පිටු

Showing posts with label තරූගේ චාරිකා. Show all posts
Showing posts with label තරූගේ චාරිකා. Show all posts

Monday, January 12, 2026

ආදරෙන් ඉමු ජීවිතේ....


අලුත් අවුරුද්දේ හා හා පුරා කියල, නවාතැනේ සොයුරියක් සමග මම ගියා අපේ වියපත් මිතුරියක් බලන්න. ඇය දැන් ඉන්නෙ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයක. වයස අසූපහක්. අපි පැයක පමණ කාලයක් ගත කළා ඇය එක්ක. ඒ පැය ජීවිතයට ලොකු ආයෝජනයක් විදියටයි මට දැනෙන්නෙ.

අපගේ වියපත් මිතුරිය ආගම, දහමට ළැදි, සොබාදහමත් එක්ක ජීවත් වුණු කෙනෙක්. වැඩිහිටි නිවාසයෙදිත් ඇය පොඩි ඉඩක වගාවක් කරගෙන යනවා. විශාල මුදලක් ගෙවලා සුවපහසු නිවාසයක ඉන්න හැකියාව තිබියදීත්, ඇය අඩු ගෙවීමක් සහිත මෙවැනි තැනක් තෝරාගන්නට එක හේතුවක් දේවස්ථානය අසලම වීම. ගහකොළ සහිත පරිසරයේ සුවදායී බව. 

ඒ වගේම තවත් වැදගත්ම හේතුවක්. 

''සැප කාමරයකට වෙලා තනියෙම ඉන්න ඕන නෑ මට. මෙහෙම තැනක මට කරන්න සේවයක් තියෙනවා. ජීවිතයේ අන්තිම කාලෙ කාට හරි ආලෝකයක් වෙන්න මේ වගේ තැනක් තමයි හොඳ" 

කොයිතරම් ලස්සන සිතුවිල්ලක්ද? 

විවිධ සමාජ පසුබිම්වලින් ආව වයෝවෘද්ධ කාන්තාවන් එක්ක එක වහළක් යට සිටීමත් පහසු කාරණයක් නොවන බවයි ඇගේ අත්දැකීම්වලින් කියවුණේ. නමුත් ඇයට අවශ්‍ය ඒ වට පිටාවේ ඉන්න පිරිස එක්ක ජීවිතය බෙදා ගන්න. ආදරය බෙදා ගන්න. ඒ අයගේ ජීවිතයට සැනසීමක් වෙන්න. සතුටක් වෙන්න. 

අවුරුදු අසූපහේදිත් තමන්ට පැවරුණු විශේෂ කාර්යභාරයක් ලෙස සලකාගෙන ඇය වැඩිහිටි කාන්තාවන් එක්ක සමගි සන්ධානයෙන්, සතුටින් ඉන්න දරන වෑයම හරි අපූරු ජීවන පැවැත්මක් බවයි මට දැනුණෙ.



''අද මට ටිකක් හිත රිදිල ඉන්නෙ, මම මගේ පැළ ටික බලන්න යද්දි අලුත් සිස්ට කිව්වනෙ කාමරේට වෙලා ඉන්න කියල. වයසක අය එළියෙ පහළියෙ ඇවිදල, වැටිල තුවාල කරගනියිලු. එහෙම දවසම කාමරේකට වෙලා ඉන්න පුළුවන්ද මනුස්සයෙකුට. වයසයි කියල අපිව එහෙම කොටු කරන්න හදන එක හරිම වැරදියි."

දවසම ඇඳක හරි පුටුවක හරි වාඩි වෙලා ඉන්න වෙන එක දඬුවමක් කාට වුණත්. හැම දවසක්ම ගෙවෙන්නෙ ඒ විදියට නම් ? අපේ වියපත් මිතුරිය කියන්නෙ හැමෝටම වැඩක් තියෙන්න ඕන කියල. එළිමහනේ වැඩ කරන්න බැරි නම්  අඩුම තරමෙ මහන, ගොතන, අඳින වැඩක්වත්. එක තැන වාඩි වෙලා කරන්න ක්‍රීඩාවක්වත්.

"කෑම බීමටත් වඩා මේ අයට ඕනෙ කතා කරන්නෙ කෙනෙක්. ඇහුම්කන්දෙන්න කෙනෙක්...." ඇය අවධාරණය කළේ. නිදහස් වෙලාවක ඇවිත් ඒ අම්මල එක්ක කතා කරන්න කියන ආරාධනාවත් එක්ක. 

සුරැකුම් නිවාසවල විතරක් නෙවෙයි, ගෙවල්වල ඉන්න වියපත් අම්මලා, තාත්තලාට සවන් දෙන්න, ළඟින් ඉන්න වෙලාවක් වෙන් කරගන්න අමතක කරන්න එපා. ඒක අනාගත ආයෝජනයක් මිස අපතේ යන කාලයක් නෙවෙයි. දවසක අපිත් ඒ තැනට එනවනේ. ඒ හිත් තේරුම් ගැනීම අපට අපවම කියවගන්න පහසුවක් වේවි.

Monday, October 23, 2017

කලා වැව් දියේ උත්පල.... (එළුවන්කුලමට ගමනක්)



නිකින්නේ ඉර ඇවිලුන සති අන්තයක පාන්දරින්ම නවාතැනින් පිටවුණේ එළුවන්කුලම බලා යන්න. යන මගලකුණු මිසක කොහේ කොතැනද ඒ වෙද්දිත් හරි අදහසක් තිබුණෙ නැහැ. අනුරාධපුර බස් එකක නැගුණු මට හලාවත හරහා යන ගමනෙදි දිගින් දිගටම දකින්නට ලැබුණෙ වියැළුණු බිමක ලකුණු. දැදුරු ඔයත් තැන තැන දිය කඩිති, දිය සීරා බවට හැරී කේඩෑරි වෙලා. ඒ ඔය ඉවුරෙ ළමයින් එක්ක හිතේ හැටියට සෙල්ලම් කළ, ඉන්පස්සෙ ඔයට බැහැල නෑව කාලෙකුත් තිබුණා.  ඒ දවස්වල හලාවත පදවියෙ ළක්‍රිවී වැඩසටහන් කළේ දැදුරුඔය ආසන්නයේ තියෙන සංහිඳියාව කියන මධ්‍යස්ථානයේ. ඒ ළමා තරුණ වැඩසටහන්වලදි ක්‍රීඩා පිටිය වුණේ දැදුරු ඔය ඉවුර, ඔයේ දිය කෙළියත් වැඩසටහනේම අංගයක් වගෙයි දැනුණෙ. ජීවිතේ ලස්සනම කාලෙ ගෙවුණෙ ළක්‍රිවිය එක්ක කියලයි ආපස්සට හැරිල බලද්දි හිතෙන්නෙ.

නයිනමඩම, වෙන්නප්පුව, කටුනේරිය, මාරවිල, තල්විල, හලාවත, දැදුරුඔය, ආනවිළුන්දාව, බංගදෙනිය, සින්නපාඩුව, මදුරන්කුලිය......... මේ මඟ දිගටම ළක්‍රිවියත් එක්ක ගිය ගමන්වල, කළ වැඩසටහන්වල මතක තැන්පත් වෙලා තියෙනවා.

කරකුට්ටං වෙමින් තිබුණු පරිසරයට යාම්තමට වැහි පොදක් වැටුණා පාලවිය හන්දියෙදි. සැනෙකින් ඒ වැහි ඇල්ලත් ඉවරයි. ඉන්පස්සෙ ආයෙම කතරක සලකුණු. 

පුත්තලමෙන් එළුවන්කුලමට යන පරණ රෝසා බස් එකට නැගුණමත් හතර වටින්ම පේන්නට තිබුණෙ නියං සායේ දරුණු බව. ඉඳහිටක තැනක දිය රැඳුණු විල් දකින්නට ලැබුණා. එක තැනක මඩපාට විල් දියක එකමෙක ඕලු මලක්. තවත් තැනෙක කළු අඳුරු දියක අපුල්ලා ගන්නා සුදු රෙදි. එහෙම වෙන්නෙ කොහොමද, හිතාගන්නත් බැරි තරම්. තවත් විශාල බිම්කඩක තේක්ක වගාවකට නල ජලය ඉහින කෙසඟ ගැහැනියක්.

ලුණු ලේවාය, ඈතින් පෙනෙන්නෙ නොරොච්චෝලේ සුළං කුලුණු....

ගමනාන්තය වුණ එළුවන්කුලමෙන් බසය නැවතුණාට පස්සෙ ගම ඇතුළට යන්න ත්‍රීරෝද රියක සරණ පතන්නට සිදුවුණා. අහඹු ලෙස බසයේදී හමුවුණ සිස්ට කැතරීන් මා එක්ක උන්නා. ත්‍රීරෝද රියේ සුක්කානම රැඳවුණේ මුස්ලිම් දෑතක. ඒ පරිසරයේ වඩාත් දකින්නට තිබුණෙත් මුස්ලිම් ජන කොටසක් ජීවත් වන බවට ලකුණු. ඔහු ඉතාම හිතේෂිවන්තව දොඩමළු වුණා අපි එක්ක.

මන්නාරම් පාරෙන් එළුවන්කුලම ඇතුළට යන්න වම් පැත්තට හැරවුණාට පස්සෙ පරිසරය වෙනස්වුණේ හාස්කමකින් වගේ. බලන බලන අත නිල්ල. කුඹුරු සාරයි. හිතාගන්නවත් බෑ මේ තරම් කාස්ටක කාලෙක මෙච්චර හරිත පැහැයක් මැවෙන්නෙ කොහොමද? ඒ විස්මය ප්‍රශ්නයක්ව නැගුණම රියදුරු මහතා දුන්නෙ අපූරු උත්තරයක්.

‘‘කලා වැවේ වතුර මිස්, මේ ගම හරිම වාසනාවන්ත ගමක්. දෙපැත්තෙන් ඇලවල් දෙකක් යනවා. කලා වැවෙන් වතුර ඇවිත් වැවට පිරිලා ඒ වැවෙන් ගමේ කුඹුරුවලට වතුර බෙදෙනවා.‘‘

එක් පසෙකින් ගලා යන ඇල...



ඒ කලා වැවේ වතුර. ධාතුසේන පාලන සමයේ පරිපාලනයේ මහිමයත්, මිනිසුන්ගේ ශ්‍රමයත් එක්තැන්ව තැන්පත් කරගන්නා මහා ජලස්කන්ධය ජීවිත සුවපත් කරන අපුරුව. ලංකාවෙ වාරි තාක්ෂණය කියන්නෙම මහා පුදුමයක්. එක අතකින් ආශිර්වාදයක්.

‘‘බොන වතුර ප්‍රශ්නෙ නම් තියෙනවා. ඒත් වගාවලට වතුර අඩුවක් නැහැ.‘‘ ඔහු කිව්වා.

යුද සමයෙ එළුවන්කුලම කියන්නෙත් අනාරක්ෂිත පැත්තක්. ඒ කාලෙ හිටි ගමන් ගමට කඩා වැදුණු එල්ටීටීඊය ගමේ මිනිසුන් කපා කොටා මරා දැමූ අත්දැකීම් තාමත් ඒ අය මතක් කරනවා. තමන්ගේ මව්පියන් මරා දැමෙන හැටි දෑසින් දුටු, රෑ එළිවනතුරු ඒ නිසල සිරුරු සමඟ ගේ තුළ බයෙන් ගැහෙමින් කොටු වී සිටි දරුවෙක් දැන් තරුණයෙක්...

‘‘යුද්දෙ ඉවරවුණ එක නම් ලොකු සැනසීමක්. දැන් ඉතින් මේ අලි කරදරේ. ඉස්සර අලි කොටි දෙගොල්ලම හින්දා අපි පුදුම දුකක් වින්දා.‘‘

.........

ශුද්ධවු පවුලේ පැවිදි සොයුරියන් පුරා සතියක් එළුවන්කුලම නැවතිලා කළ වැඩසටහන් මාලාවක අවසන් දවස ඒ. මට නියමිත වෙලා තිබුණෙ පෙරවරුවේ දරුවන් සමඟ කතා බහක්. පරිසරය කොතරම් හරිත පැහැ වුණත්, අධ්‍යාපනය පැත්තෙන් ගත්තම නම් ඒ දරුවන්ගෙ ජීවිතවල තිබුණෙ සදාකාලයට අත්නොහරින නියං සායක්. පහසුකම් අඩු, ගුරුවරුන් පවා හරිහැටි නැති පාසල්වල ඉගෙනගන්න කියල වැඩි යමක් නැති බවයි දරුවන්ගෙන්ම කියවුණේ. ගැහැනු ළමයින්නම් අඩු වයසින්ම විවාපත් වෙන බව දකින්න ලැබුණා. පල්ලියට ඇවිත් තිබුණු ගොඩක් දරුවන්ගෙ අම්මලා  ළාබාලයි. 

දරුවන් සමඟ ගී ගයන පැවිදි සොයුරියන්, ගීටාරය වයන්නෙ සිස්ට කැතරින්, ඇය චන්දන ලියනආරච්චිගේ සොයුරියක්... 

පෙරපාසල් සහ පහ වසරට අඩු දරුවන් වැඩි දෙනෙක් උන් නිසා මං පටන්ගත්තෙම කතන්දරයකින්. ඒ කතන්දරයෙන් කියවුණේ වේලිලා කරංගෑටි වෙලා ගිය කැලෑවක ඉන්න හා පැටියෙක්,  වෙහෙස මහන්සිය නොබලා ඈත දුර දුවල දුවල, විපරම් කරල ජලයෙන්, ආහාරවලින් හිගයක් නැති පුංචි කැලෑවක් හොයාගෙන තමන්ගෙ කැලේ බඩගින්නෙ මැරිල යන්න සිද්දවෙලා තිබුණු යාළුවො ටික බේරගන්න විදිය...

‘‘හා පැටියට ඒ තරම් ලොකු දෙයක් කරන්න පුලුවන් වුණේ එයාගෙ හැකියාවෙන් ප්‍රයෝජන ගත්ත නිසා. ඒ තමයි දුවන්න පුළුවන් කම. දැන් දුවල පුතාල හිතල බලන්න, මොනවද ඔයාල ළඟ තියෙන හැකියාවන් කියල.‘‘

ඒ ප්‍රශ්නෙට විවිධාකාර උත්තර ලැබුණා. සින්දු කියන්න, ක්‍රිකට් ගහන්න, නිවේදන කරන්න, ලියන්න, දුවන්න... ඔන්න ඔය වගේ. බරපතලම ප්‍රශ්නෙ ආවෙ ඉන්පස්සෙ. ඒ හැකියාවන් වැඩිදියුණු කරගන්නෙ කොහොමද?

‘‘අපිට සංගීත ගුරුවරයෙක් නෑනෙ...‘‘

‘‘අපිට ක්‍රීඩා කරන්න පහසුකම් නෑනෙ...‘‘

‘‘අපිට දැන් කාලෙක ඉඳල සිංහල උගන්නන්න ගුරුවරයෙක් නෑනෙ.‘‘

‘‘අපිට පුස්තකාලයක් නෑනෙ.‘‘

කට උත්තරත් නැති වෙන උත්තර ටිකක් දරුවන්ගෙන් ලැබුණෙ. නමුත් අපි සින්දු කියල, කතා කියල දරුවන්ට ඒත්තුගන්නන්න උත්සාහ කළා ජීවිතේ ජයගන්න බොහෝ මාවත් තියෙන බව. 

දරුවන්ට කතන්දර කියා දෙන මං...

...........

සුදු පවුලේ සොයුරියන් වසරකට වරක් දුෂ්කර ගම්මානයක් තෝරාගෙන එහි නිවෙස්වල නැවතිලා මේ කරන වැඩසටහන් මාලාව හරි වටිනවා. එතනදි නිවෙස් බැහැදැකීම වගේම පවුල, සමාජය, දරුවන්, ආගම සහ ජීවිතය වගේ විවිධ මාතෘකා සම්බන්ධව ජනතාව සමඟ කතා බහක් ගොඩනැගෙනවා. ගමේ ජනතාවටත් ඒක විශේෂ අත්දැකීමක්.

සිස්ටර්ස්ල නවතින්නෙ ගමේමෙ ගෙවල්වල. ඔවුන් ගෙයින් ගෙට යනවා. මිනිසුන් එක්ක කතා බහ කරනවා. හැම හැන්දෑවරුවකම පල්ලියේ හෝ තෝරා ගත් තැනක විශේෂ වැඩසටහනක් තියෙනවා. එය චිත්‍රපටයක්, දැනුවත් කිරීමක්, ගී රස වින්දනයක්, යැදුම් මෙහෙයක් විය හැකියි. දරුවන්, තරුණ තරුණියන්, මව්පියන් වෙනුවෙන් වෙන වෙනමත් වැඩසටහන් සිදුවෙනවා. පල්ලියේ දහම් පාසලට පොත් කට්ටලයක් තෑගි දීල පුස්තකාලයකට ආරම්භයක් දෙන්නත් පැවිදි සොයුරියන් කටයුතු කරල තිබුණා.

සිස්ට කැතරින් නැවතිලා උන්නෙ මේ පුංචි ගෙදර... 

තමන්ගෙ දුක්ගැනවිලි, ප්‍රශ්න බෙදාහදාගන්නට වගේම කෑමෙන්, බීමෙන් සංග්‍රහ කරන්නත් ඔවුන් දක්වන්නෙ විශාල උනන්දුවක්. උදේ වැඩසටහනින් පස්සෙ අපි දවල් කෑමට ගියේ පල්ලියෙන් ටිකක් දුර බැහැරකට වෙන්න තිබුණු නිවෙසකට. අලි ගැන රස කතා අසමින් ඒ ගෙවුණු කෙටි කාලය හරිම සුන්දරයි. අලින්ගෙන් කුඹුරු බේරගන්න එක කොයිතරම් දුෂ්කර වැඩක් වුණත් ඒ කතා බහේදි දැනුණු දෙයක් තමයි, එයාලට අලි එක්ක තරහක් නැති බව.

ඒ තරම් ඉඩකඩක් තියෙද්දි, වතුර තියෙද්දි ඇයි වෙනත් වගාවන් නැත්තෙ කියන ප්‍රශ්නෙට ලැබුණෙ මේ වගේ උත්තරයක්.

‘‘වඳුරන්ගෙන්, රිලවුන්ගෙන් බේරගන්න බෑ. ඒ හින්දා ගොඩක් අය එළවලු වගාව අතෑරල තියෙන්නෙ.“

කෑමෙන් පස්සෙ අතුරුපසට තිබුණෙ තල්කිරි. කාලෙකින් බිව්ව රසවත්ම තල් කිරි බඳුනක්.

............

මේ පුංචි ගම්මානයේ හතර අත කුඹුරු යායවල් වගේම, බලන බලන තැන තල් ගස්. තල් ගෙඩි ගස්යට ඔහේ වැටිලා. දකිද්දි ලෝබත් හිතෙනවා. ඒත් එයාලට තල් ගැන වගේ වගක් නැහැ. තල් එකතු කරලා අලෙවි කරන වැඩක් හරි, තල් නිෂ්පාදන වෙනුවෙන් කර්මාන්ත ශාලාවක් හරි ඒ පළාතෙ පටන්ගන්න පුළුවන් නම් ඔහේ වැටිල ගස්යටම පස්වෙලා යන තල්වලට ලොකු වටිනාකමක් ලැබෙන්න ඉඩ තියෙනවා.



.........

තවත් මං දැක්ක විශේෂම දෙයක් තමයි එහෙ සිංහල අයත් සිංහලට වඩා ලේසියෙන් කතා කරන්නෙ දෙමළ භාෂාව. සින්දුවක් කියන්න අවස්ථාව ලැබුණම තරුණ අය සිංහල සින්දුවලට වඩා බොහොම කැමැත්තෙන් කිව්වෙ දෙමළ සින්දු. බත්තලංගුණ්ඩුව නවකතාව මතක් වුණා. කල්පිටි දූපත්වල සිංහල අය වුණත් සිංහලට වඩා ලේසියෙන් කතා කළේ දෙමළ කියල එහි තැනක එනවා හරිම ලස්සනට.

කොහොමත් මේ ගමේ සිංහල, මුස්ලිම් වැඩි පිරිසකුත්, දෙමළ සුළු පිරිසකුත් ජීවත්වෙනවා. මහ සමාජයේ ජාත්‍යාලය තාමත් ඒ අයට මහ විනාශයක් කරල නැති බවයි දැනුණෙ. ඊට වඩා බරපතලයි ජීවන අරගලය. කොහොමත් ගමක් තේරුම්ගන්න නම් දවසක් මදි...

.......

ඒ උන්නු පැය කීපෙට දැනුණා ගමේ අය සිස්ටර්ස්ලට කොයිතරම් ළං වෙලාද කියල. හවස්වරුවේ විවිධ ප්‍රසංගය සහ වැඩසටහන නිමාකිරීමේ උත්සවයෙන් පස්සෙ අපි ආපහු එන්න පිටත් වෙද්දි බොහෝ අයගෙ ඇස්වල කඳුළු.




Thursday, May 25, 2017

ජපානයේ ගොවි නිවසක දවසක්

ගොවි නිවසේ තිබු සාම්ප්‍රදායික කිමෝනාව ඇඳි ජපන් ළඳකගේ චිත්‍රයක්

ජපානයෙදි මං දැක්ක විශේෂත්වයක් තමයි ගමේ ගොවි, ගෙවිළියන්ගේ සමිති සමාගම්වල ඉඳල පාසල්, රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල අතර තියෙන අනෝන්‍ය සම්බන්ධතා. මේ හැම දෙයක්ම එකිනෙකට සම්බන්ධ කරන ප්‍රමුඛ මැදිහත්කරුවෙක් විදියට JA -  Japan Agricultural Cooperatives ජපන් කෘෂි සමූපකාර ජාලය  විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරනවා. මේ කෘෂි සහයෝගිතාවට රාජ්‍ය මට්ටමින් යම් ආකාරයක ප්‍රතිපාදන සහ පහසුකම් ලැබෙනව වුණත් එහි වැඩි බරක් දරන්නෙ සාමාජිකයින් වන කෘෂිකාර්මික ප්‍රජාව. මුදලින් වගේම ශ්‍රමයෙන්. ඔවුන් පෞද්ගලිකව වගේම කණ්ඩායම් විදියටත් JA සමග සම්බන්ධයි. එයින් දැනුම, පුහුණුව ලබා දෙනව වගේම යම් ප්‍රාග්ධන අවශ්‍යතා සම්පූර්ණ කරගන්නත්, වෙළඳපල ගැටලු විසඳගන්නත් උදව් වෙනවා. අතරමැදියන් නැතිව තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න ගොවියන්ට පහසුකම් සලසල තියෙනවා. එයින් 10% හෝ 20% ක මුදලක් JA එකට දෙනවා. ප්‍රදේශය සහ ගොවියන්ගේ ආදායම් මට්ටම අනුව මේ ගෙවන මුදල වෙනස් වෙන බව දකින්න පුළුවන්.

අපේ ගමින් ගමට තියෙන ගොවි සමිති, සමෘද්ධි සමිති විධිමත් කරනවනම්, එය සමස්ත දිවයින ආවරණය වෙන විදියට ක්‍රියාත්මක කරමින් එකම ආයතනයක් විදියට කටයුතු කරනවනම් ජපන් කෘෂි සහයෝගිතාවයෙන් ගන්න පුළුවන් පාඩම් එමටයි.

ජපානයේ ගොවි නිවසක දවසක්  

ගොවි නිවසක සංචාරක අත්දැකීමක් ලබන්නට අපිව සම්බන්ධීකරණය කළේ විශ්වවිද්‍යාලයකට සම්බන්ධ කෘෂි විද්‍යා ආයතනයක් මඟින්. කණ්ඩායම් කිහිපයකට වෙන් කළ අපේ පිරිස රැගෙන යන්න ඒ ගොවි නිවෙස්වල හිමිකරුවන් පැමිණ සිටියා. මා ඇතුළු පිරිස කැඳවාගෙන ගියේ 70 විය ඉක්මවූ ගොවි මහත්මයෙක්. ඔහුගෙ කුඩා වෑන් රියෙන්. අපි හයිඑස් නමින් හඳුන්වන වෑන් රථයක් විය යුතුයි. බොහෝ දුර බැහැර පිටිසර ගම්මානයක්. හරිත කඳුවැටි, කෙත් යායවල්, ගොවිපළවල් පසුකරගෙන පැය දෙකක පමණ ගමනක් ගියා මතකයි.

ගොවි නිවසේ දෙන්න දෙමහල්ලෝ‍ෙ

එය ජපානයේ සාම්ප්‍රදායික ගොවි නිවසක්. නිවස වටේටම තියෙන්නෙ කුඹුරු. ( ජපානයේ නගරවල පවා හැම හිස් ඉඩකම බොහොම විධිමත්ව සකසපු කුඹුරු දකින්නට ලැබෙනවා. ) නිවසේ උන්නේ ඔහුත්, ඔහුගේ බිරිඳත් පමණයි. දරුවන් රැකී රක්ෂා සමඟ ගම අත්හැර ගිහින්. හරිම ආදරවන්ත යුවළක්. අපටත් ඔවුන් ඉතාම ළෙංගතුව සැලකුවා. දරුවන්ට බරක් නොවී අමතර ආදායමක් හොයාගන්න සංචාරක ලැගුම්පල උදව්වක් වෙලා තියෙන බවයි ඒ මව්පිය යුවළ පැවසුවේ.  

ගොවි නිවසේ විසිතුරු දසුන්

නිවසේ ඉදිරිපස පෙනුම 


ආගමික පිළිවෙත් සිදුකරන ස්ථානය

ඇතකුගේ සහ ඇත් පැටවකුගේ ලී කැටයමක්

ලී කැටයමක්... 

නිවසේම එක් කොටසක් ඒ සඳහා වෙන්කර තියෙන්නෙ. සුපිරි පහසුකම් නොවුණත් ජීවිතේට වෙනස් සුවයක්, සැනසුමක් ගේන අපූරු නිස්කලංකකමක් ඒ ගම්මානයේත්, ගොවි නිවසෙත් පැතිරිලා තිබුණා. බොහෝ විට මේ අත්දැකීම විඳින්න පැමිණෙන්නේ අධ්‍යයන කණ්ඩායම් සහ නාගරික පවුල් බවයි කියැවුණේ. දුරබැහැර ගම්මානයක් නිසා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අඩුයි. ඉතාම පිටිසර ගමක මේ ස්වයං රැකියාවට අවශ්‍ය සහයෝගය ලබාදෙන්නෙ පළාත් රජයෙන් සහ කෘෂිකර්ම සහයෝගීතාවයෙන්. ඒක තමයි විශේෂත්වය. අපේ රටවල නම් සිද්දවෙන්නෙ සහයෝගය වෙනුවට තවත් පුලුවන් නම් බදු ගහල බොහොම අමාරුවෙන් ස්වශක්තියෙන් නැගිටින මිනිස්සුන්ගෙනුත් රජයට යමක් හරිහම්බ කරගැනීමනෙ. 

සංචාරකයන් සඳහා සූදානම් කළ කුටිය 

ගොවි නිවසේ තුන්වේලටම ලබා දෙන ආහාර ඔවුන්ගේ ගොවිපළෙන් වගේම ගම්මානයෙන් ලබා ගත් දෑ. වස විස නැති, රස ගුණ පිරි විශේෂ භෝජන සංග්‍රහයක්. ඒ ආහාර වේලක් සම්පූර්ණයෙන් භුක්ති විඳල අවසන් කරන්න බැරි තරම්. ඒ හැම වෙලාවකම මට සහය වුණේ අපේ සම්බන්ධීකාරිකාව වුණ නුගී සන්. ආහාර නාස්තිය ඔවුන් කෙසේවත් අනුමත කරන්නෙ නැහැ. ඉතින් මගේ කෑම වේල අපි දෙන්නම එකතු වෙලයි අවසන් කරගත්තෙ.

උදෑසන ආහාර වේලට උදව් වන නුගී සන්

එක් අයකුට එක් වේලකට වෙන් වන ආහාර ප්‍රමාණය ගැන අදහසක් ගන්න පුළුවන් නේද? මේ සියල්ලම ගමෙන් ලබා ගත් දෑ

ගම්මානයට තරමක් දුරින් පැවති දිය ඇල්ල සංචාරක ආකර්ශණය ඇද බැඳ ගන්නා තැනක් විදියට දියුණු කරල තියෙනවා. දිය ඇල්ල ළඟට යන්න තිබුණෙ මේපල් ගස් යටින් වැටුණු කුඩා ගුරු පාරක් දිගේ. ඒ යන මඟ දෙපසත් පුංචි පුංචි නිර්මාණාත්මක දැයින් අලංකාරයක් එකතු කරන්නට මහන්සි අරන් තිබුණු බව පෙනුණා. 


දිය ඇල්ලට යන මඟ දෙපස හරිත පරිසරය


දිය ඇල්ල දක්වා යන පටු පාර අද්දර අවන්හලකට මඟ කියන්නෙ මෙහෙමයි... 



දිය ඇල්ල දුර දසුනක් ලෙස


මේපල් පත් අතරින් දිස්වන දිය ඇල්ල

ගිමන් හරින්නට තනා ඇති ගිම්හාන නිවස 

ස්වභාවයෙන්ම සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් වන අපි අපේ ඒ ස්වභාවික ලස්සන නැතිකරගනිමින් ඉන්නවා. නමුත් ජපානය පවතින සුන්දරත්වය රැකගන්නව වගේම එය වැඩිදියුණු කරනවා. පුංචිම අසිරියකින් වුණත් පරිසරයත්, ජන ජීවිතයත් ගොඩනගන්නට ලොකු වැඩක් කරන්න ඔවුන්ට හැකියි. පිළිවෙල, පිරිසිදුකම, කාර්යක්ෂමතාව, රටට වගේම පරිසරයට තියෙන ආදරය ඒ දියුණුවේ රහස් කියලයි මට හිතෙන්නෙ.

නිවස අවට කුඹුරු යායවල්... ඈත කඳුවැටි




රාත්‍රී මුර සංචාරයේ යෙදෙන ගොවි මහතා සහ බලු යාළුවා...

අපේ ගොවි සීයා ඒ දියඇල්ල බලන්න අපිව එක්කරගෙන ගියෙත් එයාගෙ පුංචි වෑන් එකෙන්. ඒ එන ගමනෙ මහා පරිමාණයෙන් සිදුකරන හතු වගාවක් බලන්නත් පුළුවන් වුණා. ඒ පැත්තෙ වී වගාවට වගේම හතු වගාවටත් විශේෂ තැනක් ලැබෙනවා. 

සංචාරක අපිට නිවසෙත්, ගොවිපළෙත් නිදහසේ සැරිසරන්න අවස්ථාව දීල ඒ දෙන්න දෙමහල්ලො එයාලගෙ දෛනික රාජකාරිවල නිරත වුණා. අපට යම් අදහසක් හුවමාරු කරගන්න උවමනා වුණ තැන්වලදි නුගී සන් ජපන් භාෂාව සහ ඉංග්‍රීසිය අතර අත්වැලක් වුණා. එදා රාත්‍රියෙ අපේ ගම ගෙයක වගේම ඔකාසන් ( අම්ම ) කෑම ලෑස්ති කරල දෙනකල් අපි රූපවාහිනිය බලමින් උන්නා. එදෝ යුගයට අයිති දුක්බර පෙම් කතාවක්. කොටස් විදියට යන ටෙලි කතාවක්. ගෙවිලිය නම් නොවරදවාම ටෙලිය බලන බවයි පෙනුණෙ.

ආහාර සප්පායම් වෙලා සාම්ප්‍රදායික තතමි පැදුරක සාම්ප්‍රදායික ජපන් ක්‍රමයට, නූතන විදුලි පංකාවකුත් දාගෙන අපි නිදාගත්තා. ඒ රාත්‍රිය සරලයි. සුන්දරයි..

පහුවෙනිදා උදෑසන ආහාරයෙන් පස්සෙ අපිව ආයෙම ආයතනයට ගෙනත් ඇරලුවේ හැත්තෑ වියත් ඉක්මවූ ඒ ගොවි අම්මා. ඉතා හුරුබුහුටි විදියට, පරිස්සමට ඈ වාහනය හසුරුවනවා බලන් ඉන්නත් ආසයි.

......

අපි කොහොමද අපේ රටට මේ කෘෂි සංචාරක කර්මාන්තය ආදේශ කරගන්නෙ. දැනටමත් සමහර ගොවි බිම්වල, හේන්වල, ගොවිපළවල මේ කටයුත්ත කෙරෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික වැඩ විදියට. අඹේවෙල ගොවිපළ මහා පරිමාණයේ වැඩක්. කොළඹ ගමයා අයියා ලියූ ගොවිපලේ නිවාඩුව සටහනත් කියෙව්වම තවත් අලුත් අදහස් ගන්න පුළුවනි. 

සංචාරක ආකර්ෂණය දිනාගන්න අපූරු අත්දැකීමක් විදියට මේ කටයුත්ත කරන්න නම් ඒකට ගැමි ගොවි ජනතාව දැනුවත් කරන්න ඕන. පිළිවෙල, පිරිසිදුකම, සෞඛ්‍යාරක්ෂිතබව, අවංකකම, කැපවීම, සුහදශීලීබව වගේ ගුණාංග අත්‍යවශ්‍යයි. ලංකාවෙ අපි ළඟ අඩුවෙන්ම තියෙන්නෙත් මේ වටිනාකම්. කාගෙන් හරි කමක් නෑ කීයක් හරි කඩාවඩා ගන්න බලාපොරොත්තුවෙන් නම් වැඩ කරන්නෙ ඒවට පැවැත්මක් නැහැ.
ඒ වගේම මේ ගොවිබිම්වල වැඩ කරමින් අත්දැකීමක් ලබන්න පාසල් සිසුන්ට ලබා දෙන අවස්ථාවත් හරිම වටිනව. එ් අත්දැකීම ගොඩක්ම වටින්නෙ නාගරික දරුවන්ට. 

Tuesday, May 23, 2017

දැය දිනුමට පැද යන නැවියා...

Haruyo Morita ගේ ජපන්  සිතුවමකි... 

කෘෂි සංචාරක කර්මාන්තය මට එතරම් සමීප මාතෘකාවක් වුණේ නැහැ. නමුත් 2011 වසරේ ‘එක ගමක් - එක නිෂ්පාදනයක්‘ OVOP - One Village One Product සංකල්පය ගැන අධ්‍යයනයක යෙදුණු ඔයිටා පළාතේ  දින තුනක සංචාරය අතරතුර අපූරු අත්දැකීම් රැසක්ම ජීවිතයට එකතු වුණා. මේ ගැන ලිවීම අතපසු වෙලා තියෙද්දි කොළඹ ගමයගේ ගොවිපළක සංචාරය ගැන පළ වෙන ලිපි පෙළ ‘ලියනු.. ලියනු‘ කියල හිත කොනහන්න ගත්තා.

ජපානයේ කියුෂු දූපතේ එක් පළාතක් ( Prefecture) තමයි ඔයිටා. අපි ශිකොකුවල ඉඳල කියුෂු ගියේ ෆෙරි එකක. ෆෙරි කියන්නෙ කුඩා ප්‍රමාණයේ නැවක් කියලයි මං හිතන්නෙ. ඒකත් සුන්දර අත්දැකීමක් ජීවිතේ පළමුවරට විඳින්නට ලැබුණු.  






බස් රියෙන්, නැවෙන් සහ නැවතත් බසයෙන් දවසක වෙහෙසකර ගමනක් අවසානයේ අපි හැන්දෑවෙ පහට විතර ඔයිටාවල OVOP ප්‍රධාන කාර්යාලයට ආවා. ගිමන් හරින්න ලැබුණු පුංචි කාලයකින් සහ හරිත තේ කෝප්පයිකින් පසුව හරියටම හයට සමාරම්භක වැඩසටහන පැවැත්වුණා. ජපානය එහෙමයි. වැඩේට තමයි මුල් තැන. කාලය ගැන සැලකිලිමත්. ‘අද මහන්සියි හෙට කරමු.‘ එහෙම කතා නැහැ.





සමාරම්භක වැඩසටහනේ මුල්ම කතාව කළේ OVOP වැඩසටහනේ නිර්මාතෘ මොරිහිකෝ හිරමට්සු මහත්මා.1978 වසරේ මොරිහිකෝ හිරමට්සු (  Morihiko Hiramatsu ) ඒ පළාතේ ආණ්ඩුකාරවරයා වෙද්දි ඔයිටා කියන්නෙ ඉතාම දුප්පත්, දුෂ්කර පළාතක්. කාන්තා ප්‍රතිශතය වැඩියි. ඔහු ඔයිටා දියුණු කරන්න උපරිමයෙන් කැපවෙලා වැඩ කළා. ඒ එක් ප්‍රයත්නයක් තමයි OVOP - One Village One Product සංකල්පය. ගමින් ගමට අනන්‍ය වූ කෘෂි නිෂ්පාදන, අත්කම්, චිත්‍ර, කැටයම් මූර්ති වැනි සාම්ප්‍රදායික කලා නිර්මාණ අගය වටිනාකමක් එකතු කරල වෙළඳපළට නිකුත් කරන්න ජනතාව ධෛර්යමත් කළා. 

ජනතාවගේ ශ්‍රමයට මුල් තැනක් දුන්නු මේ වැඩසටහන දියත් වුණේ බොහෝ විට සාමූහික ක්‍රියාකාරකම් ලෙස. මේ සඳහා දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය වගේ මූලික පහසුකම් රජය මගින් ලබා දුන්නා. රජය සම්බන්ධීකරණ කටයුතු කළා. නමුත් මූලික වගකීම පැවරුණේ ගමේ ජනතාවට. ජනතාව රජය මත යැපුණෙ නැහැ වගේම, රජය අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම, මූලික පහසුකම් සැලසීම මිස ජනතාවට උඩින් සිට සහන සැපයීම වැනි වැඩක් කළේ නැහැ. මේ වැඩසටහනේ ඉතාම වැදගත් දෙය දෙපයින් නැගී සිටින්නට අවශ්‍ය දිරි දීම කියල මං හිතන්නෙ.


Add caption



අපේ වැඩමුළුවෙ ආරම්භක කතාව කළේ ඒ ආණ්ඩුකාරවරයා. ඒ වන විට ඔහු 87 වියැතියි. ඔහු අට වතාවක් ඔයිටා පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්වෙමින් වසර 24 ක් එම තනතුරේ සේවය කරල තියෙනවා. ජපානයේ වැඩිම කාලයක් ආණ්ඩුකාර තනතුර දැරූ පුද්ගලයා විදියටයි හැඳීන්වුණේ.  

‘‘බාහිරින් එන ව්‍යවසායකයො පාඩු ලබද්දි ගම අත්හැරල යනවා. නමුත් ගමේම සම්පත්, ශ්‍රමය, කැපවීම තුළ ගොඩනැගෙන ව්‍යාපාර පවතිනවා. ඒවට ගමෙන් එහාට ජාත්‍යන්තර මට්ටම දක්වාම වුණත් වර්ධනය වෙන්න පුළුවන්. එදාට වඩා තාක්ෂණය දියුණු අද කාලෙ ඒකට ලොකු ඉඩක් විවෘත වෙලා තියෙනවා. නිෂ්පාදනවලට අගය වටිනාකමක් එක් කළ යුතුයි. මිනිස්සුන්ට අවශ්‍ය දැනුම ලබා දිය යුතුයි. ග්‍රාමීය ප්‍රදේශවල පුහුණු පාසල් ඇති කළ යුතුයි. තරුණ පරපුර දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. ගම දියුණු කරන්න ඕන ගමේ සම්පත් සහ ගමේ ශ්‍රමය... රජය විදියට අපි ඒකට අවශ්‍ය මඟපෙන්වීම සහ ශක්තිය වෙන්න ඕන...‘‘

මොරිහිකෝ මහතාගෙ කතාවෙ කොටසක් එය.  OVOP වැඩසටහන ආරම්භක සමයේ මුහුණ දුන්න ගැටලු, කඩාවැටීම්, ඒ වගේම සාර්ථකත්වය, ක්‍රමයෙන් පළාත සංවර්ධනය වීම ගැනත් ඔහු කතා කළා.

OVOP වැඩකිරීමේ පරමාදර්ශ විදියට ඔවුන් සලකන්නේ මේ කාරණා.

Think globally - Act Localy
Independence and Creativity

මුල් කාලයෙදි ආණ්ඩුකාරවයා පැය 24 ම වැඩ කරලා තියෙනවා. සියලුම ප්‍රාදේශීය රාජ්‍ය ආයතන එයට පූර්ණ සහයෝගය දෙමින් එක් වෙලා. මේ කියන කාලය ඔයිටා කියන්නෙ ප්‍රවාහන, සන්නිවේදන, තාක්ෂණික වගේ පහසුකම් අවම වූ නොදියුණු දුෂ්කර පළාතක්.

OVOP වැඩසටහනේ ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරල තියෙන්නෙ කාන්තාවන්. ගම්වල ඇති කළ කාන්තා කණ්ඩායම් තමයි තමන්ගෙ ගම්මානයේ නිෂ්පාදන අගය වටිනාකමක් එකතු කරල වෙළඳපළ දක්වා ගෙන යන වැඩකොටස ඉටුකළේ. එක් එක් කාලවලදි ගම්වල හැදෙන එළවළු, පළතුරු මේ විදියට කාන්තා කණ්ඩායම් අතින් සකස් වෙලා වෙළඳපළට යැවුණා. මේ කතන්දරේ අහන් ඉද්දි මට මතක් වුණේ අපේ රටේ කාලෙන් කාලෙට ගස් යට වැටිල නාස්ති වෙලා යන කොස්, දෙල්, අඹ, දෙහි, කොමඩු වගේ පළතුරු... එළවළු...



පිං පඩි දීමට එහා ගිහින් මධ්‍යම සහ පළාත් ආණ්ඩු මිනිස්සුන්ව ඒකරාශි කරල මේ වගේ නිෂ්පාදන ක්‍රියාවලියක් හදන්න මූලික පහසුකම් ලබා දෙනවනම් කොයි තරම් හොඳද? දැනටමත් ලංකාව පුරා ස්වශක්තියෙන් මෙවැනි වැඩවලට අත ගහපු මිනිස්සු ඉන්නවා. ඒ අයට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් වෙළඳපල සම්බන්ධතා ගොඩනගාගන්න උදව් කරන්න පුලුවන් නම් හොඳයි. දෙවෙනි ලෝක යුද්දයෙන් නැත්තටම නැති වුණු ජපානය ගොඩනගන්න මධ්‍යම රජය සහ පළාත්, ප්‍රාදේශීය රාජ්‍ය ආයතන කැපවෙලා තියෙන්නෙ අන්න ඒ විදියට.


මේ තියෙන්න මුරුක්කු හදන තැනක්. ඒවයේ නම ‘‘කරින්තෝ‘‘. පටන් අරගෙන අවුරුදු 27 ක් 2011 වෙද්දි. ගෘහණියන් විදියට ඉතාම දිළිඳු අඩියක හිටි කාන්තාවන් කුඩා කණ්ඩායම් විදියට එකතු කරල විවිධ නිෂ්පාදන පටන් අරගෙන තියෙනවා. මේ කරින්තෝ නිපදවීම අදටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ගමේ ගෙවිලියන් 07 දෙනෙක් තමයි මේ තැන පවත්වගෙන යන්නෙ. ඔවුන් සේවා මුර ක්‍රමයට මෙහි වැඩ කරනවා. ආදායම සමව බෙදා ගන්නවා. ආදායම බෙදාගනිද්දි වැඩ කළ පැය ගණන සැලකිල්ලට ගන්න බවයි කියවුණේ. 

ඒ වගේම පාසල් සිසුන්ට පැමිණ වැඩ කරමින් අත්දැකීමක් ලබන්නත් අවස්ථාව සලසල තියෙනවා. මේ කාන්තා එකමුතුවට පැවරිලා තියෙන තවත් කටයුත්තක් තමයි ගමේ මහලු අය ගැන සොයා බැලීම, ඔවුන් රැක බලා ගැනීම. ඒ වගේම ආගමික කටයුතු සංවිධානය. මේව ව්‍යාපාරික කටයුත්තට අමතරව ඔවුන් ඉටුකරන පොදු සමාජ සත්කාරයන්... 
  
මුරුක්කු වර්ග තුනකින් ආරම්භ කරල දැනට වර්ග 10 ක් නිෂ්පාදනය කරනවා. ඒවායේ විශේෂත්වය තමයි කෘතිම රසකාරක, වර්ණකාරක භාවිතා නොකිරීම. හැම අමුුද්‍රව්‍යයක්ම සපයා ගන්නෙ තමන්ගෙ වගාවෙන්. ඔවුන් වර්ණ ගන්වන්න යොදාගන්නෙ හරිත තේ, කෝපි, බ්ලූ බෙරි, වට්ටක්කා වගේ දේවල්. රස ගන්වන්නෙ සීනි, මී පැණිවලින්. 

ඔවුන් තමන්ගෙ නිෂ්පාදන OVOP ආයතනයට භාර දෙනවා. අලවි කටයුතු සිදුවෙන්නෙ එතනින්.

‘‘අපි නිතරම විශ්වාස කරනවා අපේ කරින්තෝ තමයි හොඳම. පාරිභෝගික තෘප්තිය අපේ ආදායම..‘‘ එදා අපට හමු වූ වතනබේ තෙරිකෝ සන් තමන්ගෙ ව්‍යාපාරය ගැන කිව්වෙ එහෙම.


වර්ග දහයක කරින්තෝ නිෂ්පාදන
එක් අයකුට, එක් වරකට රස විඳිය හැකි ප්‍රමාණයෙන් ඇසුරුම් කර තිබෙනවා.

පුහුණු වැඩමුළුවෙ ආරම්භක දේශනය කළ මහාචාර්යවරයා කිව්වෙ ‘අපේ රටේ රාජ්‍ය සේවය ශක්තිමත්. ඒ නිසා දේශපාලනයේ මොන විදියෙ වෙනස්කම් වුණත් ජපානය  වැටෙන්න ඉඩක් නැහැ‘ කියලයි. මේ කතාවෙ කොයිතරම් දුරට ඇත්තක් තියෙනවද කියල නම් මම දන්නෙ නැහැ.

කෘෂි සංචාරක කර්මාන්තය ආශ්‍රිතව ජපානයේ ගොවි ගෙදරක ලැබූ අත්දැකීම ගැන මීළඟට තමයි ලියන්න වෙන්නෙ. ලියන්න පටන් ගත්තෙ ඒ ගැන වුණත් පොඩි පඳුරු තැලිල්ලක් තමයි සිද්දවුණේ.  

Sunday, March 27, 2016

වව්නියාවට සහ... ඉන් ඔබ්බට.. (02)



සේයා - ලාල් ලක්ෂ්මන්


‘‘එළවළු ටිකක් අරන් යමු.‘‘ ඒ යෝජනාව මන්දැයි වැටහෙන්නේ අපේ ගමනාන්තය වන වලෙයිපාඩු ගම්මානය සිහිවන විට ය. දෙව් මැදුර පිහිටා තිබෙන්නේ ඉතාම දුෂ්කර ගමන්මඟක කෙළවර ගම්මානයෙන් ද දුරස් වූ මහමුහුද අද්දර ය. ඒ පියසට එළවළු මල්ලක් කොතරම් වටින්නේද පහදා දීම අසීරු නැත. අප එළවළු, කෙසෙල් මිල දී ගන්නේ නාච්චිකුඩා පොදු වෙළඳපළිනි. 

‘‘ගමනෙ අමාරුම හරිය තමයි මේ’’ පල්ලවරායම්කට්ටුව හන්දියෙන් වමට හැරී ගුරු පාරට පිවිසෙන විට ඒ මඟ වැනුම ද ටෙරන්ස් පියතුමාගෙන් ම ය. පේන මානයේ වගුරු බිමකි. ඒ මැදින් විහිදෙන ගුරු පාර අඩියෙන් අඩියට වලගොඩැලි සහිත ය. වාහනයකට තබා පයින් වුව යාම අසීරු ය. දිළිඳු බව වෑහෙන වටපිටාවකි. අලුතින් ඉදි වූ නිවෙස් කිහිපයක වහළ මත වූයේ සුදු පැහැයෙන් ලියැවුණු "RED CROSS" නාමය ය. කඩපිලක් දකින්නට ලැබෙනුයේ කලාතුරකිනි. අබලන් මාර්ගය ද, දුහුවිල්ලෙන් වැසුණු පරිසරය ද, විඩාපත් මුහුණු ද ජීවිතය පිළිබඳ මවන සිත්තම එතරම් සැනසිලිදායක නැත.

දුහුවිල්ල අවට ලඳු කැලය වසාගෙන පවතින මුත් මඟ දිගට තටුසලන්නේ නම නොදන්නා රංචු රංචු සමනල්ලු ය. අප පිළිගැනීමට මග දෙපස රොක් වූවාක් බඳු ඒ සමනල් පෙරහැර සිරිපාදේ යනවා නම් විය නො හැකි ය. අහිංසක සමනල් ජීවිත පවා සොරාගත් කටුක බිමක වේදනාව හිසින් දරාගෙන උන් කොහේ යනවා විය හැකිද?

දෙවන නැවතුම

ඒ වේරවිල් ශුද්ධවු පවුලේ කන්‍යාරාමයයි. ගේට්ටුව අබියස සිට අප පිළිගත්තේ සොඳුරු දැරියන් තිදෙනෙකි. වත මත නොසිඳී දැල්වෙන සිනා පහන් වැටකි. දිදුළන දෑසෙහි කාන්තිය අමුත්තන් පිළිගැනුම අපමණ සතුටක් වූ වගට කදිම සාක්ෂ්‍ය ය. කොතරම් වැඩ කන්දක සිර වී සිටියාද යන්න නිහඬවම කියා පාමින් තරමක කිලිටි ලෝගුවකින් සැරසුණු වයස්ගත පැවිදි සොයුරියක් සිනාමුසුව අප වෙත ඒ. අප සමඟ කතා බහට එක් වන අනෙක් පැවිදි සොයුරිය තරුණ ය. ආගන්තුක ආගමන ඉතාම අල්ප බව ඒ අප්‍රමාණ සතුට කැටි වූ සුහද පිළිගැනීමෙන් ම පැහැදිලි ය.

එ ගම් පියස ඉතා දුෂ්කර, ගොවිතැන ජීවනෝපාය වූ පෙදෙසකි. ජනගහණය අඩු ය. එයිනුදු බහුතරය වැන්දඹු, මාතෘ මූලික පවුල් ය. ඉතින්, ජීවිතය අතිශය කටුක බව කිව යුතු ම නොවේ. 

අසුන් ගන්නට පවා පමා නොවී අපි සිටගත්වනම පිළිසඳරෙහි යෙදෙන්නෙමු. දැරියන් තිදෙන නොසිඳෙන සිනා උල්පතක්ව අප අතරම ගැවසෙති. ඒ අම්මා, තාත්තා අහිමි එකම පවුලක සහෝදරියන් බව පැවිදි සොයුරිය පැවසුවේ ඉංග්‍රීසි බසිනි. සියල්ල අහිමිව ගිය කලෙකත් ලෝකයම හිමි වී ඇතිවාක් මෙන් එතරම්ම සොඳුරු ලෙස හිනැහෙන්නේ කෙලෙසදැයි සිතාගැනීමත් අසීරු ය. දරාගැනීමේ ශක්තියද? අවිහිංසකකමද? නොතේරුම්කම ද? 


ගමනාන්තය

දූවිල්ලෙන් නැහැවුණු සූරිය ගස් යායක් මැදින් තවත් මිනිත්තු පහළොවක පමණ ගමනකි. සමනල් රංචු තවමත් ගමනේ ය. අප සේම ය. ගම්මානය නිම වන ලකුණු දක්වමින් ඈතින් ඈතට දිවෙන වගුරු බිම ය. වගුරු බිමට එපිටින් උස් බිමක  ඉදි වූ සුවිශාල දේවස්ථානයක් දිස් වේ. ඒ වලෙයිපාඩු සාන්ත ආනා දෙව් මැදුර ය. යුද්දය නිම වී වසර හතක් ඉක්ම ගිය ද තවමත් තාවකාලික පියස්සක සෙවණ ලබන ජනතාව හිඟ නැත. මෙතරම් විසල් දෙව් මැදුරක් දෙවියන් වෙනුවෙන්ද? මිනිසුන් වෙනුවෙන් ද? දෙවියන් පවා එය ඉවසනු ඇති ද? මසිත පැනයකි. 

ඒ ප්‍රාතිහාර්යය මුහුදු කූඩැල්ලන්ගෙනි. වලෙයිපාඩු දේවස්ථානයට අයත් නොගැඹුරු මුහුදු තීරුවක් වේ.  ඒ සමුදුරු ඉසව්ව මුහුදු කූඩැල්ලන් හෙවත් අට්ටයන්ට රාජධානියකි. එහි  ධීවර කටයුතු සාමාන්‍ය ජනතාවට තහනම් ය. අතිශය බැතිමත් කතෝලික ධීවර ප්‍රජාව ඒ තහනම ඇදහිල්ලක් සේ සුරකිති. යුද්ධය පැවති කාල සීමාවේ ධීවර කටයුතු අඩාලව පැවති බැවින් මුහුදු කූඩල්ලන් ගහණය කොතරම් වැඩී ගියේ ද යත් ඒ අස්වැන්න සුවිසල් දෙව් මැදුරක් තැනීම සඳහා කෝටි ගණනක මුදලක් උපයා දී තිබිණි. දිළිඳු පැලක සිට දෙව් මැදුරට පිවිස දණ ගහන සැදැහැවත් අහිංසක දෙමළ ජනතාව කිසි විටෙක ඒ පිළිබඳ මැසිවිල්ලක් නොනඟති. දෙව් මැදුර ඔවුනට අභය භුමියකි. අසපුවකි. ඒ ඔවුන්ගේ ශ්‍රද්ධාව විය හැකි ය. එය දේව විරෝධී වැඩකැයි තවමත් මගේ සිත නම් චෝදනාත්මක මැසිවිල්ලක ය.

සභාව දෙවියන් උදෙසා ද? මිනිසුන් උදෙසා ද? එසේත් නැත්නම් ධනය බලය උදෙසා පවතින තවත් ලෞකික රාජ්‍යයක් පමණ ද? කතෝලික සභාව සම්බන්ධයෙන් මේ පැනය උතුරටත්, දකුණටත් වෙනසක් නැති බව පැහැදිලි ය. ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන දැක්ම වූයේ පීඩිතයාගේ විමුක්තිය ය. නමුත් ඒ කල්වාරි ගමන වෙනුවට අද සභාව පාලුකරයේ යක්ෂයා මවා පෑ පරීක්ෂාවන්හි ගොදුරක් වී ඇත්දැයි සැක සිතෙන තරම් ය.  

දෙව් මැදුරට අභිනවයෙන් පැමිණ සිටින තරුණ පිය නම, නමින් වසන්ත ය. වසන්තයක පෙර ලකුණු ආවේගශීලී තාරුණ්‍යය සමඟ අත්වැල් බැඳ ඇත්තාක් මෙනි. ඉතාම කුඩා නිවහනක සෙවණෙහි වාසය කරමින් ම ඔහු අලුත් මුහුදු කූඩැල්ලන් අස්වැන්නෙන් කළ යුතු දෑ සිහිපත් කරයි. පෙර පාසලක්, දරුවන්ට ඉගැන්වීම සඳහා පන්ති කාමර  එකී සිහිනයෙහි පියාපත් සලයි. අපි එයට තවත් සිහින එක්කාසු කරන්නෙමු.  ‘‘පුස්තකාලයක්. ළමයින්ට ඇවිත් පොත් පත් කියවන්න, නිදහස් තැනක්..‘‘  

 අප වලෙයිපාඩු ගියේ හිස් අතින්ම නොවේ. දරුවන් වෙනුවෙන් රැගත් පොත් ගොන්නක්ද සමඟිනි. ඉපැරණි කුඩා දෙව්මැදුර පසෙක නටබුන්ව ගිය පාසල් ගොඩනැගිල්ලකි. 10, 11 වසරවල පමණක් දරු දැරියන් 50 ක් පමණ අපගේ වැඩසටහන සමඟ එක් වූහ. ගම්මානයේ සියලුම දරුවන් එක්ව ගත් කල කොතරම් පිරිසක් වනු ඇත්ද? ඒ දරුවන් වෙනුවෙන් ජීවිත පූජා කරන්නට මුහුදු කූඩැල්ලන් අකමැති නොවනු ඇත. 

දරුවන් සමඟ කළ කෙටි කතා බහ ඔවුන්ගේ දිළිඳු දුෂ්කර ජීවිත පැහැදිලි සිත්තමකට නඟන්නට තරම් වර්ණ, හැඩතල, හැඟීම් මතුකරලීය. ඔවුන් වැඩි පිරිසකගේ දිවි සරිවනුයේ මුහුදිනි. ධීවර රස්සාවෙනි. එසේ නොවන තැන කුලී කම් ය.  සෑම පවුලකම පහ, හය ඉක්මවා යන සාමාජික සංඛ්‍යාවකි. ජීවිතය ජය ගන්නට ඉගෙනුම කොතරම් වටනේද යන්න කීව ද එතරම් බරපතල පවුලක හිඳිමින්, දුෂ්කර මඟ ගෙවා දුර බැහැරින් ඇති පාසල් කරා යමින් ඉගෙනුම ලැබීම පහසු කාර්යයක් නොවන බව වටහා ගැනීම අසීරු නොවේ. අඩු වයසින් විවාහ වීම එකී ගම් පියසේ බහුලව සිදු වන බව අප හා පැවසුවේ වසන්ත පියතුමා ය. 

‘‘අනාගතේදි ඔයාල මොනවද කරන්න හිතන්නෙ..“ දෙමල බස හසුරුවන්නට දැන සිටි ටෙරන්ස් පියතුමාගෙන් දරුවන් වෙත යොමු වූ පැනයකි. 

‘‘මට මතක් වෙන්නෙ නෑ...‘‘ දැරියක් කීවේ කල්පනාබරව ය. තවත් සුළු මොහොතකට පසුව ‘‘ලොකු දුරක් යන්න තියෙනවා.‘‘ ඇය ම සිනාමුසුව පැවසුවාය.

දෙමල බස නොදැනීමේ වරදකාරී හැඟීමෙන් සුපුරුදු ලෙස මම මට ම දොස් නගා ගනිමි. ඉදින් සන්නිවේදනය සිනාවට, දන්නා දෙමළ වචන කිහිපයට, ඉංගිරිසියට සීමා විය. වසන්ත පියතුමා නම් සිංහල වචන කිහිපයක් ගැට ගසා ගැනීමේ හැකියාව පිළිබඳ පසුවූයේ මහත් ආඩම්බරයෙනි.

සේයා - ලාල් ලක්ෂ්මන්

දෙව් මැදුරට එපිටින් වන මුහුද නොගැඹුරු ය. සොඳුරු ය.  කිසිදු සැක සංකාවකින් තොරවම ඇඳුම් උනා තබා මුහුදට පැන්න කොලු කුරුට්ටන් දිය කෙළියට වන්නේ අප තුළ ද මහත් ආශා දල්වමිනි. කාලය ඉතා සීමිත වූ බැවින් ඉවසා වදාරන්නට සිදු වූයේ සයුරු දිය සැනහීමේ නොහිම් කැමැත්තට සාධාරණයක් ඉටුකිරීමේ අවකාශ නොවූ බැවිනි.

අප වෙනුවෙන් සරල, රසවත් දිවා භෝජනයක් සූදානම්ව තිබිණි. උතුරුකරයටම  විශේෂිත වූ මුහුදු ආහාරවලින්ම තැනූ සූපය ‘‘කූල්‘‘ මුලින්ම පිළිගැන්විණි. බත ට සහල් ගමෙන්ම ය. අප ගෙන ගිය එළවලු දෙකක්ද පිස තිබිණි. මාලු හොද්දක් මෙන් ම බැදුමක් ද විය.

‘‘මෙහෙ ජීවන වියදම අඩුයි. මාලු මුහුදෙන්. හාල් ගණන් අඩුයි. දර ටික නොමිලේ. මිනිස්සුන්ට ඕන ජීවත් වෙන්න නිදහස. මූලික පහසුකම් ටික. පාර හැදිලා ගමනාගමන ප්‍රශ්න විසඳුණා නම් ලොකු දෙයක්. ඔයාල ඕනම වෙලාවක එන්න. ඇවිත් නැවතිලා අපේ අය එක්ක කතා බහ කරන්න. ඔයාලගෙ මීසම්වල අයටත් කියන්න උතුරට එන්න කියල.. සමඟිය ගොඩනඟන්න එකතුවෙලා වැඩ කරන්නයි ඕන.“ 

මඟින් මඟට ම වසන්ත පියතුමා කළ ඇරයුම එය ය. 

‘‘අපි මෙහෙ දරුවන්ව එහෙ එක්කරගෙන යමු.‘‘ අපිදු යෝජනා කළෙමු.
මනුෂ්‍යත්වය නංවාලීම වෙනුවෙන් කළ යුතු, කළ හැකි වැඩ කප්පරක් තිබිය දී අප මේ කරමින් සිටින්නේ මොනවාදැයි සිතෙන සිතුම වළක්වා ගැනුම අසීරු ය. ආපසු ගමනේ සිත සැනසිල්ලක ද,  නොඉවසිල්ලක ද තැබූයේ ඒ සිතුම විසින් අවුලුවා ලූ හැඟුම් කන්දරාවකිනි. 

දැකුම්කළු වත මත කල්පනාකාරී සිනාවක් අතුරමින් පෙර කී දැරිය පිළිවදන් දුන් අයුරු මම සිහිපත් කරමි.

‘‘අනාගතේදි ඔයාල මොනවද කරන්න හිතන්නෙ..“

‘‘මට මතක් වෙන්නෙ නෑ................. ලොකු දුරක් යන්න තියෙනවා.‘‘
ඒ ලොකු ගමන යන්නට උතුරු දකුණු භේදයකින් තොරව අප සියල්ලන්ම දරුවන්ගේ ආදරය ද, රැකවරණය ද, ශක්තිය ද විය යුතු නොවේද?