෙ පාඩුවෙ ඉන්න...

පස්සෙ කාලෙක මම ක්‍රිස්ටියන් සොසයිටි එකේ වැඩවලින් ඈත් උණා. මටම තේරුණා එතන පූජා තියනව මිසක පූජා වෙන්න දෙයක් නැති බව.. ඊට වඩා වැඩ එක්ක සම්බන්ධ වෙලා උන්න නිසාද මන්ද මට එතන වැඩවල හරි හිස් ගතියක් දැණුනෙ.

මතක් උණ නිසා කිව්වට  ඔය කතාව සපුමල් සුවඳට කොහෙත්ම සම්බන්ධයක් නෑ.

ඉතින් පළවෙනි අවුරුද්දෙ නත්තල සමරන්න කැරොල් ගී වැඩසටහනක් තමයි සංවිධානය උණේ. කීප සැරයක්ම ප්‍රැක්ටිස් තිබුණා.. එක එක තැන්වල. පැවිලියන් එකේ, ජිම් එකේ, තරුවෙ... තරුව කිව්වෙ තරුවක හැඩේට තිබුණ බිම් කොටසක, තරුවක හැඩේටම මල් වවල තිබුණ නිස්කලංක තැනක්... ගිටාර් එකක්, බොංගෝ එකක්, එකෝඩියන් එකක් තමයි වාද්‍ය භාණ්ඩ උණේ..

එකෝඩියන් එක ප්ලේ කළේ සයන්ස් ෆැකල්ටියෙ අයිය කෙනෙක්... විශේෂයෙන් එයා මතක හිටින්න හේතු කීපයක්ම තිබුණා. එකක් එයා බෞද්ධ.. අනික හැමදාම ඇන්දෙ හම ගිය ඩෙනිමකුයි, නිල් පාට ටී ෂර්ට් එකකුයි.. රබර් සෙරෙප්පු දෙකක් තමයි දැම්මෙ.. දුප්පත්කමටද, ෆැෂන් එකට ද මන්ද? 

බොහොම නිශ්ශබ්ද්දයි. හිනාවක් නැති තරම්... කෙට්ටු තළෙළු නූස් ශරීර කූඩුවක මේ තරම් ගාම්භීර බැල්මක් පිහිටන්නෙ කොහොමද? මට වෙලාවකට පුදුමත් හිතුණා... ඇස්වලින් තමයි කතා.. අනික එකෝඩියන් එක ප්ලේ කරන්න ගත්තම ඇස් දෙකත් වැහිලා. ඒ වෙලාවට කතා කරන්නෙ සංගීතය.. පුදුම විදිහට දැනෙනවා හිතට.. 



අපි ගීතිකා ප්‍රැක්ටිස් කරල ඉවර වුණාම සින්දු කියනවා.. මං වැඩියක්ම සංගීත සාදෙට සම්බන්ධ නොවුණත් අහගෙන ඉන්නවා... හිත නිවෙන සින්දු... එතන උන්න හැමෝම සංගීතය රස විඳින්න දන්න අය... ඒ එක දවසක තමයි සපුමල් සුවඳ ඇවිත් හිත ළග නතර වුණේ...

සපුමල් සුවදක් සේ සීතල රෑ යාමේ
හද කුටියට ඔබ හෙමිහිට වැඩියා
කිසිවකු නෑ දුටුවේ..

ආස සින්දුවක්...ඒත් ගොඩක්මත් නෙවෙයි... මමත් හෙමිහිට මුමුණමින් හිටියෙ... එකෝඩියන් එක හිත හිරිවට්ටන විදියට වාදනය වුණා.. ඒ ඇස් පියවිලාමයි තිබුණෙ.. ඔන්න සින්දුවෙ දෙවෙනි කොටස පටන් ගනිද්දි හැමෝගෙම කටවල් වැහිලා... මගෙ හඬ විතරයි ඇහුණෙ... මම විතරයිද මන්ද සම්පූර්ණ සින්දුවම දැනන් උන්නෙ...

හැන්දෑ වලාකුලේ .. අටවක හද මඬලේ
මේ හැම තැන ඔබ සැඟවී සිටියා..
මා පමණයි දුටුවේ....

ක්ෂණයකින් ඇස් ඇරුණා.. ඒ බැල්මට මාව සීතල වෙලා ගියා.. ඒත් සින්දුව නවත්වන්න හිතුණෙත් නෑ... ආයෙම ඇහිපිය වැහුණා... මං ගීතයටම සම වැදුණා..

ලොව නිදි අඳුරු පැයේ සීපදයක් වැන්නේ
සවනත සනහා මා ලඟ උන්නා
රැය පමණයි දුටුවේ...

අන්තිමට  සපුමල් සුවඳ අපි දෙන්න විතරක්ම වෙලා අනික් හැමෝම සුවද විඳින්නො වෙලා තිබුණා..

සපුමල් සුවදක් සේ යළි නෑ හැර යන්නේ
මහමෙර ලෙස ඔබ නොසැලී සිටියා
ඇයි මුළු ලොව දුටුවේ...

ගීතය අවසන් වුණේ අපේ ඇස් හමුවෙලා... මං තිගැස්සුණා ඇත්තටම... හිනා පොදක්වත් නැති හිත කීරි ගැහෙන එහෙම බැල්මක් කවදාවත්ම මට මුණ ගැහිල තිබුණෙ නැහැ.

එදයින් පස්සෙ මං ඒ ඇස් හොයන්නත්, ඒ ඇස් මාව හොයන්නත්,  අපේ ඇස් හමුවෙද්දි ඉක්මණින්ම මං ඇස් හංග ගන්නත් පටන් ගත්තා... ඒක සෙල්ලමක් වගේ.. මට බය හිතුණෙ අසංග අයියට වෙන් වෙලා තිබ්බ හිතේ ඉඩ වෙන කෙනෙක් අයිති කර ගනියි කියල... එහෙම වෙනව දකින්න මට ඕන උණේ නෑ.. ඒ හින්ද මං ගොඩක් මහන්සි උණා හිත පරිස්සම් කර ගන්න...

එදා සැරේ අපේ කැරොල් වැඩසටහන තිබුණෙ කොළඹ අවට ළමා නිවාස කීපයක... වැඩිහිටි නිවාසෙක.. උදෙන්ම පිටත් වෙන්න නියමිතව තිබුණේ.. 

යාම්තමට මීදුමෙන් වැහිල තිබුණු දෙසැම්බරේ සීතල උදේක සුදු සාරියත් ඇඳගෙන මං බස් රථය ළඟට එද්දි එකෝඩියන් ඇස් දෙකත් ඇවිත් උන්නා.. එදා නම් නිල් ඩෙනිමට සුදු කමිසයක් ඇඳලා.. රබර් සෙරෙප්පු දෙකටත් නිවාඩු දීලා... වෙනස් ලස්සනක්.. එහෙමට කඩවසමක් නොතිබුණත් මගේ හිතේ ලකුණු පුවරුවෙ ඉහළින්ම රැ‍දෙන්න පුළුවන් ගති ලක්ෂණ ගොඩක් ඒ කතා කරන ඇස්වල තිබුණා. ඒ හින්දමයි මට ගොඩක්ම බය හිතුණෙත්...

මං තෙල් බැම්ම ළඟට එද්දිම ඔහු නඩයෙන් මිදිල මං ඉදිරියට ආවා.. ඇස් හීනි කරල ගැඹුරු හුස්මක් මුදා හැරල හෙමිහිට මෙහෙම කිව්වා..

‘‘ලස්සනයි..” 

ජීවිතේටම කතා කළ එකම වචනය... ඒ වචනයට වඩා බැල්මටයි මං බය වුණේ.. මට හිනාවෙන්නවත් මතක් වුණේ නෑ.. මොහොතකින් මං සීතල අයිස් කුට්ටියක් වෙලා.. 

එතනින් එහාට මං කොයි තරං ඒ බැල්ම මග ඇරියද කියනවනම් අන්තිමට මටම ඒක වදයක් වුණා. හවස් වෙද්දි කතා කරන ඇස් වුණත් තරහෙන් පිපිරි පිපිරි තිබුණා.. ආපසු ගමනෙදි යන්නං කියන්නෙත් නැතිවම මගදි බස් එකෙන් බැහැල යද්දි නම් මට අතින් අල්ලල නතර කර ගන්න තරම් හිතුණා.. ඒත් හිතට හයියක් තිබුණෙ නෑ... යන අයට යන්න ඇරල බලා උන්නා මිස කවදාවත් බලෙන් නතර කර ගන්න සිරිතක් මට තිබුණෙත් නෑ... එදත් එහෙමයි...අදත් එහෙමයි..

ඉන්පස්සෙ ඉඳහිට සරසවි බිමේදි හමු වුණත් මං දැක්කෙ ද්වේෂය පිරුණු නපුරු ඇස් දෙකක්.. මන්දා සමහර විට මට හිතුණ හැටි වෙන්න ඇති.... ඊටත් ටික කාලෙකට පස්සෙ මං දැක්ක ගෑණු ළමයෙක් එයාගෙ අතේ එල්ලිලා සරසවි කන්ද නගිනවා.. එදා නම් පුංචි දුකකුත් දැණුනා..

ඒත් අදටත් ‘‘සපුමල් සුවඳක් සේ” සින්දුව ඇහෙද්දි මට නත්තල් සීතලයි, නත්තල් ගීතිකායි, එකෝඩියන් වාදනයකුයි, හිත හිරි වට්ටන බැල්මකුයි මතක් වෙනවා.......... ඒ වගේම නත්තල ආවම සපුමල් සුවඳ මතක් වෙනවා.. ”

උත්තරා හෙමිහිට සුසුමක් මුදා හැරියාය. ඈ මුව රැඳුණේ මන්දස්මිතයකි.

‘‘සුසුමක් වුණත් සුවඳයි නේද? සපුමල් සුවඳ වගේ” අතීත මතක අවුස්සන හදවතින් ඇය විමසන්නීය.

‘‘ඔයා හරිම පිස්සු කෙල්ලෙක්... ” හදවත පිළිවදන් දෙයි. උත්තරා හදවතට ම දිනුම දී උත්තර නැති සුසුමකට ගිළිහෙන්නට ඉඩ දෙන්නීය. 

...................................................

ඔබ වෙනුවෙන් නොලියන්න යැයි ද, මා ලියන දේ තුළ ඔබ සිටිය යුතු නැතැයි ද ඔබ ම පවසයි.

ඉදින් මට මා පවා අහිමි වෙයි.

සිතුවිලි වියළී යයි. අකුරු ඇද වී යයි. වචන පටළැවී යයි. ජීවිතයම පිළිතුරක් සොයා ගත නොහැකි තේරවිල්ලක් බවට පත් වෙයි.

ඉදින් සියල් ජීවන ප්‍රශ්නාර්ථ මැද, ඔබ ද තුන් තේරවිල්ලක් කොට ගෙන අනවරත අරගලයක නිමග්නව සිටිමි.

එයින් මිදෙන්න යැයි නොපවසන්න. ඔබේ ගමනට අබ මල් රොනක බාධාවක් නොවන බවට පිළිණ දෙමි.

ජීවිතය හිස්ම හිස් කඩදාසියක් වනවාට වඩා හරස් පද ප්‍රහේළිකාවක් වීම අගනේ නොවේද?  මට මා ජීවත් වන බව දැනෙමින් තිබේ.. අන් කවරදාටත් වඩා දැනෙමින් තිබේ.. 

එය ම ප්‍රමාණවත් නොවේද?



Sunday, November 10, 2013

සමනල් පියාපතක පිණි බින්දුවක් ( 04 )



''මං ඔයාට කතා කරන්නත් හිතන් හිටියෙ..'' උත්තරා කීවේ ඇමතුම පිළිගනිමින් සිදු කළ ආචාර සමාචාරවලට අනතුරුව ය.

''ඉතින් හිත හිත හිටියෙ.. කතා කරන්න එපායැ..'' දෙනෙත් උත්තර බැන්දේ සැහැල්ලුවෙනි.

''හිතට නිදහසක් තිබුණෙ නෑ... මට දැන ගන්න ඕන තව විස්තර ටිකක් මේ කතාවෙ.. ඔයාගෙ පැත්තෙන්.. මගේ පැත්තෙන්ම විතරක් ලියන එක අසාධාරණයිනේ...'' 

උත්තරා කතාව කීව ද මේ ඇගේ කතාව පමණක්ම නොවන්නේය.  හරි නම් දෙනෙත් මෙන්ම අසංග ද විමසා බැලිය යුතුය. නමුත් අසංග අද කොහේ, කොතැනක ඇත්ද? සිහිනෙකින්වත් ළං විය නොහෙන දුරක බව පමණක් ඇය දනී. මතකයේ කෙටී ඇති අසංගගේ දුරකථන අංකය වුව ස්පර්ශ කරන්නට හිත් නොදේ.

''ඕන නම් මම ලියලම දෙන්නම්..'' දෙනෙත් කියන්නේ උත්තරා ලියනා කතාවේ තමන්ගේ කොටස ගැනය.

''ඒක වඩාත්ම හොදයි.. ''

''ඔය පොත ලිව්වම.. උත්සවයක් තියෙනවනේ.. ඉන්වයිට් කරන්න මටත්. හරිනම් මටයි  පොත පිළිගන්වන්න ඕන...''

''හා..!!!! පිළිගන්වන්නම තමයි වටින්නෙ... ඔයාට විතරක් නෙවෙයි, දෙන්නටම.................. පිස්සුද අනේ.. මගේ ඔ‍ලමොට්ටලකම් පොතක් කරල හැමදාම බල බලා ඉන්න පුළුවන්ද? යාළුවන්ගෙන් බේරෙන්න බැරිකමට කතාවක් ලියනව විතරයි... අනුන්ගෙ කතා ලියනවට වඩා ‍ලේසියි තමන්ගෙම කතාව ලියන එක..''

........................................

කොක්කක් නැති ආඩම්බරකාර කෙක්කක්.......

විසිඑක්වෙනි සියවස එළිපත්තේ උත්තරා සරසවියගේ බැල්මට හසුවූවා ය. ‍කොලොම් තොට පිරිසි දන්නා පුංචි කෙනෙකු සමග මුල්ම දවසේ ඈ සරසවියට ආයේ අම්මාත් සමගිනි. නමුත් ගමන අතර මග බසයෙන් බසින්නට සිදු වූයේ උත්තරා ‍ නොනවත්වාම හිත පිරුණු චකිතයත්, බියත් මුවින් පිට කරන්නට වූ නිසාය. බස් රථයටම අප්පිරියාවක් වන තරමට ඇය වමනය ගොඩක් බවට පරිවර්තනය වී සිටියාය. අපායට යන්නට මිස සරසවි යන්නට සුදුසු තත්වයක් නොවූයෙන් දන්නා හුනන නිවසකට ගොඩ වී ඇුම් මාරු කරගන්නට සිදු විය.

''මෙයා මේ මලක් වගේ හැදිලා.. අනේ මන්ද කොහොම කොළඹ ඉදියිද කියල''

පුංචි කීවේ පසුකලෙක මව්පිය සෙනෙහසින්ම උත්තරා රැක බලා ගත් එකී නිවසේ අම්මාට ය. නමුත් ඒ මල එකී සති අන්තයේම නාඳුනන ජ්‍යෙෂ්ඨ උත්තමාවියක් පසුපස කොළඹට විත් ගම්පියස කරා යා හැකි බසය නවත්වන තැන සොයා ගත්තාය. ඉදින් තනිකම විසින් ලබා ‍දුන් ධෛර්යයෙන් ඉන් බොහෝ කලක් පසුවීත් ඇය නිරුපද්‍රිතව කොලොම්පුර ජීවත් වූවා ය. ගම්මැදි මිනිසුන් සතර මහ අපාය යැයි සිතමින් මේ හැටි ම අගනගරයට බිය වන්නේ මන්දැයි උත්තරාට තවමත් සිතා ගත නොහැක. ඇය කො‍ලොම් පුරයේත් නිදහසේ සැරිසැරුවාය. අඩුවකට තිබුණේ බයිසිකලය පමණි.

''උඹල ශිෂ්‍යත්තෙ පාස් වෙලාද කැම්පස් ආවෙ''

තෙල් බැම්ම මත වාඩි වී සිටි ජ්‍යෙෂ්ඨ උත්තමයන් එසේ ඇසුවේ උත්තරා ඇතුළු නඩයෙනි. අහඹු ලෙස වුව උත්තරාගේ නේවාසික කුටියට එක්තැන්ව සිටියේ දොඩම් ගෙඩි දෙකක් තරම උස නැති අමුම අමු ගොඩේ කෙලි රෑනකි. කැකිරාව, ඇඹිලිපිටිය, ආනමඩුව, අකුරැස්ස, අම්බලන්ගොඩ ඇතුල් ගම්වලින් පැමිණ සිටි ඔවුන් සමග උත්තරා කදිමට පෑහුණාය.

ඒ වන විට කවියක් නිසා දැන හඳුනා ගත්, නමුත් කිසිදින ඇස නොගැටුණු පෑනෙ මිතුරු ඇසුරට වසර තුනක් ඉක්ම ගොස් තිබිණි. උත්තරා අමතක කර දමන්නට උත්සාහ කළ ලියුම් ගනුදෙනුව සැහැල්ලු උණුසුම් මිත්‍රත්වයකින් වරින් වර  අලුත් කරන්නට දෙනෙත් සමත් වී තිබිණි. විටෙක හිත සලිත කරවන සින්දු කෑලි අමුණා එවූ ලිපිවලින් වෑහුණ සෙල්ලක්කාර ගතියට උත්තරාගේ පෑන මුනිවත රැකි නමුදු පිට පිට එන ලියුම් කිහිපයකට පසුව ඇගේ සිත නැවතත් දයාන්විත මිත්‍රත්වයකින් පිරෙන්නට පටන් ගනී. එදා මෙන්ම අදත් ඒ මිත්‍ර බන්ධනය නොමියැදී පවතින්නේ සැබවින්ම දෙනෙත්‍ ගේ උවමනාව මත මිස උත්තරාගේ කැපවීම මත නම් නොවන බව සහතික ය.

හෘදයාංගම සහෝදරත්වයකින් වදන් ගොනු කළ අසංග ගේ මටසිලිටි ලියමන් ලීලාව ඇගේ සිත වඩ වඩාත් පැහැර ගනිමින් තිබිණ. අනුන්ගෙන් පැහැර ගත් ලිපිනයක හිමිකාරියක් වෙනුවෙන් එතරම්ම සංයමයෙන් අකුරු කරන්නට ඔහුට හැකි වූයේ කෙසේද? එතරම්ම සහෝදරාත්මකව වදන් ගොනු කළ හැකි වූයේ කෙසේ ද? උත්තරා පසුකලෙක දැන පහදා ගත් අන්දමට ඒ ව්‍යාජයක් නොව ඔහුගේ පිරිපුන් හදවතේ සැබෑ සංයමය යි. සැබෑ මනුෂ්‍යත්වය යි.  එය උත්තරාට මතු නොව කා හට වුව ද නෙවෙනස්ව පිරිනැමෙන දයාවකි.

සැබවින්ම ඈ සරසවි කන්ද නැග්ගේ ඒ වටකුරු අකුරු පිළිබඳව හද පුරා ගත් නිහ ප්‍රේමයක් ද සමගිනි. එනිසාම අත්වැල් පටලා සරසවි බිම පුරා ඇවිද යන, කොන්ක්‍රීට් බංකු මත ළං ළංව ‍කොුරන පෙම්වත් කුරුලු ජෝඩු අංශුමාත්‍රව හෝ ඇගේ සිත සලිත කළේ නැත. මිතුරියන් පෙම්වතියන් වෙද්දී, ප්‍රේමය පිළිබද තො‍රතෝංචියක් නැතිව දොඩමලු වෙද්දී උත්තරා මුනිවත රැක්කාය. සටහන් අතර කවි ලීවා ය. ලියුමක් එන තුරු ඇඟිලි ගැන්නා ය. දවසින් දවස රණවිරු පෙම්වතියකගේ හීනයකට පාට තේරුවාය.

මන්ද යත් ඒ වන විට ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පියාසර ලුතිනන්වරයෙකි.

ඇය උසස් පෙළ නිම කර තාවකාලික රැකියාවක නියුතුව සිටියදී, ලිපියක සේයාවක් හෝ නැතිව ගෙවුණු මාස කීපයකට පසු දියතලාව ගුවන් හමුදා පුහුණු කවුරකින් උත්තරා නමට ලිපියක් ලැබි තිබිණි. අසංග සූරියබණ්ඩාර ගුවන් හමුදා සිහිනය සපුරා‍ගෙන ය.

''මං වගේ කෙනෙකුට හමුදාව ගැළපෙන්නෙ නෑ නංගා... වෙලාවකට හිතෙනවා ඇයි මම මෙතෙන්ට ආවෙ කියලත්..'' වරෙක ඔහු ම ලියා එවා තිබිණි.

පුහුණු කාලය අතරතුර හුදකලා යාන්ත්‍රික දිවියට උත්තරාගේ අතකුරු අස්වැසිල්ලක් වූ බව පෙනෙන්නට තිබිණි. කුලමල පවුරු පදනම් අබියස බි වැටුණු ප්‍රථම ප්‍රේමයේ සුන්බුන් අතර සැරිසරමින් සිටි පරාජිත පෙම්වතාගේ දුක්ගන්නා රාළ වන්නටත්, සුව සහනයේ දූතිකාව වන්නටත් උත්තරාට හැකි වී තිබිණි. ඒ කුලමල පවුර අසලම දිනෙක තමන්ටත් කඳුළු ගනින්නට සිදු වේ යැයි ඒ මොහොතේ ඇය සිතුවේ නැත. එතරම්ම ජීවිතය ගැන බරක්පතලක් ඇයට තිබුණේත් නැත.

දෛවය රතු එළි දල්වන මුත් එය නොතකමින් කඳුලු සයුරටම පැන මියෙන්නට හදන්නේ මෝඩකමට ම මිස අන් කුමකට ද? ඒ මෝඩකම යැයි අර්ථ ගැන්වෙන්නේ සියල්ල නිම වී සන්සුන් හදකින් අතීතයට එබී බලන වර්තමානයේ මිස එදවස නම් නොවේ. එසේ නම්... එදවස? පණ පුදන්නට වුව හැකි පරමාදර්ශී ප්‍රේමයකි. ජීවිතයම වුව කැප කළ හැකි උත්තම ප්‍රාර්ථනාවකි. ''අනේ මං වගේ මෝඩ අංගනාවක්'' උත්තරා විටෙක තමන්ට ම සරදම් කර හිනැහේ.

ඉදින් සිව් වසක් ඉක්ම ගිය තැන ඇය සරසවි කන්ද බැස ආයේ ද පෙම්වත් සුරතක ස්පර්ශය නොලද හුදකලා කිරිල්ලක ලෙසිනි. කොක්කක් නැති ආඩම්බරකාර කෙක්කක් ලෙස ඇය තනිපංගලමේ ම සරසවි බිම සැරිසැරුවා ය.

''පුදුමයිනෙ.. අවුරුදු හතරක් කැම්පස් එකේ ඉලත් කොල්ලෙක් අල්ල ගත්තෙ නැති එක.. අඩුතරමෙ කොල්ලෙක් යාළු වෙන්නවත් ඇහුවෙ නැද්ද? '' පසුකලෙක විමසන බොහෝ දෙන හමුවේ උත්තරා සිනාවක් මුදා  හැර නිහඩ වන්නී ය. තලු මරන්නට සරසවි රස කතා නැතුවාම නොවේ.

''ඇයි යකඩ සපත්තුවා .......!!!'' එය තවත් රසබර මතකයකි.

......................................................


හිත මහ පුදුම ය. ඇළුනොත් ඇළුණාම ය. ගළවා ගැනීම ලෙහෙසි නැත. අනන්ත අප්‍රමාණ දුක්ඛ වේදනා ගිරි දුර්ගයක කෙළවර සන්සුන් ව, නිරවුල් ව පැවති සිත ආයෙමත් පිස්සිගේ පලා මල්ලක් වී ඇත. 

කවුරුන් හෝ වැරදිකරුවන් කොට විත්ති කූඩුවට නංවන්නට උත්තරාට අවැසි නැත. වැරදිකාරිය තමන් ම බව ඈ දනී. සැමවිට ම ඇය විත්තිකූඩුවට නංවන්නේ තමන්වම ය. තම හදවතම ය. දඬුවම් පමුණුවා ගන්නේත් තමන්ටම ය. ජීවිතාන්තය දක්වාම බරපතළ වැඩ සහිතව හුදකලාව තුළ සිර ගත කළද, මේ හදවත නම් හැදෙන පාටක් නැත. 

Sunday, November 3, 2013

සමනල පියාපතක පිණි බින්දුවක් ( 03 )


2007 ඔක්තෝම්බර් 27 වනදා උදෑසන 8.30 ට  පමණ මාතලේ දෙව්මැදුරේ ලූර්දු ගුහාව අබියස දී උත්තරා‍ගේ දුරකථනයට ඇමතුමක් ලැබිණි. හෘදයාංගම ඇමතුමක්.. ඈ සිටියේ විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙන්නට මාතලේ ගොසිනි.

''නංගා.. අක්කට පුතෙක් ලැබුණා.. අපට පුතෙක්..''

අසංග සූරියබණ්ඩාරගේ උද්දාමයෙන් පිරුණු හඬ අපට පුතෙක් යැයි පවසනුයේ ඒ පුතා උත්තරාගේත් බව හැ‍ගෙන පරිදි ය. අක්කා යැයි පැවසූවද ඒ ඔහුගේ බිරින්දෑ නිශා ය. තම බිරිඳ උත්තරාගේ වැඩිමහල් සහෝදරියක බව දැනෙන හැගෙන සේ කතා කරන්නට ඔහු සැමවිටම පරිස්සම් වූයේ ය. ඒ උත්තරාට නොරිදෙන්නට ය. රිදුම් ලබන්නටම උපන් හිතක් වචනවලින් සැනසිය නොහැකි බව ඔහු කවදාවත් තේරුම් ගත්තේ නැත.

''පුතෙක්.. කවදද? ''

'' මේ දැන් අටයි දහයට... ඔයාට තමයි ඉස්සරලාම කියන්නෙ..''

දුරකථනය විසන්ධි විය. උත්තරා සතුටත්, දුකත් අතරමැදි අවිනිශ්චිත හැඟුමක සිරගත වූවා ය. සතුට ඔහු පියෙකු වීම ගැන ය.  දුක ඒ පුතාගේ අම්මා තමන් නොවීම ගැන ය.

''මූණ ඇඹුල් වෙලා.. කාගෙන්ද කෝල් එක..'' දිනේෂ් මල්ලි ඇසුවේ බොහෝ ළෙංගතුව ය.

''අසංග අයියා... තාත්තා කෙනෙක් වෙලාලු..'' උත්තරා සිනාවක් පැළද ගන්නට වෙර දැරුවා ය.

''කවදද?''

''අද..... මේ දැන් ලු.. මට ලු ඉස්සරලාම කියන්නෙ..'' එවර නම් සිනාව ගිලිහී කඳුළු උනමින් තිබිණි.

''මේක නම් පුදුම ආදර කතාවක්.. පිරිමියෙක්ගෙ ජීවිතේ තාත්ත කෙනෙක් වෙනවයි කියන්නෙ අක්කේ.. ඒ තමයි වැදගත්ම අවස්ථාව.. ඒ වෙලාවෙ මුලින්ම ඔයාව මතක් වෙනවා කියන්නෙ එක පැත්තකින් ඒ මනුස්සයට ඔයාව ඇත්තටම අතිවිශේෂයි.. අනික් පැත්තෙන් ඒ මනුස්සයා ඔයාට පුදුමාකාර විදියට ගරු කරනවා..'' 

ආදරයේ කුරුසියත් කර දරාගෙනම උත්තරා දෙව්මැදුර තුළට පිවිසියා ය. දණින් වැටුණා ය. අන් බොහෝ අවස්ථාවල මෙන් ම කඳුළු සිරකර ගත යුතු විය. හැමදාමත් සිටියේ පිරිවර සෙනග සමගිනි. නිදහසේ අඬන්නට අවස්ථාවක් උදා වූයේ නම් ඒ බොහෝ කලාතුරකිනි.

''මේ බන්ධනයෙන් හිත නිදහස් කර ගන්න මට උදව් කරන්න ජේසුනී..''
...................

බයිසිකලයට නැගුණු පසුව උත්තරා කිරිල්ලියකි. වෙල් යාය, ගංගොඩ මැදින් පාසල නිම වී නිවස දක්වා එන සැතපුම් හතරක පමණ දුර ඈ ඉගිලෙන්නේ එකම වේගයෙනි. එය අපමණ සැහැල්ලුවෙන් පිරි ගමනකි. දන්නා කියන මුහුණුවල සිනාවෙන් හිත පිරිමැදෙන, ගහකොල, ඇල දොල, මල් පියලි, කුරුල්ලන් පවා ළෙංගතුකම් පාන අපූරු ගමනකි. කිසිදු බරක්පතළක් නැති සන්සුන් හදවතක් හිමි ව තිබු කොතරම් සුන්දර කාලයක් ද? නැවත හසුකර ගත නොහැකි තරම් දුරකට ඒ අතීතය නික්ම ගොසිනි.

පහ වසර ශිෂ්‍යත්වය සමත් වූ වේලේ තාත්තා අරන් දුන් රෝද දෙකේ වාහනය ඇයට මහමෙරකි. ඒ දවස්වල එය අළුත්ම අළුත් ය. නමුත් මධ්‍ය විද්‍යාලයේ බයිසිකල් සියයක් පමණ නවතා තබන දිගු කොරිඩෝරයේ පැරණිම බයිසිකල් කිහිපය අතර ඇගේ බයිසිකලය සැබවින්ම අසරණ දසුනකි. ඇය එය ගණනකට නොගත්තා ය. උසස්‍ පෙළ පන්ති ඇරඹීමෙන් පසුව උත්තරා බස්රියෙන් මධ්‍ය විද්‍යාලයට ගියේ එකම සතියක් පමණ ය. බස් ගමන තිත්ත විය. ඇය සුපුරුදු වාහනයට මාරු වූවා ය. රස්තියාදුවක් නැත. නිදහස් ය. නිවහල් ය.

යන එන ගමනේ නම් ලකුණු කළ යුතු ස්ථාන දෙකකි. ඒ මහ ගෙවල් ය. අම්මාගේ සිංහල බෞද්ධ මහ ගෙදර මුලින්ම හමුවන්නේ ය. උත්තරා නම ඇයට ලැබුණේ ඒ නිවසිනි. ලොකු මිණිබිරියට ඒ නම තැබිය යුතු ම බව අත්තම්මා පවසා ඇත. උත්තරා ඉපදී මුලින්ම නිවසට ගෙන ආ දිනවල මැස්සන් පන්නන්නට කිරි අත්තා වේවැල්වලින් වියා දුන් මැහි තටුවත්, ඇය මුල්වරට නෑවූ හිල් පොල්කටුවත් ඒ නිවසේ සුරැකි කෞතුක භාණ්ඩ අතර විය. එකී මහගෙදර තවමත් ලොකු මිණිබිරිය හුරතල් කරන්නේ ‍ඇය පොඩි දැරිවියක ලෙස සලකා‍ගෙන ය. ඒ හුරතලයට ඇය ද මහත් සේ ලෝබ වූවා ය.

සන්ධ්‍යා භාගය වන විට ආලින්දයේ පඩිය මතට වී උත්තරා එන තුරු දෑස් දල්වා හිදීම අත්තම්මාගේ දෛනික රාජකාරියක් බවට පත් වී ඇත. එදින නිවසේ සෑදු කුමන හෝ කෑමක ඇගේ පංගුව හෝ අඩුම තරමේ වෙරළු ගෙඩියක්, නෙල්ලි ගෙඩියක් තරම දෙයක්වත් වරදින්නේ නැත.

''මොකෝ ලොකු පුතේ ඔය... රතු කොඩි දාගෙන..''

බයිසිකලයෙන් බැස විසේ ගමනින් ගේ පිටුපසට දුවන උත්තරා දෙස බලා අත්තම්මා විමසන්නීය. උත්තරා යන ගමනේ ම හිස හරවා සුදු ගවොමේ පිටුපස රැලි අතර දෑස රඳවන්නී ය. බයිසිකල් ගමනෙන් මාසයකට වරක් හිමි වන සුපුරුදු රතු රෝස මල් ලකුණ.. කිසිසේත්ම වළක්වා ගත නොහැකි හදිසි අනතුරකි.

''  අද නරක දවසක් අත්තම්මේ... '' ඈ සුදු ග‍වොමේ රැලි සලා දමා හිනැහෙන්නීය. දිවීම නම් නතර නොවන්නේ ය. ඇය ආපසු අත්තම්මා අසලට පැමිණෙන්නේ කුස දැරූ බරත් හෑල්ලු කර ගෙන පේර ගහේ අතුපතර සොලවා, නෙල්ලි ගසේ සුවදුක් සොයා බලා අනතුරුව ය.

''අද මොනාද?''

''උදේ රොටී හැදුවා..'' අත්තම්මා පිගානේ වැසුම් ඇර රොටිය ඈ අත තබයි. පොල් යහමින් දමා අත්තම්මා හදන රොටී අමුතුම රසකි. ඇය ඒ රොටියට අසීමිතව පෙරේත බව පවුලේ ප්‍රසිද්ධ රහසකි. රොටී සප්පායම් වෙමින් සිටින විට කිරි අත්තා පහළ වේ. ඉදින් රතු කොඩි සගවා ගෙන දුවන්නට වේලාවයි. උත්තරා අතින්, කටින් ගත් රොටිය සමග බයිසිකලයට ගොඩවන්නේ වේගයෙනි. අත්තම්මා කට වසා ගෙන හිනැහේ.

''මං යනෝ.... ''

නැවතත් කිරිල්ලිය ඉගිල්ලේ.. ගමනේ ඇය වඩාත් කැමතිම වෑ කන්ද උඩින් යන මොහොතට ය. වැවේ නෙළුම් හිග වන්නේ මහා පෑවිල්ලකටම පමණි. මානෙල්, ඕලු ද හිග නැත. අමතර පන්ති නිම වී එන සැදෑවක නම් වෑ කන්ද පහළින් ඈතට ඇදී යන වෙල් යාය ද, ඊට එපිටින් පොල් ගස් ගොන්න ද සැදෑ හිරු එළියෙන් නැහැ වී ඇති අයුරු බලන්නට ලස්සන ය. වෑ කන්ද ගුරු පාර හා යාවෙන්නේ පිටවාන අසලිනි. වැව වාන් දමන කාලයට ගුරු පාර හරහා නොනැවතී වෙල් යාය දෙසට ගලා බසිනා දියදහරකි. වෑ කන්ද බැස එන බයිසිකලය ඒ මැදින් පියඹා යන්නේ ක්‍රීස් ගාමින් දෙපසට දිය දහරක් විහිදුවමිනි.

අනතුරුව හමුවන පොල් වත්ත මැද ඇය නම් ලකුණු කළ යුතු අනෙක් මහගෙදර හමුවන්නේ ය. ''රෝසරී ද සිල්වා'' කොටසේ හිමිකරුවන් වසන්නේ එහිය. ඒ දුටුවනම උත්තරාගේ සිත බරපතළ හැගීමකින් පිරී යනු වැළැක්විය නොහැක. වත්ත මායිම හමුවන තැන සිටම බයිසිකලය වුව සන්සුන් උවැසි ගමනකට වෙස් මාරු කර ගනියි. වඩාත් හැන්දෑ වූ දිනක් නම් ඒ නිවසට උඩින් ඉගිලී යන්නට ක්‍රමයක් වී නම් කොතරම් හොදදැයි අනිවාර්යයෙන්ම ඇයට සිතෙන්නට ගනියි.

'' ඔයා තමයි පවුලෙ වැඩිමලා.. ලොකු අක්කා.. ඔයා හොදට හිටියොත් තමයි අනිත් අයත් ඔයා දිහා බලල හැදෙන්නෙ..''

දිව්‍ය මන්තරයක් තරමට ඒ වාක්‍යය හදවතේ පැලපදියම් වූයේ කුඩා කල සිට ම නිරන්තරයෙන් අසන්නට සිදු වූ නිසා ය. තවමත් හිතින් අතු ගා දමන්නට නොහැකි වූ උපදේශ පාඨය මහා පවුරක් වී හිත වටා අගුළු දමා ඇතැයි ඇයට සිතුණේ වරක් දෙවරක් නම් නොවේ. තාත්තා‍ගේ සිංහල කතෝලික මහ ගෙදරත් අසීමිත ආදරය හිමි වූ ලොකු මිණිබිරීට ඒ වන තෙක් තිබුනේ ඇත්තෙන්ම ආදරයම පිරී උතුරා ගලන ජීවිතයක් නොවේද?

''අද බහින්න විදියක් නැතෝ... මං යනෝ..'' ළිඳ ළඟ සිටි නැන්දාට ඇසෙන්නට කෑ ගැසූ උත්තරා අත වනා සමු ගත්තාය. රහස අරුමයක් නොවූ නැන්දා කිංකිණි සිනාවකින් සමුදුන්නාය.

නිවස හමුවන්නට පොල්වත්ත මැද පිහිටි ගමේ කුඩා පල්ලියත්, තවත් කුඩා වෙල් යායකුත් පසු කළ යුතු ය. උත්තරාගේ නෙත සිත පිනවන ගම්මැදි චාරිකාවේ සුන්දරම ස්ථාන දෙකකි ඒ.

''ෂිහ්..'' ගෙමිදු‍ලේම තාත්තා ..

උත්තරා නිවස ඉදිරි දොර අසලම හෙමිහිට බයිසිකලය පෙරළා දමා පස්සෙන් පස්සට ගොස් වහාම ගේ ඇතුළට පැන ගත්තාය. ඉදහිට උදාවන අරුමයක් නොවන මේ ගෙට ගෙවදීම දන්නා තාත්තා සිනාමුසුව පැමිණ බයිසිකලය කෙළින් කරන බව උත්තරා දනී.

''අන්න අද කවිකාරිට ලියුමක් ඇවිත් තිබුණා..'' අම්මා දොර රෙද්ද අතරින් හිස පොවා කියත්ම උත්තරා අනියතව තිගැස්සී ගියාය. ඇය සුදුගවොම උරහිසින් පන්නා දැමුවේ විස්මපත් දෑසිනි.

''කාගෙන්ද?''

''කොල්ලෙක්ගෙන්..''

''මට?''

''නැතුව මටයැ.. අර රේඩියෝ එ‍කේ ගිය කවිය අහල ලියුමක් එවල .. මං පොත් මේසෙ උඩ තිබ්බ ඔන්න.. ''

යට ගවුම පිටින්ම උත්තරා ලියුම අතට ගත්තාය. අම්මා ලියුම කඩා කියවා තිබිණි. සරසවියට එන තෙක්ම ආ සෑම ලියුමක්ම මුලින්ම බැලුවේ අම්මා ය. කොතරම් විරෝධතා ව්‍යාපාර දියත් කළත් පලක් නොවිණි.

දෙනෙත් ගේ කුරුමිණි අඩු අකුරුවලින් වැරදියට ලිපිනය ලියැවුණු ලිපිය ගෙදරටම පැමිණ තිබිණි. තම ඉරණම තීන්දු කිරීමේ බලයක් ඒ ලිපියට ඇතැයි එදා උත්තරා සිහිනෙකින්වත් සිතුවේ නැත.

එයට මාසයකට පසු නිවැරදිව ලිපිනය සටහන් වූ ඒ මටසිලිටි හදවත තරම්ම මුදු සුමුදු අත් අකුරින් ලියවුණු අසංග සූරියබණ්ඩාරගේ ලිපිය ද උත්තරා අත පත් විය. එය දුටුමතින්ම මේ නම් එකම ඉසව්වක එකම පාසලක සෙල්ලක්කාර සතරකන් මන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය යුතු යැයි උත්තරාගේ සිත නිරන්තරයෙන් කොඳුරන්නට විය.

එය එසේ නොවන බව ඔවුන් දෙදෙනාම පුන පුනා කීවෙන් ඔවුන්ගේ බස් අදහා නොගන්නට තරම් හේතුවක්ද නොවී ය.
.............................

සුනේත්‍රාගේ ප්‍රේම පුරාණයේ නිර්මලා මෙන් සියලු බන්ධනයන් ඉක්මවා යා හැකි නිවහල්, තෘෂ්ණාවෙන් තොර හදවතක් වෙනුවෙන් උත්තරා පෙරුම් පුරන්නීය. නමුත් එවැනි අධ්‍යාත්මයක් සොයා පහදා ගන්නට තරම් ළඳ බොළඳ සිත තවමත් සවිමත් නොවන බව ඇය දනී. හිත පතන්නේම ඇලෙන්නට ය. නැළවෙන්නට ය. ඉදින් සිදුවන්නේම තැවෙන්නට ය. මේ වේදනාවේ කටු ඔටුන්න ගලවා පසෙකින් තබන්නට හැකි වන්නේ කවදාද?

එතෙක් සැනසිල්ලේ දිවි ගෙවන්නට මිලිටරි ආඥාදායකත්වයක් තුළවත්, වචනවලින් හරඹ පානා සොඳුරු ආඥාදායකත්වයක් තුළවත් තමන් සොයන ප්‍රේමය බිඳක්වත් නොවන බව උත්තරා පසක් කර ගනිමින් හිඳින්නීය. සැනසුමේ උල්පත සොයා පහදා ගත යුත්තේ තම හදවත තුළින්ම නොවේද?