පිටු

Showing posts with label තරු සිත් ගත් ගී. Show all posts
Showing posts with label තරු සිත් ගත් ගී. Show all posts

Tuesday, September 11, 2018

වත්මන් කිතුනු ගීතිකාවේ දිවැසිවර ලකුණ... ගී දිවැසිය



( ගී දිවැසිය කිතුනු ගීත සංග්‍රහය සහ සංයුක්ත තැටිය එළිදැක්වීම 2018.09.15 දින සවස 3.00 ට මීගමුව මාරිස්ටෙලා විදුහල් ශාලාවේදී ද, 2018.09.16 දින සවස 3.00 කළුතර සිරි කුරුස විදුහලේදීද පැවැත්වීමට නියමිතය. එකී ගී පොත වෙනුවෙන් ලියූ පෙරවදනයි මේ... )

ගීතය, භාෂාවේ අපූර්වත්වයද, සංගීතයද, මානව හඬද එක්තැන් වූ සුවිශේෂ කලා මාධ්‍යයකි. එය මානව සිත්සතන්හි සංවේදී හැඟීම් පුබුදුවයි. බුද්ධිමය ප්‍රභාව අවුළුවයි. වර්තමානයේ ගීතය සහ ජීවිතය වෙන් කළ නොහැකි ලෙස එකිනෙකට බද්ධ වී ඇත. අප ප්‍රවේසම් විය යුත්තේ පුද්ගල ජීවිතයට සහ සමාජ ප්‍රගමනයට අද දවසේ ගීතය කොතරම් දුරට සාධනීයව බලපාන්නේද යන්න පිළිබඳවය. වෙළඳපළ බලාධිකාරයට යටත් වූ සෙසු කලාවන් සේම අද ගීතයද මුදල සහ ජනප්‍රියත්වය පමණක් ඉලක්ක කොට ගත්, ස්වකීය ආත්මීය වටිනාකම් වූ අර්ථය, රසය, අපූර්වත්වය අහිමි කරගත් ක්ෂණික වෙළඳ භාණ්ඩ බවට පත්ව තිබීම ඛේදනීය තත්ත්වයකි.

ගීතය යම් අනතුරකට මුහුණ පා ඇත්තේ යම් සේද කිතුනු ගීතිකාවද එපමණින්ම නොවුණත් යම් තරමක අනතුරුදායක අඩියක ඇති බව පෙනෙන්නට ඇත. දෙවි පියාණන්නේ ගැඹුරු ආදරය, ක්‍රිස්තුන් වහන්සේගේ විමුක්තිදායක ජීවන දැක්ම, මරිය මෑණියන්ගේ වීර්යසම්පන්න මාතෘ භුමිකාව පසෙක තිබියදී සරල, සුන්දර හැඟුම්, පුද්ගල යාතිකාවන්, බොළඳ සංකල්පනා අද ගීතිකාවද ආක්‍රමණය කරමින් පවතින බවක් දකින්නට ඇත. කිතුනු ගීතිකාවේ ඉතිහාසය මෙන්ම එහි කාර්යභාරය පිළිබඳවද අප වඩ වඩාත් විමසිලිමත් විය යුත්තේ එහෙයිනි.

කිතුනු ගීත සහ ගීතිකා, පොදු ගීතයෙන් වෙනස් වන්නේ කෙසේදැයි යන්න විමසා බැලීමද යුගයේ අවශ්‍යතාවක් ලෙස දකිමි. ගීතය මිනිසුන් අතර වන භාවමය, බුද්ධිමය සන්නිවේදන සබඳතාවක් වන අතර, ගීතිකාව මිනිසුන් වන අප දෙවි පියාණන් සමඟ සම්බන්ධ වන අධ්‍යාත්මික ගනුදෙනුවකි. එය ගැඹුරු අධ්‍යාත්මික ප්‍රකාශනයක් විය යුතුය. එසේම මානව ජීවිතය සහ දේව රාජ්‍යය අතර වන ප්‍රේමයේ බැඳීම පුළුල් කරවන්නක් විය යුතුය. දේව දරුවන් වන අප, අපගේ පියාණන් සමඟ ඉතා හෘදයාංගමව, අව්‍යාජව සම්බන්ධ වන සංවේදී අවකාශය ගීතිකාවයි. බයිබලයේ ගීතාවලියේ එන ගීත මේ සඳහා කදිම නිදසුන්ය. අප අද දවසේ ගයන කිතුනු ගීත සහ ගීතිකාවන් කොතෙක් දුරට දේව රාජ්‍යය උදෙසා සේවය කරන්නේද යන්න විමසා බැලීම වටින්නේ එහෙයිනි. 

පොට පටළවා ගැනීම නිසා අද බිහි වන බොහෝ කිතුනු ගීත මෙන්ම ගීතිකාද යුගයේ අනුරුවක් බඳු විරහ ශෝකාලාපවල හැඩරුව ගනිමින් පැවතීම සංවේගදායකය. එය කිතුනු විශ්වාසයේ මූලික පදනම වන ප්‍රේමයේ විමුක්තිදායක අත්දැකීම සාමූහිකව බෙදා හදා ගනු වෙනුවට දෙවියන් සමඟ හුදකලා වන මමත්වයේ අත්දැකීමක් ඉස්මතු කරවන බවක් පෙනෙන්නට ඇත. සැබෑ ක්‍රිස්තියානිය සැබවින්ම බරපතල ජීවිත අභියෝගයකි. නමුත් අද බිහි වන කිතුනු ගීත ඒ ජීවිත අභියෝගය සැබෑ ලෙස ඉස්මතු කරලීම වෙනුවට හුදකලා ආත්මලාභී ගායනා බවට පත්ව ඇත. 



‘‘වරක් ගැයීම දෙවරක් යැදීමකි.‘‘

ලාංකේය කතෝලික සාහිත්‍යය පිළිබඳව හැදෑරීමේදී කන්තාරු ගායනා නැත්නම් ගීතිකා ප‍්‍රමුඛව අවධාරණයට ලක් විය යුතු ක්ෂේත‍්‍රයකි. වරක් ගැයීම දෙවරක් යැදීමක් බව කිතුනුවෝ විශ්වාස කරති. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ සුවිශේෂ ගීත සාහිත්‍යය කැරොල්, පසම් කන්තාරු ලෙසින් හඳුන්වා දෙමින් ඒ පිළිබඳ මනා විවරණයක් සිදුකොට ඇත. ඒ මහත් සාහිත පරිශ‍්‍රමය වෙනුවෙන් අපගේ කෘතවේදීත්වය එතුමා වෙත හිමි විය යුතුමය.

නත්තල් සමයේ ගැයෙන ගීතිකා අපි කැරොල් ලෙසින් හඳුන්වමු. පසම් ගායනා වන්නේ, ජේසුතුමන්ගේ දුක් ප‍්‍රාප්තිය මුල් කරගනිමින් පාස්කු සමයේ ගැයෙන විලාප ගායනාය. කන්තාරු නැත්නම් ගීතිකා ලෙසින් හැඳින්වෙන්නේ කිතුනු ජනතාව තම වත්පිළිවෙත්වලදී දෙවිඳුන්ට ස්තෝත‍්‍ර කීම සඳහා ගායනා කරන ගීතය. දෙවිඳුන්ට, ජේසුතුමන්ට, මරියතුමියට, සාන්තුවරයන්ට ගයන ගීතිකා මෙන්ම තුති පිදීම, පශ්චාත්තාපය, මරණය, විවාහය ආදී  විශේෂ අවස්ථාවලදී ගැයෙන ගීතිකාද ඇත. මෙම කිතුනු ගීතිකා පමණක්ම ගත්තද එය අතිශය රමණීය, සුවිශාල සාහිත්‍ය සම්ප්‍රදානයක් බව පැහැදිලිය.

පෘතුග‍්‍රීසි පාලන සමයේ මිෂනාරිවරුන් විසින් සිංහල බසින් යාච්ඤා සහ ගීතිකා භාවිත කළ බවට අදහස් පළ වන නමුත්, සිංහල කිතුනු ගීතිකාවේ ආරම්භය භාග්‍යවන්ත ජුසේවාස් පියතුමා වෙතින් සිදු වූ බව සැලකේ. මෙහිදී වඩාත් හෘදයාංගමව දෙවිඳුන් ඇමතීම උදෙසා තම මව්බසින් ගීතිකා ගැයීමේ වැදගත්කම අවබෝධ කොටගත් එතුමෝ හෙළ කිතුනු ගීතිකා නිර්මාණය කරලීම සඳහා විශේෂ අවධානයක් යොමු කළහ.

එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන ගියේ ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමා විසිනි. සංගීතය කෙරෙහිද හසළ දැනුමැත්තකු වූ ගොන්සාල්වෙස් පියතුමා තමා සතු සංගීත ඥානයද මනාව හසුරුවමින් අදටත් ගැයෙන අගනා ගීතිකා රැසක් නිර්මාණය කළහ. කැරොල්, පසම්, කන්තාරු ගායනා ක්ෂේත‍්‍ර තුනටම එතුමාගේ දායකත්වය ලැබී ඇත. එතුමා විසින් රචිත ‘ආනන්ද කලිප්පුවදේශීය විරුදු, වන්නම් ශෛලියෙන් ලියන ලද ගීත 20 ක් ඇතුළත් කෘතියකි. මෙය ලෞකික සැපතෙහි නිස්සාර බවද, ජීවිතයෙහි අනියත බව ද මතු කරමින් රචිත කාව්‍යමය ගායනාය. ‘මංගල ගීතයවිවිධ ආගමික උත්සවවලදී ගායනා කරන්නට රචිත ගීත එකතුවකි. සප්තස්වර මියුරු ලෙස හැසිරවීමේ පියතුමා සතු මනා කෞශල්‍යයට එතුමා නිමැවූ ගීතිකා නිදසුන්ය. එසේම ඒවා සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයේ බසින්, විරිතින්, ආකෘතියෙන්ද පොහොසත්ය. අදටත් නත්තල් සමයේ ගැයෙනි ‘‘දෙවිඳු උපන්නේය සතුනි, දෙවිඳු උපන්නේය ඔහෝ‘‘ ගීතය එතුමාගේ මංගල ගීතය කෘතියෙහි එන ගීයකි.

පසන් ගායනාවල එන මෙම දේව මාතා වැලපිල්ල එතුමන් විසින් නිමැවූ මනරම් සංවේදී නිර්මාණයකි.

සුරලොවිනේ බැස මෙදිනේ - මව්කුසිනේ බිහිවෙමින්
කුඹු දෙතනේ කිරි බොමිනේ - මිණි ලෙසිනේ.. වැඩුනු තැනේ
අයියො මගේ සුර ජේසුනේ...

දිලෙන රනේ රුව ලෙසිනේ.. මල් උයනේ සිටිය දිනේ
මේ මරණේ ඔබට උනේ.. කිමද අනේ සුර ...  රජුනේ...

පසුකලෙක මනමේ නාටකය සඳහා එදිරිවීර සරච්චන්ද්‍රයන් තෝරා ගත් නාඩගම් ගී තනු, ගොන්සාල්වෙස් පියතුමාගේ තනු නිර්මාණවලට සමාන හැඩ රුව ඇති බව ප‍්‍රකට කරුණකි. කැරෙල්, පසම්, කන්තාරු කෘතියෙහි ලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිදසුන් සමඟ මේ සමානතාව පෙන්වා දී ඇත. අදත් දේවස්ථානවල ගැයෙන ත‍්‍රී එක සුර ජේසුනේ ගායනාවේ රිද්මය මනමේ නාටකයේ එන පවර එනිරිඳුගෙ පුත් කුමරා වෙමිගීතය තුළ දැකිය හැකිය. ‘පේ‍්‍රමයෙන් මන රංජිත වේ...ගී තනුව සිහිපත් කරනුයේ ‘‘ආරම්බෙන් පෙර නිර්මිත මනුලොව -  ආදිත්‍ය යුරු නිර්මලියේ සුරගීතිකාවය. 

මෙලෙස දේශීය ආරක් ගත් ගීතිකා සම්ප‍්‍රදායක් ජාකෝමෝ ගොන්සාල්වෙස් පියතුමා අතින් බිහි වුණද එතුමාගෙන් පසුව නැවතත් කිතුනු ගීතිකාව බටහිර දෙසට නැඹුරු විය. කිතු සමය දේශීයකරණය වීම පිළිබඳව උද්‍යෝගයෙන් කටයුතු කළ අතිගරු එඩ්මන්ඩ් පීරිස් රදගුරු හිමිපාණන් අතින් වුවද ගීතිකා නිර්මාණය වූයේ බටහිර ආරටය. කෙසේනමුත් එතුමා අපරදිග ගීතිකා හෙළ බසට නගමින්ද, ස්වතන්ත‍්‍ර ගීතිකා නිර්මාණය කරමින්ද කිතුනු ගීතිකා සාහිත්‍යයේ උන්නතියට ලබා දුන් දායකත්වය අගය කළ යුතුය.

ගරු මෝසෙස් පෙරේරා පියතුමා බයිබලයේ ගීතාවලියේ එක් එක් කොටස් තෙහිළි ගී නමින් හෙළ බසට නගා ඇත. අර්ථ සම්පන්නතාව, භාෂාවෙහි මධුර බව මෙන්ම සුගායනීය බව ද මෙම තෙහිළි ගීවල නොඅඩුව ගැබ්ව ඇත. ඒ සඳහා එක් නිදසුනකි මේ.

දුවන ලෙසට පවසෙ පෙලි පෙලී
මුවදෙන උල්දියට සුසුම් ලා
හැපෙයි මගේ දෙවියනේ
මගෙ අත් බව ඔබ මැ සොය සොයා

එතුමා පසස ගී නමින් ගීතිකා පොත් පෙළක් පළ කර ඇති අතර, ඒවා ඇදහිල්ල සවිමත් කරන ගායනා ලෙසින් මෙන්ම අතිශය නැවුම්, අරුත්බර ගේය කාව්‍ය ලෙසද අගය කළ හැකිය. අපමණ සෙත මට සැලසූ සමිඳුට, කවුරු වුවත් ඔබ කොතැන වුවත් ඔබ මගේ සහෝදරයා, ජේසුනී නිහඬ වී මදොස පුදසුනේ, දෙවන් පහන් මිණි නගා වඩිනු සුදතුනේ, මහිමේ උස් මණ්ඩලේ, සමිඳේ ඔබ ඔබේ දෙසට සෙත සැලසූවෝ එතුමා විසින් රචිත අදටත් ගැයෙන මනරම් ගීතිකාවන්ට නිදසුන්ය.
   
කිතුනු ගීතිකාවේ අපරදිග නැඹුරුව බිඳ දමමින් වඩාත් ස්වදේශීය හැඩයක් ගෙන දෙන්නට නිහඬ අරගලයක් ගෙන ගියේ නිර්මල මරිය නිකායික ගරු මර්සලින් ජයකොඩි පියතුමාය. එතුමා ඇදහිල්ල සොබාදහම හා මුසු කරමින් සරල, සිලිටි ලෙස හසුරුවන ලද මනරම් හෙළ බසින් ගීතිකා ගීත රැසක් අප වෙත දායාද කොට ඇත. සපිරි සෑම අසිරි සෝම මව් මරියේම පණ වැනී, නෙළුම් පිපීලා පෙති විසිරීලා, මගෙ ආදර හැම හැඟුමම මිණි කැට කරවා, සුවඳ සැවැන්දන කුංකුම චන්දන, ඔබයි අපේ රාණි ලක්සන ලක් රාණි... වැනි ගීතිකා නිරීක්ෂණය කිරීමේදී එතුමා කොතෙක් දුරට අප රටේ වටපිටාව, ගැමි වහර, හෙළ ලකුණ කිතු දහම තුළට ගෙන එන්නට වෑයම් කළේද යන්න පසක් වේ.



මහැදුරු සුනිල් ආරියරත්නයන් කිතුනු ගීතිකාවට කළ අභියෝගය...

‘‘අද්‍යතන ගීතිකා රචකයන් විසින් පූර්වාදර්ශ කොට ගත යුත්තේ ජාකෝමේ ගොන්සාල්වෙස්, මර්සලීන් ජයකොඩි වැනි පියවරුන්ගේ සාහිත්‍ය හා සංගීත සම්ප‍්‍රදායයන්යැයි අපට සිතේ. එහෙත් අද්‍යතන රචකයා, ජයකොඩි පියනම අද සිටින දැඩි සෞන්දර්යවාදී ආස්ථානය සමතික‍්‍රමණය කළ යුතුව තිබේ. ගැඹුරින් චිත්ත සන්තානය ආමන්ත‍්‍රණය කළ හැකි මාධ්‍යයක් ලෙස ගීතිකාව සකස් කරගතහොත් එය වඩාත් ඵලදායී සහ සජීවී ගීත විශේෂයක් බවට පත් වනු නොඅනුමානය.‘‘

කැරොල්, පසම්, කන්තාරු කෘතියෙහි එලෙස සඳහන් කරන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ඉන් නොනැවතී නත්තල් ගීතයට නව අර්ථයක් සහ නත්තලේ සැබෑ දහම් හරයට නව සමාජ අගයක් එක්කරමින් ‘‘දුගී පැලේ දිනා මෙලෝ තලේ දිනූනත්තල් ගීතය ලීවේය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අද්‍යතන කිතුනු ගීතිකාවට දායක වන්නන් හමුවේ තැබූ ඒ බරපතල අභියෝගයට එදා මෙදා තුර වඩාත් ගැඹුරින් සහ උවමනාවෙන් පිළිතුරු දුන්නේ කිතුසර කණ්ඩායම බව මගේ හැඟීමය. කිතුනු ගීතිකාවට සමාජමය ගැඹුරක් එක්කරමින්, නව හැඩයක් එක්කරමින් කිතුදන පුබුදුව ඉටුකළ මෙහෙවරද මේ මොහොතේ විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

ක්‍රිස්තියානි විමුක්ති දැක්ම පදනම් වූ කිතුනු ගීත/ගීතිකා කලාවක් සමාජගත කිරීමේ අවශ්‍යතාව මනාව අවබෝධ කොට ගත් කිතුසර කණ්ඩායම, පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කිරීම සැබෑ ක‍්‍රිස්තියානිය බව ගෙන හැර දක්වන නව කිතුනු සාහිත්‍යයක් ගොඩනැංවීමේ දැනුවත් වැඩපිළිවෙලක නියැළෙන්නේ බොහෝ කලක සිටය. මේ හරහා නිමැවුණු ගීත, ගීතිකා මෙන්ම වෙනත් සාහිත්‍ය කෘතිද පොදු සමාජය තුළ ජනප‍්‍රිය නොවුණද ලාංකේය කිතුනු සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කිරීමට ලබා දුන් අර්ථවත් දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකිය. කිතුනු ගීත ක්ෂේත්‍රයට ඔවුන් තිළිණ කළ ගී සමුච්චයද හරවත් සංවාදයක් ගොඩනගන්නකි.  

කිතුසර කණ්ඩායම මේ වන විට මුද්‍රණයෙන් පළකර ඇති ගේය කාව්‍ය සංග්‍රහ ලෙස ‘තිලැස‘, ‘විනිවිද‘, ‘තාරණ කෘති හැඳින්විය හැකිය. ‘විනිවිද‘ කෘතිය පළවූයේ ගොඩගේ ප්‍රකාශනයක් ලෙසිනි.  මෙම කෘතිවල වැඩිමනත් ගී වියමන් කිතුසර ප්‍රධාන සංස්කාරක මහින්ද නාමල් සොයුරාගෙනි. ඔහු විමුක්ති දෙව් දහමේ ආලෝකය තුළ ක‍්‍රිස්තියානි සංස්කෘතික පසුබිම, දේව ධාර්මික කාරණා මෙන්ම පොදු සමාජ කාරණා ද ආරම්මණය කොට ගත් ගේය කාව්‍ය රචනා කරන්නෙකි. මහින්ද නාමල් හුදු සාහිත්‍යමය කර්තව්‍යයක් ලෙස පමණක් නිර්මාණකරණයේ යෙදෙන්නෙකු නොවේ. පැහැදිලිවම විමුක්තිදායක කිතු සමිඳුන්ගේ ප්‍රේමය පදනම කොටගනිමින් සමාජ අරමුණක් ඉලක්ක කොට ගෙන නිර්මාණකරණයේ යෙදෙන කිතුනු ලේඛකයෙකි.

කුරුසිය කර දරා කල්වාරි කන්ද නඟින තම පුතු දෙස බලමින් මරිය මාතාව ධෛර්යය දෙන අයුරු ඔහු ගීතයට නඟා ඇත්තේ මෙලෙසිනි. ගයන්නේ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසිනි.

බාලොලි ලොලි කියලා - පිදුරු ගොඩේ තියලා
නැලෙව්වා නුඹ විස්මයෙන් මම රුදුරු ඒ රෑ යාමේ
මතක පොත පෙරළේ දිරිය සිත මතු වේ
නුඹේ සිහිනය මගේ සිහිනය පරාජිත නැහැ පුතේ...

කුසට නුඹ ආ දා පටන් අපමණක් නින්දා
මාත් සමඟින් දරා ගත් පුත
මාත් ඉන්නම් නඟිමු මේ හෙල
කඳුළු කුමටද මයෙ පුතේ බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින් නුඹේ මෙහෙවර නිම කරන්

නොදැන උන් පුතුනේ සඳුන් ගස තැලූවේ
සුවඳ ගව්සිය පැතිරෙනා බව මම දනිමි පුතුනේ
නුඹ මැරී වැටෙතත් බීජයක් ලෙස මැයි
දළු දමා මහ ගසන් වන බව මම දනිමි පුතුනේ
කඳුළු කුමටද මයෙ පුතේ බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින් නුඹේ මෙහෙවර නිම කරන්

මේ ගී මඟ ගත් තවත් නූතන ලේඛකයන් අතර මංජුල වෙඩිවර්ධන, වියානි ටෙන්සින්, අජිත් හැඩ්ලි පෙරේරා ඇතුළු පිරිසක් වෙත්. අමරසිරි පීරිස් ගයන මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘මග්දලාවේ මරියනීකිතු සමය මෙන්ම බොදු දහමද ඇසුරු කරමින් පීඩිත ගැහැනිය පිළිබඳව ලියූ අපූරු ගීතයකි. එසේම නාමල් ජයසිංහ විසින් රචිත ‘අප්පච්චිටෙලි නාට්‍යෙය් එන කසුන් කල්හාර ගයන‘ නාසරතයේ සහෝදරයා ... සත්‍යයේ පූජාවට නුඹේ කාලේ නුඹ දැරූ... එවැනි කුරුස තව තියෙනවා‘‘ ගීතයද විකල්ප ධාරාවේ කිතුනු ගී අතරට එක් කළ හැකියැයි සිතමි. 

ජේසු උපත අසා බියට පත් හෙරොද් රජු ජුදයේ පිරිමි දරුවන් මරා දැමීම වියානි ටෙන්සින් නත්තල් ගීතයක් ලෙසින් ලියා දක්වන්නේ මෙලෙසිනි. මෙය එතෙක් පැවති සොබාදහමේ සුන්දරත්වය හා මුසු වූ විචිත‍්‍ර නත්තල විනිවිද සැබෑ නත්තල් අත්දැකීමට සමීප වන්නට දැරූ උත්සාහයකි.

ඝනදුර කුටියම වට කරගත්තා
කුර හඬ ළංවී සවනට ඇසුණා
දඩ බල්ලන් කිරි දරුවන් මැරුවා
ජුදයේ මව්වරු විලාප නැගුවා
සියලූ ලෙසින් බල වියරු වෙලා රජුනේ
සිහසුන නොවෙදෝ සේදුවෙ අසිපත රුහිරේ

නත්තල් සීයා ගැන අජිත් හැඩ්ලි ලියූ ගීයක කොටසකි මේ.

ඉස්සර නම් සීයා අපටයි දුන්නේ
දැන් නත්තල් සීයා අපෙනුයි ගන්නේ
සේල් සේල් සේල් කියා හිනාපාන්නේ
ඒ ගැටේට අහුවුණාම කොකා පාන්නේ

මීට අමතරව ජනප‍්‍රිය ධාරාව තුළද කිතුනු ගීතය ගමන් කරන බවට සලකුණු ඇත. සංගීතවේදී රූකාන්ත ගුණතිලක විසින්ද වඩාත් ජනාදරයට පත් කිතුනු ගීත කිහිපයක්ම නිර්මාණය කර ඇත. මෑත කාලයේ විද්‍යුත් මාධ්‍ය ජාලාද නත්තල් ගීත නිර්මාණය කර ප‍්‍රචාරය කරන බව පෙනේ. නමුත් මාධ්‍ය හරහා මෙලෙස ජනප්‍රියත්වයට පත් වන ගීත, ගීතිකා කොතරම් දුරට කිතුනු ප්‍රේමයේ සැබෑ ගැඹුර මතුකරන්නේදැයි යන්න ගැටලුවකි.

‘ගී දිවැසිය‘ අද්‍යතන කිතුනු ගීතයේ දිවැසිවර ලකුණ...

ක්‍රිස්තියානිකම අප වෙත උරුම වන්නේම ත්‍රිවිධ කාර්යභාරයක් පවරමිනි. ඒ රාජකීය, පූජක, දිවැසිවර වගකීමයි. දේව කැමැත්ත ජනතාව වෙත දන්වමින් දේව රාජ්‍යය උදාකරලීම උදෙසා සක්‍රීයව දායකවීමට ජනතාව පෙළගැස්වීම දිවැසිවරයාගේ වගකීම වේ. එම දිවැසිවර කාර්යය වඩාත් ශක්තිමත්ව ඉටුකරලීම උදෙසා ගීතය දායක කරගැනීමේ අරමුණින් එළිදක්වන ‘ගී දිවැසිය‘ කිතුසර කණ්ඩායමේ නවතම ගීත එකතුව, කිතුනු ගීතය සම්බන්ධව අප වඩාත් පුළුල් අත්දැකීමකට සහ ගැඹුරු මෙනෙහිකිරීමකට, අරුත්බර සංවාදයකට යොමු කරවන ගේය පද සංගායනාවක් බව මගේ හැඟීමයි.  

එහි පළමු ගීතිකාව වෙන්වන්නේ ශුද්ධාත්ම නැමදුමටය. සාම්ප්‍රදායික ආමන්ත්‍රණයෙන් බැහැරව මෙහිදී ශුද්ධාත්මයාණන් වහන්සේ අමතන්නේ ‘ප්‍රාණයාණනී‘ යනුවෙනි. ‘පණ දෙන්නා, ජීවය දෙන්නා යන අරුතින් ප්‍රාණයාණනී යන ඇමතුම අර්ථ සම්පන්න නැවුම් හැඟුමක් ඇති කරයි. අපගේ මැරුණු ඇදහිල්ලට පණ දෙන්න යැයි ශුද්ධාත්මයාණන් වහන්සේට කරන අයැදුම, සමස්ත ගීතාවලියේ අරුත එක් මිටකට ගත්තාක් බඳුය.  එය ගී එකතුවට එක්කරනුයේ මහා ජීව ගුණයකි.

ප්‍රාණයාණනී
අපේ මැරුණු ඇදහිල්ලට
පණ පොවන්න පණ පොවන්න
ප්‍රාණයාණනී...

අපගේ ජීවිත කැඳවීම පිළිබඳව නැවත මෙනෙහි කිරීමක් සමඟින්ම, අලුත් අහසක් අලුත් පොළවක් පිළිබඳව දේව කැමැත්ත ඉටුකරන්නට කැප වීම අපගේ වගකීම වන බව සිහිපත් කරන ගීත කිහිපයක්ම මෙහි ඇතුළත්ය. ඒ අතර ‘‘මිනිසෙක් අවැසියි දෙවිඳුන්ට යවන්න එතුමා වෙනුවෙන්‘‘ ගීතය, ‘වන්නට කැමතිද ඒ මිනිසා ඔබ, වන්නට කැමතිද ඒ ගැහැනිය ඔබ?‘ යනුවෙන් අපෙන් විමසනුයේ අපගේ හෘද සාක්ෂිය  අවදිකරන්නට ඇරයුමක් සමගිනි. මතුපිට ඇදහිල්ලට පමණක් සීමා වූ කිතුනුවකු නොවී කුරුසියේ මඟ යන්නට මේ කරන ඇරයුම කොතරම් අභියෝගාත්මකද?
අද දවසේ ජේසු නමින් මහින්ද නාමල් විසින් රචිත මේ ගී පද රචනාව, සැබෑ ක්‍රිස්තු අත්දැකීමට සාංඝික වෙමින් කාලීන මානව පැවැත්ම හා බද්ධව ජීවත් වන්නට අපගේ හද, මනස පුබුදුවා ලන්නකි.

ඇණ ගසා කුරුසියේ සතපවා ගල්ලෙනේ
මකන්නට ඉතිහාසයෙන් නොහැකි වූ මිනිසාණනේ
ඊයෙ වගේ අදත්... අද වගේ හෙටත්
ආනුභාවය දෙමින්... අනුප‍්‍රාණය වෙමින්
ඔබ හිඳී... ඔබ හිඳී...
අලූත් අහසක් අලූත් පොළවක්
පතන මිනිසුන් හදවතේ...

දෙවන ගී පද පේළිය පවසන්නේ අද දවසේ ජේසු හමුවිය හැක්කේ අන්ධ බැතිය තුළ නොවන බවය. පීඩිත ජන දිවි අරගලය සමඟ ජීවත්වන ගැහැනුන්, මිනිසුන් තුළ අද දවසේ ජේසු හමුවිය හැකි බවය. හමුවිය යුතු බවය.

වහළෙක්ව දිවි ගෙවන - පිපාසෙන් පණ අදින
කුසගිනිව මිය ඇදෙන කුරා කුහුඹු මිනිසා.... තුළයි කිතු සමිඳා...
යුක්තියට පවසින් පෙළෙන - සත්‍යයට දිවියත් පුදන
ආත්මය පාවා නොදෙන - දිරිය ඇති මිනිසා......
තුළයි කිතු සමිඳා...

අපගේ කිතුනු ගීත/ගීතිකා තුළ මරිය මව්තුමියගේ සැබෑ ජීවන අත්දැකීම කොතරම් දුරට පිළිබිඹු වන්නේද යන්න ගැටලුවකි. සොබාදහම තුළ රැජිණියක් ලෙස උත්කර්ශයට නගන ඈ, දෙව් පුතුට උපත දුන් කන්‍යාවිය ලෙස වර්ණනාවට පාත්‍ර වන ඈ විමුක්තිදායක විප්ලවයකට මාතෘත්වය දුන් ධෛර්යවන්ත ගැහැනියක ලෙස දකින්නේ කොතරම් අල්පවද? විශ්වයේ අම්මා ලෙසින් මරිය මව්තුමිය හඳුන්වන ගීතය අපට සිහි කරනුයේ සොබාදමේ රැජිණිය ලෙස ඈ පිළිගන්නේ නම් අප පරිසරය සුරැකීමට කොතරම් කැපවිය යුතුද යන්නයි.

අතුරුදන් වූ, මරා දැමුණු තම දරුවන් සම්බන්ධයෙන් හඬා වැළපෙන දමිළ අම්මාවරුන්ගේ යාතිකාවක් ලෙස ගැයෙන ‘‘මරුද මඩු අම්මේ‘‘ ගීතය නෙත කඳුළක් මතු කරවන තරම් ප්‍රබල පද ගැළපුමකි. විශේෂයෙන් මඩු දේවස්ථානය වැඳ පුදා ගැනීමට යතත්, මරඳ මඩු දේවමාතාවන් කෙරෙහි උතුරා යන භක්තියක් ඇතත්, උතුරු නැගෙනහිර අම්මාවරුන්ගේ කඳුළු කෙරෙහි අසංවේදී වන දකුණේ ජනතාවගේ හෘද සාක්ෂිය මත මෙම ගීතය පතිත වනු ඇත්තේ අකුණු සරයක් ලෙසිනි.

මරුද මඩු අම්මේ
සමාවුව මැන අපේ යැදුමට
මරුද මඩු අම්මේ
අහිමි වු දා ඔබට ඔබේ පුතු
සිරුර ලැබුනා වැළඳ ගන්නට
සොහොන් ගැබකුත් සතපවන්නට
අපිට අම්මේ ඒ ටිකත් නෑ
කඳුළු විතරයි සුසුම් විතරයි
ඉන්නවද අපේ දරුවෝ....  ඉන්නවද අපේ සැමියෝ
කියාදෙනු මැන අම්මේ.... සොයාදෙනු මැන අම්මේ

අපේ දහඩිය වැටුනු පොළවේ
අපේ කුඹුරේ අපේ වෙරළේ
අපිට අයිතිය නෑ
ලබාදෙනු මැන අම්මේ - අපේ ජීවිතේ අම්මේ

අපේ නෑසියෝ නිදන පොළවේ
කුරුසියක් සිටුවන්න තවමත්
අපිට අයිතිය නෑ
ලබාදෙනු මැන අම්මේ - අපේ අයිතිය අම්මේ

කාලීන සමාජ ප්‍රශ්න කිතුනු ගීතයට පසුබිම් කරගනිමින් ඒ හරහා සමාජය ආමන්ත්‍රණය කරන්නට උත්සාහ දරන අවස්ථා මේ ගී එකතුව තුළ සුලබ දසුනකි. උක්ත මරුද මඩු අම්මේ ගීතයද එක් නිදසුනකි.

ධනවාදයට උගස් තැබුණු සමාජ ක්‍රමය තුළ පවුලක ශක්තිවන්ත බැඳීම්,  අනෝන්‍ය අවබෝධයෙන් යුතු මව්පිය දූ දරු සබඳතා වියැකී යමින් පවතී. ‘මව්පිය යැදුම‘ ගීතය අපට සිහිපත් කරන්නේ මව්පියන් ඇඹුල් මිදි කෑවොත් දරුවන්ගේ දත් හිරි වැටෙනු ඇත යන්නය. පවුල් දිවියේ අරුත සහ සිරිතට ගරු කරමින් දරුවන්ගේ ජීවිත ගොඩනැගීමට ප්‍රමුඛත්වය දෙමින් කැප විය යුතු බව අඟවන්නට බයිබලීය කියමන් සමඟින්  රචිත අපූරු ගීතයකි ඒ.  

තේ වතු, රබර් වතු අස්සේ දියවෙන ජීවිත පිළිබඳ ඛේදවාචකය ගෙනෙන්නේ ජේසු සාමිට යැදුමක් ගීතයෙනි.

අපේ කඳුළු වගුරා
රබර් කිරට හරවා
අපේ රුහිරු හෙළලා
තේ ලේ පැහැ ගන්වා
රන් කහවනු මේ දේශෙට දුන්නා
විනිමය උපයා රට ගොඩනැගුවා
ජේසු සාමි ඔබ ඒ බව දන්නවා
දෙව් ස්වරූපය අපටත් තියෙනවා...

බයිබලීය අත්දැකීම් අද දවසට ගළපමින් රචිත ගායනාද, දේව මැවිල්ල උත්කර්ෂයට නඟමින් ඒ තුළ මානව වගකීම ඉස්මතු කරවන ගීතද, දේව රාජ්‍යය උදාකරලීම සඳහා අපගේ කාර්යභාරය යළි යළි සිහිගන්වන ගීතද මෙහි ඇතුළත්ය. බයිබලීය විමුක්ති ඉතිහාසයේ අත්දැකීම අද දවසේ සමාජය කියවා ගැනීමට කොතරම් ආලෝකයක් ලබා දෙන්නේද යන්න ඉතාම පැහැදිලිය. අපගේ කිතුනු ලේඛකයන් කොතෙක් දුරට එකී විමුක්ති දැක්ම තම නිර්මාණ සඳහා පාදක කරගන්නේද යන්න ගැටලුවකි. 

අර්ථ රසයෙන් සහ අපූර්වත්වයෙන් නොඅඩු ගී දිවැසිය ගී කළඹ අප හදවත් සංවේදී කරවමින්, ප්‍රඥාසම්පන්න කරවීමට සුවිශේෂ මෙහෙවරක් ඉටුකරනු ඇති බව නොඅනුමානය. ස්වර්ගීය කැඳවුමට පිළිතුරු දෙමින් සමාජ ප්‍රගමනය උදෙසා දායක වීමට ගී දිවැසිය ගීතාවලිය අපගේ කිතුනු ජීවිතයට අභියෝග කරනු ඇත.

අලුත් අහසක්, අලුත් පොළවක් පිළිබඳ දේව අභිමතය යථාර්ථයක් වනු සඳහා දිවැසිවර කැඳවීමෙහි කැපවන්නට  මේ ගී කළඹ පන්නරයක් වේවා!

තරංගනී රෙසිකා ප්‍රනාන්දු




Wednesday, April 26, 2017

නුඹේ සිහිනය මගේ සිහිනය පරාජිත නැහැ පුතේ


ළදරු ජේසු වඩාගෙන සිටිනා මරියාවන්ගේ දසුනකි.

( බාලොලි ලොලි කියලා ගීතය පිළිබඳව http://jesustodaysl.org වෙබ් අඩවියට ලියූ ලිපියකි. )

ගැහැනියක ස්වකීය ජීවිතයේ ලබා ගන්නා උත්තරීතරම පදවිය මව් පදවිය බවට විවාදයක් නැත. ඇය ජීවිතයේ ලබන උතුම්ම සම්පත ඇගේ දරුවන් නොවන්නේද? ඇය ද එබඳුම අම්මා කෙනෙකි. නමුත් සාමාන්‍ය මවකගේ වගකීමෙන් එහා ගිය විශ්වීය වගකීමක් භාරගන්නට ඇයට සිදුවිය. ‘‘මේ මම ස්වාමින්වහන්සේගේ දාසිය වෙමි. ඔබ කී වචනය ලෙස මට සිදුවේවා.‘‘ කියමින් ස්වර්ගීය කැමැත්ත මේ මහපොළව මත යථාර්ථයක්ව ජනිතකිරීමේ වගකීමට උර දුන් ඇය කිසිවිටෙක ඒ වගකීම පැහැර නොහැරියාය.

By Larry Mullins and Joan Batson Mullins
ග්‍රේබියල් දේව දූතයා යොවුන් මරියාට දර්ශනය වූ අවස්ථාව  - ඇය දේව පුත්‍ර ජේසුගේ මව වීමට තෝරා ගෙන ඇති බව ප්‍රකාශ වෙන්නෙ මේ අවස්ථාවෙදි....

මානව විමුක්තිය උදෙසා මනුෂ්‍යත්වය ගෙන පැමිණෙන්නාවූ දේව පුත්‍රයා කුස දැරීමේ වගකීම එකසිතින් බාර ගත් ඇය කෙබඳු නිර්භීත ගැහැනියක් විය යුතු ද? පියෙකු නැති දරුවකු කුස දැරීම බරපතල සමාජ අපරාධයක්ව තිබියදී පවා ඒ සා ධෛර්යයක් පෙන්වීම සැබවින්ම විස්මිතය.  ඇය එතරම්ම දේව ආදරයෙන්, මානව දයාවෙන් පිරිපුන් ධෛර්යවන්ත ගැහැනියක විය.

ඈ මරියාවන්ය. ජේසුස්වහන්සේගේ ආදරණීය අම්මා ය.

බාලොලි ලොලි කියලා පිදුරු ගොඩේ තියලා
නැළෙව්වා නුඹ විශ්මයෙන් මම රුදුරු ඒ රෑ යාමේ
මතක පොත පෙරළේ දිව්‍ය සිත මතුයේ
නුඹේ සිහිනය මගේ සිහිනය පරාජිත නැහැ පුතේ
පරාජිත නැහැ පුතේ...

අධිරාජ්‍යයක නියෝගයක් පිළිපදිනු පිණිස ජන සංගණනයක් වෙනුවෙන් දුර බැහැර ගෙවා නාඳුනන කුඩා නගරයකට ආගන්තුකයින් ලෙස ඔවුහු පැමිණියහ. ඒ වනවිටත් විළිරුදාවෙන් පෙළෙමින් සිටි ගැබිණි මරියා සහ ඇයගේ ස්වාමිපුරුෂයා වූ ජුසේ වෙනුවෙන්  කිසිදු නවාතැන්පළක ඉඩකඩ නොවුණි. අවසන කුඩා ගවහලක් සිය පුතුගේ තිඹිරි ගෙය කොටගත් ඇය ඒ කටුක එලෙසින්ම විස්මිත රැයේ සිය පුතු නළවන්නට ඇත්තේ කොතරම් දයාර්ද්‍ර හදින් විය යුතු ද? එලෙසින්ම සිය පුතුගේ අනාගත මෙහෙවර පිළිබඳ සුවහසක් සිහිනයන්, අපේක්ෂාවන් මෙන්ම සාංකාවන්ද ඈ සිත තුළ පෙරළි කරන්නට ඇත.

ජන සංගණනය සඳහා බෙතේලෙහෙම් නුවරට එන ගැබිණි මරියතුමිය කොටළුවකු පිට නැගී
ඇයගේ ස්වාමිපුරුෂයා ජුසේතුමා සමඟින්

කුසට නුඹ ආ දා පටන් අපමණක් නින්දා
මාත් සමඟින් දරා ගත් පුත
මාත් එන්නම් නඟිමු මේ හෙල
කඳුළු කුමටද මයෙ පුතේ
බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින්
නුඹේ මෙහෙවර නිම කරන් 

.... මම ඒ මොහොත සිතෙහි ඇඳ ගනිමි. ලේ වැකි සිරුරින්, කුරුසියේ බරින් පීඩිතව ඇදෙන තරුණ ජේසු පසෙකින් ගමන්ගන්නා මරිය මව්තුමියගේ රුව වේදනාවක් ජනිත කරයි. දරන්නට අසීරු වේදනාව ළය තුළම සිර කරගෙන ඇය ස්වකීය පුත්‍රයාට ධෛර්යය දෙන්නීය.....   

තම පුතු කුස පිළිසිඳි දා සිට ඈ මුහුණ දුන්නේ ගැහැනියකට, මවකට උහුළා විඳ දරාගත හැකි ඉරණමකට නම් නොවේ. දරුවකු කුස දරන බව දැනගත් විට විවාහ බස් දී සිටි තරුණයා ජුසේ පවා රහසින් ඇය අත්හැර දමන්නට සිතීය. ඒ වැළකුණේ දිව්‍යමය මැදිහත්වීමකින් බවට සුභාරංචිය පවසයි. පිළිසිඳගැන්මේ සිට කල්වාරි ගිරි හිස කුරුසියෙහි මරණය දක්වාද, ඉන්පසුවද තම පුත්‍රයාගේ ජීවිතය හා බැඳී සිටි මරිය මාතාව ඒ ධර්මදූත මෙහෙවර සාක්ෂාත් කරගන්නට අපමණ මෙහෙවරක් ඉටුකළාය. ඇගේ මව්ගුණය දිව්‍යමය වන්නේ, මහත් ඉවසීමෙන්, කැපවීමෙන්, දරාගැනීමෙන්, නොපසුබස්නා හැඟීමෙන් ඈ සිදුකළ මෙහෙවර තුළය. 

ජීවිත අරගල හමුවේ පසුබස්නා තම දරුවන්ට මෙලෙස ධෛර්යයක් වන්නට අද අපේ මව්වරුන්ට හැකියාවක් ඇත්ද? ස්වාර්ථය පසෙකලා සමස්ත සමාජය වෙනුවෙන් මෙහෙවරක නියැලෙන තම දරුවන්ට ආශිර්වාද කරන්නට අද අපේ මව්වරුන් පෙළඹේවිද? අප ගැඹුරින් සිතා බැලිය යුතුය. 

නොදැන උන් පුතුනේ සඳුන් ගස තැලුවේ
සුවඳ ගව් සිය පැතිරෙනා බව
මම දනිමි පුතුනේ
නුඹ මැරී වැටෙතත් බීජයක් ලෙස මැයි
දළු දමා මහ ගසක් වන බව
මම දනිමි පුතුනේ...

මනුෂ්‍යත්වය, යුක්තිය, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම අයකු පවතින සමාජ, දේශපාලන, ආගමික අධිපතිවාදයට එරෙහි ද්‍රෝහියකු සේ හංවඩුගැසීම අදටත් අඛණ්ඩව සිදුවන්නකි. තරුණ ජේසුට කුරුසියේ මරණය උරුමවනුයේ අන්කිසිවක් නිසා නොව එකල පැවති සමාජ, දේශපාලන, ආගමික අධිපතිවාදයට ඔහු පෙන්වා දුන් මානව විමුක්තිය පිළිබඳ පණිවිඩය දරන්නට නොහැකි වීම හේතුවෙනි. ඒ වටා රොද බැඳි මිනිසුන් තම පැවැත්මට අභියෝගයක් වන බව ඔවුන් වටහා ගත් හෙයිනි. නමුත් සඳුන් ගස තලා දැමූවට එහි සුවඳ විහිදෙනු වළකනු හැකිද? තලන්නට තලන්නට වානේ පන්නරය ලබන්නා සේ, තලා පෙලා දමන විට වඩ වඩාත් සඳුන් සුවඳ පැතිරෙන්නා සේ පීඩිත ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ජේසුස් වහන්සේ ගෙන ගිය දූත මෙහෙවර තවදුරටත් මුවහත් වන්නට විය. එය මරාදැමීමෙන් වුව නවත්වනු හැකි වූ ගමනක් නොවීය.

ජේසුතුමාගේ ගෝලයකු වන ජුවාම් සහ මග්දලාහි මරියා සමඟ කල්වාරිය නඟින මරියතුමිය

ජේසුතුමන් මරාදැමීමෙන් පසුව බියපත්ව, තැන තැන සැඟව සිටි සමූහයාට ඉක්බිති ශක්තියක් වූයේ ද මරියාවන්මය. සෙනග රොක් වූයේ ඈ වටා ය.

කඳුළු කුමටද මයෙ පුතේ
බලාපන් ඇස් දෙක මගේ
දිරිය දිළිසෙන අරගනින්
නුඹේ මෙහෙවර නිම කරන් ....

කුස පිළිසිඳි දා සිට ම, මෙලොව එළිය දුටු දා සිටම තම පුතුට පැවරී ඇති විශේෂ දූත කාර්යයට ඔහු සූදානම් කරන්නට ඇත්තේ මරියාවන් විසින් බවට සැකයක් නැත. මරියතුමියගේ උදානගීතය මැනවින් විමසා බලන විට, තම පුතුට පැවරෙන කැඳවීමේ කාර්යභාරය කුමක්ද, එහි බරපතල බව කෙබඳුද? ඒ සඳහා තමාට පැවරී ඇති සමාජ වගකීම කුමක්ද යන්න පිළිබඳව ඇය මනා අවබෝධයකින් පසු වූ බව පැහැදිලිය. මව සහ පුතු අතර වූ මේ සුවිශේෂ බැඳීම, අන්‍යෝන්‍ය අවබෝධය, දිරිගැන්වීම මානව විමුක්තිය වෙනුවෙන් ජේසු තරුණයා ගෙන ගිය අරගලයට පන්නරයක් වන්නට ඇති බව නිසැකය.

යට කී සියලු ජීවන අරුත්, සමාජ දේශපාලනික අරුත් මනාව කැටි වන සේ මේ ගීතයෙහි අධ්‍යාත්මය වදන් බවට පත් කළේ මහින්ද නාමල් සොයුරා විසිනි. මහින්ද නාමල් විසින් රචිත, ගරු ඇන්ටන් ජයනන්ද පියතුමාගේ ස්වර සංරචනයෙන් අරුත් ගැන්වුණු, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් හඬින් ගැයෙන මේ ගීතය හුදු ගීතයක අරුත ඉක්මවා, විශ්වීය හැඩරුවක් ගන්නේ එහි එන මානව විමුක්තිය පිළිබඳ පරිණත දැක්ම සමඟිනි. එය මරිය මව්තුමියගේ පාර්ශවයෙන්, එසේත් නැත්නම් පීඩිත මිනිසුන්ගේ අරගලය වෙනුවෙන් ස්වකීය පුත්‍රයා කැප කළ අම්මා කෙනෙකුගේ පාර්ශවයෙන් ලියැවී තිබීම වඩාත් හෘදයාංගම අපූර්වත්වයක් ජනිත කරයි.

ගීතයකට ජීවිතයක් ඇත. අනන්‍ය වූ ආත්මීය සුවඳක් ඇත. පද පෙළ අරුත, ස්වර සංයෝජනය, ගැයුම තුළින් මතුවනුයේ එකී ආත්මීය අනන්‍යතාවයය. එය විටෙක හදවත නිවා සනහාලන මිහිරි සුවයකි. භාවනාවකි. තවත් විටෙක හද මනස කම්පනය කරමින්, බුද්ධි කලම්බනයක් ඇති කරමින් ප්‍රඥාව දල්වාලන්නකි. ‘‘බාලොලි ලොලි ‘‘ ගීතය මේ සියලු රුව, ගුණ. සුවඳ කැටි කොටගත් සමාජ වගකීම විසින් මෙහෙයවන ලද අධ්‍යාත්මයකින් පැන නැඟි අපූර්ව නිර්මාණයක් බව මගේ හැඟීම ය.

ගායනය - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය - මහින්ද නාමල්
තනු නිර්මාණය - ගරු ඇන්ටන් ජයනන්ද පියතුමා



Wednesday, April 5, 2017

මාල ගිරවු පේලි ගැසීලා නව අවුරුදු ගීත ගයනවා...


බක් මාසය උදා වෙද්දිම  අවුරුදු ගීත ඇහෙන්න ගන්නවා. කොහාගේ ගැයුම වගේම මේ අවුරුදු ගීතත් අමුතු අසිරියක් මවනවා. අපූරු හැඟුම් ගේනවා. අතීත මතක අවුස්සනවා. නිතර ඇහෙන, මගෙත් සිත් ගත් අවුරුදු ගීත 10 ක් අද තරුරසියට එකතු කරන්න හිතුණා.

01 මී අඹ අත්තේ කොහෝ කොහෝ දොළොස් මහේ මගුල් දොහේ

මේ ගීතය එන්නෙ චංචල රේඛා චිත්‍රපටයේ. ගයන්නෙ මිල්ටන් මල්ලවාරච්චි සමග නීලා වික්‍රමසිංහ.. ගාමිණි ෆොන්සේකා අයිය විදියටත්, නදීකා ගුණසේකර නංගී නැත්නම් දං චූටි විදියටත් රඟපාන මේ චිත්‍රපටියට මං හරිම කැමතියි. ‘කීන දං මිටක්‘, ‘හස කැළුම් උදාවේවා එදා සේ‘ වගේ ලස්සන සින්දු කීපයක්ම තියෙනවා. අපි පුංචි කාලෙ අම්මගෙ මහ ගෙදර වත්තෙ තිබුණා මහ විසාලෙට අතු පතර පැතිරුණු කජු ගස් තුන හතරක් එක යායට. දෙකක් රතු කජු පුහුලං, දෙකක් කහ කජු පුහුලං. ගස් හතරෙ රස හතරක්, පුහුලංවල හැඩ හතරක්. අපි සෙල්ලම් ගෙවල් දාන්නෙ ඒ කජු ගස් යට. කජු වාරෙයි, අවුරුදු කාලෙයි එන්නෙ එකටම. ඒ කාලෙට කජු අහුලන්න ලේසි වෙන්න මේ කජු යාය යට මිදුල වගේ එළිපෙහෙලි කරල තියෙනවා. ඒ නිසා සෙල්ලමට ලේසියි.  විශේෂයෙන්ම සර්ප බියත් මේ සුද්ද කිරිල්ලට හේතුවක්.  

කජු ගස්වල අතු බිමට නැවිලා, ඒ අතු අපේ සෙල්ලම් ගෙවල්වල ආසන වෙනවා. අපේ වාහන වෙනවා. අපේ ඔන්චිල්ලා වෙනවා. ඉස්කෝල නිවාඩු නිසා මේ කජු අතුවල ඔන්චිල්ලාත් බැඳෙනවා. ඒ පුංචි කාලෙත් මට ‘‘මී අඹ අත්තේ‘‘ සින්දුව කට පාඩම්. ඒ සින්දුව කිය කියා ඔන්චිලි පැද්ද තාම මතකයි. මොකද චිත්‍රපටයෙත් එනවා දර්ශනයක් අයියා නංගිව ඔන්චිලි පද්දවන. අපට ඉතින් අයියල හිටියෙ නැහැ. 

මී අඹ අත්තේ කොහෝ කොහෝ
දොලොස් මහේ මගුල් දොහේ
රබාන රත්වෙන නැකත් වෙලාවට නලාව පිඹහන්
කොහෝ කොහෝ

ගිරා නිලෙන් දිලි ගොයම් ලියද්දේ උඩින් උඩින් වර පෙත්තප්පූ
හෝරාවෙන් නොනගතේ මැවෙද්දෙන් නෑගම් එනවද පෙත්තප්පූ
ගම් මැද්දේ සරු අවුරුදු දා //
පංච වඩම් පළඳා

ඉහ තෙල් ගානා ආදර අතකින් ඉහෙන් බහින උවදුරු දුරුවී
නෙත් දෙක වාගේ අයිය නගාලට පින් පලදේ අවුරුදු ජයවී
එක මව් කුසයේ උපදීවා //
මතු මතු සංසාරේ



02. නාඬන් පුංචි හිරමණේ ඇවිදින් මෙන්න වසන්තේ

මේ ගීතය ගැන  ලියූ සටහනක් මෙන්න මෙතන ඇති තීර්ථය බ්ලොග් අඩවියේ.   ගීතය ලියා තියෙන්නෙ අපේ ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන්. මම කැමතිම මේ ගීතයේ පද ගැළපුමට...



03. කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ

අප්‍රේල් මාසය ලැබූ දා ඉඳන් අනිවාර්යයෙන් ඇහෙන ගීතයක්. මේ ගීතය නෑහෙනවනම් ලොකු අඩුවක් වගෙත් දැනෙනවා.

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ

කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා

රබන් හඬට බඹරු නටන
ලස්සන ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සනත් නන්දසිරි
ගායනය - සනත් නන්දසිරි / සුජාතා අත්තනායක




04. නීල කොබෙයි රෑන ඇදී වී අහුලන ඉපනැල්ලේ

නීල කොබෙයි රෑන ඇදී
වී අහුලන ඉපනැල්ලේ
මාල ගිරවු පේලි ගැසීලා
නව අවුරුදු ගීත ගයනවා...

වක්‌කඩ ළඟ දිය සුළියේ
තිත්ත පැටව් කලබලයේ
ඒ තාලෙට වරල් සළාලා
නව අවුරුදු නැටුම් නටනවා...

ඔංචිලි චිලි චිල්ල මලේ
වැල්ල දිගට නෙල්ලි කැලේ
ගසුයි වැලුයි මලින් පිරෙනවා
ගම්මානෙට අවුරුදු එනවා...

නා වැටියම දළු දමලා
නා අතු අග මල් පිපිලා
බාල ලියන් ටිකිරි හිනාවේ
රිදී එළිය ගමට ගෙනාවේ...

පද - මහගම සේකර
තනුව සහ ගායනය - පණ්ඩිත් ඩබ්
.ඩී. අමරදේව




05. කොහෝ මල්වාරම් ගැයෙනා උදේ 

මං හිතන්නෙ වැඩිම අවුරුදු ගීත සංඛ්‍යාවක් ගයා ඇත්තෙ එච්.ආර්. ජෝතිපාලයන්. ඒ අතරින් මේ ගීතයට මං වඩා කැමතියි. මේ ගීතයට සමූහ නර්තනයක් ඉදිරිපත් කළා අපි ළක්‍රිවි වාර්ෂික අනුශාසක සම්මේලනයකදි මග්ගොන වින්සෙන්ති ළමා නිවාසයෙදි. එක දවසින් පුහුණු වෙලා, රෙදි හැට්ට ඇඳන් කළ ඒ නැටුම නිසා මේ ගීතය විශේෂයෙන් හිතේ ඇඳිල තියෙනවා. 


06. බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා..

මේ ගීතයේ රිද්මයත්, පද ගැළපුමත්, ගැයුමත් ගැමි සිරියාවක් අරන් එන්නෙ.

බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස ඉද්ද පනා මල් කැන් පිපිලා..
සද්දෙ මොකෝ අවුරුද්ද ඇවිල්ලද නැද්ද කනෙයියනි රොන් හැදිලා..

බැද්දට මල් වරුසාවක් වැහැලද.. නිල් කොල පිට ඒ මල් පොද ඉහිලද..
පාර වටේ ඇති සේරම ගස් සරු සාර හැඩයි ගෙඩි හට දැනිලා..
පේර දිඹුල් පලු වීර ඉදී එන වාරෙ වගෙයි මේ පැණි පිරිලා...
බැද්දට පැණි වරුසාවක් වැහැලද ගස් වල ගෙඩි පැනි වැස්සට තෙමිලද...

රෑන ගිරා සැලලිහිණි කුරුල්ලන් සීනු හඩින් රස ගී ගයලා...
තාන තනා තම් තාන කියා එලි මහන වටේ කැරකී නටලා...
බැද්දට ගී වරුසාවක් වැහැලද.. ගී පොද මේ හොට අස්සට පෙරිලද..

ගායනය: අමිතා වැදිසිංහ සහ පියසිරි විජේරත්න
පද රචනය: හෙන්රි තෙන්නකෝන්
තනුව: පියසිරි විජේරත්න
මුල් ගායනය: පියසිරි විජේරත්න සහ රංජනී පොල්ගම්පොල




07. අවුරුද්දක් ගෙවුණු තැනේ පරණ වෙච්ච බොළඳ ලියා

එඩ්වඩ් ජයකොඩිගෙ ගීතයක් මේ.. මම කළින් අහල තිබුණෙ නැහැ. අවුරුදු ගී ගැන සොයා බලමින් ඉද්දි අහම්බෙන් ඇස ගැටුණෙ... ගී අරණ බ්ලොග් අඩවියෙන් ඔබටත් අහන්න පුලුවනි.


අවුරුද්දක් ගෙවුණු තැනේ පරණ වෙච්ච බොළඳ ලියා
පෑල දොරින් පිටමං වී අතීතයට යන්න ගියා
අවුරුද්දක් ලබන තැනේ නැවුම් අඳුන් තිලක තියා
ඉදිරි දොරින් ගෙට ගොඩවෙයි නව අවුරුදු ටිකිරි ලියා

උතුම් සිරින් මල් පිපුණේ
හිතින් හිතක් ඇද බැඳුණේ
සිරි දෙව්දුව කැඳවා ගෙන
වාසනා කුමරිය එන දා අවුරුදු මංගල්ලේ

නැවුම් සුවඳ මුසු පවනේ
පවුම් වටින හෙළ දෙරණේ
පෙරමග යන ලකුණු පෙනේ
වාසනා කුමරිය එන දා අවුරුදු මංගල්ලේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - රෝහණ බැද්දගේ
තනුව - රෝහණ වීරසිංහ


08. මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

මෙය වෙනස්ම ගීතයක්.. බක් මාසය නිමිත්ත වුණත්, අවුරුදු සංකේත භාවිත වුණත් අවුරුදු අසිරිය ගැන ගැයෙන්නක් නෙවෙයි.  මේ ගීතයෙන් කියවෙන්නෙ 71 කැරැල්ල අවස්ථාවේ දිවි දුන් තරුණ ජීවිත ගැන...

එරබදු අතු නැමී රෑ හුළඟේ හැපෙන
ගඟ බඩ නුඹේ උණු ලේ පුසුඹම දැනෙන
හිමිහිට පුංචි රතුමල් පෙති දිග හැරෙන
මේ බක්‌ මහෙත් ඉවුරෙන් අත වනනු මැන

ඒ බක්‌ මහේ රෑ හඳ දියවෙන කලට
නුඹේ සිරස පාවී ආවා තොටට
තියුණු නිවුණු සීතල දෑසෙහි රුවට
ඇවිළුනා පැතුම ගිනි දැල්ලක ලෙසට

අවියෙන් වනසන්න බෑ උතුම් අරමුණු
හඬගා කියන නුඹේ හඬ අහසේ හැපෙනු
ඇසුණා ඒ හඬේ නෑ මිය ගිය ලකුණු
මරණය සුන්දරයි සත්‍යය වෙත නැමුණු

ගායනය - නන්දා මාලනී
පද රචනය - නන්දන වීරසිංහ
සංගීතය රෝහණ වීරසිංහ



09. මේ අවුරුදු කාලේ හිනාවෙයං රාළේ

මං මේ ගීතයෙ ආසම යෙදුම ‘‘තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ‘‘




10. නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න

මම මේ ගීතය තෝරගත්තෙ බක්මහේ අස්වනු මංගල්‍යය සිංහල ජනවර්ගයාගේ උත්සවයක් පමණක් නොවන නිසා. ලෝකය පුරා මේ සූර්ය මංගල්‍යය විවිධ ආකාරයෙන් සමරනවා වගේම විශේෂයෙන් අපේ රටේ සිංහල ජනතාව වගේම දමිළ-හින්දු ජනතාවත් අලුත් අවුරුද්ද සමරනවා. අපි හැමෝම වෙනුවෙන් මම මේ අවසන් ගීතය තෝරගත්තා. ගීතය අහන්න වෙන්නෙ නම් ගී අරණ බ්ලොග් අඩවියෙන් 

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අලුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අලුත් පැතුම් දලුලනවා හිත පිරෙන්න

තල් අරණේ ගිනි නිවන්න
සිනා වතක් මටත් දෙන්න
සිනා වතක් මටත් දෙන්න

සිනහවකට මඟ කියන්න
එන්න කඳුළු බෙදාගන්න
එන්න කඳුළු බෙදාගන්න

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අලුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අලුත් පැතුම් දලුලනවා හිත පිරෙන්න

හීන් හිරුට හිනාවෙන්න
යුද දුම පිසලන්න ඔන්න
යුද දුම පිසලන්න ඔන්න

කවි එළිවැට බිඳන් එන්න
ඒ අවි බිම තියමු ඔන්න
ඒ අවි බිම තියමු ඔන්න

නෑගම් යන යාළුවනේ යාපනේට ඇවිත් යන්න
මිතුරු සුවඳ අලුත් වෙන්න අලිමංකඩ පැන වඩින්න
අලිමංකඩ පැන වඩින්න

යාපනයේ පොත් ගුල ළඟ කඳුළු බිඳක් තියා එන්න
යාළුවනේ අලුත් පැතුම් දලුලනවා හිත පිරෙන්න

ගායනය ප්‍රදීපා ධර්මදාස සහ හේමන්ති රණසිංහ
පද රචනය - නිලාර් එන්. කාසිම්
තනුව හා සංගීතය - නවරත්න ගමගේ

.................


මේ අලුත් අවුරුදු ගීත බොහොමයක් රස විඳිද්දි පැහැදිලිව පේන්න තියෙනවා සොබාදහමේ වසන්ත අසිරියත් එක්ක අලුත් අවුරුදු ප්‍රීතියත් එක්තැන් කරල බොහොම උද්‍යෝගිමත් හදින් කියවෙන ගීත බව. 

ඒත් මේ සංකීර්ණ සමාජ, ආර්ථික වටපිටාව ඇතුළෙ අද අවුරුද්ද ස්ථානගත වෙන්නෙ කොතැනද කියල අලුතින් හිතීමක් ඇති කරන ගීතත් අවශ්‍යයි. අලුත් අවුරුද්ද ගැනත් අලුත් ගීත ලියවෙන්න කාලය හරි කියල මට හිතෙනවා...