පිටු

Sunday, June 24, 2018

ඇඳී මැකී යයි රිදී රේඛා...



‘‘ආහ්...‘‘ තවමත් ළය පෙදෙසින් හීන් රිදුමක් පොළා පනිනවා. දකුණු ඇලයට හැරී උන් උත්තරා වම් ඇලයට හැරුණෙ පපුවට අතක් තියාගෙනමයි.

හාත්පස වැහි අන්ධකාර පොරෝනයෙන් එතිලා තිබුණෙ... ඒ අතර ඈත ගුවන් පාලමේ රිය පහන් එළි අදුර කපාගෙන පහළට ඇදෙනු දැනුණා. ඒ ආලෝක රේඛා අළු අහසේ ක්ෂණික රටා මවමින් මැකී ගියා. උත්තරා ඒ එළිය රේඛා වෙත අනිමිසලෝචනයෙන් බැඳිලා උන්නා ටික වෙලාවක්.
වැසුණු කවුළුවේ වීදුරු තිරය මත වැහි බිඳු හැපි හැපී දුක කියනවා... 

ඉන්පස්සෙ හිස නවාගෙන පහළට ගලා හැලෙනවා. ඒ තෙත් රේඛා වීදුරු මීදුමේ මැව්වෙ එක එක රටා. ඒ හැම රටාවකම අමුතු පාළුවක් දැවටිලා තිබුණා. අතීතයේ දවසක රිය වීදුරුවක තෙත වැහි බිඳිති එක්කරමින් තමා ඇඳි චිත්‍රයක් ඇයට සිහිගැන්වුණා. පුළුල් අතක රැඳුණු සේද ලේන්සුවකින් ඒ සිත්තම එදා අසුරු සැනෙකින් එහෙ මෙහෙ වී මැකී ගියා. විහිළුවක් බව දැන දැනත් උත්තරාගෙ ඇස්වල කඳුළු පිරුණා. අදත් ඒ වගේ වීදුරු වැහි දිය සිත්තම බොඳ වුණා. අතකින්වත්, ලේන්සුවකින්වත් නෙවෙයි, එදා වාගේම කඳුළකින්...

‘‘හ්ම්... හ්ම්‘‘ ජංගමය ඇමතුමක ඉඟි පෑවා. උත්තරා  දුරකථනය ගෙන සවනට තියාගත්තෙ පුරුද්දට, කවුදැයි නොබලාම.

‘‘බෙහෙත් ගත්තද?‘‘ ඒ හඬේ කරුණාවක් දැවටිලා තිබුණා. උත්තරා සැනෙකින් දුරකථන තිරය ඇස් ඉස්සරහට ගත්තා. තිරය පුරා උන්නෙ ඔහු. එදා ඒ සිත්තම මකා දැමූ අතේ හිමිකාරයා. ඒ සුපුරුදු සිනාවෙන්ම. දුරකතන තිරයේ වගේම උත්තරාගෙ හිතෙනුත් කවදාවත් ඒ හිනාව මැකිල තිබුණෙ නැහැ.

‘‘හ්ම්‘‘

‘‘බෙහෙත් බිව්වද?‘‘

‘‘හ්ම්‘‘

‘‘දැන් කොහොමද?‘‘

‘‘හොඳයි.‘‘

‘‘බෝඩිමේද?‘‘

‘‘ඔව්‘‘

‘‘තාම පපුව රිදෙනවද?‘‘ 

‘‘හ්ම්‘‘

‘‘මං හැමදාම කියනවනෙ ලෙඩ තියන් ඉන්න එපා කියල. හොඳ ඩොක්ට කෙනෙකුට පෙන්නල බෙහෙත් ගන්න කියල. කවදාවත් කියන දෙයක් අහනවද?‘‘ සුපුරුදු ආඥා ස්වරය... ‘කියනවා මිසක කවදාවත් මාව එක්කරගෙන ගියාද බෙහෙත් ටිකක් අරන් දෙන්න.‘ උත්තරා හිතුවා විතරයි ඇහුවෙ නැහැ.

‘‘දැන්වත් ඔය හිතුවක්කාරකම් පැත්තක තියල කාට හරි ආදරය කරන්න, බඳින්න. ගෑණියෙකුට තනියෙන් ඉන්න බෑ.‘‘

‘මොකෝ බැරි, මේ මං ඉන්නෙ.‘ උත්තරා එහෙම හිතුව විතරයි. වෙනද වගේ කැත්තට පොල්ලෙන් දමල ගහන්නැහේ එහෙම උත්තරයක් දීගන්න බැරි තරම් අසරණ ගතියක් උත්තරාට දැනුණා.

‘‘මං අද ඔය පැත්තෙන් යන්නෙ. දැන් රාගම කිට්ටුව.“

ආඥා ස්වරය ආයෙමත් සාමාන්‍ය වෙලා තිබුණා. ඒ සාමාන්‍ය ස්වරයේ වියළි ගතියට උත්තරාගෙ හිතත් මැළවිලා ගියා.

ඈ ගිලන් සයනයෙන් මිදිලා වීදුරු කවුළුව අහ පුටුවට වැටුණා. රිදුම් දෙන හිස කවුළුවේ ඔබා ගත්තා. වැහි බිඳු රටා විසාලනය වෙවී මැකිල ගිහින් ඈතින් ගුවන් පාලම ඇගේ ඇසට හසුවුණා. විදුළි එලි පෙරහැරක් මවමින් රිය පේළිය හෙමිහිට ඇදිල යනවා. ඒ හැම වාහනයක්ම එනකල් මඟ බලා ඉන්න ගෙයක් ඇති. කොයිමොහොතේ ගෙට ගොඩවෙනවද කියන හැඟීම ඒ වාහනවල යන හැමකෙනෙක්ගෙම හිතේ රැඳිල ඇති. අඹු දරුවො, අම්මල, තාත්තල කී දෙනෙක් නම් එයාල එනකල් බලන් ඉන්නවා ඇත්ද?   

‘‘දැන් කොයි හරියෙද?‘‘ දිගු නිහැඬියාව දරාගන්න බැරිම තැන ඇය ඇහුවා.

‘‘පාලම පටන් ගන්න තැන...‘‘

‘‘හ්ම්...‘‘ උත්තරා ගුවන් පාලමෙන් ඇහැ ගත්තෙ නැහැ. KS 8815 ඒ සුදු පාට මොටෝ රථය. ඕනම අන්ධකාරයක අඳුනගන්න තරම් උත්තරාගෙ හිතේ කෙටිලා තිබුණා. උත්තරා උත්තරාගෙ ආදරයට තරම්ම ඒ වාහනයටත් ආදරය කළා. ‘කතා කරන්න පුළුවන් නම් එයාට කෑ ගහල කියයි මං කොච්චර ආදරය කළාද? ඒ ආදරය නිසා කොච්චර දුක් වින්දද කියල.‘ උත්තරා හිතුවා.  

‘‘මට ඔයාව පේනවා‘‘ මොටෝ රිය ගුවන් පාලම හරි මැදට එද්දිම උත්තරාට කියවුණා.

‘‘ඒ කොහොමද?‘‘ ඔහු ඇහුවෙ සරදමට වගේ.

‘‘ඔයාව නෙවෙයි, කාර්රෙක... ඔයාට පිටිපස්සෙන් බයික් එකකුයි, වෑන් එකකුයි නේද තියෙන්නෙ...‘‘

‘‘හ්ම්‘‘ සුසුමක්!!! ඒ සුසුම එහෙම්මම ඇවිත් උත්තරාගෙ හිතේ පැටළුණා.

‘‘මාව බලල යන්න එනවද?‘‘ උත්තරා ඇහුවෙ නැහැ. සුපුරුදු ස්ත්‍රී අහංකාරය ඇයව ගොළු කරල දැම්මා. ඒත්, ඇවිත් යන්න ඒවි උත්තරාගෙ හිත කිව්වා.

‘‘ගෙදරින් කෝල් එකක් එනවා. මං තියන්නම්.‘‘ රිය ඇගේ දෑස් මානයෙන් මැකී යත්ම දුරකථනය මිමිණුවා.

‘‘හා‘‘ උත්තරාගෙ උත්තරේ සීතල වෙලා තිබුණා. ඇය හෙමිහිට ජංගමය ජනෙල් කණ්ඩියේ තැන්පත් කළා.

‘අපි ඈත් වෙලත් දැන් කාලයක් ගිහින් නේද? ඒත් තාමත් කතා කරන හැමවෙලාවකම මේ දැන් ඇස් ඉස්සරහ ඉන්නව වගේ දැනෙන්නෙ කොහොමද?‘උත්තරා හිතුවා.  

වැසුණු කවුළුවේ වීදුරු තිරය මත්තෙ වැහි බිඳු හැපි හැපී දුක කියනවා... ඉන්පස්සෙ හිස නවාගෙන පහළට ගලා හැලෙනවා.

උත්තරා බොහෝ වේලාවක් ඒ දිහා බලන් උන්නා.



Thursday, June 14, 2018

Bicycle Challenge - දුප්පත් අපගේ බයිසිකලේ...

මල් කූඩයක් සහිත බයිසිකලයක් අසල හිදිනා යුවතියක්... 



මූණුපොත කලින් කලට එක එක චැලේන්ජ් කරන්නේය. කොයි කවුරු චැලේන්ජ් කළත් සමහරවිට අහක බලාගෙන ඉන්නට සිදුවන්නේ කාලය පිළිබඳ ගැටලු නිසාම පමණක් නොවේ. කම්මැලිකමද නිසාය. නමුත් මේ බයිසිකල් චැලේන්ජ් එක දැක නොදැක්කා සේ ඉන්නට සිතුණේ නැත. මං කෝච්චිය තරමට ආදරය කරන තවත් වාහනයක් ඇත්නම් ඒ බයිසිකලයය. මගේ ජීවිතය හා බයිසිකලය අතර ඇති යාවජීව මිත්‍රත්වය නිසාම ඒ ගැන ලිවිය යුතුමයැයි කියා සිතුණි. චැලේන්ජුව දුන් ශෙනූට හද පුරා ස්තුතියි කියමි. 


අපේ ගම්පළාතේ මෑතක් වන තුරුම නිවසක අනිවාර්ය වාහනය වූයේ බයිසිකලයයි. අපි ඉස්සර ඉස්කෝලෙ ගියේද, ටවුමට ගියේද, පල්ලි ගියේද, දහම් පාසල් ගියේද, කඩේ ගියේද බයිසිකලයෙනි. දැන් නම් ඒ තැන ස්කූටිය උදුරාගෙනය. ඒත් මම තාමත් කැමති ගම පුරා බයිසිකලයේ යන්නටය. ඒ පරිසර හිතකාමීත්වය ගැනද සලකා බැලීමෙනි.
පුංචි කාලයේ ට්‍රයිසිකලයක නැගී ස්ටූඩියෝ ගත් ඡායාරූපයක්... 


පුංචිම කාලයේ මට ට්‍රයිසිකලයක් තිබූ බව මතකය. ට්‍රයිසිකලයක නැගී ගත් පින්තූරයක්ද ඇත. ඒ ට්‍රයිසිකලය නම් ටවුමේ ස්ටූඩියෝවේ එකකි. මමත් නංගීත් මොන්ටිසෝරි ගියේ තාත්තාගේ බයිසිකලයෙනි. ඉස්පෝක් කම්බි අතරට කකුල දමා ගැනීම නිසා බයිසිකලය පෙරළී තුන්වරක් කකුලේ එකම තැන තුවාල වීම මා පුංචි කාලයේ ලද මාරාන්තික අත්දැකීමය. තාමත් වම් පාදයේ ඒ කැළල ඇත. එක්වරක් මේ කකුල් පටළැවිල්ල නිසා බයිසිකලය පෙරළී ගියේ වෑ කන්දේය. මා වෑ කන්දෙන් පහළට රූටා ගියේ බෙරිහන් දෙමින් බව මතකය. එදා මට වෑ කන්ද පිදුරුතලාගල කන්ද තරම් උසට දැණිනි.



දන්නා කාලයේ සිටම අපේ ගෙදර බයිසිකල්වලින්ද, බයිසිකල් බඩුවලින්ද, ටයර් ටියුබ්වලින්ද අඩුවක් තිබුණේ නැත. ඒ අපේ ගෙදර 24 පැයේම විවෘත වින්කලයක්ද, හුළං පොම්පයක්ද තිබූ බැවිනි. වින්කල් බාසුන්නැහේ තාත්තාය. ගේ වටේට බයිසිකල් තුන හතරක් නොවූ දවසක් නැති තරම්ය. හතරවටේ කොහෙවත් වින්කලයක් නොතිබුණු නිසා අපේ ගෙදර නිකම්ම වින්කලයක් බවට පත් වී තිබිණි. ට්‍රයිසිකල්, බයිසිකල්, මෝටසයිකල් මේ මොක කැඩුණත් ගෙනාවේ අපේ ගෙදරටය. හදන්නට බැරි නම් ටවුමට යන තුරු ෂේප් කරගන්නට හෝ ඒවා අමට්ටා දීමේ හැකියාවක් තාත්තාට තිබුණි. හදන්නට ගෙනා සමහර පොඩි උන්ගේ බයිසිකල් මගේ සිහිනද හැඩ කළේය. ඒවා හැදූ විගස ගෙනයන්නට පෙර පැද බැලීම අපට මහත් සතුටක් විය.



‘‘බයිසිකල් කැඩුණට කමක් නෑ. මට ඒවා හදන්න පුළුවන්. අත පය කඩාගන්න එපා.‘‘ බයිසිකල් පැදිල්ල පුරුදු පුහුණු වුණ පුංචිම සන්දියේ තාත්තා දුන් එකම අවවාදය එච්චරය. මා එක වර  බයිසිකල් පැද්දා නොවේ. පියවරින් පියවර විද්‍යානුකූලව පෙරට ආ බව මතකය. මුලින්ම කළේ වම් පැඩලය මත දකුණු කකුල තබා, අනිත් කකුල බිම ගසමින් ඉදිරියට තල්ලු කරගෙන යාමය. පසුව පොල්ලට යටින් දකුණු කකුල දකුණු පැඩලය මත තබා එලෙසම පැන පැන යාම සිදුවිය. වම් කකුල පැඩලය මතට ගෙන පැද යාම සිදුවූයේ හෙමිනි.  ඒ මා පණ බය නිසාය. ( මේ වෙද්දී ලොකු නංගී පස්ස කරකව කරකවා පොල්ලට උඩින්ම පැද යන්නීය. ) තාත්තාගේ අවවාදය මතක තිබූ නිසා පෙරළෙන්නට වගේ යන්නේ නම් බයිසිකලය තල්ලු කර දමා පැත්තකට වී සීරු මාරුවට හිටගත්තේ කෙලෙසදැයි දැන් මතක නැත. පරිස්සම වැඩි නිසාම මා ලොකු නංගී තරම් තුවාල කරගත්තේද නැත. ඒ කාලයේ ඉතින් තුවාල වුණාමත් කුරුම්බැට්ටියක් උරච්චි කර ගානවාට වැඩි යමක් කරන්නේද නැත. 

පහේ පන්තියේ සිට මා ඉස්කෝලෙ ගියේ බයිසිකලයෙනි. එය ඒ කාලයේ මහ දෙයක් නොවේ. හැමෝම පුළුවන් පළමු අවස්ථාවේම ඉස්කෝලෙ ගමනට බයිසිකලය යොදාගන්නේය. අපට යන්නට බස් තිබුණේත් නැත. ඉස්සර මේ  තරම් පාරවල වාහන තිබුණේද නැත.  ඉතින්  ළමයි බයිසිකලේ ඉස්කෝලෙ යද්දී දෙමව්පියන් ගිනි පත්තු කරගත්තේද නැත.  ගඩාගෙඩි කඩා කමින්, දන්නා නොදන්නා පාරවල් ඔස්සේ, වැව් පිටි, වෙල් යායවල් අස්සේ කරක් ගසමින් රංචු පිටින් පාසල ඇරී එන එක අපේ එක විනෝදාංශයකි. 


පාරවල් අයිනේ මිනී පිච්චුණේ මා පහ වසරේ උගන්නා කාලයේදීය. එකට ගිනි ලා තිබූ සිරුරු දෙකක් දින දෙකක් පමණ පාර අයිනේ තිබියදී එතැනින් ඉස්කෝලෙ යන්නට සිදුවීම ළමා වියේ මා ලැබූ නරකම අත්දැකීමකි.

මට මගේම කියා අලුත් බයිසිකලයක් ලැබුණේ හතේ පන්තියේදී වීතරය. එය පාවිච්චි කළ එකක් වුවද අලුත්ම අලුත් ලෙස තිබිණි. උසස් පෙළ දක්වාත්, ඉන්පසුව බැංකුවට ගිය අවුරුදු එකහමාරත් මා සමඟ සිටියේ එයාමය. කැම්පස් ආවාට පසු බයිසිකලයට වූයේ කුමක්දැයි දැන් මතක නැත.

කාලයක් මම මල්ලීවද, ලොකු නංගී පොඩි නංගීවද තියාගෙන අපි බයිසිකල්වල ඉස්කෝලේ ගියෙමු.  මා ගමේ පාසලින් අස් වූ පසු ලොකු නංගී මල්ලීව භාරගත් අතර, පොඩි නංගීට තනි බයිසිකලයක් ලැබිණි. එක දවසක ඉස්කෝලෙ කන්ද ළඟ බයිසිකල් පෝලිමට නවත්වද්දී ඉදිරියෙන් ගිය සයිකලේ පෙරළෙනුත්, ඒ සමඟම කන්ද පහළට බස් එක ආවාත්, මා කෑ ගසනුත් මතකය. එහි වාඩි වී ගිය පොඩි නංගී පෙරළෙන බයිසිකලයේ පොල්ල යටින් රිංගා අගලට පැනගත්තේ කෙසේදැයි මට තාමත් හිතාගන්නට නොහැකිය. බස් එක තිරිංග පෑගූ සද්දය බොහෝ දුරකට ඇසී තිබිණි.





ගමේ ඉස්කෝලයට ගිය කාලයේ මාතින් බයිසිකල් අනතුරක් වූයේ එක ම එක වරකි. දවසක් පාසල ඇරී එන විට එක් වනම පාරට පැන්න දැරියක නිසා මාත් පෙරළී, ඇයත් තුවාල කරගත්තාය. ඈ එසේ පාරට පැන්නේ ගැරඬි මළකුණක් දැක බය වීමෙනි. අම්මාත්, තාත්තාත් නැතිව ආච්චී සමඟ හැදුණු වැඩුණු ඈ දිළිඳු දැරියක බව මා දැනගත්තේ ඇයව ඇරලන්නට ගෙදර ගිය විටය. පසුදා ඇගේ ආච්චි පාසලට පැමිණ ප්‍රින්සිපල් ළඟටම ගියේ මා ඇගේ මිණිබිරිය හප්පා තුවාල කර ඇති බව කියන්නටය. ප්‍රින්සිපල් ළඟට ගිය මම ඇත්ත කතන්දරේ පැවසීමි. ඒත් ආච්චිට උවමනා වූයේ මට දඬුවම් කරවන්නටමය. දැරිය තමාගේ වරද පිළිගත්තාට පසු ආච්චි යන්නට ගියේ අප දෙදෙනාටම බැණ වදිමිනි. ‘‘අනේ අක්කෙ ඉස්කෝලෙට එන්න එපා කිව්වට ආච්චි ඇහුවෙ නෑ. ‘‘ ඈ කීවේ අසරණවය. ඉන්පසු ගමේ ඉස්කෝලයෙන් අස් වන තුරුම ඈ මගේ දයාබර සොයුරියක විය.



උසස්පෙළ හදාරන්නට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට යන්නට පටන් ගත් මුල්ම සතියේ මා ගියේ බස්රියෙනි. එය පුදුමාකාර තෙහෙට්ටුව ගෙන දෙන වැඩකි. බස් දෙකක ගමනකි. ගෙදර එද්දී හතර පමණ වේ. සයිකලයට පුරුදු වී සිටි මට මෙය මහා දුෂ්කර ක්‍රියාවකි. බැරිම තැන පුරුදු වාහනයෙන් පාසල් යන්නට හිත හදාගතිමි. වෙල් යාය මැද්දේ ගුරු පාරෙන් තාර පාරට වැටී, මීගහකොටුව හන්දියෙන් හැරී උසාවිය අසලින් පාසලට යාම පසුව ගමේ පාසලට ගිය තරම්ම හුරු පුරුදු ගමනක් විය. දෙකට පාසල ඇරී දෙකහමාර වෙද්දී මං ගෙදරය. අව්ව, වැස්ස, සුළඟ, ගහකොල විඳිමින්, මඟතොට මිනිසුන් සමඟ හිනාවෙන්, කතාවෙන් බයිසිකලයෙන් ආ ගිය ගමන් සිහිකිරීම තාමත් සතුටකි. එක දවසක් පාසල ඇරී එන විට අයිස් වැස්සක්ද වැටිණි. වැස්ස දවස්වලට නම් ඉතින් මඟ නැවතීමක් නැත. තෙමීගෙනම ගෙදර එන්නේ හදිසියකට නොවේ. වැස්සේ තෙමෙන්නට ඇති ආසාව නිසාමය.



සෙන්ට්‍රල් එකේ පාපැදි නවත්වන්නට වෙනම විවෘත ශාලාවක් තිබිණි. එහි දිනකට බයිසිකල් දෙතුන් සියයක් වැරදුණේ නැත. ඒ අතර තිබූ අබලන්ම බයිසිකල් අතර මගේ බයිසිකලය තිබූ බව මතකය. විටෙක එය ලැජ්ජාවක් වුවද මම බයිසිකලයෙන් පාසල් යාම නතර නොකළෙමි.

එක් දිනක් උසාවි කන්ද බැහැගෙන එන විටම බයිසිකලයේ බ්‍රේක් අහුනොවන බව මට දැනිණි. ටික දිනක සිට බ්‍රේක් වැඩ කළේද එක පැත්තක පමණි. එදා නම් ඇඟේ ලේ වතුර වුණ දවසකි. උසාවි කන්ද ස්රීස් ගා බැස්ස බයිසිකලය පන්නල පාරට වැටෙන විට වාසනාවට පාරේ වාහන නොවුණි. ඒ වේගයෙන්ම මීගහකොටුව ඔර්ලෝසු කණුව ළඟට එන විට මා සිතුවේ වාහනයක් ආවොත්, තුවාලයක් වුණත් කමක් නෑ බයිසිකලය අතහැර පැනගන්නා බවය. වාසනාවට ප්‍රධාන පාරේද වාහනයක් නොආවෙන් පණ බේරාගෙන ගෙදර එන්නට හැකි විය. එදා නම් තාත්තාට අම්මාගෙන් හොඳවැයින් අහගන්නට සිදුවිය. වඩුවගේ ගෙදර පුටු නෑ වගේ, තාත්තා වින්කල් වැඩ දැනන් උන්නාට අපේ බයිසිකල් හදාගන්නට සියදහස් වාරයක් සිහිපත් කළ යුතුය. අදටත් මගේ බයිසිකලය මුල්ලක දමා ඇත්තේ තාත්තාට රටේම වැඩ කරන්නට වෙලාව ඇතත් මගේ බයිසිකලය හදා දෙන්නට වෙලාව නැතිකම නිසාය. දැන් වින්කල් කියා දෙයක් හතර මායිමක ඇත්තේම නැත. පුංචි උන් ඇර බයිසිකල් පදින අය දැක්මද දුබලය. සියල්ලන් ඉගිලෙන්නේ මොටෝබයිසිකල්වලිනි. 



උසස්පෙළ ප්‍රතිඵල බලන්නට මා පාසලට ගියේද බයිසිකලයෙනි. මීගහකොටුව බස් නැවතුම අසලදීම පාරට පැන මා නැවතූ යහළු යෙහෙළියන් පිරිසක් කීවේ ‘බලන්නට දෙයක් නැති බවය.‘ මම සීතල වීමි. කාණු ගැට්ටේ තබා තිබූ පය කට කට ගා ගැහෙනු මටම දැනිණි. ‘ඒ හතරක්ම තියෙනවා‘ යන්න ඇසුණේ පසුවය.

පසුව විශ්වවිද්‍යාලයට එනතුරුම කුලියාපිටිය මහජන බැංකුවේ වැඩ කළ අතර ඒ වසර එකහමාරද මගේ වාහනය වූයේ බයිසිකලයමය. ගමේ ගිය සතිඅන්තවල ගම පුරා කරක් ගසන්නට බයිසිකලය මෙන්ම චැලියක්ද තිබිණි. 

ඊටත් වසර ගණනාවකට පසු (2014)  මට නැවතත් අලුත්ම බයිසිකලයක් තෑගි ලැබිණි. ඒ ලොකු නංගීගෙනි. ඒ බයිසිකලය මිල දී ගෙන තිබුණේ ඇය බුලත් වැඩ කිරීමෙන් ලත්  මුදලනි. ‘‘අක්කා මං වෙනුවෙන් කොච්චර දේවල් කරල තියෙනවද? මට ඔයාට කවදාවත් හොඳ තෑග්ගක් දෙන්න ලැබුණෙ නැහැනෙ.‘‘ ඈ එසේ කීවෙන් මම ඒ තිළිණය භාරගතිමි. මුදල් දෙන්නට නොගියෙමි. ඇගේ සතුට මගේ මුදලට වඩා වටිනා බැව් දැනිණි. තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග  කියන්නේ ඒ බයිසිකලය ලැබීමේ කතාවයි.

පාපැදිය සම්බන්ධයෙන් තවත් සුන්දර අත්දැකීමක් ලැබුණේ ජපානයේදීය. ජපානය සුන්දර රටක් ලෙස මට දැනෙන්නේ ඒ මිනිසුන් පරිසරයට දක්වන ආදරය නිසාය. අප නැවතී උන් OISCA පුහුණු මධ්‍යස්ථානය පැවතියේ ශිකොකු පළාතේ අයගාවා නගරයට එපිටින් වන සුන්දර ගම්මානයකය. එහි සිට නගරයට ඒමට ආයතනයේ බස් රිය හැරුණු විට වෙනත් ප්‍රවාහන පහසුකම් නොතිබිණි. ඒ වෙනුවෙන් තිහක් පමණ බයිසිකල් තිබුණි. බයිසිකලයෙන් නගරයට ඒම අපහසු කටයුත්තක් නොවුණි. බයිසිකල් පැදීමට දැන සිටීම කොතරම් වාසනාවක්දැයි පළමුවරට දැනුණේ එහිදීය. අපේ කණ්ඩායමේ භාෂා පරිවර්තක මිසතො සන් හැරුණු විට බයිසිකල් පදින්නට දැන උන්නේ මා සහ ලාඕස්වලින් පැමිණි ෆොන්සි පමණි. අපට කැමති සයිකලයක් තෝරාගෙන පැද පෙන්නන්ට කීවේ අපේ සයිකල් පැදීමේ හැකියාව මැන බැලීමටය.


අපගේ භාෂා පරිවර්තක මිසතො සන් සමඟ පාපැදි සවාරියකට සූදානම්ව 

අහන්නත් දෙයක්ද? එක වටයෙන්ම සමත්ය. ඒ බයිසිකලය පුහුණුව නිම වී එනතුරුම මගේ නමින් වෙන් වී තිබිණි. ජපානයේ මහා නගරයක වුවත් බයිසිකල් පදින්නට බිය විය යුතු නැත. සෑම මාර්ගයකම වෙනම තීරුවක් පා පැදි සඳහා වෙන්ව ඇත. ටයි කෝට් ඇඳ, බ්‍රීෆ් කේස්, ලැප්ටොප් ගත් මහතුන්ද, රස්සා පිණිස යන කාන්තාවන්ද, කොටට කොටේ ඇඳගත් තරුණ කෙල්ලන්ද, විසේකාර කොල්ලන්ද, පාසල් ළමුන්ද එක සේ සයිකල් පදිති. එතරම් නිදහසේ සයිකල් පදින ජන කොටසක් මා ඒ දැක්කාමය. මමද ලැබෙන පුංචි විවේකයක් හෝ අපතේ නොයවමින් ගමේ තරම්ම නිදහසේ ඇති තරම් බයිසිකලයේ සවාරි ගැසුවෙමි.


බයිසිකලයෙන් පාසල් යන ජපන් සිසුවියක් 



ටකමට්සු නගරයේ මාසයක් නැවතී උන් හෝටලයේ තිබුණේ බයිසිකල් දෙකක් පමණි. එය ගෙන මුහුදු වෙරළට, වරායේ රෝස උයනට, ටකමට්සු උයනට, මාළිගාවට, සල්පිල් කඩපිල් අස්සේ ආ ගිය ගමන් සිහිපත් වන විට අප්‍රමාණ සතුටක් සමඟ සුසුමක්ද නැගේ. මගේ රටේ ප්‍රධාන නගරයක නම් එලෙස බයිසිකල් පැදීම පණ පුදන්නට වන වැඩකි. ඒ නොදන්නා නගරයේ රෑ කාලයේ පවා අප බයිසිකල් පැද්දේ කිසිදු බියකින් තොරවය. සමහරවිට ඒ ආරක්ෂිත බව නිසාමද, නැත්නම් අපගේ නොදන්නාකම නිසාද නිශ්චිත නැත. කිසිදු බියක් නොදැනුණු බව නම් නිසැකය.



අයගාවා මංමාවත්වල පාපැදි සවාරියක අතරතුර

මෑත යුගයේදී බයිසිකල් ගැන නම් කියන්නට ඇත්තේ කොඳු කැඩෙන කතන්දරය. අපේ පොඩි සෙට් එකම දැන් බයිසිකල් පදිති. දෙතුන් දෙනෙක් රෝද තුනෙන් දෙකට මාරු වී ඇත. බයිසිකල් අරන් දෙන මම්මාටම කොඳු කැඩෙන තුරු තල්ලු කරන්නට සිදුවීම දෛවයේ සරදමකි. ගේ මිදුලෙන් එහාට බයිසිකල් පදින්නට අවසර නැති චන්දුටත්, සසෙන්ටත් හිතේ හැටියට ගම වටේ සයිකලෙන් යන්නට ඉඩලැබුණේ පහුගිය වෙසක් දවසේය. ඒ බලු, කපුටු දානය වීල්බැරෝවක දාගෙන ගම වට ගිය අයියලා පසුපස මාගේ අවසරයයි, ඇල්ම බැල්මයි ඇතිව බයිසිකලෙන් යන්නට ඉඩ සදා දුන් බැවිනි. අපි පුංචි කාලේ වගේම පිස්සුවෙන්, පිස්සුවෙන් බයිසිකල් පදින පුංචි පරම්පරාව දැක්මත් සතුටකි.


බයිසිකල් පදින අපේ පුංචි සෙට් එක.... 



මගේ බයිසිකල් පැදීම ගැන නොව මට අන් අයකුගේ බයිසිකල් පැදීම ගැනද කියන්න සුන්දර කතාවක් ඇත. මහින්ද නාමල් කියන්නේ අරුම පුදුම මනුස්සයෙකි. මා ඔහු ගැන මින් පෙරත් ලියා ඇත. ඔහු ලේඛකයෙකි. සමාජක්‍රියාධරයෙකි. ගුරුවරයෙකි. ජංගම දුරකථනයක් හෝ වාහනයක් පාවිච්චි නොකරන වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද මුළුමනින්ම පරිසරහිතකාමී වන්නට වෙර දරන අපූරු මනුස්සයෙකි. මගේ නවකතාව ගැන කළුතර සංවාදය පැවති දා රාත්‍රියේ මා නවාතැන් ගත්තේ නාමල් අයියාගේ ගෙදරය. ඔහුගේ බිරිඳ ටිකිරි අක්කා වේලාසනම මා පාරට ඇරලූ අතර මා බසයක් එනතුරු සිටියදී මා අසල බයිසිකලයක් නැවතිණි. ඒ කළුතර ශුද්ධවු පවුලේ කන්‍යාරාමයේ ආචාර්ය මහින්ද සර් ය. කලමුල්ලේ සිට ඔහු පාසලට යන්නේ බයිසිකලයෙනි. ඒ යතුරුපැදියක් ගන්නට මිල මුදල් හිඟකමක් නිසා නොවන බව මම සහසුද්දෙන්ම දනිමි. 

( ලිපිය අවසානය දක්වා කියවූයේ නම් මේ චැලේන්ජ් එක ඉදිරියට ගෙන යාම අපේ බ්ලොග් මිතුරන්ට භාරදෙමි. කළණෙ, රවී, රන්දි, හැලපෙ, ශානි, මං එරන්දි, කොළඹ ගමයා, මිථිල ඇතුළු එකී මෙකී නොකී සැමට විවෘතය... )




Friday, June 8, 2018

එය වේදනාකාරීයි තමයි ඇත්තටම....


Her, Him, The other පූර්ව ප්‍රචාරක දැන්වීමක්...

ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම ත්‍රිමූර්තිය විසින් නිර්මාණය කළ ‘‘තුන්දෙනෙක්‘‘ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ප්‍රදර්ශනය වූ දා අශෝක හඳගම කථා කළ අවස්ථාව...

..........

‘‘අපි යුද්දය මොකුත් සිද්ද නොවුණා සේ අමතක කරන්න හදනවා. එහෙම යුද්දයක් තිබුණෙ නෑ වගේ ඉන්න හදනවා. හැබැයි ඒ අමතක කිරීම් ඇතුළෙ, යටකිරීම් ඇතුළෙ අපි විශාල ගිනි පුපුරක් යට කරනවා. ඒ ගිනි පුපුර නිවල දාන්නෙ නැතුව යටකරල දානවා. ඒක තමයි ඇත්තටම අපි පහුගිය කාලෙ අත්වින්දෙ. යුද්දෙ ඉවරවෙලා දශකයක් ගෙවෙන්නත් කළින්, ඒ යුද්දය පටන්ගත්ත මූලික ආකෘතියෙ ගැටුම් ටිකක් මේ රටේ නිර්මාණය වුණා. අම්පාර, තෙල්දෙණිය. යටගැසීමේ ප්‍රතිඵලය තමයි ඒ.
උදාහරණයක් හැටියට යුද්දෙ ඉවරවෙලා දැන් අවුරුදු දහයක්. තව දහයක් යන්න ඕන නෑ, පහක් ගියාම යුද්දයේ අත්දැකීම් නැති, පොඩ්ඩක්වත් අත්දැකීම් නැති තරුණ පරම්පරාවක් මේ රටේ ඉන්නවා. යුද්දය කියන්නෙ එක්තරා හේතුවක ඵලයක් විතරනෙ. මේ ඵලය තමයි කඩල දාලා තියෙන්නේ. නමුත් ගහ එහෙම්මම තියෙනවා. ඒ ගහ ගළවල දැම්මෙ නැත්නම් මේ ඵල නැවත නැවත හට ගැනීමට නියමිතයි.

ඇත්තටම මේ චිත්‍රපටිය සංහිඳියාව පිළිබඳ චිත්‍රපටයක් නෙවෙයි. සංහිඳියාව මේ රටට ඇවිල්ල තියෙනවා අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉම්මු කියන පණිවිඩය ගේන චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපටය මේ රටේ සංහිඳියාව ඇණ හිටින තැන ප්‍රශ්න කරන චිත්‍රපටයක්. ඇයි අපිට සංහිඳියාව ඇතිකරගන්න බැරි වෙලා තියෙන්නෙ කියන ප්‍රශ්නය එකක්. අනෙකාව තේරුම් නොගන්නා තාක්කල් මේ විදියට ප්‍රශ්නය ජයගන්න හම්බවෙන්නෙ නෑ. මේ චිත්‍රපටය හරහා අපි ප්‍රශ්නය යට ගහන්න නොදී ප්‍රශ්නය අභිමුඛ වෙන්න අරිනවා. එතකොට එය වේදනාකාරීයි තමයි ඇත්තටම. වේදනකාරීයි තමයි, ඒ තුවාලය පෑරෙනවා තමයි. නමුත් පාරල තමයි හොඳ කරන්න වෙන්නේ. පාරල හොඳ කළේ නැත්නම් ඒක යටින් කුණු වෙනවා. ඊට වඩා දරුණු ව්‍යාධියක් විදියට තමයි ඊට පස්සෙ එන්නෙ. ඒ නිසා තමයි අපි මේ චිත්‍රපටිය මේ විදියට කළේ.

ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම 

ඔයගොල්ලො දන්නව ඇති, අපි විමුක්ති, මම සහ ප්‍රසන්න යුද්ද කාලෙදිත් යුද්දයේ තියෙන ආදීනව මොනවද, යුද්දය ගමේ වටිනාකම්, ජීවිතවල වටිනාකම් වෙනස් කරපු විදිය ගැන චිත්‍රපටි කරපු කට්ටිය. ඒ හින්දා අපි දේශදෝහීන්, ජාතිද්‍රෝහීන් විදියට විශාල චෝදනාවලට ලක්වෙච්ච කට්ටිය. එහෙම වෙලා තමයි හිටියෙ. යුද්දය ඉවරවුණාට පස්සෙත් අපිට කියන්න කතාවක් තියෙනවා. යුද්දය ඉවරවුණාට යුද්දය අපි දිනල නෙවෙයි ඉවර වෙලා තියෙන්නෙ. පිටිපස්සෙ සහෝදරයා කිව්වා අපිට යුද්දය විසින් අහිමිකිරීම් ගොඩක් හිමිකරල තියෙනවා කියල. අහිමිකිරීම තමයි අපිට හිමිවෙලා තියෙන්නෙ. වෙන මොකුත් අපි දිනාගත්ත දෙයක් නෑ. ඉගෙනගත්ත පාඩමක් නෑ. ඒ පාඩම ඉගෙනගන්න තමයි මේ චිත්‍රපටි කරන්නෙ.

තව සහෝදරයෙක් ඇහුවා ජාතිවාදය පිළිබඳ පාඩම, සිංහල අධිපතිවාදය පිළිබඳ පාඩම අපිට කියල දෙනවා කිව්වා. මං ඒ ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ, විමුක්තිගෙ චිත්‍රපටියෙ ඇතුළෙ එන්නෙ ඒ කතාව විමුක්ති ඒ ගැන කතා කරයි. විමුක්තිගෙ චිත්‍රපටයෙ එනවා කොහොමද භාෂාව ඉගෙනගන්න ව්‍යාපෘතියක් ඇතුළෙ සිංහල උත්තමවාදය කියන එක උගන්නන්නෙ. ළමයෙක්ගෙ මනසට දාන්නෙ කියන එක. ඒ චිත්‍රපටය ඇතුළෙ තියෙන්නෙ ඒක. අපේ හෘද සාක්ෂිය පිළිබඳ අපි කාටත් තියෙනවා ගැටලුවක්.

ප්‍රසන්න තමන්ගෙ චිත්‍රපටිය ඇතුළෙ නගන ප්‍රශ්නය ඒක. අපේ හෘද සාක්ෂියට විවෘත වෙන්න ඉඩදෙන එක. අපේ හෘද සාක්ෂියට කතා කරන්න ඉඩදෙන එක. අපි කොහොමහරි චිත්‍රපටි හදමින් අපට දැනෙන දේ කියනවා. නමුත් දෙමළ ජනතාවට අවස්ථාවක් ලැබිල තියෙනවද, දෙමළ සිනමාකරුවන්ට අවස්ථාවක් ලැබිල තියෙනවද තමන්ගේ පැත්තෙන් තමන්ගේ දේ කියන්න. මේ සිංහල සමාජයට කියන්න. එහෙම අවස්ථාවක් ලැබිල නෑ. එහෙම වෙනවනම් ඒක අපි පිළිගන්න සූදානමකුත් නෑ. දැන් අපේ වීරයොයි ඒගොල්ලන්ගෙ වීරයොයි අපට දෙන්නෙක්. අපේ වීරයා සමරන්න පුළුවන්, ඒගොල්ලන්ගෙ වීරයා සමරන්න බෑ. එහෙමනෙ දැන් මේ රටේ තියෙන්නෙ. ඒගොල්ලන්ගෙ දේ ප්‍රකාශ කරන්න ගත්තම අපි කොච්චර සූදානම්ද මේ ප්‍රකාශනයට ඇහුම්කන් දෙන්න. තියන ගැටලුව ඒක. ඒ නිසා ඒ සමාජයෙන් ඒ කතාව ඇවිල්ල නැහැ. අපි තමයි ඔවුන්ගෙ කතාව කියන්නෙ. ඒත් අපි නෙවෙයි කියන්න ඕන එයාල. ඒගොල්ලන්ට ඒ අවස්ථාව දෙන්න ඕන. ඒක දීල තියෙනවද කියන ගැටලුව අපිට තියෙනවා.‘‘

Her චිත්‍රපටයේ හඳගම සහ කේසා යශෝ සොයා යන ගමනේ දර්ශනයක් 


Him චිත්‍රපටයේ එල්ටීටීඊ සාමාජිකයකුගේ පෙරභවය ගැන කියන දරුවා... 

The Other චිත්‍රපටයේ අතුරුදහන් වූවන් පිළිබඳ සත්‍යය සොයා කොළඹට ආ දමිළ වැන්දඹු තරුණ කාන්තාව සහ දමිළ මව පොලිසියේ සිටින රූප රාමුවක්.... 


      

Friday, June 1, 2018

අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රිය

ගිනිබත් වන පොත්...


( වෙබ් කොලමක් ලිවීමේ ඇරයුමක් ලදිමි. ‘‘ඒදන් උයනේ මෙහා ඉමේ...‘‘ නම එයට තබන්නට අදහස් කළෙමි. මේ ඒ කොලම වෙනුවෙන් මා ලියු පළමු ලිපියයි. වෙබ් අඩවිය අද එළිදක්වන්නට නියමිතව තිබිණි. කෙසේ නමුත් මේ ලිපිය එළිදැකිය යුතු දවස නම් අද ය. අද ජුනි පළවෙනිදා ය. )

යුද්ධය නිම වී වසර නමයකි. නමුත් ප්‍රශ්නය තාම එතැන ය. බෙදුම, බිඳුම, රිදුම තාම එතැන ය. තිස් වසක යුද්ධයෙන් ගැඹුරු තුවාල ලත් හදවත් මතු නොව සමාජය ද සුවපත් කරන්නට අසමත් වූ රාජ්‍යයකි අප. යුද ඉතිහාසයේ මහා මිනිස් සංහාරයන් හා සමානවම අතිශය දරුණු සහ අමානුෂිකම ඛේදවාචකය වන්නේ කිසිදු වගවිභාගයකින් තොරව ශත වර්ෂ ගණනක් පැවති මහා දැනුම් සම්භාරයක් එක රැයින් ගිනිබත් කර දැමීමය. 1981 මැයි 31 වන දා රාත්‍රීයේ එසේ බල ලෝභී මුග්ධයින්ගේ ජාතිවාදී ගින්නෙන් දැවී යන අවස්ථාවේ ලක්ෂයකට ආසන්න වටිනා පොත් ද, දුර්ලභ අත් පිටපත් ද සහිත නිධානයක් වූ යාපනය පුස්තකාලය ලංකාවේ මතු නොව සමස්ත ආසියාවේම පැවති දැවැන්ත පුස්තකාලවලින් එකකි.

විනාශයට පත් වූ පුස්තකාලය

එදා ඒ පුස්තකාලය ගිනිබත් වූ දා රැයේ යාපනය නගරයේ එක් නිවසක, අළු වී යන දැනුම් සම්භාරය පිළිබඳ වේදනාවෙන් දැවි දැවී පණ ගැහුණු ශ්‍රේෂ්ට හදවතක් විය. පත් ඉරු දැවී නගිනා දුමාරය ඒ හදවතේ සෑම නහරයක්ම අවුරා, පුපුරුවා දැමුවා නිසැකය. ජූනි පළමුවනදා රැයේ අසීමිත වධ ගාවිනා විදි එකී ළය පැලී ඔහු මියැදී සිටියේය. ඒ වන විටත් යාපනය පුස්තකාලයේ දැවුණු පොත් පත් අතරින් දුමාරය ඉහළ අහසට නගිමින් තිබිණි. ඒ අවසන් හුස්ම පොද ද දැවුණු දැනුම් ගබඩාවේ අවසන් හුස්ම හා එක්වන්නට ඇත. 

ඔහු කවුද? මංජුල වෙඩිවර්ධනගේ ‘‘සුළගට අවනතව‘‘‘ කාව්‍ය සංග්‍රහයේ  ‘‘දාවිත්‘‘ කවියෙහි පසු සටහන ඔහු හඳුන්වා දෙන්නේ මෙලෙසිනි.  

සටහන - ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා යාපනයෙන් බිහිවූ භාෂා පඬිවරයෙකි. ‘ඉන්දු ආර්ය භාෂා’ සහ පොදුවේ  ‘භාෂා නිරුක්තිකය’ පිළිබඳ සුවිශේෂම ප්‍රාමාණිකයා වූ ඔහු භාෂා තිස් තුනක් දැන සිටි අතර අඛණ්ඩව යාපනය පොත්ගුල කේන්ද්‍රකරගනිමින් භාෂා ශාස්ත්‍ර අධ්‍යනයන්හි යෙදුණේ ය. 1947-51 අතරතුර ඉන්දියාවේ හා යුරෝපයේ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි කරන වකවානුවල ඇරුණු කළ ඔහු 1936 සිට ඉගැන්නුම් කටයුතු කළේ තමන් ද ආදි ශිෂ්‍යයෙක් වූ යාපනය සාන්ත පැට්‍රික් විදුහලේ ය.  එය, යාපනය පුස්තකාලය අසල තිබීම ඔහුගේ අඛණ්ඩ භාෂා අධ්‍යනයන්ට මහත් පහසුවක් සහ පිටිවහලක් විය.

1981 මැයි 31වැනි දා රාත්‍රියේ, දකුණේ දේශපාලකයන් ඇතුළු මිලිටරි යාන්ත්‍රණය විසින් යාපනයේ කීර්තිමත් පුස්තකාලය, එහි තුළ වූ අනූ දහසකට අධික පත-පොත, අත්පිටපත්, පුස්කොළ පොත් සමඟ ගිනිබත් කළ සිද්ධියෙන් අතිශය කම්පාවට පත්වූ ඔවුහු හෘදයාබාදයෙහි වෙලී ජූනි පළමුදා රාත්‍රියේ තම කුටියේ තම යහනෙහිම මිය ගියහ.

කවියේ ඇරඹුම යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරයකු වන එම්. ඒ. නුහුමාන් විසින් දෙමළ බසින් රචිතව ඉංග්‍රීසියටද, පසුව සිංහලටද නැගුණු ‘‘බුදුන් ඝාතනය කිරීම‘‘ කාව්‍ය පන්තියෙනි.

සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙන
උන් වහන්සේ ඝාතනය කළහ
-           එම්. ඒ. නුහුමාන්


දාවිත්

මිකැලාංජලෝ මැවූ කිරි ගරුඬ රුව දිටිමි දාවිත්
කැටපෝලෙ ළෙලවාන ගොලායත් බිම දැමූ දාවිත්
ගීතාවලිය පුරා වේදනා  කවි ලියූ දාවිත්
නුහුමානුවන් ලියූ කවිය ළඟ ඔබ සොයමි දාවිත්

බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟුණ දාවිත්
ඉන්දු නිම්නය දිගේ යාපනෙට ආවාද දාවිත්
යාපනය මොන තරම් වරනැඟෙන කඳුළක්ද දාවිත්
ඒ දිදුළ දුක් කඳුළ ලත් දෙමළ නෙත් සඟළ දාවිත්

නාගදීපය වැඳන් එන අතර සැදැහැවත් අලි ඇත්තු
යාපනේ පොත්ගුලේ  වැඩ උන්නු සම්බුද්ධ වැඳගත්තු
අලි ඇත්තු අතර උන් ‘අතිමහත් බහුතරය’ වැදගත්තු
සැඟවිලයි ඉන්නැත්තෙ පිස්තෝල කරකවන බැතිමත්තු

බැතිමතුන් යළිඳු ඒ වෙසක් මහ අවසාන රෑ විත්
මුනි බඳට වෙඩි තියනු ඔය ඇසින් දුටුවාද දාවිත්
පොත් ගුලට ඇතුළුවන එ පියගැටපෙළ ළඟට නෑවිත්
නිදි කුටියෙ කවුළු දොර විඳ තැවුල විඳ ගනිමි දාවිත්

ලේ විලක් මැද තිබුණ සම්බුද්ධ ඒ නිමල බඳ
ඇදගෙන ගිහින් දමා දසදහස් පොත් අතරමැද
තුඟු සිරුර සඟවලා පොත් වලින් චිතකයක් බැඳ
ගිනි අවුළුවනු පෙනී පුපුරා ගියෙද ඔබගෙ හද?

නිසලවුණු හද පතුළ සඟවගෙන එළි නොදුටු ශාස්ත්‍රය
හද නිනද නැඟුණාද ඒ සිඟාලෝවාද සූත්‍රය
ඔබ මතක නැති හදින් හද තබමි මේ මතක මාත්‍රය
අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රිය


මංජුල වෙඩිවර්ධන
2014 ජූනි

Rev. Fr. HS David (PhD) an etymologist spent much time researching at the library. Upon hearing the library was set ablaze, the aggrieved priest died in his sleep that night
Nation.lk

බයිබලීය ඉතිහාසය තුළ සඳහන් වන දාවිත් කතා පුවත , දාවිත් රජ විසින් ලියූ බවට සඳහන් වන බයිබලයේ එන කාව්‍යමය ග්‍රන්ථය ‘‘ගීතාවලිය‘‘, බාබෙල් කොත සම්බන්ධ සිදුවීම සහ එයින් නිපන් විවිධ භාෂා පිළිබඳ අතීත කතාව ඇතුළු මේ කාව්‍යයට පදනම් වී ඇති ඉතිහාසය, පුරාවෘත්ත සහ පුද්ගල චරිත දන්නා හඳුනන අයෙකුට කවිය වඩාත් ගැඹුරින් විඳීමට අලුත් දොරටු විවර වනු ඇත.

යාපනය පොත්ගුල කේන්ද්‍රකරගනිමින් අඛණ්ඩව භාෂා ශාස්ත්‍ර අධ්‍යනයන්හි යෙදුණු, ‘ඉන්දු ආර්ය භාෂා’ සහ පොදුවේ  ‘භාෂා නිරුක්තිකය’ පිළිබඳ විද්වතෙකු වූ, භාෂා තිස් තුනක් පමණ දැන සිටි ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟී, යාපනේට ආ බව සඳහන් කිරීම කොතරම් සංවේදී, අර්ථපූර්ණ අවස්ථාවක්ද? කවිය තුළ සහෘද සිත වඩාත් කම්පනය කරන තැන එතැන යැයි සිතමි. ඉතින්, දාවිත් පියතුමා, නැත්නම් ඩේවිඩ් පියතුමා ළය පැළී මිය යාම අරුමයක් නොවේ.

ප්‍රතිසංස්කරණය කළ යාපනේ පුස්තකාලය 

පසුකලෙක කලා කටයුත්තකට යාපනයට ගිය ධර්මසිරි බණ්ඩාරනායකයන් පුස්තකාලය තුළට කැඳවා ගිය පුස්තකාලයාධිපති, සිංහල පොත් රාක්ක පෙන්වා ඇත. මාටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වැනි ලේඛකයන්ගේ කෘති ඇතුළු සිංහල පොත් රැසක් එහි තිබී ඇත. ඒ පොත් පෙන්වා ඔහු පවසා ඇත්තේ මෙවැන්නකි.
‘‘අපේ පුස්තකාලෙට ගිනි තියලා ගිනි දළු අහසට නගිද්දි, අපි මේ පොත් බේරගත්තා.‘‘

ඒත් දාවිත් පියතුමනි, ‘‘අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත්‍රියමයි.‘‘.... මේ මනුස්ස හදවත් ගිල ගත් රෑ අඳුර කවදා නම් නිමා වේවිද?